මහ මැතිවරණය පවත්වා අවසන්ය. ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ අදයි. ලැබෙන ප්‍රතිඵල අනුව කුමන පක්ෂයක් බලයට පත්වේවිදැයි අපි නොදනිමු. කුමන පක්ෂයක් බලයට පත් වුවද මුහුණදීමට සිදුවන අභියෝග රාශියකි. කොරෝනා වසංගතයෙන් රට තුළ සහ ලෝකයේ නිර්මාණය කර ඇති පසුබිම එම අභියෝග තවත් සංකීර්ණ කර තිබේ.

පත්ව සිටින ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් ඉදිරි පස් වසරක් ආණ්ඩුකරණය බලයට පත්වන ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. ගෙවුණු කාලයේ මැතිවරණ වේදිකාවේ සහ විවිධ මාධ්‍ය ඔස්සේ අහස උසට ලබා දුන් පොරොන්දු ගොන්නකි. ඒවා හුදු මැතිවරණ පොරොන්දු බවට පත් නොකොට යථාර්ථයක් බවට පත්කරමින් රට ඉදිරියට මෙහෙයවීම පත්වන අලු‍ත් ආණ්ඩුව මුහුණ දෙන අභියෝගයකි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවකට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ ද එයයි. විධායකය සහ ආණ්ඩුව අතර දේශපාලනික ඒකමිතිකභාවය පිළිබඳ ඇති වූ පරස්පරතා හේතුවෙන් අභිමත ඉලක්ක ඉටුකර ගැනීමට නොහැකි වූ බව අතීතයේ පැවැති ආණ්ඩු දෙස බැලීමේ දී පෙනෙන කරුණකි. ඉහත කී ගැටුම හේතුවෙන් තම ඉලක්ක කරා යාමට නොහැකි වූ බවට ඔවුනොවුන් චෝදනා කර ගන්නා ආකාරය අපි දුටුවෙමු. මෙවන් පසුබිමක පත්වන අලු‍ත් ආණ්ඩුව මුහුණ දෙන අභියෝග සුළුකොට තැකිය නොහැක. පත්වන ආණ්ඩුව හිතුවක්කාරී නොවී විධායකය සමඟ නොගැටී කටයුතු කිරීමේ අභියෝගය තිබේ.

ගෝලීය කොරෝනා අර්බුදය සමඟ ඇති අභියෝග රාශියකට මේ මොහොත වන විටත් ලංකාව මුහුණදෙමින් සිටී. ආර්ථික, සමාජ, දේශපාලනික සහ ප්‍රතිපත්තිමය අභියෝග ඒ අතර ප්‍රමුඛය. ආර්ථික අභියෝගය අද දවසේ මතුව ඇති ඉදිරි පෙළ කාරණාවය. ආර්ථිකය නැවත ශක්තිමත් කරන්නේ කෙසේද නැතිනම් ගොඩනගන්නේ කෙසේද යන්න අලු‍ත් ආණ්ඩුව අවධානයට ගත යුතුය. රටේ මූල්‍ය හැසිරවීමේ බලය ඇත්තේ ආණ්ඩුවටය. එම පසුබිමේ ගාමක බලවේගයකින් යුක්තව ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීමෙන් ගැලවීමේ හැකියාවක් අලු‍තෙන් පත්වන ආණ්ඩුවට නැත. එනිසා නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වගකීම හෙට දවසේ තිබේ. ආනයන හැකිතාක් සීමා කරමින් දේශීය කෘෂිකර්මාන්තය සහ කාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමේ අභියෝගය තවත් එකකි. ඒ වගේම ඒවා නිසි පරිදි කළමනාකරණය කළ යුතුය.

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා වියුක්තිය ඉහළ ගොසිනි. රැකියා නියුක්තිකයන් සෑහෙන පිරිසකට රැකියා අහිමි වී තිබේ. මෙය බරපතළ ආර්ථික සහ සමාජ ගැටලුවකි. මේ ගැටලුවට විසඳුම් සෙවීමේ අභියෝගය ද හෙට බලයට පත්වන ආණ්ඩුව හමුවේ තිබේ. සංචාරක කර්මාන්තයේ මෙන්ම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ද සිදුව ඇති බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස මතුවන කාරණා ද සුළුකොට තැකිය නොහැක. මේ ඔස්සේ නිර්මාණය වී ඇති විවිධාකාර සමාජමය ප්‍රශ්න රැසකි. මේ සියල්ල විසඳා ගැනීම පහසු වන්නේ නැත.

බිඳවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැගීමට ප්‍රමාණවත් සංචිත අපට නැත. මේ අභියෝගකාරී වාතාවරණය යටතේ කළ යුතු වන්නේ විදේශ ආයෝජන ලබා ගැනීමය. ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමේ අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලා කටයුතු කිරීමේ වගකීම ද පැහැර හැරිය නොහැක. ඒ වගේම අන්තර්ජාතික ණය සහ ආධාර දෙන්නන්වාලේ ලබා නොගත යුතුය. ලබාගත යුත්තේ කුමනාකාරයේ ණය ද යන්න හොඳින් සිතා බලා තීරණය කිරීමේ වගකීම ද තිබේ. දිගුකාලීන පදනම යටතේ සුහුරු ණය ලබා ගැනීමට කටයුතු කිරීම වඩා යෝග්‍යය. එසේ නැතිව ඉහළ පොලියකට මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අලු‍ත් ආණ්ඩුව වගබලාගත යුතුය. එක් රටකට හෝ දෙකකට ලඝු නොවී රටේ අවශ්‍යතා ඉටුකර ගැනීම අභියෝගකාරීය. සෑම රටක් සමගම මිත්‍රශීලි සබඳතා ගොඩනගාගත හැකි ප්‍රතිපත්තියක් ඔස්සේ මූල්‍ය පහසුකම් ලබාගන්නා අතර ඒවා නිසි කළමනාකරණයකට ලක් කිරීමේ අභියෝගය රට හමුවේ තිබේ. කළ යුත්තේ වසර පහක් ණය ලබාගෙන ඉන්පසු බලයට පත්වන ආණ්ඩුවට ණය කන්දක් ඉතිරි කිරීම නොවේ.

දේශීය කර්මාන්ත සැලකිය යුතු ලෙස බිඳවැටී තිබේ. මෙහි ප්‍රතිඵලයක් වන්නේ නිෂ්පාදනය පහළ යාමය. මෙකී නිෂ්පාදනවලට යොදා ගන්නේ ආනයනික අමුද්‍රව්‍යයි. පවතින ගෝලීය තත්ත්වය වටතේ දේශීය කර්මාන්ත පවත්වාගෙන යාම ප්‍රශ්නකාරී වී තිබේ. මේ නිසා දේශීය වෙ​ෙළඳ පොළේ ද සැපයුම් ප්‍රශ්න මතුව තිබේ. මේ පසුබිම යටතේ අමුද්‍රව්‍ය ආනයනය කෙරෙහි අලු‍ත් ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුය. අපනයනය පවා යම් ගැටලු‍කාරී තත්ත්වයක පැවතීම හේතුවෙන් දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමේ විකල්ප සොයා ගැනීමේ අභියෝගය පොදුවේ රට හමුවේ තිබෙන්නෙකි. එනිසා ඉදිරි දැක්මක් සහිත ආණ්ඩුවක් බිහි නොවුණහොත් සහ ඉදිරි දැක්මකින් ආණ්ඩුව කටයුතු නොකළහොත් ආර්ථිකය තවත් කඩා වැටීමට ඇති අවකාශය වැඩිය. බලයට පත්වන ආණ්ඩුව මේ අභියෝගය නිවැරැදිව වටහාගත යුතුය.

කොරෝනා වසංගතයේ නරක පැති වගේම හොඳ පැති ද තිබුණි. දේශීය කෘෂිකර්මය යම් පමණකට නගා සිටුවීම පසුගිය කාලයේ සිදුවුණි. ඒ වගේම නව සොයා ගැනීම් රාශියක් ගැන ද අසන්නට ලැබුණි. එහෙත් කොරෝනා වසංගතය හමුවේ මේවා දිරිමත් කිරීමක් වූයේ නැත. එනිසා නව සොයා ගැනීම් සහ දේශීය කෘෂිකර්මය දියුණු කිරීමට නව වැඩපිළිවෙළක් සැකසීමට ආණ්ඩුවට පුළුවන. මේ අභියෝගය ජයගන්නා ආකාරය කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුය.

පවත්නා වාතාවරණය යටතේ ආර්ථික සහනාධාර නොදී ආර්ථිකය ගොඩනැගීම කළ නොහැකිය. එහෙත් දෙන්නන්වාලේ එම සහනාධාර නොදිය යුතුය. කර්මාන්ත, ව්‍යාපාර හෝ වෙනත් අංශවලට ආර්ථික සහනාධාර දීමේදී නිසි කළමනාකරණයකට ලක්කළ යුතුමය. එසේ නොකළහොත් රට ගොඩනැගීමට පත්වන ආණ්ඩුවට හැකි වන්නේ නැත.

සිංහල ඩයස්පෝරාව රටේ සංවර්ධනයට දායක කරගැනීමට පුළුවන. ආයෝජන එතැන දී විශේෂය. ප්‍රතිපත්තිමය සංවාදයක් හරහා මෙවැන්නක් කිරීමේ අභියෝගය තිබේ. මෙවැන්නක දී ඇතැම්විට නීති වෙනස් කිරීම් අවශ්‍ය විය හැකිය. ඒවාට පසුබට නොවිය යුතුය.
ඒ වගේම මෙරටින් සිදුව ඇති බුද්ධිගලනය මිල කළ නොහැක. සිදුව ඇති මේ පාඩුව මකා ගැනීමට අවස්ථාව උදාවී තිබේ. මේ පිරිස් නැවත මේ රටට ගෙන්වාගෙන ඔවුන්ට සුදුසු අවස්ථා ලබා දී ආර්ථිකය නංවාලීමට දායක කරගත හැකිය. මෙවැන්නක් කිරීම අභියෝගකාරීය. එහෙත් රටේ උන්නතිය වෙනුවෙන් හෙට දවසේ දී එවන් අභියෝග ජයගත යුතුව තිබේ.
 
කොරෝනා වසංගතයේ ලෝක ව්‍යාප්තිය තවමත් බැරෑරුම්ය. ලංකාවේ තත්ත්වය යම් ලෙසකට පාලනය කර ගත්තේය. එය ලෝක තත්ත්වය සමග සැසඳීමේ දී ලබාගත් ජයග්‍රහණයකි. එහෙත් කොරෝනා අවදානම සම්බන්ධ ජනතා උනන්දුව ක්‍රමයෙන් හීනවෙමින් පවතින ස්වභාවයක් පෙනෙන්නට තිබේ. එය හිතකර නොවේ. යළි බරපතළ තත්ත්වයක් නිර්මාණය කරන්නට එය හේතු වන්නට පුළුවන. එනිසා කොරෝනා වසංගතයේ බැරෑරුම්කම අමතක නොකර එය ලංකාවෙන් නැත්තටම නැති කිරීමේ වගකීම මෙන්ම අභියෝගය අලු‍ත් ආණ්ඩුව හමුවේ තිබෙන්නකි. මේ සම්බන්ධව නිසි ප්‍රතිපත්ති සකසාගෙන කටයුතු කළ යුතුය. බලයට පත්වන විට පවත්නා අභියෝග වසර පහක් ගෙවුණු පසුත් අභියෝග හැටියටම පැවතීමට ඉඩ නොදීමට ආණ්ඩුව වගබලාගත යුතුය.

අන්තවාදී ජාතිවාදී කණ්ඩායම්වල හිස එසැවීමක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණි. පාස්කු ප්‍රහාරය එහි එක් ප්‍රතිඵලයකි. කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගොස් මේවා පාලනය කිරීමේ හැකියාවක් නැත. එනිසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් අන්තවාදී සහ ජාතිවාදී කණ්ඩායම් මෙල්ල කිරීමේ අභියෝගය තිබේ. මෙය ජයගත යුත්තේ ඉතා සූක්ෂම ආකාරයෙන්. පක්‍ෂ, සිවිල් ක්‍රියාකාරී කණ්ඩායම් වශයෙන් ආදී වශයෙන් ජන ජීවිතයට බලපෑම් කරන තත්ත්වයට ජාතිවාදය සහ අන්තවාදය පවතින බව පැහැදිලිය. නිසි අධ්‍යයනයකින් සහ පෙර සූදානමකින් මේ අභියෝගය ජයගත යුතුව තිබේ. බලයට පත්වන ආණ්ඩුව එම වගකීම රට වෙනුවෙන් කළ යුතු කාරණයකි. මේ කාරණා නොසලකා කටයුතු කළහොත් අනාගතයේ දී බරපතළ ගැටලු‍වකට මුහුණදීම ආණ්ඩුවට සිදුවනු ඇත.

රටට අවශ්‍ය කරන නීති සහ අණ පනත් පැනවීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය. කාලීන අවශ්‍යතාව අනුව එකී කටයුතු නොකළහොත් බරපතළ අකරතැබ්බයකට ආණ්ඩුව පත්වන්නට පුළුවන. එසේ නම් වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ විනිවිදකරණයකින් යුත් ආණ්ඩුකරණයේ අභියෝගය තිබේ. ප්‍රජාතන්ත්‍රවාදීව මෙම අභියෝග ජය නොගතහොත් ජාත්‍යන්තරය ඉදිරියේ අප්‍රසාදයට පත්වන්නට පුළුවන. එනිසා ජාත්‍යන්තර ප්‍රජාව ද දිනාගනිමින් දේශපාලන සුජාතභාවය තහවුරු කිරීම සම්බන්ධ අභියෝගයට ආණ්ඩුවට මුහුණදීමට සිදුවනු ඇත. ජාතික සහ ජාත්‍යන්තර සුජාතභාවය තහවුරු කිරීම තම වගකීමක් බව ආණ්ඩුව වටහාගත යුතුය. එසේ  නොවන තැනක දී ලංකාව පරාජිත රාජ්‍යයක් බවට පත්වීමට අවකාශය තිබේ.

ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය පසුගිය කාලයේ ධනාත්මක තලයක පිහිටා කටයුතු කළේය. එනිසා බලයට පත්වන ආණ්ඩුව හිතුමතේ හෝ මුරණ්ඩුව කටයුතු නොකර එම ධනාත්මක තත්ත්වය තවත් වර්ධනය කරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. ප්‍රතිපත්තිමය වශයෙන් මේ තත්ත්වය ඉදිරියට පවත්වා ගෙනයාමට නීතිමය රාමුවක් සකසා කටයුතු කිරීමට ආණ්ඩුව වගබලා ගත යුතුය.
නිදහස ලබාගත් දිනයේ පටන් මේ දක්වාම රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විටින් විට කතා කර තිබේ. ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි. මූලික නීතිය උඩ සිටිමින් එය විවේචනය කිරීම පසුගිය කාලය පුරාම සිදුවූවකි. මෙසේ වී ඇත්තේ ඇයි? එය ගැටලු‍වකි. සෑම මැතිවරණයකදීම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටලු‍ව ඉදිරියට එන්නේ ඒ නිසාය. එක් පුද්ගලයකුගේ හෝ එක් කණ්ඩායමක වුවමනාවට ඔවුන්ගේ අවශ්‍යතා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය වූ ආකාරය ඉතිහාසයෙන් හඳුනාගත හැකිය. ගැටලු‍ මතුව ඇත්තේ ඒ නිසාය. ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ රටක සිටින සියලු‍දෙනා නියෝජනය වන ආකාරයෙනි. වරක් පැකේජයක් ගෙනාවේය. ඒ වෙනුවෙන් මහජන මුදල් විශාල වශයෙන් නාස්ති කළේය. පසුගිය පාලනය ද තවත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් මුදල් යෙදව්වේය. එහෙත් ඒවා සම්බන්ධ කිසිදු කතා බහක් නැත. එනිසා ජනතාවට වඩාත් ගැළපෙන රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක්දැයි අවධානයට ගත යුතුය.

එක පක්ෂයක, කණ්ඩායමක දර්ශනය වැඩපිළිවෙළ මත පදනම්ව ව්‍යවස්ථාවක් සකස් නොවිය යුතුය. තමන් සකසන ව්‍යවස්ථාව සමස්ත රට නියෝජනය වන්නක් බවට හරවා ගැනීමේ අභියෝගය අලු‍ත් ආණ්ඩුවට තිබේ. සම්මුතිගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ වගකීම ආණ්ඩුව සතුය. සියල්ලන්ගේ ආශිර්වාදයෙන් සකසන ව්‍යවස්ථාවක් දිගු කලක් පවතිනු ඇත. එවැන්නක දී හුදු බල ව්‍යාපෘති පසෙක තැබිය යුතුය. අමෙරිකාවේ තවමත් තිබෙන්නේ 1889 දී සැකසූ ව්‍යවස්ථාවය. ප්‍රංශයේ තිබෙන්නේ 1959 දී සකසාගත් ව්‍යවස්ථාවය. මේවා අවධානයට ගෙන සම්මුතිවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ අභියෝගය ආණ්ඩුවට තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු‍ රාශියකි. සමාන අවස්ථා සම්බන්ධව කෙරෙන ප්‍රශ්න කිරීම්වල නිමක් නැත. ඒවාගේම උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අවස්ථා සම්බන්ධ ප්‍රශ්න තිබේ. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීම යනාදියේ දී අවස්ථා සම්බන්ධ ගැටලු‍ රාශියකි. ලකුණක් දෙකක් අඩුවන දරුවකුට වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට හැකියාවක් මේ රටේ තිබේද? සුදුසුකම් ඇති සියලු‍ දෙනාටම ප්‍රාථමික හා ද්විතීයික, තෘතීය අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතුය. මේ අභියෝග බාර ගැනීමට වන්නේ බලයට පත්වන ආණ්ඩුවටය. එනිසා නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙන්ම එය මත පදනම්ව කටයුතු කරන ආකාරය අවධානයට ගත යුතුය.

රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය දූෂිත මට්ටමට පත්ව තිබේ. ප්‍රාදේශීය සභාව නගර සභාව පමණක් නොව පොලිසිය ද දූෂිත වී තිබේ. මේවායෙන් වංචාව දූෂණය තුරන් කර මහජන සේවය කරන ආයතන බවට හැරවීමේ අභියෝගය ආණ්ඩුව හමුවේ තිබේ. තමන්ට ලැබුණු බලය තම බඩ වඩා ගැනීම වෙනුවට රට ගොඩනැගීමට එම බලය යොදා ගන්නා ආකාරය කල්පනා කළ යුතුය. එසේ නොකළ හොත් අනාගතයේදීත් ‘ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්’ යන වැකිය එදාමෙන් සුපුරුදු ලෙස අසන්නට ලැබෙනු ඇත. මේ සියල්ල වෙනස් කිරීම එයට අවශ්‍ය නීති රීති සම්පාදනය කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ අලු‍ත් ආණ්ඩුවටය.

රටේ විනය පිරිහීගොසිනි. ළමා අපයෝජන ස්ත්‍රී දූෂණ, කාන්තා හිංසනය බෙහෙවින්ම ඉහළ අගයක පවතින බව පැහැදිලිය. සුද්දාගෙ කාලයේ නීතිවලින් මේවා මැඬිය නොහැක. මත් උවදුර සමාජය වෙලාගෙන තිබේ. පවත්නා නියෝජන ක්‍රමය විකෘතියකි. තමන්ට ඡන්දය දුන්නේ කවුදැයි පත්වන නියෝජිතයා දන්නේ නැත. මේවා සම්බන්ධව වේදිකාවල ලබාදුන් පොරොන්දුවල අඩුවක් නැත. එසේ දුන් පොරොන්දු රාජ්‍ය ප්‍රතිපත්ති බවට පරිවර්තනය කර ඉටු කිරීමේ අභියෝගය ආණ්ඩුව හමුවේ තිබේ. ඒවා ඉටු නොකළොත් නැතහොත් මේ අභියෝග ජය ගැනීමට බලයට පත්වන ආණ්ඩුව අපොහොත්සත් වුවවොත් රටත් ජනතාවත් අද සිටින තැනම සිටිනු ඇත.

(*** සටහන - චමින්ද මුණසිංහ)