IMG-LOGO

2024 ජුලි මස 23 වන අඟහරුවාදා


මෝදිගේ දේශපාලන තරවටුව

භාරතීය ජනතා පක්ෂයේ (බී.ජේ.පී) නායකයකු වන ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා විසින් කරන ලද ප්‍රකාශයක් මේ වනවිට අප රට තුළ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. එනම් ඉන්දියාවේ අසල්වැසි රාජ්‍ය දෙකක් වන නේපාලයේ හා ශ්‍රී ලංකාවේ ද බී.ජේ.පී පක්ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කරන්නේය යන්නයි. ලොව වැඩිම හින්දු භක්තිකයන් සිටින්නේ මේ රටවල් තුනේය. එනිසා හින්දු ආගම අදහන්නන් සියයට80ක් සිටින ඉන්දියාවේත් සියයට 15ක් පමණ සිටින නේපාලයේත් සියයට10ක් පමණ සිටින ශ්‍රී ලංකාවේත් යම්කිසි හින්දු ආගමික එකතුවක් ආරම්භ කිරීමක් හැටියට මෙය බැලූ බැල්මටම පෙනිය හැකිය.

එහෙත් මෙතැන ඊට වැඩි දෙයක් ඇත. එය පැහැදිලි වන්නේ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරිත්වය දෙස බැලූ විටය. නමින් භාරතීය ජනතා පක්ෂය වුවත් ඔවුන්ගේ පදනම වන්නේ හින්දුත්ව දර්ශනයයි. බී.ජේ.පීයේ බෞද්ධ ඉස්ලාම් භක්තිකයන් සිටිය ද එය බොහෝ දුරට ආගමික මතිමතාන්තර සමග බැඳුණු පක්ෂයකි. එය ආගමික පක්ෂයක් යැයි ඉඳුරා කිව නොහැකි නමුත් පොදු බැඳීම හැටියට සලකන්නේ හින්දුත්වයයි. අනෙක් අතට ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් වශයෙන් කිසිදා බී.ජේ.පී. පක්ෂය ලියාපදිංචි කළ නොහැකි යැයි කෙනකුට කිව හැකිය. එහෙත් මෙහි මා අවධාරණය කරන්නේ හරයාත්මක ප්‍රශ්නය නෛතිකභාවය සමග ගැට ගැසුණක් නොවන බවය.

බී.ජේ.පී. ඇමැතිවරයා තම කතාවේ දී කියා ඇත්තේ සිය පක්ෂය ශ්‍රී ලංකාවේ මැතිවරණවලට තරග කිරීමක් ගැන නොවේ. ශ්‍රී ලංකාව තුළ දේශපාලනිකව ක්‍රියා කිරීමකි. අප ගැඹුරින් සලකා බැලිය යුත්තේ මෙයයි. මේ විමසීම කිරීමට නම් අපට ඉතිහාසය දෙස නොබලා නොහැකිය.

අපි මේ ප්‍රශ්නයේ ඉතිහාසය විමසා බලමු. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් නිදහස ලැබුවේ එකම කාලයේය. නිදහස ලබන මොහොතේ පවා ඉන්දියාවේ බෙදීම් බහුල වූ අතර නැගෙනහිර පාකිස්ථානය, බටහිර පාකිස්ථානය හා ඉන්දියාව වශයෙන් රාජ්‍ය තුනක් නිර්මාණයට ද එය හේතු විය. පසු කලෙක නැගෙනහිර පාකිස්ථානය බංගලිදේශය නම් විය. අද අප පාකිස්ථානය යැයි කියන්නේ එදා පැවැති බටහිර පාකිස්ථානයටය. මුස්ලිම් ආගමික පදනමින් පාකිස්ථාන රාජ්‍ය බිහිවෙද්දී ඊට සමානවම දේශපාලන ක්‍රියාකාරිත්වයක් මදුරාසිය පැත්තේ ආරම්භ විය. අද තමිල්නාඩුව එදා මදුරාසියයි. ද්‍රවිඩ කතා කරන පිරිස්වලට වෙනම රාජ්‍යක් ඉල්ලීම මේ දේශපාලන ක්‍රියාකාරිත්වයයි. ජනප්‍රිය නළුවකු වූ එම්.ජී රාමචන්ද්‍රන් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය ආරම්භ කළේ ඒ සඳහාය.

නේරු, ලාල් බහදූර් ශාස්ත්‍රී, ඉන්දිරා ගාන්ධි වැනි ජාතික නායක නායිකාවන්ගේ පහස ලැබූ කොංග්‍රස් පක්ෂය ආරම්භයේ දී ඩී.එම්.කේ. පක්ෂයට ප්‍රතිරෝධයක් විය. මේ නිසා හැට දශකය වනවිටත් මදුරාසියේ වැඩි බලය තිබුණේ කොංග්‍රස් පක්ෂයටය. එහෙත් වෙනම රාජ්‍ය සන්නාමයෙන් ඉතා කෙටි කලෙකින් ඩී.එම්.කේ. පක්ෂය අනෙක් පක්ෂ අභිබවා ඉදිරියට පැමිණියේය. ඒ එහි ජාතිවාදී ස්වරූපය නිසාය. අද වනවිට කොංග්‍රස් පක්ෂයට හෝ බී.ජේ.පී. පක්ෂයට තමිල්නාඩුවේ ලොකු බලයක් නැත. ප්‍රධාන පක්ෂ දෙක වන්නේ ඩී.එම්.කේ. හා එහි ඛන්ඩනයක් වූ  අන්නා ඩී.එම්.කේ ය.

මෙම ඉතිහාසය තුළ ඉන්දියාවේ දේශපාලන ඉව ඇල්ලීම් ගැන ලංකාවේ සාකච්ඡා කෙරුණේ අද ඊයේ නොවේ. රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණු පංති පහේ අවසන් පාඩම වූයේ ඉන්දියානු ව්‍යාප්තවාදයයි. ඉන්දියානු ව්‍යාප්තවාදය අවට රටවලට තර්ජනයක් යැයි ජනතා විමුක්ති පෙරමුණ පුන පුනා දේශනා කළේය. එම විරෝධය කෙතරම් උග්‍ර වීදැයි කිවහොත් ඉන්දියානු භාණ්ඩ වර්ජනයක් දක්වා ද එය පෙළගැසුණි. මසූර් ඩාල් යන වචන වැරැදියට වටහා ගැනීමෙන් ඉන්දියාවේ පරිප්පු නිපදවන්නේ මයිසූරයේ යැයි සිතා පරිප්පු පවා වර්ජනය කෙරිණි. කෙසේ වෙතත් මෙයින් පෙනී යන්නේ අප මේ කතා කළ දේ මීට පෙර ද ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන කණ්ඩායම් කතා බහ කළ කරුණක් බවය. අනෙක් අතට ඉන්දියාව ලංකාවේ මැතිවරණ දේශපාලනයට පක්ෂ වශයෙන් මැදිහත් වූයේ ද නිදහස ලබන කාලය තරම් ඈතකදීය. 1947 දී පාර්ලිමේන්තුවේ ආසන 95 කින් යුත් ආසන 9ක් දිනාගත් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් සී.අයි.සී. (සිලෝන් ඉන්දියන් කොංග්‍රස්) වනාහි ද ඉන්දීය සම්භවයක් සහිත දේශපාලන පක්ෂයකි. ඊට ඡන්ද සවිය දුන්නෝ උඩරට වතුකම්කරුවෝය. පසුව එයින් බිඳී ගිය අබ්දුල් අසීස් වෙනම කණ්ඩායමක් පිහිටුවා ගත්තේය.

කෙසේ වෙතත් ඩී.එස්. සේනානායක හා බණ්ඩාරනායක වැනි ජාතික නායකයෝ මේ උවදුර තේරුම් ගත්හ. ඉන්දියානු වතු කම්කරු ඡන්ද බලය අහෝසි කෙරුණේ එයින් පසුය. එතැන් සිට 1977 දක්වාම ඉන්දීය සම්භවයක් සහිත කිසිම වතු කම්කරුවකුට ඡන්දයෙන් පාර්ලිමේන්තු යෑමට හැකිවුණේ නැත. තොණ්ඩමන් වුව වරින් වර මන්ත්‍රී ධුරය ලැබුවේ පත් කළ මන්ත්‍රීවරයකු ලෙසිනි. ඉන්දීය සම්භවයක් සහිත පිරිසට පුරවැසිභාවය ප්‍රදානය කර ඡන්ද බලය දුන්නේ ජේ.ආර් ජයවර්ධන මහතාය. එය හුදෙක්ම එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීමේ පටු අරමුණෙන් ගත් පියවරකි. 1982 ජනාධිපතිවරණය හා 1989 මැතිවරණවල දී එ.ජා.පයට ජය ගැනීමට හැකිවුණේ මේ වංක සහයෝගය නිසාය.

රටේ අනාගතය බිලිදෙන එවැනි පටු තීරණ හමුවේ සටන් කිරීමට සිදුවුණේ පෞද්ගලික දේශපාලන වාසි නොතකා කතා කළ දේශමාමක ජාතිහිතෛශීන්ටය. අද වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රවාහ නිසා වතු කම්කරු බලය තරමක් දුරට විසිරී ඇති බවක් දර්ශනය වේ. එහෙත් 1947 තරම් ඈතක දී ආසන නවයක් දිනා ගැනීමට වතුකරය බලවත් වී නම් ඉන්දියාවට අවශ්‍ය වුවහොත් මෙවැනි කාලයක කුමක් කරන්නට බැරි ද? ඉතාමත් භයානක විභව තර්ජනයක් මෙහි ඇති බව පැහැදිලිය.

ඉන්දියාව වැනි විසල් රටක් උරණ වී සිය කුඩා අසල්වැසියා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී අප පරෙස්සම් විය යුතුය. හයෙන් පහක බලයක් සහ විධායක ජනාධිපති ධූරය පවා තිබිය දී ඉන්දියාවේ බලපෑම හමුවේ එක්සත් ජාතික පක්ෂයට දණ ගැසීමට සිදු වූ ආකාරය අපට අමතක නැත. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, ගාමිණී ජයසූරිය, මහින්ද යාපා අබේවර්ධන වැනි අතලොස්සක් හැරුණු විට ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කතා කිරීමට බොහෝ දෙනකුට හැකිවුණේ නැත. වඩමාරච්චි මෙහෙයුමේ තීරණාත්මක පියවරේ දී දේශීය ගුවන් සීමාව අතික්‍රමණය කරමින් යාපනයට ආහාර පාර්සල් දැම්මේ ද මේ ඉන්දියාවමය. එහි අවසානය වූයේ ලංකාණ්ඩුව බිත්තියට හේත්තු කර ගිවිසුමක් ගැසීමය. ගිවිසුමක් යනු රටවල් දෙකක් අතර ඇති වන එකඟතාවකි. භීෂණය වපුරා බියවද්දා අස්සන් කෙරෙන ගිවිසුමක් නීතිය ඉදිරියේ පිළිගන්නේ නැත. ජාත්‍යන්තර නීතිය හමුවේ වුව ඊට සදාචාරාත්මක අයිතියක් නැත. එහෙත් අදටත් ඉන්දු ලංකා ගිවිසුම යනු අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වී තිබේ. දේශීය ව්‍යවස්ථානුකූල නීතියට පවා ඉන්දියාව කර ඇති මැදිහත්වීම සුළුපටු නැත.

විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණය යනු ඉන්දියාව ලංකාව කෙරෙහි ක්‍රියා කරන්නේ කෙසේද යන්න හොඳින්ම ඔප්පු වූ අවස්ථාවකි. වැඩි දෙනකු 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණයේ මුල දී සිතුවේ මහින්ද රාජපක්ෂ මහතා පහසු ජයක් ලබනු ඇතැයි කියාය. එහෙත් 2015 ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූයේ වැඩි ඡන්ද ලක්ෂ හතරකිනි.
මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ මෙම මැතිවරණයේදී වතු කම්කරුවන්ගේ ඡන්ද භාවිතය ඉතා වැදගත්ය. බැලූ බැල්මටම එම ඡන්ද වැටී තිබෙන්නේ ඉන්දියාවට ඕනෑ හැටියට වාගේය. ඉන්දියානු රහස් ඔත්තු සේවා පොදු අපේක්ෂක සංකල්පය මතු කරමින් රාජපක්ෂ මහතා පරාජයට පත්කිරීමට ක්‍රියා කළ බව පසුව පැහැදිලි විය. 2019 ජනාධිපතිවරණයේදී ද ඉන්දීය වතු කම්කරුවන්ගේ ප්‍රදේශවල දී ඡන්ද ලැබුණේ සජිත් ප්‍රේමදාස මහතාටය.

කෙසේ වෙතත් මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වතු කම්කරු ඡන්ද ලැබිණි. ඊට හේතුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් වූ ආණ්ඩු බලය පැහැදිලි වූ බැවිනි. ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය ආණ්ඩුවේ කොටස්කරුවකු නිසා එම බලය තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා බැඳී ඇත.

1956 ආණ්ඩු පෙරළියෙන් පසු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ලංකාවේ විදෙස් පිළිවෙත සකස් කළේ දූරදර්ශීවය. එහි බටහිර හෝ පෙරදිග කියා නැමීමක් නොවූ අතර තිබුණේ මධ්‍යස්ථ පිළිවෙතකි. මෙය මුළුමනින් වෙනස් වුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඇමෙරිකන් ගැති ප්‍රතිපත්තියෙනි. සෝවියට් සමූහාණ්ඩුවේ කඩා වැටීම සමග බලවත් වූ ඇමෙරිකානු පිල ලොව කුඩා රටවලට කෙළින්ම විධාන දෙන තැනට පත් වූයේ ද මේ කාලයේය. කෙසේ වෙතත් ආර්ථික හා වෙනත් ක්‍ෂේත්‍රවල ඇමෙරිකාව අභිබවා යන ආකාරයේ බලයක් හිමි කර ගැනීමට චීනයට අද හැකි වී ඇත. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට චීන පාලකයන්ගෙන් ඇත්තේ විශේෂ සැලකීමකි. මෙය ඇමෙරිකාවට මෙන්ම ඉන්දියාවට ද රුස්සන්නේ නැත. මෙම නොරිස්සුම හුදෙක් පුද්ගල එදිරිවාදිකමක් නොවේ. එය ලෝක බලවතුන්ගේ බල තුළනය දක්වාම විහිදී යයි. වර්තමානය වනවිට ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ආකාරයෙන් ද එය විෂද වේ. එනිසා බී.ජේ.පී. දේශපාලකයන් ලංකාව අරභයා කරන ප්‍රකාශ සුළුකොට තැකිය යුතු නැත.

මිලියන 900කට අධික ඡන්දදායකයන් වෙසෙන ඉන්දියාවේ අතිමහත් ප්‍රාන්ත පාලනය කරන්නේ භාරතීය ජනතා පක්ෂයයි. හින්දි බස කතා කරන්නන් වෙසෙන බිහාර්, රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ් වැනි තීරුවක බලය සීමා වී තිබූ බී.ජේ.පීය අද වනවිට  ත්‍රිපුර් වැනි කලාපවල පවා සිය ජනප්‍රියතාව වපුරාගෙන ඇත. ජාර්කාඩ්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු ආදී වශයෙන් ඉන්දියාවේ සතර දිග්භාගයේම මුල් බැසගත් ප්‍රධානතම පක්ෂය භාරතීය ජනතා පක්ෂය යැයි කීමෙහි වරදක් නැත.

එනිසා බී.ජේ.පීයේ බල ව්‍යාප්තිය නේපාලය හා ශ්‍රී ලංකාව කරා යොමුවීම විහිළුවක් නොවේ. කෙළින්ම විදේශයකට යටත් වූ රාජ්‍යක් නොවී කටයුතු කරන්නට සියවස් ගණනාවක් තිස්සේ නේපාලයට හැකි වූ බව අපි දනිමු.

එහෙත් සමූහාණ්ඩුවක් වූ පසු එය යටවූයේ බහුතර හින්දුන්ගේ බලපෑමටය. එනිසා හින්දුත්ව මූලධර්මය නේපාලයේ රජයන්නට බී.ජේ.පීයට වැඩි අවස්ථාවක් තිබේ. අනෙක් අතට නේපාලය මුහුදෙන් වට වූ රටක් ද නොවේ. එනිසා භූ දේශපාලනික වශයෙන් ගත්තත් බලවත් බී.ජේ.පී. පක්ෂයේ ශාඛාවක් එහි ආරම්භ කිරීම අපහසු නැත.

නේපාලයේ භූ දේශපාලනය එසේ වෙද්දී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි තමිල්නාඩු ප්‍රාන්තයේ ජනයා අමතමින් ද ලංකාව ගැන කතා කළේ පසුගියදාය. ඒ සියලු ආකාරයෙන් ඔවුන් පෙන්වන්නේ ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවට ඇති උනන්දුවේ තරමයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත සිදුවීම නිසා මේ වනවිට ඉන්දීය ආණ්ඩුව සිටින්නේ ලංකාව ගැන හොඳ හිතින් නොවේ. එනිසා එළඹ ඇත්තේ ඉන්දියානු බලපෑම හමුවේ අවදියෙන් සිටිය යුතු කාලපරිච්ඡේදයකි. ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂාගේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතරේම එය යථාර්ථයක් වීමේ දේශපාලන අවකාශය ගැන ද අප උනන්දු විය යුතුය. ඒ හුදෙක් ඉන්දීය පක්ෂයක් ලංකාවේ පිහිටුවිය හැකි ද? යන ආකෘතික ප්‍රශ්නවලින් නොවේ. අඩ සියවසක භූ දේශපාලනික අත්දැකීම් අනුසාරයෙනි. රටක් හැටියට අප සිටින්නේ මේ කලාපීය දේශපාලනය හමුවේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ අතීතයකය. එනිසා කණාමැදිරි එළි ගැන පවා සැලකිලිමත් වීම යුගයේ අවශ්‍යතාවකි.


(***)
(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (1)

මෝදිගේ දේශපාලන තරවටුව

නිමල් Wednesday, 17 February 2021 10:53 PM

හොඳ විග්‍රහයක්... නේපාලයේ හින්දූන් ප්‍රතිශතය 15% නම් නිවැරදි නොවේ. මෑතක් වන තෙක්ම ලොව එකම හින්දු රාජාණ්ඩුව ලෙස පැවැති නේපාලයේ බහුතරය හින්දුන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වැටුප් නොගෙන රටට වැඩකළ ලෝක නායකයෝ
2024 ජුලි මස 22 587 1

බලය පමණක් නොව, ධනය ද අවභාවිත කරමින් තව තවත් බලය සහ ධනය උපයනවා යන්න ලොව බොහෝ රාජ්‍ය නායකයන්ට එල්ල වන බරපතළ චෝදනාවකි. දේශපාලනය යනු ජනතා සේවයක් නොව, මුදල් ඉප


බදු ක්‍රමයට සංශෝධන අවශ්‍යද?
2024 ජුලි මස 22 123 0

ප්‍රතිලාභ ලෙස ලැබිය යුතු දේ වඩා හොඳ හෝ සමාන නම් මිස කිසිවකු තමා සතු දේ බෙදාගැනීමට කැමති නැත. ලැබිය හැකි දේ ස්පර්ශ කළ හැකි දෙයක් හෝ ස්පර්ශ කළ නොහැකි දෙයක්


වෘත්තීය කෙලෙසන ගුරුවරයා සමාජයට පිළිලයක්
2024 ජුලි මස 22 89 0

නිරුක්ති විද්‍යාවට අනුව ‘ගුරුවරයා’ යනු ‘‘නොදැනීම නමැති අන්ධකාරය දුරුකරන්නා’’ යන්නය. ගුරුවරයාගේ සමාජ භූමිකාව එමගින් මනාව නිරූපිත ය. එහෙයින් ඔහු අත්‍


සෞභාග්‍යය කරා ගිය ගමනේ චීනය ගත් ක්‍රියාමාර්ග
2024 ජුලි මස 20 286 0

චීනයේ කොමියුනිස්ට් පක්ෂය එහි 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරය ජූලි 15 සිට ජූලි 18 දක්වා බීජිංහිදී කැඳවනු ලැබීය.


වස් විසීමේ පුණ්‍යවන්ත සිරිතේ වගතුග
2024 ජුලි මස 20 243 0

සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ තරම් මහජන මතයට ගරු කළ, තත්කාලීන යහපත් සමාජ පිළිගැනීම් සඳහා නම්‍යශීලීවූ වෙනත් ශාස්තෘවරයකු පිළිබඳව ඉතිහාසයෙන් අනාවරණය


ප්‍රතිපත්ති කෙළෙසන දේශපාලනය
2024 ජුලි මස 20 348 2

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 170 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1070 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1929 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site