(බණ්ඩාරනායක ජාත්‍යන්තර අධයයනය මධයස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය - හරින්ද විදානගේ)

මහනුවර දිස්ත්‍රික්කයේ හටගත් වාර්ගික ප්‍රචණ්ඩක්‍රියා පැතිරයාම වැළැක්වීමට රජය අනුගමනය කළේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කිරීමේ පිළිවෙතකි. සමාජ මාධ්‍ය ජාල තහනම ඉක්මනින් ඉවත් කරන මෙන් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන්ද රජයෙන් ඉල්ලීම් කර තිබිණ. මේ අතරේ සමාජ මාධ්‍ය ජාලා විශ්ලේෂකයන්ගේ දැඩි විවේචනයට ලක්වීමටද ආණ්ඩුවට සිදුවිය. මේ සමඟ රටපුරා විද්වතුන් අතර හටගත් සංවාදය වූයේ සමාජ මාධ්‍ය අරමුණ මිනිසුන් එකතු කිරීමද, නොඑසේව බේද කිරීමදැයි කියාය. කෙසේ වෙතත් ෆේස්බුක් ප්‍රමුඛ සමාජ ජාල සම්බන්ධයෙන් පෙර නොවූවිරූ සමාජ සංවාදයක් ඇතිවීමටද මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය හේතුවිය.

සමාජ ජාල සම්බන්ධයෙන් නොයෙක් වාද විවාද තිබේ. ෆේස් බුක් වැනි මාධ්‍ය මගින් පුද්ගල අදහස් ප්‍රකාශනයේ නිදහස තීව්‍ර වී යැයි ඇතැම්හු පවසති. එය ඇත්තය. මෙමගින් සිදුවුණේ සමස්ත ප්‍රජාවටම දේශපාලන බලයක් ලැබීමය. අදහස් ප්‍රකාශ කිරීමෙහි හා සංවාදයෙහිලා ඇති වූ මේ පු`ඵල් නිදහස එහි සාධනීය පැතිකඩය. ඇතැම් විචාරකයන් මෙය ආරම්භයේදී විමුක්තිවාදී තාක්ෂණයක් හැටියට හැඳින්වූයේ ද ඒ නිසාය. මන්දයත් එතෙක් කල් දේශපාලන මතවාදවල රජකම දැරුවෝ දේශපාලන ප්‍රභූහුය. පොදු ජනයාට සිය මතවාදය එළියට දමන්නට අවස්ථාවක් ලැබුණේ මැතිවරණයකදී පමණි. එහෙත් දැන් එසේ නොවේ.

දේශපාලකයා පිස්තෝලය දිගු කර  තත්පර කීපයක් යද්දී එහි වීඩියෝව ලොවටම පෙන්වන්නට පුරවැසියාට හැකිය. එහෙත් ඇත්ත නම් ෆේස් බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය කිසිවක් නිර්මාණය කළේ මෙම අර්ථයෙන් නොවන බවය. මේ සියල්ල එම නිර්මාණවල අතුරු ඵලය. කෙසේ වෙතත් එම නිසා ධනේෂ්වරයට පමණක් නොව සරසවි ඇතු`ඵ බුද්ධිමය පන්තිවලටද වැදුණේ විශාල පහරකි. මීට වසර පහළොවකට පෙර දේශපාලකයන්ට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට නොතිබූ අභියෝගයක් දැන් තිබේ. 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණි අවස්ථාවේ පළමුවෙන්ම ගියේ දේශපාලන ප්‍රභූ පන්තිය මුණගැසීමට නොවේ. ටෙස්ලා ආයතනයටය. දෙවැනියට ගියේ ෆේස් බුක් ආයතනයටය. තෙවැනියට ගියේ ගූගල් ආයතනයටය. ෆේස් බුක් ආයතනයට ගිය මෝදි සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එය මෙහෙයවනු ලැබුවේ එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්මය. සමාජ ජාල මගින් මිනිසුන්ගේ අදහස් ප්‍රකාශන නිදහස පු`ඵල් වී ඇති බවත් ඒවා විසින් සෑම මිනිසෙක්ම මාධ්‍යවේදියකු කරනු ලැබ ඇති බවත් එහිදී ඉන්දීය අගමැතිවරයා කීවේය. එය සැබෑය. අතීතයේදී ජනමාධ්‍යවේදීන් සිතුවේ මාධ්‍යකරණ කාරියෙහි අධිපතින් තමන් යැයි කියාය. එහෙත් අද විෂය වෙනස් වෙලාය. පුරවැසි මාධ්‍යවේදයක් ගැන කතාකිරීමට සිදුව තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටය.

මෙකී සමාජ මාධ්‍ය ජාලා හරහා නිපදවෙන්නේ මහා බලයකි. එය දේශපාලන බලයකි. සෑම රාජ්‍ය නායකයකුටම ෆේස් බුක් හා ට්විටර් ගිණුමක් නැතිව බැරි එහෙයිනි. අද වනවිට සමාජ මාධ්‍ය වනාහි රාජ්‍යතාන්ත්‍රික ගැටලු මතුකරන විෂයයකි. ලිබියාවේ මහා අරගලයක් හටගෙන ඇමෙරිකානු තානාපතිට මියයන්නට සිදුවූයේ යූ ටියුබ් මාධ්‍යට එක් කළ කෙටි චිත්‍රපටියක් නිසාය. ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු එකී චිත්‍රපටිය නිසා මු`ඵමහත් ඉස්ලාමීය ලෝකයම ගිනියම් වූ අතර එවකට සිටි ඇමෙරිකානු ජනපතිට ඊට සමාව ඉල්ලන්නට ද සිදුවිය. 

මෙතෙක් කලක් අප ජීවත් වුණේ ඇමෙරිකාව ප්‍රධානව අධික බලයක් ඉසිලූ බටහිර ලෝකයකය. එහෙත් භූ දේශපාලනික වශයෙන් පැවැති ලෝක පර්යායම අද වනවිට වෙනස් වෙලාය. ඇමෙරිකාවේ පසුබැස්මත් සමඟ බටහිර රටවල පැවැති ලිබරල් ක්‍රමය ජාත්‍යන්තරගත කිරීමේ ව්‍යාපෘතිය අඩපණ වෙලාය. ඒ වෙනුවට විකල්ප මතවාද නිෂ්පාදනය වෙමින් තිබේ. චීනයේ “වන් බෙල්ට් වන් රෝඞ්” ඊට එක් උදාහරණයකි. මැද පෙරදිග සෞදිය හා ඉරානය අතර ඇති වන කලාපීය මහා බල අරගලය තවත් කතාවකි. එවිට සයිබර් අවකාශීය දේශපාලනය ද ක්‍රියා කරන්නේ මෙම මහා භූ දේශපාලනික අරගල සමඟය.

ජාතිකවාදී දේශපාලනය වනාහි මෙම භූ දේශපාලනික අරගලවල මුඛ්‍ය පැතිකඩකි. ජාතිකවාදවලට අද වනවිට ලෝක පරිමාණයෙන්ම ඇත්තේ වැඩි නැඹුරුවකි. ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පැමිණියේ ද එසේ ඇමෙරිකානු ජාතිකවාදයෙනි. ප්‍රංශ ජනපතිවරණයේදී ලපෙන් පරදවා මැක්‍රෝන් ජයගත්ත ද මු`ඵ යුරෝපය පුරා රැලි නඟන ජාතිකවාදය හමුවේ මැක්‍රෝන්ට ඇත්තේ සු`ඵපටු අභියෝගයක් නොවේ. චීනය, පිලිපීනය, ඉන්දියාව ගත්ත ද මේ තත්ත්වයෙහි වෙනසක් නැත. මේ සකල ජාතිකවාදවලට සමාජ ජාලා මඟින් ලැබෙන තල්ලුව අතිමහත්ය. 

ඉංග්‍රීසියේදී ජාතිකවාදය නැෂනලිස්ම්ය. ජාතිවාදය නම් රේසිසම්ය. එහෙත් සිංහලේදී මේ දෙකම ජාතිය. මේ නිසා ජාතිකවාදයත් ජාතිවාදයත් පටලවාගන්නට හරිම පහසුය. බටහිර රටවලදී ජාතිය රාජ්‍ය අනන්‍යතාව සේ සැලකුව ද ලංකාව වැනි පශ්චාත් යටත්විජිත සංයුතිය අනුව සැකැසුණු රටවලදී මේ සංකල්ප තිබෙන්නේ වියවුලකය. ලංකාවේ ජාතික අනන්‍යතාව තවමත් අර්බුදකාරීය. මෙසේ වියවුලක පැටැලී ඇති ජාතිකවාදී හා ජාතිවාදී ධාරා ඉතා වේගයෙන් සිය අදහස් සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කරද්දී හටගන්නේ තවත් අවුලකි.

වැරැදි තොරතුරු හා ව්‍යාජ පුවත්වලට මෙමගින් තටු ලැබේ. මෙම පරිවර්තනීය වියවුල මගින් අප පශ්චාත් සත්‍ය අවධියකට අවතීර්ණ වී ඇතැයි ඇතැම් විචාරකයෝ පවසති. එහි සරල අරුත නම් සත්‍යයෙන් පලක් නැත හෙවත් සත්‍ය බලය නොවේ යන්නයි. අද මිනිසුන් ඇසීමට කැමැති ඇත්ත හෝ බොරු වුව තමන්ට සංවේදී දේය. පශ්චාත් සත්‍ය සමාජය යනු එයයි.

සයිබර් දේශපාලන විෂයෙහි ප්‍රවීණයෝ රැසක්ම මේ සම්බන්ධයෙන් මේ වනවිට පර්යේෂණ කරති. එවැනි එක් පර්යේෂණයක ප්‍රතිඵලයකින් පසුගියදා හෙළිකෙරුණේ සමාජ ජාලවල බොරුවට ඇති බලය 70% ක් පමණ වැඩි අගයක් ගන්නා බවයි. එකී බොරු හෙළිදරවු කිරීමට ඇත්තේ අඩු ජවයක් බවයි. ඊට බලපා ඇති හේතු අතර ප්‍රමුඛ වූයේ අලුත් දේ ඇසීමට මිනිසුන්ට ඇති කැමැත්තයි. බොරුව යනු අලුත් දෙයකි. එය සයිබර් දේශපාලනයේදී හැඳින්වෙන්නේ නවල්ටි බලය සහිත කියාය. ඇත්ත යනු පරණ දෙයකි. එහි ප්‍රබන්ධමය ගුණයක් නැත. 

ප්‍රචාරණය යනු දේශපාලනයට අලුත් දෙයක් නොවේ. හිට්ලර් පවා ප්‍රචාරණ යාන්ත්‍රණය යහමින් භාවිත කළේය. එහෙත් අද වනවිට සමාජ ජාලා නිසා ප්‍රචාරණයට ඇත්තේ අධික බලයකි. එය රාජ්‍ය යාන්ත්‍රණයට අභියෝග කරයි. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව සන්නද්ධගත ආඛ්‍යානය (weaponizd narrative) යන සංකල්පයක් සයිබර් දේශපාලනයට පිවිසියේ ඒ අනුවය. ඇමෙරිකාව වැනි බලගතු රටක දේශපාලන ආඛ්‍යානය පවා එක වෙඩිල්ලක් පත්තු නොකොට සයිබර් දේශපාලනය මගින් වෙනස් කිරීමට වෙනත් රටකට හැකියාව තිබෙන බව පර්යේෂකයෝ පවසති.

ඇමෙරිකාව එහිදී ඇඟිල්ල දිගුකරමින් සිටින්නේ රුසියාවටය. ඇමෙරිකාව මෙතෙක් කලක් පුරසාරම් දොඩමින් සිටියේ ලොව බලවත්ම අවි තමන් සතු යැයි කියාය. එහෙත් අනෙක් අතට කුමන අවි තිබුණ ද සයිබර් අවකාශය හරහා ඇමෙරිකාවේ ප්‍රජාවේ සංහිඳියාව හා දේශපාලන මතය තමන්ට හැසිරවීමට හැකි බව විරුද්ධ පාර්ශ්වයෙන් කියමින් සිටී. මෙය විසල් දේශපාලන බලයකි. මේ නිසා අද වනවිට ඇමෙරිකාව ප්‍රමුඛ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයම අර්බුදයක ගිලී තිබේ. සැබැවින්ම සයිබර් දේශපාලනයේ ප්‍රධානතම ගොදුර බවට පත්ව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.  

මිනිස්සු උපතින්ම කලහකාරීය. තෘෂ්ණාව, වෛරය, ක්‍රෝධය මිනිසාගේ නිසග උරුමයයි. ඒවා යටපත් කර තිබෙන්නේ ආගම, අධ්‍යාපන ආදී සංස්ථා හරහාය. එසේ යටපත් කර ඇති කෲර මිනිස් ගති පුපුරා හරින මෙවලමක් බවට අද සමාජ මාධ්‍ය පත්ව තිබේ. මෙය සයිබර් සංස්කෘතියයි. සයිබර් සංස්කෘතිය මේ වනවිට අපේ සංස්කෘතියේද කොටසකි. පසුගියදා නුවර දී සිදුවුණේ ද එයයි. සමාජ මාධ්‍ය අවහිර කරමින්  පාලකයන් කළේ ආණ්ඩුවක් හැටියට ඒ මොහොතේ කළ පහසුම දෙයයි. එහෙත් ලංකා ආණ්ඩුවටවත් වෙනත් ආණ්ඩුවකටවත් මේ සයිබර් සංස්කෘතිය ආපිට හරවන්නට බැරිය. සයිබර් අවකාශමය පිවිසුම අවහිර කිරීම කෙටිකාලීන විසඳුමක් වන්නේ එහෙයිනි.

කොටින්ම සයිබර් අවකාශයට පිවිසීම මිනිසාගේ මූලික අයිතිවාසිකමකි යන සංවාදය ලෝක පරිමාණයෙන් හටගෙන තිබේ. එය මානව අයිතිවාසිකමක් හැටියට ඇතැමුන් හැඳින්වූව ද එය එසේ නොවෙන්නේ සෑම රටක්ම ඊට එකඟ වී නැති බැවිනි. චීනය, රුසියාව, සවුදි අරාබිය හා ඉරානය වැනි රටවල් එය මානව අයිතිවාසිකමක් හැටියට දකින්නේ නැත. එහෙත් බටහිර ලෝකය සලකන්නේ එය මානව අයිතිවාසිකමක් හැටියටය. ලංකාවේදී මේ සම්බන්ධයෙන් ඇති උත්ප්‍රාසජනක තත්ත්වය වන්නේ බටහිර ලිබරල් මතවාදයට අකුල් හෙලන්නන් පවා සයිබර් අවකාශයට පිවිසීම මානව හිමිකමක් හැටියට සැළකීමය. 

දේශපාලනයේ වෙනස්වීම් ගැන ගැඹුරින් සිතන තැනකට රාජ්‍ය පාලකයන් තල්ලු කිරීමට සයිබර් දේශපාලනයට හැකියාව ලැබී තිබේ. අද පවතින්නේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය නොවේ. අප ජීවත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයට ගිය යුගයකය. එවැනි යුගයක ජීවත්වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් ඉතාම බුද්ධිමත් විය යුතුය. තේරෙන සිංහලෙන් කිව්වොත් අද ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන සියලු බලවේග සිටින්නේ පරදින පැත්තේය. චීන රජය මෙම ක්‍රමය අනුගමනය කළ විට වී.පී.එන් තාක්ෂණය හරහා ෆේස් බුක් වැනි සමාජ ජාලවලට ඇතුළුවීමට චීන ජාතිකයෝ මෑතක් වනතුරුම කටයුතු කළහ. එහෙත් විශාල ආර්ථික ශක්තියකින් යුතු චීන රජයේ ඉල්ලීම පරිදි එම තාක්ෂණික මෙවලම ඉවත් කිරීමට ගූගල් හා ඇපල් සමාගම් කටයුතු කළේය.

ලංකාව යනු එවැනි ආර්ථික බලවතෙක් නොවේ. එනිසා ලංකාවේදී සිදුවන්නේ මෙවැනි ප්‍රශ්නයකදී රජයට වඩා සමාගම බලවත්වීමය. එවැනි තරගයකදී සිදුවන්නේ බහුජාතික සමාගම් හමුවේ දේශීය ආණ්ඩු පරාජයට පත්වීමය. එනිසා ව්‍යාජ පුවත් වැළැක්වීමට පිළිතුර සයිබර් අවකාශය අවහිර කිරීම නොවේ. සයිබර් අවකාශය පරිභෝජනය කරන්නන්ට වටිනාකම් පද්ධතියක් නිර්මාණයයි. ජාතිවාදී ප්‍රකාශකයන්ට එරෙහිව සයිබර් අවකාශයෙන්ම හඬ මතුවන තැනට රට ගෙනියන්නට පාලකයන්ට හැකි විය යුතුය.

දැනට ලාංකීය සයිබර් අවකාශමය සමාජයට එවැනි ආචාර ධර්ම පද්ධතියක් නැත. සමාජ ජාලා මගින් තරුණ තරුණියන් බ්ලැක් මේල් (සාපරාධී බියගැන්වීම්) කෙරෙන පුවත් නිතර අපට ඇසෙන්නේ ඒ නිසාය. වෛරී ප්‍රකාශන මගින් කෙරෙන්නේ ද එක්තරා ආකාරයක ආගමික ස්වරූපයේ බ්ලැක් මේල් කිරීමකි. 

ශ්‍රී ලංකාව අද තිබෙන්නේ ඉන්දියාව හා චීනයට මැදි වූ විශාල භූ දේශපාලනික අරගලයකය. අද්‍යතන සයිබර් කලහය ද මෙකී අරගලයට නතුවෙමින් පවතී. අපේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැඩි කලකිරීමක සිටින මෙවන් අවස්ථාවක රාජ්‍යයේ දේශපාලන ආඛ්‍යානය වෙනස් කිරීම ඉතා පහසු කාරියකි. නුවරදී අම්පාරේදී රාජ්‍යයේ දේශපාලන ආඛ්‍යානය පැහැරගනු ලැබුවේ අන්තවාදී වුවද සංවිධාන ශක්තියෙන් මහා බලගතු පිරිසක් විසින් නොවේ.

එහෙත් මෙම පැහැරගැනීම ලෝක බලවතෙකු විසින් කරනු ලබන පසුබිමක දේශීය ආණ්ඩුවකට කළ හැක්කේ කුමක් ද? එයින් නොකියා කියන්නේ මෙම සයිබර් අවකාශය පාවිච්චි කර තෙවැනි පාර්ශ්වයකට ඉතා පහසුවෙන් අපේ රටේ දේශපාලනය වෙනස් කළ හැකි බවය. සයිබර් අවකාශය සම්බන්ධ දේශීය නීති පද්ධතිය පවතින්නේ ඉතා සීමිත වපසරියකය. අප අවධාරණය කරන සයිබර් දේශපාලනය ආමන්ත්‍රණය කිරීමේ ශඛ්‍යතාවක් ඊට නැත. සයිබර් දේශපාලනය පු`ඵල් වීම සමඟ ජන මනස ආරක්ෂා කරගන්නේ කෙසේද යනු අද දවසේ දේශපාලන නායකයන් මුහුණ දෙන නූතන අර්බුදයකි. මේ ගැන කඩිනම් සංවාදයක් ආරම්භ කරන තැනකට යෑම රටේ අවශ්‍යතාවකි. නොඑසේව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සයිබර් දේශපාලන අර්බුදයකට ලංකාව ගමන් කිරීම නොවැළැක්විය හැකි යථාර්ථයකි.

 

සටහන - බිඟුන් මේනක ගමගේ