(***මනෝප්‍රිය ගුණසේකර)
පොලිසියට ශක්තිමත් පාලනයක් අවශ්‍යයි. එම පාලකයාගේ අණ හරියට ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා පොලිසියේ පාලකයා නායකයකු විදියට සිටිය යුතුයි. නායකයාට පහළින් සිටින්නන් කනිෂ්ඨ පොලිස් කණ්ඩායම් පාලනය කරන්නේ නම් පොලිසියේ පාලකයා එම තනතුරට සුදුසු නැතැයි පොලිසියේ ඉහළ නිලධාරීන්ට දේශනයක් පවත්වමින් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඉකුත්දා (03) පැවසීය.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් කිරීම සඳහා කණ්ඩායම් 16ක් ඇතැයිද එම කණ්ඩායම් අධීක්‍ෂණයට සිටින නිලධාරීන් එම කණ්ඩායම් නිසි ලෙස අධීක්‍ෂණය කර නැතැයි ද කී නීතිපතිවරයා එම කණ්ඩායම් නිසි ලෙස අධීක්‍ෂණය වුණා නම් මෙවැනි බරපතළ සිදුවීම් වීමට කිසිසේත්ම හැකියාවක් නැතැයිද කීවේය. සිය කණ්ඩායම් නිසි ලෙස අධීක්‍ෂණය කිරීමට හැකියාවක් නොමැති අධීක්‍ෂණ නිලධාරීන් මෙම සිද්ධිදාමයේ වගකීම බාරගත යුතු යැයිද නීතිපතිවරයා පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග කුඩු ජාවාරම්කරුවන්ට විකිණීම ඇතුළු විවිධ අපරාධයන් සඳහා පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධතාව මෙන්ම අධීක්‍ෂණ නිලධාරීන් ලෙස කටයුතු කරන වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ කාර්ය භාරය පෙන්වාදීම සඳහා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති දේශනයකදී නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී නීතිපතිවරයා මෙසේද කීවේය.
“ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ දෙයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අද වෙලා. පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක නීතිපතිවරයා වශයෙන් මෙවැනි දේශනයක් පවත්වන අවස්ථාවක පොලිස්පතිවරයා මෙතැන සිටිය යුතු වුවත් ඔහු අද මෙතැන නැහැ. දූෂිත නිලධාරීන් ඉන්න තැනකදී අවංක නිලධාරීන් අසරණ වෙනවා. අවංක නිලධාරීන්ට රාජකාරි කරන්න බැරි වෙනවා. දූෂිතයන් පන්නාදමා හොඳ නිලධාරීන් රැකගත්තේ නැත්නම් ඉස්සරහට අපිට රටක් නැති වෙනවා.
දැන් මේ අපරාධ සිද්ධිය ගැන විමර්ශන සිදුවෙනවා. තමුන්නාන්සේලාගේ සහෝදර නිලධාරීන් 12 දෙනෙක් එම විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පිටු 08 කින් යුත් වාර්තාවක් අධිකරණයට ගොනු කළා. එම ‘බී වාර්තාවේ’ සඳහන් වන්නේ ‘මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධ වී, අවි ආයුධ රැස්කිරීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට ආධාර අනුබලදීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකිරීම’ කර ඇතැයි යනුවෙන්.
අධිකරණයට ඉදිරිපත් කළ එම බී වාර්තා මේ වනවිට මහජන ලේඛන. දැන් ඒ ලේඛන ඕනෑම අයකුට බලන්න පුළුවන්. එම විමර්ශනවල මූලික අදියරේදීම අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 16 දෙනකු මේ වනවිට රිමාන්ඩ් බාරයට පත්කොට සිටිනවා. ඒ ගැන විමර්ශන පටන් ගත්තා විතරයි. තව සැකකරුවන් ඉන්න පුළුවන්.
මගේ දැනීමේ හැටියට මේ වගේ සිද්ධියක් මීට කලින් සිදුවෙලා නැහැ. මේ සිද්ධිය නිසා බොහෝම බැරෑරුම් ලෙස ශ්රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙනවා. එපමණක් නොව යුක්තිය පසිඳලීමේ පද්ධතියටම මෙය දැඩි බලපෑමක් ඇති කරනවා.
මම මෙතැනට ආවේ මේ ආයතනය නැවත ගොඩගන්න මිසක් තමුන්නාන්සේලාට දොස් කියන්න නෙමේ. මේ ආයතනය නැවත ගොඩ ගන්න මහජන විශ්වාසය ඇති කරන්න ඕනේ. ඒකට හිත හිතා ඉන්න කාලයක් නැහැ. ඉක්මනට ඒ සඳහා වැඩ කළ යුතුයි. මේ ආයතනය යළි ගොඩනැඟීමේ වගකීම තියෙන්නේ ඔබලාටයි. ඒ සඳහා විශේෂ පියවර ගත්තේ නැත්නම් මේක කරන්න බැරිවෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවූ මේ සිද්ධිය විමර්ශනය කිරීමට තව මාස තුනක් නැත්නම් හයක් ගතවෙන්න පුළුවන්. එතකම් මේ ආයතනය කඩා වැටෙන්න අපිට ඉඩදෙන්න බැහැ. නමුත් මේ වනවිටත් පද්ධතියටම විශාල බලපෑමක් වෙලා තියෙනවා.
මෙම සිද්ධියට හසුවූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මේ නිලධාරීන් බොහෝ බැරෑරුම්, ප්‍රබල විමර්ශනවල නිරත වී සිටි අයයි. මේ තත්ත්වය නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන මට මෙතැන අනාවැකි කියන්න බැහැ. එම නිසා මේ පිළිබඳ සාර්ථක විමර්ශනයක් සිදුවිය යුතුයි. නීතිය හරියට කරන්න ඕනේ. විවෘත විමර්ශනයක් නොකෙරුනොත් ඉස්සරහට තවත් ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ තියෙනවා.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදු වූ අපරාධවලට වගකිය යුත්තේ කවුරුන්ද කියන එක අපි සාක්කි මඟින් තහවුරු කරගත යුතුයි. එමෙන්ම මේක යළි හරිමඟට ගැනීමට අපි කළ යුත්තේ මොනවාද යන්න විමසා බැලිය යුතුයි. පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය මොකක්ද කියලා හරියාකාරව දැනගත යුතුයි. මොකද පොලිසියේ රාජකාරිය මත්ද්‍රව්‍ය ඇල්ලීම විතරක්ම නෙමේ.
මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවෙන්නේ සංකීර්ණ සංයුක්ත ජාලයක් ලෙසින්.එම ජාලයට බන්ධනාගාරය ඇතුළේ ඉඳලා ජාවාරම මෙහෙයවන අපරාධකරුවන්, ඒ සඳහා උදව් කරන ඇතැම් බන්ධනාගාර නිලධාරීන්, බන්ධාගාරය තුළ සිට මෙම ජාවාරම මෙහෙයවන පාතාලයන් මෙන්ම බන්ධනාගාරයෙන් පිටත සිටින පාතාලයන්, මේ රටින් පැනගොස් ඩුබායි වගේ රටවල සැඟව සිටින ජාවාරම්කරුවන්, මේවා ලංකාවට ගෙන එන බෝට්ටුකරුවන් ආදී විශාල පිරිසක් සම්බන්ධවී සිටිනවා. එම නිසා මෙම සංකීර්ණ සංයුක්ත ජාලය පිළිබඳව නිලධාරීන් හොඳ අවබෝධයක් ලබාගත යුතුයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හොඳ අවංක දක්‍ෂ කාර්යක්‍ෂම නිලධාරීන් පිරිසක් හිටියත් ඔවුන් අතර සිටින දූෂිත නිලධාරීන් කිහිප දෙනෙක් මෙම සංකීර්ණ සංයුක්ත ජාලයට සම්බන්ධයි. ඒ දූෂිත නිලධාරී පිරිස කවුද කියා අපි අඳුරගන්න ඕනේ. අපරාධවලින් සොයන කළු සල්ලි සම්බන්ධයෙන් ගනුදෙනු කරන තවත් පිරිසක් ඉන්නවා. ඔවුන් ඒ කළු සල්ලි නෛතික ක්‍රමයට බැංකු පාවිච්චි කරලා මෙන්ම නීති විරෝධී ක්‍රමෝපායන් පාවිච්චි කරලා ‘උන්ඩියල්’ හා ‘පවාලා’ ක්‍රමයට මේ රටින් පිටකරනවා.
නිලධාරියෙක් වුණහම ඔක්කෝටම කලින් තමන්ගේ නම ආරක්‍ෂා කරගත යුතුයි. නමක් අවශ්‍ය නැත්නම් ඒක වෙනම දෙයක්. හොඳ නමක් ලබාගන්න ලේසි නැහැ. හරිම අමාරුයි. මහන්සියෙන් කැපවීමෙන් රාජකාරි කරලා තමයි හොඳ නමක් ලබාගන්න පුළුවන් වෙන්නේ. මේ කාර්යාංශයේ විතරක් නෙමේ පොලිසියේ ඉන්න හොඳ නම ලබාගත්තු අවංක කාර්යක්‍ෂම නිලධාරීන් රැකගැනීම බලධාරීන්ගේ යුතුකමක්. දූෂිතයන් ඉවත් කරලා හොඳ නිලධාරීන් රැකගැනීම ඉහළ මට්ටමෙන් කළ යුතු දෙයක්. කරුණාකරලා ඒක කරන්න. ඒක කළේ නැත්නම් කතා දෙකක් නැහැ. ඉස්සරහට අපිට රටක් නැතිවෙනවා. ඒක ස්ථිරයි.
මේ සිද්ධිය වුණේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වුණාට තමුන්නාන්සේලා සියලු දෙනා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් නිලධාරීන්. එතකොට මෙතැන යම් සිද්ධි වෙනවා නම් ඒවා වෙන්නේ රාජකාරී මට්ටමින්. ඒවා මුළු පොලිස් දෙපාර්තමේන්තුවට බලපාන කාරණා නිසයි පොලිස්පතිතුමාට මෙතැනට එන්න කියලා කිව්වේ. හරි විදියට නම් පොලිස්පතිතුමා මෙතැන ඉන්න ඕනේ. ඒත් ඔහු මේ වනවිට මෙතැන නැහැ.
පොලිස් ඉතිහාසයේ මේ වගේ විශාල කළු පැල්ලමක් ඇතිවෙච්ච ප්‍රථම අවස්ථාව මෙයයි. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මේ වගේ සිද්ධියක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ නිසා ආයතනය කෙරෙහි මහජන විශ්වාසය පළුලු වෙලා තියෙනවා.සමහර නිලධාරීන් එක්ක මෙතැන රාජකාරි කරන්න බැහැ. එවැනි නිලධාරීන් අයින් කරන්න ඕනෑ. අපි දුවන්න ඕනෑ දුවන, දුවන්න පුළුවන් පිරිසක් සමඟ. එහෙම දුවන පිරිසක් අපි ඇතිකරගන්න ඕන.
අවංක නිලධාරීන් හිටියොත් දූෂිත නිලධාරීන්ට ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි දූෂිත නිලධාරීන් සිටියදී අවංක නිලධාරීන්ට ඒ පද්ධතියේ ජීවත් වීමට හැකියාවක් නැහැ. මොකද දූෂිත පිරිසක් ඉන්නකොට අවංක පිරිස අසරණ වෙනවා. කරුණාකරලා පොලිසිය තුළ ඒක වෙන්න දෙන්න එපා. ඒක වෙච්ච දාට මුළු පොලිස් දෙපාර්තමේන්තුවම විනාශ වෙනවා. අනෙක තොරතුරු දෙන්න පසුබට වෙන්න එපා. තොරතුරු දීමේ සංස්කෘතියක් අපි ඇතිකරන්න ඕනේ.
මත්ද්‍රව්‍ය තුරන් කර දැමීම සඳහා මුළු රටටම ඉන්නේ විමර්ශන කණ්ඩායම් 6යි. ඒ එක කණ්ඩායමක අටදෙනෙක් ඉන්නවා. එතකොට මේ මනුෂ්‍ය සම්පත්වලින් මේ රාජකාරිය කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්.
මත්ද්‍රව්‍ය වැටලීම් කළ කණ්ඩායම් 06න් දෙකක්ම මේ වනවිට විමර්ශනවලින් ඉවත් වී හමාරයි. මොකද එම විමර්ශනවල නිරත වී සිටි 16 දෙනෙක් ඇතුළේ ඉන්න නිසා. එතකොට මේකේ පොලිසියේ ඉහළ පැළැන්තිය තේරුම් ගන්න ඕනේ මේකේ යථාර්ථය මොකක්ද කියලා.
මේක මෙහෙම ඇදගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. ඒකට තමුන්නාන්සේලා වගකිවයුතුයි කියලා මං කියන්නේ නැහැ. නමුත් මේක ඇදගෙන යෑම සඳහා අවශ්‍ය ඉල්ලීම් කළ යුත්තේ ඔබලායි. තමුන්නාන්සේලාට විකල්ප දෙකක් තියෙනවා. එකක් කටඇරලා කියන්න, නැත්නම් නිකම් ඉන්න. නිකම් හිටියොත් මේකට අසාධාරණයක් වෙනවා. කරුණාකරලා ආයතනය වෙනුවෙන් කටයුතු කරන්න.
තමන් දියුණු වෙන්න බලන්න. පොලිස් නිලධාරීන් විදියට පුහුණුව, පළපුරුද්ද, දැනුම ලබාගෙන දියුණු වෙන්න තමුන්නාන්සේලාට අවස්ථාව තියෙනවා. ඔක්කෝටම ඉස්සරවෙලා තමන් වර්ධනය විය යුතුයි. වර්ධනය විය යුත්තේ හොරකම් කරලා නෙමේ. හොරකම් කරලා දියුණු වීම බොහෝම කෙටියි.
දියුණුවීම සඳහා කෙටි ක්‍රම හොයාගෙන ගිය අය තමයි දැන් ඔය ඇතුළේ ඉන්නේ. ඔවුන්ගේ මානසික තත්ත්වය කොහොමද කියලා ඔයගොල්ලෝ පරීක්‍ෂා කරලා බලන්න. ඔවුන් ඇතුළේ ඉන්නේ මොන වගේ මානසික තත්ත්වයකද කියලා බලන්න. වැරදි කළාම නීතියේ රැහැනට අසුවුණහම ඇතුළේ ඉන්නකොට මානසිකව වැටෙනවා. පවුල් වැටෙනවා. දරුවෝ වැටෙනවා. දෙමව්පියෝ වැටෙනවා. සහෝදර සහෝදරියෝ වැටෙනවා. පිළිකාවක් හැදුනොත් ඒක පවුලටම බලපානවා වගේ මේකත් පිළිකාව වගේ බලපානවා.
අපරාධ කරලා නීතියේ රැහැනට අසුවුණාම ප්‍රබල කම්පනයක් ඇති වෙනවා. ඒක වෙනකම් තමුන්නාන්සේලාට ඒක හරියට තේරුම් ගන්න බැහැ. කෙනෙකුගේ මනස තුළට ගිහිල්ලා එහි ජීවත්වීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක දක්‍ෂතාවක්. ඒ දක්‍ෂතාව ලැබුණුදාට තමන්ගේ ජීවිතය හරියාකාරව හැඩගස්වා ගැනීමට මාර්ගෝපදේශයක් වෙනවා.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැනි ඉතාම වැදගත් කාර්යාංශ ඇති පොලිස් දෙපාර්තමේන්තුවට ශක්තිමත් පාලනයක් අවශ්‍යයි. මෙම දෙපාර්තමේන්තුවට අණ දෙන ක්‍රමය හරියට ක්‍රියාත්මක විය යුතුයි. කණ්ඩායමේ නායකයා නායකයකු විදියට කටයුතු කළ යුතුයි. නායකයාට පහළින් සිටින නිලධාරීන් කණ්ඩායම පාලනය කරනවා නම් කණ්ඩායම් නායකයාගෙන් වැඩක් නැහැ. ඔහු එම තනතුරට සුදුසු නැහැ. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් කණ්ඩායම් නිසි ලෙස අධීක්‍ෂණය වෙලා නැහැ. එම කණ්ඩායම් නිසි ලෙස අධීක්‍ෂණය වුණා නම් මෙවැනි දේ වෙන්නේ නැහැ. කණ්ඩායම් නිසි ලෙස අධීක්‍ෂණය කරන්න බැරි වුණා නම් අධීක්‍ෂණ නිලධාරීන් එහි වගකීම බාරගත යුතුයි.
අපරාධ කළ නිලධාරීන්ට මම සමාවක් දෙන්නේ නැහැ. රජය සමාවක් දෙන්නේත් නැහැ. ජනතාව සමාවක් දෙන්නේත් නැහැ. ඒ නිසා අපරාධ කළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්න” යැයි ද නීතිපතිවරයා කීවේය.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා විවිධ කරුණු ඔස්සේ පැය දෙකකට ආසන්න කාලයක් පුරා සිය දේශනය පැවැත්වූ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ස්තූති කතාව පැවැත්විය.

COMMENTS
මේ මොනවද කියන්නේ? මේක නීතිපති නෙමෙයි පොලිස්පති කරන්න ඕනේ දේශනයක්. අනික ඔවා දෙනු පරහට වගේ කතාවක්. නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසය බලන්න. පොලිසිය නඩුදාපු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් කී දෙනෙක්ට ඇප ලැබුණාද? නමුත් නීතිපති දෙපාර්තමේන්තුව විරෝධයක් පාන්නේ නැතුව නිකම් හිටියා. ඒ ඒ අවස්ථාවල උසාවියට ආපු නීතිපති දෙපා: නිලධාරියා නිහඬව සිටීම නිසා බොහෝ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, අපරාධකාරයන් ඇප අරන් එළියට ගියා. මේ ලඟදි අවුරුදු 15ක් දැරියක් ගැන නඩුවක් තිබුණා. අඩු වයස් දරුවෙක්ට කළ අපරාධයකට සම්මාදම් වුනු පියා, මව, තරුණයෙක් සහ ඔහුගේ මව 4දෙනාම ඇප පිට ගෙදර ගියා. නීතිපති දෙපාර්තමේන්තුව නිහඬව හිටියා. මේ රටේ අපරාධ මැඬ පවත්තන්න ඕනේ තරම් නීති තියෙනවා. නමුත් අපරාධ අඩු නොවෙන්නේ ඒ නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. පොලිසිය උසාවිය හරහා නීතිය ක්‍රියාත්මක කරන්න හැදුවට ඒකට නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට සහාය වෙන්නේ නැහැ. උදා: අපරාධ කළ ප්‍රසිද්ධ පුද්ගලයින්ට කිසි හේතුවක් නැතුව ඇප දෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව ඒකට කිසි විරෝධයක් නැහැ. පුද්ගලයා අනුව, රැකියාව අනුව, දේශපාලන සම්බන්ධතා අනුව නීතිය අවනීතිය වෙලා තියෙන එකේ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුව...
කලු පැල්ලම් පැත්තකින් තියමු.. මොනවද සුදු පැල්ලම්...?
සැබවින්ම නීතිපතිතුමාගේ දේශනයක ඉතාමත් හරබර දේශනයක්.. එය පොලිස් නිලධාරීන් තම දින සටහන් පොතේ නොමැකෙන අයුරින් ලියා තබාගැනීම වැදගත්.. වැඩ බලන පොලිස්පතිවරයාද එසේ කිරීම වැදගත් වෙනවා. නීතිපතිවරයා පැමිණි රැස්වීමට කෝ දේශනයට වැඩ බලන පොලිස්පතිවරයා නොපැමිණියේ මන්ද? එය නුසුදුසු බව පෙනේ. නීතිපතිතුමා පවසන පරිදි අධීක්ෂණ මණ්ඩලය හෝ වැඩබලන පොලිස්පතිවරයා අධීක්ෂණ කටයුතු හරිහැටි ඉටු කොට නොමැත. එබැවින් එහි වගකීම ඔවුන් අනිවාර්යෙන්ම භාරගත යුතුය. එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය වෙත මේ ඇතිවූ කළු පැල්ලම සුළු පටු දෙයක් නොවේ. බිඳී ගිය මහජන විශ්වාසය ඉක්මණින් නැවත ලබා ගත යුතුයි. එසේ කොට රටට වැඩදායි අගනා පොලිස් සේවයක් ඉක්මණින්ම ඇතිකිරීම කළ යුතුව පවතී. එය රටේත් ජනතාවගේත් යහපත පිණිස වන්නේය. එසේම අවංක පොලිස් නිලධාරීන්ගේ යහපත පිණිසද හේතු වන්නේය.. නීතිපතිතුමනි, ශ්‍රී ලංකා පොලිසිය පක්ෂ දේශපාලනයෙන් ද මුදවා ගැනීමට ඔබතුමාගේ අවධානය යොමු වේවායි පතමු.
නියම නීතිපතිතුමෙක්... රටට හොඳක් වෙයි..
අපට නම්, ඔබ සැබවින්ම ඊනියා දේශප්‍රේමීන් නොවන දේශප්‍රේමියෙකි.
ශ්රී ලංකාවේ දේශපාලන දර්ශනය වෙනස් වනතුරු, පිරිසිදු දේශපාලන නායකයින් ලැබෙනතුරු පොලිසිය පිරිසිදු කිරීමට නොහැකියි.
ලංකාවේ දූශිත ආයතන අනුපිළිවෙළින්. යම් දේශනයකදී කෙනෙක් දැක්වූ අදහසක්. මේක හරි. දප්පුලට තමන්ගේ කුස්සියෙන්ම පටන් ගන්න පුලුවන්... 1. අධිකරණය හා නීතිපති 2. දේශීය ආදායම් 3. පොලිසිය 4. රේගුව 5. මෝටර් රථ ප්‍රවාහන...
ඉස්සරත් ඔහොම තමයි... වෙනසකට තියෙන්නෙ දැන් පත්තරේ පලවෙනවා..
ඉතා වටිනා කතාවක්... පොලිසියේ මෙම පරිහානිය සමාජයේම පරිහානියට හේතුවක්...
ඔබතුමා සඳහන් කළ ආයතනයේ කළු පැල්ලම් අතීතයේ සිට රැසක් තිබුණත් ඒවා හෙළිදරවූ වී ඒවාට පියවර ගන්නේ දැනුයි. ඔය ආයතනය අතීතයේ සිට හරියට ක්‍රියාත්මක උනා නම් අපේ රට සුන්දර ශ්‍රී ලංකාවක්.
කලුපැල්ලම් තිබුණාට හොයාගන්න බැරිවුණා නේද?
ඉතා හොඳයි.
නීතිපතිතුමනි, ලංකාවේ පොලිසිය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයත් මේ වගේම දූෂිතයි. මමත් විදුහල්පතිවරයෙක්. ඇතැම් විදුහල්පතිවරු මේ වනවිට රුපියල් ලක්ෂ 10 දක්වා අල්ලස් ගන්නා බවට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කරන ලද ප්‍රකාශයක් ජාතික පුවත්පත්වල පවා පලව තිබුණා. මා දන්නා තරමින් කෝටි ගණනින් වංචනිකව මුදල් උපයාගෙන සිටින විදුහල්පතිවරු කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අය එසේ අල්ලස් ගන්නේ දේශපාලන අධිකාරියේ සහ පළාත් අධ්‍යාපන ලේකම් ඇතුලු වගකිව යුත්තන්ගේ පූර්ණ ආරක්ෂා යටතේ... කලාප කාර්යාලවලින් පවත්වන විවිධ උත්සව සඳහා ඇතැම් විදුහල්පතිවරු තම පුද්ගලික ධනය වැය කරනවා. රාජකාරී කටයුතු වලට පැමිණෙන ඉහළ නිලධාරීන් කෑම බීම පවා සපයා දෙන්නේ තම පුද්ගලික ධනයෙන්... එහෙම කරන්න තියෙන රුදාව මොකක්ද? එකම අවශ්‍යතාවය තමන් කරන වැරදි වහා පොලිසිය වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයත් එලෙසම සුද්ද කරන්න ඔබතුමාට හැකියාව තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඔබතුමාට අවශ්‍ය පූර්ණ සහයෝගය දෙන බවට මට විශ්වාසයි. විශේෂයෙන්ම දකුණු පළාත. මාව කැඳවන්න ඕන වෙලාවක. මම ලැහැස්තියි අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. විදුහල්පතිවරුන්ගේ වත්කම් පරීක්ෂා කරන්න. කිසියම් හෝ සැලසුමක් සකස්කර අධ්‍යාපන ක්ෂේත්‍රයත් සුද්ද කරන්න.
නීති පද්ධතියේ ‘‘කලු පැල්ලම‘‘ පේන්නේ නැද්ද?
ඉස්සරවෙලා තමන්ගේ කුණු පැල්ලම් ගැන බලාගන්න.
කොයි ලෝකෙද හිටියේ?
ඔබතුමා නිසා නීතිපති දෙපාර්තමේන්තුව දූෂණය වෙලා කියලයි රටේ සමහරු කියන්නේ...