17_SLTK_P13_Back

 

ජීවිතය නිවැරදි මගට යොමු කිරීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
විජේරියේ සුමනසේන මහතා ලියා එවූ කතාවක් මෙසේය.

 


රාළහාමිට වින කළ මැණික් ඉල්ලම.


මේ කියන අය කිසිම රැකියාවක් නොකළත් ඉගෙනීමක් නැතත් කවුරුත් හඳුන්වන ලද්දේ “රාළහාමි” නමිනි. එය කෙසේ ලැබුණ නමක්ද යන්න මම නොදනිමි. කොලොන්න ප්‍රදේශයේ ගඟේ මැණික් ගැරීමේ යෙදී සිටි අයෙකි. කොස්, දෙල්, රොටී වැනි දෙයක් කෑම සඳහා පිළියෙල කරගෙන සැතපුම් 7ක් පමණ පයින්ම ගොස් තනියෙන්ම මැණික් සෙවීමේ යෙදී සිටියදී මාස ගණනාවකට පසුව මොහුට මැණික් ගලක් ලැබී ඇත. රටතිබ්බටු ගෙඩියක් තරම් ලොකු තනිකරම නිල්පාට පලුදු නැති මෙම ගල කිසිවෙකුටත් නොපෙන්වා ගෙදර ඇවිත් පසුදා උදයේම කහවත්තේ මුස්ලිම් මැණික් වෙළෙන්දෙකුට පෙන්වා ඇත.

 


රෙදිපටියක රවුම්කර ඔතා ඉනේ ගැටගසාගෙන ආරක්ෂා සහිතව ගෙන ගිය මෙම ගල දුටුගමන් මුදලාලි ටිකක් කලබල වී ඇත. කෙසේ නමුත් මුස්ලිම් අය මැණික් බලන එක එක ක්‍රම උපයෝගී කර ගල බලා සෑහෙන වටිනා ගලක් බව දැනගෙන ගල ගෙනා රාලහාමි යන අයගෙන් ගලට කීයක් අවශ්‍යදැයි විමසා ඇත. මොහු මෙම ගලේ වටිනාකම නොදන්නා නිසා කටට ආ පලියට “මුදලාලි ඔය ලක්ෂයක් දෙකක් දෙන්නකො” යයි පවසා ඇත. මුදලාලි ටිකක් බොරුවට කල්පනාකර බලා කමක් නැහැ මම “දෙකක්ම” දෙන්නම් කියා ඇත. රාළහාමි යන අයට මෙය පැහැදිලි නැති නිසා මුදලාලි දෙකක් කිව්වේ ලක්ෂ දෙකක්ද කියා විමසා ඇත. ඔව්. ඔව්. ලක්ෂ දෙකක් තමයි කියා මුදලාලි පැවසූ විට රාලහාමිට මෙය අදහාගත නොහැකි විය.


කෙසේ නමුත් ගල රුපියල් ලක්ෂ දෙකට තීන්දු කර මුදල් ගෙන ඒමට මුදලාලි ඇතුළට ගිය අතර තුරේ රාළහාමි මිදුලේ නවතා තිබූ වාහන දෙස ඕනෑකමින් බලන්නට විය. සල්ලි රැගෙන ආ මුදලාලි “මොකද මල්ලි කාර් එකක් වත් ඕනෑ වෙලාද” කියා ඇසූවිට එතන තිබූ නිල්පාට 403 පර්ජෝ වර්ගයේ කාරෙක විකුණනාවද කියා විමසා ඇත. මෙයින්ද ලාභයක් ගැනීමට සිතූ මුදලාලි විකුණන්න නම් අදහසක් නෑ, ඒත් මල්ලිට ඕනෑ නම් දෙන්නම් කියා ඇත. අන්තිමේ එකල (1965 පමණ) එම රථයේ වටිනා කම රු. 15,000 පමණ වුවත් මල්ලිට නිසා 25,000 දෙන්නම් කියා එයද තීන්දු කරගෙන ඇත. 


පසුව ලක්ෂ දෙකෙන් 25,000 අඩුකරගෙන ඉතිරි මුදලත් වාහනයේ යතුර සහ ලියාපදිංචි ලියකියවිලිත් දී වාහනය පවරා දීමට හෙට පැමිණෙන ලෙස දන්වා ඇත. එකල තිබුණේ රු. 100 කොළ පමණක් බැවින් 175,000 මුදල කඩදාසි බෑග් එකක දමා වාහනය ගෙදරට ගෙන යාමට මුදලාලිගේ රියැදුරාද පිටත්කරන ලදී. රාලහාමි යන අය මත්පැන් පානයට ගිජු අයෙක් නිසා නගරයට ගොස් හොඳ වර්ගයේ රට බීම බෝතල් තුන හතරක්ද, හරක් මස් රාත්තල් දෙක තුනක්ද, සිගරට් ආදී අවශ්‍ය දේද රැගෙන නිවෙසට ඇවිත් ඇත. වාහනය රැගෙන ආ රියදුරා රාත්‍රී රාලහාමිගේ නිවසේ නතර කරගෙන කන්න බොන්න හොඳට දී පසුදා උදේ මුදල් ටිකක් ද දී පිටත් කර ඇත.


මෙම ආරංචිය සැලවූ අහල පහළ යාලු මිත්‍ර නෑදෑ හිතවත් අය වැල නොකැඩී රාළහාමිගේ ගෙදරට එන්න පටන් ගත්හ. පොඩිඈයෝ ඇවිත් කාර් එක අත පත ගාන අතර ලොකු අය රාළහාමි සමග කතා බහේ යෙදී ඇත. දවල්වෙන කොට එන අයගෙන් මත්පැන් බොන අයට ඒවාද අනෙක් අයට කෑම බීම ආදියද දී මුදලකුත් මිට මොලවා පිටත් කිරීම රාළහාමිගේ සිරිත වී ඇත. මසක් දෙකක් පමණ වනවිට “රාළහාමි මහත්තයා” යයි ඇමතීමට ගම්මු පටන්ගෙන ඇත. රාළහාමිටද මෙය සතුටට කරුණක් නිසා ඒ අයට වඩ වඩා සැලකීම පටන් ගෙන ඇත.


ගමේ ඉන්න කපටි තරුණයෙක් ඔහුගේ රියැදුරු වශයෙන් සිටි අතර වාහන ගැන කිසිවක් නොදන්නා රාළහාමි ගොනාට අන්දාගෙන වාහනයේ අලුත් වැඩියාවන්ට, පැට්‍රල්වලට කිය කියා ඔහුද හොඳ ගණනක් ගරා ගෙන ඇත. විවාහ වී නොසිටි නිසා අර කපටි රියැදුරා, චිත්‍රපටි බැලීම, ගැහැණුන් ඇසුරු කිරීම ආදියට රාළහාමි පොළඹවා ගෙන ඇත.


චිත්‍රපටි බැලීමට ගමේ සිට නගරයට යාමට වාහනය සතියකට දෙතුන් දවසක් යොදාගෙන ඇත. කෙසේ හෝ ඔහුටත් නොදැනීම සියලුම මුදල් සහ වාහනයද රාළහාමි මහතාට අහිමි වීමට වැඩිකලක් ගියේ නැහැ. මත්පැන් පානය සහ අනෙකුත් නොමනා වැඩ නිසා අවසානයේ මොහු රෝගාතුරවූ පසු සැලකීමට කිසිවෙක් සිටියේ නැත. මොහු පොඩි කාලයේදීම පියා මිය ගොස් සිටි නිසා ඔහුට සිටියේ මව පමණකි. මවද මේ සිද්ධීන් දෙස බලා සිට රෝගාතුරවී මියගොස් ඇත. මවට සැලකීමටද, මොහුට නොහැකිවූ නිසා ඇයද අකාලයේ මිය ගිය බැවින් රාළහාමි අන්තිමට රෝහලකදී මිය ගොස් රජයේ ආධාරයෙන් අවසන් කටයුතු කර ඇත. 

 


සුරාව සහ සූදුවෙන් වූ විපත


නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රි මහතා ලියා එවූ කතාවක් මෙසේය.


රජරට පැත්තෙ පිටිසර ගමක විසූ සේදිරිස් කිසිම ඉගෙනීමක් නැති කුඩා කල පටන්ම මත්වතුරටත් සූදුවටත් පුරුදු වී වියපත් වනතුරුම ඒ පුරුද්ද අත්නොහළේය.


එදිනෙදා කුලී වැඩ කරමින් විවාහයක්ද කරගෙන දරු දෙදෙනෙකුගේ පියෙකු වුවත් සුරාව සූදුව නිසා පරිහානිය කරා යොමු විය. බිරිඳගේ අවවාද නොතැකූ ඔහු බී ගත් පසු ඇයටද ගුටිබැට දෙමින් ගෙදර බඩුද කඩා බිඳ දමයි. එවිට ඔහු තිරිසනෙකුටද වඩා අන්තය. කට ගොන්නක් බී ගත් පසුව අහළ පහළ අයටද බැණවදී. නොයෙක් විට පහර දීමට සැරසෙන සේදිරිස් ගැන ගමේ අය හොඳට දන්නා නිසා එකට එක කිරීමට ගියේ නැත. බැරිම තැන මොහු පිළිබඳව පොලිසියට පැමිණිලි කොට අවවාද දුන්නත් පොලිසියේ අවවාද පිළිනොගත්තේය.  


සූදුපොළවල් මේ ප්‍රදේශයේ තිබූ අතර ඒ සෑම තැනකම මූලිකත්වය ගත්තේය. මොහුගේ මැර බලය, කටේ සැරකම ආදියට කවුරුත් බිය විය. දිනක් හොඳහැටි මත් වතුර බී සූදු පොළකට ගියේ රැකියාවකට යන ලෙසිනි.


මෙහි සූදුව සඳහා දහ දෙනෙකු පමණ වූහ. මේ අතර සිටි විසේකාර සෝමෙ මල්ලි පමණක් සේදිරිස්ට එතරම් බිය පක්ෂ පාතකමක් දැක්වූයේ නැත. මෙදින සූදුවේ යෙදෙන විට මුදල් ගැන ප්‍රශ්නයක් මතුවී සේදිරිස් සෝමෙට බැණ වදිමින් පයින් පහරක් ගැසීය. ඇසිල්ලකින් ඉනේ සඟවාගෙන සිටි උල් පිහිය ඇදගත් සෝමෙ මල්ලි සේදිරිස්ගේ පපුවට ඇන්නේ වියරු වේශයෙනි. ඔහු පළාගිය අතර අනෙක් අය සේදිරිස්ව වහාම රෝහලට ගෙන ගියත් ඔහු අවසන් හුස්ම හෙළා තිබුණි. සෝමෙ ආගිය තැනක් නැති විය. සේදිරිස්ගේ අවමගුලට වැඩි පිරිසක් පැමිණියේ නැත. කිසිවකු තුළ දුකක් ඇති නොවූවා මෙන්ම අඹුදරුවන් පවා කඳුළු හෙළුවේ නැත. 


සුරාව සූදුව මිනිසාගේ මාරයෙකු බවත් මේ තුළින් ජීවිතය නැතිවීම ඉක්මන් බව එදා අවමගුලේදී පන්සලේ නායක හාමුදුරුවෝද දේශනා කළහ. 

 


මාළුවාට දැමූ බිලී කොක්ක ගැස්සී ඇහේ ඇණුන වගයි.


මතුගම, පාන්තිය, පියසේන දොඩන්ගොඩ මහතා ලියා එවන ලද කතාවක් මෙසේය. 


දැනට දශක තුන හතරකට පෙර හද්දා පිටිසර ගමක සිදුවූ සත්‍ය කතාවකි. මෙහි කතා නායකයා “තේගිස්” යන ආරූඪ නාමයෙන් හඳුන්වා දෙනු කැමැත්තෙමි. ඇළේ, දොළේ, කුඹුරේ පමණක් නොව ගඟේ, මුහුදේද මසුන් බහුලව ජීවත් වෙන්නේත් එළු, ගව, ඌරු හා කුකුළු ආදී දෙපා හා සිවුපා සතුන්ට ජීවය ලබාදී ඇත්තේ නරක් නොවී කල්තබා ගෙන මිනිසුන්ගේ ආහාරයට ගැනීම සඳහා බව පවසන තේගිස් මසුන් ඇල්ලීමේ රුසියෙකි.


ඔහු දිනපතාම වාගේ හැන්දෑයාමේ ගේ අද්දර ඇළට ගොස් බිලී කොකුවලට ඇමක් යොදා එය ඇළට දමා මසුන් ඇල්ලීම පුරුද්දක් ලෙස කරගෙන ගියේ දිගු කාලයක පටන්ය. මේ සඳහා අධික ලෙස පවට බර ඔහුගේ බිරිඳගෙන් පවා ඔහු වෙත ලැබුණේ නොමද සහයකි. දිනපතා මාළු හොද්දක් නොමැතිව කෑම ගැනීමට මේ දෙපොළට නොහැකි වන තත්ත්වයට මේ වෙනවිට ඔවුන් ඇබ්බැහිවී තිබුණි.


මේ අතර එක් දිනක් හැන්දෑයාමේ ඔහු “ඇළ” කරා ගියේ බිලීපිති දෙකක්ද රැගෙනය. නොබෝ වේලාවකින් තරමක මසුන් දෙතුන් දෙනෙක් ගොඩට බාගෙන ඉමහත් සතුටට පත් ඔහුගේ එක බිලීපිත්තක් ගොඩ ගැනීමට බලවත් වෙහෙස මහන්සියක් දරුවත් එය ගොඩගැනීම ඉතා අසීරු කරුණක් විය. ලොකු මාළුවෙක් ඇමගිල ඇතැයි සිතූ තේගිස් බිලිපිත්ත ඇළ අයින්මේ තබා වහා ගෙදරට ගොස් මේ බව තම බිරිඳට දැන්වීමටද අමතක කළේ නැත.
ඒ බව ඇසූ ඇය බලවත් සතුටට පත්වූවාය. මාළුවා ගොඩගත් පසු අහල පහළ අයටද “පංගුව” දිය යුතු බැවින් ඔවුන් අමනාප කරගැනීමට නොකළ වරදක් මවා පා බැණවදින ලෙස තේගිස් තම බිරිඳට පවසා නැවත කඩිමුඩියේ ඇළ ළඟට දුවන්නට විය. තම සැමියාගේ අදහස හිස් මුදුනෙන් පිළිගත් බිරිඳ තම ගෙවත්තට අල්ලපු ඉඩමේ ගස්කොළවල කොළවැටෙන බව පවසා ඒවා කපාදමන්නැයි පවසමින් මහහඬින් අසල්වැසි අයට බැණවදින්නට වූවාය.


හිටිහැටියේ පාත් වූ මේ කංකරච්චලය කුමක්දැයි වටහාගත නොහැකි වූ අහල පහළ උදවිය තුෂ්නිම්භූතව බලා සිටියා මිස ඇය සමග දබරයට ගියේ නැත. ඇයට “පිස්සු හැදිලා”යයි සමහරු කීහ. මේ අතර බිලීපිත්ත ගොඩ ඇද ගැනීමට අසමත් වූ තේගිස් ඇළට බැස දියයට කිමිදී අත පත ගාද්දී දියයට මුලක හිරවී ඇමිණී තිබූ බිලීකටුව ගැලවී ඔහුගේ ඇසක ඇණී බරපතළ ලෙස තුවාල වී ඇසෙන් ලේ ගලායන්නට විය. මරබියේ ඇළෙන් ගොඩ ආ තේගිස් මහහඬින් මරහඬ දුන්නත් තම බිරිඳ හැරෙන්නට ගමේ වෙනත් කිසිවෙක් ඇළ අසලට ආවේ නැත.


ඇය ඉතා අමාරුවන් තම සැමියා ළඟම ඇති රෝහල කරා ගෙන ගියත් ඉතා බරපතළ ලෙස තුවාල වී තිබුණ තේගිස්ගේ දකුණු ඇස සුවපත් කිරීම කළ නොහැකි විය. මාස කීපයක් රෝහල්ගතව සිට ඇස සුවපත් කළ නොහැකිව ගෙදරට පැමිණීමෙන් පසු මසුන් මැරීමේ පව්කාර වැඬේ ඔහු සහමුලින්ම නවතාදැමීය.


ගමේ වැඩිහිටි ගැමියන් තේගිස්ට මේ ආත්මයේදීම පව්කම් පළ දුන්බව සිහිපත් කරන්නේ එවැනි පව්කාරයින් දැනටත් අප අතර සිටින බව දකින්නට ලැබෙන බැවිනි. 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

m