IMG-LOGO

2024 අප්‍රේල් මස 12 වන සිකුරාදා


සමාජය කළඹන ළමා හිංසන

පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන කොපමණ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ ගණන් හදා තිබේ දැයි නොදනිමි. අසන්නට දකින්නට ලැබුණු ඒ වාර්තා සංඛ්‍යාව සුළු සංඛ්‍යාවක් නම් නොවේ. එසේමුත්, පාසල් ඇසුරෙහි ළමයින්ට සිදුවන හිංසන, අතවර, අපචාර, අපයෝජන සියල්ල වාර්තා නොවන බවත්, වාර්තා වන්නේ අඩු සංඛ්‍යාවක් බවත් කවුරුත් දනිති.

මේ අපරාධ කොටස් දෙකක් ලෙස වෙන් කරගත හැකිය. දැනට වැඩියෙන් කතාබහට ලක්වන ළමයින්ට කෙරෙන ශාරීරික පහරදීම් එක කොටසකි. “දඬුවම්” ලෙස පහරදීම් පාසලෙහි ගුරුවර ගුරුවරියන් විසින් විවෘතව කරනු ලබන්නකි. දෙවැන්න, ලිංගික අපයෝජන හා අපචාරය. ඒවා කෙරෙන්නේ අනෙකුන්ට වසන් කරමිනි. ඇතැම් අවස්ථාවල මේ දෙක අතර සම්බන්ධයන් ද ඇත.

ශීඝ්‍රයෙන් වර්ධනය වන එවැනි හිංසාකාරී පීඩක පසුබිමක ජයවර්ධනපුර විදුහලක 8 වැනි ශ්‍රේණියෙහි ළමයින්ගේ මවුපියන් වෙත යොමු කරනු ලැබූ ශිෂ්‍ය තොරතුරු ලබා ගැනීමේ පත්‍රිකාවක් සමාජ මාධ්‍ය ජාලාවල මීට ටික දිනකට පෙර ශීඝ්‍රයෙන් බෙදා ගැනුණි. ඊට හේතු වූයේ, “දරුවා යහමගට ගැනීමට ගුරුවරයා දඬුවම් කිරීම අනුමත කරමි/ නොකරමි” යන්නට එහි මවුපිය ප්‍රතිචාර ඉල්ලා සිටීමය.

පාසල් ළමයින් සම්බන්ධයෙන් මෙය අතිශය බරපතළ කාරණාවකි. “යහමගට ගැනීම” යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? “දඬුවම” යනු කුමක් ද? ඒවා ගැන පැහැදිලි අදහසක් විධිමත් අධ්‍යාපනයෙහි නැත. මාතර දිස්ත්‍රික්කයේ පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකුට චිත්‍ර ගුරුවරයා කන් අඩිය තුවාල වන තරමට පහර දුන් සිද්ධිය මවුපියන් විසින් දරුවාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබූ පෙත්සම විභාගයෙහිදී වගඋත්තරකාර එකී ගුරුවරයා වරදකරු කරමින් 2021 පෙබරවාරි 12 වැනිදා තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කියා තිබුණු කාරණා කිහිපය අතිශය වැදගත්ය.

ඔවුන් සඳහන් කළ අයුරු වෛද්‍ය නිරීක්ෂණවලට අනුව ශිෂ්‍යයාට ජීවිතාන්තය දක්වා වන හානිය සැලකීමේදී කලාපීය අධ්‍යක්ෂ විසින් චූදිත ගුරුවරයා පාසලේ විනය කමිටුවෙන් ඉවත් කර නැවත එවැනි දඬුවම් නොකළ යුතු යැයි ඔහුට අවවාද කරනු ලැබීම කිසිසේත් ප්‍රමාණවත් නොවන්නකි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ වඩාත්ම වැදගත් කියවීම වන්නේ, ළමයින් ප්‍රචණ්ඩකාරී නොවන හා විනයානුකූලව හැසිරෙන ළමයින් බවට පත් කිරීමට, ගුරුවරුන් එම ශිෂ්ට චර්යා තමන් තුළ පළමුව වර්ධනය කරගත යුතු යැයි තැබූ සටහනය.

පාසල් සිසු සිසුවියන් සම්බන්ධ දඬුවම් ගැන කතා කිරීමේදී පළමුව තේරුම් ගත යුත්තේ, එය ශාරීරික හෝ මානසික හෝ හිංසනයක් නොවිය යුතු බවය. තමා කළ දේ වරදක් යැයි හේතු ඇතිව පිළිගැනීමට ළමයා දැනුවත් කිරීම වැදගත්ම කාරණාව වන්නේය. දරුවන් ලවාම ඔවුන්ගේ වැරැදි හිංසනයෙන් තොරව නිවැරැදි කරවා ගන්නා ඉවසිලිමත් ක්‍රියාවලියකට ඉඩ ඇත්තේ ගුරු හා විදුහල්පති සේවා ප්‍රබුද්ධ විනීත සේවා වන්නේ නම් පමණි. අවාසනාව, එවැනි ගුරු හා විදුහල්පති සේවා මේ රටේ නොතිබීමෙහිය. අතින් පයින්, පුටු කකුල්, කොසු මිටිවලින් පවා ළමයින්ට පහර දෙන ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ගැන කතා කරන්නට සිදුව ඇත්තේ ඔවුන්ගේ අන්ත පිරිහීම හේතුවෙන්ය. පාසල්වල සිසුන්ට දඬුවම් කිරීම පිළිබඳව සමාජ කතිකාවක අවශ්‍යතාව ඇත්තේ ද ප්‍රබුද්ධ විනීත විදුහල්පති හා ගුරු සේවාවක් නොමැති වීම සහ බහුතරයක් මවුපියන් සතු හිංසාකාරී ආකල්ප ද නිසාවෙනි. ඇතැම් මවුපියන් පාසලට පැමිණ කියන්නේ, “ගහලා හෝ ළමයා හදා දෙන්න” යැයි කියාය.

නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ සාමාන්‍ය අදහස වන්නේ, ළමයින්ට දඬුවමක් ලෙස තීන්දු කෙරෙන ශාරීරික හිංසනය (Corporal Punishment) ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කෙරුණක් බවය. එහෙත්, තමන්ගේ දරුවන්ට එසේ දඬුවම් කිරීමේ අයිතිය මවුපියන් වශයෙන් තමන්ට තිබිය යුතු යැයි සහ එය ගුරුවරුන්ට පැවැරිය හැකි යැයි ඔවුහු විශ්වාස කරති. ළමයින්ට එරෙහිව දඬුවමක් ලෙස තීන්දු කෙරෙන ශාරීරික හිංසනය ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් යැයි අදහසක් ඇත්තේ 1991 දී ශ්‍රී ලංකාව “එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය” අත්සන් තැබීම හේතුවෙනි. එහෙත්, එවැන්නක් නිවෙසට හා පාසලට අදාළ නැත. එකී ප්‍රඥප්තියට අනුව සහ යුනිසෙෆ් ආයතනය ශාරීරික හා මානසික හිංසනය අර්ථ ගන්වා ඇති ආකාරයෙන් අපේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කළ යුතු වුවත්, සංශෝධනය කර නැත.

නීතිමය වශයෙන් යටත් විජිත පාලන සමයේ සිට 2002 වසර දක්වා 35 වාරයක් පමණ සංශෝධනය කෙරුණු 1883 අංක 02 දරන දණ්ඩ නීති සංග්‍රහයෙහි 82 වැනි කොටසට අනුව, වයස අවුරුදු 12ට අඩු දරුවකුට හෝ මානසිකව රෝගී අයකුට යහපත් චේතනාවෙන් හෝ භාරකරුගේ අනුමැතිය ඇතිව කෙරෙන හිංසාකාරී ශාරීරික දඬුවම්, නීතිය හමුවේ වරදක් නොවන බවට සඳහන්ව ඇත. එහි ඇති වඩාත්ම බරපතළ අවසරය නම්, 341 වැනි කොටස යටතේ සහ 1939 ළමා හා තරුණ පුද්ගලයන් පිළිබඳ ආඥා පනතෙහි 71 (6) වගන්තිය යටතේ විකල්ප භාරකාර සේවා හා ළමාරක්ෂක මධ්‍යස්ථානවල හිංසාකාරී ශාරීරික දඬුවම් නීතියට පටහැනි නොවීමය. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයෙහි “පිළිගත හැකි බලයක් යෙදීම” අර්ථ දැක්වීමේදී පාසල්වල හිංසාකාරී ශාරීරික දඬුවම් තහනම් නොවන්නේය. ළමාරක්ෂක මධ්‍යස්ථාන සඳහා 2013 දී සැකසුණු මාර්ගෝපදේශවලට හා ප්‍රමිතීන්ට අනුව ළමා නිවාස, නේවාසිකාගාර සහ ළමාරක්ෂක මධ්‍යස්ථානවල හිංසාකාරී ශාරීරික දඬුවම් තහනම් කර ඇති නමුත්, එය නීතිමය ලේඛනයක් නොවන්නේය. මෙතෙක් කිසිදු ආණ්ඩුවක් සියලු ආකාරයේ ළමා හිංසන නතර කිරීමට සහ නිවෙස, පාසල ඇතුළු සියලු ස්ථානවල සහ සියලු සන්දර්භයන්හි හිංසාකාරී ශාරීරික දඬුවම් තහනම් කිරීමට ගෙන ඇත්තේ හුදෙක් ප්‍රදර්ශනාත්මක පියවර පමණි.

ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි හිංසාකාරී ශාරීරික දඬුවම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ 28 වැනි විශ්ව කාලාන්තර සමාලෝචන සැසි වාරයෙහිදී ඉස්මතු වූ ප්‍රධානම කාරණාව වූයේ, ලෝක ළමා අයිතීන් පිළිබඳ කමිටුව, වධ බන්ධනවලට එරෙහි කමිටුව සහ මානව අයිතිවාසිකම් පිළිබඳ කමිටුව විසින් ළමයින්ට එරෙහි හිංසාකාරී ශාරීරික දඬුවම් සහමුලින් තහනම් කරන ලෙස නිරන්තරව නිර්දේශ කළ ද, එය සිදුව නොමැති බවය. ඒ අනුව, 2017 මාර්තු සමාලෝචන සැසි වාරයෙහි විශේෂ අවධාරණයක් සහිතව සඳහන් කෙරුණේ. “ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි හිංසාකාරී ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් පවතින නෛතික අවසරය ගැන ක්‍රියාකාරී කමිටුව සිය කනස්සල්ල හා නොසතුට සටහන් කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. මෙම කාරණාව 2017 සමාලෝචන සැසි වාරයෙහිදී සාමාජික රටවල් විසින් ඉස්මතු කරනු ඇතැයි ද අපි බලාපොරොත්තු වන්නෙමු. ඒ අනුව, ළමයින්ට එරෙහි හිංසාකාරී ශාරීරික දඬුවම් කිරීම් නිවෙස් ඇතුළු සියලු ස්ථානවල සහමුලින් තහනම් කළ යුතු බවටත්, එවැනි දඬුවම් සඳහා ඉතිරිව ඇති සියලු නෛතික ප්‍රතිපාදන ඉවත් කළ යුතු බවටත් විශේෂ නිර්දේශයක් සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු” කියාය.

මෙවැනි ජාත්‍යන්තර සමුළුවලදී ලෝකයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සම්මතයන්ට අනුව විවිධ කෙටුම්පත් සම්පාදනය කිරීමට නොයෙකුත් විශේෂඥ කමිටු පත් කිරීම ලාංකීය පුරුද්දකි. ශ්‍රී ලංකාවේ නීති සියල්ල ළමා අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකූල වන අයුරු සකස් කළ යුතු යැයි වූ 2008 පැවැති විශ්ව කාලාන්තර සමාලෝචන සැසි වාරයෙහි ඉදිරිපත් කෙරුණු නිර්දේශය ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තකි. ළමා හා තරුණ පුද්ගලයන් පිළිබඳ ආඥා පනත ඉවත් කරමින් “ළමා (නෛතික ආරක්ෂක) පනතක්” සම්මත කිරීමට පියවර ගන්නා බව 2012 පැවැති විශ්ව කාලාන්තර සමාලෝචන සැසි වාරයෙන් පසු ශ්‍රී ලංකාණ්ඩුව පවසා තිබුණ ද, මෙතෙක් එවැන්නක් සිදුව නැත. ඒ වගේම “ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ගෝලීය හවුල්කරුවකු” වශයෙන් 2016 වන විට ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කරන බවටත්, 2030 වන විට ළමයින්ට එරෙහි හිංසාකාරී ශාරීරික දඬුවම් සහමුලින් නෛතිකව අත්හිටුවීමටත් ශ්‍රී ලංකාව ප්‍රතිඥා දී ඇත.

ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාණ්ඩුව එවැනි බොහෝ පොරොන්දු ලබා දී ඇත. 2017 සිට 2022 දක්වා වන “ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම” වැනි කෙටුම්පත් යහපාලන ආණ්ඩුව සමයෙහි කැබිනට් අනුමැතියට ද ඉදිරිපත් කර ඇත. ඉතා විශිෂ්ට අධ්‍යාපන විශේෂඥවරියක ලෙස හඳුන්වනු ලැබ, අධ්‍යාපන අමාත්‍යාංශයෙහි ලේකම් වශයෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින් පත්කරනු ලැබූ වෛද්‍ය ටාරා ද මැල් විසින් 2005 මැයි මස 11 වැනිදා නිකුත් කරනු ලැබූ 2005/17 අංක දරන “පාසල තුළ විනය ආරක්ෂා කිරීම” මැයෙන් වන පිටු 4ක චක්‍රලේඛය ද අනෙක්වා මෙන්ම ප්‍රෝඩාවකි. එහි බොහෝ දේ සඳහන්ව ඇත. එහි ඇති පැහැදිලි කිරීම්, විස්තර හා නිගමන සමග මතභේද කිසිත් ඇත්තේ ද නැත. ඒ සියලු කතාන්දර සමග ඉන් කියන්නේ “සෑම අවස්ථාවකදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශාරීරික දඬුවම් දීමෙන් වැළකිය යුතුය” කියා පමණි. එමගින් පාසල් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට “ශාරීරික දඬුවම්” ලබා දීම කිසි ලෙසකින් තහනම් කර නැත.

පාසල්වල ශාරීරික දඬුවම් දීම තහනම් නොකර මූලික අයිතිවාසිකම් උල්ලංඝනය, ළමයින්ට කුරිරු ලෙස සැලකීම සහ ආයතන සංග්‍රහය යටතේ විනය ක්‍රියාමාර්ගවලට නතු වීම වැනි වෙනත් නෛතික දඬුවම් ඇතැයි කීමේ වැදගත්කම කුමක් ද? ඒවායේ වලංගු බව ඇත්තේ මවුපියන් විසින් ශාරීරික දඬුවම්වලට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වුවහොත් පමණි. එමගින් ළමයින් ශාරීරික දඬුවම්වලට සහ කුරිරු වධ බන්ධනවලට බඳුන් කිරීමත් තහනම් වන්නේ නැත.

ඉහතින් සඳහන් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙහි පළමු වගඋත්තරකාර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයා වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව ලබා දුන් තීන්දුවට අනුව, “වෙනම පැවැත්මක් ඇත්තන් වශයෙන් ළමයින්ට ඔවුන්ගේම පැවැත්මක් පිළිබඳව අදහසක් සහ ආත්ම ගරුත්වයක් සඳහා වන අයිතියක් ඇත.” ඒ වගේම එහි කියා තිබුණේ, “පහරදීමකට ලක්වූ වැඩිහිටියකුට විසඳුමකට ඇති අයිතිය, පහරදීමකට ලක්වූ බාල වයස්කාර දරුවකුට ඔහු හෝ ඇය බාල වයස්කාරයකු වීම නිසා අහිමි වන්නේ යැයි පිළිගත නොහැක්කකි” යැයි කියාය.

එවැනි පසුබිමක, අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් තුළ ළමයින්ට පහරදීම් තහනම් නොකිරීමට හේතු කිසිත් නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ සරළ පියවරකි. නිවෙස සහ පාසල ඇතුළු සියලු ස්ථානවල සහ සියලු සන්දර්භවල ළමයින්ට එරෙහි හිංසාකාරී ශාරීරික දඬුවම් තහනම් කෙරෙන ලෙස දණ්ඩ නීති සංග්‍රහයෙහි 82 වැනි සහ 341 වැනි කොටසත්, 1939 ළමා හා තරුණ පුද්ගලයන් පිළිබඳ ආඥා පනතෙහි 71 (6) වැනි වගන්තියත් සංශෝධනය කිරීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමය. ළමා හිංසනයට එරෙහි සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුත්තේ ද එවැනි පියවරකි. මේ වන විට එය සියලු දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු සමාජ ඉල්ලීමක් යැයි මම සිතමි.

(*** කුසල් පෙරේරා)



අදහස් (0)

සමාජය කළඹන ළමා හිංසන

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 436 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 58 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 51 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 534 0

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
2024 අප්‍රේල් මස 10 169 0

පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිස


ආර්ථිකය යුගයට ගැලපීම
2024 අප්‍රේල් මස 10 99 0

ණය ආපසු ගෙවීම නතරකර වසර දෙකක් ගත වී තිබේ. දරුණු අර්බුදයකට පත්ව තිබුණ ශ්‍රී ලංකාව තරමක් හිස ඔසවා සිටී. ඉන්ධන, විදුලිය සහ ගෑස් බාධාවකින් තොරව සැපයේ. ජනතාව ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 92 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1331 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1290 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site