IMG-LOGO

පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් විවිධාකාරයේ විග්‍රහ ඉදිරිපත් කරනු ලැබ තිබේ. සමහරෙක් මෙම ප්‍රතිඵල උපයෝගී කරගෙන ගණිතමය විග්‍රහයන් ඔස්සේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ අභිමතය පිළිබඳව මත ඉදිරිපත් කරති.

ඒ අතරම සමහර දේශපාලන පක්ෂවල නායකයන් සහ කථිකයන් එම මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කර ඇති ආකාරය හෝ පෙර මැතිවරණවලට වඩා ඉදිරියට ගොස් ඇති අකාරය පිළිබඳව මත දැක්වීම් කර තිබේ. එසේ වුවද එම විග්‍රහ දෙස බලන විට බො‌හෝ දුරට පෙනී යන්නේ එක් එක් පාර්ශ්ව තමන් ජයගෙන ඇති බව හුවා දැක්වීම සඳහා ඉදිරිපත් කරන විග්‍රහයන් හෝ මතවාදවලට එහා ගිය බිම් මට්ටමේ සහ ඡන්දදායකයන්ගේ සැබෑ අදහස පිළිබඳව නිවැරැදි විග්‍රහයක් ඉදිරිපත් කිරීම ඔවුන් සිතා මතාම අතපසු කර ඇති බවකි.

මෙම මැතිවරණයේ සංඛ්‍යාත්මක තොරතුරු ආශ්‍රයෙන් එක් එක් පක්ෂ ලබාගෙන ඇති ප්‍රතිඵල පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කිරීමට මෙහිදී බලාපොරොත්තු නොවේ. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ බොහෝ දෙනකු ඉදිරිපත් කර ඇති විග්‍රහයන්ගේ අදහස වන්නේ තමන් අයත් වන පාර්ශ්වය ජයග්‍රහණය කර ඇති බව එමගින් පෙන්වීමට බව පෙනේ. එබැවින් ප්‍රතිඵල සම්බන්ධයෙන් පොදු මහජනතාව අතුරින් බොහෝ දෙනකුගෙන් ප්‍රකාශ වන අදහස් අනුව මෙම මැතිවරණයේ සැබෑ තීන්දුව කවර ආකාරවේද යන්න පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. කවරෙකු කුමක් කීවද මැතිවරණ ප්‍රතිඵලය තුළ පොදුවේ දක්නට ලැබෙන සහ බහුතරයක් පිරිස් පිළිගන්නා අදහස් අනුව ඒ පිළිබඳව සැළකිලිමත්වීමට හැකියාව ලැබේ.

ඡන්ද ප්‍රකාශ කළ ආකාරය හා ප්‍රතිඵල දෙස බලන විට පෙනෙන්නට තිබෙන පැහැදිලි කරුණු කීපයක් තිබේ. ඉන් එකක් වන්නේ ඡන්දදායකයන්ගෙන් ඉතා අඩු සංඛ්‍යාවක් ඡන්දපොළට ගොස් ඇති බවත්, අතිවිශාල පිරිසත් ඡන්දය දැමීමෙන් වැළකී ඇති බවත්ය. දෙවැනි කරුණ වන්නේ මෙම රජය බලයට පත්වී මාස හතක කාලයක් ගෙවී ගොස් ඇති නමුත් රජයේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කිරීමට හෝ රජයේ ගමන පිළිබඳව තම අප්‍රසාදය ප්‍රකාශ කිරීමට විශාල පිරිසක් ඉදිරිපත් වී ඇති බවයි. තුන්වැනි කරුණ වන්නේ රටේ දේශපාලනයේ ශක්තිමත් බලවේගය තවදුරටත් ජාතික ජනබලවේගය වන අතර එයට අභියෝග කිරීමට තරම් ශක්තිමත් කිසිදු දේශපාලන බලවේගයක් තවමත් බිහිවී නැති බවයි. පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයෙන් පසු රට තුළ ඇතිව තිබෙන දේශපාලන විකෘතිය සහ අසමතුලිතතාව ඒ අකාරයටම පෙනෙන්නට තිබෙන අතර එයින් පැහැදිලි වන්නේ රට තවදුරටත් දේශපාලන අස්ථාවරත්වයක් වෙත ගමන් කරන බවක් මිස වෙන කිසිවක් නොවේ.

සියයට හැටක් වැනි අඩු ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරන්නේ පළාත් පාලන මැතිවරණවලදී ඡන්ද භාවිත කළ පිරිස සෑම ඡන්දයකදීම අඩු මට්ටමක පවත්නා බවයි. එබැවින් එය රටේ සාමාන්‍ය තත්වයක් බව ඔවුහු පෙන්වා දෙති. විපක්ෂය ප්‍රකාශ කරන්නේ රජය ගැන ඇතිව තිබෙන කලකිරීම නිසා බොහෝ ඡන්දදායකයන් ඡන්දපොළට පැමිණ නැති බවයි. මෙම කරුණු දෙකම පිළිගත හැකිද යන්න දන්නේ ඡන්දය දැමීමට නොපැමිණි පිරිස පමණි. ප්‍රධාන දේශාපාලන පක්ෂවල සිට කුඩාම දේශපාලන පක්ෂය දක්වාම සියලුම දේශපාලන පක්ෂ අපේක්ෂකයන් මෙම ඡන්දයට ඉදිරිපත් කර තිබේ. ඒ අතරම ස්වාධීන කණ්ඩායම් අතිවිශාල සංඛ්‍යාවක්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර තිබුණි.

සෑම නගරයකින්ම, සෑම ගමකින්ම ඡන්දදායකයන්ට ඉතා සමීප අතිවිශාල පිරිසක් ඡන්දයකට ඉදිරිපත් වන එකම අවස්ථාව වන්‌නේ පළාත් පාලන ඡන්දයයි. එවැනි තත්වයක් තුළ අඩු ඡන්ද මට්ටමක් ප්‍රකාශයට පත්ව තිබීම ආණ්ඩු පක්ෂය කෙරෙහි පමණක් නොව විපක්ෂය කෙරෙහි ජනතාව තුළ තිබෙන අප්‍රසාදය නිසා සිදුවී ඇති බව පැහැදිලි වෙනු ඇත.

 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය මෙම මැතිවරණයට වඩා ඉහළ මට්ටමක පැවැතිණි. මහජනතාව ඡන්දය පිළිබඳව උනන්දුවක් දක්වන අවස්ථාවල ඡන්ද ප්‍රකාශනයේ අඩුවක් දක්නට නො‌ලැබෙන බව පසුගිය පළාත් පාලන මැතිවරණ ඡන්ද විමර්ශනය කරන විට පැහැදිලි වේ. ජනතාවගෙන් බහුතරයක් ආණ්ඩුවට කැමති නැත. එහෙත් ඒ වෙනුවට තෝරා ගැනීමට ඔවුන්ට වෙනත් විකල්පයක් ද නැත. ප්‍රකාශිත අඩු ඡන්ද ප්‍රතිශතයේ තේරුම එය නොවන්නේද?

දෙවැනි කරුණ වන්නේ පසුගිය මහමැතිවරණයේදී හැට අට ලක්ෂයක් ඡන්ද හිමිකරගත් ජාතික ජනබලවේගයේ ඡන්ද ප්‍රමාණය මෙවර හතළිස් පන් ලක්ෂය දක්වා අඩුව තිබීමයි. රජයේ ඇතැම් අය ප්‍රකාශ කරන්නේ පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ආයතන ප්‍රමාණයක්ද, වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්ද ජය ගැනීමට එම පෙරමුණට හැකිව ඇති බැවින් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කර ඇති බවයි.

 කෙසේ වුවද ඒ ඒ පක්ෂ ලැබු ඡන්ද ප්‍රමාණය විමර්ශනය කරන විට කැපී පෙනෙන කරුණක් වන්නේ ජාතික ජනබලවේගයට ඡන්දය දුන් විසිතුන් ලක්ෂයක පිරිසක් මෙවර එම පෙරමුණට ඡන්දය ලබාදී නැති බවයි. එය ඕනෑම පුද්ගලයකුට පෙනෙන සහ තේරුම් යන තත්වයකි. අනෙක් අතට ජාතික ජනබලවේගයෙන් ගිලිහී ගිය ඡන්ද රටේ කිසිදු දේශපාලන බලවේගයක් වෙත මුළුමනින් නොව වැඩි මට්ටමකින් හෝ ලබා ගැනීමට හැකි වී නැති බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඉහළ ක්‍රියාකාරි මට්ටමකින් දේශපාලනයේ නියැළුණු ඡන්ද ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය එකම පක්ෂය ලෙස සැලකිය හැක්කේ ජාතික ජන බලවේගයයි. ඔවුහු සක්‍රීයව මෙම ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටියහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම අගමැති හරිනි අමරසූරිය මහත්මියද රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වූහ. ජනාධිපතිවරයා ඡන්දය දීම සඳහාම තම විදේශ ගමන නිමකර කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වැඩි දෙනෙක් අතිවිශාල කැපවීමකින් ඡන්ද ව්‍යාපාරයට සහභාගි වූහ. රජය විසින් ගතවූ මාස හතක කාලය තුළ බොහෝ සංවර්ධන කටයුතු ඉටුකර ඇති බව පෙන්වා දෙනු ලැබීය. එසේ වුවද ඡන්ද විසිතුන් ලක්ෂයක් ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබේ. අඩුම තරමින් අනික් කිසිදු දේශපාලන පක්ෂයකට අවම වශයෙන් එම ඡන්දවලින් පන් ලක්ෂයක් හෝ තනිව ලබා ගැනීමට නොහැකි වී ඇත. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද පරාජය වී ඇත.

මා තුන්වැනි කරුණ ලෙස සඳහන් කළේ ජාතික ජනබලවේගය රටේ තවමත් ශක්තිමත් දේශපාලන පක්ෂය බවත් ඊට අභියෝග කිරීමට කිසිදු දේශපාලන බලවේගයක් ගොඩ නැගී නැති බවත් ය. මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට ඒ බව පැහැදිලි වනු ඇත. අද සියලු පක්ෂවලට ලක්ෂ පනස් පහක පමණ ඡන්දයක් ලැබී ඇති නමුත් සමගි ජනබලවේගය හැරුණු විට මිලියනයකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණු කිසිදු පක්ෂයක් නොමැති බව පෙනේ. රජයට විරුද්ධව බහුතරයක් පිරිස ඡන්දය පාවිච්චි කර ඇති නමුත් ඒ තුළ ශක්තිමත් දේශපාලන එකමුතුවක් ගොඩ නැගී නැත.

2024 ජනාධිපතිවරණයෙන් පසු අප මේ තීරුවෙන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත ගොඩ නැගීමට නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන් සියලු පාක්ෂිකයන් කොන්දේසි විරහිතව නැවත එකතු කර ගතයුතු බවය. එහෙත් එය සිදු නොවීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමින් මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොටින් බලයට පත්වූ පසු හම්බන්තොට නවීන පුරවරයක් ලෙස සංවර්ධනය කළද සමහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ඡන්ද තුන් හාරසීයක් හෝ ලබා නොදීමට තරම් අකෘතඥ වූ පිරිස්වල හැසිරීම මෙම මැතිවරණ ප්‍රතිඵල තුළින් අපට දැකගත හැකිවිය.

රටේ දක්ෂණිංශක බලවේගය සම්බන්ධයෙන් මෙම තීරුවේ අප කිහිපවරක්ම සඳහන් කළේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් ගොඩ නැගීමේ අවශ්‍යතාවයි. ජනාධිපතිවරණයේදී මෙම පක්ෂ දෙක අතර දක්ෂිණාංශක ඡන්ද බෙදී නොගියේ නම් ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් බිහිවන්නේ දක්ෂිණාංශයෙනි. 

එහෙත් එයට එම පක්ෂ දෙකේම නායකයෝ පයින් ගැසූහ. පළාත් පාලන මැතිවරණයට පෙර එවැනි සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව අප විසින් යළිත් වරක් මෙම තීරුවෙන් අවධාරණය කළ නමුදු එවැනි සන්ධානයක් ගොඩනැගුණේ නැත. බොහෝ ආයතනවල ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ මෙම පක්ෂ දෙක අතර එකමුතුවක් ගොඩනගා තිබුණේ නම් පළාත් පාලන ආයතන බොහොමයක් එම එකමුතුව යටතේ පාලනය වන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගයත් රටේ ප්‍රධාන වාමාංශික සහ දක්ෂිණාංශක බලවේග බවට පත්වීමට ඇති ඉඩකඩ තමන් විසින්ම අහුරාගනු ලැබ ඇත. ඒ පිළිබඳව එහි නායකයන් වගකිව යුතුව ඇත. රටේ බහුතරයක් ජනතාව ජාතික ජනබලවේගයට විරුද්ධ වුවද එවැනි කුළල් කා ගැනීම් හේතුවෙන් රට තුළ විධිමත් දේශපාලන කඳවුරු ගොඩ නැගීමේ අවස්ථාව මහජනතාවට අහිමි වී ඇත. රටක දේශපාලන ක්‍රමය ශක්තිමත් වීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමටත් ප්‍රබල ආණ්ඩු පක්ෂයක් පැවැතීම මෙන්ම ප්‍රබල විපක්ෂයක් පැවැතීම ද මූලික කොන්දේසියකි.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
 සුනන්ද මද්දුම බණ්ඩාර



අදහස් (0)

පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 30 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 123 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 273 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 288 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 807 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 182 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1376 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site