IMG-LOGO

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු,  ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් වුවද පාලකයා රාජ්‍යය පාලනය කරනුයේ රාජ්‍යය තුළ ජීවත්වන ජනතාව වෙනුවෙන් වන අතර ජනතා සුබසිද්ධියට ප්‍රමුඛතාව දිය යුතුය.

රාජ්‍ය පාලකයකු සතුවිය යුතු ගුණාංග කුමක්ද යන්න බුදුන්වහන්සේ අවස්ථා ගණනාවකදී දේශනා කර ඇත. ඒ අතර දස රාජ ධර්ම ඉතා වැදගත්ය.

දානං ශිලං පරිච්චාගං       - අජ්ජවං මජ්ජවං තපං

අක්කෝධෝ අවිහිංසාච  -  ඛන්තී ච අවිරෝධතා

එනම් දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව, බුදු බව, තපස, අක්‍රෝධය, අහිංසාව, ඉවසීම, සහ විරුද්ධ නැති බව හෙවත් විරුද්ධ මත ඉවසා දැරීම වේ.

එමෙන්ම මගධයේ අජාසත්ත රජු වජ්ජි රාජ්‍යය ආක්‍රමණය සඳහා තීරණය කර සුමේධ සහ වස්සකාර අමාත්‍යවරු දෙදෙනා බුදුන්වහන්සේ වෙත යවා බුදුන්වහන්සේට එම අදහස ව්‍යංග ලෙස පවසා බුදුන්වහන්සේගේ අදහස අධ්‍යයනය කර දැනගන්නා ලෙසට දැන්වීය. එම අදහස තේරුම්ගත් බුදුන්වහන්සේ වදාළේ එය කිසි දිනක සාර්ථක කරගත නොහැකි කටයුත්තක් බවයි. ඊට හේතුව වජ්ජීන් දස රාජ ධර්ම පිළිපැදීම බව ද වැඩිදුරටත් වදාළහ. එම සප්ත අපරිහානී ධර්ම මෙසේය.

නිතර රැස්වීම,

සමගිව රැස්ව, සමගිව කටයුතු කර, සමගිව විසිර යාම

අත්‍යවශ්‍ය හේතුවක් නොමැතිව නොපනවන ලද නීති පැනවීම සහ පනවන ලද නීති කඩ නොකිරීම

වැඩිහිටියනට ගරු බුහුමන් දැක්වීම, ඔවුනට සත්කාර කිරීම

කුල ස්ත්‍රීන්ට අතවර නොකිරීම සහ රැකවරණය ලබා දීම

නුවර තුළ හා නුවරින් පිටත යම් ආගමික ස්ථානයක් ඇතිද? ඒවාට පුද පූජා කිරීම, ගරු බුහුමන් දැක්වීම

තම රටට නොපැමිණෙන ලද රහතුන් ගෙන්වා දම් පැන් ආදිය පුද සත්කාර කිරීම, රටේ සිටින රහතුන් වෙත පහසුකම් සැලසීම

චක්ක සූත්‍ර දේශනාවේදී පුද්ගලයන්ට නිරවුල් ජීවන රටාවක් ඇති කරගැනීමේ ක්‍රමවේදය බුදුන්වහන්සේ වදාළ අතර, එය සමහර තැනක ඒකචක්ක සූත්‍රය නමින් ද සඳහන්ව ඇත. චක්ක යනු රෝද යන්නයි. රථයක් නිසි පරිදි ගමන් කිරීමට නම් මනා තත්වයේ රෝද සමූහයක් ඊට සවි කර තිබිය යුතුය. යමකුගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙන්ම සාර්ථක රාජ්‍ය පාලනයක් සඳහා විනයගරුක චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

දීඝ නිකායේ සංගීති සූත්‍රයේ සඳහන් කර ඇත්තේ දැහැමි පාලකයකු තුළ පහත සඳහන් ගුණාංග පහ පැවතීම අත්‍යවශ්‍ය බවයි. ඒවා නම්,

අත්ථඤ්ඤු         - හොඳ නරක අවබෝධ කර ගැනීමේ හැකියාව

ධම්මඤ්ඤු         - ධර්මානුකූලව තීරණ ගැනීමේ හැකියාව

මත්ථඤ්ඤු         - තම ප්‍රමාණය දැන තීරණ ගැනීමේ හැකියාව

කාලඤ්ඤු          - කාලානුරූපීව තීරණ ගැනීමේ හැකියාව

පරිසඤ්ඤු          - තමා පාලිත ජනතාව සමග යහපත් සම්බන්ධතා ඇතිකර පවත්වාගෙන යාම

බ්‍රහ්මදත්ත රජු මියුලු‍ නුවර වටලා මිථිලා රාජධානිය සිය ආධිපත්‍යයට ගැනීමට සැරසුණු මොහොතේ මහෞෂධ පඬිතුමන්ගේ සුවිශේෂ වූ බුද්ධිය යොදා ගනිමින් වේදේහ රජු සිය රාජ්‍යය හා ජනතාව ආරක්ෂා කරගත් අයුරු උම්මග්ග ජාතකයේ මනාවට පැහැදිලි වේ. යහපත් ගුණාංගවලින් තොර පාලකයන් රාජ්‍යයක් පාලනය කිරීමෙන් සිදුවන ව්‍යසනකාරී තත්ව කෙසේද යන්න ජාතක පොතේ එන චේතිය ජාතකයෙන් පැහැදිලි වේ. එහි සඳහන් පරිදි ලෝකයේ පළමු කල්පයෙහි මහා සම්මත රෝජ, වරරෝජ, කල්‍යාණ, වර කළ්‍යාණ, උපෝසථ, මන්ධාතු, වරමන්ධාතු, චර, උපචර යනාදී රාජදරුවෝ දස දෙනෙක් වූහ. උපචර නම් රජුගේ පුත්‍ර චේතිය නම් රජෙක් චේතිය රට සොත්තිය නුවර සිඳිමින් රට පාලනය කළේය. ඔහුට ප්‍රඥාසම්පන්න පුරෝහිත බමුණෙක් විය. ඔහු කපිල නම් විය. කපිල පුරෝහිත වයස්ගත වූ පසු රජු බැහැ දැක, “මම වයස්ගත වූ වෙමි. පෙර මෙන් දිව පැන යා නොහැක. ඒ නිසා මේ තනතුරෙන් සමු දෙන්න” යැයි අවසර ගෙන තාපසයකු බවට පත්ව පැවිදිව අභිඥා සමාපත්තිය උපදවාගෙන උයනෙහි වාසය කළේය.

කපිල තාපසයන් සිය පුතා එකී පුරෝහිත තනතුරට පත් කළේය. කපිල තාපසයන්ට කෝර කලම්භ නම් බාල සොයුරකු සිටි අතර චේතිය රජු ඔහු කැඳවා පුරෝහිත තනතුරේ “තෝ සිටුවයි” යනුවෙන් නියෝග කළේය. එවිට කෝර කලම්භ පැවසුවේ ඔහු කපිල තාපසයන්ගේ බාල සොයුරා නිසා එය බාර ගැනීම නුසුදුසු බවයි. එවිට චේතිය රජු පවසා සිටියේ කපිල තාපස බාල කොට කෝර කලම්භවයා වැඩිමහල් බව පවසමින් එය කළ හැකි බවයි. “තොප මම වැඩිමහලු‍ කරමි. තොපගේ සොයුරා තොපට බාල කරමි.” යනුවෙන් චේතිය රජු පැවසුවේය. එවිට කෝර කලම්භ පවසා සිටියේ “ස්වාමීනි සොයුරාණෝ උපාය දනිති. ඔබවහන්සේට අහස වැටෙන්නා සේ දක්වති. පොළව ගිලෙන්නා සේ දක්වති. ඊට බිය නොවී ශක්තිමත්ව සිටින්නේ නම් යහපතැයි” කීවේය. තවද කෝර කලම්භ “මා වැඩිමහල් බව ප්‍රකාශ කරන්නේ කවදාද?” දැයි රජුගෙන් විමසුවේය. එවිට රජු පැවසුවේ “අදින් සත් වන දිනයේදී” යන්නයි.

රජතුමා බොරුවක් කීමට සූදානම් වන බව සොත්ථිය නුවර පුරාම වේගයෙන් ප්‍රසිද්ධියට පත් විය. රජතුමා කවදාකවත් බොරු නොකියන අයකු බවට දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව අතර තිබූ පිළිගැනීම නිසා මෙවැනි ආරංචියක් ජනතාව මවිතයට පත් කළේය. එම නිසා එම දින රජ්ජුරුවන් වහන්සේ කීමට නියමිත බොරුව කුමක්දැයි යන්න දැනගැනීමට තිබෙන කුතුහලය නිසා ජනතාව මැසි බැඳගෙන තැන තැන නුවර වැසියෝ රැස්වූහ. “අපගේ රජ්ජුරුවන් වහන්සේ අද බොරුවක් කියන සේක. එම බොරුව උල් ද, වටකුරු ද, හතරැස් ද, නිල් ද, රතු ද, සුදු ද” යනාදී වශයෙන් ජනතාව කතාබහ වූහ. ඒ බව කපිල තාපසයන්ගේ පුතා කපිල තාපසයන්ට දැනුම් දුන් අතර කපිල තාපසයාණෝ රජු වෙත පැමිණ අහසෙහි වැඩසිට “මහරජ බොරු කී කල සතරදිග වැඩසිටින දෙවියෝ පලා යන්නාහ. මෙලෝ පරලෝ දෙකෙන්ම අවැඩ වන්නේය. එනිසා බොරු නොකිව මැනවැයි” කීහ. එවිට රජ පැවසුවේ “ඔබවහන්සේ බාලය. කෝරකලම්භ වැඩිමහල්ය” යනුවෙනි.

මහ රජ එම බොරුව කියනවාත් සමගම සතරදිග රැකවල් කරගෙන සිටි සතර වරම් දෙවියෝ තමන් අත වූ කඩු සතර රජුගේ පා ළඟ දමා පලා ගියහ. රජු එය දැක බියට පත් විට කෝර කලම්භ පැවසුවේ “මම කලින්ම කීවෙමි. ඔබවහන්සේ බිය කිරීම පිණිස එය සිදු විය” යනුවෙනි.

එම අවස්ථාවේ කපිල තාපස රජු අමතා “මහරජ එක වරක් කී බොරුවෙන් රැකවල සිටි දෙවියන් පලා ගිය බව දුටුවා නොවේද? දෙවැනි බොරුවෙන් බිම වැටෙන්නේය. මුවින් විහිදෙන මානෙල් මල් සුවඳ නැති වී දුගඳ හමන්නේය. සඳුන් සුවඳ හමන සිරුරින් අසූචි ගඳ විහිදෙන්නේය. මෙය දැක දැකත් ඔබට අවබෝධ නොවන්නේද? පෙර සේම සත්‍යය වචනයෙහි සිටුව. බොරු කියා අවීචියට නොයව.” යනුවෙන් තාපසයාණෝ අවවාද කළහ.

එවිට රජු කෝර කලම්භගේ මුහුණ දෙස බැලූ විට ඔහු “බිය නොවනු මැනවි, රජ්ජුරුවන් වහන්ස, මෙය රැවටීමකැයි” යනුවෙනි. ඒ සමගම රජුගේ දණහිස දක්වා පොළොවෙහි ගිලු‍ණේය. තාපසයන් වහන්ස නැවතත් ඉතා කරුණාවෙන් රජු අමතා සත්‍ය වචනයේ පිහිටා පෙරමෙන් දියුණුව සලසා ගන්නා ලෙස දන්වා සිටියේය.

එවරද රජු අවවාදය නොපිළිගෙන “තාපසයන් වහන්ස, ඔබවහන්සේ බාලය. කෝර කලම්භ වැඩිමහලු‍ය” යැයි කීවේය. එවිට රජු උකුළ දක්වා පොළොවේ ගිලු‍ණි. පෙර මෙන් තාපසතුමාණෝ නැවතත් සත්‍යයේ පිහිටන ලෙසට රජු කෙරෙහි අනුකම්පාවෙන් දන්වා සිටිමින් “මහ රජ බොරු කීම නම් මෙලෝ පරලෝ දෙකෙහිම අවැඩ සැලසෙන්නේය. බොරු කියන්නන්ගේ මුවින් උපනුපන් ජාතියෙහි දුගඳ වහනය වන්නේය. දකින්නන්ට අප්‍රිය වේ. මහ රජ සත්‍ය වචනයේ පිහිටා පෙර සේ රාජ සැපතෙහි පිහිටිය මැනවැයි” යනුවෙන් පැවසූහ.

එහෙත් රජු නැවත වතාවක් “තාපසයන් වහන්ස, කෝර කලම්භ වැඩිමහලු‍ය. ඔබවහන්සේ බාලය” යනුවෙන් පැවසුවේය. එවිට රජු පපුව පෙදෙස දක්වා ගිලු‍ණේය. තාපසතුමා රජුට නැවතත් අවවාද කළ ද නැවත වතාවක් එම වදන් පෙළම පවසද්දී අවීචි මහා නරකයෙන් ගිකි කඳක් මතු වී රජු වටකොට ගෙන අවීචි මහා නිරයට ඇදගෙන ගියේය. එවිට රජුගේ පුත් කුමරුන් පස්දෙනා එම ස්ථානයට පැමිණි අතර, තාපස තෙමේ ඔවුනට අවවාද කරමින් එම නුවර වාසය නොකරන ලෙසත්, වෙනත් නුවරවලට ගොස් ජීවත් වන ලෙසටත් අවවාද කළේය.

එදා චේතිය රජ්ජුරුවෝ බුදුන්වහන්සේ කල දෙව්දත් තෙරුන්ය. කපිල තාපසයා බුදුන් වහන්සේය. බුදුන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවසන කල්හි දෙව්දත් තෙරුන් නිමිති කොටගෙන රැස්ව සිටි භික්ෂූන් වහන්සේලා අරභයා එම අතීත කතාව දේශනා කරමින් දෙව්දත් තෙර එම ආත්මයේ පමණක් නොව පෙර ආත්මවලදී ද නොහික්මුණු ගතියෙහිලා සිටි ආකාරය පැහැදිලි කළහ.

එවක් පටන් මේ දක්වා කපිල තාපසයාණන් වැන්නන් දැකීම අසීරු කාරණයක් වුවත් නිරන්තරයෙන්ම චේතිය රජවරුත්, දෙව්දත් තෙරුන්ලාත් සුලභව දැකිය හැකිය.

 

(*** ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ)



අදහස් (0)

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 28 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 116 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 252 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 286 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 795 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 180 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1374 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1590 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site