පී. මලල්ගොඩ කවියාගේ සියවැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් පළවන ලිපියකි

අප කුඩා කාලයේ සිනාසී, හිස අතගා පුතු සෙනෙහසින් සැලකූ නොයෙක් ලේඛක ලේඛිකාවන් අතර පී. මලල්ගොඩ කවීන්ද්‍රයා සුවිශේෂ ස්ථානයක් ගනී. ඔහුගේ ස්වීයත්වය අනර්ඝය. ධවල වර්ණයෙන් විභූෂිත ඔහු ඇඳි ජාතික ඇඳුම දිගුය. පිරිසුදුය. මැනැවින් හිස රවුලු බෑ ඔහු වෙතින් වත්සුනු සුවඳ හමයි. රස කරමින් හරබර කවි කට පාඩමින් කියයි. හිටිවනම කවි ගයයි. එම කවි තියුණුය. අවියක් මෙනි. එම සිවුපද කවි විවිධ ඡන්දස් ශබ්දාලංකාර විශද කරයි. සමාජීය දේශපාලනික, ආර්ථිකමය හා සංස්කෘතිකමය අර්ථයෙන් පොහොසත්ය. ප්‍රබල වන්නේය.

අපි බාලවියේ ඔහුගේ නායකත්ව ලක්ෂණ, පෞරුෂ ගුණාංග, මනා සංවිධාන ශක්තිය, නිර්භය සූර, වීර, ධීර ගුණයට ප්‍රිය කළෙමු. ආදර්ශ ලබා ගත්තෙමු. එකල මලල්ගොඩ කවියා නොමැති නම් සමස්ත ලංකා කවි සම්මේලනයක් ද නැති තරම් ඔහුගේ බල ආධිපත්‍යය පළට වූයේය. මේ රටේ ඔහු ජීවත්ව සිටි කාලයේ රාජ්‍ය නායකකාරකාදීන් බොහෝ දෙනකු ඔහුගේ රට, දැය, සමය, පද්‍ය සාහිත්‍ය කලාව කෙරෙහි වූ සාමූහික එකතූන්ට උපකාර කළ අතර ඇතැම්හු ඔහුට අරියාදු කළහ. ඒ ඔහුට ඇති බියමුසු බව නිසා විය හැකිය. ‘බණ්ඩාරනායක අගමැති මැරීමේ අබිරහස සහ නූතන දේවදත්ත’ කුඩා පොත් මහා ප්‍රසිද්ධියක් හා ආන්දෝලනයක් ඇති කළ බව පැටිවියේ සිටි අපට මතකය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය හංසමාලා රිටිගහපොළ මලල්ගොඩ කෘති එකතුව සාධනීය ගොඩගේ පොතක් හැටියට පළ කළේ 2015 වසරේදීය. ඒ 30 වැනි අනුස්මරණය වෙනුවෙනි.

‘දෙස-බස-රැස දේවත්වයෙහිලා සැලකූ කොළඹ කවි යුගයේ ශ්‍රේෂ්ඨතම කවියකු වූ පී. මලල්ගොඩ කවියා තම අනන්‍යතාව පෑගෙන පිලෙහි විමුක්තිය උදෙසා නොපැකිළව තම කවි හඬ නැගීමෙන් සටනක් කළේය.

ඔහුගේ කවි ලොවේ, කවිය මෙන්ම කවියාද පොදු ජනයා සතුවිය. මලල්ගොඩ කවියාගේ අදීන චින්තනය, ලේඛකත්වය, කථිකත්වය සහ කවීත්වය දශක පහක කාලයක් ඉක්මවා මෙහෙය වූයේ පීඩිත ජනතාව ඇමතීමටත්, රට අරාජික කරන ජන පීඩන දේශපාලකයින්ට වස් කවි ලිවීමටත් මිස කිසිවකුටත් ප්‍රශස්ති ගායනා කිරීමට නම් නොවේ. උක්ත කෘතියෙහි දරුවන් වෙතින් යැයි පළට කළ සටහනේ එසේ සඳහන් කර තිබේ.

ජනහිත කාමය – ජාත්‍යනුරාගය – දේශ වාත්සල්‍යය තම පණ සේ සැලකූ අප කවියා 1983 පෙබරවාරි - මාර්තු ‘කවිය’ පුවත්පතෙහි කතු වැකියේ මෙවැනි කවි ලියුවේය.

දුක්පත් දනන් මැද සුසුමෙන් ගෙවන     පණ
තක්කඩි කපටි නායකයන් ඉහළ     යන
ඔක්කොම මරා හෝ පදවිය රකින     අණ
දක්වයි මොවුන්ගේ ඉරියව් සියලු     තැන

අසරණ ජාතියක් මරුටම     පැවරේද
සිරිගන සසුන – දිවයින දෙක     නොමැරේද
බිම යන බකුස්සන් කියනුම     කවරේද
උඩ යන උකුස්සොත් මුන්ගෙන්  බේරේද

1921 ඔක්තෝබර් 11 වැනිදා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දික්කුඹුර, මලල්ගොඩ පිටිය ගමේ ඩබ්.ඩී. සාමෙල් සිල්වා සහ එම්.එම්. බවුන්හාමිට දාව ඔහු උපත ලැබුවේය. ඩබ්.ඩී. සයිමන් සිල්වා සහ ඩබ්.ඩී. ප්‍රැන්සිස් සිල්වා ඔහුගේ වැඩිමහල් සහෝදරයෝය. පවුලේ තුන්වැනි දරුවා පියදාසයි. ඔහු රටේ තොටේ ප්‍රකට වූයේ පී. මලල්ගොඩ වශයෙනි. ඔහුගේ බාල සොයුරිය ඩබ්.ඩී. ප්‍රේමවතීය. පවුලේ බාලයා වූයේ ඩබ්.ඩී. ප්‍රේමදාසයි. ගොවිබිමේ - කෙතේ - කමතේ - බලි තොවිල් පවිල් බෙර හඬ – කවි ගායනය ඇසුරේ සමාජානුයෝජනය වූ ඔහු සෞන්දර්ය කලාව – ජනශ්‍රැතිය – පුරාණොත්ති - අද සාහිත්‍යය සිය ජීවිතය කොට ගත්තේ ඊට දැක්වූ බලවත් රුචිර භාවය නිසාය. ගිහි ජීවිතයේ කුඩා කල පටන් විහාර ආශ්‍රිත ජීවිතය ප්‍රිය කළ ඔහු ගුරුහරුකම් ලබා ඇත්තේ අප රටේ මහාපඬියතිවරුන් වෙතිනි.

ගාල්ලේ විජයානන්ද විහාරය, කලුගල ගුණවර්ධනාරාමය, වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙන, බලගල්ලේ සරස්වතී පිරිවෙන ඔහුට සදාශ්‍රය විය. අධ්‍යාපනය ලැබීමට සෙවන සැලසීය. හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි, ඉඳුරුවේ උත්තරානන්ද නාහිමි ඔහුට ආචාර්ය වූහ. ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවි හෙබැවූ අග්ගමහා පණ්ඩිත හිස්සැල්ලේ ධර්මකීර්ති ශ්‍රී ඥානාභිධාන මහ නාහිමියෝ කුඩා වියේ මලල්ගොඩගේ වූ කවිතාව සපුරා අගය කළහ. පුංචි කාලයේ ගමේ පන්සලේ කුලඟන සමිති රැස්වීමකට ඔහු කවියක් කීවේ මෙසේය.


කටින් බතල කොළ හිටවන මි     නිසුන්නේ
කියුම් කෙරුම් ගැන මොකටද     විමසන්නේ
එබන්දන්ගෙ වැඩ කවද ද පල           දුන්නේ
අපෙන් තමයි මෙතැනට කිරි     උතුරන්නේ

1948 අගෝස්තු 01දා ‘අමාව’ නම් මාසික කවි සඟරාව පළ කළේ සිය සංස්කාරකත්වයෙනි. 1949 වනතුරු සමසමාජ පක්ෂ ප්‍රතිපත්ති අගය කළ ඔහු පසුව කොමියුනිස්ට් පක්ෂයට බැඳී ක්‍රියා කළේය.

විද්‍යෝදය පිරිවෙනේ බාහිර ශිෂ්‍යයකු ලෙස ශාස්ත්‍ර විශාරද පණ්ඩිත උපාධිය දිනා ගත්තේය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මේ විභාගය සමත් වූවන් හට උපාධි පිරිනමනුයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම වෙතිනි. පාලි, සිංහල, සංස්කෘත, ප්‍රාකෘත, ජ්‍යොතීර්වේදය පසුබිමේ ඔහු බෞද්ධ දර්ශනය, ඉතිහාසය මැනවින් හදාළේය. ඔහුගේ කවිත්වය පෝෂණය වීමට නිසග සහජ කුසලතා බැබැලුනේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර සාහිත්‍ය කලා ආභාසයෙනි.

පීටර් විජයසිරි සමග සම සංස්කාරත්වයෙන් 1949 දී බෞද්ධ බාලිකාව නම් ගද්‍ය කෘතිය එළිදැක්වූයේ එසමයෙහි සමාජ පෙරැළිය පසුබිමේ විපරිණාමයට ලක්වන කාන්තාවන් අරබයාය.

ඔහු උපන්නේ ලෝක යුද්ධ, මෙන්ම නිදහස් සටන් ඇවිළෙමින් පැවති අවිචාර සමයකයි. ඡන්දස්, ව්‍යාකරණ, තර්ක, විතර්ක, අලංකාර ශාස්ත්‍රය, දර්ශන, ධර්ම විද්‍යා, කලා ආභාසයෙන් උද්දීප්ත ඔහුගේ නිර්මාණ කාර්යයේදී නිසඳැස්, නිදහස් කවි ආර ඔහුට රුචිකර නොවීය. මහාචාර්ය සුනිල් ආරියරත්න සම්පාදනය කළ නූතන කාව්‍ය සංහිතාවේ මලල්ගොඩ කවියාගේ නිසඳැස් අපුළ මෙසේ ඔහුගේ කවියකින් උපුටා දක්වා ඇත.

කිළුටු කර හෙළ                       බස්
රැගෙන ආ ආගන්තුක              වෙස්
මරාගෙන                           කවි ගස්
උපත ලද පිළිලයකි              නිසඳැස්

1995 මරදානේදී අච්චු ගැස්වූ ලේ සලකුණ කවි පෙළින් කවි සුනිල් ආරියරත්න තම කෘතියේ මෙසේ උද්ධරණය කරයි.

ගලක කන්දක ගඟෙක කඳු බෑවුමෙක තරුණියකගෙ     ළපැත්තේ
වෙලක මිටියාවතක රූබරියකගෙ නොඉඳුල් දෙතොල්     මත්තේ
මලෙක නව පෙම් විහඟ ගීයෙක අනේ මොන මියුරසද     ඇත්තේ
මෙලක දිනු කවියකුට ඒ රස විඳින්නට පින් මහිම          නැත්තේ

දුකින් පවසින් සයින් මුළු ජාතියම අද මරණයට               නතුවේ
ලෙයින් ඇට කටුවලින් ගොඩනැගු රජයකට මුළු බලය     සතුවේ
ඉඳින් මොන නව රසද රසිකය දැයේ නිදහස පිණිස          මතුවේ
කිවින් පෙරමුණ රැගෙන ජඩ පාලනය වළලා දැමිය           යුතුවේ


කලාව කලාව උදෙසාද? කලාව සමාජ ප්‍රගතිය පිණිසද? මින් ධ්වනිත කරනුයේ මෙම උභතෝකෝටිකය නොවේද?
වාමාංශික දේශපාලන දර්ශනයෙන් හෙතෙම ආභාසය ලබමින් ක්‍රියාශීලී වූවේය. ඔහුගේ ජීවතාවබෝධය පොහොණි වූයේ බෞද්ධ ධර්මයෙනි. අධිරාජ්‍ය විරෝධී ස්වරූපය ධනපති ධනවාදයට එරෙහි පර්යාලෝකය ඔහු වෙතින් දිස් වූයේ අනවරතයෙනි. සෝමවීර චන්ද්‍රසිරි, ටී.බී. තෙන්නකෝන්, පතිරාජ තෙන්නකෝන්, ලීලාරත්න විජේසිංහ වැනි මැති ඇමතිවරු ද මර්සලින් ජයකොඩි පියතුමාද වරින්වර සමස්තලංකා කවි සම්මේලනයේ ගමන් මග ආලෝකවත් කළහ. ලේඛනයට, භාෂණයට සමත් අතිශය කීර්තිමත් කවි කිවිඳියෝ මලල්ගොඩ කවියා සමග අත්වැල් බැඳ ගත්හ. දුක්මුසු, අරගල, මෙන්ම රසමුසු තැන්ද ඔහුගේ ජීවිතයට පන්නරය කැවීය.

මලල්ගොඩ කවියා විවාහ වූයේ 1954 මැයි මාසේ 26 වැනිදා ශ්‍රියා පද්මසිරි සමගය. ඇය ප්‍රසිද්ධ ව්‍යාපාරික කේ.පී. ජිනදාස මුදලාලිගේ දියණියයි. එම ව්‍යාපාරය ජිනදාස තලගුලි නමින් ප්‍රකටය. රූපත් ශ්‍රියා, මාධවී ලලිතකලා, ජගත් රසාංජන, භාග්‍යා කදම්බරී, බුද්ධි ප්‍රියංවදා, භාෂිණී වසුන්දරා දූ පුතුනට උපත දුන් මවයි. ඇයටද කවි කීමටත් ලිවීමටත් හැකියාව පැවතුනි.

ජෝතිමත් ජීවිතය (1955), දේශපාලන කරළිය (1957), මෙන්න දහනායක (1957), විමලා විජයවර්ධන අගමැතිට කැලෑ පත්තර ගැසූ සැටි (1958), ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණ කළ හැටි (1959), දේව පූජාව (1959), බණ්ඩාරනායක නඩුව සහ මලල්ගොඩගේ සාක්කිය (1968), නොමළ මලල් ගී (1985) වැනි ගැදි පැදි පොත් රැසක් නිමැයූ ඔහු කාව්‍ය මංජරි සඟරාව, කවිය පුවත්පත මගින් කවි කිවිඳියන් හට සුබසිත්ව කරළියට එන්නට අත හිත දුනි. සමස්ත ලංකා කවි සම්මේලනයේ පනස් වැනි ස්වර්ණ ජයන්තිය 1981 දී කොළඹ ආනන්ද විද්‍යාලයේදී දින 7ක් පුරා පැවැත්විණි. කොළඹ කවි යුගය ඉංග්‍රීසි පරිවර්තන සමග ඔහු විසින් සංස්කරණය කළ ග්‍රන්ථය ඇතකු පිට තබා ගෞරව සම්ප්‍රයුක්තව ගෙනැවිත් මුලසුනට පුද කිරීමේ භාග්‍යය මට හිමි විය.

මලල්ගොඩ බන්ධුතිලක ඇතුළු ඔහුගේ බොහෝ කවි මිතුරු මිතුරියෝ අද වන විට මිය ගොස් සිටිති. ඔවුන් කළ කී දෑ රස කවි ගැදි වැකි - සමාජ ක්‍රියාකාරකම් පමණක් ඉතිරිව පවතී. අතිශය ප්‍රබල තියුණු දේශපාලනික කවි අතර ඉසියුම් මෙබඳු කවි සිය ගණනක් මලල්ගොඩ කවියා විසින් ලියන ලදී.

වැසුණු සඳ සලාළැම තල නිතඹ සිදෙඹුන් නගා පෙම් ගී තනුවෙ     ගුම් නද
නෙළාවන මල් සිඹින අතරෙදි තුරුලු වී ඔවුනොවුන්     පෙම් බැඳ
හෙළා මුදු මද සුදෝ සුදු සඳරැස් කැරලි කැවූ         උන් හද
බලා ඉන්නට බැරිය ගනඳුරු වලා පටලෙන් වැසිණි     පුන් සඳ

පී. මලල්ගොඩ කවියා නිජබිමට ලොවට මෙහෙවර කළ අභීත සංස්කෘතික මිනිසෙකි. ඔවුන් අප රට ගැන පළ කළ අනාවැකි, ගැටලු, අභියෝග වර්තමානයේත් එලෙසම පවතී. ඔහු ඉපැදී සියවසරක් සපිරෙන තැන මේ කෙටි ලිපිය ලියුවේ හද බැති සැමැරුමක් ලෙසිනි. 1985 දී මිය ගියේ ඔහුගේ රූප කාය පමණි.

 

(***)
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මානව විද්‍යා අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය