1   

 

සිත, කය, වචනය යනුවෙන් දොරටු තුනක් පිළිබඳව බුදුසමය උගන්වයි. මිනිසා සමාජය හා සහසම්බන්ධතා පවත්වනු ලබන්නේ මෙම දොරටු තුනෙන් හෝ ඉන් එකකින් හෝ දෙකකින් ය. බුදුසමයේ උගන්වන හැටියට සිත, කය, වචනය යනුවෙන් දොරටු තුනක් දැක්වුව ද එම දොරටු තුනට ඇත්තේ සමාන බලතල නොවේ. එහි බෙදීම වන්නේ සිතට විශේෂ බලතල ද කය සහ  වචනය යන දෙකට සමාන බලතල ද වීමයි. සිත සියල්ලෙහි නායකයාය. සිත පළමුව සිතන සිතිවිල්ල දෙවනුව කටින් එළියට දමයි. මිනිසා කතා කරනවා යයි කියන්නේ එයටය. මිනිසා සිතින් සිතාම කටින් වචන කතා කරයි. සිත පළමුව සිතන සිතිවිල්ල කය දෙවනුව ක්‍රියාත්මක කරයි. මිනිසා සිතින් සිතාම කයින් ක්‍රියා කරයි. තුන් දොරේ ප්‍රධානියා සිතය. කයෙහි ප්‍රධානියා ද සිතය. මිනිසා නැමති ලෝකයේ ප්‍රධානියා ද සිතය. සිත සියල්ලට පෙරටුව ගමන් කරයි. සිතින් සිතාම මිනිසා සියල්ල කරයි. විද්‍යාත්මක ලෝකයේ මොළය යනුවෙන් ද, සාමාන්‍ය සමාජයේ ඔලුව යනුවෙන් ද ආගමික සමාජයේ  මනස යනුවෙන් ද භාවිත කරනු ලබන්නේ සිතය. සිතින් සිතාම බිනීමත් කිරීමත් අයිති වන්නේ සචේතනික ක්‍රියා හැටියටයි. කර්ම විපාක ලැබෙන්නේ එබඳු ක්‍රියාවලට පමණයි. එසේ නොවන ක්‍රියාවලට කර්ම විපාක නොලැබේ. එයට හේතුව ඒවා අචේතනික ක්‍රියා වීමය. කෙනෙකු විසින් කරනු ලබන අචේතනික ක්‍රියාවක් අකුසල කර්මයක් වුව ද එය අකුසල කර්මයක් ලෙස බුදුසමයේ සලකනු ලබන්නේ නැත. අචේතනික ක්‍රියාවක් කුසල කර්මයක් වුව ද එය කුසල කර්මයක් ලෙස බුදුසමයේ සලකනු ලබන්නේ ද නැත. දිව්‍ය ලෝකයට යාමට සහ අපායට යාමට අචේතනික කර්ම හේතු නොවේ.                                                                                                                                                                                                                                                                                                                                                                    

                               SLD_20160612_B012                                                                                                                                               
සිතත් සිතුවිලිත් අතර සම්බන්ධයක් තිබේද?


කෙනෙකුගේ සිතත් ඒ සිතට නැගෙන සිතුවිලිත් අතර සහසම්බන්ධතාවක් තිබේ. සිතිවිලිවලින් තොරව සිතකට පවතින්නට බැරිය. සිතක් නැතිව සිතුවිලි  හටගැනීමක් සිදුවන්නේ ද නැත. ඒ නිසා මේ දෙක අතර සම්බන්ධතාවයක් පවතියි. සිතට සිතුවිලි නැගීමත් පුද්ගලයා සිතන ආකාරයත් අතර ද සම්බන්ධතාවක් පවතින බව ඒ ගැන සියුම්ව පරීක්ෂා කර බලන විට දක්නට ලැබේ. එනම්, සිතට සිතූවිලි නැගෙන්නේ තමන් සිතන ආකාරයට අනුවයි. තමන් සිතන විදිහට සිත විසින් සැනින් අදහස් ගෙන දෙනු ලබයි. තමන් කෙනෙකු දෙස වෛරයෙන් බැලුවහොත් වෛර සිතුවිලි ද, මාන්නයෙන් බැලුවහොත් මාන්න සිතුවිලි ද, රාගයෙන් බැලුවහොත් රාග සිතුවිලි ද සැනින් තමාට සිත ගෙනැවිත් දෙන්නේ ඒ නිසාය. බොහෝ විට මිනිසා ඒ බව දන්නේ නැත. මිනිසා බොහෝ විට දන්නේ දෙවෙනි අවස්ථාවයි. එනම්, මිනිසා වැඩ කරන්නේ තමන්ගේ හිතට සිතෙන විදියටයි. සිත සහ සිතුවිලි අතර පවතින සම්බන්ධතාව හරිම අසිරිමත්ය. තමන් සිතන විදිහට සිතට නැගෙන සිතුවිලි සිත වටකර හැසිරෙන විදිය ද හරිම අසිරිමත්ය. ඇතැම් සිතුවිලි චණ්ඩ ද පරුෂ ද රෞද්‍ර ද වෙයි. ඇතැම් සිතුවිලි සෞම්‍ය ද පියකරු ද සොඳුරු ද වෙයි. චණ්ඩ ද පරුෂ ද රෞද්‍ර ද සිතුවිලි මනස අවුල් අපිළිවෙල කරයි. මනස අපිළිවෙළ කරනු ලබන්නේ මනසෙහිම හටගත් සිතුවිලි විසින්ය. එබඳු සිතුවිලි මනසේ හටගනු ලැබුවේ ඒ විදියට සිතූ නිසාය. සෞම්‍ය ද පියකරු ද සොඳුරු ද සිතුවිලි විසින් සිත තැන්පත් කරවයි. සිතෙහි තරහ නිවයි. කේන්තිය නැති කරයි. සිතට සැහැල්ලුව අරගෙන එයි. එබඳු සහනයක් සිතට දැනෙන්නේ එසේ සිතූ නිසාය.

 


ඉවසීම ජීවිතයට අත්‍යවශ්‍ය වන්නේද?  


“ඉවසීමෙන් සැනසිල්ල ලැබේ” “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” යන කියමන් දුටු සැණින් “ඕවා අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ කතා. ඒවා දැන් යුගයට හරියන්නේ නැහැ” යි යන සිතුවිල්ල ඔබගේ හිතට එකවරම නැඟුණා නේ ද? හිතේ හැටි එහෙමයි. යමක් කියූ සැණින් පෙර අසා පුරුදු දෙයක් නම් එය අවලංගු කර දමන්නට ඉක්මන් වෙයි. අසා නැති නොදන්නා දෙයක් නම් “ඕවා අපට වැටහෙන්නේ නැහැ” යනුවෙන් ඉක්මන් තීරණ ලබා දෙයි. කොතරම් තාක්ෂණික උපකරණ නිපදවූවත් ඒ තුළින් මොනතරම් ඉක්මනට තීරණ ගන්න හුරුකෙරුවත් හිත ඊට වඩා ඉක්මන්.

11-pg10-d--taks--pgs
ඒ නිසා ම නොවේ ද ඕවා පරණ කතා කියන අදහස තීරණයක් විදිහට අරගෙන දුන්නේ. එම පිළිගැනීමේම නොසිට තවත් ඔබ්බට යමක් හිතන්නට නො වෙහෙසෙන්නේ ඇයි? ඒවා ගැන හිත හිතා මිඩංගු කර දමන්න කාලය නැති හින්ද ද, නැත්නම් එයට වඩා වටිනා දේවල් ගැන සිත යොමු කරලා නවීන තාක්ෂණික හෙට දවසට පලක් ප්‍රයෝජනයක් නැති හින්ද ද? ඇත්තට ම ඇයි එහෙම හිතන්නේ? ඔබ දවසක් ඉවසන්නට ගොසින් සිදු වුණු එකම ලාභයක්වත් මතක නැද්ද? ඔබගේ හිත මෙතරම් අකාරුණික වෙන්නේ ඇයි? ඇත්තට ම ඉවසීමෙන් ලැබූ ජයක් නැද්ද? ඔබේ ජීවිතය ගැන ඔබ දන්න තොරතුරුවලට අනුව ඉවසීම ජයග්‍රහණ කරා යන ඔබේ ජීවිතයට අවශ්‍යද? එහෙම නැත්නම් අත්‍යවශ්‍යද? අනවශ්‍යද?


දැන් මතකයට ටික ටික එන හැටි. ඉස්සර නං මං කොච්චර ඉවසන කෙනෙක් ද? දැන්නම් ඉවසීම බින්දුවට ම බැහැලා. ඒ තත්ත්වයට පත් වෙලා ඉන්න හින්ද නේ ද ඕවා යල් පැන ගිය ඒවා කියලා හිතුණේ. ඉස්සර ඉවසීමෙන් දිනූ ජීවන දිනුම්වලින් සොළොසින් එකක් තරම්වත් දැන් ලැබෙනවා ද, ඉවසීම නිෂ්ඵල ක්‍රියාවක් ය කියලා කියන්නේ එය නැති මිනිස්සු. ඒවායේ ඇති හරයක් නැහැ. තියෙන තරම් තියෙන්නේ මුසාවයි. මුළාවයි. කියලා හිතන කොටත් එහි ආනිසංස හිතට ලැබෙනවා නේ ද? ශරීරය තුළ ඇති සැහැල්ලුව මොනතරම් ද? මං හදිස්සි වුණා වැඩියි. අපරාදෙ ඉක්මන් වුණා. දැන් බලන්න ඔබගේ හිත ඔබටත් එරෙහිව යහපත් සිතුවිලි අරගෙන දෙන හැටි. ඒවායේ ගුණ මෙනෙහි කරවන්නට හුරු පුරුදු කරවන්නට වෙර දරන හැටි.
වරද දැක දැක එයම කළේ ඇයි?


සමහර වෙලාවට තමා ඉන්න ස්ථාවරය වැරදි බව වැටහුණත් ඉන් මිදෙන්න කල්පනා කරන්න හිත ඉඩ නොදෙන  හැටි. මං මේ තීරණය වෙනස් කළොත් හොඳ නැහැ. එය ලජ්ජාවට කරුණක්. නිවැරදි දෙය දැක දැකත් වැරදි දෙයෙහි ම එල්බ ගන්න හිත වලි කන අපූරුව.


හොඳයි හොඳ දේ                   නම්
නරකයි නරක දේ                  නම්
හොඳට පවතී                        නම්
හොඳයි හොඳ සිරිතේ යෙදේ        නම්


නරක අයහපත් දෙය ඔබ කළත් වෙන කෙනෙකු කළත් නරක ම මිස යහපතක් නො වෙයි. එබැවින් යෙදිය යුත්තේ ද, සිතිය යුත්තේ ද, සිටිය යුත්තේ ද හොඳ සිරිතෙහි ය. එම පක්ෂයෙහිමත්, තමා කොතරම් හොඳට සිටියත් සමාජය තමාට ලබා දෙන්නේ අයහපතක් ම නේ ද? හොඳ අයට ම ඇයි විපත්ති වෙන්නේ කියලත් ඔබට සිතුණා නේ ද? එහෙම කල්පනා වූ අවස්ථාවක් පිළිබඳව මෙනෙහි කරන්න. අනිවාර්යෙන් ම ඔබට පාඩුවක් හෝ අලාභයක් ඒ වෙලාවේ සිදුවන්නට ඇති. ඒකයි එහෙම කල්පනාවට ආවේ. අන්‍ය කෙනෙකුට දැන හෝ නොදැන වරදක් කළ විට හෝ ඉන් පසුව ඒ අදහස් එලෙසින් ම සිතට එන්නත් තිබුණා නේද? ඇයි එහෙම නොවුණේ? ඒකට හේතු තියෙනවා. ඒ තමයි තමාට වාසි සහගත යහපත් දෙය ම ලැබීම පිළිබඳ හිත යට ඇති කරගෙන, හිතට හුරු කළ සාවද්‍ය අදහස. ඒ සිතුවිල්ල අයින් කර නොගන්නා තුරු ඔබට එහෙම කල්පනාවට ඒවි. හොඳ මිනිසුන්ට ම යි විපත්ති වෙන්නේ කියලා. එය එහෙම නොවෙයි. අයහපත් කරන අයටයි ඒවා ඇහෙන්නේ. යහපතෙහි නිරත වුණු අයටයි එම ප්‍රතිඵල ලැබෙන්නේ. ඔබ පටු විදියට හිතන්න, හුරුපුරුදු වුණේ කවදා ඉඳලා ද? හොඳයි හොඳ දේ නම් කියලා කියන්නේ ඇයි කියලා හිතන්න බැරි ඔබේ හිත ඔබට යහපතක් අත්කර දෙයි කියලා හිතනවා ද? ඉවසීමෙන් ලැබූ ජයග්‍රහණ මෙතරම් තියෙද්දිත් ඕවා යල් පැන ගිය පරණ කතා කියලා තීරණයකට බැස්සේ එම නිස යි.

 


වරදෙහි විපාකය බරපතළයි


නිවැරදි දේ සිතුවහම ඒවා ක්‍රියාවට පෙරළුවහම එයින් යහපතක් වෙනවාය කියන විශ්වාසය පළමු ව ඇතිකර ගැනීම වැදගත්, අනතුරුව එබඳු දේ දිගින් දිගට ම කරන්න පුරුදු වෙන්න. අතින් පාඩු කරගෙන ඒවා කරන්න කියල ම නොවෙයි  මේ කියන්නේ. තමන්ට අලාභයක් නොවන විදිහේ යහපතක් සමාජයට කරන්න. එවිට හිත සැහැල්ලු වෙනවා. තමන් කළ යහපත නිසා අන්‍යයන්ගේ සම්භාවනාවට පත් වෙන්න ඕනැය කියලවත් එහි ක්‍රියාවේ ප්‍රතිඵලය ඉක්මනින් ලැබෙන්න ඕනැ ය කියලවත් හිතන්න යන්න එපා. ලැබෙන දෙය ලැබේවි. කරන දෙය කරන්න. ඒක තමයි යහපත් මිනිසාගේ හැටි. ඔබ යහපත් කෙනෙකු යැයි අවංකව හිතන්නට තරම් හේතු තියෙනවා ද? නැහැනේ ද? ඔබ කළ දේ දන්නේ ඔබ ම නොවේ ද? ඒත් හැම වෙලාවෙ ම වැරදි නැති මිනිස්සු තෝරන්න වලි කන්නේ ඇයි? එහෙම අය ඉස්සර හිටියට දැන් සමාජයේ නැහැයි කියල දුක් වෙන්න අවසර ගත්තේ කාගෙන් ද? තමගේ යහගති ගැන නොහිතා අනුන්ගේ පව් දුර්ගතිවලට මෙතරම් ඇයි තැවෙන්නේ? ටිකක් ඉවසන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ, එය තමා තුළින් ම ඇරඹුවොත් පමණයි. ඉවසන දනා රුපු යුදයට පමණක් නොවෙයි තමාට ම ද ජය කොඩියක් වෙන අයුරු බලා තමාට ම පළමු ව කොඩිය දා ගන්න පු`ඵවන් වේවි.

 


හදිස්සියට කෙරුණු වරදට දැන් දුක් වෙනවද?


කේන්ති යන අය ගැන අධ්‍යයනය කර බලනවිට පෙනෙන්නේ කේන්තිය  විවිධ බවයි. ඇතැම් අයට ඉක්මණින් කේන්ති යනවා ඉක්මණින් කේන්තිය නිවෙනවා. ඒත් කේන්ති ගිය මොහොතේ කළ ක්‍රියා නිසා කේන්ති නිවුණ පසුවත් දුක් වෙනවා. කේන්තිය සර්ප හිසක් වගෙයි. කේන්තිය මනසට මෙන් ම සිරුරට ද අරගෙන එන්නේ දුකක්. එක දවසකට කී පාරක් මේ දවස්වල ඔබට කේන්ති යනවා ද? හැම දෙයට ම කේන්ති යනව ද? එහෙම නැත්නම් කේන්ති යන විශේෂ වෙලාවල් එහෙම තියෙනවා ද? කේන්ති ගත්තේ නැත්නම් කෑවෙ නැහැ වගේද? කේන්ති නොගත්තොත් තමන්ට හරි නැහැ කියල හිතෙනවා ද? කේන්ති ගැනීම ඔබේ පෞරුෂයේ උසස් ගූණයක්ය කියල හිතෙනවා ද? හිතට කේන්ති අරගෙන ඔබ ඔබේ වීරකමක් සමාජයට පෙන්වනවා කියලා හිතනවාද?

 


ඉවසීමටත් සීමාවක් තිබෙනවාද? එහෙම එකක් නැද්ද?


ඉවසීමටත් සීමාවක් තිබෙනවා. ඇයි මං මෙච්චර ඉවසන්නේ. මෙහෙම ඉවසුවහම මිනිස්සු හිතනවා අපි නිවටයෝය කියලා යි ඇතැමුන් මෙහෙම කියනු බොහෝ වෙලාවට ඔබත් අසා ඇති. බොහෝවිට මෙහෙම කියන්නේ කුකුල් කේන්ති කාරයෝ. ඒ කියන්නේ ඉවසීමක් ඇත්තේ ම නැති අය. ජීවිතයේ අතීතයට ආවර්ජනය කරල බලන විට ඉවසීමෙන් ජයගත්ත එකම එක සිද්ධියක්වත් ඔවුන්ගේ ජීවිතවල නොමැති බව පෙනෙනවා. ඉවසීමට සීමාමායිම් සොයන්නේ මෝඩ මිනිස්සු. හැම දෙයට ම සීමාමායිම් තිබුණත් ඉවසීමට එහෙම එකක් නෑ. ඉවසීම කියල කියන්නේ මානව ගුණ ධර්මයක්. ඉවසල ඉවසල බැරිම තැනදිත් ඉවසීමයි ඉවසීම කියල කියන්නේ.

m