IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මගතොට සරසන හබරණ සහ උඩවලවේ අලි

 

මේ මිහිතලය මත වෙසෙන ලස්සනම සතා මොකාදැයි ඇසුවොත් බොහෝ දෙනකු දෙන පිළිතුර ඇතා යන්නය. එහෙමත් නැත්තම් අලියා යන්නය. 


මේ නිසාමදෝ අපේ රටේත් විදෙස් රටවලත් සංචාරකයෝ අලින් බලන්නට කැමැත්තක් දක්වති. උඩවලවේ, මින්නේරිය, යාල, වස්ගමුව වැනි වනෝද්‍යානවලට සංචාරකයන් යන්නේ අලි බලන්නට මිස වෙනත් සතුන් දකින්නට නොවේ. වෙන මොන සතා දැක්කත් අලියකු නොදැක්කොත් ඒ ගමනෙන් වැඩක් නැතැයි සිතන්නට අපි පුරුදු වී ඇත්තෙමු. අලියා ඒ තරමටම ආකර්ශනීයය.


වංගෙඩි බඳු කකුල් හතරක් මත කල්දේරමක් වැනි සිරුරක්, කුළු දෙකක් බඳු කන් දෙකක් සහ හොඬවැලක් සහිත අලියා ඇත්තටම අභිමානවත් පෙනුමක් ඇත්තෙකි. ඌට සුදු පාට දිගු දළ දෙකක් තිබුණහොත් උගේ කඩවසම් බව තවත් ඉහළ යන්නේය.
ඇත්තටම වන උයනක දී දිවියෙක් දැක්කාට වඩා අලියකු දැකීමේත් අලියකු දැකීමට වඩා ඇත්තු දැකීමේත් ආස්වාදයක් තිබීමේ රහස එයයි. මේ අටුවාටීකා ඔක්කොම සඳහන් කළේ හබරණදීත් උඩවලවේදීත් පාර දෙපස දී දකින්නට ලැබෙන වන අලින් ගැන කීමට පෙරවදනක් ලෙසිනි.


හබරණට පිවිසි විගසම පාර දෙපසින්ම දකින්නට ලැබෙන්නේ වනාන්තරයයි. මොන තරම් ගිනි ගහන අව්වක් සහිත මද්දහනක දී වුවත් හබරණ කැලයේ දී ගතට දැනෙන්නේ සිහිලකි, සුවතාවකි. පොලොන්නරුව පැත්තට යන  ඕනෑම වාහනයක වේගය හබරණ දී අඩු වෙයි. පාර කාපට් කර තිබුණත් පැයට කිලෝමීටර හැත්තෑවක තරම් වේගයකින් යා හැකි වුවත් මේ අඩවියේ දී නිරායාසයෙන්ම වේගය අඩු වන්නේ පාර දෙපස වනය තුළ සිටින අලි බැලීමේ පිපාසය නිසාවෙනි.


 ඉතින් අපේ වාහනයේ වේගය ද අඩු විය. පාර අද්දර නතර කළ යතුරුපැදියකි. ඉන් බැස ගත් යුවලක් වගේ වගක් නැතිව වන ගහනය තුළ ඔවුන්ගේ නෙත් රඳවා ගෙන සිටිනු පෙනේ. 


ඔවුන්ගේ නෙත් ඔස්සේ මගේ නෙත් ද දිව ගියේය.
‘‘අර ඉන්නේ කට්ටිය බැහැලා.’’
අපේ ඇබා කීවේ කැමරාව සුරතට ගනිමිනි. ඔහුට ද රටක් රාජ්ජයක් ලැබුණාක් වැන්න.


‘‘නවත්තන්න,’’ අපේ රියදුරුට කී ඇබා කැමරාවත් අරගෙන බිමට බැස්සේ අලි සෙල්ලම් ඡුායාරූපගත කරන්නටය. ඔහු කැමරාවේ සටහන් කරගන්නා අලින්ගේ රූප මම මගේ හිතේ සටහන් කර ගත්තෙමි.


වාසනාවකට මෙන් හබරණ කැලයේ ගස් තිබෙන්නේ තැනින් තැනය. හබරණට පමණක් නොව වියළි කලාපයේ බොහොමයක් වනාන්තරවලට ආවේණික වූ ලක්ෂණයකි. එක් තැනක අලින් තිදෙනෙකි. ඉන් දෙදෙනෙක්ම ලොකුය. එකෙකුගේ උස අඩි හතක්වත් විය යුතුය. මේ තුන් දෙනා හෙමින් හෙමින් ඇවිද යමින් ඔවුන්ගේ දිවා භෝජනය රස බලති.
ඊට අඩි හතළිහක් පනහක් පමණ ඈතින් අලි රංචුවකි. මේ රංචුවේ සිටින අලි ගණන් කිරීම ද සතුටකි. පෙරහරක දී වුවත් අප කරන්නේ පෙරහරේ ගමන් කරන අලි ගණන් කිරීමය. අලි ගැනීමේ දී හිතට මේ තරම් සතුටක් දැනෙන්නේ කෙසේ දැයි නොදනිමි.
අර රංචුවේ අලි දොළහක් ඉන්නවා.


ඒ අපේ ඇබාය. ඔහු ද පින්තූර ගැනීම පසෙක තබා අලි ගණන් කර ඇත.


මම ද අලි රැලේ සිටින සංඛ්‍යාව ගැන්නෙමි. මට ගැනුනේ දහතුනකටය. ඉන් දහතුන් වැනියා පුංචිත්තෙකි.

 

උඩවලවේ


මට දහතුනට ගැනුනා මම කියමි.
ඇබා යළි මුල සිට ගනියි. එහෙත් මේ හාදයන් අපට ගැන ගැනීමට පහසුකම් දී පිළිවෙළකට පෝලිමකට සිටින්නේ නැත. උන් එහාට මෙහාට වෙයි. රංචුවේ සිටින පුංචි බට්ටා විටෙක අලියකුගේ කකුල් අතරට රිංගා ගන්නා අතර විටෙක රංචුවෙන් පිට පැනීමට වෙහෙසෙයි. එහෙත් රංචුවේ සිටින වැඩිහිටියෝ පොඩි එකාව මැදි කර ගනිති. උගේ පරිස්සම තිබෙන්නේ රංචුවට මැදි කරගත් විට බව ඔවුන්ගේ වැටහීම නිසාය.


තවත් තැනෙක අලි හතර දෙනකුගේ රංචුවකි. උන් එන්නේ තරමක ඈතක සිටය. උන් ද අර රංචුවේම සාමාජිකයන්දැයි සැකයකි. ටිකක් ඈතින් ඈතින් සිටියත් මේ එකම රංචුවමය. රංචුවෙන් පිටස්තර පවුලක් නම් උන් සිටින්නේ වෙනමය.
මේ අලි රංචුව ඇවිද යන්නේ පාරෙන් ඔබ්බටය. තව ටිකකින් උන් වනාන්තරය තුළ නොපෙනී සැඟව ගන්නවා ඇත. ඉනික්බිති මේ ඉසව්වට එනු ඇත්තේ වෙනත් රංචුවකි.


කෙසේ වුවත් මේ පෙදෙස අලින්ගෙන් හිස් වන මොහොතක් නම් නැති තරම්ය.
මේ හබරණය. අපි පැයක් පමණම මේ අලි සෙල්ලම් දෙස බලා උන්නෙමු. කාලය ගෙවී ගියත් අපට දැනුනේ කාලය නතර වී තිබූ බවකි. නතර වූ කාලය මැද අලි රැළ පමණක් නතර නොවී සක්මන් කළහ.


දැන් අපි උඩලවේ වනෝද්‍යානය අසලින් තණමල්විල දෙසට ගමන් කරමු. පාර අද්දර දී වන අලියකු දැක ගැනීමට නොලැබණහොත් එය ද පුදුමයකි. උඩවලවේ ජලාශය පසුවූ ගමන්ම අපේ නෙත් වෙහෙසෙන්නේ අලි බලා ගැනීමටය. පාර අද්දර කුඩා ප‍්‍රමාණයේ පළතුරු ලෑලිය උක්ගස් කෙසෙල් දිවුල් වැනි පළතුරු සහිත මේ පළතුරු ලෑලිවල සිටින ගැහැණුත් මිනිසුන් මේ පළතුරු විකුණන්නේ මිනිස් පරිභෝජනය පිණිස නොවේ. අලි පරිභෝජනය උදෙසාය. එහෙත් එක් අලියකුටවත් මේ පළතුරු මිල දී ගැනීමට නුපුළුවන. උන් කරන්නේ පාර දිගේ යන සංචාරකයන්ට හොඬ පා ආහාර ටිකක් ගෙන දෙන්නැයි ඉල්ලා සිටීමය.


මෙතැන ද අලි රංචුවකි. විදුලිය වැට දිගටම පෝලිම් ගැසුණු ඔවුහු පාරේ යන එන්නන්ට හොඬ පා කන්නට දෙයක් ඉල්ලති. සංචාරකයෝ වහා රිය නවතා අර පළතුරු ලෑලිවලින් කෙසෙල් ඇවරියක් උක් ගහක් මිල දී ගෙන ඒවා අලින්ගේ ආහාරයට එක් කරති.
සංචාරකයා වැටෙන් මෙහා පැත්තේය. අලියා වැටෙන් එහා පැත්තේය. අලියා කරන්නේ වැටට යටින් හොඬවැල චුට්ටක් පාර දෙසට රිංගවීමය. ඒ හොඬට කෙසෙල් ඇවරියක් උක් දණ්ඩක් අල්ලා ගැනීමට පුළුවන. හොඬට අසුවන පළතුරු ගෙන වහා කටේ ඔබා ගන්නේ අනෙක් අලියකුට කලින් තමන් මොනවා හෝ ඉල්ලාගෙන අලි බඩෙන් චුට්ටක්වත් පුරවා ගැනීමේ අපේක්ෂා වෙනි.
මෙතැන සිටින එක් අලියෙක් අනෙක් අලින් පසෙකට තල්ලූ කර ඌ ඉදිරියට එන්නට ගන්නේ ලොකු වෙහෙසකි. උගේ සිරුර ද පුෂ්ටිමත්ය. මෙතැනින් වැඩිම ආහාර ප‍්‍රමාණය ලබා ගන්නේ ඌ විය යුතුය.


මීට වසරකට දෙකකට කලින් මෙතන සිටියේ අලින් දෙතුන් දෙනකු පමණි. එහෙත් දැන් මෙතන හිඟාකන අලි සංඛ්‍යාව වැඩිවී ඇත. ඒ කොළ අතුවලට වැඩියෙන් පළතුරු රසවත් නිසා විය යුතුය. පළතුරු කෑ විට සිරුර රූමත් වන රහස මේ අලින් ද දැනගෙන විය යුතුය. මේ අලින්ට කෑම දීමෙන් වළකින්න යැයි ලියැවුණු පුවරු එල්ලා තිබේ. එහෙත් ඒ පුවරුවල ඇති ඉල්ලීමට අවනත වන කෙනෙක් නැති පාටය. හැමෝම මොන මොනවා හෝ මිලට ගෙන අලින්ට දන්සල් දෙති. මෙතන පසු කර ටික දුරක් යන විට තවත් වන අලි තුන්හතර දෙනෙක් පළතුරු හිඟමන් යදිති. හොඬ එහා මෙහා වනමින් ඉල්ලන්නේ කන්නට දෙයකි.


පව්, උන් බඩගින්නේ.
මේ අලි සෙල්ලම් දකින විට එසේ කියැවෙන්නේ නිරායාසයෙනි.

 


හබරණ වන අලින් උඩවලවේ වන අලින් මෙන් පාරක් අද්දරක දී යළිත් වන අලින් හමුවන්නේ ලාහුගල දීය. ලාහුගල වැවේ අලින් නැති අවස්ථාවක් සොයා ගැනීම උගහටය. මේ වැව බෙරුවලින් පෝෂිතය මේ බෙරු රසවත් ආහාරයක් බව දන්නා අලි දනක් මඬේ බැහැගෙන බෙරු උගුල්ල උගුල්ලා කති. ලාහුගල පාර තනා ඇත්තේ ලාහුගල වැවේ මැද්දෙනි.
එබැවින් පාර දෙපැත්තේම වන අලි ගැවසෙති. වන අලි බලන්නට වනෝද්‍යානයකට යනවාට වඩා පාර අයිනේ සිට අලි බලන විට හිතට දැනෙන සතුට වෙනස්ම එකකි.

 

ශාන්ත කුමාර විතාන / ඡායාරූප: ඇලෙක්සැන්ඩර් බාලසූරිය



අදහස් (0)

මගතොට සරසන හබරණ සහ උඩවලවේ අලි

නිල්මිණි Friday, 22 February 2013 02:52 PM

හොදයි නරකයි දෙකම මේ අය ලග එක වගේ තියෙනවා (දී)

:       0       0

බණ්ඩා Sunday, 03 February 2013 11:49 PM

යන්නකෝ අපේ අහවල් තැනට. එතන නම් ලේසියෙන්ම බලන්න පුලුවන් අලි ඉන්නවා. (නි)

:       0       0

අජිත් Sunday, 10 February 2013 10:13 AM

මහ මිනිස්සු පොඩි දරුවන්ට මේ වගේ වැරදි වැඩ උගන්නනකොට පොඩි අය ලොකු උනාම කරන්නෙත් මේ වැරදිමයි.(නදී)

:       0       0

චරූතා Monday, 04 February 2013 07:41 AM

මේ වැඩේ නම් එච්චර හොද නැහැ යාලුවනේ. අන්තිමට මිනිස්සු දෙන කෑම කන්න අලි රංචු පිටින් පාරට එයි. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 06 February 2013 11:54 PM

වගකිවයුත්තන්ගේ මර නින්ද නිසා මගතොට සැරිසරන අලි තව ටික දවසකින් දැකගන්න ලැබෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31085 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13226 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 39 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site