ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නිශ්චිත සමාජ ඓතිහාසික වුවමනාවක් ඉටු කිරීමේ අරමුණෙනි.
ලංකාවේ වාමාංශික දේශපාලනය ආරම්භ වන්නේ 1935දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමත් සමගය. මෙහි නායකයෝ එවකට ලංකාවේ නැගීගෙන ආ මධ්‍යම පන්තික තරුණයන්ය. ප්‍රභූ පන්තියේ දරුවන් කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙද්දී මොවුන්ට ඇතුළත්වීමට සිදු වූයේ දෙවන පන්තියේ විශ්වවිද්‍යාල ආයතනවලටය. එසේම මෙකල බටහිර රටවල කලුජාතිකයන් කෙරෙහි පැවති විරෝධය හමුවේ මෙම තරුණයන්ට මුහුණ පෑමට සිදු වූයේ අඩු සැලකිලිවලටය. කෙසේ වුවද මඳ අස්වැසිල්ලක් වූයේ එම රටවල කොමියුනිස්ට් පක්ෂවල සාමාජිකයන් ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් වීමය. ඒ අනුව ඔවුන් නිරායාසයෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ඇසුරට වැටුණු අතර මාක්ස්වාදයට නැඹුරු මානසිකත්වයක් ඔවුන් තුළ ඇතිවිය. ඔවුන් ඇසුරට පත් වූ කොමියුනිස්ට් පක්ෂය මේ වන විට මෙන්ෂෙවික්කරණයට ලක් වූ කොමියුනිස්ට් පක්ෂ බවට පත්වී තිබුණි.
රුසියානු විප්ලව ඉතිහාසය තුළ එක් අවස්ථාවක පක්ෂය තුළ බෝල්ෂෙවික් සහ මෙන්ෂෙවික් යන බෙදීම ඇතිවිය. මෙහි වචනාර්ථය බහුතරය සහ සුලුතරය ලෙස හැඳින්වුවත් මෙය ඇත්තටම සංවිධාන ශෛලීන් දෙකකි.
පීඩිත පන්තියේ විමුක්තිය උදෙසා දැඩි සංවිධාන විනයකින් යුත් පක්ෂයක් පිහිටුවා ගැනීම වෙනුවට ඔවුන් කළේ තමන් ඉගෙන ගත් ආකාරයට සරල ලිහිල් පක්ෂයක් පිහිටුවා ගැනීමයි. කෙසේ වුවද මෙකල ලංකාවේ පැතිර ගිය මැලේරියා වසංගතය නිසා ග්‍රාමීය ජනතාව ඉමහත් පීඩනයට පත්වීම හේතුවෙන් ඔවුන්ට උපකාර කිරීමට මෙම තරුණයන් ඉදිරිපත්වීම නිසා ග්‍රාමීය ජනතාව වෙත ළඟාවීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි. ඇන්.ඇම්. පෙරේරා එකල හැඳින් වූයේ පරිප්පු මහත්තයා යන නමිනි. එස්.ඒ. වික්‍රමසිංහ නොමිලේ ගම්වැසියන් වෙත සෞඛ්‍ය පහසුකම් සපයා ඇත. ඒ අනුව ගම්මුන් ඔහු හැඳින් වූයේ දොස්තර මහත්තයා යන ආදරණීය නාමයෙනි. මේ අතර වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවන් ආරම්භ කළ වැඩ වර්ජනයකට නායකත්වය දීමට එකල කම්කරු නායකයාව සිටි ඒ.ඊ. ගුණසිංහ අසමත් වීම සමග කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට කොල්වින් ආර් ද සිල්වා ඉදිරිපත්වීම මගින් ඔවුන් කම්කරු ව්‍යාපාරයේ ද ගැලවුම්කරුවන් බවට පත්විය.
මෙකී වමේ ව්‍යාපාරය එහි තිබූ ලිහිල් ස්වරූපය නිසාම 1960 ගණන් වනවිට විවිධ ගුරු කුලයන්ට බෙදී පක්ෂ ගණනාවක් බවට පත් වූ අතර සෑම අවස්ථාවකදීම කම්කරු පන්තිය බේදභින්න කිරීමත් සටන් පාවාදීමත් සිදු කරන ලදී. මෙහි ප්‍රබලම අවස්ථාව වූයේ 1964දී කම්කරු පන්තියේ ඉල්ලීම් 21 පාවාදීමයි.
ඉල්ලීම් 21 සමග මුලු කම්කරු පන්තියම පාවා දෙමින් 1964 වනවිට අර්බුදයකට පත්ව සිටි ශ්‍රීලනිප ආණ්ඩුවට මුක්කු ගැසූහ. මෙම මහා පාවා දීමත් සමග නව වමක් පිළිබඳව සිතීමට දොරටු විවර කරන ලදී.
ජාත්‍යන්තර තලයේ ද මේ වනවිට වෙනස්කම් සිදුවන්නට විය. මෙතෙක් ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රබල මිතුරන් ලෙස සිටි චීනය සහ සෝවියට් දේශය 1963දී ඇතිවූ මත ගැටුමක් නිසා සතුරන් බවට පත්විය. ඒ අනුව යමින් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද චීන සහ රුසියන් පිල ලෙස බෙදුණි. මේ කාලයේ ඉගෙනුම සඳහා සෝවියට් දේශයට ගොස් සිටි රෝහණ විජේවීර සහෝදරයා මෙම චීන රුසියන් මතභේදයේදී චීනය වඩා නිවැරදි තැනක සිටින බව පවසන ලද අතර ඒ වෙනුවෙන් අදහස් මතවාද පල කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස විජේවීර සහෝදරයාට තව දුරටත් සෝවියට් දේශයේ ඉගෙනීම තහනම් විය. ඒ අනුව විජේවීර සහෝදරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ කාලිකයෙකු ලෙස දේශපාලනයට අවතීර්ණ විය. වැඩිකලක් යාමට පෙර චීන කොමියුනිස්ට් පක්ෂය ද විප්ලවවාදී මාවතෙන් බැහැරව කටයුතු කරන බව අවබෝධ කරගත් විජේවීර සහෝදරයා නව විප්ලවවාදී සංවිධානයක් ආරම්භ කළ යුතුය යන සිතිවිල්ලට ක්‍රමයෙන් ළංවිය.
1965 මැයි 14 ඓතිහාසික වශයෙන් සුවිශේෂී දිනයක් බවට පත්වන්නේ නව සංවිධානයක් පිළිබඳව උනන්දුවක් දැක්වූ කිහිපදෙනෙක් එක්ව පළමුවරට ඒ පිළිබඳව සාකච්ඡා කළ දිනය එය වන බැවිනි. අක්මීමන පිහිටි කරුණාරත්නගේ (ඉන්කම් ටැක්ස් කරු) නිවසේදී රෝහණ විජේවීර ඇතුලුව විජේසේන විතාරණ නොහොත් සනත්, එච්. මිල්ටන්, විල්සන් දැදිගම, ඩබ්.ටී. කරුණාරත්න, දෙල්ගොඩ රාජා සහ සිරිපාල අබේගුණවර්ධන යන තරුණයෝ මෙම සාකච්ඡාවට එක් වූහ.
මෙහිදී ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව පුළුල් විග්‍රහයක් විජේවීර සහෝදරයා විසින් ඉදිරිපත්කරන ලද අතර නිවැරදි විප්ලවකාරී සංවිධානයක අවශ්‍යතාව අවධාරණය කෙරිණි. ඒ අනුව ජනතාවට දේශපාලනික අවබෝධය ලබාදීමටත් ඔවුන් සංවිධානයක් ලෙස ගොනු කිරීමටත් රැස් වූ සියලු දෙනාම එකඟත්වය පළ කළහ.
මේවන විට කම්කරු පන්තිය අපේක්ෂා භංගත්වයට පත්ව නිද්‍රාශීලී තත්වයක සිටි බැවින් ඔවුන් තුළ අලුතෙන් විශ්වාසය ඇති කිරීම අතිශයින් දුෂ්කර වූ නමුත් ග්‍රාමීය ගොවි ජනතාව අතර වැඩ කිරීම තරමක් පහසු විය. එනිසාම කිරින්ද, තිස්සමහාරාමය වැනි තැන්වල ගොවිපලවල් පවත්වා ගනිමින් ගැමි තරුණයන් දේශපාලනයට ආකර්ෂණය කර ගැනීමට පියවර ගන්නා ලදී. වරෙක කුසගින්න මකා ගැනීම සඳහා කුකුල්කෑම දියකර බොමින් ද මුදල් එකතු කිරීම සඳහා තිස්සමහාරාම බස් නැවතුම්පොළේ මුට්ට කරගසමින් ද ගතකළ එම කාල පරිච්ඡේදය විජේවීර සහෝදරයාට අතිශයින් දුෂ්කර කාලයක් විය.
1967දී සිදුකළ කැලැත්තාවේ සාකච්ඡාව අතිශයින් වැදගත් සාකච්ඡාවක් වූයේ පක්ෂයට සම්බන්ධවන අයට දේශපාලන අවබෝධය ලබාදීම සඳහා සුදුසු සාකච්ඡා කිහිපයක් සූදානම් කිරීම නිසාවෙනි. මුලින් සාකච්ඡා ලෙස සකස් වූ මේවා පසු කාලයේ දී සුප්‍රසිද්ධ පන්ති පහ බවට පත්විය. ධනේශ්වර ක්‍රමයේ අර්බුදය, නිදහස නව යටත්විජිත උපක්‍රමයකි, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, ලාංකීය විප්ලවය ගතයුතු මග වශයෙන් මාතෘකා පහක් ඔස්සේ මෙම පන්ති පවත්වන ලදී.
1967/68 වකවානුව විජේවීර සහෝදරයා විශ්වවිද්‍යාල තුළට නව මතවාදය ව්‍යාප්ත කෙරුනු අවධියයි. පන්ති සාකච්ඡා බොහෝ විට විජේවීර සහෝදරයා විසින්ම කරන්නට යෙදුනු අතර වේගයෙන් ශිෂ්‍යයන් මේවටා එකතු වන්නට විය. විජේවීර සහෝදරයා සමග සමකාලීනව ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කළ්‍යාණන්ද තිරාණගම, සුමිත් දෙවිනුවර, ගාමිණී යාපා වැන්නවුන්ද මෙකල විශ්වවිද්‍යාල තුළ විප්ලවීය දේශන සිදුකළත් ඒවා සිසුන්ට ආකර්ෂණිය වූයේ නැත.
කෙසේ වුවත් සංවිධානය රහසක් වූයේ රාජ්‍ය යන්ත්‍රණයට මිස ජනතාවට නොවේ. මේ පිළිබඳව පළමු ඉව වැටෙන්නේ ලංකා කොමියුනිස්ට් පක්ෂයටය.
1969 මැද පැවති මඩම්පැල්ල සාකච්ඡාව, 69 අග පැවති ඌරුබොක්ක සාකච්ඡාව 1970 මුල පැවති දෙවිනුවර සහ කඹුරුපිටිය සාකච්ඡාව ආදියේදී ක්‍රියාකාරීන් රැස්වී අවශ්‍ය දේශපාලන තීන්දු තීරණ ගන්නා ලදී. එසේම මේ අතරම කම්කරු පන්තිය තුළද ක්‍රමානුකූලව වැඩ කිරීම ආරම්භ කොට තිබුණි. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩ බිම් ගණනාවක් තුළ විජේවීර සහෝදරයා විසින් පන්ති පවත්වා තිබුණි. 1970 මහ මැතිවරණය පවත්වන අවස්ථාව වනවිට එම මැතිවරණයේදී සමගි පෙරමුණට සහයෝගය දීම සඳහා පත්‍රිකාවක් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව පැන නැගි අතර 1970 මුල දෙවිනුවර සාකච්ඡාවේදී සංවිධානය ජනතා විමුකි පෙරමුණ‘ ලෙස නම් කිරීමට තීරණය කරන ලදී. මේකාලය වනවිට ජවිපෙ වෙත රාජ්‍ය මර්දනය වේගවත් වූ අතර සාමාජිකයන් කිහිප දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් නොනැවතුණු පොලීසිය 1970 මැයි 12 වැනිදා විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්නා ලදී.
1970මැයි 27 දින පාර්ලිමේන්තු මැතිවරණය පැවති අතර ඉන් තුනෙන් දෙකක බලයක් සහිතව සමගි පෙරමුණ ජයග්‍රහණය කරන ලදී. සමගි පෙරමුණ ලද ජයග්‍රහණයත් සමග විජේවීර සහෝදරයා නිදහස් කරාවි යයි අපේක්ෂා කළ නමුත් එය එසේ නොවූ නිසා ඒ සඳහා බල කෙරෙන පෝස්ටර් රටපුරා ඇලවීමට කටයුතු කරන ලදී. එක් රැයකින් සිදුවූ මෙම පෝස්ටර් ඇලවීම ප්‍රථම වරට ජවිපෙ නම භාවිත කරමින් සිදුකළ බැවින් එය සුවිශේෂී විය.
1970 ජූලි 09වැනිදා විජේවීර සහෝදරයා නිදහස් කරන ලදී. මින් අනතුරුව ජවිපෙ සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ අතර පළමු දේශනය 1970 ජූලි 14වැනිදා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ දී පවත්වන්නට යෙදුණි. මෙය සී.අයි.ඒ. කාරයෝ ලෙස නම් කළ අතර එය කළින් සඳහන් කළ අවලාදයට පිළිතුරක් විය. එතැන් සිට ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම ආරම්භ කළ අතර එහි පළමුවැන්න 1970 අගෝස්තු 10වැනිදා කොළඹ හයිඩ්පිටියේ දී පවත්වන ලදී. මෙම රැලියට පෙර දින සමගි පෙරමුණු ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේ මෙය ප්‍රතිගාමී ව්‍යාපාරයක් බැවින් එය මර්දනය කිරීමට ජනතාවගේ සහය අවශ්‍ය බවයි. එහෙත් රැලියට පැමිණි විශාල ජන සංඛ්‍යාව තම අත බැඳි ඔර්ලෝසුව කර පැළඳි මාලය සහ මුදල් පරිත්‍යාග කරමින් විජේවීර සහෝදරයාට සහය පලකරන ලදී. මෙය දුටු ආණ්ඩුව කලබල වූවාට සැකයක් නැත. රටේ හිස ඔසවමින් එන චේගුවේරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ හතුරා බවත් එය හඹාගොස් මුලිනුපුටා දැමිය යුතු බවත් රජයෙන් කියවිණි.
කෙසේවුවද අංක එකේ හතුරා වූයේ කෙසේද යන්න පැහැදිලි නොකළ ආණ්ඩුව ජවිපෙ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීමත් වදහිංසා පැමිණවීමත් නිරන්තරයෙන් සිදු කරන ලද අතර මෙම ක්‍රියාමාර්ග උත්සන්න වෙද්දී එම තත්වය නිරායාසයෙන්ම 71 අරගලයට මග පාදන ලදී. 1971 අප්‍රේල් 5 වන දින අරගලය ක්‍රියාත්මක වන්නේ ඒ අයුරිනි.
අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ මහ රැජිනට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ යුද වැදීම යන චෝදනා යටතේ විජේවීර සහෝදරයා ඇතුලු 41 දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදී. එහිදී ඔහු කොමිසම හමුවේ කියා සිටියේ පාලකයන් පීඩිතයන්ට මර්දනය එල්ල කරන්නේ නම් තම ආත්මාරක්ෂාව සඳහා සටන් වැදීමට ඔවුන්ට අයිතියක් ඇති බවයි. කෙසේ වුවද අවසානයේ දී විජේවීර සහෝදරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට කොමිසම කටයුතු කළ අතර එය වරදක් ලෙස දකිමින් පසුව එය 20 අවුරුදු සිර දඬුවමක් බවට පත්කරන ලදී.
1977 ජූලි මාසයේ දී පවත්වන ලද මහා මැතිවරණය මගින් ලාංකීය දේශපාලනයේ බරපතළ වෙනස් කම් ඇතිකරන ලදී. මහමැතිවරණයෙන් බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව අපරාධයුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කිරීම නිසා විජේවීර සහෝදරයා ඇතුළු බොහෝ දෙනෙක් හිරෙන් නිදහස් වී එළියට පැමිණියහ. මේ වනවිට හිරගෙවල සිටියදීම පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට සහ වැරදි අඩුපාඩුකම් ඉවත්කර පක්ෂය නිවැරදි මගට ගැනීමට පියවර ගෙන තිබුණි. එබැවින් එතෙක් පක්ෂය අත නොහැර සිටි සියලු දෙනා සම්බන්ධ කර ගනිමින් පක්ෂය නැවත ගොඩ නැගීමේ කටයුත්ත ආරම්භ කරන ලදී. ඊට සරිලන ආකාරයට පන්ති පහ ද වෙනස්කරන ලදී.
කෙසේ වුවද පක්ෂය එම අවස්ථාවේ පවත්වනු ලැබූ අතුරු මැතිවරණ සහ සංවර්ධන සභා මැතිවරණ ආදියට ඉදිරිපත් වූ අතර සංවර්ධන සභාවලට ප්‍රථම වරට නියෝජිතයන් පත්කර ගැනීමට ද පක්ෂය සමත් විය. 1982 පැවති ජනමත විචාරණය ප්‍රෝඩාවක් බව පෙන්වමින් ඊට එරෙහිව අධිකරණයට යාම මෙම අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධනට බිය ගෙන දෙන කාරණයක් බවට පත් වූවාට සැකයක් නැත. නොයෙකුත් බොරු අවලාද පෝස්ටර් මගින් පතුරුවා තිබිය දී 1983 මැයි රැලිය ඉතා සාර්ථකව පැවැත්වීමට ජවිපෙ සමත් විය. තමාගේ නියම සතුරා ජවිපෙ බව ඒ අනුව ජේ.ආර්. තේරුම් ගන්නට ඇත. එබැවින් 83 ජූලි කලබල ඇති කරමින් ජවිපෙ තහනම් කිරීමට ජේ.ආර්. පියවර ගත්තේය.
තහනමත් සමග ඊට ගැලපෙන ආකාරයට පන්තිය සංවිධානය කිරීමේ බරපතළ වගකීම ජවිපෙ විසින් භාරගන්නා ලදී. ඒ අතරම තහනම ඉවත්කර ගැනීම සඳහා ගතහැකි සෑම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක්ම ගන්නා ලදී. මේ කිසිවකට ඇහුම්කන් නුදුන් ජේ.ආර්. ආණ්ඩුව විසින් ජවිපෙ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන පහර දී මරා දැමුනු අවස්ථා විටින් විට වාර්තා වන්නට විය.
1987 ජූලි 29 වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනුයේ රටේ මෙවැනි වාතාවරණයක් තිබූ තත්වයක් තුළය. මෙයට රට තුළ දැඩි විරෝධයක් මතුවිය. 1988 වන විට මෙම විරෝධය ධනපති ක්‍රමයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවායට සහ බෙදුම් වාදයට එරෙහි සටනක් බවට පත්ව තිබූ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් එයට නායකත්වය සපයන ලදී. 1988 සැප්තැප්බර්වල දී ජාතිය ගලවා ගැනීමේ වැඩපිළිවෙලක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 1988 ඔක්තෝබර් 18වන දින සංවිධාන 8ක් මගින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද කරන ලදී. 1988 දෙසැම්බර් ජනාධිපතිවරණය මෙන්ම අනතුරුව පැවති මහ මැතිවරණය ද තවදුරටත් වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණට සිදු වූයේ තම පක්ෂ තහනම ඒ වනවිටත් ඉවත් නොවී තිබීම හේතුවෙනි.
1989 මහ මැතිවරණයෙන් පසු කාලපරිච්ඡේදය අතිශයින්ම භීෂණ කාල පරිච්ඡේදයක් විය. ප්‍රේමදාස ආණ්ඩුව මෙම කාලපරිච්ඡේදය තුළ කොළ කොටි. ප්‍රා වැනි විවිධ ඝාතක කල්ලි යොදා ගනිමින් ජවිපෙ සාමාජිකයන් ඝාතනය කිරීම වේගවත් කළ අතර ඒ තුළම සාමාන්‍ය වැසියන් ද ඝාතනය කරන ලදී. 1989 නොවැම්බර් 12වැනිදා විජේවීර සහෝදරයා ඇතුලු නායකයන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබූ අතර විජේවීර සහෝදරයා නොවැම්බර් 13වැනිදා වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම තත්වය යටතේ පක්ෂය ඉමහත් දුෂ්කර කාලපරිච්ඡේදයකට මුහුණ දුන් අතර එය බිමටම සමතලා වී යයි කිවහොත් නිවැරදිය.
ක්‍රමානුකූලව මැතිවරණවලින් ජය ලබමින් මහජනතාවගේ විශ්වාසය පක්ෂය දෙසට දිනා ගනිමින් පැමිණි ගමන 2024 සැප්තැම්බර් මාසයේ ලද ජයග්‍රහණය සමගින් තීව්‍ර වී ඇත.
මෙතෙක් මේ සමාජය වසා සිටි දූෂිත, මජර දේශපාලනය වෙනුවට පීඩිත ජනයාට වගකියන ඒ වෙනුවෙන් වගවෙන ජනාධිපති සහෝදරයකු නිර්මාණය කර ගැනීමට ජනතාවට හැකිවීම සැබවින්ම විප්ලවයකි. ඉනුත් නොනැවතී හයෙන් පහකටත් වැඩි බලයක් සහිත මන්ත්‍රී සහෝදරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමත් එමෙන්ම පළාත්පාලන ආයතනවලින් සාතිශය බහුතර බලයක් ලබා ගැනීමත් සැබවින්ම විප්ලවයකි.
එදා විවිධ වකවානු තුළ දී ජීවිත පරිත්‍යාග කළ විජේවීර සහෝදරයා ඇතුළු සියලුම සහෝදරයන්ගේ උතුම් අපේක්ෂා සඳහා නිසි ගෞරවය පුද කළ හැක්කේ ඔවුන් පැතූ එම ලෝක මේ මිහිපිට ගොඩනැගීමෙනි.
(*** මාතර යටියන පියසිරි)
ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජ.වි.පෙ. දශක හයක ගමන