(වසන්තපි‍්‍රය රාමනායක)

”ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක‍්‍රමය දුෂණයට හා මැර කි‍්‍රයාවලට පොළඹවන ප‍්‍රධාන උල්පතකි.”

”මනාප ක‍්‍රමය නිසා මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන් හට සිදු වේ. මම මෙය සපුරා වෙනස් කරමි.” එහි පරමාර්ථය වන්නේ මනාප ක‍්‍රමය අවසන් කිරීම හා සෑම මැතිවරණ කොට්ඨාසයකටම අනිවාර්යයෙන් ම එක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු හෝ සිටින බව  සහතික වීමයි. (උපුටා ගැනීම මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රකාශයෙනි.)

මෛතී‍්‍ර පාලනයක් යටතේ මනාප ක‍්‍රමය අහෝසි කර මැතිවරණය කොට්ඨාස පදනම් කරගත් නව ඡඑන්ද ක‍්‍රමයක් පිළිබඳ ජනාධිපති මෛතී‍්‍ර පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දුව ඉහත සඳහන් ප‍්‍රකාශනයෙන් පැහැදිලි වේ. ඒ අනුව තනිකරම මනාප ක‍්‍රමය පදනම් කරගත් සමානුපාතික මැතිවරණ ක‍්‍රමයකට වර්තමානයේ ඉඩක් නොමැත. කාලාන්තරයක් තිස්සේ මේ රටේ ජනතාව මේ අපකීර්තිමත් මනාප ඡන්ද ක‍්‍රමය ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටිති. මේ රටේ මන්තී‍්‍රවරුන් තේරී පත්වන වර්තමාන ක‍්‍රමය දේශපාලනඥයන් දුෂණයට පොළඹවනු ලබන ජනතාවට ඍජුව වග කියන නිශ්චිත මන්තී‍්‍රවරයකු පත්නොවන ක‍්‍රමයකි. එහෙත් 1977 පසු බලයට පත් කිසිදු රජයක් මේ ක‍්‍රමය වෙනස් කරනවාය කියන නමුත් වෙනස් කිරීමට පෙළඹෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ක‍්‍රමයට බැණ බැණ ඔවුන් එයම පවත්වාගෙන යෑමකි. මෙය හරියට කුණු කරවලවල කුණු ගඳ ගැන සඳහන් කරමින් එයම බුක්ති විදිනවා වාගේ වැඩකි.

ඊට හේතුව පවතින මැතිවරණ ක‍්‍රමය මඟින් ජනතා සේවය කෙසේ වෙතත් විපක්ෂයට යන විට වැඩිපුර මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණයක් හා මැතිවරණයකින් බහුතර ආසන ප‍්‍රමාණයක් පරාජය වී තිබුණ ද කෙසේ හෝ අටවා ගත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට හැකි වීමය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද මේ යථාර්ථය පැහැදිලි විය. එසේ ම වාර්ගික වශයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාව පදනම් කරගෙන සුළු ජාතික පක්ෂ ද මීට කැමැත්තක් දක්වයි. මේ නිසා දේශපාලන නායකයන් විටින් විට හොරගල් අහුලමින් දක්වන ලද නොකැමැත්ත නිසා මනාපය ප‍්‍රතික්ෂේප කරන ආසනයක් පදනම් කරගත් ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට නොහැකි විය. අඩුම ගානේ පසුගිය රජය මගින් සම්මත කර ගන්නා ලද කොට්ඨාසයක මන්තී‍්‍රවරකු සහිත පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ නීතිමය අදියර අවසන් වෙමින් පවතින්නේ මේ රජය ද බලයට පත් වී වසර දෙකහමාරකට පසුව ය. තවමත් එහි අවසානයක් දක්නට නොලැබේ.

එහෙත් ජනාධිපති මෛතී‍්‍ර මේ සම්බන්ධයෙන් ඍජු ස්ථාවරයක සිටින බව පෙනේ. සිදු වී තිබෙන්නේ ජනාධිපතිවරයා 2015 ජනවාරි 8 ජයග‍්‍රහණයත් සමඟ ජනාධිපතිවරයා ජනතාවට වූ පොරොන්දු නිසි කාලසටහනකට අනුව ඉටු කිරීමට වත්මන් රජයට විධිමත් සැලැස්මක් නොතිබීමය.

පළාත් පාලන තුනක මැතිවරණ ආසන්නයේ නින්දෙන් අවදි වූවා සේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වන්නේ මේ නිසා දැයි කියන්න දන්නේ නැත. 20 වැනි සංශෝධනය පළාත් සභාවල මැතිවරණ වෙනස් කිරීම සම්බන්ධයෙනි. එහි කිසිදු වරදක් නොමැත. චේතනාව ද යහපත්ය. එහෙත් සමහරු ප‍්‍රශ්න කරන්නේ පළාත් සභා මැතිවරණයක් ආසන්න වන විට මේ යහපත් යෝජනාව කඩිමුඩියේ ගෙන ආවේ ඇයි ද කියලා ය. මේ අතර උසාවියට ඉදිරිපත් කළ කෙටුම් පතේ විසි වැනි සංශෝධනයේ නව ප‍්‍රතිසංස්කරණවලින් අනතුරුව කල් යන පළාත් සභාවල ඡන්දය නැවත පවත්වන නිශ්චිත දිනයක් ද සඳහන් නොවීය. මේ නිසා අධිකරණය තීන්දු කළේ එවැන්නකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දය ප‍්‍රමාණවත් නොවන බවයි. ජනමත විචාරණයකට යා යුතු බවය. ඡන්දයක් කල් යන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාව 1983 දී ද උසාවිය මගින් ද පෙන්වා දුන් කරුණකි.

මේ නිසා 20 වැනි සංශෝධනය කොතරම් හොඳ වුවද ජනමත විචාරණයකට යෑමේ අපහසුතාව නිසා අත්හැර දැමීමට ආණ්ඩුවට සිදු විය. එය උසාවි තීන්දුවට ගරු කිරීමකි. රජය යහපාලනයට අනුරූප වීමකි.

මේ අතර ආසන්නම පළාත් සභා ඡුන්දය පැරණි ක‍්‍රමයට තියා ඉදිරි ඡුන්ද නව ක‍්‍රමයට පැවැත්වීමේ උභතෝකෝටියට ද රජය මුහුණ දී සිටී. මුල දී සඳහන් වූයේ ආසන මට්ටමින් මන්තී‍්‍රවරයෙකු පත්වන නව මැතිවරණ ක‍්‍රමය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ගෙන එන යෝජනාවක් ලෙසිනි. ජනතාව තේරුම් ගෙන තිබුණේ ඒ ආකාරයෙනි. එසේ නම් එම ව්‍යවස්ථාව සම්මත වන කාලවකවානුවට සාපේක්ෂව නව ඡුන්ද ක‍්‍රම අත්හදාබැලීමේ ඉඩකඩ සැලසීමට අවකාශ තිබුණි. එහෙත් හොඳ වැඩක් වුවද හදිසියේ කිරීමට උත්සාහ ගැනීම නිසා පාර්ලිමේන්තුවේ විවාදයට යොමු වී තිබූ වෙනත් පනතක් මේ සඳහා උපයෝගී කරගෙන තිබෙන බව පෙනේ. ඒ කාන්තා නියෝජනය වැඩි කරලීමේ පනතයි. එම පනතට සංශෝධනයක් ගෙන ඒමෙන් ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමේ ක‍්‍රමවේදය ආරම්භ කිරීමේ ගොඩ පෙරකදෝරු තාලේ ප‍්‍රතිපාදනයකට ආණ්ඩුව යොමු කළේ කවුරුන් දැයි අපැහැදිලිය. එය කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ වැඬේ පටන් ගැනීමය. වැඬේ පටන් ගැනීම වැදගත් ය. ඊට දැක්වූ හදිසිය ප‍්‍රශ්නකාරී ය. නොවැදගත් ය. අවසානයේ වැඬේ හොඳ වුවද මෙමගින් ද මැතිවරණයකට ආසන්නව පැවැති පළාත් සභා ඡුන්දය කල් යෑම වැළැක්විය නොහැක.

ඡන්ද කල් යැවීම පිළිබඳව මේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකටම ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැත්තෙන් අනා ගනු ලැබූ මෙන් ම ජනතාවගෙන් දඬුවම් ලැබූ ඉතිහාසයකි. මේ නිසා හොඳ චේතනාවකින් මෙන් ම යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාවාදී කාර්යයකට වුව ද ඡන්ද කල් යෑමක් සිදුවන්නේ නම් නිතැතින් ම දේශපාලනික වශයෙන් ප‍්‍රශ්නයක්, සැකයක් මතු වීම නොවැළැක්විය හැකි ය. ඒ සැකය හා ඊට යම් විරෝධතාවයක් රජය ඇති කරගෙන තිබෙන්නේ නිසි කළමනාකරණයකින් තොරව ආණ්ඩුව ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීමට යෑම නිසා බව පෙනේ. මේ නිසා ඡන්ද කල් දැමීමේ යටි අරමුණකින් ආණ්ඩුව කඩිමුඩියේ පළාත් සභා මැතිවරණයට අදාළ නව සංශෝධන ගෙන ආ බවට ඒකාබද්ධ විපක්ෂය ජනමතයක් ඇති කරමින් සිටී. එය ආණ්ඩුවට හොඳ මදිය. අදාළ පනතට සංශෝධන ඉදිරිපත් කරමින් ආණ්ඩුව ප‍්‍රදර්ශනය කළ හැසිරීම ද මෙම සැකය වර්ධනය කරනු ඇත. ඒ නිසා මීට එරෙහිව රජය ජනතාව දැනුවත් කරලීමේ වැඩසටහනකට යා යුතුව ඇත.

බඩ සුද්ද වී ලෙඩා මිය යන්නේ නම ඵලක් නොවේ. ඡන්ද කල් දැමීම තුළින් අනාගතයේ එම ඡන්දය පවත්වන දිනක ආණ්ඩු විරෝධී ජනමතයක් නිර්මාණය වන්නේ නම් කළ යහපත් කාර්යයේ ප‍්‍රයෝජනයවත් රජයට ලබා ගැනීමට  නොහැකි වනු ඇත. මේ අතර සමහර සුළු පක්ෂ අදාළ පනතට තුනෙන් දෙකක ඡන්දයක් ලබා දීමට මුවා වී අවස්ථාවාදීව මස් රාත්තල උපරිමයෙන් ම ලබා ගැනීමේ තැනකට පත්ව තිබෙන බව පෙනේ. ඉදිරි  පළාත් සභා සඳහා මන්තී‍්‍රවරුන් තෝරා ගැනීමේ දී මැතිවරණ බල ප‍්‍රදේශ නැත්නම් කොට්ඨාස මට්ටමින් 50%ක් හා ඉතිරි 50% පක්ෂ ලේකම්ගේ තේරීමට යටත්ව සමානුපාතිකව තෝරා ගැනීම එක්තරා විධියකින් විකෘතියකි.

මේ නිසා 60%ක් කොට්ඨාස ක‍්‍රමයට හා 40% සමානුපාතික ක‍්‍රමයට සභිකයන් තෝරා ගන්නා සුළු ජාතිකයනට ද ඉතා සාධාරණ වූ පළාත් පාලන නියෝජන ක‍්‍රමය පළාත් සභාවල දී වෙනස් වේ. මැතිවරණ ක‍්‍රමය හොඳ වුව ද කොට්ඨාස ක‍්‍රමයට සමාන ලෙසින් හාල් පාරු ක‍්‍රමයට තවත් මන්තී‍්‍රන් කණ්ඩායමක් තේරී පත්වන්නේ නම් දුක්මහන්සි වී කොට්ඨාසයට පත්වන මන්තී‍්‍රවරයාගේ වටිනාකම පිළිබඳ ව ප‍්‍රශ්නයක් ද මතු වේ.

නව මැතිවරණ ක‍්‍රමයක් උදෙසා හෝ විපක්ෂයේ ඡන්ද සමඟින් අදාළ සංශෝධනවලට තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගැනීමට හැකි වීම ආණ්ඩුව පැත්තෙන් ශක්තියකි. රජය තවත් තිරිහන් වීමකි. ඒ සඳහා ද්‍රවිඩ සන්ධානය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගැනීමට හැකි වීම ද වැදගත් ය.

විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ කොතරම් ආණ්ඩුව විවේචනය කළත් තීරණාත්මක පනතක දී රජයට සහාය දීමෙන් ආණ්ඩුවේ ශක්තිය වැඩිදියුණු කර එ්කාබද්ධ විපක්ෂය දුර්වල කරලීමට දායක වී ඇත. එය සිදුවන්නේ නම් හෙට අනින්දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත්  සභා තුනේ ඡුන්දය නිශ්චිත දිනයකින් තොරව කල් යෑම නිසා ය. මෙවන් වාමාංශික විපක්ෂ කණ්ඩායම්වලට  ඕනෑම ආණ්ඩුවක් කැමතිය. මුස්ලිම් පක්ෂවලට පළාත් සභා නියෝජනය වෙනුවෙන් 50%ක ආසන හා සමානුපතික නියෝජනයකට සංශෝධනයකට රජය එකඟ කරවා ගැනීමට හැකි වූ අයුරින් ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණ ප‍්‍රතිසංස්කරණවලින් අනතුරුව කල්ගිය පළාත් සභා තුනේ ඡුන්දය පැවැත්වීමේ නිශ්චිත දිනයක් සඳහා රජය එකඟ කරවා ගැනීමට නොහැකි වූයේ මන්දැයි කියන්න දන්නේ නැත. එය ද තුනෙන් දෙකක ඡුන්දය ලබා ගැනීමේ දී රජය පැත්තෙන් ලත් ජයග‍්‍රහණයකි.

කෙසේ නමුත් 2015 ජනවාරි 8 වැනි දා ආණ්ඩු පෙරළියට මුල් වූ සියලූ බලවේග එකට එක් වූ අවස්ථාවක් ලෙසින් පසුගිය දා සම්මත වූ පළාත් සභා සංශෝධන පනත හැඳින්වය හැකිය. එහි අනෙක් සුවිශේෂිත්වය හා ජයග‍්‍රහණය එදා ඊට විරුද්ධ වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ද මේ සඳහා සම්බන්ධ කර ගැනීමට රජයට හැකි වීමය. මෙහි දී ආණ්ඩුවෙන් අද යනවා හෙට යනවා කියූ අයද, අනේ අපට නම් මේ ආණ්ඩු සමඟ ඉන්න බෑ ම කියූ පිරිස ද ආණ්ඩුව සමඟ එකට සිට ගත්හ.

පසුගිය දා පාර්ලිමේන්තුව මඟින් සිදු කළ අභිනව පළාත් සභා ඡුන්ද සංශෝධන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් හෙට අනිද්දා අධිකරණයට යෑමට බලාපොරොත්තු වන අයද සිටිය හැකියි. සමහර විට ඔවුන් ලබන ඔක්තෝබර් දෙවැනි දා වන තුරු කල් බලනවා විය හැකිය. එදාට අධිකරණයේ දී මැතිවරණ  සම්බන්ධයෙන් උසාවිය දෙන ලද තීන්දුව යළි සාකච්ඡාවට බඳුන් වීමට ඉඩ තිබේ. සියල්ල කෙසේ සිදු වුවද පසුගිය දා පාර්ලිමේන්තුව මගින් අනුමත කරන ලද පළාත් සභා මැතිවරණ සංශෝධනය පාර්ලිමේන්තු ක‍්‍රමයට අදාළ පෙරළිකාරී පනතක් ලෙසින් ඉතිහාසයට එක්වනු ඇත.