පන්සලක් ගැන ලියන්නට ගිය අපට කලාගාරයක අසිරිය ලියන්නට සිදු විය. ගල්බඩ පන්සල පුරා මම ඇවිද ගියෙමි. විහාර මන්දිරය වටේ දෙතුන් වරක් ඇවිද්දෙමි. විහාර මන්දිරයේ දුටු දේ අදහා ගත නොහැකි තරමට සිත්කළුය. චිත්තාකර්ෂණීයය. රට පුරා පන්සල්වල ඇවිද ඇති මට මෙතරම් සුවිශේෂී විහාර මන්දිරයක් හමු වූවා මතක නැත. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගල්බඩ පන්සලේ විහාර මන්දිරය අද්විතීයය. සිතුවම් හා මූර්ති නිර්මාණ අතින් ද අද්විතීයය. ඒ විශිෂ්ඨත්වය අරුම පුදුමය. රට පුරා ඇවිද්දත් සොයා ගත නොහැකි අපූරු සිතුවම් බොහොමයක් මෙහි දැකිය හැකිය. විහාරයක් හැටියට ‘සුනන්දාරාමය’ වුවත් මේ පින් බිම රටම දැනගත යුත්තේ ‘හෙළ කලාගාරය’ හැටියටය. මේ සත්‍ය අසත්‍යතාව ඔබ ගොසින්ම නැරඹිය යුතුය.

ගල්බඩ ගම අප අසා තිබුණා නම් ඒ ගල්බඩ `ක්‍දාණිස්සර නාහිමියන් නිසාය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතීන් වහන්සේ උපන් ගම ගල්බඩයි. පොඩි කාලයේ උදේ හවා ඇවිද ගිය ගමයි. සුනන්දාරමය එගම පන්සලයි.

ගල්බඩ විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ මහනුවර යුගයෙනි. වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ශිෂ්‍ය රන්සෑගොඩ කීර්ති ශ්‍රී තේජෝවර ධර්මදර්ශී හිමියන් ගල්බඩ විහාරය ආරම්භ කර තිබේ. නායිමන සුනන්ද හිමියන් 1862 විහාරාධිපතිත්වයට පත් වීමෙන් පසු විහාරය ‘සිරි සුනන්දාරාමය’ ලෙස නම් විය. උන්වහන්සේගෙන් පසු අපරැක්කේ සුමංගල හිමියන් ද, පසුව ශිෂ්‍ය වර පරවාහැර දේවානන්ද නාහිමියෝ ද විහාරාධිපතිත්වයට පත් වූහ.

සුනන්දාරාමය කලාගාරයක් කළේ උන්වහන්සේය. උන්වහන්සේගේ කලාත්මිකතාව යුග ගණනාවකට ඉතිරි කළ බව අපට හැෙඟ්. කැලණිය, දඹුල්ල, රිදී විහාරය ආදී විහාර සිතුවම් ලාංකීය සිතුවම් කලාවේ මුදුන් මල්කඩ වන් තැන් වෙයි. නමුත් ගල්බඩ සුනන්දාරාමයට පැමිණ බැලූවොත් එය ඊට දෙවැනි නොවේ.

ගල්බඩ සුනන්දාරාම විහාරාධිපති අපරැුක්කේ ධම්මානන්ද නායක හාමුදුරුවන් මම හමු වීමි.

‘කැලේට පායපු හඳක් වගේ නේද?’ ඒ වචන කීපය තුළ අර්ථය බොහෝ ගැඹුරු විය. වටිනාකම, සුන්දරත්වය දකින්නට, බලන්නට ඉන්නේ ගමේ උදවිය පමණකි. නියම වටිනාකම රටට ගොස් නැත.

විහාරය බොදු කලාගාරයක සිරි ගත්තේ කෙසේ ද යන්න මම පළමුව විමසීමි.

‘පරවාහැර දේවානන්ද නායක හාමුදුරුවො 1946 අවුරුද්දෙදි විහාර කර්මාන්තයේ වැඩ ආරම්භ කළා. ඊට පෙර කුඩා විහාර මන්දිරය තිබුණා. එය නුවර යුගයට අයිතියි. තවමත් නුවර යුගයේ චිත‍්‍ර, සමාධි බුද්ධ ප‍්‍රතිමාව උසස් අයුරින් ආරක්‍ෂා වෙලා තියෙනවා. එම විහාර මන්දිරයත් ඇතුළත් කොට අලූත් විහාර මන්දිරයේ සැලසුම ඇන්දා නායක හැමුදුරුවන්ගේ අනුශාසනා මත වැලිගම සමාරිස් සිල්වා කියලා කෙනෙක්. ඒ අනුව තමයි මේ දර්ශනීය විහාර මන්දිරය ඉදි වුණේ. ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම පැතිකඩක් තමයි මේ. මෙවැනි විහාර මන්දිරයක් මා තවම දැකලා නෑ. වැලිතර පන්සලේ විහාර මන්දිරය මීට සමානකමක් තියෙනවා. හේතුව එකම ගෘහ නිර්මාණ ශිල්පියා වීම නිසා. ඇතුළෙ මාලයේ සිතුවම් ඇන්දෙ නුවරින් බාස් කෙනෙක් ඇවිත්. නව විහාර මන්දිරයේ බුද්ධ ප‍්‍රතිමාව සහ ආසනය, පසුබිම හරිම විශේෂයි. රන්සිවිගෙය, දම්සභා මණ්ඩපයේ වැඩ සිටින විදිහට තමයි ගොඩ නගලා තියෙන්නෙ. හරිම සියුම් චිත‍්‍ර කලාවකින් හැඩ වැඩ දමලා තියෙනවා. චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයාගෙ ඥාති පිරිසක් ගල්බඩ හිටියා. එයා ඉඳහිට මෙහෙ යනවා එනවා. දවසක් පන්සලට ඇවිත් අලූත් විහාර මන්දිරය පුරා ඇවිද්දා. එයා මෙතැන විශේෂත්වය දැක්කා. ඊට පස්සෙ දේවානන්ද නායක හාමුදුරුවො මුණ ගැහුණා.
”හාමුදුරුවනේ මේ විහාර මන්දිරයේ එක එක්කෙනා ලවා චිත‍්‍ර අන්දන්න එපා. මෙතන අඳින්න සුදුසුම කෙනෙක් ඉන්නවා. එයා ඉන්නෙ ගම්පොළ. ගිහින් කතා කරලා බලන්න. එයා ඇඳපු විහාරයකුත් තියෙනවා. එතනටත් ගිහින් බලන්න.

”ඒ අනුව ටික දවසකට පස්සෙ අප ගම්පොළ ගියා. අප මුලින්ම ගියේ චිත‍්‍ර ශිල්පියාගේ සිතුවම් තියෙන ගිරාඋල්ල පන්සලට. එදා රෑ දේවානන්ද නායක හාමුදුරුවොයි, මමයි ඒ පන්සලේ නැවතිලා ඉඳලා පසුවදා ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක චිත‍්‍ර ශිල්පියාගෙ ගෙදරට ගියා.
”ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවො එක්ක ආ නිසාත් දුර බැහැරක සිට හොයාගෙන ආ නිසාත් මානවසිංහ මහත්තයා මිත‍්‍රයෙක් නිසාත් බෑ කියන්නෙ කොහොම දැයි චිත‍්‍ර ශිල්පියා කිව්වා.

 

 

විහාරාධිපති හිමියන් ශිෂ්‍ය පිරිස සමඟ.

 



”ඒ අනුව 1957 අවුරුද්දෙදි චිත‍්‍ර කර්මාන්තය ආරම්භ කළා. චිත‍්‍ර ශිල්පියා ගම්පොළ ගොඩපොළ රාජකරුණා විජේසිංහ මහත්මා. විහාර ගෙයි සිතුවම් අඳින්න අවුරුදු පහක් ගත වුණා.”

ගල්බඩ සිරි සුනන්දාරාම විහාර මන්දිරයේ සිතුවම් අතර ලතා මණ්ඩප, මකර සෝපාන, ඇත් පෙරහර, දෙව් විමන්, බහිරව රූප, නාරිලතා, සිංහ, ගජ, හංස, මකර ආදී සත්ත්ව රූප, හංස පූට්ටු, භද්‍රගට, ගජසිංහ, නරසිංහ, නෙළුම් මල් ආදී පුෂ්පාලංකරණ, සප්ත නාරි පල්ලැක්කිය, නාරි රථය, ෂට්නාරි වළල්ල, චතුර්

අපරැක්කේ ධම්මානන්ද හිමි.

නාරි ස්වස්තිකය, මුගුරු පොරය, කඩු හරඹ, මල්ලව ලී කෙළිය, නාරි පූට්ටුව, ලිය වැල්, බෝඩර, මුතු වැල්, සෝමන්, නෙළුම් මල් මෝස්තර ආදී බොහෝ සිතුවම් වෙයි.

ගල්බඩ ගමක් වශයෙන් ගත් කල ලංකාවේ පළමු ප‍්‍රාදේශීය ගම් උදාව ඇරඹුනේ මෙගමිනි. ඒ 1983 වර්ෂයේය. කොළඹ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ක්‍දාණිස්සර නාහිමියන්ගේ අදහසකට අනුව අගමැති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ගල්බොඩ ප‍්‍රාදේශීය ගම් උදාව ක‍්‍රියාවට නැංවීය.
ගල්බඩ `ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) උපන් ගම ගල්බඩය. උන්වහන්සේගේ පැවිදි වීම පිළිබඳව ද අපරැක්කේ ධම්මානන්ද නාහිමියෝ විස්තර කළහ.

පරවාහැර දේවානන්ද නායක හිමියන් සහ එදා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන් කල්‍යාණ මිත‍්‍රයෝ වූහ. ඒ නිසා ඉඳහිට වාචිස්සර නාහිමියෝ ගල්බඩ සුනන්දාරාමයට වැඩම කළහ. විහාර ගෙයි උළු සෙවිලි කරන උත්සවයට දෙවුන්දර වාචිස්සර හිමියන් වැඩම කළ අවස්ථාවේ ගංගාරාමයේ පැවිදි කිරීමට කොල්ලෙක් සොයා දෙන ලෙස දේවානන්ද නාහිමියන්ගෙන් ඉල්ලීය. ඒ අනුව නායක හිමියෝ දරුවෙක් සොයා බැලූහ. ගල්බොඩ `ක්‍දාණිස්සර නාහිමියන්ගේ මාපියන් පන්සලට ගෙන්වා කාරණය කිවූහ. ඒ අනුව මාපිය කැමැත්ත මත කුල කුමරුවා කොළඹට කැඳවාගෙන ආවේය. එදා මේ ගමනට වත්මන් සුනන්දාරාම විහාරාධිපති අපරැක්කේ ධම්මානන්ද හිමියෝ ද ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ පියා ද එක් වූහ.

ඉන් පසු කොළඹ ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ගල්බඩ `ක්‍දාණිස්සර නමින් පොඩි හාමුදුරුවෝ පැවිදි බිමට එළඹියහ.

උන්වහන්සේ ගල්බඩ සුනන්දාරාම විහාර දියුණුවට පුරෝගාමී වූ බව අපරැුක්කේ ධම්මානන්ද නාහිමියෝ අපට පැවසූහ. වතුර මෝටර් ලබා දීම, පරිගණක මධ්‍යස්ථානයක් ලබා දීම හා ටයිපින්, වෑල්ඩින්, ඩ‍්‍රයිවින්, විදුලි කාර්මික, ජුකී මැෂින්, මැහුම් ගෙතුම්වලින් සමන්විත අංග සම්පූර්ණ කාර්මික විද්‍යාලයක් ආරම්භ කර දීම මෙහිලා කැපී පෙනේ.

 

 



පරවාහැර දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ ගල්බඩ සිරි සුනන්දාරාම විහාරයේ පමණක් නොව තත් ග‍්‍රාම සංවර්ධනයේ ද නියමුවා වන්නේය.
උන්වහන්සේගේ දැක්ම, කලාත්මක හැකියාව ගල්බඩ සුනන්දාරාම විහාරයේ සිට ගම පුරා පැතිර ගියේය.

ලාංකීය බොදු සිතුවම් කලාවට විශිෂ්ඨ සන්ධිස්ථානයක් වන ගල්බඩ සුනන්දාරාම විහාරය චිත‍්‍ර කලාව, මූර්ති ශිල්පය හදාරන සෑම කෙනකුම පැමිණ දැක බලා ගත යුතු තැනක් හැටියට අපි විශ්වාස කරමු.