2021 මැයි පළමු වැනිද‌ා ‍අපි කම්කරු දිනය නැතහොත් මැයි දිනය සහ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ පියා වූ ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහගේ 130 වැනි ජන්ම දිනයද සමරන්නෙමු. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඒ.ඊ. ගුණසිංහයන්ගේ වෘත්තීය ප්‍රගමනය ආරම්භ කරන ලද්දේ යටත් විජිතවාදයට එරෙහිව සටන් වැදීම සඳහා 1915 මාර්තු 2 වැනිද‌ා ලංකා තරුණ සමාජය පිහිටුවීම මගිනි. යටත්විජිත පාලනයෙන් නිදහස ලබාගැනීම සඳහා සටන් කළ ඉන්දීය ජාතික ව්‍යාපාරයෙන් ආභාෂය ලැබූ ඔහු ‘‘ගාන්ධි සංගමයද’’ පිහිටුවාලූයේය. ලංකා කම්කරු සංගමයද ඔහුගේ අදහසක් අනුව ආරම්භ කරන ලද්දකි. පසුකාලීන ලංකාවේ වෘත්තීය සමිති සහ කම්කරු සංවිධාන පිහිටුවීමේලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලද්දේ ලංකා කම්කරු සංගමයයි. 1915 අගෝස්තු 15 වැනිද‌ා ජාතියේ සුබසිද්ධිය උදෙසා ගුණසිංහ ''The Nation'' සඟරාව ආරම්භ කළේය.

යටත්විජිත රජය 1891 දී පිරිමි වැඩිහිටියකු අවුරුද්දකට රුපියල් දෙකක ඡන්ද බද්දක් ගෙවිය යුතු බවට නියම කළේය. එම මුදල නොගෙවුවන් බද්දේ හිලව්වට එක් දිනක් පාරේ වැඩ කළ යුතු විය. නගර සභාව විසින් අය කළ එම බද්දට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙනගිය ගුණසිංහ, තම ලංකා තරුණ සමාජයේ සාමාජිකයන් බද්ද නොගෙවා ඉන්නට හෝ පාරේ වැඩ නොකර සිටින්නට පෙලඹවූයේය. ඔහුගේ දෘඪතර අධිෂ්ඨානය නිසා පැය අටක් ඇතුළත ඔහුගේ විරෝධතා ව්‍යාපාරයේ සහයෝගයට ජනයා බොහෝ සෙයින් එක් වූහ. එහි ප්‍රතිඵලය වූයේ 1923 එම බද්ද ඉල්ලා අස්කර ගැනීමයි. ඒ අනුව ඡන්ද බද්ද අහෝසි කරවීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකළේ ඔහුය.

1928 ලන්ඩනයේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කම්කරු සම්මේලනයට ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම නිසා ඔහු ජාතික වීරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේය. එසේම 1928 දී ඩොනමෝර් කොමිසමෙන් ලංකාව උදෙසා වැඩිහිටි සර්වජන ඡන්ද බලයද ලබා ගත්තේය. ගුණසිංහගේ දේශපාලන වෘත්තීය ජීවිතය ආරම්භ වන්නේ ලංකා කම්කරු පක්ෂය පිහිටුවීමත් සමගය. පළමුවෙන්ම ලංකා කම්කරු සංගමය ආරම්භ වූයේ 1922 සැප්තැම්බර් 10 වැනිද‌ාය. 1928 ඔක්. 15 වැනිද‌ා ලංකා කම්කරු පක්ෂය සභාපතිවරයා ලෙස ගුණසිංහ අාරම්භ කළේ මහා බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය සමග සම්බන්ධවීමෙන් අනතුරුවය. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයා සහ එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ රැම්සේ මැක්ඩොනල්ඩ් 1926 දී ලංකාවට පැමිණි වේලේ ලංකා කම්කරු ව්‍යාපාරය වෙනුවෙන් ඔහු පිළිගත්තේ ගුණසිංහය.

මින් පෙර සඳහන් කළ පරිදි ගුණසිංහ කම්කරු ව්‍යාපාරය නියෝජනය කරමින් 1928 සර්වජන ඡන්දබලය උදෙසා ඩොනමෝර් කොමිස​ෙම් පෙනී සිටියේය. විශේෂයෙන්ම සර්වජන ඡන්ද බලය ලබාදීම වෙනුවෙන් පෙනීසිටියේ ගුණසිංහ සහ ලංකා කම්කරු පක්ෂයි. එහිදී ලංකා ජාතික කොංග්‍රසය ඊට එකහෙලා විරුද්ධ විය. වසර කිහිපයකට පසු ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය පිරිනැමීමේදී ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකළේ ජාතික කොංග්‍රස් පක්ෂය බව කීමට ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය සභා සැසියකදී නිර්ලජ්ජිත උත්සාහයක් දැරුවේය. එසැණින්ම නැගීසිටි කොල්වින් ආර්.ද සිල්වා ගුණසිංහ දෙසට ඇඟිල්ල දිගු කොට ‘‘ඔබ නොවෙයි එය කළේ මෙතුමා’’ යයි කීවේය.

1931 පැවති රාජ්‍ය සභා මැතිවරණයේදී කම්කරු පක්ෂයෙන් තරග කළ ගුණසිංහ මැදකොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය උදෙසා මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වූයේය. 1936 දීද ඔහු නැවත වරක් එම අසුනට තේරීපත්විය. 1940 දී කොළඹ නගර සභාවට තේරීපත් වුණු ඔහු 1943 දී කොළඹ නගරාධිපතිවරයා බවට පත්විය.

1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් සමන්විත මැද කොළඹ ආසනයේ පළමු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පත්ව එ.ජා.ප. රජයේ සභානායකවරයා බවට පත්වූයේය. එසේම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකගේ නායකත්වයෙන් යුතු එවකට පාර්ලිමේන්තුව හැඳින්වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍ය සහ කාර්ය භාරයක් නිශ්චිත ලෙස නොපැවරූ අමාත්‍යවරයකු ලෙස පත් වූයේය. පසු කලෙක ගුණසිංහ බුරුමයේ සහ ඉන්දුනීසියාවේ ලංකා තානාපති ධුරයට පත් වූයේය.

අවාසනාවකට මෙන් ඒ.ඊ. ගුණසිංහයන් ඒ වන විට එළිපෙහෙළිකර තිබූ දේශපාලන මාර්ගයේ ගිය බොහෝ කොමියුනිස්ට් නායකයෝ තමුන් මනා කම්කරු නායකයින් යැයි එදත් අදත් කියාගනිති. ගුණසිංහයන් වාමාංශිකයකු හෝ දක්ෂිනාංශිකයකු නොවූයේය. හදවතින්ම ප්‍රජාතන්ත්‍රවාදියකු වූ ඔහු කම්කරුවන්ගේ සුබසිද්ධිය උදෙසා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සූර ලෙස මෙහෙය වූයේය. ඒ ආකාරයට ඔහු ඉතිහාසයේ ගමන් මාර්ගය නිර්මාණය කළේය.

ගුණසිංහ ප්‍රයිස් උද්‍යානයේ පැවැත් වූ වෘත්තීය සමිති හා දේශපාලන රැස්වීම්වලට මහා සෙනගක් ඇදී ආවේ ඔහුගේ උද්වේගකර කතා අසාගන්නටය. ගුණසිංහගේ කටයුතු උදෙසා කැපවූ අනුගාමිකයකු හා ලංකා කම්කරු ව්‍යාපාරයේ චතුර කථිකයකු වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමද‌ාස පිටකොටුවේ පිහිටි එම උද්‍යානය ඇතුළු ප්‍රදේශය ‘‘ගුණසිංහ පුරය’’ යනුවෙන් නම් කළේ මෙම කම්කරු නායකයාට උපහාර පිදීම උදෙසාය.

තරුණ දේශපාලන රැස්වීමක් අමතා ප්‍රේමද‌ාස මහතා කතා කරනු දැක, ජාතික නායකයකු බවට පත් වීමේ ඔහුගේ විභවතාව මුලින්ම හඳුනාගන්නේ ගුණසිංහය. ශ්‍රී ලංකාවේ වාර්ගික සහ පන්ති අසමානතාව පදනම් වූ ක්‍රමය තුළ පුද්ගලයා අමතා කතා කිරීමට ප්‍රේමද‌ාසට තිබූ හැකියාව ඔහු හොඳින් දුටුවේය. පසු කලෙක ඒ ඔස්සේ ප්‍රේමද‌ාස මෙරට ජනාධිපතිවරයා බවට පත් වූයේය.
ඔහුගේ මරණය සිදුවී (1967 අගෝ 1 වැනිද‌ා) වසර 57 ක් ගෙවී ඇති අද දවසේ පවා කම්කරු අයිතීන් පවතින්නේ දැඩි මර්දනයක් යටතේය. බ්‍රිතාන්‍යයන් යටතේ සමච්චලයට හා වහල් භාවයට පත්ව සිටි මෙරට කම්කරු ජනයා ඔවුන්ගේ අයිතීන් දිනාගැනීම උදෙසා සාර්ථක ලෙස අරගලය කරා මෙහෙය වූ ඒ.ඊ ගුණසිංහ, දැන් අන්ත තත්ත්වයට වැටී ඇති කම්කරුවා ගැන දැනගත හොත් දැඩි සේ කම්පාවනු නියතය.

කම්කරු බලවේග තවමත් මර්දනයට ලක්වන අතර එසේ වන්නේ ඔවුන්ගේම ජනතාව වෙතිනි. දුප්පතුන් කොන් කිරීමත්, ඔවුන්ට නිගරු කිරීමත් තවමත් සිදුවන බැවින් ඒ හරහා ඔවුනට අසාධරණ වැඩවර්ජනවලටත්, ආර්ථික වශයෙන් හානිකර ක්‍රියාවලටත් සහභාගි වීමට බල කෙරේ. ඔවුන්ගේ දුක්ගැනවිලි වටහාගෙන ඒවාට පිළියම් ලබාදෙන නිසි නායකයකු ඔවුනට නොමැත. දේශපාලන බල අරගලය මැද්දේ ඉත්තන් ලෙස ඔවුන් යොද‌ාගෙන තම ලාභ ප්‍රයෝජන උදෙසා ඔවුන් ඉවහල් කරගෙන ඔවුන් පැත්තකට විසිකර දැමීම නිතර සිදුවේ. වසර ගණනක් තිස්සේ බලයට පැමිණි සියලු දේශපාලන පක්ෂ සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක හා ජාතියක කොඳු නාරටිය වූ කම්කරුවන් නොසලකා හැරීම කරති. ශ්‍රම බළකාය සහ පහළ මැද පන්තිය සුවද‌ායක උසස් ජීවන තත්ත්වයකට හිමිකම් කියන බව ඕනෑම යුරෝපීය රටකට ගිය විට පෙනී යයි. වසර 70 කට අධික කාලයක් ගතවී ඇතත් අපේ ශ්‍රමිකයා තවමත් සිටින්නේ මහා වගුරකය. රාජ්‍ය අංශයෙහිත්, පෞද්ගලික අංශයෙහිත් කඹුරන ඔවුනට හරි හැටි විශ්‍රාම වැටුපක් පවා නැත.

ඒ.ඊ. ගුණසිංහ සටන් කළේ සාධාරණත්වයත්, යුක්තිය හා සද‌ාචාරය උදෙසාත්ය. ඔහු සටන් කළේ මානුෂීය වූ පරිසරයක් කම්කරුවාට ඇතිකරලීම උදෙසාය. එය පක්ෂ පදනම් කොටගත් සටනක් නොවූයේය. පසුගිය දශක ගණනාව පුරාම අවාසනාවකට ඔහුගේ වියෝවෙන් ඇතිවූ  රික්තකය නැවත පුරවා නැත. එසේ වූයේ නම් අපගේ ශ්‍රමිකයන්ට මැද පෙරදිග වහල්කම් කරමින් යහපත් ජීවන තත්ත්වයක් සහ හොඳ වැටුප් සොයායන්නට සිදුනොවනු ඇත. එසේ වූයේ නම් අපේ තේ කම්කරුවන්ට සහ වෙළෙඳ කලාප කම්කරුවන්ට දුක්ඛිත තත්ත්වයේ වැටුප් ලබන්නට සිදුනොවනු ඇත. කම්කරුවන්ට හොඳින් සලකන ඕනෑම සමාගමක් හෝ කම්හලක් සාර්ථක තත්ත්වයේ පවතී.

අද දිනයේ අනුස්මරණය කරන ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පියාණන් ලෙස සැලකෙන ඒ.ඊ. ගුණසිංහ නිදහස් සටනකාමියෙකි. ජාතික වීරයෙකි, සමාජ ක්‍රියාධරයෙකි. දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටි දේශපාලඥයෙකි. ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම මැයි දිනය හෙවත් කම්කරු දිනය පවත්වනු ලැබුවේ. 1927 ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වය යටතේය.

ඡන්ද බද්ද ගෙවීමට අවනත නොවී, ඊට විරෝධය පළකරමින් අතේ කුළු ගෙඩියක් ඇතිව කළු ගලක් කුඩුකර දමන ඉරියව්වෙන් හෙබි ඔහුගේ පිළිරුව ගුණසිංහ පුරට පිවිසෙන ස්ථානයේ ඉදිකර ඇත්තේ ඔහුට උපහාර පිණිසය. සෑම මැයි දිනකම මෙම පිළිරුව මල්මාලාවලින් සරසනු ලැබේ. මේ මහා පුරුෂයාණෝ ශ්‍රී ලාංකිකයන් කෙදිනකවත් අමතක නොකළ යුතුමය.

1972 ඩර්හැම් හි Dake University Press හි ප්‍රකාශනය වූ The Rise of the Labor Movement in Ceylon (ලංකා කම්කරු ව්‍යාපාරයේ නැගීම) නම් කුමාරි ජයවර්ධනගේ පොතේ කරුණු ද මෙම ලිපිය සකස් කිරීමට පාදක කර ගැනිණි.


(***)

යැස්මින් කොච් විසිනි
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ