5

 

ගාල්ල බාලිකාවේ ටොක්කේ කතාන්දරය සමස්ත ගුරු පරපුරටම ටොක්කක් වූ බව නම් සෑබැය. අපේ මේ කතාන්දරයේ කතා නායිකාව වයස අවුරුදු නවයක දැරියකි. ඇයගේ නම අපි කුමාරි ලෙස නම් කරමු. ඇගේ පාසල ගාල්ලේ ජනප්‍රිය වූ පාසලකි. ඒ පාසල ට නම් මුහුද ද මුහුද රළ ද පෙනේ. හඬ ද ඇසෙන නොඇසෙන මානයක පිහිටියේය.

 

ඇය එම බාලිකා පාසලේ හතර සී වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. මෙම පන්තියේ සිටින දියණියන් ගණන පනස් තුනකි. ඇයට එනම් අපේ කුමාරියට ගුරුතුමිය ලබාදුන් කටයුත්ත නිවැරදිව ඉටුකරන්නට බැරි වූවාය. මේ නිසා ගුරුවරියට කේන්ති ගියාය. ඇය දෙමාපියන්ට දෙවැනි වූ මවක් බව අමතක කළාය. යක්ෂණියක වූවාය. ඇය මාර ආවේශ වූ යක්ෂණියක් මෙන් මේ කුමාරියට බැණගෙන බැණගෙන ගියාය. එයද මේ යකින්නට සිතට සෑහීමකට පත්වන්නට නොහැකි වූවාය. 


ගුරුතුමිය කුමාරි දියණිය බිම වාඩිකරවා ඇගේ වයසේ පංතියේ සිටින අනෙක් මිතුරියන් පනස් දෙනාගේම ඇඟිලිවලින් ටොකු අන්නනු ලැබීය. සමාන්‍යයෙන් ටොක්කක් අනින්නේ කුඩා වරදකදීය. අපි කුඩා කාලයේදී අපේ ගුරුවරුද අපිට ටොකු ඇන්න දුක්බර කතාන්දරය අපටත් මතකය. ඒ ගුරුවරයාගේ කෝපයට නොව අපගේ ආනාගතය සඳහාය. සමහර විට අපට යමක් වැරදුනු අවස්ථාවල දී අපිද ටොක්කක් ඇන ගන්නා වූ අවස්ථාද නැත්තේ නොවේ. එය සරල කාරණයකි. නමුත් අපේ කතාන්දරයේ කුමාරි දැරියට ටොකු පනස් දෙකක් අන්නවන්නට මේ ගුරු අම්මා නපුරු වූවාය.


එදින අපේ කුමාරියට කොතරම් දුක හිතෙන්නට ඇද්ද යන්න සිතිය යුතුව තිබේ. තම යෙහෙළියන් ලවා ගුරු අම්මා කළ ගොන් වැඩය නිසා ඇය ඉකිබිඳුවාය. දුක්වූවාය. කඳුළු සැළුවාය. ඇයට ගුරු අම්මා අමතක වූවාය. ඇයට සිහිවූයේ ඇයගේ අම්මාය. වෙනදාට, ටීචර් පහරක් දෙකක් ගැහුවාම ඒ දුක කියන්නට කුමාරිට මෙන්ම අනෙක් කුමාරියන්ට පාසලේම පන්තියේම සිය සහෝදර යෙහෙළියෝ සිටියාය. නමුත් අපේ කුමාරිට එදා ඒ දුක කියන්නට කිසිවෙක් ඇගේ පංතියේ නැත. සියලුම යෙහෙළියෝ ඇයට ටොකු ඇන අවසන්ය. ඇය ඇස් යටින් ගුරුතුමිය දෙස බැලුවාය. ඇස්කොනින් තම පංතියේ යෙහෙළියන් දෙස බැලුවාය. ටීචර් කියපු නිසා තමයි පංති මිතුරියෝ මට ටොකු ඇන්නේ. මම ටිර්චත් එක්කවත් මගේ පංතියේ යාලුවන්  එක්කවත් තරහා නෑ ඇය සිතන්නට වූවාය.


කුමාරිට ටොකු ඇන්නේ එදින උදෑසනය. උදේ විවේකයෙන් පසු කුමාරි අසලට යළිත් ආවේ පංතියේ ගුරුවරියයි. ඇය සමඟින් අසල පංතිවල සිටි ගුරුවරියන් තිදෙනෙක් ද පැමිණ සිටියාය. “මෙන්න මේ අම්මණ්ඩි තමයි මම කිව්වේ, මෙයා තමයි” කියමින් කුමාරිව සෙසු ගුරුවරියන්ට හඳුන්වා දුන්නේ මහා අපරාධයක්, හොරකමක් හෝ මංකොල්ලයක් කළ හොර සෙරක ලෙසය. 


“දේවි මිස්ට, කියන්න මේ අම්මණ්ඩි නිකම් හොර පාටයි නේ, මේ ළමයා හොරා වාගේ නේද? ” කියමින් ඇය සමච්චලයට ලක්කර සිනාසෙන්නට වූවාය. අපේ කුමාරි තව තවත් නිරුත්තර වූවාය. පාසලේ ගත කරන පැය ගණනාව ඇයට වෙනදා මිහිරි වූවාය. එහෙත්  අද නම් පාසල අවසන්  වන වේලාව මහ දිග කාලයක් වන බව කුමාරිය සළන්නා වූ කඳුළු  සටහන් කරන්නට ඇගේ දෙපා අසල ම පලසක් මෙන් සුදුවැලි පළස බලා සිටියාය.


පාසල නිමවන කණිසම පැමිණියාය. ඇය අම්මාගේ අතේ එල්ලී ගෙදර ගියාය. සියල්ල අම්මාට තාත්තාට කීවාය. පසු දා ඇය පාසල් යන්නට බෑ කීවාය. ඇය දිගින් දිගටම පාසල් යන්නට බෑ කියන්නීය. දියණියගේ මනසට ටොක්කේ කතාන්දරය මහා වදයකි. ඇයට මානසිකව මේ ටොක්ක බල පෑවාය. අම්මා තාත්තා ඇය මානසික වෛද්‍යවරයෙක් හමුවට ගෙන ගියාය. දැන් ඇය ඔසු ගනිමින් සිටින්නීය. කුමාරිගේ  පාසල් ගමන අවසන්ය.  


මෙම සිද්ධිය සම්බන්ධයෙන්, කුමාරිගේ පාසලේ විදුහල්පතිතුමිය ද දැනුවත් කළ අතර සහකාර විදුහල්පති තුමිය ද දැනුවත් කළාය. ඒ අනුව, අදාළ පාසලේ ගුරු අම්මාට අවවාද කර කතාන්දරය අවසන් වූවාය.


මේ ආකාරයෙන්, ගාල්ලේ ජනප්‍රිය පාසලක හතර ශ්‍රේණියේ දැරියකට හොර පෙනුමක් ඇතැයි කියමින් පන්තියේ සිසු දැරියන් 53 න් 52 දෙදෙනෙකු ලවා  ටොකු ඇනවීම නිසා අපහසුතාවයට පත්වූ පුවත මේවන විට රටේ ආන්දෝලනයක් වෙමින් පවති. ඇය මේ වනවිට මානසික රෝගී තත්ත්වයට පත් වී ඇති අතර එම දැරිය පාසලට නොපැමිණෙන බවද ගාල්ල සහකාර පරිවාස නිලධාරී කේ. නානායක්කාර මහත්මිය ප්‍රකාශ කළාය. 


මෙම දැරියට ටොකු ඇනීමට උපදෙස් දී ඇත්තේ එම පාසලේ විද්‍යාපීඨ ගුරුවරියක බවද සඳහන්වේ. මේ ආකාරයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මෙවැනි ක්‍රියා රැසක් සිදු වී ඇතැයි ඇය අනාවරණය කළාය.


ඇය මෙම කරුණ අනාවරණය කළේ ගාල්ල දිසා ලේකම් සිසිර කොඩිකාර මහතාගේ උපදෙස් මත, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් (24) පැවති ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවේදීය. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන විෂය භාර නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.


මේ සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කරන ලෙස නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. රාජපක්ෂ මහතාට උපදෙස් දෙනු ලැබූවේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ජේ. කේ. රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.


“ගුරුවරයා දරුවෙකුට දඬුවම් කරන්නේ ඔහු හෝ ඇය හදාගන්නයි. හැමදේටම බැණුම් අහන්නෙත් දඬුවම් කරන්නෙත් වැඩකරන ගුරුවරයා බව කිව යුතුයි. හැබැයි අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ආපු ගුරුවරියක් මෙහෙම කළා කීවම පුදුම හිතෙනවා. කොහොම වුණත් ඒ පිළිබඳව සොයා බලන්න කටයුතු කරනවා. සොයා බලා ඒ  ඒ අයට කරන්න ඕන ප්‍රතිකාර වර්ග ගොඩක් අපි ළඟ තියෙනවා”


වැඩිදුරටත් අදහස් දැක් වූ  ගාල්ල සහකාර පරිවාස නිලධාරී කේ. නානායක්කාර මහත්මිය මේසේ ද  ප්‍රකාශ කළාය. 


“ටොකු ඇනලා විතරක් නොවෙයි, අදාළ සිද්ධියට සම්බන්ධ ගුරුවරිය අහළ පහළ පංතිවල ගුරුවරියන් තිදෙනෙක් එක්ක මේ දරුවා අසළට ඇවිත් හොරා වාගේ හොර පාටයි ආදි වශයෙන්ද කියා තිබෙනවා. මේ සිද්ධියෙන් පසුව මම මේ දියණියගේ පොත් පත් පරීක්ෂා කළා. ඇයට හොඳට ඉගෙන ගන්න හැකියාවක් තියනවා. ඇය පිරිසිදුව, පොත් පත්වල වැඩ නිවැරැදිව සිදුකර තිබෙනවා. දෙමළ විෂයට ලකුණු 100ක්, ගණිතයට ලකුණු 80ක් වාගේ අරගෙන තියනවා. අනෙක් විෂයන් ද ඉතාම උසස් තත්ත්වයට ලකුණු ලබාගෙන තිබෙනවා.


මේ සම්බන්ධයෙන් මේවන විට අධ්‍යාපන හා පරිවාස අංශ යටතේ  පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. ඒ නිසා අප ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකියමු. අදාළ පාසලේ විදුහල්පති තුමියගෙන් අප කරුණු විමසුවත් ඇයද කිසිවක් නොකීවාය. පරීක්ෂණවලට බාධාවක් විය හැකිය යන තර්කය ඉදිරියට දමා ඇය මින් නිදහස් වූවාය.


දරුවන් හොර පාටක් හෝ හොරා වගෙ කිව හැකිද? මල්වලට විවිධ නම් හා විවිධ වර්ණයෙන් මල් තිබේ. නමුත් සුවඳ හා පිරිපුන් හා නිර්මලකම මලක ඇති සුන්දරත්වයයි. අන්න ඒ වාගේම දරුවන් ද මල් වැනි යැයි කියන්නේ ඒ නිසාය. දරුවන් දේව දූතයෝය. ආදරය කරුණාව බලාපොරොත්තුව දරුවෝ සංකේතවත් කරති. 


අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි. එසේ වුවද ආක්‍රමණික විදේශීය බලවේග සහ වෙනත් සාධක නිසා ඇති වූ සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ගුරුවරුන්ගේද ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ට ද සමාජයට ද බරපතළ ගැටලුවක් බවට පත් වී ඇත. මෙවන් වූ සමාජ තත්ත්වයක් මත ළමා හිංසනය අද සෑම ස්ථානයකම වාගේම ගෙදර වාගේ වූ පාසල තුළ ද දැකිය හැකිය.


ගාල්ල කුමාරිට වූ සිද්ධිය ලංකාවේ තවත් එක් සිද්ධියක් පමණි. තවත් ඇස නොගැටුණු දේ දැකිය හැකිය. දෙවි දේවතාවුන් වැනි ගුරුවරු අපට වටනේය. දිසාපාමොක් ඇදුරු පරපුරේ ගුරුමැණිවරුණි පියවරුණි එහෙම පිරිසක් හෝ දැනට අපේ සමාජයේ සිටීම අප ලද භාග්‍යයක් වන්නේය.

m