මීට වසර ගණනාවකට ඉහත දී අනුරාධපුර පළාතේ කනේරු ඇට කා මියගිය පිරිසේ වර්ධනයක් දක්නට ලැබුණි. එදා ඊට කදිම විසඳුමක් කොළඹ බලධාරීහු යෝජනා කළහ. කොළඹින් අනුරාධපුරයට උපදෙස් ලැබුණේ කනේරු ගස් කපා දමන ලෙසය. මේ පිළිබඳ චක්‍රලේඛයක් ද අනුරාධපුර දිසාපති කාර්යාලයට නිකුත් කර තිබූ බවක් ගැන ද එදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

කනේරු ඇට කා  මියයෑම නතර කර ගැනීමට කනේරු ගස් කපාදැමීම විසඳුමක් නම් ජනවාර්ගික වෛරය විසුරුවා හරිනු ලැබූ සමහර “මුහුණු පොත්” අවහිර කිරීමට සමස්ත අන්තර්ජාල පද්ධතියම අඩපණ කිරීම විසඳුමක් ලෙසින් වර්තමානයේ සමහරු කල්පනා කරන්නේ දැයි කියන්න දන්නේ නැත. 

පසුගිය දා නුවර ප්‍රදේශයේ ඇති වූ ජනවාර්ගික ආරවුලට “මුහුණු පොතේ” දායකත්වය බැහැර කළ නොහැකිය. එය බුර බුරා නැගි ජනවාර්ගික ගින්නකට පිදුරු දැමීමක් හා සමානය. ඒ නිසා වෙනත් මාවතක් හෝ ක්‍රියාමාර්ගයක් නොපෙනෙන්නේ නම් පමණක් මුහුණු පොත ඇතුළු අන්තර්ජාලය අවහිර කිරීමට රජය ගත් ක්ෂණික ක්‍රියාමාර්ගයේ වරදක් නොපෙනේ. එහෙත් දැන් එය ගිය දුර සම්බන්ධයෙන් එකඟවිය නොහැකිය. පැය 72ක කාල පරාසයකට නම් වරදක් නොපෙනේ. මේ නිසා ඇතිවීමට ඉඩ තිබූ බරපතළ තත්ත්වය මගහරවා ගැනීමට ද හැකි වූ බව සත්‍යයකි. 

අප ජීවත්වන ගෝලීය පරිසරයට අනුව රටක් වශයෙන් ගත් කල මෙවැන්නක් අවාසිදායකය. මේ වන විට ඊට එරෙහිව පොදු විරෝධතාවයක් මතු වෙමින් පවතී. ආණ්ඩුවේ ඇමැතිවරු අතර ද මේ සම්බන්ධයෙන් එක් මතයක් නොමැති ගානය. ඇඳිරි නීතිය අහෝසිවීමත් සමඟම අන්තර්ජාලයේ අවහිර කිරීම් නතර කරගත්තා නම් යහපත්ය. දැන් ආණ්ඩුව වෙනත් වුවමනාවක් මෙමගින් ඉටුකර ගැනීමට යනවාදෝ යන සැකය මතුවෙමින් පවතී. එය රජයට හොඳක් වන්නේ නැත. 

විශේෂයෙන් ම නවීන ලෝකයේ ගෝලීය පරිසරයක සංවර්ධනය වන්නා වූ රටක් ලෙසින් ශ්‍රී ලංකාව අන්තර් ජාල අවහිර කිරීමකට යා යුත්තේ අපේ දුර්වලකම් නිසාම පැන නගින වෙනත් හේතූන් නිසා වෙන කළ හැකි යමක් නොමැතිකමට යොදා ගන්නා අවසන් තුරුම්පුවක් ලෙසිනි. අද ව්‍යාපාරික ලෝකයේ ආර්ථික කටයුතු විදේශීය රැකියාවල නිරතව සිටින දේශීය ජනයාගේ සම්බන්ධතා සිදු වන්නේ ‘මුහුණු පොත’ හා අන්තර්ජාලය හරහාය. අන්තර්ජාලය හරහා සිදු කරනු ලබන    (“ඔන්ලයින් මාකටින්”) ස්වයං රැකියා ව්‍යාපාරික කටයුතුවල නිරතවන පිරිස ලක්ෂ දෙකක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. 

යහපාලන ආණ්ඩුවක් යටතේ වුවද ශ්‍රී ලංකාවට හදිසි අර්බුදයකදී මේ අයුරින් අන්තර් ජාල අවහිර කිරීමකට යෑමට සිදු වූයේ ඇයි? මේ ගැන සාකච්ඡා කිරීම වැදගත්ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් මේ රටේ බුද්ධි අංශවල කඩාවැටීම නිසාය. පෙට්රල් බෝම්බ නිෂ්පාදනය කරන අයුරු මුහුණු පොතේ හුවමාරු වනතුරුම බුද්ධි අංශ සිටියේ කොහේදැයි කියන්න දන්නේ නැත. ඔවුනගේ බුද්ධිමය රහසිගත සොයාබැලීම්වලට ඒවා හසුනොවීම පුදුමු සහගතය. 
තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල වාර්ගික කලබලවලට සම්බන්ධ යැයි සැක කරන ‘මහසෝන් බලකාය’ නමැති ජාතිවාදී අන්තවාදී සංවිධානය හිටි හැටියේ මතුවූවක් නොවේ.

එම සංවිධානයේ මධ්‍යස්ථානයක් සේ සැලකෙන ස්ථානයක් දිගන ප්‍රදේශයේ එක්තරා හෝටලයක් අසල කලක සිට පවත්වාගෙන යන බව ආරක්ෂක අංශ නොදැන සිටියාද? මීට කලකට පෙර මේ සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලි කළ බව නුවර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය එම්.එච්. සලීම් පසුගිය දා කළ අනාවරණය සෑම මාධ්‍යයක්ම වාර්තා කර තිබුණි. මේ ඊයේ පෙරේදා සෝදිසි මෙහෙයුමකදී පැට්රල් බෝම්බ පවා එම ස්ථානයෙන් හමුවිය. 
අම්පාරේ ‘වඳ පෙත්තෙන්’ නොසන්සුන් වී සිටි සිංහල බෞද්ධ ජන සමාජය මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මානසික වියවුලක පටලවනු ලැබුවේ මෙවන් අන්තවාදී සංවිධාන බව පැහැදිලිය. සමාජ මාධ්‍ය ඒ සඳහා කදිමට උපයෝගී කරගනු ලැබීය. මේ කිසිවක් අපේ බුද්ධි අංශවලට හසු වී නැත.

හලීන් අමාත්‍යවරයා ඇඟිල්ලෙන් ඇන කරනු ලැබූ පැහැදිලි කිරීම් ද ගණන් ගෙන නොමැත. හලීම් කන්ද උඩරට නියෝජනය කරනු ලබන මධ්‍යස්ථ එක්සත් ජාතික පාක්‍ෂික මුස්ලිම් නායකයෙකි. ඒ.සී.එස්. හමීඞ් නමැති කීර්තිමත් විදේශ අමාත්‍යවරයාගේ ඥාතියෙකි. 

එසේ නම් වරද ඇත්තේ කොතැනදැයි පැහැදිලිය. අදාළ අංශ අවබෝධයකින් යුතුව රට වෙනුවෙන් තම රාජකාරිය ඉටුකළා නම් මුහුණු පොතෙන් ජාතිවාදය අවුස්සන පිස්සු හුටංලා අල්ලා ගැනීම එතරම් ප්‍රශ්නයක් නොවනු ඇත. කාට කාටත් ‘මුහුණුපොත’ නියාමනයකට ලක් කළ යුතු යැයි මතක් වී තිබෙන්නේ දැන්ය. එය හරියට ශාරීරික අවශ්‍යතාවක් ඇති වූ පසුව අදාළ කාර්යය ඉටුකර ගැනීමට පිට්ටනි හොයනවා වාගේ වැඩක්ය. මීළඟ කැරැල්ල ඇතිවන තුරුම ඔය කතාකරන නියාමනයද අමතක වී යා හැකිය. 

මේ වන විට අම්පාරේ ‘වඳ පෙත්ත’ පිටිගුලියක් බවට පත්ව තිබේ. රජයේ රස පරීක්‍ෂකවරයාගේ නිගමනයට අනුව නිකම්ම නිකම් පිටිගුලියකි. වෛද්‍යවරුන් ද සඳහන් කරන්නේ එවන් වඳ පෙති නිෂ්පාදනයක් තවමත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කොතැනකවත් දක්නට නොලැබෙන බවය. එසේ නම් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල ප්‍රජාව කුපිත කළ පිරිස් සිදුකර තිබෙන්නේ බරපතළ අපරාධයකි. රටක් අළුදූවිලි කර හැකි ගනයේ අපරාධයකි. අම්පාරේ කඩ ගිනිබත් කරමින් ඇරඹි කැරැල්ල එහි ප්‍රතිඵලයකි. තෙල්දෙණියේ හා දිගනදී දක්නට ලැබුණේ එම නොසන්සුන්තාවයේම තවත් දිගුවකි.

  වාර්ගික සහජීවනය වෙනුවෙන් පෙනී සිටින රජයක් වුවද මේවා සම්බන්ධයෙන් වගේ වගක් නැති ගානට සිටීම පුදුම සහගතය. අම්පාරේ වඳ පෙත්තට අදාළ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවට වුවද එතරම් ප්‍රසිද්ධියක් නොලැබුණි. එය රජයේ මාධ්‍යවල වුවද විශේෂ ප්‍රවෘත්තියක් වූයේ නැත. ඊට වඩා ගායක වික්ටර් රත්නායකගේ භාර්යාව පිළිබඳ තොරතුරු ඔවුනට වැදගත්ය. ආණ්ඩුවේ සමහර මාධ්‍ය ප්‍රධානීන් මේවා සම්බන්ධයෙන් කල්පනා කිරීමට හා සොයා බැලීමට රටේවත් සිටියාදැයි කියන්න දන්නේ නැත. ඔවුන් ද ඒ තරමටම විදේශ සංචාරවලය.

සමස්තයක් වශයෙන් ගත් විට නුවර සිදුවීමේ ආරම්භයත් සමඟ වුවද පොලිසියේ හැසිරීම ප්‍රශ්නකාරීය. “පොලිසිය බලා සිටියදී අපේ කඩවලට ගැහුවා” 

මුස්ලිම් නායකයෝ පසුගියදා තම ප්‍රජාවේ මතය කෙළින්ම මාධ්‍යයට ඉදිරිපත් කළහ. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් චෝදනාව බරපතළය. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරන්නේ මෙවන් ආණ්ඩුවක සිටීම පවා ලජ්ජා සහගත බවය. මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය ද බරපතළය. පොලිසිය කිසිවක් නොකළා යැයි මින් අදහස් නොවේ. එහෙත් මහජන මුදලින් පඩි ලබන ඔවුන් මීට වඩා රට වෙනුවෙන් වගකීම් සහගත විය යුතුව තිබුණි. ආණ්ඩුව පසුගිය සමයේ පොලිසිය සම්බන්ධයෙන් ගනු ලැබූ යම් යම් ක්‍රියාමාර්ග මේ තත්ත්වයට හේතු වූවාදැයි කියන්න දන්නේ නැත. ඒ ගැනත් සොයාබැලීම වැදගත්ය.

1983 කළු ජූලියේ දී හා 2014 බේරුවලදී එවකට පැවැති ආණ්ඩු මෙන් මෙවන් කැරැලිකාර වාර්ගික ආරවුල් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ සම්බන්ධයක් නොමැති බව නම් පැහැදිලිය. එහෙත් ආණ්ඩුවේ හැසිරීම, බුද්ධි අංශවල කඩා වැටීම, ආණ්ඩුවක් වශයෙන් ගත්කල ප්‍රශ්නකාරීය.

මෙවන් පසුබිමක මේ රටේ සුළු ජනයා වුවද අනාගතයේ දී ශක්තිමත් මධ්‍යස්ථව කල්පනා කරන සිංහල බෞද්ධ ජාතිකවාදී නායකයකු පසුපස යෑමට කල්පනා කළහොත් පුදුමවිය යුතු නැත. මේ නිසා සුළු ජනයා හැමදාම අප සමඟ යන සිතුවිල්ලට ඉදිරියේදී ද වටිනාකමක් ලැබෙන්නේ වරදකරුවන්ට දඬුවම් පමුණුවමින් ආණ්ඩුව ගනු ලබන ඍජු තීන්දු තීරණ මතය.

එදා 2014 දී බේරුවල සිදුවීමේ වරදකරුවන් සොයා ගැනීමට පසුගිය පාලනය අපොහොසත් විය. මුස්ලිම් ඡන්ද පදනම හිටපු ජනාධිපතිවරයා හැර යෑමට තීරණාත්මක සාධකයක් වශයෙන් බේරුවල ගැටුම ද එක් හේතුවක් වුණි. අද ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කනගාටුවන බව පෙනේ. ඔහු අද එය දකින්නේ තම රජය යටතේම සිදු වූ කුමන්ත්‍රණයක් ලෙසිනි. එහෙත් කුමන්ත්‍රණකරුවන් හඳුනාගත්තේ නැත. අවසානයේ සියලු කුණු බේරුවල් බොක්කට කියන්නා සේ විධායකයටම බැරවිය. පරීක්‍ෂණයකින් පසු බේරුවල සිදුවීමේ වරදකරුවන් නීතියේ රැහැනට ගෙන ඒමට නොහැකි වීමේ විපාක හිටපු ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් විඳින්නට සිදුවිය. වාර්ගික ප්‍රශ්නවල දේශපාලනයේ හැටි එහෙමය.

වත්මන් රජය යටතේ ද ගිංතොට ගැටුමක් ඇතිවිය. අම්පාරේ ගිනි තැබීම් සිදුවිය. ව්‍යාපාරික ස්ථාන යාන වාහන ගෙවල් fදාරවල් සමඟින් මහනුවර ආරවුලේ සිදුවීම් 462කි. සිදු වූ අලාභහානිවල වන්දිගෙවා සියල්ල යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රී මේ වනවිටත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී ඇත. ඊට අදාළ ප්‍රතිපාදන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැපයීමට නියමිතය. එළඹෙන වෙසක් පෝයට ප්‍රථම සියල්ල යථා තත්ත්වයට පත්කිරීමේ තිර අදිටනක් හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායකයන්ට ඇත. ඉන්පසු ‘සහජීවන වෙසක් සැමරුමකට’ ද ඔවුහු සූදානම් වෙති. හමුදා නායකයෙකු වශයෙන් හමුදාපතිවරයා ඍජු තීන්දු තීරණ ගනිමින් කාටත් ආදර්ශයක් සපයන බව පෙනේ. ඔහු කෙරේ ජාතීන් අතර විශ්වාසයක් ද ගොඩනැඟෙමින් පවතී. කාගෙන් හෝ ආදර්ශයක් ගැනීමට සූදානම් නැති දේශපාලනඥයන් වෙත්නම් හමුදාපති මහේෂ් සේනානායකගෙන් වුවද එවැන්නක් ලබාගත්තාට වරදක් නැත.
 එහෙත් පුනරුත්ථාපනයෙන් පමණක් පෑරී ඇති සිත්සතන් සුවපත් නොවේ. ඊට රටක් වශයෙන් අපට දිගු ගමනක් යා යුතුව ඇත. මෙවන් ඛේදවාචකවල සුල මුල සොයා වරදකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම අත්‍යවශ්‍යය. උපරිම දඬුවම් ලබාදිය හැකි වාතාවරණයක් ඒ සඳහා සැකසීම අත්‍යවශ්‍යය. ජනාධිතිවරයා යෝජනාකරන ජනාධිපති කොමිසම ඊට උපයෝගීකරගත හැකිය.

එසේ නොමැතිව පදනමකින් තොරව විපක්ෂයේ විවිධ පුද්ගලයන්ගේ නම් සඳහන් කරමින් විවිධ දේශපාලන වුවමනා වෙනුවෙන් මේ කරනු ලබන හැංගිමුත්තං සෙල්ලම දැන්වත් නතර කිරීමට කාලය එළැඹ තිබේ. එසේ නොමැතිව එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීමෙන් පලක් නොවේ. බේරුවලින් -ගින්තොටට, ගින්තොටින් අම්පාරට, තෙල්දෙණියට හා දිගනට ඇදීයන මේ වාර්ගික කැරැල්ලට නිසි වගකිව යුත්තන් තවමත් හමුවී නොමැත. ඒ වෙනුවට පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ප්‍රජාවට උරුමව තිබේ. හදිසි නීතිය, ඇදිරි නීතිය හා අන්තර්ජාල අවහිරතා රටට උරුමව ඇත. ඒත් ප්‍රශ්නයට විසඳුමක් හෝ විපතට වගකිව යුත්තන් හා ඊට අදාළ දේශපාලන විසඳුම් පෙනෙනතෙක් මානයක දක්නට නොලැබේ.

පුනරුත්ථාපනයට ප්‍රතිසංස්කරණයට පමණක් ආණ්ඩුවක් අවශ්‍ය නොවේ. ඒ මුදල් හමුදාවට මුදා හැරීමෙන් පසු ඔවුන් ඒ සියල්ල ඉතා ඉහළින් ඉටුකරනු ලබනු ඇත. රටකට ආණ්ඩු අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට නිසි දේශපාලන හා ජාතික මට්ටමේ විසඳුම් සොයා ගැනීමටය. වසර 70 තිස්සේ අප පැහැර හරිමින් සිටින්නේ එම වගකීම බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සම්බන්ධයෙන් මේ රටේ ආණ්ඩුකරන හා දේශපාලනය කරන අය ලැජ්ජා විය යුතුය.