IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අවසාන ලිපියයි. ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර ලෙස හඳුන්වනු ලබන මෙම ප්‍රහාර මාලාව, කතෝලික දේවස්ථාන තුනක් සහ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් තරුණයන් පිරිසක් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකි. කොළඹ, මීගමුව සහ මඩකලපුවේ සිදු වූ ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනකු ඇතුළුව පුද්ගලයන් 269 දෙනකු මිය ගිය අතර, තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

පාස්කුදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ විවිධ කුමන්ත්‍රණ න්‍යාය සංසරණය වෙමින් පවතී. මේවා අතර ප්‍රධාන වන්නේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා පහසුකම් සැලසීමේ යටි අරමුණින්, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල නිලධාරියකු හෝ නිලධාරියකු විසින් නොමඟ ගිය මුස්ලිම් තරුණයන් ප්‍රහාර දියත් කිරීම සඳහා යොදා ගත් බවට එල්ල වන චෝදනාවයි.

2023 සැප්තැම්බර් 5 වැනි අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර” නමින් වාර්තා චිත්‍රපටය විකාශය කළ විට මෙම කුමන්ත්‍රණ න්‍යායට දැවැන්ත ප්‍රචාරයක් ලැබුණි. තමිල් මක්කල් විඩුතලයිප් පුලිගල් (ටී.එම්.වී.පී.) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ හිටපු ලේකම් සහ ටී.එම්.වී.පී. පක්ෂයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මිල්හිලර් මොහොමඞ් හන්සීර් නොහොත් අසාද් මවුලානා ඔහුගේ හිටපු ලොක්කා පිළිබඳ මතභේදාත්මක හෙළිදරව් කිරීම් සිදු කළ තැනැත්තා විය.

නැගෙනහිර පළාතේ මරුතමුනෙයි හි පදිංචි අසාද් මවුලානා, යුරෝපයට පලා ගොස් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා ඇති බව වාර්තා වේ.

2023 වසරේදී රූපවාහිනියේ පෙනී සිටි අසාද් මවුලානා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ පිල්ලයාන් ලෙසින් හැඳින්වෙන ග්‍රාමීය මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය චන්ද්‍රකාන්තන් යන අයට එරෙහිව පුදුම සහගත හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කළේය. මෙම වාර්තා චිත්‍රපටයෙන් 2019 අප්‍රේල් මාසයේ පාස්කුදා බෝම්බ ප්‍රහාර සහ රජයේ අනුග්‍රහය ලත් මිනීමරු කණ්ඩායමක් වන “ටි්‍රපොලි ප්ලැටූන්” විසින් සිදු කරන ලදැයි කියන ඝාතන සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල විය. ගෝඨාභය, සුරේෂ් සහ පිල්ලයාන් යන සියලු‍ දෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. තවද, විදේශයන්හි දේශපාලන රැකවරණ ලබා ගැනීමට උපකාර කිරීම සඳහා බොරු කතාවක් ගොතන බවට මවුලානාට චෝදනා එල්ල වී තිබේ.

මෑත කාලයේ දී අසාද් මවුලානා නමින් හැඳින්වෙන පුද්ගලයා කෙරෙහි විශාල උනන්දුවක් ඇති වී තිබේ. පාස්කුදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිලධාරීන්, අසාද් මවුලානා සමඟ සාකච්ඡා පවත්වන බවට මාධ්‍ය තුළ බොහෝ අනුමාන පවතී. පාස්කුදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඔහු ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණ සාක්ෂි ලබා දෙනු ඇතැයි ද ආරංචි පැතිර යමින් තිබේ.

පෙර ලියවිලිවල සහාය ඇතිව, මෙම ලිපි ත්‍රිත්වයෙන් අසාද් මවුලානා කෙරෙහි අවධානය යොමු කරන්නේ එම පසුබිම තුළය. පළමු ලිපිය “ටීඑම්වීපී නායක පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම: 2019 පාස්කුදා බෝම්බ ප්‍රහාර සහ අසාද් මවුලානාගේ හෙළිදරව් කිරීම්” යන මාතෘකාව යටතේ පළ වූ අතර, දෙවැනි ලිපිය “පාස්කුදා බෝම්බ ප්‍රහාර කුමන්ත්‍රණ න්‍යායන් සහ අසාද් මවුලානාගේ සාක්ෂියේ වැදගත්කම” යන මාතෘකාව යටතේ පළවිය. මෙම තුන්වැනි ලිපියෙන් අවධානය යොමු වන්නේ අසාද් මවුලානා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් බටහිර රටවල සරණාගතයකු වූයේ කෙසේද? සහ ඇයි? යන්න පිළිබඳව ය.

 

ලිපි ත්‍රිත්වය

මට මෙතෙක් අසාද් මවුලානා සමඟ සෘජුව කතා කිරීමට හැකියාවක් ලැබී නොමැත. එහෙත් ඔහුගේ ගමේ මරුතමුනෙයි පදිංචිකරුවන්ගේ සිට ඔහුගේ නඩුවේ සියලු‍ අංශ පිළිබඳව හුරුපුරුදු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් දක්වා විවිධ දැනුවත් මූලාශ්‍ර සමඟ මම සන්නිවේදනය කර ඇත. මෙම ලිපි මාලාවේ ලිපි තුන එකට එකතු කර ඇත්තේ මෙම දැනුවත් මූලාශ්‍රවලින් රැස් කරගත් තොරතුරු මත පදනම්වය.

ආරම්භයේදීම අවධාරණය කළ යුත්තේ, චැනල් 4 රූපවාහිනියේ අසාද් මවුලානා විසින් කරන ලද සියලු‍ම චෝදනාවල සත්‍යාසත්‍යභාව පිළිබඳව තවමත් තහවුරු කර නොමැති බවයි. එපමණක් නොව, චෝදනා එල්ල වූ අය විසින්, විශේෂයෙන් මේජර් ජෙනරාල් සලේ, ඒවා අසත්‍ය ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

මවුලානා විසින් සලේට එරෙහිව නගන ලද චෝදනාව ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍ර වී ඇත්තේ බුද්ධි අංශ ප්‍රධානියා සහ ජාතික තව්හීත් ජමාත් නායක සහරාන් හෂීම් අතර පුත්තලම කරඩිප්පුවල් හිදී පැවති බව කියන හමුවක් වටා ය.

වාර්තා චිත්‍රපටයේ සඳහන් කර ඇති පරිදි මවුලානාගේ චෝදනාව අත්‍යවශ්‍යයෙන්ම එම රැස්වීම මත පදනම් වූ අනුමානයකි.

කෙසේ වෙතත්, සුරේෂ් සලේට කරන සාධාරණයක් ලෙසින් කිව යුත්තේ රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ සිටි බව ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

 

චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්

කලින් සඳහන් කළ පරිදි, මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා, චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ අත්‍යවශ්‍ය සහායකයකු බවට පත්විය. ඔහු පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම් මෙන්ම ටී.එම්.වී.පී. පක්ෂයේ ප්‍රකාශකයාද විය. දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල භාෂා පිළිබඳ සැලකිය යුතු ප්‍රවීණයකු වූ මවුලානා, ඇතැම් දේශපාලන නායකයන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරක්ෂක සහ බුද්ධි නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී පිල්ලෙයාන් විශ්වාසය තැබූ භාෂා පරිවර්තකයා විය.

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් වසර පහක් සිරගතව සිටියදී, අධිකරණ අවසරය ඇතිව නිතිපතා පිල්ලෙයාන් බැලීමට ගියේ අසාද් ය. පිල්ලෙයාන් මඩකලපුවේ සිටියදී මවුලානා දිනපතා ඔහු බැලීමට ගියේය. මවුලානා ටී.එම්.වී.පී. කවයන් තුළ සිදුවන දේ පිල්ලෙයාන්ට දැනුම් දුන් අතර, පිල්ලෙයාන්ගේ උපදෙස් පක්ෂ සාමාජිකයන්ට සන්නිවේදනය කළේය. පිල්ලෙයාන්ගේ නඩුව සම්බන්ධයෙන් සියලු‍ නීතිමය කටයුතු සම්බන්ධීකරණය කළේ ද මවුලානා විසිනි.

2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවන තෙක්ම හන්සීර් සම්බන්ධයෙන් සියල්ල හොඳින් සිදුවිය. කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට එල්ල වූ දරුණු ප්‍රහාරවලට සහරාන් සහ අනෙකුත් ජාතික තවුහිද් ජමාත් ක්‍රියාකාරීන් වගකිව යුතු බව දැනගත් විට ඔහු පසුතැවිලි වූ බව මවුලානා පවසයි.

චැනල් 4 වාර්තා චිත්‍රපටයේ හන්සීර් ප්‍රකාශ කළ පරිදි, සලේ සහ සහරාන් අතර පළමු හමුවීම සංවිධානය කළේ ඔහුය. බෝම්බ ප්‍රහාරය සිදු වූ දින සුරේෂ් සලේ තමාට දුරකථන ඇමතුමක් ලබා දී ටාජ් සමුද්‍රා හෝටලයෙන් කෙනකු ප්‍රවාහනය කරන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියේය.

ඔහුට එසේ කිරීමට නොහැකි වී ඇත්තේ, හන්සීර් ඒ වන විට මඩකලපුවේ සිටි නිසාය. ටාජ් සමුද්‍රා හෝටලයේ සිටි පුද්ගලයා දෙහිවල හෝටල් පිපිරීමෙන් මියගිය බෝම්බකරු බව පසුව දැනගන්නට ලැබුණි.

බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔහු සිරගෙදරදී පිල්ලෙයාන් හමුවූ විට, මේ සියල්ල ගැන නිහඬව සිටින ලෙසත්, ඒ ගැන කිසිවකු සමග කතා නොකරන ලෙසත් ටී.එම්.වී.පී. නායකයා ඔහුට පැවසූ බව කියනු ලැබේ.

2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට තේරී පත් විය. බෝම්බ ප්‍රහාරයෙන් පසු, ඡන්දදායකයන් ආශා කළේ, රට ආරක්ෂිතව තබා ගැනීමට හැකි ශක්තිමත් මිනිසෙකි.

 

බෝම්බකරුවන් සහ නිලධාරීන් අතර ඇති සම්බන්ධතාව

2019 අප්‍රේල් පාස්කුදා බෝම්බ ප්‍රහාරයෙන් මාස කිහිපයකට පසු, ජාතික තව්හිද් ජමාත් බෝම්බකරුවන් සහ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල ඉහළ නිලධාරීන් අතර ඇතැයි කියන සම්බන්ධතා පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහක් ඇති විය. රජයේ නිලධාරීන් සහ ඉස්ලාමීය බෝම්බකරුවන් අතර ඇති විය හැකි සම්බන්ධතාවක් පිළිබඳව ජනප්‍රිය කටකතා පැතිර ගියේය. තවත් කටකතාවකින් පැතිර ගියේ පාස්කුදා ප්‍රහාර ගෝඨා බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් බවයි. ශ්‍රී ලංකාවේ කුමන්ත්‍රණ න්‍යායන් බහුලව පවතින අතර, ඒවා පිළින්නා අය සිටියේ ස්වල්ප දෙනෙකි.

එවකට විපක්ෂ මන්ත්‍රීවරුන් වූ අනුර කුමාර දිසානායක (ජවිපෙ) සහ මනුෂ නානායක්කාර (සමගි ජන බලවේගය) පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුරේදී පාස්කුදා බෝම්බ ප්‍රහාරයේ කුමන්ත්‍රණයට ඉහළ බුද්ධි නිලධාරීන් සම්බන්ධ බවට ඉඟි කිහිපයක් ඉදිරිපත් කළේ 2021 මාර්තු මාසයේදීය. 2021 අප්‍රේල් මාසයේදී එවකට සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු, 2019 අප්‍රේල් ප්‍රහාරවලට ඉහළ බුද්ධි නිලධාරියකුගේ සම්බන්ධයක් ඇති බවට චෝදනා එල්ල වන බවට පාර්ලිමේන්තුවේදී සංවේදී හෙළිදරව් කිරීම් කිහිපයක් කළේය.

එහිදී පැහැදිලිව නම් සඳහන් නොකිරීමට හරින් ප්‍රනාන්දු පරෙස්සම් වූ නමුත්, එම චෝදනාව එල්ල වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත බව අනුමාන කෙරුණි. සලේ මීට පෙර හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත. 2015 වසරේදී සිරිසේන-වික්‍රමසිංහ රජය බලයට පත්වීමෙන් පසු ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස සේවය කළේය. 2019 වසරේදී සුරේෂ් සලේ ආරක්ෂක අධ්‍යයන පාඨමාලාවක් සඳහා ඉන්දියාවට ගිය අතර, පාස්කුදා බෝම්බ ප්‍රහාර එල්ල වන විට ඔහු සිටියේ නවදිල්ලි නුවරය.

 

ජාත්‍යන්තර ජාලගත සමුළුව

2021 ඔක්තෝම්බර් මාසයේදී පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව සූම් තාක්ෂණය හරහා ජාත්‍යන්තර ජාලගත සමුළුවක් පැවැත්විණි. කොළඹ කතෝලික අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සුප්‍රසිද්ධ කතෝලික පූජක පියතුමකු වන සිරිල් ගාමිණී පියතුමා මෙම සමුළුවට සහභාගී වූහ. බෝම්බ ප්‍රහාරවලට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ බවට චෝදනා එල්ල කරමින් කරන ලද සමහර අදහස් දැක්වීම් එහි විය. පසුව, ජෙනරාල් සලේ විසින් සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව අපහාස නඩුවක් ගොනු කළේ, පූජකවරයා විසින් කරන ලද සමහර ප්‍රකාශ ඔහුගේ (සලේ) කීර්ති නාමයට කැළලක් ඇති කළ බවට චෝදනා කරමිනි.

 

ජෙනරාල් සුරේෂ් සලේ

ජාලගත සමුළුවෙන් දින කිහිපයකට පසු, අසාද් මවුලානාට දුරකථන ඇමතුමක් දුන් ජෙනරාල් සුරේෂ් සලේ ඔහු හමුවීමට අවශ්‍ය බව පවසා ඇත. අසාද් මවුලානා 2021 ඔක්තෝබර් 15 වැනි දින සලේ හමුවිය. මවුලානාට අනුව, හරින් ප්‍රනාන්දු සහ අනෙකුත් විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කරන ලද පාර්ලිමේන්තු කතාවල වීඩියෝ පට සලේ විසින් හන්සීර්ට පෙන්වා ඇත. මැල්කම් කාදිනල් රංජිත් සහ සිරිල් ගාමිණී පියතුමා විසින් ජාලගත සමුළුවේදී පැවැසූ අදහස්වල වීඩියෝ පටද ඔහු පෙන්වා තිබුණි.

“සහරාන් සහ අනෙකුත් තවුහිද් ජමාද් සාමාජිකයන් හමුවීම ගැන දන්නේ ඔබ, මම සහ පිල්ලෙයාන් පමණයි. ඔබ මෙය අන් අයට හෙළි කළාද? මන්ත්‍රීවරුන් සහ කතෝලික පූජකවරු මාව බෝම්බකරුවන් සමග සම්බන්ධ කරමින් මෙම චෝදනා කරන්නේ ඇයි?”‍ යනුවෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා හන්සීර්ට පවසා ඇති බව කියනු ලැබේ. හන්සීර්ට අනුව, පුත්තලම රැස්වීම ගැන වෙනත් කිසිවකුට පැවසීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු සලේ හන්සීර්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කළේය. පැය තුනක පමණ වාචික ප්‍රශ්න කිරීමකින් පසු, සලේ හන්සීර්ට පිටව යාමට අවසර දී ඇත.

අසාද් මවුලානා පවසන්නේ මෙම අමිහිරි අත්දැකීමෙන් තමා දැඩි ලෙස කලබලයට හා පීඩාවට පත් වූ බවයි. සුරේෂ් සලේ මෙතරම් කෝපයෙන් හා දැඩි ලෙස කටයුතු කරන ආකාරයක් ඔහු කිසිදා දැක නැත. හන්සීර් පසුව මඩකලපුවේ සිටින පිල්ලෙයාන්ට දුරකතන ඇමතුමක් දී සිදු වූ දේ ඔහුට පවසා ඇත. ටී.එම්.වී.පී. නායකයා ඔහුට කරදර නොවන්නැයි පවසා ඇති අතර, ඔහු පසුදා කොළඹට පැමිණෙන බවත් සලේ හමුවී එය විසඳා ගන්නා බවත් පවසා ඇත. පිල්ලෙයාන් පසුදා, එනම් 2021 ඔක්තෝබර් 16 වැනි දින කොළඹට පැමිණ ඇත.

සාමාන්‍ය සිරිත වන්නේ සලේ හමුවීමට යන විට හන්සීර්ද පිල්ලෙයාන් සමග යාමයි. එහෙත් මේ අවස්ථාවේදී, පිල්ලෙයාන් සලේ හමුවූයේ හන්සීර් නොමැතිවයි. පිල්ලෙයාන්, සලේ හමුවූ බව හන්සීර්ට දැන ගැනීමට හැකිව ඇත්තේ පිල්ලෙයාන්ගේ රියදුරු අමලන් හරහාය. සහරාන් හමුවී යැයි කියනු ලබන තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් සුරේෂ් සලේ තමා (හන්සීර්) ගැන සැක කරන බව පිල්ලෙයාන් පසුව හන්සීර්ට පවසා ඇත.

 

“ව්‍යාජ” අනතුර

2021 ඔක්තෝබර් 17 වැනි දින රැස්වීමක් සඳහා මඩකලපුවට පැමිණෙන ලෙස පිල්ලෙයාන් අසාද් මවුලානාට දැනුම් දී ඇත. ඔහු පිටත්ව යාමට පෙර, බුද්ධි අංශයක මුස්ලිම් මිතුරකුගෙන් තමාට ඇමතුමක් ලැබුණු බව හන්සීර් පවසයි. මඩකලපුවේදී ව්‍යාජ “අනතුරක්” හරහා තමා මරා දැමීමට කුමන්ත්‍රණයක් ඇති බවත් එහි නොයන ලෙසත් ඔහු මවුලානාට අනතුරු ඇඟවා, එහි නොයන ලෙස ඔහුට උපදෙස් දී ඇත. එවිට මවුලානා පිල්ලෙයාන්ට පවසා ඇත්තේ තමා හදිසියේ අසනීප වී ඇති නිසා, මඩකලපුවට පැමිණිය නොහැකි බවයි.

තම ජීවිතයට ටීඑම්වීපී සහ/හෝ බුද්ධි අංශවලින් අනතුරක් එල්ල වේ යැයි අසාද් මවුලානා කනස්සල්ලට පත්ව සිටියේය. ඔහු ශ්‍රී ලංකාවෙන් පලා යාමට තීරණය කළේය. ශ්‍රී ලංකාවෙන් පිටවීම ප්‍රමාද කිරීම තම ජීවිතයට අනතුරක් විය හැකි බව වටහා ගත් අසාද් මවුලානා, පළමුව ඉන්දියාවට ගියේය. වාර්තා වන පරිදි ඔහු ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ 2021 ඔක්තෝබර් 19 වැනිදාය.

 

ස්විට්සර්ලන්ත වීසා

හන්සීර් අසාද් මවුලානාගේ අභිප්‍රාය වූයේ ස්විට්සර්ලන්තයෙන් මානුෂීය වීසා බලපත්‍රයක් ලබා ගැනීමයි. ස්විට්සර්ලන්තය පුද්ගලයන්ට මානුෂීය වීසා ප්‍රදානය කරන්නේ පහත සඳහන් හේතු මතය:

 යම් පුද්ගලයකුගේ ජීවිතය සහ ශාරීරික අඛණ්ඩතාව ඔහුගේ මව් රටේදී හෝ උපන් රටේදී සෘජුව, බරපතළ ලෙස සහ ප්‍රත්‍යක්ෂ ලෙස අනතුරට ලක්ව ඇති විටෙක.

 යම් පුද්ගලයකු හුදෙක් අන්තරායකට ලක්ව ඇති කණ්ඩායමකට අයත් වන නිසා පමණක් නොව, එම පුද්ගලයා පැහැදිලිවම සෘජු අනතුරක මුහුණ දී සිටින විටෙක.

 පුද්ගලයකුට තවදුරටත් වෙනත් විකල්ප නොමැති නිසා, ඔහු මුහුණ දී ඇති තත්වයට ස්විස් බලධාරීන්ගේ හදිසි මැදිහත්වීම අවශ්‍ය වන විටෙක.

පසුව මොහොමඞ හන්සීර් නොහොත් අසාද් මවුලානා යුරෝපයට ගොස් දේශපාලන රැකවරණ පැතුවේය. අසාද් මවුලානාට යුරෝපයට සංක්‍රමණය වීමේදී ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විශාල උපකාරයක් කළ බව දැනගන්නට ලැබේ.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය  ලබා දුන් ප්‍රකාශය

යුරෝපයට ගිය අසාද් මවුලානා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ගොස් එහි ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියේ මණ්ඩලයකට සවිස්තරාත්මක ප්‍රකාශයක් කළේය. සාක්ෂි දීමට ඔහුට දින පහක් ගත විය. ව්‍යාපෘති විධානය වන්නේ “තොරතුරු සහ සාක්ෂි රැස් කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතළ උල්ලංඝනයන් සඳහා අනාගත වගවීමේ ක්‍රියාවල්වලට විය හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සහ නිසි අධිකරණ බලයක් සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ සහ අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා සහාය වීමයි”.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අමතරව,තවත් මානව හිමිකම් සංවිධාන සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ද මවුලානා ප්‍රකාශ ලබා දී ඇත. මවුලානා කඩිමුඩියේ ලංකාවෙන් පලා ගියද, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන බොහෝ “ද්‍රව්‍යමය සාක්ෂි” ඔහු සමඟ රැගෙන ගිය බව දැනගන්නට ලැබේ. පෙනෙන විදිහට චැනල් 4 චිත්‍රපටයෙන් හෙළි වූ දේ අයිස් කුට්ටියේ කෙළවරක් පමණි.

 

සාක්ෂි දීම

එබැවින් 2019 අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සැපයීමට අසාද් මවුලානාට හැකියාව සහ විභවය ඇති බව දැන ගැනීමට ඇත. “ගෝඨා ජයග්‍රහණය සඳහා පාස්කු බෝම්බ ප්‍රහාර” කුමන්ත්‍රණ න්‍යාය ඔප්පු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා අසාද් මවුලානාගේ සාක්ෂියේ ඇති වැදගත්කම වැඩි වැඩියෙන් හඳුනාගෙන තිබේ.

ඒ සමඟම, අසාද් මවුලානා ශ්‍රී ලංකාවේ විනිශ්චය සභාවක සාක්ෂි දෙමින් සහ නීතිඥයන් ඔහුගෙන් හරස් ප්‍රශ්න අසන විට, අසාද් මවුලානා විසින් කරන ලද චෝදනා අධිකරණයකදී ඔප්පු කිරීම ප්‍රායෝගිකව නිෂ්ඵල වනු ඇති බවට අවබෝධය වැඩිවෙමින් පවතී. ඔහුට මෙය දුර සිට විද්‍යුත් ක්‍රම මගින් ද කළ හැකිය. එබැවින් බොහෝ අය, විශේෂයෙන් කතෝලික පල්ලියේ සමහර නියෝජිතයන්, අසාද් මවුලානා එක්සත් රාජධානියේ චැනල් 4 රූපවාහිනියට පැවසූ දේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු හෝ විමර්ශනය කළ යුතු බව දැන් ඉල්ලා සිටිති.

මෙහි ඇති ගැටලු‍ව වන්නේ, ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය සමඟ පමණක් සහයෝගයෙන් කටයුතු කිරීමට අසාද් මවුලානා කැමැති නොවීමයි. ඔහු සාක්ෂි දීමට කැමැත්තෙන් සිටින්නේ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉදිරියේ පමණි. 2025 අප්‍රේල් 25 වැනි දින “Political Pulse’’ තීරුවේ මෙම ලේඛකයා විසින් ලියන ලද ලිපියේ, අසාද් මවුලානා විසින් චැනල් 4 නාලිකාවේ සහ ජිනීවාහි පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී කරන ලද ප්‍රකාශ විස්තරාත්මකව විස්තර කර ඇත.

එහිදී අසාද් මවුලානා ඔහුගේ දෘෂ්ටිකෝණය පැහැදිලිව ප්‍රකාශ කරයි. ඔහු පැවසුවේ මෙයයි: “ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රහාර, දේශපාලන ඝාතන සහ පැහැරගැනීම් කිහිපයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවකු ලෙස, මෙම අපරාධ පිළිබඳ පරීක්ෂණවලදී සාක්ෂි දීමට මම කැමැත්තෙමි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සත්‍යය හෙළි කිරීමට උනන්දුවක් ඇති බව මම විශ්වාස නොකරමි. එබැවින් මම සාක්ෂි දෙන්නේ ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් ඉදිරියේ පමණි.”

 

ගණේමුල්ල සංජීවගේ ඉරණම

එබැවින්, ජාත්‍යන්තර පරීක්ෂණයකදී පමණක් පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා සාක්ෂි දීමට ඉඩ ඇති බවක් පෙනෙන්නට තිබේ. එවැනි තත්ව යටතේ අසාද් මවුලානා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා නීති පද්ධතිය සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ සම්භාවිතාව ඉතා දුරස්ථ හැකියාවක් ලෙස පෙනේ. සංජීව කුමාර සමරරත්න නොහොත් “ගනේමුල්ල සංජීව” ගේ ඉරණම සැලකිල්ලට ගත් විට, අසාද් මවුලානා සහ ඔහුගේ ස්ථාවරය සම්බන්ධයෙන් වරදක් කිව හැකිද?

 

(***)
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න



අදහස් (0)

​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 83 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 103 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 46 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 19 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 25 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 475 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1284 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site