හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගීතය නැමැති කලාංගය සුනිසි මගකට ගෙන ඒමට පුරෝගාමී වූවාහුය. එම අතිමහත් දායකත්වය මෙරට සමාජයේ උසස් රසවින්දනයක් ස්ථාපිත කිරීමට අනල්පව හේතු කාරණ විය. අදාන්ත මිනිස් චෛතසිකයන් දාන්ත කිරීමට, මෘදු කිරීමට සිසිල් පවනක් විය.
මෙරට රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට හා සම්භාවනාවට පත් වූ බුදු හාමුදුරුවො අපිත් දකින්නැති, සසර දනව්වේ දුක් පීඩා විඳ, පිපෙන පරවෙන මල් උයන් සේ, වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්, සියක් ආයු ලැබ, කඳුළු හෙළා නෑඹිලියට, බුදු බණ කිව්වත් නිරන්තරේ, හිමි සනරාමර, ගමේ පන්සල අපේ පන්සල. අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා, ළා දළු බෝපත්, සඳවතුරක් සේ, ආදි ගීත රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සොඳුරු ගීතාවලියෙන් කිහිපයක් පමණි.
ඒ අතරින් බොහෝ ගීත ශ්‍රී ලාංකික බෞද්ධ ගීත සාහිත්‍යය සුපුෂ්පිත හා සුගන්ධවත් කිරීමට දුන් දායකත්වය අනල්පය. මේ කෙටි ලිපියෙන් සංක්ෂිප්තව හෝ විමසා බැලෙන්නේ උන්වහන්සේගේ එම බෞද්ධ ගීතාවලියෙන් ගීත කිහිපයක් පිළිබඳව සහ එම ගීත රචනා කිරීමට උන්වහන්සේට පසුබිම සැකසුණු අනුභූතීන් පිළිබඳවය.
මාතර දෙනියාය ආසන්නයේ රඹුකන ග්‍රාමයේ ඉපිද පසුව පැවිදි දිවියට ඇතුළත්ව ශාසනික, සමාජීය, සංස්කෘතික මෙහෙවරකට උර දෙමින් සිටින රඹුකන සිද්ධාර්ථ හිමියන්ට ඇතැම් ගීත රචනා කිරීමේ දී ගැමි සමාජයේ අව්‍යාජ අත්දැකීම්, පොදු ජන චින්තනය, ජනශ්‍රැතික පදනම බොහෝ සේ බලපාන්නට ඇති බව පැහැදිලිය. වික්ටර් රත්නායකයන් ගයන ‘බුදු හාමුදුරුවො අපිත් දකින්නැති‘ ගීතය ඒ සඳහා එක් උදාහරණයකි.
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
දෙව් රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
අපිත් එක්ක සිටි අපේම යාළුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ
මේ අපූර්ව පද සංකල්පනාව සිතට නැගුණේ කෙසේ දැයි රඹුකන සිද්ධාර්ථ හිමියන්ගෙන් අප විමසා සිටි විටෙක උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.
“මම හිතන්නෙ අපේ ගැමියන්ගේ සංසාර කල්පනාවන් ගොන්නක් තමයි මේ ගීතයේ තියෙන්නෙ. අපේ ගම්වල සෑම බෞද්ධයෙක්ම විශ්වාස කරනවා බුදු හාමුදුරුවෝ අපට මුණගැහිල ඇති, බණ අහල ඇති ඒත් නිවන් දකින්න පින් මදි වෙන්න ඇති කියලා. ගැමියන්ගෙ ඒ අදහසම තමයි මේ වගේ ගීතයක් ලියන්න හේතු පාදක වුණේ. මම මේක ගීතයක් හැටියට ලිව්වට ඒකෙ තියෙන්නෙ ගැමි සංසාර කල්පනාවන් ගොන්නක්. ඒ පද මාලාවට වටිනා තනුවක් නිර්මාණය කරලා ගායනා කරලා වික්ටර් රත්නායකයන් මනා සාධාරණයක් ඉටු කළා. බුදුන් වහන්සේ හැඳින්වීමට පාලි සාහිත්‍යයේ නම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ අතරේ අපේ ගැමියෝ ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් බුදුන් වහන්සේ අමතන්නේ බුදු හාමුදුරුවෝ යන වදනින්. ඒ ගැමියන්ගේ ආමන්ත්‍රණය තමයි මම ගීතයට යොදා ගත්තෙ.”
රඹුකන හිමියන් මේ ගීතය ලියන්නේ 1976 පමණ කාලයේය. මේ ගැමි සංකල්පනාව ඔස්සේ විටින් විට පද ගෙත්තම් කරන උන්වහන්සේ මේ ගීතය ලියන්නට මාස තුනක පමණ කාලයක් මහන්සි ගනිති. කෙසේ වෙතත් උන් වහන්සේ ගීතයෙන් ගීතයට ගොඩ නගන්නේ අවස්ථෝචිත බසකි. එය වැදගත් කරුණකි. අවස්ථාවට හා වස්තු විෂයයට වඩාත් ගැළපෙන බසක් උන්වහන්සේ සෑම ගීතයකටම තෝරාගනා බව පෙනේ. බුදු හාමුදුරුවො අපිත් දකින්නැති ගීතයේ මුලින් කී පරිදි ගැමි වහරට ආසන්න ව්‍යවහාර බසක් උන්වහන්සේ යොදා ගත්තත් ‘හිමි සනරාමර’ වැනි ගීතයක ට යොදාගන්නේ සම්භාව්‍ය සාහිත්‍යයෙන් පෙරාගත් බසකි.
හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිදේ
මා හද මැළැවෙන මල් දෝතට ගෙන
පාද වඳිම් නිබදේ
හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව් තුරු බුදු සමිදේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබදේ
ගීතයක කල් පැවැත්ම තීරණය කිරීමට එහි භාෂාව නැත්නම් සාහිත්‍යමය දායකත්වය අත්‍යවශ්‍ය වේ. අවස්ථෝචිත ගුණය අවශ්‍ය වේ. රඹුකන හිමියන් සෑම විටකම පාහේ මේ කෙරෙහි වඩා උනන්දු වන බවක් පෙනේ. මේ අවස්ථෝචිත භාෂා භාවිතය පිළිබඳව අපි උන් වහන්සේගෙන් විමසා සිටියෙමු. උන්වහන්සේගේ පිළිතුර මෙවැන්නකි.
“ඒක වැදගත් කාරණයක්. බුද්ධ වන්දනාවෙ දී හෝ දෙවියන් වන්දනාවෙදී අපි බොහෝ විට භාවිත කරන්නෙ සංස්කෘත මිශ්‍ර භාෂාවක්. මේ ගීතයේදිත් මම යොදා ගන්නේ එම ලක්ෂණය. බුදුහාමුදුරුවො අපිත් දකින්නැති ගීතයේ ගැමියන්ට සමීප බසක් යොදාගත්තෙ ඒ අත්දැකීමට සමීප වෙන්නෙ එම භාෂාව නිසයි. දහම් කාරණා පැහැදිලි කරද්දි වුණත් අපේ සාහිතයෙත් භාෂාව භාවිත කළේ ජන සමාජය කුමක් ද යන්න තෝරා බේරා ගෙනයි. ගුත්තිල කාව්‍යයේදී වෑත්තෑවේ හිමියන් භාෂාව පාවිච්චි කරන්නෙ කොහොම ද?
ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අනේ දෙව්දත් නොදුටි මොක් පුර
පොදු ජන සමාජයේ අදහස් කල්පනාවන් ගැමි වහර යොදාගෙන වෑත්තෑවේ හිමියන් ඉතාම ලස්සනට කියනවා. හැබැයි මානවසිංහ මහත්තයා
පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වගේ ගීතයක දී ඔහු සංස්කෘත මිශ්‍ර බසක් යොදාගන්නවා. ඒක බුද්ධ වන්දනාවට ගැළපෙන බසක්. හිමි සනරාමර ගීතයේ භාෂාව මම හිතා මතා යොදපු එකක් නොවුණත් ඒ සම්ප්‍රදායේ ආභාසය අනුව ඒ වචන යෙදුණා.
රඹුකන හිමියන් රචනා කරන සෑම ගීතයකම පාහේ මතුපිට අරුත ඉක්මවා යන දාර්ශනික යටි පෙළ අරුතක් ප්‍රතීයමාන වේ. බෞද්ධ ගීතවල එම ගුණය වඩාත් දැනේ. ටී.එම්. ජයරත්න මහත්මා වෙනුවෙන් රඹුකන හිමියන් ලියන මේ ගීතය සංසාරය පිළිබඳ බුදු දහමේ එන ගැඹුරු දර්ශනය ඉඟි කරන්නකි.
පිපෙන පරවෙන මල් උයන් සේ
නිවෙන දැල්වෙන තාරුකා සේ
බිදෙන් බිඳ මේ ජීවිතේ
මදින් මද මරණයට ළං වේ
සියලු ගම් බිම් දනවු යටකර
ගලන තන්හා ගඟට බිලිවී
සසර අග මුල පටලවාගෙන
කොහේ මේ යන්නේ
මිනිස්කම වැලි දූලි තරමට
පයින් පාගා කඳු කපා දා
මනෝ මායා මන්දිරෙන් බැස
කොහේ මේ යන්නේ
සිද්ධාර්ථ හිමියෝ මේ ගීතය සම්බන්ධයෙන් තම අත්දැකීම් විස්තර කළහ.
“මට මේ ගීතයට පදනම් වුණේ සසරේ ජීවිතයේ තිබෙන අනිත්‍යතාව පිළිබඳ කාරණය. මල් පිපෙනවා. පරවෙනවා. අපි මල් පූජා කරනවා. මල් පූජාවෙ තියෙන්නෙත් අනිත්‍යතාව. මල් පූජා කරන ගාථාවෙන් කියන්නෙත් බුදුන් වහන්සේගේ පාමුල මේ මල් මැලැවී යන්නේ යම් සේද අපේ ජීවිත ද එසේ මැලැවි යා හැකිය යන කාරණයයි. අනිත්‍ය ප්‍රතිසංයුක්ත හැඟීමක් තමයි එතනින් මතු වෙන්නෙ. ඒත් බොහෝ දෙනා වටහා ගන්නෙ ඒ අනිත්‍යය කියන කාරණය නොවේ. මේ මල් ලස්සනයි, සුමුදුයි, සුවඳයි කියන කාරණයයි.
පොදු ජන සමාජය ජන සංස්කෘතිය බුදු දහම සමග මොනතරම් බද්ධ වී ඇතිද යන කාරණය අවධාරණය වන අපූරු ගීතයක් ලෙස ගමේ පන්සල අපේ පන්සල ගීතය හැඳින්විය හැකිය. ගැමියාගේ උපතේ සිට මරණය දක්වාත් දුකේදීත් සැපතේදීත් විපතේදීත් ගමේ පන්සල තමන් සමග එකට සිටින බව මේ ගීතයෙන් අවධාරණය වෙයි. එය රසවිඳින රසිකයා ඒත් සමග තදාත්ම වන්නේ එහි වන අව්‍යාජ ගුණය නිසා විය හැකිය.
ගමේ පන්සල
අපේ පන්සල
අපේ කම රැක්කා
අපේ දානෙදි
අපේ මරණෙදි
අපේ ළඟ හිටියා
මේ සංකල්පනාව මේ තරම් හෘදයාංගමව කවි කළේ කෙසේ ද? අපේ පැනයට සිද්ධාර්ථ හිමියන්ගේ පිළිතුර මෙසේ වෙයි.
“අපි අද ගොඩ නගාගෙන තිබෙන මේ බෞද්ධ සංස්කෘතියට පදනම වැටෙන්නේ මහින්දාගමනයත් එක්ක. ඒත් එක්ක ගමින් ගමට පන්සල් වෙහෙර විහාර හැදුණා. ඒ පන්සල්වල වැඩ විසූ ස්වාමින් වහන්සේලා ගැමියන්ට බණ දහම් කියා දුන්නා. ඒ සංස්කෘතියත් එක්ක ගැමියා උපතේ සිට මරණය දක්වාම පන්සලත් එක්ක බැදුණා. සිංහල බෞද්ධයකුගේ ජීවිතේ සෑම අවස්ථාවකම පන්සල එකට හිටියා. උපදෙස් දුන්නා. ආශිර්වාද කළා. මේක රට පුරාම තියෙන සංස්කෘතික කාරණයක්. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා සංකල්පයක් අපට තිබුණා. ඒ ගම හා පන්සල අතර පවතින බැඳියාව තමයි මට මේ ගීතයට පදනම් වුණේ.”
ගම පන්සල සමග වන ඒ බැඳියාව හෘදයාංගමව ගී බසට නගන සිද්ධාර්ථ හිමියෝම මිනිස් සමාජයේ තවත් පැත්තක් අවධාරණය කරති.
බුදු බණ කිව්වත් නිරන්තරේ
බුදු බණ ඇසුවත් නිරන්තරේ
ගතිගුණ අතින් අපි තවමත්
වනන්තරේ-වනන්තරේ
අපි බොහෝ දෙනා උදේ සිට රෑ වන තුරු බණ දහම් අසමින් කාලය ගෙවති. අනෙක් පැත්තෙන් මිනිසුන් අතර සිදුවන නොයෙක් ආකාරයේ අපරාධ මිනීමැරුම් ආදිය පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබේ. බණ දහමට අනුව එවන් අපරාධ සිදුවීමට නොහැකි වුවත් සමාජයේ ඒවා සිදු වේ. රඹුකන සිද්ධාර්ථ හිමියන් ගීතයට නගන්නේ මේ පරස්පරයයි. මහින්දාගමනයේ සිට අද දක්වා මොන තරම් යහපත් දේ කියා දුන්නත් මිනිස් නොපනත්කම් දුර්ගුණ සමාජයේ මේ අන්දමින් සිදුවන්නේ ඇයි ද යන්න සිද්ධාර්ථ හිමියෝ මෙයින් ප්‍රශ්න කරති. මේ ගීතයේ අවධාරණය කෙරෙන ධර්මතාව වර්තමාන සමාජයට මොන තරම් වලංගු වන්නේ ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නොවේ. යහපත් ගුණගරුක සමාජයක් නිරන්තරයෙන් අපේක්ෂා කරන අවස්ථාවක සමාජයේ නොපනත්කම් දැකීමෙන් නිර්මාණ රචකයාට ඇතිවන කම්පනය මේ ගීතය පුරා රැව් දෙයි.
රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියා විශාර ද ගුණදාස කපුගේ ගැයූ මේ ගීතය එදා මෙන්ම අදත් දිනෙන් දින අලුත් වන ප්‍රකම්පනීය ගීතයකි.
පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
මේ ගීතය අදවන විට පොදු සමාජයේ කුදු මහත් සියලු දෙනා ඕනෑම මොහොතක අසරණව තනිව හුදෙකලාව සිටින විට මුමුණන ගීතයකි. ඒ තරමට අපට එය දැනේ. අද වන විට එය අප කාගේත් පොදු අත්දැකීමකි. එහෙත් මේ ගීතය රචනා වීම හා බැඳුණු පසුබිම් කතාවක් තිබේ. ඒ ගැන සිද්ධාර්ථ හිමියන් සිහිපත් කළේ මෙලෙසිනි.
“ගුණදාස කපුගේ, දිවුල්ගනේ ඇතුළු අපි කිහිප දෙනෙක් කතා කර කර ඉන්න වෙලාවක ආපු සිතිවිල්ලක් මේක. මේ කලාකරුවන්ට රස්සාවල් නැතිවෙලා කොළඹ ඇවිත් ඉන්න අතරේ තමයි අපේ මේ කතා බහ ඇති වුණේ. මේ අය විශිෂ්ට කලාකරුවන් හැටියට රටම පිළිගත්ත වටිනා මිනිස්සු. ඒත් එදා ඒ පැවැති වාතාවරණය දුෂ්කර කාල පරිච්ජේදය තුළ අපි කොච්චර හිනාවෙන්න උත්සාහ කළත් අපට හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන අවස්ථා අඩුයි. ඕනෑම දුෂ්කර කාලයක ඕනෑම කෙනකු තුළ මේ කම්පාව ඇති වෙන්න පුළුවන්. ඒ කම්පනය දෝංකාරය තමයි මේ මුළු ගීතය පුරාම තිබෙන්නේ. මේක හැම දෙනාටම හැමදාම පොදු අත්දැකීමක්.
“මෙරට ගීත සාහිත්‍යයෙහි යශෝධරාව පිළිබඳව ලියැවුණ ගීත අතර රසිකයන් වඩාත් තදින් වැලැඳගත් අමරණීය ගීතයක් ලෙස රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියා කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන ළා දලු බෝපත් සෙමෙන් සැලෙන සේ ගීතය හඳුන්වා දීම සාධාරණය.
ළා දලු බෝපත් සෙමෙන් සැලෙන සේ
යශෝධරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් සේ
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් වී
තැළි සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝධරාවෝ
පිපී නිවන් මල් සාධු කාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
මේ ගීතයේ අපූර්වත්වය වඩාත් කැපී පෙනෙන ලෙස මතුවන්නේ සිද්ධාර්ථ හිමියන් මේ වස්තු බීජය ප්‍රතිනිර්මාණය කරන ආකාරය අනුවය. මේ ගීතය ලියැවුණේ කොහොමද? සිද්ධාර්ථ හිමියන් මේ සම්බන්ධයෙන් අපට ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“යසෝධරාව යනු ඈත සංසාර ජීවිතයේ බුදුන් වහන්සේට නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පිණිස උදවු පදවු වෙච්ච උර දීපු සෙවණැල්ලක් වගේ හිටපු කෙනා. සිදුහත් කුමරු සසර පෙරනිමිති දැකලා ගිහිගෙය අත හැරලා ගියාට යශෝධරාව ඒ ගමනට ආශිර්වාද කළා මිසක් ඒ ගමනට බාධා කළේ නෑ. ජනකවියා පවා යශෝධරාවගේ ඒ ප්‍රාර්ථනාව දැක්කෙ
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා
හිමයේ ගොසින් මල් යහනක නිදනව ද
කොමල අනගි සිරිපා දෙක රිදෙනව ද
හිඟේ නැතිව දෙවියෝ මුර කරනව ද
මගේ ඇත් රජුනි නුඹ අද කොතැනක ද
ආදි වශයෙන්. ඒ සංසාර ප්‍රේමය තමයි මෙයින් අවධාරණය වෙන්නෙ. කිසිම තැනක ආත්මාර්ථය මතු කරන්නෙ නෑ ඇය. ආදරය වනාහි කිසිම විටෙක ආත්මාර්ථය නොවන බවට හොඳම නිදර්ශනය තමයි යශෝධරා. ඇය කිසිම තැනක සිද්ධාර්ථ කුමාරයාගේ නුගුණක් දකින්නෙ නෑ. බෞද්ධ සාහිත්‍යයේ සෑම තැනකම යශෝධරාවගේ චරිතයේ මතු කරන්නේ ආදරය, දයාව, කරුණාව ආදි ගුණාංගයි. මේ චරිත ගැන අපි පුංචි කාලෙ ගෙවල්වල හොඳින් අහල තියනවා. මේ බොහෝ මූලාශ්‍ර මට මේ ගීතය ලියන්න බලපෑවා. බෞද්ධ සාහිත්‍ය යේ අපට හමුවන ශ්‍රේෂ්ඨතම කාන්තාව තමයි යශෝධරා.”
සිද්ධාර්ථ හිමියන් මේ සමාජයට දායාද කරන සෑම ගීතයකින්ම අප ලබන්නේ ආධ්‍යාත්මික සුවයකි. උන් වහන්සේගේ ගීතාවලිය පරීක්ෂා කර බලන කල්හී ගීතයකින් සමාජයට විය යුතු මැදිහත්වීම කවරාකාරද යන්න මැනැවින් තේරුම් ගත හැකිය. ගීතය කුමක් සඳහා ද? කා වෙනුවෙන් ද? සිද්ධාර්ථ හිමියන්ගේ පිළිතුර මෙසේයි.
“ගීතය කියන්නෙ අපේ හදවතේ තැන්පත් වෙලා තියන ආදරය දයාව කරුණාව ප්‍රකාශ කරන්නට යොදාගත හැකි හොඳම මාධ්‍යය. එය වෙනත් සියලු කලා මාධ්‍යය ඉක්මවා යන්නේ ඒ නිසයි. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය ලබා ගත්තට පස්සෙ අනේක ජාතී සංසාරං. ආදි වශයෙන් උන් වහන්සේ ඒ සතුට ප්‍රකාශ කළේත් ගාථාවෙන්. ගාථා කියන්නෙ ගීත. ඒ නිසා ගීතය කියන්නෙ කෙනෙකුගේ හිතේ තියන පුණ්‍යකාමී හැඟීම් කියන්න පුළුවන් ප්‍රබලම මාධ්‍යයක්. කලාකරුවකුගේ හපන්කම වෙන්නෙ සමාජයට ආදරය කරුණාව මෛත්‍රිය ඇති කරන ඒ පුණ්‍යකාමී හැඟීම් සංයමයෙන් ඉදිරිපත් කිරීමයි. පින පව තේරුම් ගැනීමට ඉඩ සැලසීමයි. කලාව ඒ අරමුණින් යෙදෙව්වොත් කවදාවත් සමාජයට අයහපතක් වෙන්නෙ නෑ. බෞද්ධ සාහිත්‍යයේ, පාලි සාහිත්‍යයේ ඒ සම්බන්ධ උදාහරණ ඕනෑ තරම් තියෙනවා.
අද ඇතැම් වෙලාවට ගීත කලාව සම්බන්ධයෙන් විවිධ චෝදනා නැගෙන්නේ බොහෝ දෙනා හුදු ජනප්‍රිය වීමේ අරමුණක් ඔස්සේම කටයුතු කරන නිසයි. ගීතය හෝ කවිය හෝ ජනප්‍රියත්වය අපේක්ෂාවෙන් කළ යුතු කලා මාධ්‍යයක් නොවෙයි. කෙනකුගේ ජීවිතය අර්ථවත් කරගන්නට කලාව භාවිත කිරීමේ හැකියාව ලැබෙන්න ඕනැ. කලාකරුවාගේ යුතුකම මොනවා හරි දෙයක් කියලා මිනිස්සු අවුස්සන එක නොවෙයි මිනිස්සුන්ට යථාවබෝධය ලබා දීමයි. මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පුබුදු කිරීමයි. රටට ජාතියට ආගමට මෙහෙවර කිරීමයි. එහෙම නැතිව කලාවේ අරමුණ හුදෙක් විනෝදාස්වාදය සැපයීම පමණක් නොවෙයි. මිනිස් මනසේ අග මුල පටලවන එක නොවෙයි.”
සිද්ධාර්ථ හිමියන් කලාව සම්බන්ධයෙන් කරන මෙම අවධාරණය වර්තමාන නිර්මාණකරුවන්ද රසික ප්‍රජාව ද වඩාත් අවධානයට ගැනීම යහපත් වනු ඇත.
(***)
සටහන
ගාමිණී කන්දේපොළ
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති