පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.
මෙහි පළවන්නේ සහරාන් හෂීම්ගේ මුල්වකවානුව සම්බන්ධයෙන් එම වාර්තාවේ ඇතුළත් පරිච්ඡේදයකින් කොටසකි.

එක්තරා පුද්ගලයකුට හෝ කණ්ඩායමකට දුරස්ථ පාලක බෝම්බයක් මඟින් ජමීල් මරා දැමීමට අවශ්‍ය වූයේ නම් අනිවාර්යයෙන් දේවස්ථාන හා හෝටල්වල මුල් පිපිරීම් සිදු කිරීමෙන් පසු ඔවුන් පැය 4ක තරම් කාලයක් ඒ වෙනුවෙන් මිඩංගු නොකරනු ඇති බවයි. මෙම කාලය තුළ ජමීල් අවම වශයෙන් ත්‍රීරෝද රථ දෙකකින් නිදහසේ එහා මෙහා ගමන් කළ අතර පුපුරන ද්‍රව්‍ය රැගත් බෑගය ද සමග ටොෆිකල් ඉන් ලැඟුම්හලේ නවාතැන් ගැනීමට ඔහුට හැකිවිය. එතරම් වේලාවක් කිසිදු ආකාරයක පිපිරීමක් සිදු නොවීය.

ජමීල් යනු ප්‍රහාර හා සම්බන්ධ ප්‍රධානතම ක්‍රියාකාරිකයෙක් වනවා සේම ප්‍රහාරය පිළිබඳ බොහෝ තොරතුරු ඔහු දැන සිටියේය. එසේ නම් ජමීල්ව මරණයට පත් කිරීමට උනන්දුවක් ඇති පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් දුරස්ථ පාලක බෝම්බයක් යොදාගෙන එය සිදුකිරීම සඳහා එතරම් දීර්ඝ වේලාවක් මිඩංගු කොට අදාළ දුරස්ථ පාලකය ක්‍රියාත්මක කරන්නේ කුමකට ද? ප්‍රහාරයෙන් පසු බැසීම සඳහා ජමීල්හට යම් සංඥාවක් ලබා දුන්නේ නම්, ඔහුට එතරම් නිදහසේ අදාළ සැලසුම් පිළිබඳව මනා දැනුමක් ඇතිව ඔබ මොබ සැරිසැරීමට අවස්ථාව ලබා දී තිබුණේ ඇයි? එතරම් නිශ්චිත ආකාරයට ප්‍රහාරයක් සැලසුම් කළ කණ්ඩායමක් සතුව අනිවාර්යයෙන් බාහිර පාර්ශ්වයක මැදිහත් වීමකින් තොරව මරාගෙන මැරෙන බෝම්බකරුවන් අදාළ ස්ථානවලින් ඉවත් කිරීමට ඔවුන් ප්‍රහාරයට අත්හිටුවීමට සැලසුම් කළ අවස්ථාවක දී අනිවාර්යයෙන් හැකියාව තිබිය යුතුය.

කෙසේ වුවත් විමර්ශන කොමිසම මගින් නිරීක්ෂණය කරන ලද CCTV කැමරා දර්ශනවලින් අනාවරණය වූ පරිදි ජමීල් ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටතට පැමිණ, එම හෝටලයේ ඉදිරිපිට ගොඩබිම පැත්තේ සිට ත්‍රිරෝද රථ කැඳවීමට උත්සහ කරන අවස්ථාවේ ත්‍රිරෝද රථ කිහිපයක්ම නොනවත්වා ගමන් කළ නමුත් පාරේ අනිත් පසින් (මුහුදු බඩ පැත්තේ) ගාලු මෝදර වට රවුමේ සිට මහ බැංකුව දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් යූටර්න් ආකාරයෙන් හරවා පැමිණ ජමීල් අසල නැවැත්වූ අතර ඔහු ඊට ගොඩවිය. ඉන්පසුව ඔහු වැල්ලවත්ත හන්දිය වෙත ගොස් ඉන් බැස ගත්තේය.

ඉන්පසුව ඔහු තවත් ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන එය දෙහිවල දෙසට පදවන ලෙස පවසා ඇත. එසේ යන අතර මගදී සත්ව උද්‍යානය ආසන්නයේ මුහුදු නවාතැන් ඇත්දැයි ඔහු විමසා තිබේ. එම ත්‍රිරෝද රථ රියදුරා ඉන් පෙරද ට්‍රොෆිකල් ඉන් ලැගුම්හලට පැමිණියේ ඒ ආකාරයෙනි. පසුව ඔහු දෙහිවල සහ වැල්ලවත්ත ප්‍රදේශවල පා ගමනින් ගමන් කළ අතර වැල්ලවත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ද ගොස් නැවතත් ට්‍රොෆිකල් ඉන් ලැගුම්හල වෙත තවත් ත්‍රිරෝද රථයකින් පැමිණියේය. උදෑසන පිපිරුමෙන් පසු වඩා වැඩි ආරක්ෂාවක් සහ සෝදිසියක් පැවති බවට වැල්ලවත්තේ මුස්ලිම් දේවස්ථානය අසලදී අමීර් සහ ජමීල් අතර සිදුවූ සිදුවීම සාක්ෂි දරයි. එවැනි ප්‍රහාර එල්ල කිරීම සඳහා මනාව සංවිධානය වූ කණ්ඩායමක් ඒ ආකාරයට ජමීල්හට ට්‍රොෆිකල් ඉන් ලැගුම්හලේදී සිදුවූ පිපිරුම දක්වාම නිදහසේ ඔබ මොබ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙනු ඇතැයි සිතිය නොහැක.

ඉහත දක්වා ඇති කරුණු කාරණා, වාචික හා ලේඛනමය සාක්ෂි මගින් සහ විමර්ශකයන්ගෙන් හා විශේෂඥයන්ගෙන් ප්‍රකාශ ඇතුළුව විමර්ශන කොමිසම ඉදිරියේදී ඉදිරිපත් කරන ලද සාක්ෂිවල කොටසකි.
ප්‍රධාන පාර්ශ්වකාර පුද්ගලයන්ගේ විස්තර වාර්තා සහරාන්ගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම්වල වැදගත් කාර්යභාරයක් ඉටු කළ කිහිප දෙනෙක් සිටියහ. මේ ඔවුන්ට පැවැරී තිබුණ භූමිකාවයි.
මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් ඔහු සහරාන්ගේ කණ්ඩායම තුළ අබු ෂයිඩ් ලෙස හැඳින්විණි.

ඔහු 1978 නොවැම්බර් 30 වැනිද‌ා කාත්තන්කුඩියෙහි උපත ලැබීය. ඔහුගේ පියා මොහොමදු මුස්තාෆා මොහොමදු ඊබ්‍රාහිම් සහ මව ඊබ්‍රාහිම් නිව්මතු නාච්චිය.

ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඔහුගේ සිය මූලික අධ්‍යාපනය ලැබුවේ කාත්තන්කුඩි, මීරා බාලිකා විද්‍යාලයේ, කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ සහ කාත්තන්කුඩි ජැමියල් ෆලාහි පාසලෙනි. ඉන්පසු ඔහු ශ්‍රී ලංකා ජමෙයිතුල් ඉස්ලාම් සංවිධානය විසින් මෙහෙයවනු ලබන මාදම්පේ ඉස්ලාහියා අරාබි විද්‍යාලයට ගොස් උසස් පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබීය. ඒ අතරම ඔහු මවුලවිවරයකු වීම සඳහා එහි පාඨමාලාවක් හැදෑරිය.

නවුෆර් ඉස්ලාමීය අන්තවාදයට නිරාවරණය වූයේ මාදම්පේ ඉස්ලාහියා අරාබි විද්‍යාලයේ දීය. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව ඔහුට උගන්වන ලද අතර ඇෆ්ගනිස්ථානය, බොස්නියාව සහ චෙච්නියාවේ මුස්ලිම්වරුන් මුහුණදෙන ගැටලු නිරූපණය කරන වීඩියෝ දර්ශන පෙන්වීය. ආයුධ පුහුණුව අනිවාර්ය බව ඔහුට ඉගැන්වීය. සෑම වසරකම සිසුන් කැලෑවට ගෙන ගොස් පුහුණු කඳවුරුවල පුහුණුව දුන්නේය. ඔහු ජමෙයිතුල් ඉස්ලාම් සංවිධානයේ ප්‍රචාරක නිලධාරියකු ලෙස පත් කෙරිණි. මෙය සිදු වූ කාල සීමාව බොහෝ විට 1990 දශකයේ විය හැකිය.

2000 සිට 2004 දක්වා ඔහු අග්නිදිග විශ්ව විද්‍යාලයෙන් අරාබි සංස්කෘතිය ඉගෙන ගත්තේය.

එක් සාක්ෂිකරුවකුට අනුව නවුෆර් තවුහිද් දෙසට නැඹුරු වූයේ සලෆි අනුගාමිකයකු වූ එහියාස් ඉල්මිගේ ආභාසය හේතුවෙනි. එම මූලාශ්‍රයට අනුව, අයිඑස්අයිඑස් මතවාදය පිළිබඳව මුහුණු පොතෙහි පළකිරීම ආරම්භ කළ පළමු ශ්‍රී ලාංකිකයා නවුෆර්ය.

ඔහු 2003 දී මොහොමඩ් සිත්ති හජිරා සමඟ විවාහ විය. ඇය සහරාන්ගේ බිරිඳ වන හාදියාගේ මවගේ සහෝදරියකි.

2004 දී පමණ සහරාන් ඉස්ලාම් දහම ඉගෙන ගැනීම සඳහා කත්තන්කුඩිහි ජමෙයිතුල් ෆලා මද්‍රසා වෙත ඇතුළත් වී සිටිය දී නවුෆර්ට සහරාන් හමුවිය. නවුෆර් සහරාන් වහබ්වාදය කෙරෙහි යොමු කිරීමට පටන් ගත්තේය.

සහරාන් 2005/2006 දී පමණ කත්තන්කුඩිහි ඩාරුල් අද්හාර් අද් දයියා නමින් සංවිධානයක් ආරම්භ කළේය. සහරාන් සහ නවුෆර් සහ මවුලවි නෂ්මාල්, මවුලවි අෂ්ෆර් රවුෆ් සහ තව්ෆීක් දාරුල් අද්හාර් අද් දයියාහි සාමාජිකයන්ව සිටියහ. හාදියා අනුව, 2008 දී නවුෆර් කටාර් බලා යාමට පෙර සහරාන් හා නවුෆර් අතර හිත් නොහොඳවීමක් ඇති විය.

2006 දී නවුෆර් කටාර් බලා පිටත්ව ගොස් මාස හයකින් ආපසු පැමිණියේය. පසුව ඔහු අමානා ජාත්‍යන්තර පාසලේ ගුරුවරයකු ලෙස සේවය කිරීමට පටන් ගත් අතර, 2008 දී නැවත කටාර් බලා ගොස් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් 2016 දක්වා එහි සේවය කළේය. ඔහු කටාර්හි නැවතී සිටි කාලය තුළ සාමාන්‍යයෙන් වසරකට වරක් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු නීති කාර්යාලයක පරිවර්තකයකු ලෙස සේවය කළේය.

ඔහු ෆේස්බුක් හරහා මිල්හාන් සහ හසිම් අහමඩ් සමඟ සම්බන්ධ විය. ඔහු අවස්ථා කිහිපයක දී කටාර් හිදී මිල්හාන් හමු වූ අතර ඔහු සමඟ අයිඑස් ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කළේය.

නවුෆර් 2016 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ නැවත සහරාන් සමඟ මිතුරු විය. පසුව 2016 ඔක්තෝබර් මාසයේ දී පමණ නවුෆර් සහරාන් හට හිස ගසා දැමීමේ අයි.එස්. වීඩියෝ අඩංගු දත්ත බහාලුමක් ලබා දුන්නේය. හාදියා ලබා දුන් මෙම සාක්ෂි සහරාන් අයිඑස් තොරතුරු ෆේස්බුක්හි පළ කිරීමට පටන්ගත් කාලසීමාව සමඟ ගැළපේ.

2017 නොවැම්බරයේ මැදවච්චියේ, රබාවැව ප්‍රදේශයේ පැවති පළමු පුහුණු කඳවුරට නවුෆර් සහභාගි වූ අතර එහිදී සහරාන්, නවුෆර්, අන්සාර්, රිස්වි, රිස්වාන්, ආබ්දීන්,රමීස්, මිල්හාන්, හස්තුන් සහ රිල්වාන් ඇතුළු 14 දෙනෙක් පමණ සහභාගි වූහ.

ජමාත් ඉල් ඉස්ලමික් (ජේ.එම්.අයි) ආයතනයේ සාමාජිකයන් පැමිණ ඔහුගේ නිවසේ දී නවුෆර් මුණගැසී කණ්ඩායමේ සමහර සාමාජිකයන් නිලාම්ගේ දේශනවලට සහභාගි වී ඇති බවත්, උමයර් සිරියාවට ගොස් ආපසු පැමිණ ඇති බවත් දැනුම් දුන්හ. ඔවුන්ට අවශ්‍ය වූයේ වෙනම ක්‍රියා කරනවාට වඩා සියල්ලන්ම අත්වැල් බැඳ ගැනීමයි. ඔවුහු මීට පෙර සහරාන් මුණගැසී ඇති බව නවුෆර්ට දැන්වූහ.

සහරාන් විසින් සංවිධානය කෙරුණ සියලුම පුහුණු කඳවුරුවලට නවුෆර් සහභාගි වූ අතර අයි.එස්. දෘෂ්ටිවාදය සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳව දේශන පැවැත්වීය.

මාවනැල්ලෙහි බුද්ධ ප්‍රතිමාවලට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පවුල්වලට ලබාදීම සඳහා සහරාන් 2019 ජනවාරි මාසයේ දී නවුෆර්ට මුදල් ලබා දුන්නේය. සහරාන්ට මෙම මුදල් ලබා දුන්නේ ඉල්හාම්ය. නවුෆර් සිය බිරිඳ සමඟ පුත්තලමට ගොස් අත්අඩංගුවේ සිටි මුෆීස්ගේ පවුලට මුදල් ලබා දුන්නේය. ඔහු සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය මුෆීස්ගේ බිරිඳගෙන් නැවත ලබාගෙන එය සහරාන්ට බාර දුන්නේය.

සහරාන් සිය කණ්ඩායමේ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස නවුෆර් පත් කරන ලද බවට සාක්ෂි තිබේ. කෙසේ වෙතත්, නවුෆර් ඉටු කළ භූමිකාව කණ්ඩායමේ න්‍යායාචාර්යවරයකුගේ කාර්යභාරයට වඩාත් සමීප වේ. සංවිධානයේ ආරක්ෂාව සඳහා සහරාන් සහ අනෙක් අය නැවතී සිටින ස්ථානයෙන් වෙන් වූ වෙනත් ස්ථානයක නැවතී සිටින ලෙස සහරාන් නවුෆර්ට උපදෙස් දී තිබේ. සහරාන් එඬේරමුල්ලෙහි ආරක්ෂිත නිවෙසේ දී මිලිමීටර් 9 පිස්තෝලයක් ද ඔහුට ලබා දුන්නේය.

ඔහු දැනට අත්අඩංගුවේ පසුවෙයි.

මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්
සහරාන්ගේ කණ්ඩායමේ ඔහු අබු ජල් අල් ක්විටල් ලෙස හැඳින්විණි. සැබැවින්ම අරාබි භාෂාවෙන් එම නමේ අරුත ලෙස දැක්වෙන්නේ ඝාතකයා යනුවෙති.
රිල්වාන් සහරාන්ගේ සහෝදරයකු වන අතර ඔහු මුල සිටම ඔහු සමඟ සමීපව කටයුතු කළේය. හිස්බුල්ලා මහතා 2015 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමෙන් පසු එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ආධාරකරුවෝ ඔහුට පහර දුන්හ. රිල්වාන් ඩ්‍රෝන යානයක් භාවිත කිරීම අත්හද‌ා බැලීය. මෙම උත්සාහයේ වීඩියෝවක් 2019 අප්‍රේල් 26 වැනිද‌ායින් පසුව සොයා ගන්නා ලදී.

ඔහු අන්තර්ජාලය හරහා බෝම්බ සෑදීම පිළිබඳ දැනුම ලබාගෙන තිබුණි. 2017 අගෝස්තු මාසයේ දී ඔහු පුපුරන ද්‍රව්‍ය අත්හද‌ා බැලීමේ දී දරුණු තුවාල ලැබූ අතර අත් දෙකෙහිම බොහෝ ඇඟිලි අහිමි වූ අතර ඔහුගේ වම් ඇසට බරපතළ තුවාල සිදුවිය. පිපිරීම සිදුවන විට ඔහු විරාම ඝටිකාවක් සමඟ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් පරීක්ෂා කරමින් සිටියේය. සහරාන් විසින් සංවිධානය කෙරුණ පුහුණු කඳවුරු බොහොමයකට ඔහු සහභාගි වූ අතර රැකවල් රාජකාරිය ඉටු කළේය.

දිගන සහ තෙල්දෙණිය සිදුවීම්වලින් පසුව, මිල්හාන් සහ රිල්වාන් මොහොමඩ් ෂිෆාස් සත්තාර්ගෙන් ඉල්ලා සිටියේ කඩු කිහිපයක් සොයා දෙන ලෙසයි. එසේ සොයාදුන් කඩු බේරුවල සහ කුරුණෑගල ප්‍රදේශවලට යැවීය.

2019 මාර්තු මාසයේ දී රිල්වාන්, කත්තන්කුඩි හිදී කිලෝ 35 ක් බරැති නයිට්රේට් අම්ල අඩංගු බැරල් 8 ක් මිල දී ගෙන සුදු වෑන් රථයකින් ප්‍රවාහනය කරන ලදී. වර්ෂ 2018 සහ වර්ෂ 2019 අප්‍රේල් 26 වැනිද‌ා අතර කාලය තුළ ඔහු ව්‍යාජ හැඳුනුම්පත් යොද‌ාගෙන ජංගම දුරකතන සිම්පත් විශාල ප්‍රමාණයක් මිල දී ගෙන සක්‍රීය කර තිබේ. මෙම සියලු මිල දී ගැනීම් සිදුකර ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දීය. 2019 අප්‍රේල් 29 වැනිද‌ා සහින්දමර්දුහි සිදු වූ පිපිරීමෙන් රිල්වාන් මිය ගියේය.

මොහොමඩ් කාසිම් මොහොමඩ් ෂයිනි
සහරාන්ගේ කණ්ඩායමේ ඔහු අබු මුකතිල් ලෙස හැඳින්විය. ඔහු සහරාන්ගේ සහෝදරයෙකි.
1988 නොවැම්බර් 4 වැනිදා උපත ලැබූ ඔහු 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා කාත්තන්කුඩිහි අල් අමීන් විද්‍යාලය සහ 6 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා කාත්තන්කුඩි මධ්‍යම විද්‍යාලයේ ඉගැනුම ලැබුවේය. ඉන්පසු ඔහු පාසලෙන් සමුගෙන වර්ෂ 2000 දී කාත්තන්කුඩි ජමෙයිකුල් ෆලා අරාබි පාසලට බැඳී 2007 දක්වා අල් කුර්ආනය හැදෑරීය. 2008 ජනවාරි සිට 2011 අවසානය දක්වා ඔහු වත්තල ඉබුනු උමර් අරාබි පාසලේ ඉස්ලාම් දහම හැදෑරීය.

ඉන්පසු ඔහු 2012 ජනවාරි සිට 2013 දෙසැම්බර් දක්වා ගුරුවරයකු ලෙස සේවය කළේය. 2014 මුල දී ඔහු ඉන් සමුගෙන කාත්තන්කුඩිහි එන්.ටී.ජේ (නැෂනල් තවුහිද් ජමාත්) මද්‍රසාහි ගුරුවරයකු ලෙස සේවය කළේය.

2017 මාර්තු 10 වැනිද‌ා අලියාර් මංසන්දියේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවේ සිටිය දී ඔහු මඩකළපුව සිරගෙදර සිටි සෙසු රැඳවියන්ට ඉස්ලාමීය අන්තවාදය පිළිබඳව දිගටම දේශනා පැවැත්වීය.

2019 අප්‍රේල් 26 වැනිද‌ා සහින්දමර්දුහි සිදු වූ පිපිරීමෙන් ෂයිනි මිය ගියේය.


මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්
සහරාන්ගේ කණ්ඩායමේ ඉල්හාම් අබු බාරා ලෙස හැඳින්විය.
සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රධාන අරමුදල් සපන්නකු වූ ඉල්හාම් සමඟ ඔහුගේ සහෝදර ඉන්ෂාෆ් ද විය. 2018 දී සහරාන් සහ ඔහු රුපියල් මිලියන 200 ක් ශ්‍රී ලංකාවේ සිට සිරියාවට බෝට්ටුවෙන් යැවීම සඳහා සාකච්ඡා කර ඇත.

ඉල්හාම්ගේ අන්තවාදයේ තරම තේරුම් ගත හැක්කේ ඔහු තම දරුවන් පාසලට නොයවා නිවෙසේ දී ඉගැන්වීම, දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොදීම, බිරිඳගේ සහෝදරයාගේ විවාහ උත්සවයට පවා නොපැමිණීම සහ ඔහුගේ නිවෙසේ තිබී ප්‍රහාරයෙන් පසු අන්තවාදී ආගමික ග්‍රන්ථ හමුවීම යන කාරණා සලකා බැලීමේදීය.

ඔහු කිසිදු අපරාධයකට සම්බන්ධ වූ බවට වාර්තා නොතිබුණි.

ඉල්හාම් ධනවත් ව්‍යාපාරික පසුබිමකින් පැමිණි අයෙකි. ඔහුගේ පියා මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් යනු ‘‘ඉෂාස්නා එක්ස්පෝට්ස්’’ නමින් කුළුබඩු අපනයන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කුළුබඩු වෙළෙන්දෙකි.

පාස්කු ඉරිද‌ා ප්‍රහාරයෙන් පසු බඩල්කුඹුර, බුත්තල පාරේ ‘‘ඩොල්ෆින්’’ නමැති ස්ථානයේ පිහිටි ඔහුගේ ගබඩාවෙන් කඩුවක් සොයා ගත්තේය. සහරාන් සමඟ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ අනෙක් මරාගෙන මැරෙන බෝම්බකරු ඔහුය.


අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්
සහරාන් කණ්ඩායම තුළ ජමීල් අබු හම්සා ලෙස හැඳින්විණි.
ඔහු 1982 දෙසැම්බර් 18 වැනිද‌ා මහනුවර දී උපත ලැබීය. ඔහුගේ පියා 2010 දී මියගිය අබ්දුල් රසාක් අබ්දුල් ලතීෆ් වන අතර මව සම්සුදින් හිද‌ායාය. ඔහුගේ පවුලේ ගැහැනු ළමයි 4 දෙනෙක් පිරිමි ළමයි තිදෙනෙක් සිටියහ. ජමීල් සිය පවුලේ හයවැන්නා විය.

පළමු වැනි ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා වෙලම්බඩ දෙමළ පාසලට ඇතුළත් වූ ඔහු 6 වන ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ විභාගය දක්වා මාරියාවත්ත ගම්පොළ ජාත්‍යන්තර පාසලට ඇතුළත් විය. ඉන්පසු ඔහු උසස් පෙළ විභාගය සඳහා රෝයල් ඉන්ස්ටිටියුට් වෙත ඇතුළත් විය.

පසුව ඔහු රත්මලාන ආසියානු ගුවන් සේවා මධ්‍යස්ථානයට ගොස් ගගනගාමී ඉංජිනේරු විද්‍යාව පිළිබඳ එච්එන්ඩී පාඨමාලාව හැදෑරීය. 2007 දී පාඨමාලාව හැදෑරීම සඳහා එක්සත් රාජධානියට ගිය ඔහු 2008 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු 2008 අප්‍රේල් 4 වැනිද‌ා ෆාතිමා ෂියානා ඔමර්කත්තා සමඟ විවාහ විය. ඔවුන්ට දරුවෝ හතර දෙනෙක් සිටිති.

ජමීල් සහ ඔහුගේ බිරිඳ 2009 දී පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට ගියේ ජමීල්ගේ සහෝදරයකු වන අබ්දුල් ලතීෆ් යස්ලිම් මොහොමඩ් එහි පදිංචිව සිටියදීය. ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත වසර දෙකක් එහි අධ්‍යාපනය ලැබූ ඔහු නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ අතර, ඉන් අනතුරුව වසරක පමණ කාලයක් ඉංජිනේරු නිර්මාණකරුවකු ලෙස සේවය කළ ඔහු 2013 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු ඔස්ට්‍රේලියාවේ සිටිය දී ඇල්ෆර්කාන් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා සහභාගි වූ අතර එහිදී හරූන් මවුලවි සහ අරූස්ව දැන හඳුනා ගත්තේය.

හරූන් මවුලවි සමඟ ඇති සම්බන්ධය ජමීල් තුළ විප්ලවීය වෙනසක් ඇති කළේය. ඔහු රැවුලක් වැවීමට පටන් ගත් අතර සංගීතයට සවන්දීම සහ චිත්‍රපට නැරඹීම නැවැත් වූ අතර ඉස්ලාමයේ ඉගැන්වීම්වලට පටහැනි බැවින් එසේ කරන ලෙස තම බිරිඳට ද උපදෙස් දුන්නේය. මෙම වෙනස ආරම්භ වූයේ 2011 දීය.

(***)
(මතුසම්බන්ධයි)