කතරගම දෙවියන් සම්බන්ධව ඇති හාස්කම් පිළිබදව භක්තිවන්තයන් විසින් විවිධ සිදුවීම් විස්තර කරනු ලබයි. කතරගම දේවාලය මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් රටපුරාම විවිධ ස්ථානවල වෙන්වුනු දේවාල පිහිටුවා තිබේ. වැඩහිටිකන්ද කතරගම දේවාලයේ හිටපු කපුමහතාවු එච්.ඒ.වී. රණසිංහ මහතා කලකට පෙර දේවාල රාජකාරි කටයුතු වලින් ඉවත්වි සිය නිවෙසට පැමිණියේය. ඒ තමන්ගේ වසයද සැලකිල්ලට ගනිමිනි. නමුත් නිවෙසේ සිටන විට ඔහුට නිතරම කතරගම වැඩහිටිකන්දට යළි යන්නට පෙළඹවන සිදුවීම් කිහිපයක් ගැන ඔහු හෙළිදරව් කළේය. ‘‘මම කතරගම දේවාලේ වැඩ කටයුතු වලින් ඈත්වෙලා විවේක සුවයෙන් ඉන්න කියලා හිතාගෙන මීට අවුරුදු ගාණකට පෙර ගමට ආවා. ඒ වුණාට මට රැට නින්දෙන් සර්පයෙක් ඇඟේ කොහේ හරි දෂ්ට කරනවා දැනිලා ඇහැරෙනවා. මම හැමදාම නොවරදවාම කතරගම, සමන්, විශ්ණු කියන දෙවිවරුන්ට පහන් තියනවා. මට මේ තත්ත්වය කිහිප අවස්ථාවකම වුණා. මා  හිතුවා ආයෙත් වැඩහිටිකන්දට ගිහිං දේවාලයේ රාජකාරී කරන්න. මම ඒකට ගියා. ඊට පස්සේ මාව නින්දෙන් සර්පයෝ කෑවේ නෑ’’ රණසිංහ කපු මහතා කීවේය. කතරගම දෙවියන් බෞද්ධ දෙවියකු බවත් ඔහු සෝවාන් ඵලයට පැමිණ දෙවැනි ආත්මය කතරගම දෙවියන් යැයි ජනප‍්‍රවාදයේ එන කරුණකි. එය සනාථ කරන කරුණක් රණසිංහ මහතා ද හෙළි කළේය. වැඩහිටිකන්ද කතරගම දේවාලයේ කපුමහතා ලෙස කටයුතු කළ හින්දු භක්තිකයෙකුවු වී. සංගමේපිල්ලේ සාමිවරයා 1961 වර්ෂයේදී හින්දු ආගම අතහැර බුද්ධාගම වැළදගත්තේය. කතරගම වැඩහිටිකන්ද විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසු රත්මලානේ සිද්ධාර්ථ හිමියන් හමුවේ බුදුදහම වැළදගත්තේ කතරගම දෙවියන්ගේ ඉල්ලීමකට බව එකල ප‍්‍රසිද්ධව ගිය බව රණසිංහ මහතා කීවේය. 1961 ජනවාරි 14 දින ‘‘දිනමිණ’’පුවත්පතේ ‘‘කතරගම දෙවිදුගේ අණ ඉටුකරන්නයි’’ යන සිරස්තලය යටතේ පළවි තිබුණි. සංගමේපිල්ලේ සාමි බුදුදහම වැළදගනු ලැබුවේ අසුවැනි වියේදීය. වසර මතක නැති වුණත් වැඩහිටිකන්දේදී දුටු කතරගම දෙවියන්ගේ හාස්කමක් රණසිංහ කපු මහතා මෙසේ හෙළි කළේය. ‘‘වැඩහිටිකන්දේ කතරගම සහ ඊශ්වර කියන දේවාල දෙකේ පඩුරු පෙට්ටි දොළහක් තිබුණා. දේවාලේ වැඩ අවසන්කරලා මමත් නිදන්නට ගියා. රැ දොළහට විතර හාමුදුරුවෝ කතාකරලා කියනවා දේවාල දෙකේ පිං පෙට්ටි හයක් නෑ, දෙවියන්ට කන්නලව් කරලා කියන්න කියලා. මමත් ආයේ පේ වෙලා දේවාලෙට ගිහිං දෙවියන්ට කාරණය සැලකර හිටියා. පැයක්වත් ගියේ නෑ මෙන්න හොරු ඇවිත් කියන්න පටන්ගත්තා, ‘අපිතමයි පිං පෙට්ටි හොරකම් කළේ. අපට පඩි නොදුන් හින්දයි එහෙම කළේ. ආය කවදාවත් එහෙම වරදක් කරන්නේ නෑ කියලා’. පස්සේ බලනකොට වැඩහිටිකන්දේ කුලීවැඩ කරපු කිහිප දෙනෙක් පඩි දෙන්න ප‍්‍රමාදවුණා කියලා පිංපෙට්ටි හය උස්සං ගිහිං.’’ රණසිංහ කපු මහතා තවත් අත්දැකීමක් විස්තර කළේය. ‘‘කතරගම මහ දේවාලයට වගේම වැඩහිටිකන්ද කතරගම දේවාලයටත් විවිධ තරාතිරමේ අය දෙවියන්ට කන්නලව් කරන්න එනවා. ඒ එන අයගේ උවමනාවන් , බලාපොරොත්තු ඉටුකර දෙන්න කියලා අපි දෙවියන්ගෙන් යදිනවා. හැමදාම දේවාලයේ තේවා කටයුතු අවසන් කරන්නේ මම දෙවියන්ට පින්දීලා. සමහර වැදගත් මහත්තරු ආව දවසට මම එහෙම කන්නලව්කරන කොට මට ඇහෙනවා කවුරුහරි කියනවා ‘කරන්න  ඕනෑ හැම වැරදි වැඩටික කරලා එනවා මගෙන් පිහිට ගන්න. මම කොහොමද මේ අයට පිහිට වෙන්නේ කියලා’.’’ ‘‘මට තවමත් මතකයි 2004 අවුරුද්ද. ඒ අවුරුද්දේ ජනවාරි 21දා වත්මන් ජනාධිපතිතුමා වැඩහිටිකන්දට ආවා. එතකොට එතුමා අගමැති. දේවාලෙට පුජා වට්ටියක් තියලා රටට සාමය ඇතිකරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න කිව්වා. මම යාතිකා කරලා එතුමාගේ අදහස දෙවියන්ට සැලකළා. එදා රාත‍්‍රියේ පුජා කටයුතු අවසන් කරලා මම දෙවියන්ට පින්දීලා රටට සාමය සමාදානය ගෙනෙන්න කියලා ප‍්‍රාර්ථනා කරන කොට මට කවුද කියනවා ඇහුණා ‘මේ සැරේ සාමය නිකම් එන්නේ නෑ. විශාල ගාණක් මැරිලා, රට ලේවැගිරිමක් වෙලා තමා සාමය ලැබෙන්නේ කියලා. එදා 2005 යුද්ධය දිනපු වෙලාවෙ මට හිතුනා එදා මට මේ සිදුවීම කිව්වනේ කියලා.’’ රණසිංහ මහතා කීවේය. කතරගම මහ දේවාල බිමට එන්නට පෙර  ඕකන්දේ සිට කතරගමට එන මාර්ගයේ සහ ඒ අවට කැලෑ ආශ‍්‍රිතව සිදුවු අපූරු සිදුවීම් ගැන කතා කළෙමු.  එවැනි හාස්කම් සම්බන්‍ධයෙන් කතාකළහැකි සිදුවීම් බොහෝය. ඇතැම් ස්ථාන සම්බන්‍ධව කතා කිරීමේදී සමහරු එවැනි තැන්වලට යන්නට උත්සාහ කරන බවද පෙනෙන්නට තිබේ. නමුත් කතරගම මහ දේවාලයට පැමිණ දෙවියන්ට පුදපුජා තැබීමට දැන් බැතිමතුන්ට කරදරයකින් තොරව හැකියාව ඇතිබව අවධාරණය කරමි. කතරගම දෙවියන් ගැන කතා කරද්දී ‘‘කැබිලිත්ත’’ දේවාලය හෙවත් ‘‘මහ කැබිලිත්ත’’නැතහොත් ‘‘උඩහ කැබිලිත්ත’’ දේවාලය ගැන වරින් වර සදහන් කළෙමි.  ඕකන්‍ද සිට කතරගම බලා එන පාදයාත‍්‍රා ගමන් මගෙන් හැතැක්ම විස්සක් පමණ රට මැද්දට වන්නට මෙම දේවාලය පිහිටා තිබේ. මෙම ස්ථානයේ කතරගම දෙවියන් වැඩවාසය කරතියි බැතිමතුන්ගේ විශ්වාසයක් පවතී. සැබැවින්ම මෙතැන දේවාලයක් නැත. මහා සියඹලා රුප්පාවක් සහ කුඩා සියඹලා පැළයක් පිහිටා තිබේ. වටේ පිටේ ඉතා පිරිසිදුකර ඇති අතර කුඩා සියඹලා පැළය ආසන්නව කුඩාවට ලෝහයෙන් කළ පහන්ගෙයක් වැනි ස්ථානයක් තිබේ. කණුවක රතු සහ සුදු රෙදි කැබලි වලින් බැදි පඩුරු ගැටගැසූ ගසක්ද තිබේ. මෙතැන ආවතේව කරන්න කිසිවෙකුත් නැත. අවට අපිරිසිදු නොකරන්නට එන බැතිමත්හු වග බලා ගනිති. මෙම ස්ථානය ‘‘සියඹලා රුප්පාව’’ ලෙස පැරැණ්නන් හදුන්වති. ආදි ‘‘කුමණ’’ ගමේ වැසියන් මෙහි එන්නේ බොහෝ සේ පේවී බව එම ගමේ විසු දැනට වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී.ගුණපාල මහතා කීවේය. ‘‘මේ මහසියඹලාව වදින්න ගෑනු අය එන්නේ නෑ. පිරිමි අයත් මස්මාළු නොකා සතියක්විතර පේ වෙලා තමයි එන්නේ. දුර ඈත ප‍්‍රදේශවලින් පානම,  ඕකන්‍ද හරහා එන අය වාහනවලින් ඇවිත් ගල්අමුණ ඉදලා පයින් එන්නේ. ආපහු යන දවස ගැන ස්ථිරයක් නෑ. අහවල් වෙලාවට ඉස්සර යන්න  ඕනැ කියලා කට වරද්දාගන්නේ නෑ. පුජාවට  ඕනැකරන අඩුමකුඩුම කර තියාගෙන වන මෘගයන් ඉන්න මහ කැලෑවෙන් එනව. පිරිසුදුවෙලා හොද චේතනාවෙන් ආවොත් කරදර හිරිහැරනෑ.’’‘‘දවසක් එහෙම ආපු කණ්ඩායමකට ලොකු අකරතැබ්බයක්වු බව අපේ ගමේ හිටිය වැඩිහිටියන් කියලා තියනවා. හට්ටි මුට්ටි ඇතුලූ අඩුම කුඩුම කර තියාගෙන පිරිසක් ගල් අමුණේ ඉදලා පයින් ‘‘මහකැබිලිත්ත’’ බලා ගිහිං තියනවා. අතරමගදී මේ අය කුලූහරක් රංචුවකට මැදිවෙලා. ගිය අය ජිවිත බේරාගත්තත් අරගෙනගිය හට්ටිමුට්ටි, ඇතුලූ සියලූ ද්‍රව්‍ය කළුහරක් විනාශකරලා. පස්සේ හොයලා බලන කොට ඒඅය අතරින් එක්කෙන් ඉදලා තියනවා අපිරිසුදුව. ඒ අය දේවාල ගමන නවත්වලා ආපසු ඇවිත් තියනවා.’’ ‘‘මහකැබිල්ත්තේ’’ යාතිකා කරන්නට ස්ථිර වශයෙන් නැවතීමට හිතාගෙන ආ තැනැත්තකුට වු අකරතැබ්බක් ගුණසිංහ මහතා හෙළි කළේ මෙසේය. ‘‘මේ සිදුවීම හැට ගණන්වල වුණේ. එතකොට මේවා මහ මුකලන්. මෙතන ‘‘මහසියඹලාව’’ ළග කවුද කෙනෙක් ඇවිත් ගෙයක් එහෙම හදාගෙන දෙවියන්ට යාතිකා කරන්න, පූජා සදහා එන අයට උදව්වෙන්න සූදානම්වෙලා. ටිකදවසක් ඉදලා. එකදවසක් එයා ළග තියන කුඹුකන්ඔයට නාන්න ගිහිං තියනවා. නාලා එන කොට දළ ඇතෙක් ඇවිත් අර හදපු ගේ කඩාදාලා, එක කණුවක් විතර ඉතුරු කරලා. මනුස්සයාට කරදරයක් කරලා නෑ. එදාම මිනිහා මහ සියඹලාවෙන් යන්න ගිහිං.’’ ‘‘මෙතන ගෙඟන් එගොඩ මෙගොඩ බෝධින් දෙනමක් වැඩ ඉන්නවා. යන එන අපි බෝධි වන්දනා කරලා පන්සිල් අරන් දෙවියන්ට පින්දෙනවා. යාල කලාප අංක තුනේ මේ සියඹලා රුප්පාව තියෙන්නේ. මෙතන කාලි මැණියෝ වැඩ ඉන්න බවටත් විශ්වාස තියනවා. මේ අසල දිවුරුම්ගල කියලා එකක් තියනවා. ඒ කාලේ වැරදි කරපු අය මේ ගලේ දිව්රන්න බය නැති වුණොත් වරදකරුවෙක් විදියට සලකන්නේ නෑ. වැරදි කරපු අය බොරුවට දිව්රුවොත් දඩුවම් ලැබෙනවා කියලා විශ්වාසයක් තියනවා. ඒනිසා කවුරුත් යමක් හොරකම් කරලා තිබිලා සැකකරන කෙනා ළගට ගිහින් දිවුරුම් ගලට ගිහිං දිවුරන්න කිව්වොත් ඒක නොකර හොරකම් කළ දෙය ආපසු දෙනවා. හොරු දිවුරුම්ගලට ඒතරමට බයයි’’. ගුණසිංහ මහතා කීවේය. කතරගම දෙවියන්ගේ අඩවියේ වනගත ප‍්‍රදේශවල කර ඇතැම් ගොවිතැන් කටයුතු වලදී ‘‘කිලි’’වලට අසුනොවී කටයුතු කිරිමට වගබලා ගැනීම පැරැුණියන්ගේ සිරිතක්ව තිබුණ බව පැහැදිලි වෙයි. වන මෘගයන් වෙසෙන ඝන කැලෑවේ කළ වගා කතරගම දෙවියන් විසින් ආරක්‍ෂා කරදෙන ලද බව ඔවුන්ගේ විශ්වාසයයි. අතීත ‘‘කුමණ’’ ගම්මානයේ වැසියන් සියවගාබිම් ආරක්‍ෂා කළේ දෙවියන්ට බාර කිරීමෙනි. කුඹුරු අස්වද්දන සමයේ අස්වනු නෙළනතෙක් කාන්තාවක් කුඹුරට නොයන්නීය. ගොවියාද කුඹුරට යන්නේ නම් මස්මාළු ආහාරයට නොගැනීමට වග බලා ගනි. දෙවියන්ගේ පිහිටෙන් වගාවට වනසතුන්ගෙන් හෝ කෘමි සතුන්ගෙන් හානියක් නොවී අස්වැන්න නෙළා ගැනිමට හැකියාවක් ලැබුණු බව පැරැණ්නෝ කියති. අද ‘‘කුමණ’’ ජාතික වනොද්‍යානයට අයත්ව තිබෙන ප‍්‍රදේශයේ බෞද්ධ නටබුන් රාශියක් පවතින බව වනජීවී දෙපාර්තමේන්තු සේවකයෙක් වන බි. ගුණසිංහ මහතා පෙන්වා දෙයි. ඒ තුළ පිහිටි දිවුලානේගොඩ පන්සල නම් ස්ථානයේ තිබු අඩි හයක් උස හිටිබුදු පිළිම වහන්සේ නමක් නිධන් ගැනීමේ අරමුණින් පොඩිකර වනසා තිබේ. ඒ අපරාධය කළ අය හෝ ඔවුන්ගේ පවුල්වල අය අද ජිවතුන් අතර නැති බවත් කිසියම් ආකාරයක අපරාධයකට ලක්ව පවුල් පිටින් ඒ අය සමුල ඝාතනය වු බවත් ගුණසිංහ මහතා කියයි. ‘‘දෙවියන්ට බුදුන්ට හානි කරලා මේ දේව අඩවියේ ඉන්න හම්බවෙන්නේ නෑ. කොයි වෙලාවකහරි ඒවා මෙලොවදීම පටිසන් දෙනවා.’’ රණසිංහ මහතා කීවේය.
අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 මහකැබිලිත්ත දේවාලබිම මහ කැබිලිත්තේ ‘‘සියඹලා රුප්පාව’’ මහකැබිලිත්ත අසල කුඹුකන්ඔය ඉවුරේ ඇති  බෝධීන් වහන්සේ