මිනිස්සු විවිධාකාරය. ඇතැම් හු තවත් ජීවිතයක් වනසා ප‍්‍රමෝදයට පත්වෙති. තවත් කෙනෙක් මිනිසෙකුට ජීවිතයදී එම සතුට ලබති. වෛද්‍යවරු දෙවිවරු සේ මිනිස් සන්තානය තුළ ජීවත් වන්නේ ඔවුන් මිනිසුන්ට ජීවිතය දෙන උදාර මිනිස් කොට්ඨාසයක් බැවිනි.

 


සර්ප විස වෙදකම ද උරුම කර ගෙන 1947 වසරේ හිනිදුම්පත්තුවට සේන්දු වන ධර්මදාස කොඩිකාර මහතා ද මරණය සමග සටන් වැදුණු මිනිස් ජීවිත දහසකට අධික ගණනකට ජීවත්වීමේ වරම උදාකර දුන් අපේ කාලයේ දෙවි කෙනෙකි. නෙළුව කඩිහිංගල ප‍්‍රදේශයේ පදිංචිවී සිටින කොඩිකාර මහතා, 1940 දශකය අග භාගයේදී රුපියල් තිහක මුදලකට (රු. 30) කඩිහිංගල ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර දහයක් මිලදී ගෙන ඇති අතර, ඒ සර්ප විස වෙදකමට අවශ්‍ය බෙහෙත් පැළෑටි වගා කිරීම සඳහාය.


ඔහු තම අතීතය දිගහැරියේ මේ අයුරිනි.
මාරඹ නයි වෙදමහත්තයා තමයි මගේ ගුරුවරයා. මං අකුරැුස්ස ප‍්‍රදේශයේ වෙළෙඳසලක වැඩ කරන්න ගිහින් හිටියා. ඔය කාලේ නයි වෙදමහත්තයා ළඟට රෝගියෙක් අරන් යන වෙලාවේ මමත් ගියා. මටත් මේ වෙදකම ඉගෙන ගන්න ආස හිතුණා. වෙදමහත්තයා මාව බැණල පන්න ගත්තා. මම උත්සාහය අතහැරියේ නෑ. නිතර නිතර වෙදමහත්තයා ළඟට ගියා. බේරෙන්නම බැරි තැන වෙදමහත්තයා මට ලේ ගලන වෙලාවක ලේ නතර කරන මත්තරයක් කියලා දුන්නා. මට ඒක හොඳට පාඩම් හිටියා. වෙදමහත්තයාට සතුටු නිසා මට සර්ප විස වෙදකම ඉගැන්නුවා.


1927 වසරේ ජනවාරි 11 වැනි දින මාතර කොඩිකාරගොඩ ප‍්‍රදේශයේදී උපත ලබා නෙළුව කඩිහිංගල ග‍්‍රාමයේ පදිංචියට පැමිණ ඇති ධර්මදාස කොඩිකාර මහතාට දියණියෝ සහ පුත්තු තිදෙනා බැගින් සිටිති. තම බාල පුතුගේ නිවසේ බිරිඳ  ද සමග පදිංචිවී සිටින ඔහු සතුව පාරම්පරික කෙම් ක‍්‍රම පිළිබඳව ද සුවිශාල දැනුම් සම්භාරයක් ඇති අතර, වසර සිය ගණනක ඈත ඉතිහාසයක් සහිත වෙද පොත් සහ මන්ත‍්‍ර පොත් ද ඔහු සතුව තිබේ. 2003 වසරේ ගිං ගඟ පිටාර ගැලීම නිසා ඇති වූ ගං වතුරට තම වෙද පොත් සහ මන්ත‍්‍ර පොත් විශාල ප‍්‍රමාණයක් විනාශ වූ බවද කොඩිකාර මහතා පවසයි. සර්ප විෂ පිළිබඳවත්, එය නසන ආකාරය ගැනත් කොඩිකාර මහතා මෙසේ පැහැදිලි කරයි.


කුල 18ක සර්පයෝ ඉන්නවා. නයි විස තියෙන සර්පයො රජ, බමුණු, වෙළෙඳ, ගොවි වශයෙන් කුලවලට බෙදෙනවා. කුණකටුවා, පොළඟා, කරවැලා, තෙලිස්සා වැනි සර්පයන් පහත් කුලවල සත්තු. රජ කුලේ නයා ඉන්නේ ගස් උඩ. ඌ අපට දකින්න ලැබෙන්නෙ නෑ. දැක්කොත් වාසනාවක්. ගහක් උඩදී දෂ්ට කළොත් සනීප කරන්න අමාරුයි. බමුණු කුලේ නයා ඉන්නේ දේවාලවල. වෙළෙඳ නයා ළඟ තමයි නාග මාණික්‍යය තියෙනව කියන්නේ. දඩයමක් දැක්කාම මැණික වමාරනවා. කුඩා සත්තු මැණික දැක්කම ළඟට යනවා. ඊට පස්සෙ නයාගෙ ආහාරයක් වෙනවා. ගොවි කුලේ නයා පහත් තත්ත්වයට අයිතියි. ගොවි කුලේ නයා ගැරඬියෙක් එක්ක වුණත් සංවාසයේ යෙදෙනවා.

2


”රජ බමුණු වෙළෙඳය
ගොවි කුල වෙසව් කුලමය
සපුන්ට ද එකලෙසය
එයින් විස සපු මෙලෙස කියමුය”


මේක සර්පයන්ගේ කුල සහ විස පිළිබඳව මගේ ගුරුතුමා මට කියලා දීපු කවියක්.


සර්පයො දෂ්ට කරලා මගේ ළඟට ගෙනාව හැම රෝගියෙක්ම මං සුවපත් කළා. මගේ ළඟට රෝගියෙක් ගෙනාවම මං සර්පයා දෂ්ට කරපු ස්ථානයට දෙන්නෙක් පිටත් කරනවා. රෝගියා මගේ නිවසේ තියාගෙන දෙහි කෙඩි 7ක් මන්ත‍්‍රය ජප කරමින් කපනවා. මන්තරය කියද්දී දෂ්ට කරපු සර්පයා රෝගියාට දෂ්ට කරපු ස්ථානයට එනවා. ඊට පස්සේ මං පිටත් කරපු දෙන්නගෙන් එක්කෙනෙක් එතන ඉදිද්දී අනිත් කෙනා ඇවිත් දෂ්ට කරලා තියෙන සර්පයා මොකාද කියලා මට කියනවා. ඒ අනුව තමයි බෙහෙත් බඳින්නේ. දෙහි ගෙඩි 7 කපලා ඉවර වෙද්දි සර්පයාගේ හත් පොළක් පැලිලා ඌ මැරෙනවා. රෝගියාට වමනෙ යනවා. මළ මුත‍්‍ර යනවා. ඊට පස්සේ සනීපයි. මං සනීප කරපු රෝගීන් දහසකට වැඩි මිසක් අඩු නෑ.

6


වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු තත්ත්වයකට පත්ව ඇතත්, පාරම්පරික වෛද්‍ය ක‍්‍රමවේදවලට ඇති වටිනාකම සහ ඉල්ලූම කිසිසේත් බැහැර කළ නොහැකි තත්ත්වයක් දැක ගත හැකිය. බටහිර වෛද්‍ය ක‍්‍රමවලින් රෝගියෙකු තාවකාලිකව සුවපත් කළ ද යම් රෝගී තත්ත්වයක් නිට්ටාවටම සුව කිරීමේ විස්වකර්ම හැකියාවක් පාරම්පරික වෛද්‍ය ශාස්ත‍්‍රයේ තිබේ. බටහිර වෛද්‍ය ප‍්‍රතිකාරවලට මිලක් නියම කළ හැකි වුවද පාරම්පරික වෛද්‍ය ප‍්‍රතිකාරවලට මිලක් නියම කළ නොහැකි තරමට ජාත්‍යන්තර වශයෙන් ද ඉල්ලූමක් ඇත්තේ ඒ නිසාය. සියල්ල මුදලට හිලව් වන සමාජ ආර්ථික වටපිටාවක් තුළ වුවද ධර්මදාස කොඩිකාර මහතා වැනි අපේ රටේ පාරම්පරික උරුමය සතු කර ගත් උතුම් මිනිසුන් මුදලට අලෙවි වන මිනිසුන් බවට පත් නොවීම අපට ද ආඩම්බරයකි.


මං සුවපත් කරපු රෝගීන් මට සල්ලි මිටි පිටින් ගෙනත් දීලා තියෙනවා. ඒත් මං ගන්නෙ නෑ. මේක මුදලට විකුණන්න මං කැමති නෑ. මැරෙන්න ඉන්න මිනිසෙකුගේ ජීවිතයක් බේර ගන්න එක මොන තරම් පිනක් ද? අද ඉන්න වෛද්‍යවරු මුදල් තියෙන මිනිහට විතරයි ප‍්‍රතිකාර කරන්නේ. මුදල් නැති  මිනිහට මැරෙන්න වෙනවා. අද එළඟි තෙල් බිංදුවක්, මී පැණි බිංදුවක් සොයා ගන්න තැනක් නෑ. මේව දිව්‍ය ඖෂධ. මං කවදාවත් මස් මාළු කන්නෙ නෑ. මස් මාළුවල තියෙන ගුණයක් නෑ. කොස් ගෙඩියක් තම්බගෙන ආහාරයට ගත්තොත් මොන තරම් ගුණ ද? මං අපේ මුළු ඉඩමම වෙන් කරලා තිබුණේ ඖෂධ වර්ග වවන්නයි. අල, බතල වර්ග වවන්නයි. සර්ප විස වෙදකමට අවශ්‍ය හැම පැලෑටියක්ම මං මේ ඉඩමෙ වවලා තියෙනවා. රාජ්‍ය මට්ටමෙන්, රාජ්‍ය නොවන මට්ටමෙන් අපේ රටේ දිනපතා විවිධ උපහාර උත්සව සංවිධානය වෙයි. සම්මාන, මිල මුදල්, යාන වාහන ත්‍යාග ලෙස පිරිනමයි. මේ බොහෝ අවස්ථාවල උපහාර ලබාදී ඇත්තේ මඩු වලිගයෙන් තැලිය යුතු අපරාධකාරයන්ටයි. ඒ අපේ රටේ හැටිය.


වසර හැත්තෑවකට ආසන්න කාලයක් පාරම්පරික වෛද්‍ය ඥානය උපයෝගී කරගනිමින් මරණයට කැපවූ ජීවිත දහස් ගණනකට ජීවිතය දුන් ධර්මදාස කොඩිකාර මහතාට නම් මේ වනතෙක් කිසිවෙකුත් උපහාර, නම්බු නාම, ආධාර ලබාදීමට තරම් කෘතවේදී නොවීම මොන තරම් අපරාධයක්ද? ඔහුගේ නිවසින් සමුගන්නා අවස්ථාවේ කඳුළු පිරුණු දෙනෙතින් යුතුව මිමිනූ වදන් කිහිපයකින්ම මෙම ලිපිය අවසන් කරමි.
”මිනිස්සුන්ට මොනවා හරි දෙන්න  ඕන. මිනිස්සු ජීවත්වෙලා ඉන්නකොට. මැරුණට පස්සෙ උපහාර මොනවට ද මහත්තයෝ....?”

m

  999

‘‘මිනිස් සිත ඉතා ප‍්‍රබලය. රෝගියෙකු සුවපත් කිරීමේදී සිතුවිලි ප‍්‍රතිකාරය වැදගත් වෙන්නේ එබැවිනි.’’

5
පැරණි මතවාදයන්ට අනුව සර්ප විෂ ශරීරගත වූවෙකුගේ ජීවිතය බේරා ගැනීමට සර්පයා යළි මතුරා ගෙන්වන බව අසා ඇත්තෙමු. එහි ඇති වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ කෙබඳුදැයි විග‍්‍රහ කිරීමට උරග විශේෂඥ ආචාර්ය ඈන්ස්ලම් ද සිල්වා මහතා සම්බන්ධකර ගතිමු.


සර්පයෙක් දෂ්ට කළාම රෝගියා ගොඩක් කලබල වෙනවා. එය කෑ වෙලාව, කෑ ස්ථානය අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ මධ්‍යම රාත‍්‍රියක කනත්තක් ළඟින් යද්දි සර්පයෙකු දෂ්ට කළහොත් එය පිල්ලියක් හෝ වෙනයම් හේතුවක් කියා හිතන්න පුළුවන්. මේ සියලූ බලපෑම් සිදුවන්නේ මිනිසා සිතන ආකාරය අනුවයි. ඔහු කලබල වුණොත් රුධිර ගමනය වේගවත් වෙනවා. එතකොට ශරීරයට ඇතුළු වූ සර්ප විෂ සිරුර හැමතැනම ඉක්මණින් පැතිරිලා යනවා. ඒ නිසයි සර්පයෙක් කෑ විගස නිසොල්මන්ව සිත තැන්පත් කරගෙන ප‍්‍රතිකාර සඳහා යොමු කරන්න කියන්නේ.


පැරැණි වෛද්‍ය ක‍්‍රමවල සර්පයෙකු දෂ්ට කළ විට මන්තර ජපකරලා නයාව ගෙන්වලා විෂ අද්දවනවා කියලා සඳහන් කරලා තියෙනවා.


එහිදී සර්පයා දෂ්ට කළ රෝගියා බිම වාඩිකරවලා කකුල ඉදිරියට දිග හැරීමට සලස්වනවා. පසුව දෂ්ට කළ ස්ථානයේ සිට ටික දුරක් යන තෙක් කෙසෙල් පතුරු පීලි ආකාරයට දිගටම තියෙනවා. ඊට පසු මල්පැලක් සකස්කර මතුරනවා.


එහිදී රෝගියා වගේම රෝගියාගේ ඥාතීන් සිතනවා දෂ්ට කළ සර්පයා පිල්ලියක් වෙලා කෙසෙල් පතුරු දිගේ ඇවිත් ශරීරගත වුණ විස අද්වාගෙන ආපසු යන බව ඉන් රෝගියාගේ සිත තැන්පත්වෙනවා. සිතේ තිබුණු අසීමිත බිය දුරුවෙනවා. රුධිර ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. සිතුවිලි තැන්පත් වූ විට ශාරීරික ඉන්ද්‍රිය ක‍්‍රියාකාරීත්වය තැන්පත් වෙනවා. එවිට සර්ප විෂ ශරීරගතවීමට කාලයක් ගතවෙනවා. ඒ කාලය තුළ රෝගියාට නිසි ප‍්‍රතිකාර කර සුවපත් කළ හැකියි.


මේ කටයුත්තේදී සර්පයෙකු දෂ්ට කිරීමේ ක‍්‍රියා පිළිවෙතත් අවධානයට ගත යුතුයි. ඇතැම් අවස්ථාවල සර්පයන් දෂ්ට කරන පුද්ගලයාගේ සිරුරට අධික ලෙස විෂ එකතු කරනවා. එය 10% ට වගේ ප‍්‍රමාණයකට සිදුවෙන දෙයක්. බරපතළ රෝගීන් වෙන්නේ මේ අය. ඒත් තවත් විටක සර්පයෙකු මඳ විසක් දෂ්ට කරන පුද්ගලයාගේ ශරීරයට එකතු කළ හැකියි. එය 60% ක පමණ පිරිසකට අදාළ වෙනවා. මෙවැනි රෝගීන් මරණාසන්න රෝගීන් වෙන්නේ නැහැ. ඒත් නියම වෙලාවට ප‍්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.
මේ කුමන වර්ගයක රෝගියෙකුට වුවද සිතුවිලි ප‍්‍රතිකාරය වැදගත් වෙන්නේ ඒ නිසයි. එදා නයා පැමිණ විෂ අද්දවා
රෝගියා සුවපත් කරනවා කියන මතය අද විද්‍යාත්මකව විග‍්‍රහ කළ හැක්කේ ඒ ආකාරයටයි.


සටහන : කුමාරි හේරත්