අනුන්ගේ ගීත ගැයීම යන මාතෘකාව විටින් විට කතාබහට ලක්වෙන එකකි. ඒ පිළිබඳ උදාහරණ ඕනෑතරම් දැක්විය හැක. මේ දිනවල ද දන්නෝ බුදුන්ගේ ගීතය හරහා නැවතත් අනුන්ගේ ගීත ගැයීම සහ ගීත විකෘති කිරීම පිළිබඳ උණුසුම් කතාබහක් පැතිර යමින් තිබේ. එය රාජ්‍ය නායකයින් මැදිහත් වන තරමට බරපතළ සිද්ධියක්වී ඇත. අනුන්ගේ ගී ගැයීම අද ඊයේ සිදුවූ දෙයක් නොවේ. එය කාලාන්තරයක් පුරා විවිධ පුද්ගලයින් අතින් සිදුවූවකි. විවිධ අවස්ථාවල මෙසේ අනුන්ගේ ගීත ගයා රටේ මාතෘකාවක් වූ ගායන ශිල්පීන් සහ ශිල්පිනියෝ ඕනෑ තරම් සිටිති. මේ ලිපිය හරහා අප එවැනි උදාහරණ කීපයක් පිළිබඳ මතකය අලුත් කිරීමට උත්සාහ ගන්නේ එම ලැයිස්තුවේ සිටින ගායක ගායිකාවන්ගේ තරාතිරම පිළිබඳව සිතා බලන ලෙසද මතක් කරමිනි. මන්ද යම් යම් සිදුවීම්වලට දොස් නගන පුද්ගලයින් ඒ දේම අතීතයේ සිදුකර ඇත. ඒ නිසාම එය දෛවෝපගත සරදමක් සේ පෙනේ.
බොහෝ දෙනා බොහෝ අවස්ථාවල විවිධ හේතු නිසා අනුන්ගේ ගීත ගායනා කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් අද එය අර්බුදයක්වී ඇත්තේ ඒ සිදුවීම තුළ කිසිදු සදාචාරයක් නැතිවීම සහ එය වාණිජ පරමාර්ථයෙන් කරන ව්‍යාපාරයක්වී ඇති නිසාය.
ඕනෑම ආධුනික ශිල්පියෙක් හෝ ශිල්පිනියක ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අනුන්ගේ ගීතයක් ගායනා කරමිනි. එය අද මෙන්ම එදා ද සිදූ වූ දෙයකි. අද සිටින ප්‍රවීණයන් බොහෝ දෙනා එදා පිබිදෙන ගායක පරපුර වැනි වැඩසටහන්වලදී අනුන්ගේ ගී ගයා ක්ෂේත්‍රය තුළ තැනක් හදාගත් අයයි. එදා එය අර්බුදයක් වූයේ නැත. එසේම ඒවා විකෘති වීමක් වූවායැයි චෝදනා ආවේද නැත. අද රියැලිටි වැඩසටහන් හරහා මෙය වඩාත් අර්බුදයට ගොස් ඇත්තේ එය තනිකර වෙළඳාමක්වී ඇති නිසාය. එසේම ඇතැම් විට එම ගීත මුලින් නිර්මාණකරුවන්ගේ කිසිදු අවසරයකින් තොරව විවිධාකාරයට වෙනස් කිරීම්වලට ද ලක්කර ගායනා කරන අවස්ථා ඇත. මෙය අද සංගීත ක්ෂේත්‍රය තුළ තිබෙන බරපතළ අර්බුදයක් බවට පත්වී තිබේ.
අනුන්ගේ ගීත ගායනා කිරීමේ අතීතය පිළිබඳ විපරම් කිරීමේදී උදාහරණ රාශියක් ඉදිරිපත් කළ හැක. ඒවා නඩුවක් දක්වා දුරදිග ගිය අවස්ථා ද තිබේ.
විශාරද නන්දා මාලනී ග්‍රැමෆෝන් ගී නමින් ඊට පෙර සිටි ගායක ගායිකාවන් ගායනා කළ පැරණි ගී කැසට් පටයක් සින්ග් ලංකා ලේබලය යටතේ නිකුත් කර ඇත. මේ සිදුවීම අනුන්ගේ ගී ගයන බොහෝ දෙනා තමාගේ ගැලවීමට හෝ නිදහසට පාවිච්චි කරන උදාහරණයක්වී ඇත. නන්දා මාලනීට හොඳ නම් අපට නරකද කියන පිරිස් නැතුවා නොවේ.
නන්දා මාලනීගේම සිංදු අමිල් තරංග නම් සංගීත කණ්ඩායමක ගායකයෙක් ගායනා කළ සිදුවීමක් ද අපට මතකය. එම ගීත ගායනා කරන්නේ පිරිමි කටහඬකින් ද ගෑණු කටහඬකින්ද යන්න හරියටම සිතා ගැනීමට බැරි තරමට විකෘති වීමක් සිදුවී ඇති බවට විශාල කතාබහක් ඒ දිනවල ඇතිවිය.
බොහෝ දෙනා අනුන්ගේ ගීත ගායනා කිරීමේදී ඉදිරියට දාන්නේ ඒවා සංරක්ෂණය කිරීමට හෝ එම ශිල්පීන්ට උපහාර පිණිස ඒවා සිදු කරන්නේය යන අදහසයි. සැබෑවටම ඒවා සංරක්ෂණය සඳහා නැවත ගායනා කරන අවස්ථාවන් ද නැතුවා නොවේ. නමුත් බොහෝ විට සිදුවන්නේ බොර දියේ මාළු බානවා වගේ බිස්නස්ය.
ස්වාධීන අනන්‍යතාව සහිත ක්ෂේත්‍රයේ යම් තැනකට පැමිණි අයද කිසිදු හේතුවක් ඇතුව හෝ නැතුව මෙවැනි අනුන්ගේ ගීත ගැයීමේ පුරුද්දට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයන් දැකිය හැකිය.
නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව වැනි ගායිකාවන් තමන් ගායිකාවන් ලෙස යම් තැනක් අත්පත් කර ගැනීමෙන් පසු අනුන්ගේ ගී ගැයූ අවස්ථා මෙන්ම ඒ පිළිබඳ චෝදනාවට ලක්වූ අවස්ථාද තිබේ. නිරෝෂා මුලින් සුජාතා අත්තනායකයන්ගේ ‘ආදරේ මන්දිරේ’ ගීතය ද පසුව මාලනී බුලත්සිංහලගේ ‘හිමිනැති පෙමකට’ ගීතයද ගැයුවාය. මේවා මොන හේතුව නිසා නැවත ගැයුවාදැයි අපි නොදනිමු. අද ‘රිගින්ටෝන්’ හරහා මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරය ජයටම කෙරීගෙන යන අතර මේ නැවත ගායනා කිරීමද මීට සම්බන්ධ බවද අසන්නට ලැබේ. කූට ලෙස මුල් නිර්මාණකරුවන් රවටා ඔවුන්ගේ ගීත කොල්ලකන අවස්ථා ද මේ ‘රිගින්ටෝන්’ බිස්නස් එක හරහා ඉහළින්ම කෙරෙන්නකි.
සමිතා එරන්දතී මුදුන්කොටුව ද පැරණි ගීත රැසක් නැවත ගායනා කර ඇත. ‘සිළුමිණි සෑය වඳිම්’ ඇතුළු ගී රැසක් ඒ අතර වේ. මේ බොහෝ ගීතවල මුල් අයිතිකරුවන්ගෙන් මේ සඳහා අවසර ගත්තාදැයි නොදනිමු. මේ ඇතැම් ගීත නිර්මාණයවී ඇත්තේ ගුවන් විදුලි සංස්ථාව මගිනි. මේ ගීත බෙහොමයක් මුල් ගායනා ලෙසින්ම ගුවන් විදුලි සංස්ථාව තුළ සංරක්ෂණයවී ඇති බවද කියවේ.
සනත් නන්දසිරි ගායනා කළ ජනප්‍රිය ගීත නව පරපුරේ අය ගායනා කළ සිදුවීමක් පසුගියදා බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ‘විකසිත වත කමලේ’ යන සනත්ගේ ගීතය අමල් පෙරේරා නැවත ගායනා කිරීම මුල් ගීතවල අයිතිකරුවන් දන්නේවත් නැතැයි මාධ්‍ය වාර්තා කළේය. ඒ නවක ශිල්පීන් කිසිදු වගවිභාගයක් නැතුව පැරණි ගීත ගායනා කරන්නේ ප්‍රවීණයන් කෙරෙහි කිසිදු ගෞරවයක් ද නැතිවය.
භාතිය සන්තුෂ් දෙදෙනා ‘සිරිසඟ බොධි මාළිගාවෙදි’ ගීතය වෙනස් ආකාරයකට ගායනා කරමින් දැඩි විවේචනයට ලක්වූ ආකාරය ද මේ සඳහා සුවිශේෂ උදාහරණයකි. ඕනෑම ගායකයෙක් හෝ ගායිකාවක් මුල් ගීතයට සීයට සීයක් සමානව නැවත ගැයීමට දක්ෂතාවක් දක්වන්නේ නැත. නමුත් එය විකෘති කිරීමක් දක්වා යාම නම් සමාව දිය හැකි කරුණක් ද නොවේ.
මෙවැනි සිදුවීමකට තවත් කදිම උදාහරණයක් වන්නේ පණ්ඩිත් අමරදේව විසින් ගායනා කරනු ලැබූ ගීත රැසක් ඊට සමාන හඬක් ඇති ඩබ්ලිව්.ඩී. අරියසිංහ ලවා ගායනා කරවීමේ සිද්ධියයි. මේ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ඒ ගීත සංගීතවත් කළ කේමදාසයන් වීම මෙම සිදුවීම වෙනම තැනකට රැගෙන යාමට සමත් විය. මේ පිටුපස සිදුවූ ඇත්ත කතාව දන්නේ ඒ සඳහා සම්බන්ධ වූ අයමය. මේ හා සම්බන්ධව විවිධ කටකතා නම් බොහොමයක් පැතිරී ගියේය. ඒවායේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් කලාකරුවන්ගේ කෙරුවාවල් පිළිබඳ රසිකයින්ට මෙවැනි සිදුවීම් හරහා යම් යම් ඉඟි ලැබේ.
මෙවැනි සිදුවීමක් දුරදිග ගිය අවස්ථාවකට උදාහරණයක් ලෙස ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ ගීතය සංගීත් විජේසූරිය නැවත ගායනා කිරීමේ සිද්ධිය දැක්විය හැකිය. මෙහි මුල් ගීතය ගායනා කර ඇත්තේ විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල විසිනි. හඞ්සන් සමරසිංහ රචනා කර ඇති මේ ගීතය සංගීත් විජේසූරිය නැවත ගායනා කිරීම නැවතුණේ අධිකරණය ඉදිරියට ගොස්ය. අධිකරණයෙන් බේරාගත් මෙවැනි සිදුවීම් කීපයක්ම පසුගිය දිනවල අපට අසන්නට ලැබුණි.
විටින් විට විවිධ ආකාරයට හිතු හිතූ හැටියට බොහෝ දෙනා නැවත නැවත ගායනා කළ ගීත රැසකට උරුමකම් කියන ගායකයෙක් ලෙස එච්.ආර්. ජෝතිපාල හැඳින්විය හැකිය. ජෝතිපාලගේ ගීත තරම් වෙනත් අය තම තමන්ට රිසිසේ ගායනා කළ වෙනත් ගායකයෙක් නැති තරම්ය. ඒ නිසාම මියගොස් වසර තිහකට ආසන්න වුවද ජෝතිපාලගෙන් යැපෙන පිරිස් අද ද බොහෝ වෙති. රූකාන්ත ගුණතිලක, නිමල් පීරිස් වැනි අය ජෝතිපාලගේ ගීත කැසට් පිටින් වෙළඳ පොළට නිකුත් කළහ. ඒ ඇතැම් නිෂ්පාදන නම් කර තිබුණේ ‘අසහාය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ට උපහාර පිණිස’ යන දවටනය සහිතවය. ජෝතිපාලගේ ගීත රියැලිටි වැඩසටහන් ව්‍යාප්ත වීම හරහා ද නැවත නැවත බොහෝ දෙනාට ගොඩයෑමේ මාර්ගය සාදන්නට සමත් විය.
සුරේන්ද්‍ර පෙරේරා මේ වැඩසටහන් හරහා ජනප්‍රිය වූයේ ද ජෝතිපාලගේ ගීත ගායනා කිරීම නිසාය. ඒ නිසා ඔහුට ජෝතිපාලගේ අඩුව පිරිමැසිය හැකි වනු ඇතැයි ඇතැම් විචාරකයින් පවා අදහස් පළ කළා අපට මතකය.
ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත ද විවිධ අය විසින් නැවත ගායනා කර එම සිදුවීම උසාවියෙන් කෙළවර වූ ආකාරය අපට මතක් වේ. ක්ලැරන්ස්ගේ ගීත රජිව් සෙබස්තියන් ගායනා කිරීම හා ඒ සමග විජේවර්ධන පවුලේ උදවිය මේ සඳහා විරෝධය පෑම ප්‍රසිද්ධියට පත් කරුණකි. ක්ලැරන්ස් ගීත මේරියන් සංගීත කණ්ඩායම ද විටින් විට ගායනා කර ඇත. ඒ ගීතවලින්ම ඔවුන් ප්‍රසංග පවා පවත්වා ඇත. මේ සඳහා ද විරෝධතා එල්ල වූ බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. විජේවර්ධන පවුල මගින් ක්ලැරන්ස් ගීත රැසක අයිතිය කැසට් ආයතනයකට පැවරූ බවද අසන්නට ලැබේ. ඒ හරහා වෙනත් ගායක ගායිකාවන් පිරිසක් ලවා මේ ගීත නැවත ගායනා කිරීම ද සිදුවිය.
සුජාතා අත්තනායකගේ ගීත දැන් බොහෝ විට ගායනා කරන්නේ ඇයගේ සහෝදරිය වන රංජනී පෙරේරාය. නමුත් ඒ ඇතැම් ගීත සුප්‍රියා අබේසේකර සංදර්ශනවල ගායනා කරන අතර ඒ ගීතවල අයිතියක් සුප්‍රියාට දී නැති බව සුජාතා අත්නායක පසුගියදා පුවත්පත්වලට ප්‍රකාශ කළාය. සන්දනායක යුවළගේ ගීත ද මෙසේ සුප්‍රියා විසින් තමන්ගේ හඬින් නිතර ගායනා කරන බව පෙනේ.
සුනිල් ශාන්තගේ බොහෝ ගීත අයිවෝ ඩෙනිස්ගේ හඬින් ගයා ඇත. දැන් වෙනත් ගායකයින් විසින් ද මේ ගීත ගයා ඇත. ඒ ඇතැම් ගීත කුමන අරමුණින් ගැයුවාදැයි නොදන්නා මුත් ගීතයේ අයිතිය කලාවේ සුජාත භාවය ගැන මහා පුරසාරම් දොඩවන බොහෝ දෙනා කුමන හේතු නිසා හෝ අනුන්ගේ ගීත ගයා ඇත.
විජය කුමාරතුංගගේ ගීත පසු කාලයේ මංජුල වර්ණකුලගේ හඬින් ගයා ඇත. විජයගේ හඬට ඉතා සමීප හඬක් ඇති මංජුලගේ හඬින් ගැයූ මේ ගීත විකෘති කර ඇතැයි චෝදනා නොආ නමුත් කැසට් හා සී.ඩී. ලෙස වෙළඳපොළට නිකුත් කර ඇත.
‘මාස්ටර් සර්’ ගීතය ද විවිධ අය විසින් ගායනා කළ ගීතයකි. එහි මුල් ගැයුම නෙවිල් ප්‍රනාන්දු ගෙනි. පසුව එය නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරන ලදි. දැන් ඒ ගීතය බොහෝ දෙනා දන්නේ නීලාගේ ගීතයක් ලෙසය. ඇය ඇගේ ඒකපුද්ගල ප්‍රසංගය නම් කර ඇත්තේ ද ‘මාස්ටර් සර්’ නමිනි. එහි සංගීත අධ්‍යක්ෂණය නිමල් මෙන්ඩිස් පසුව ඒ ගීතය භාතිය සන්තූෂ් වෙත ලබා දුන් බවද එයට නීලා වික්‍රමසිංහ දැඩි ලෙස විරෝධය පෑ බවද මාධ්‍ය වාර්තා කළේය.
මේ ආකාරයට ගීත නැවත නැවත ගායනා කිරීම සඳහා තවත් උදාහරණ රැසක් සැපයිය හැක. මේ ගීත විවිධ අවස්ථාවල නැවත ගායනාවී ඇත්තේ විවිධ අරමුණු මතය. මේ ගැයුම් විකෘතිවීම් දක්වා පැමිණි අවස්ථා ද ඒ සඳහා සමාජ විරෝධයන් මතු වීම ද දැකිය හැකිය. කෙසේ වෙතත් මෙය පහසුවෙන් නතර කළ හැකි දෙයක් ද නොවේ.
මේ පිළිබඳ ඉතාම ලිබරල් මතවාදයක සිටින ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ අදහස වඩා වැදගත් යැයි සිතේ. ඔහු පවසන්නේ තමාගේ ගීත නම් ඕනෑ කෙනෙකුට වෙනත් ආකාරයකට වුවද ගායනා කිරීමට ඕනෑ වෙලාවක දීමට සූදානම් බවය. එයින් ඔහු තෘප්තියක් ලබන බවද ඔහු ආඩම්බරයෙන් පවසයි. ගීතයේ අයිතියට බැණඅඬගසා ගන්නා අයට සුනිල් පෙරේරාගේ මේ අදහස කදිම පිළිතුරකි. කවුරු කෙසේ ගැයුවද ගීතය මුල් ගැයුමේ අගය අඩු නොවන බව කියන ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් පවසන්නේ ‘වගේ අය වැඩිවෙන විට අගේ මගේ’ යනුවෙනි.






COMMENTS
අබය, මමත් බලාගෙන හිටියේ පලු පැලෙන්න කෑ ගහන මාස්ටර් කෙනෙක් ගෙන් පිළිතුරක්. ලංකාවේ සංගීතය ප්‍රධාන වශයෙන් වර්ග හතකි. සම්ප්‍රදායික ජන සංගීතය (බෞද්ධ ආභාෂය මෙහි ඇතුලත්), නෘත්‍ය සංගීතය (කෝලම්, නාඩගම්,නූර්ති හෙවත් නාඩගම්හි සිංහල පෙරලිය), හින්දුස්තානි සංගීතය (1934 ලංකාවට පැමිණ ගායන, වාද්‍ය රංගනයක් ඉදිරිපත් කල රවින්ද්‍රනාත් තාගෝර් මෙයට ලංකාවේ මුල්ගල තිබ්බා හොරණ තක්ෂිලාවේදී), දකුණු ඉන්දියානු සංගීතය, දෙමළ සහ හින්දි චිත්‍රපට සංගීතය, බටහිර සංගීතය (වෙස්ටෙර්න් මියුසික්) සහ සිංහල සරල සංගීතය. සිංහල සරල සංගීතය ප්‍රවර්ධනය වන්නේ සංගීතය හදාරන්න ඉන්දියාවට ගිය විශිෂ්ඨ ලාංකිකයින් මගින්මයි. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්තයන් ඉන්දියානු සංගීතය මත නොයැපී රට තුල වූ ජන සංගීතය ආධාර කරගෙන අපිට අනන්‍යවූ සංගීතයක් දියුනුකරා. අමරදේවයන් එය වැඩිදියුණු කරා හෙළයන්ට මහත් අභිමානයක් එක්කරමින්. මේ මා දන්නා තරමයි. ස්වභාවික සංගීතය නිර්වචනය කරන්නේ කෙසේද? (ර)
අභය නමින් ඉන්න ඔබ කෝනාර අබේනායක නේද? අපි ඇමරිකාවේදී හමුවුන වෙලාවක ඔබ මට ඉහත අදහස එලෙසම පවසා තිබෙනවා. එයින් තමා මා ඔබව හඳුනා ගත්තේ. (බ)
මිලානෝ තරම් මම නම් උගතෙක් නොවෙයි. ලෝකයේ ප්‍රධාන වශයෙන් සංගීතය , පෙරදිග සහ අපරදිග යනුවෙන් සම්ප්‍රදායයන් දෙකකි. ලංකාවේ ඉන්දියානු බලපෑම නිසාවෙන් සංගීතයක් බිහිවුණා. ඊට කලින් තිබුනේ වන්නම් ගීත, බලි බිලි ගායනා, ජනගායනා සහ පැල් කවි පමණි. එහෙත් ඉන්දියානු සංගීතයේ ආගමනයෙන් පසු නුර්ති, ගී ටීටර් ගී අපිට රස විඳීමට ලැබුනා.චිත්‍රපටි කර්මාන්තය ආරම්භ වූ පසුව රට තුළ සංගීතය නමැති මාධ්‍යය ඉක්මනින්ම ජනයා ග්‍රහණය කර ගත්තා. චිත්‍රපටි වලට පළමුවෙන්ම යොදා ගත්තේ දකුණු ඉන්දීය සංගීතයයි. ඔය අතරවාරයේ අපේ සමහර සිංහල සංගීතඥයෝ උතුරු ඉන්දියාවට ගොස් සංගීතය හදාරා මෙරටට පැමිණ පැල් කවි සහ ජන ගායනා ඇසුරෙන් සිංහල දේශීය සංගීතයක් බිහිකිරීමට පුරෝගාමී වුහ. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත සහ අමරදේවයන් ඒ අතර මුලික වුහ. "සුබාවිත" යනු අමරදේවයන් නිමවූ වචනයකි. "සුබාවිත සංගීතය" යනුවෙන් එතුමා අදහස් කරන්නේ සාහිත්‍යමය රසයෙන් පිරුණු භාවමය වශයෙන් රසවිඳිය හැකි සංගීතයටයි. අපි දැන් ගොඩාක් වෙලාවට ගුවන් විදුලියෙන් අසන්නේ කතා කරනවාක් මෙන් වූ පද රචනයකි. එහි සාහිත්‍ය අගයක් නැති නිසා භාවමය රසයක්ද නැත. අවාසනාවකට "සුබාවිත" සංගීතය එක්තරා කාලයක බිහිව දැන් දැන් කෙමෙන් අපේ සංගීතයෙන් ගිලිහී යන්නේය. (නි)
සුභාවිත සංගීතයට ස්වභාවික සංගීතය කියන්න ගිහිල්ලා ඇනගත්ත පිටිගල මිලානෝ තවත් බොරු දොඩවනවා. (නි)
අපේ බොහෝ දක්ෂ ගායකයින්ගේ අමන, ඉරිසියාසහගත බිරින්දෑවරුන් නිසා ඔවුන්ගේ දක්ෂකම් යුග ගී ක්ෂේත්‍රයේ දක්වන්න නොහැකිවී තිබෙනවා. ඊට හේතුව තම ස්වාමියා වෙනත් ගායිකාවක් සමග ගී ගයනවාට ඇති බලවත් ඉර්ෂ්යාවයි. තවත් දක්ෂ සහ ජනප්‍රිය ගායකයින්ගේ ගායිකාවන් යයි කියමින් ස්වාමියාගේ පහනෙන් එලිය බලන අදක්ෂ, ජනප්‍රිය නැති බිරින්දෑවරුන් නිසා මෙම ගායකයින්ට විදේශ අරාධනා පවා අහිමි වෙනවා. ඊට හේතුව මෙම ගායකයා සමග යුග ගී ගැයීමට මෙම බිරින්දෑවරුන් බලෙන් ඉදිරිපත් වීමයි. එසේ ඉඩ දුන්විට සිදුවන්නේ සෙනග ගෙන්නා ගැනීමට නොහැකිවී සංවිධායකයෝ පාඩු විඳීමයි. ජෝතිපාල මහත්මයාට නම් මේ අනවශ්‍ය කරදර නොතිබීමම ඔහුගේත් අපෙත් වාසනාවක්! (බ)
නිශ්ශබ්දතාවයෙන් පෙනීයන්නේ "ස්වාභාවික සංගීතය" කියන එක වෙන කවුරුත් තබා පිටිගල මිලානොවත් නොදන්නා හැඩයි. (නි)
බොහෝ ප්‍රවීණයන් වෙනුවට, සෑම ප්‍රවීනයෙක්ම ආවේ අනුන්ගේ ගී ගැයීමෙන් ලැබූ පන්නරය මතින් යැයි කිවහොත් නිවැරදි බවයි මාගේ මතය.බුදුන් වහන්සේ තාපස කාලයේදී එවකට තිබූ සියලු ආගම් ඉගෙන ගෙන පසුව යි තමාගේ මාර්ගය වෙනස් කලේ. එය සෑම විෂයකටම අදාලයි.නො එසේ නම් ලෝකය තවම එක තැන පල් වෙනවා.(ම)
ඔය මිලානෝ කියන "ස්වාභාවික සංගීතය" කුමක්දැයි කවුරු හෝ පැහැදිලි කළා නම් ස්තුතිවන්ත වෙමි. (නි)
මිලානෝ පිටිගල දැන් අපේ ප්‍රබුද්ධ ගයකයන්ටත් ගරහන්න පටන් අරන්. ඔබ මිලානෝවල කියන්නෙත් ඔය ඔබ ගරහන 'සරිගමරාලලගේම' සින්දු නේද? (ර)
සනත් මොකක්ද ප්‍රබුද්ධ කියන්නේ? (ර)
මමත් ඇමෙරිකාවේ රවුමක් ගහන්න ආසාවෙන් ඉන්නේ. තාම නැකතක් හොයා ගන්න බැරිවුණා. ස්තුතියි පිටිගල මිලානෝ. (නි)
මිලානෝ පිටිගලට මම පුද්ගලිකව කැමති නැති වුනත් ඔහු කියා ඇති ආකාරයට මමත් සංගීත සන්ධ්‍යාවක් කරලා අතින් පාඩු වින්දා. (බ)
වැදගත් ලිපියක්.(හේ)
මේ මැරෙන්න ඉන්න ටික කාලෙට රසාස්වාදයට යොදාගන්න දෙයක් තමන්ගේ කියල අයිති කරගන්න හදන්නේ මෝඩකම නිසා මිසක් වෙන කිසිම හේතුවක් මට නොපෙනේ. මෙච්චර දියුණු මනසක් සහ ශරිරයක් තමන්ට නිකන් ලැබිල තියෙද්දී, තාවකාලික පොඩි දෙයක් වෙනුවෙන් කෑදර ලොබ කම් කරන්නේ වෙන මොන හේතුවක් නිසාද? (බ)
මිලානෝ, පිටිගල මහා ගාන්ධර්වයෙක් වෙලා බොරුවට කෑ ගහනවා. (නි)
ගීතයක අයිතිය තිබිය යුත්තේ එහි සංගීත අධ්‍යක්ෂකට මිසක් එකෙට කටහඩින් හෝ සංගීත භාණ්ඩ වාදනයෙන් දායක වූ ශිල්පීන්ට නෙවෙයි. නාට්‍යයක අයිතිය තිබිය යුත්තේ නාට්‍යය නිෂපදකයට මිස නළුවන්ට නොවේ.(ම)
අනේ පිටිගල මිලානෝ බොරු බේගල් නොලියා තමන්ගේ වැඩක් පාඩුවේ කරගෙන ඉන්න. (ර)
මිලානෝ පිටිගල අගනා දේවල් රැසක් ලියා ඇත. අාචාර්ය කේමදාසයන්ගේද නමද එතුළ සඳහන් වුනි නම් තවත් අගනේය. ඔබ කියන ලෙස දක්ෂයන්ට ගායකයන් වෙන්න ඉඩ නොදෙන හවුලේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් පසුගිය කාලයේ සරිගමද අමතකවී නහයෙන් හඬ හඬා දේශපාලකයන් පස්සේ යනවා හිරිකිතෙන් යුතුව අපි බලා සිටියා. (බ)
ඉන්දියානු කොපි සින්දුවලින් පශ්චාත් කාල ප්‍රභේදයේදී අපේ ස්වභාවික සංගීතය ක්‍රමක්‍රමයෙන් දියුණුවුනා. ලෙස්ටර්ගේ චිත්‍රපට, ඇල්බර්ට් පෙරේරාගේ (පණ්ඩිත අමරදේවයන්) සිට බෙන්ගාලි ඌරුවකට මනරම් ගීතමය පෝෂණයක් කල ෂෙල්ටන් පෙරේරා, ජෝති, මිල්ටන් දෙපොල, නන්දා, සුජාතා වැනි බොහෝ ගායක ගායිකාවෝ මේ සඳහා දායාද වුනා. නමුත් මේ අතර බොහෝ දෙනෙක් තවත් දක්ෂයෙකුට ලෙහෙසියෙන් ඔවුන් අතරට පැමිණෙන්න නොහැකි ලෙස ඒකාධිකාරයක් ගොඩ නගාගෙන තිබුනා. ඒ නිසාම පිපෙන්න තිබුණු බොහෝ පියකරු මල් නොපිපීම අතු අග මිලානවී පරවී ගියා. රට ස්වභාවික සංගීතයෙන් ගීතවත් කල සමහර 'සරිගමරාලලා' කල බොහෝ දෙනා නොදන්නා අපරාධයකි මෙය. ඔවුන් සුනිල් පෙරේරාවද අඩපන කරන්න ලැස්ති වුනත් ඒ වන විටත් සුනිල් පෙරේරා සංගීත ක්ෂේත්‍රය තුල විශාල වෘක්ෂයක්වී අවසන්. අනූව දශකයෙන් පසු ඇතිවූ තාක්ෂණ දියුණුවත් සමග බොහෝ හැකියාවන්ගෙන් පිරි අයට ස්වෝත්සාහයෙන් ඉදිරියට ඒමට අවස්තාවක් ලැබුනා. ඒ කාලයේ නම් බාචි සුසාන්, රුවන් හෙට්ටිආරච්චි වැනි දක්ෂ ගායකයෝ අගුල කැඩුණු වැසිකිලි තුලට පමණක් සීමා වනු ඇත. (අ)
කැරකෙන රෝදෙකින් යන එක්තරා ගායකයෙක් පසුගිය දවස්වල නම් එක්තරා දේශපාලකයකුගේ අනුහසින් රෝදය අමතක කරලා ජීප් කට්ටක නැඟලා සරිගමපද පටළවාගෙන ප්‍රභූ ලීලාවෙන් එහෙ මෙහෙ යනවා අපි දැක්කා. (නි)