Mahinda-&-SIRISENA_P26

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ දැවෙන ප‍්‍රශ්න ගොඩක් තිබුණු බව අපි දිගින් දිගටම ලිය ලියා අවධාරණය කළෙමු. නමුත් ඒ කිසිම ප‍්‍රශ්නයකට උත්තර ලැබුණු බවක් පැහැදිලි වශයෙන් අප නොදුටුවත්, සොයා බැලීම් සිදුවූ බව දැනගන්නට ලැබුණි. රජරටට අයත් පොලොන්නරුවේ මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිවරයා රජයෙන් ඉවත් වූයේ එවැනි තත්ත්වයක් රටේ තිබිය දී ය. කෙසේ වෙතත් පොලොන්නරුවේ වී මෝල් හිමියන්, ගොවීන් හා ජනතාව කියන හැටියට 2010 වසරෙන් පසු පොලොන්නරුවේ අභාග්‍යසම්පන්න යුගයක් තිබුණු බව පැහැදිලිය. එයට උදාහරණද ඔවුහු සපයති.


පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධානතම ආදායම් මාර්ගය වී ගොවිතැනයි. එනම් කෘෂිකර්මාන්තයයි. ලංකාවටම සහල් බෙදන ප‍්‍රධාන මධ්‍යස්ථානයද පොලොන්නරුවයි. එසේ ගත් විට ප‍්‍රශ්නය දෙස සරලව බලමු. කෘෂිකර්මාන්තය හා වාරිමාර්ග පද්ධති සහිත රජරටට පළාතේ පරිසරයන් පිළිබඳ අවබෝධය ඇති විෂය භාර ඇමතිවරුන් අවසන් වසර කීපය අතර සිටියාද? වත්මන් කෘෂිකර්ම ඇමැති කවුද? වාරිකර්මාන්ත ඇමැති කවුද? ජලසම්පාදන ඇමැති කවුද? වෙළඳ පාරිභෝගික ඇමති කවුද? මේ අය රජරට ගැන සෙව්වේ මොනවාද? රජරටට කළේ මොනවාද? එහි ජනතාව නගන බරපතළ ප‍්‍රශ්නයකි. මෙකී ඇමැතිවරුන් රජරටට බොහෝ දේ නොකළා යැයි අපි නොකියමු. නමුත් මේ ඇමතිවරු රජරට ගැන විශාල දැනුමැති රජරට පදිංචිකාරයෝ නොවෙති.
රජරට කෙනකුට කෘෂිකර්ම හෝ වාරිමාර්ග ඇමතිකම ලැබුණා නම් එකී විෂය වඩා සර්ව සම්පූර්ණ වීමට ඉඩ තිබුණු බව ගොවීහු කියති.

6


2010 පසු පොලොන්නරුවේ පැවැති සරුසාර යුගයක් විනාශ වී ගිය බව කියැවේ. මෙහි වරද ඇත්තේ විෂය භාර ඇමතිවරුන්ටත් වඩා පහළ නිලධාරීන් පිරිසක් ළඟය. පොලොන්නරුවේ වී මෝල් 500 කින් 400 ක් වැසී ඇති බව පසුගිය කාලයේ ආරංචි විය. ඒවා වැසී ගියේ 2010 වර්ෂයට පසුය. දැන් මේ වී මෝල් සියල්ල යකඩවලට විකිණෙමින් පවතී. වීමෝල් හිමියෝ කීපදෙනෙක් ණය ගෙවා ගත නොහැකිව වස පානය කර සියදිවි නසා ගත්හ. මෙය කාලයක් තිස්සේ පොලොන්නරුවට තිබුණු බරපතළ ප‍්‍රශ්නයකි. මේ අතර තවත් ප‍්‍රශ්න ගොඩක් මෙතැන හිරවී තිබේ. ජනාධිපතිවරයාද ඉකුත්දා කීවේ පොලොන්නරුවේ තිබූ රජයේ වීමෝලක් විකිණීම සම්බන්ධයෙන් තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බවය. එය කළේ දේශපාලකයන්ගේ වුවමනාවට බව ද ජනපති කීය.


පොලොන්නරුවේ මහ කන්නයේ ගොවිතැන සඳහා ජලය සීයට අසූවක් වැස්සෙනි. ඉතිරි සීයට විස්ස වැව් දියෙනි. නමුත් යල කන්නය සීයට සීයක්ම වැව් ජලයෙන් ගොවිතැන් කෙරේ. මහ කන්නය නිමා වෙන විට මහනුවර, මාතලේ ආදී ප‍්‍රදේශවලට වසින වැසි ජලය පොල්ගොල්ල හරහා උකුවෙලට පැමිණ මහවැලි ජලය ලෙස ලබාගෙන අඹන්ගඟින් හා අංගම්මැඩිල්ලෙන් පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ වැව් පුරවා ගනු ලැබේ. වැසි ජලය නියමිත දින වකවානුවලටම පුරවා ගත යුතුය. එයට හේතුව වැසි ජලය අපට  ඕනෑ කරන අවස්ථාවට ලැබෙන්නේ නැතිවීමය.
පොලොන්නරුවේ ක‍්‍රමය දන්නා පෙර නිලධාරීන් නියම දින වකවානුවලට වැව් ජලයෙන් පුරවා ගන්නට අමතක නොකළහ. නමුත් වසර කීපයක සිට පොලොන්නරුවේ සිටින අලූත් නිලධාරීන් පොලොන්නරුවේ පාරිසරික ස්වභාවය හඳුනාගෙන නැති බව ගොවීහු පවසති.


එයට හේතුව විෂය භාර ඇමතිවරුන්ගේ ගෝල බාලයන් සියල්ලෝම පොලොන්නරුවේ ගොවිතැන ගැන අල්පමාත‍්‍රයකුදු නොදැන සිටීමය.


එබැවින් පසුගිය වසර කීපය තිස්සේම කෘෂිකර්මාන්තය සම්බන්ධව පොලොන්නරුවේ කටයුතු සිදුවුණේ නිලධාරීන්ගේ හිතුමතයටය. ඇළ හදන කොන්ත‍්‍රාත් කොයි ආකාරයට සිදුවුණිද යන්න නැවත සිතා බැලිය යුතුය.


වැව් පිරවිය යුතු කාලයේ ඇළ, වැව් ප‍්‍රතිසංස්කරණය කරන්නට යාම නිසා පසුගිය කාලයේ ගොවිතැනට ජලය නොමැතිව අර්බුද රාශියක් පැන නැගිනි. විශේෂයෙන් වැව් ජලය අවශ්‍ය මොහොතේ නොතිබීමෙන් එහි බලපෑම ඊළඟ කන්නයට එල්ල වේ. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ යල කන්නය පවතින්නේ දැඩි වියළි සුළඟක් සමගය. එයින් පොළොව වේළී යන නිසා වැව් දිය යල කන්නයට සම්පූර්ණයෙන්ම අවශ්‍ය වේ.

zxhxh


පොළොව වේළීමට ප‍්‍රථම අපේ‍්‍රල් 20 මැයි 05 අතර කාලයේ පොලොන්නරුවේ වැව් පුරවා නොතිබුණොත් වී ගොවිතැන ගැන සිතීම උගහටය. මේ තත්ත්වය තේරුම් ගත හැකි නිලධාරීහු 2010 ට පෙර පොලොන්නරුවේ සිටියහ. ඉන්පසු මේ න්‍යාය පිළිබඳ දැනුමක් නැති විෂය නිලධාරීන් පොලොන්නරුවේ වැඩ පටන් ගත්හ.


ගිරිතලේ සොරොව්ව ප‍්‍රතිසංස්කරණය මෙයට හොඳ උදාහරණයකි. වැව් පිරවිය යුතු කාලයේ වැව හිස් කර ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම නිසා ඊළඟ කන්නය ගොවියාට අහිමි විය. ගිරිතලේ, කවුඩුල්ල, මින්නේරිය ආදී වැව්වලට ජලය එන ප‍්‍රධාන ඇළේ ප‍්‍රතිසංස්කරණය ආරම්භ කෙරුනේද වතුර රැගෙන එන කාලයේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ අඹගස්වැව, මීගස්වැව, මැදිරිගිරිය වැනි ප‍්‍රදේශ ජලය නැතිව සම්පූර්ණයෙන් විනාශවී ගියේය. ඞී.ඇස්. සේනානායක සමයෙන් පසු සිටවූ පොල් ගස් පවා මේ ජල හිඟය නිසා විනාශයට පත්විය. ගව පට්ටි පිටින් මරණයට පත්විය. අවුරුදු 40 ක් තිස්සේ පොලොන්නරුවට ආවේණික ක‍්‍රමය පසුගිය සිවු වසර තුළ වෙනස් කිරීම මෙයට හේතු විය.


කවුඩුල්ල වැවට ජලය නොපිරවීම නිසා මිනිසුන්ට කන්නට තිබුණු පොල් ගහ පවා මැරී ගිය බව කියැවේ. මේ සියලූ ප‍්‍රශ්න යම් ආකාරයකට මැඩපවත්වා ගන්නට විසඳුමක් තිබුණා නම් එකක්, මොරගහකන්ද ජලාශය ගොඩනැගීමයි. එය අද හෙටම කරන ආකාරයට ”කටවුට් දඹුල්ල, සීගිරියේ සිට ප‍්‍රදර්ශනය කෙරුණත් එයට සිදුවූයේ කවරක්ද යන්න තවමත් මිනිස්සු හරිහැටි නොදනිති. නමුත් ඔවුන් දුටු දෙය හැටියට කෝටි ගාණක් ප‍්‍රදර්ශන පුවරුවලට වියදම් කළ බව කියති.


මොරගහකන්ද ජලාශය ගොඩනැගුවා නම් පොලොන්නරුවේ යල මහ කන්න දෙක ගොඩ දාගෙන සෞභාග්‍යමත් තත්ත්වයක් උදාකරන්නට තිබුණු බව කියැවේ.


එහෙත් පසුගිය කාලයේ පොලොන්නරුවේ යල කන්නය කර ගන්නට කන්තලේ ජලය නැති විය. මින්නේරියේ ජලය නැතිවිය. අඹගස්වැව ජලය නැති විය. කවුඩුල්ල ජලය නැති විය. එබැවින් පසුගිය කාල සීමාවේ නිලධාරීන්ගේ අදූරදර්ශී හා ප‍්‍රාදේශීය ක‍්‍රමවේදය පිළිබඳ අල්පමාත‍්‍ර දැනුමක් නොමැති නිසා සහ ජල කළමනාකරණය නිසි පරිදි සිදු නොවූ නිසා මහා පරිමාණ ඛේදවාචකයකට ගොවීන්ට හා පොලොන්නරුවේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය. මෙම කාලය පොලොන්නරුවේ ජනතාවගෙන් ”පළිගැනීමක් දෝයි ඔවුහු ප‍්‍රශ්න කරති. සෑම වැවකින්ම යාන්තමට ජලය නිකුත් කිරීම නිසා අක්කර හතරක් වගා කළ ගොවීන්ට අක්කරයකින් දෙකකින් වැඬේ හමාර කරන්නට සිදුවිය. ගොවියාගේ එකම ආදායම වී ගොවිතැනයි. මේ ජල ප‍්‍රශ්නය නිසා දැඩි ආර්ථික දුෂ්කරතාවට ගොවීහු මුහුණ දුන්හ. වැව් ප‍්‍රතිසංස්කරණය කළ යුතු, නොකළ යුතු කාලයවත් මේ නිලධාරීන් නොදන්නා බවට දැඩි විවේචනයක් දැන් එල්ල වේ.


බීජ වී පිළිබඳ දැවැන්ත ගැටලූවක් ද තිබේ. නිවෙසකට යොදන අත්තිවාරම යම් සේ ද කුඹුරකට මුලින් යොදන බිත්තර වී ද එතරම් ප‍්‍රබල විය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බිත්තර වී ලේබලය ගත් පුද්ගලික ආයතන කීපයක් ‘වෙළඳ වී’ නමැති දුර්වල වී වර්ගයක් ලංකාව පුරා ගොස් ලබාගෙන ඩ‍්‍රයර් මැෂින්වල දමා වේලා බිත්තර වී ලෙස ගොවීන්ට ලබා දීම කෙරිණි.


බිත්තර වී කුඹුරට එළන ක‍්‍රමයක්, ගොයම රකින විදිහක්, කපන සහ ගබඩා කරන විදියක් තිබේ. නමුත් ‘වෙළඳ වී’ යැයි කියන වී වර්ගයක් බිත්තර වී ලෙස දීම පොලොන්නරුවට බලපෑ තවත් දරුණු ඛේදවාචකයකි. ඒ අනුව ජල කළමනාකරණයේ දුප්පත්කම හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මනා අතපෙවීමක් නොවී පුද්ගලික ආයතන හිතුමතේ වැඩකිරීම අතිශය බැ?රුම් තත්ත්වයකි.


පොහොර පිළිබඳ ගැටලූවක්ද මේ අතර සාකච්ඡාවේ.


ගොවීන් කියන පරිදි හොඳ පොහොර වර්ග පොළොවට ලැබුණු විට එය පොළොවට හොඳින් උරා ගැනීමක් සිද්ධ වේ. පොහොර සහනාධාරයට පිටින් වෙළෙඳපොළ පවතින බොහෝ පොහොර වර්ග ගොවිතැනට නුසුදුසු බව පැවසේ. ලෝකයේ පිළිගත් පොහොර සපයන ආයතනවලට පිටින් පොහොර ගෙන්වීමක් ඇතැම් නිලධාරීහු කරගෙන යමින් සිටිති. තායිලන්තය, වියට්නාමය වැනි රටවලින් ප‍්‍රමිතියෙන් දුර්වලයැයි හරවා එවන පොහොර නැව් ලංකාවේ සමහර නිලධාරීන් මැදිහත් වී කොමිස් මුදලට රටට ගෙන්වා ගැනීමේ ‘පාපය ද’ පොලොන්නරුවේ මිනිසුන්ට විඳින්නට සිදුවිය.


ගල්රෝල්වලින් තලා ප‍්‍රමිතියෙන් දුර්වලව පොහොර ලබා දීම නිසා පොළොව නිසරු වී ගිය බවද පැවසේ. විශාල මුදලක් ගෙවා මිලට ගන්නා පොහොරවලින් පවා අවසානයේ බැටකෑවේ ගොවිජනතාවයි. විෂය භාර ඇමැතිවරුන්ගේ නිලධාරීන්ගේ කටයුතු නිසා මේ වන විට පොලොන්නරුවේද ගොවීහු ට‍්‍රැක්ටර්, කෘෂි ආම්පන්න විකුණමින්, රන් භාණ්ඩ උකස් කරමින් ජීවත් වීමට අරඅඳින අසරණභාවයට වැටී ඇත.


වී මිටියක් සහල් කර ගෝනියකට පටවා ජනතාව අතරට එවන්නට තරම් වී මෝලක් රජයට තිබෙනවා ද යන්න තවත් ගැටලූවකි. කෘෂිකර්මයට කවර දේ කරනවා කීවත් රජයට අයත් වී මෝල් කීයක් ඇතිද යන්න ගොවීහු ප‍්‍රශ්න කරති.  


මේ හේතුව නිසා ගොවියා දෙන වී මිලට ගන්නේ පෞද්ගලික ආයතන කීපයකි. ඒ අය තමන්ගේ අභිමතය පරිදි රටේ වී මිල, සහල් මිල පාලනය කරති. රජය සතු වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී තිබේද? වී මිලට ගැනීමේ වුවමනාවක් ඔවුන්ට නැත. වී ගබඩා හිස්ව ගොස් තිබේ.


රටේ වී ගොවිතැන කරන්නට  ඕනෑවටත් වඩා පරිසරය තියෙද්දී මේ වන විට පිටරටින් සහල් ගෙන්වා ගබඩා පුරවා ගෙන තිබේ. පිටස්තර රටවලින් හාල් ගෙනැවිත් වී ගබඩා සහල්වලින් පුරවා තිබේ. නිකවැරටිය, වේයන්ගොඩ වී ගබඩා පිටරට සහල්වලින් පුරවා තිබේ.  


මේ තත්ත්වය නිසා පොලොන්නරුවේ ගොයම් කැපෙන කාලය වන විට පිටරට සහල්වලින් ගබඩා පීරී තිබේ. දැනට පවතින රට සහල් සමඟ ගොවීන්ගේ වී ටික ගන්නේ කෙසේදැයි ගොවීන්ද ඉදිරි අනාගතය දෙස අවිනිශ්චිතව දකිමින් සිටී. රට හාල් වෙළෙඳපොළ ඇතිවිට දේශිය සහල් වෙළෙඳපොළට දෙන්නේ කෙසේදැයි මෝල් හිමියෝද කුහුලක පසුවෙති.


එකම දේ රජයේ විෂය භාර ආයතන මත කළමනාකරණය දුර්වල වීම බව ගොවීහු, වී මෝල් හිමියෝ කියති.


ඞී.ඇස්. සේනානායක අගමැති කාලයෙන් පසු පොලොන්නරුවේ පරම්පරා පිටින් වී ගොවිතැනට නැඹුරු වූවෝ ජීවත් වෙති. කුඹුරු හිමිකරුවන්, ගොවීන්, කුඹුරුවල වැඩකරන අය, වීමෝල් හිමියන්, එහි සේවකයන්, තවත් වී ගොවිතැන ආශ‍්‍රිත වක‍්‍ර රැුකියා කරන්නන් පොළොන්නරු දිස්ත‍්‍රික්කය පුරා පැතිර සිටී.
එම කෘෂිකාර්මික ජනතාව වසර කීපයක සිට බරපතළ අර්බුදයකින් අනාථ වී සිටිති. කෘෂිකර්ම අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන එකිනෙකට බෝල පාස් කර ගනිමින් ජනතාව හා සෙල්ලම් කරන අතර, පොලොන්නරුවේ මිනිස්සු දැඩි සේ තැළෙමින් පෙළෙමින් සිටින බව අපට දැනගන්නට ලැබේ. කොමිස් කුට්ටිවලට වැඩකිරීම, විෂය නොදන්නාකම, පොලොන්නරුවේ පාරිසරික තත්ත්වය නොවැටහීම, ගොවීන්ගේ හා මෝල් හිමියන්ගේ ප‍්‍රශ්න නොදැනීම, ඇළවේලි ප‍්‍රතිසංස්කරණ කළ යුතු කාලය නොදැනීම ආදී ප‍්‍රශ්න සමුදායක් මේ මොහොතේත් පොලොන්නරුවේ ඔඩු දුවමින් තිබේ.


m