ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය අති විශාල සංඛ්‍යාවක් ඇත. 527 ක් වූ එකී රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය අතරින් 55 ක් උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ඒවා බවට වර්ගීකරණය කර තිබේ. ඒවායේ පමණක් මුළු රාජ්‍ය සේවක ශ්‍රම බලකායෙන් සියයට 10 ක් දෙනා සේවය කරති. එය රටේ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 1.9 පමණ වෙතැයි තවත් අයුරකින් කිව හැකිය. එවැනි විශාල රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසාය සමූහයක් පවත්වා ගැනීම ලෝක සම්මතයට එරෙහිව යන්නකි. 

ඉන්දියාව වැනි බොහෝ රටවල්, ඒ ඒ රටවල රාජ්‍ය ආයතන ප්‍රමාණය අවම කරමින් සිටිති. ඇතැම් විට ඒවා මුළුමනින්ම පෞද්ගලීකරණයට ලක් කරති. මෑතදී Air India ගුවන් සමාගම පෞද්ගලිකකරණයට ලක් කිරීම ඊට එක් උදාහරණයකි. ශ්‍රී ලංකාවේ පවතින බොහෝ රාජ්‍ය ව්‍යවසාය අකාර්යක්‍ෂම, පාඩු ලබන බදු ගෙවන්නන්ට බරක් බවට පත්වූ ඒවාය. ප්‍රධාන රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායයන්  ප්‍රතිව්‍යුහකරණය කිරීමට දැන් කාලය පැමිණ තිබේ.

රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායයක් යනු කුමක්ද? 

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායක් යනුවෙන් සම්ප්‍රදායානුකූලව හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන් යම් රටක රජය සතුව පවතින, රජය විසින් පාලනය කරනු ලබන වාණිජ ආයතනයකි. ශ්‍රී ලංකාවේ නම් ව්‍යවස්ථාපිත ආයතන, නියාමන ආයතන, ප්‍රවර්ධන ආයතන, අධ්‍යාපනික ආයතන, රජයේ සහ සීමිත සමාගම් ආදිය මේවාට අයත් වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමි ව්‍යවසාය සාමාන්‍යයෙන් සංස්ථාපනය කරනුයේ පාර්ලිමේන්තු පනතක් මගිනි. මෑත කාලයේ එවැනි ආයතන ඒ වෙනුවට සමාගම් පනත යටතේද සංස්ථාපනය කර තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය කොටස් තුනකට වර්ග කළ හැකිය. 

උපායමාර්ගිකව රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසාය 55 කි. වාණිජ වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යවසාය 287 කි. වාණිජ නොවන රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසාය 185 කි. ඉන්දියාව වැනි රටවල් තම රාජ්‍ය ආයතනවල ව්‍යාපාර ක්‍රියාකාරකම් අභ්‍යන්තර වශයෙන් විගණනයට ලක් කර, එක් එක් ව්‍යාපාරවල ශේෂ පත්‍රය සහිත වාර්ෂික ගිණුම් වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම කරනු ලබයි. එසේ වුවද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන වැඩිහරියක් මෙවැනි තොරතුරු මහජනයාට හෙළි කරන්නේ නැත. මූල්‍ය තොරතුරු දැන ගැනීමට ඇත්තේ මෙරට රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයනවලින් සියයට 10.4 ක පමණකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායන්ගේ මූලික ගැටලු

බොහෝ අය විශ්වාස කරන පරිදි රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායයන්ගේ වඩාත් වැදගත් වන ගැටලුව දක්ෂතාවේ හීන බව නොවේ. බොහෝ සේවකයෝ විශිෂ්ට සුදුසුකම් සහිත දක්‍ෂකයෝ වෙති. අවාසනාවකට මෙන් මෙම සංවිධාන රජයේ අදක්‍ෂ කළමනාකරණයටත්, දූෂණයටත් ගොදුරු වී තිබේ. දේශපාලකයන් ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනු සඳහා පමණට වඩා සේවකයන් ඒවායේ පුරවා දැමීමට කටයුතු කර ඇත. ඇතැම් රාජ්‍ය ආයතන තනිකර දූෂණයට උඩගෙඩි දෙන ඒවා බවට චෝදනා එල්ලවී තිබේ. උදාහරණයකට ලංකා ගල්අඟුරු සමාගම (Lanka Coal Company) රු. බිලියන 4 කට වඩා පාඩු සිදුවන අයුරින් ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවල නිරත වී ඇත.

රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසායයන්ගේ මූල්‍ය කටයුතු සිදුවන්නේ ඉතා ප්‍රමාද වෙමිනි. නිරවුල් විගණන වාර්තා ලබාගන්නේ ආයතන කිහිපයක් පමණකි. ඒවායේ වංචා, කළමනාකරණ දුර්වලතා, දූෂණ හා නොසලකා හැරීම් නිතර නිතර සිදුවන බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මෙම ගැටලු නිරාකරණය කරගනු වස් දැනට පවතින, අභ්‍යන්තර පාලනයන්, අධීක්‍ෂණය සහ පාලන රටාව ප්‍රමාණවත් අයුරින් කටයුතු නොකර ඇති බව තවදුරටත් පෙනී යයි. 500 කට වඩා අධික රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායයන්ගෙන් එදිනෙදා විධිමත් තොරතුරු දැන ගන්නට ඇත්තේ 50 ක පමණකි. ආයතනවල පූර්ණ ලැයිස්තුවක් ලබාගැනීම පවා අභියෝගයකි. ඒවායේ තොරතුරු දැන ගැනීමට මහජනතාවට ඇති ඉඩකඩ සීමිතය. රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව සිය වාර්ෂික වාර්තාව 2018 පටන් නිකුත් කර නොමැත. තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ කර ඇති ඉල්ලීම්වලටද පිළිතුරු ලැබී නැත.

අයවැය මගින් පනවා ඇති සීමාකරණයට යටත්ව ඇත්තේත්, කොටස් හිමියන්ට (මහජනයාට) වගකියනු ලබන්නේත් ආයතන ස්වල්පයක් පමණකි. එම නිසා වියදම් පාලනය කිරීම පිණිස පෙළඹී ඇත්තේද සීමිත සංඛ්‍යාවකි. ලාභ උපයාගැනීමට අවශ්‍ය පෞද්ගලික ආයතන මෙන් නොව, බොහෝ ශ්‍රී ලාංකික රාජ්‍ය ආයතනවලට අනෙකුත් රාජ්‍ය සංවිධාන හා බැංකු වෙතින් තමන්ට අමතර අරමුදල් අවශ්‍ය වූ විට ලබාගත හැකිය. එයින් සිදුවන්නේ බංකොලොත් වීමට ඇති අවදානම නොසලකා ක්‍රියා කිරීමයි. එය මූලික වශයෙන් තිබිය යුතු ශික්ෂණයක් වුවද ඒ ආකාරයට කටයුතු සිදු නොවේ.

මෑත කාලයේදී රාජ්‍ය හිමිකාරීත්වය ඇති ඇතැම් ව්‍යවසාය පිහිටුවීමේදී අයවැය මගහැර යමින් අලුත් විධියකින් ඒවා ස්ථාපනය කිරීමට පෙළඹී තිබේ. පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීම වෙනුවට ඒවා පිහිටුවා ඇත්තේ සමාගම් ලෙසිනි. පාර්ලිමේන්තුවට බැඳෙන වගකීමෙන් ඒවා ඉවත්වන අතර ඵලදායි නොවන අයුරින් ණය ගැනීමටත්, පහසුවෙන් අයවැය අභිබවා යාමටත් ඒවාට අවසර ලැබේ. එයින් බදු ගෙවන්නන්ගේ මුදල් කාබාසිනියා කර දැමීමට මග පෑදේ. 2006 සිට 2020 දක්වා උපායමාර්ගික වශයෙන් වැදගත්වන රාජ්‍ය ව්‍යවසාය එක්කාසු කරගෙන ඇති පාඩුව රුපියල් ට්‍රිලියන 1.2 දක්වා ඉහළ ගොස් ඇත. 

ඉතා අල්ප රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් පමණක් ලාභ උපයා ගැනීමට සමත්ව තිබේ. එම ආයතනවලට වාසිදායක ක්ෂේත්‍රයක කටයුතු කරන්නට ඉඩ ලැබීම ඊට හේතුවී තිබේ. අයවැයෙන් පනවන සීමා ලිහිල් වීම හැරුණු කොට ඵලදායී නොවන ණය ගොඩගසා ගැනීමට මෙවැනි රාජ්‍ය ආයතනවලට හැකියාව ලැබී තිබේ.

මෙකී සමාගම්වලට ඍජුවම රාජ්‍ය සහනාධාර ලැබෙන අතර රාජ්‍ය සහයෝගයේ වගකීම් සහතිකයද ලැබී තිබේ. වගකීමෙන් නිදහස් කිරීමේ නියාමන රීති, පාලන භාරකාරීත්වයෙන් තොරවීම සහ විශේෂ වරදාන ලැබීම, පාර්ලිමේන්තුවට බැඳෙන වගකීමෙන් නිදහස් වීම ආදී වාසි ඇතැම් රාජ්‍ය ආයතනවලට ලැබී තිබේ. රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසාය විසින් මෙහෙයවන කර්මාන්තවලින් පෞද්ගලික අංශයේ සංවිධාන ඉවත්වීමට මෙම තත්ත්වය හේතුවේ. කාර්යක්‍ෂම, ඉහළ තත්ත්වයේ සේවා සපයන පෞද්ගලික ආයතන වෙළඳපොළේ තබාගනු වෙනුවට ශ්‍රී ලාංකීය බදු ගෙවන්නන්ට සිදුවන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ වගකීම්වලට අයත් සියයට 4–5 තරම්වන රාජ්‍ය ව්‍යවසාය සමග එක්වී ඒවාට (පෞද්ගලික අංශයට) පහර දෙන්නටය.

කළ හැකි ප්‍රතිසංස්කරණ

ණය ඒකරාශී වීම සහ රජයේ ණය ගෙවා ගැනීමේ හැකියාව ඇතුළු බැරෑරුම් ප්‍රශ්න සමග රට ආර්ථික අතින් අවදානම් අඩියකට පත්ව තිබියදී කඩිනම් පියවරක් ගත යුතුව ඇති බව පැහැදිලිය.

පෞද්ගලීකරණය, ප්‍රතිව්‍යුහකරණය සහ ප්‍රතියෝජනය සහ කොළඹ කොටස් වෙළඳපොළ ලේඛනයට ඇතුළත් කිරීම ආදී කෙටිකාලීන ප්‍රතිපත්තිමය විසඳුම් ඇඩ්වොකාටා ආයතනය යෝජනා කර තිබේ. ගෝලීය වශයෙන් ගත්තද, දේශීය වශයෙන් ගත්තද මෙම යෝජනා කිසිවක් අන්තගාමී ඒවා නොවේ. ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි අධ්‍යක්‍ෂ අනර්කලී මුණසිංහ පවසන ආකාරයට බටහිර සහ පෙරදිග ආණ්ඩු රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසාය ප්‍රතිසංස්කරණයට ලක්කිරීමේදී අනුගමනය කරන ප්‍රධාන ප්‍රතිපත්ති දෙක වනුයේ සහනාධාර අඩුකොට කාර්යක්‍ෂමතාව වැඩිකරමින් පෞද්ගලික ආයතන සමග වඩාත් සාධාරණ අයුරින් තරග කිරීමට ඒවා පෙළඹවීමයි. විකල්පයක් ලෙස පූර්ණ වශයෙන් හෝ අංශයක් පෞද්ගලීකරණයට ලක් කිරීමද දිය හැකි විසඳුමකි. SLT මොබිටෙල් සේවාව 1992 පෞද්ගලීකරණය කිරීමෙන් පසු වර්ධනය වී ඩයලොග් ඇක්සියාටා වැනි තරගකරුවන් සමගද සාර්ථක ලෙස තරග කරනු ලැබුවේය. විදුලි සංදේශ නියාමන කොමිසම එසේ පුළුල් ලෙස තරග කිරීමට අදාළ වගකීම දැරුවේය. 

කොළඹ කොටස් වෙළෙඳපොළේ මෙම ආයතන ලේඛනගත කිරීමෙන්, පුළුල් හිමිකමක් ඍජු පදනමෙන් යුතුව කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඇති කරමින් ප්‍රාග්ධන වෙළෙඳපොළට දායක වීමේ හැකියාව ඒවාට ලැබේ. විශේෂයෙන් මෙම ආයතන කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට පෙර ඒවා ඒකාබද්ධකරණයට (සාමූහිකකරණයට) ලක්කිරීම වැගත්ය. ඒ මගින් ඒවායේ ඵලදායීතාව නංවාගෙන ඒවා ව්‍යාජ ලෙස පුම්බා පෙන්වීම වළක්වාගත හැකිය. අවාසනාවකට මෙහිදී ඇතැම් ආයතන අතිශයින් ණය බරවී තිබීමත්, ඒවායේ කීර්තිනාමය පිරිහී තිබීමත් නිසා අවාසනාවකට ඒවා මෙම ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතුවේ.

ඊට මූලිකම උදාහරණය වන්නේ ශ්‍රී ලන්කන් එමිරේට්ස් වෙතින් ලබාගත් පසුව මේ දක්වා එහි ණය කන්දරාව රුපියල් බිලියන 316 ක් තරම් උසට ගොඩගැසී තිබීමයි. එය විකුණා දැමීම අපගේ ජාතිකාභිමානයට වදින පහරක් සේ ඇතැමුන් සැලකුවද රජයේ මූල්‍ය තත්ත්වය නංවාලීමට එවැනි ප්‍රායෝගික පියවරක් ගැනීම යෝග්‍ය වේ. ඉන්දියා​ෙව් ජාතික ගුවන් සේවය වූ එයාර් ඉන්දියා, ටාටා සමූහ ව්‍යාපාරය වෙත විකිණීමේ ක්‍රියාවලිය මේ වනවිට අරඹා තිබේ. එය විකිණීමට නියමිතව ඇත්තේ සාපේක්‍ෂ වශයෙන් අඩු මුදලක් වූ ඉන්දියානු රුපියල් කෝටි 18000 කටයි. එය ශ්‍රී ලංකාව කෙරේ විදේශ ආයෝජකයන් අතර විශ්වාසය ගොඩනැගෙන්නටද ඉහත කී ක්‍රියා හේතුවේ. ඉදිරියේදී ගෙවා දැමීමට ඇති ණය ගෙවන්නටද මෙරට කැපවන ආකාරය එයින් දිස්වෙයි. 
තවදුරටත් පාලනය ශක්තිමත් කිරීම, දූෂණය සහ බලපෑම් සීමා කිරීම, කාර්යක්‍ෂමතාව වර්ධනය පිරිවැය මත මිල නියම කිරීම ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන අංශවල බැඳීම් ලිහිල් කිරීම යන දීර්ඝකාලීන විසඳුම්ද රාජ්‍ය ව්‍යවසායන්ට දිය යුතුවේ. එම විසඳුම් විශේෂයෙන්ම ස්වභාවිකවම ඒකාධිකාරිය හිමිවූ, කාර්යක්‍ෂමතාව අහිමිකර ගැනීමකින් තොරව පෞද්ගලිකකරණය කිරීමට නොහැකි, ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලට විශේෂයෙන් අදාළය.

2006 දී ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය විසින් අධ්‍යයනයකින් ලංවිම කොටස් තුනකට වෙන් කිරීම නිර්දේශ කර තිබේ. උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම එම ස්වාධීන අංශ තුනයි. අවුරුදු 15 ක් මේවනවිට ගතවී ඇතත්, රටපුරා වරින්වර විදුලිය ඇණහිටියත් ශ්‍රී ලංකා රජය මෙතෙක් එම පියවර නොගෙන කල්මරමින් සිටී. පිරිවැය මත මිල නියම කිරීමද (දේශපාලන වශයෙන් ජනප්‍රිය බව පිරිහෙන පියවරක් වුවද) කළ යුතු වැදගත් ප්‍රතිසංස්කරණ කටයුත්තකි. සැබෑ පිරිවැය වෙනුවට මහජනතාව වෙත සහන සලසමින් මේවන විට නයම කර ඇති විදුලි ඒකක මිලෙහි වන්දිය මතු පරපුරට ගෙවන්නට සිදුවනු ඇත. සියල්ලන්ටම පොදුවේ අඩු මිල නියම කිරීම වෙනුවට අඩු ආදායම්ලාභීන් තෝරා ඍජුව මූල්‍ය සහනාධාර දීම වඩා යෝග්‍යය. එසේ නොකළහොත් සිදුවන්නේ සැබෑ මිල ගෙවා ගත හැකි ධනවත් අයටද සහනාධාර හිමිවීමයි.

මේ හා සමාන තත්ත්වයක් (සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන්) ඛනිජ තෙල් සංස්ථාව ඇසුරින්ද පෙනී යයි. මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව එක් ඉන්ධන ලීටරයකින් රුපියල් 23 – 38 ක පාඩුවක් ලබයි. එහිදී ද සිදුවන්නේ වෙළඳ පොළ මිල ගෙවාගත හැකි ධනවත් උදවියටද සහනාධාර හිමිවීමයි. 

අවසාන වශයෙන් වාර්ෂිකව, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය අභ්‍යන්තර වශයෙන් විගණනයට ලක් කොට එම මූල්‍ය තොරතුරු මහජනයා ඉදිරියේ තැබීම ඔස්සේ වගකීම පවත්වාගත යුතුවේ. මෙම ආයතනවලට දෙන ඉලක්ක වෙත ඒවා යන්නේ ද යන්නද තහවුරු කර ගැනීම වැදගත් වේ. 

සමෘද්ධිමත් වෙළඳපොළක සාර්ථකත්වයට තුඩුදෙන කර්මාන්තවලට බලපාන තීරණාත්මක සාධක 3 ක් ඇත. තරඟකාරීත්වය, පාදක ව්‍යුහය සහ දක්‍ෂතාව පිළිබඳ නියාමනය යනු එම සාධක තුනයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමි ව්‍යවසාය ප්‍රතිසංස්‍කරණයට ලක් කිරීමෙන් (ප්‍රතිව්‍යුහගත කිරීමෙන්) ඒවාට මෙම ගුණාංග තුන අයත් වේ. ඒ මගින් අපට යහපත් පාරිභෝගික සේවාවකුත්, රජයේ වියදම් අඩු වීමකුත් ඊට දායකවන සියලුම පාර්ශ්වකරුවන්ට සමෘද්ධිමත් බව පොදුවේ උදාවන බවත් සහතික කොට කිව හැකිය. 

2022/01/04 Daily FTපුවතපතේ පළවූ State - Owned Enterprises: A major Crisis in the Marketingලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

මිගාර රොඩ්රිගු විසිනි