ගුණදාස අමරසේකරයන්ගේ බොහෝ නිර්මාණ වලදී අපට යටලමත්තේ ඉස්කෝලේ හාමිනේ මුණ ගැසෙයි. අපේ අම්මාද එවන් ගුරුවරියකි. එනිසාම මගේ කුඩා විය ගෙවී ගියේ ඈ සේවය කළ පාසල් පසුබිම් කරගත් සබරගමුවේ විවිධ ගම් කොරටුවලය. ගමින් ගම ගිය අපේ එම ගුරු එෙඬ්ර යුගය අවසන් වූයේ අම්මාට දේවාලේගාව පාසලට ස්ථාන මාරුවක් ලැබීමත් සමගය. වසර 1963 ඈ එසේ මාරුව ලැබ ආ දේවාලේගාව පාසල ඒ වන විට පොත පතෙහි සඳහන් වූයේ රාහුල විද්‍යාලය නමිනි. එහෙත් ගම තුළදී මෙන්ම ගමින් පිටදීත් කොයි කවුරුත් අප හැඳින්වූයේ දේවාලේගාව ඉස්කෝලේ ළමයි ලෙසින්ය. සමන් දේවාලය අවට පූජා නගරයක් බවට පත්වීමෙන් පසු පැරණි ගොඩනැගිලි පමණක් ඉතිරි කර පාසල දැන් වෙනත් තැනක සංක‍්‍රමණය වෙලාය. දේවාලයගාවට පැමිණි අලූත අපේ නවාතැන වූයේ මාටින් අයියා ලෙසින් හැඳින්වූ ලංගම කොන්දොස්තරවරයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයකුට අයත් නිවසකි. මුල් නිවස බිතක්කනකින් පමණක් වෙන්වූ අප ජීවත් වූ කුඩා ගෙය වර්තමානිකයන්ගේ බසින් නම් ඇනෙක්සියකි. මාටින් අයියා කොටය. ඔහුගේ ඇඹේනිය පොඩි නෝනා අක්කා සිය නමට හාත්පසින් වෙනස් තරබාරු ස්ත‍්‍රියක වූවාය. ඔවුන්ට දු දරුවන් නොවූයෙන් හදා වඩාගත් පුතකු විය. ඔහු රංබණ්ඩාය. ගියේ ගඟබඩ සීවලියටය. හැන්දෑවට ජේත්තුවට හැඳපැළඳ ගන්නා ඔහු හුරුබුහුටි පාපැදියක නැගී ගම පුරා සැරි සැරීය. එදා ඒ කඩවසම් ගැටයා මෑතක මිය යාමට පෙර අවසන් වරට මට හමුවූයේ හොඳටෝම වියපත් වූවකු ලෙසිනි. ඔහු ලොඹු කටින් සිනාසුණි. ඔහුගේ අතීත රූපකාය සිහිපත් වූ මගේ දෑසට කඳුළක් නැගිණි. පොඩි නෝනා අක්කලාගේ ගෙදර පසෙක දර මඩුවකි. ඉඳහිට පාසල් යන දවසේ වැඩි කලක් දර පළන පියදාස නැමති ඥාති කොලූවෙක්ද නිවැසියන් අතර විය. ඒ නිවසේ මුළුතැන්ගෙයි බිමටම සවිවූ ගල් වංගෙඩියකි. බොහෝ සැඳෑකල් සහ රාත‍්‍රියේ පෙරයම මා ගෙවූයේ එම ගල් වංගෙඩියේ පසු භාගය ඔබාගෙන වැඩිහිටි කාන්තාවන්ගේ පරක් තෙරක් නැති  ඕපාදුප වලට කන්දෙමිනි. ඔවුන් සතු එළ වැස්සියෝ කිහිප දෙනෙක් සිටියහ. උන් අතුරින් එකියක හැඳින්වූයේ ඒ එස් පී ලෙසිනි. ඒ හරකුන් සහ පොලීසිය අතර ඇති නෑ සබඳතාවක් නිසා නොවේ. මහ මග වාහනවලට පවා අයින් නොවී උද්දච්ච අයුරින් ඈ ගමන් කළ නිසාය. මගේ මවගේ නව සේවා ස්ථානයත් සමග මාද ඇගේ පාසලට ඇතුළු කෙරිණි. ඒ හතර වැනි පන්තියටය. එකල අපේ පාසලේ ප‍්‍රින්සිපල්ලා සර්ලා හෝ මිස්ලා නොවීය. අපට හිටියේ ලොකු මහත්තයෙකු, නෝනා මහත්වරුන් සහ ඉස්කෝලේ මහත්වරු කීපදෙනෙකි. ලොකු මහත්මයාගේ බිරිඳ අපට ලොකු නෝනා මහත්තයා විය. සමරනායක නෝනා, බබුන් හාමි නෝනා හැරුණු විට පොඩි අප්පුහාමි මහත්තයා ද පසුව අප පාසලට වාද්දුවේ සිට පැමිණි සිල්වා මහත්තයාද තවමත් මසිත ජීවත් වෙති. කිසිදා සෙරෙප්පුවක් සපත්තුවක් නොපැළඳි ඉන් එක් ගුරු මහත්මයකු ඔහු නැති තැන සෙසු ගුරුවරුන් පවා හැඳින්වූයේ බකලයා ලෙසිනි. සබරගමුව මහ සමන් දේවාලය පැරණි කවියකු කන්ද උඩින් බලන කලට පෙනේය උළු මාලිගාව ලෙසින් හැඳින්විය. තිස් හතළිස් වසකට පෙර මේ මාලිගාවට වටකරගත් දේවාලේගාව නිර්මිත වී තිබුණේ තවත් පුංචි පුංචි ගංගොඩල් කීපයක එකතුවෙනි. දේවාලයට පසු පසින් කළු ගඟ වක ගැසෙමින් ගලා බසී. ගඟින් එගොඩ පොත්ගුල් කන්දය. ගඟත් පොත්ගුල් කන්දත් අතර බලිබත්ගොඩයි. රත්නපුර දෙසින් ගමට පිවිසෙන්නකුට මුලින් හමුවන්නේ කොටාඹේ ගාවාය. ලංකාවේ ගංගාවක් දිගේ කෙරෙන දිගම දිය කැපීමේ පෙරහර ලෙසින් හැඳින්වෙන අපේ පෙරහර ඒ සඳහා ගඟට බසිනුයේ කොටාඹේගාවා තොටුපළිනි. එතැන් සිට ගඟ පහළට ගමේ සියලූ තොටුපළ වලට නම් පටබැඳී තිබිණි. මිදැල්ල තොට, වලව් තොට, ගල් තොට, වැලි තොට උයන්වත්ත තොට, ගඟ දෙකට බෙදී කුඩා දුපතක් නිර්මාණය කරන පූණෑව සහ මෝදර තොට යනුවෙනි. දේවාලේ බස්නායක නිලමේගේ නිල නිවහන හෙවත් වලව්ව අද්දර තොටුපළ වලව් තොට වූ අතර දේවාලය පසුපස පිහිටි ගල් පඩි රාශියකින් බැඳි තොටුපළ ගල්තොට විය. පෙරහර සමයේ බැතිමතුන් පඬුරු සේදීමට  එකල භාවිත කළේද මෙම ගල් තොටය. ගල් තොටට බසින පඩි අද්දරම කුඩා ගෙවල් එකක් හෝ දෙකකි. දැන් ඒ ගෙවල් කිසිවක් එහි නැතත් එහි ජීවත් වූ කෝරලේ නම් වැඩිහිටියාගේ උපහාසයෙන් පිරි මුව මඩලත් ඔහුගේ පුතකු වූ අපේ පන්තියේ සිටි ගල් කාෂ්ටක සෝමේත් තවමත් මගේ මතක පොතේ නම් ජීවතුන් අතරය. ගම කෙළවර කළුගෙඟ් අවසන් තොට මෝදර විය. කළු ගඟත් රත්නපුර පානදුර පාරත් දෙබිඩි සොයුරන් මෙන් එකිනෙකාට ඇලී ගැලී පිහිටි ඒ ආසන්නයේ අප කුඩා කල ගමේ එකම මුස්ලිම් පවුල ජීවත් විය. මා හා එක පන්තියේ ඉගෙනුම ලද මොහොමඞ් ඉඳහිට රත්නපුර ති‍්‍රරෝද අංගනයේදී මට මුණ ගැසේ. බෙරවා ඇළ, ගල්කඩුකන්ද, පෙත්තර, ගනේගොඩ පන්සලවත්ත, වලෝවිට ගොඩැල්ල, ගොඩැල්ල වත්ත, කපුගම්පිටිය, උයන්වත්ත, පන්තියේ වත්ත යන සෙසු බිම් කඩවලින් දේවාලය ගාව සමන්විත විය. අද  ඕලූ විල ලෙසින් හැඳින්වෙන්නේ අදට තිස් හතලිස් වසකට පෙර දේවාලය ගාව ප‍්‍රධානම කර්මාන්තය වූ ගඩොල් කැපීමට  පස් ගොඩලූ ස්ථානයටය. ගමේ විවිධ කොටස් හැඳින්වීමට වෙන් වෙන් වශයෙන් නම් ගොත් තිබුණා සේම එකල ඇතැම් නිවෙස් හැඳින්වීමටද වෙන් වෙන් වශයෙන් අපූරු නම් පටබැඳ තිබිණි. දේවාලය පසු පස එක් වීදියකට මුහුණලා පිහිටි නිවෙස හැඳින්වූයේ වීදියේ ගෙදර ලෙසිනි. එහි නිවැසියන් හැඳින්  වූයේ වීදියේ ගෙදර අයවලූන්ය. අපේ පාසලේ හීන්මහත්තයලා කීප දෙනකු වූ අතර ඉන් එක් අයකු වූයේ වීදියේගෙදර හීන් මහත්තයාය. එසේම ඔක්කොටුවෙ ගෙදර, බංගලාවේ ගෙදර, තණ්ඩලේ ගෙදර, ජපන් ගෙදර, බඩාමේ ගෙදර යනාදී වශයෙන් ඒ ඒ ගෙවල්වලට ආවේණික කිනම් හෝ අනන්‍යතාවක් නිසා විශේෂිත නම් පටබැඳී තිබිණි. හතරේ පන්තියේ මා සමග අකුරු කළ අය අතර කනත්තගේ රූපානන්ද සිය නම සඳහන් කළේ කේ. රූපානන්ද වශයෙනි. එහෙත් කේ අකුරෙන් පසු තිතක් නොතබන ඔහු බොහෝ දෙනකුට කෙරුපානන්දය. පරිප්පුවා, කන්කුනා, පුකරොටියා, ඇටරිළවා වැනි අතිරේක නම්ද බොහෝ දෙනකුට පටබැඳී තිබිණි. මැදවත්තේ ප‍්‍රඥාරත්න, ගොඩැල්ලවත්තේ කරුණාපාල, උයන්වත්තේ සුජාතා මෙන්ම, අපේ ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුතා වූ කුඩලිගමද මගේ පන්තියේ සෙසු මිතුරු මිතුරියෝ වූහ. කුඩලිගමගේ වැඩිමහල් අක්කලා දෙදෙනා අකුරු කළේ ගමට සැතපුම් දෙකක් ඔබ්බෙන් පිහිටි ෆර්ගසන් උසස් බාලිකාවේය. ලොකු අක්කා සහ පොඩි අක්කා ලෙසින් හැඳින්වෙන ඔවුන් දෙදෙනාත් සමරනායක නෝනා මහත්තයාගේ දියණිය ජයන්ති අක්කාත් උදේ හවා පාසල් ගියේ ගොනු බැඳි බක්කි කරත්තයකිනි. අතිශය රූමත් මේ දැරියන් තිදෙනා බක්කි කරත්තයේ එහෙ මෙහෙ පැද්දෙමින් උදේ හවා පාසලට යන එන අයුරු කුඩා අපට අපූරු චමත්කාර දසුනකි. ඇතැම් දිනක අප කරත්තය පසුපස වැටී මේ චමත්කාරයට සමීප වීමට දරන වෑයම වළකාලන්නේ කරත්තය දැක්කූ පිලොච්චි නැමති රුදුරු වැඩිහිටියා කෙවිට අපට උලූක් කරලාය. මේ කියන පිලෝච්චි සහ දුච්චි නම් ඔහුගේ සහෝදරයා වූ කලි සබරගමු පෙරහරට පමණක් අනන්‍ය මහ බඹු පෙරහරේ ගෙනයාමේ රාජකාරියද පැවරුණෝ වූහ. ගමට ගමේ විවිධ පැතිකඩ වලට ගමේ ගෙවල් වලට මෙන්ම ඇතැම් ගම් වැසියන්ටද අමතරව නම් පටබැඳිණි. ගමේ පොඩි නෝනා ලෙසින් හැඳින්වෙන වැඩිහිටි කාන්තාවෝ  දෙදෙනෙක් සිටියහ. මට මතක ඇති කාලයේත් මැහැලියන් වූ ඔවුන් අතරින් එක් අයෙක් හැඳින්වූයේ බොලඳ පොඩි නෝනා ලෙසිනි. අනෙක් තැනැත්තිය යස්ස පොඩි නෝනාය. අප මේ කියන වකවානුව මොහිදින් බෙග් ගීත ලෝකයේ රජ කළ අවධියයි. ඔහු අනුව ගයන බෙග් ලා කීප දෙදෙනෙක් ගමේ වූහ. එක් අයෙක් ගුණදාසය. මැදවත්තේ සෝමරත්න හැඳින්වූයේද පොඩි බෙග් ලෙසය. ගුණදාස සහ ගුණතිලක වත්තගේලාද ගායකයෝ වූහ. මීට අමතරව පොඩි අප්පුහාමි අයියාද ගමේ නොම්මර එකේ ගායකයෙක් විය. ඔහු සුවදේ මට සීතල සුළඟ පවා ගීතය උච්චාරණය කළේ සුවඳේ ලෙස වහරමිනි. කොටහලූ මඟුල් වලට පවා ලවුඞ්ස් ස්පීකරය නැතිවම බැරි එකල අපේ බෙග් කෙනකු ගේ සෝබර ගී හඬ රෑ මැදියමේ අවධි වන කුඩා අපට ඇසිණි. සමන් දේවාලයේ තේවාවට බෙර වැයුම රත්තරන් හාමිට භාරව තිබිණි. විසාල උදරයක් සහිත රත්තරන් හාමිට ඔහු නැති තැන සමහරු බඩ රත්තරන් හාමි යැයි කට පුරා කීහ. සමහරු ආරලූ බුරුලූ නැතිව බඩා යයි කීහ. හිතුවක්කාර දරුවන් ආණ්ඩුමට්ටු කිරීමට ඇතැම් මව්වරු ඈතින් යන රත්තරන් හාමි පෙන්වමින් හොඳට හැදියල්ලා නැතිනම් අර ආතා උඹල ගිලීවි යැයි ඔහුගේ මහ බඩ පෙන්වමින් කීහ. පෙරහරේ වැයෙන එකම බටහිර තූර්ය භාණ්ඩය වූ ඓතිහාසික ට‍්‍රම්පටය හැඳින්වෙන්නේ බුරන්පෙත්තුව ලෙසිනි. එහි වාදනය පොඩි සිඤ්ඤො පුන් සිඤ්ඤෝ සහ ඒබරන් යන එකම පවුලේ සහෝදරයන්ගේ රාජකාරියක් විය. තේවාවට අදාළව සක හෙවත් හක්ගෙඩිය පිඹීම පැවරී තිබුණේ වස්තුහාමිටය. කිසිදා සුවපත් නොවන පයේ තුවාල පැලැස්තරයක් සහිත ඔහුගේ වයෝවෘද්ධ මාතාව කේන්ති ගැස්වීම අදට තිස් හතළිස් වසරකට පෙර දේවාලේගාව ලොකු කුඩා කාටත් විනෝදාංශයකි. මේ කේන්ති ගැස්වීම නිසා දේවාලේගාව කඩපොළ පසුකර යාමට ඇයට පැයකට ආසන්න කලක් ගතවේ. ලබු ආච්චි ලෙසින් කවුරුත් හඳුන්වන ඈ පරල කිරීමට දුරක සිට ලබු යැයි උස් හඬින් කීම පමණක් ප‍්‍රමාණවත්ය. එම හඬ ඇසූ සැණින් ඈ ගමන අමතක කර පැය ගානක් බැණ වදින්නීය. එහි අපූර්වත්වය වන්නේ කඩපොළ කොලූකුරුට්ටන්ගෙන් රහිත මොහොතක ඈ උසි ගැන්වීමට කිසිවකු නොවූ විටක ද එවැන්නකු එන තුරු අද එක බැල්ලිගෙ පුතෙක්වත් නැතැයි උස් හඬින් කියමින් සහකරුවකු පැමිණෙන තුරු කඩපොළේ ඔබ මොබ කරක් ගැසීමය. උයන්වත්තේ සිට මී ගව රෑනක් දක්කා ගෙන වෙල් කමත් කරා යන කුදු ගැසුණු මහල්ලා ජූතකයා ලෙසින් හඳුන්වමින් කෝප ගන්වන කොලූ කුරුට්ටෝ මහ දහවලත් ලන්තෑරුමක් දල්වාගෙන ඇවිදින මරතේලීස් ආතාට මර යැයි කෑගසමින් විනෝද වූහ. අප මේ කියන කඩපොළද කඩ දෙක තුනකට සීමා වූවකි. ලොකුම කඬේ තුඹගොඩ කඬේය. අපට මතක කාලයේ එහි හිමිකාරිය තුඹගොඩ හාමිනේ දවසේ වැඩි කලක් ගත කළේ කැසියර් කූඩුවේය. අපේ ඉස්කෝලේට බනිස් සැපයූවේ ඇගේ බේකරියෙනි. බනිස් පිළිස්සීම එකල මැදිවියේ පසුවූ උස මහත ගුරා ලෙසින් හැඳින්වූ ගුරුන්නාන්සේ නැමති පුද්ගලයකු අතින් සිදු විය. බනිස් පෙට්ටි දෙක බේකරියේ සිට පාසලට ගෙන ඒම තුඹගොඩ හාමිනේගේ ඥාති පුත‍්‍රයන් දෙදෙනකු වූ සෝමපාලට සහ ඔහුගේ මලනුවන් වූ රනපාලට භාරය. පාසලේ සිසුන් ද වූ ඔවුන් එහි පැමිණියේ කලිසම් වෙනුවට සරොම් ඇඳගෙනය. බනිසුත් සමග පැමිණෙන ඔවුන්ට ළමයි කොයි කවුරුත් ගරු කළහ. පාසල් දරු දැරියන්ට ඇමෙරිකන් හෙවත් ඇඳිහැස පිටි දියර කිරි ලෙස සකස් කරදීම පැවරී තිබුණේ ගුරු නිවාසයේම පදිංචිව සිටි ලොකු මහත්තයගේ ගෙදර කුස්සි අම්මාටය. කටුස්සියක මෙන් කෙසඟ දැලි කුණින් පිරි ඈ විශාල සාස්පාන්වලට නියපොතු නොකැපූ කිළිටි අත බහාලමින් සකස් කළ කිරි දියරය අපට අමෘතයකි. අපේ ඉස්කෝලේ පළමු නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල පැවතියේ 1964 දීය. ආරාධිතයන් සඳහා ධාවන තරඟයකට මේ කියන කුස්සි අම්මාත් තවත් වැඩිහිටි කාන්තාවෝ කීපදෙනෙකුත් ඉදිරිපත් වූහ. කරට කර තරඟ වැදුණු කුස්සි අම්මා සහ මුර ගෙදර හාමිණේ තරඟය නිම කිරීමට මත්තෙන් එකිනෙකාගේ කෙස් වලූ පටලවාගෙන පොර වැදුණෙන් එය සමාදාන කිරීමට අවසානයේ වැඩිහිටියන් කීපදෙනකුට මැදිහත්වීමට සිදුවිය. බනිස් බෙදන වෙලාව අප හැමෝටමත් වඩා හොඳින් දැන සිටියේ පාසල වටා ගැවසුණු බල්ලන් සහ කපුටන්ය. ඔවුහු ඒ වෙලාවට නොවරදවාම පාසල් වත්තට පිවිසෙති. කපුටන් මේ බනිස් බෙදන වේලාවට ලාවුළු ගස්වල සිට කරව් කරන්නේ ද එම අවස්ථාවට ගැළපෙන කුසගිනි අවුලන අපූරු තාලයකට ගෙල පවා ඇල කරමිනි. තුඹගොඩ කඬේට අමතරව රතු ජෝන් ආතාගේ කඩෙත් කළු ජොන් ආතාගේ කඩෙත් ඔක්කොටුවේ ගෙදර පොඩිමහත්තයගෙ කඬේත් පාර දෙපස විය. මීට අමතරව වලෝවිට ගොඩැල්ල ලෙසින් හැඳින්වෙන ප‍්‍රදේශයේ පීටර් අයියගෙ කඩයත් අලූත් කඬේ නම් තවත් කඩ පොඞ්ඩකුත් තිබිණි. ගනේගොඩ තිබුණේ ලිස්බන්ගේ කඩයයි. කුඩා අපට මේ සියල්ලට වඩා වැදගත් වූයේ ටිකෝරිස් ආතා පාසල ආසන්නයේ පවත්වාගෙන ගිය කුඩා කඩ පොඞ්ඩය. පටු උළුවස්සෙන් මහලූ එළුවකු සේ ගෙල දිගු කර බලා සිටින ඔහු බොහෝ විට නොදරුවන්ට පවා රැවටෙයි. ඔහු ඇතැම් විටෙක තැලූ ටොනික් මූඩි පවා කාසි ලෙස බාර ගනිමින් වෙල හෙළඳාමේ යෙදිණි. සත දෙකේ කාසියකට දිදාලයක් තරම් කුඩා හුන්ඩුවකින් ඔහු අපට කඩල අලෙවි කළේය. අප ඔහුගේ කඩයෙන් කොපි පොතක් මිලට ගත්තේ සත දොළහකටය. ඒ කොපි පොත් වල පිටකවරයේ සිතුවම් කර තිබූ මහ රැජින හෝ ඇගේ වල්ලභ කුමාරයාට වඩා අපට වැදගත් වූයේ ඒ පොත් තුළින් මතුවූ අදටත් විස්තර කළ නොහැකි අපූරු සුවඳය. දේවාලයේ පූජාවට්ටි සැකසීම සහ සුළු සුළු රාජකාරී හුරතල්හාමි අතින් සිදුවිය. දෙවියන්ගේ බත හෙවත් මුරුතැන් බත පිසීම සැරහාමිට භාරය. මතක ඇති කාලයක උඩු කයට ඇඳුමක් නොඇඳි සැර හාමිට භාර වූ තවත් බරපතළ රාජකාරියක් වූයේ දේවාල උඩ මළුවේ ගැඹුරු එමෙන්ම ගූඩ ළිඳට බැස වසරකට වරක් එය පිරිසිදු කිරීමේ අන්තරායකාරී කටයුත්තයි. මෑතකදී මියන තුරු ඔහු රත්නපුර නගරයට පමණක් නොව අවට කිනම් ගමකට හෝ ගියේ දෙපා වාරුවෙනි. බසයක හෝ වාහනයක ගමන ඔහු ප‍්‍රතික්ෂේප කළේය. ඩිංගිරි මහත්මයා සහ කළු මහත්මයා දේවාලයගාව සීමා මායිම් අතික‍්‍රමණය කරමින් රත්නපුර නගරයේ පවා නමක් තැබූ පුද්ගලයෝ වූහ. මේ දෙදෙනාම අද කාගීල්ස් සුපිරි වෙළෙඳසල පවතින ස්ථානයේ එකල පැවති පොදු බස්නැවතුම් පොළ හොලවාගෙන සිටි අයියලාය. තරමක් කෙටියට සමර අඳින දේවාලේගාව කළු මහත්තයා අසූව දශකයේ අග භාගය වන තෙක්ම රත්නපුර බස් නැවතුම් පොළේ නොම්මර එකේ ගණන් කාරයා වූ අතර එය ගම්වාසීන් වූ අපට නගරයේදී අතිරේක ආරක්ෂාවක්ද විය. සරම කෙටි කර හැඳ උඩුකය නිරුවත් කළු මහත්තයා හෙවත් කළු අයියා දෙනෝ දාහක් ගැවසෙන බස් නැවතුම්පොළ මැදින් දත මැද මැද දිය නෑමට ගඟට යන අයුරු අප තුළ ඇති කළේ විරු හැඟුමකි. ඩිංගිරි මහත්තයා ට රනර් ඩිංගිරි මහත්තයා යැයි පට බැඳී තිබූ අතිරේක නාමය ඔහුගේ වෘත්තිය හා බැඳුණකි. ඒ බස් හා වෑන් රථ වලට බලංගොඩ බලංගොඩ යැයි කෑගසමින් ඔහු මගීන් එකතු කළ නිසාය. බස්නායක නිලමේගේ නිල නිවහන වලව්ව භාරකරු පබිලිස් ආතාය. හොස්ස ළඟින් මැස්ස ගියත් වහා කිපෙන පබිලිසස් ආතාගේ යකඩ දෝලී එකල වලව්ව හාත්පස කුඩා පැල්පත් කීපයක පදිංචිව සිටියාය. ගමේ කිසියම් රැස්වීමකදී තම නමට අගින් වූ සිඤ්ඤෝ යන කොටස සඳහන් නොකළැයි රැස්වීම් මෙහෙය වූ පෙත්තරේ සිරිල්ට බැණ වැදුනු පබිලිස් ආතා ඒ මොහොතේම එතැනින් පිටව ගියේ කෝපයෙන් පුපුරමිනි. පෙරහරේ පෙර ගමන්කරු හෙවත් තණ්ඩලේ ගෙදර උන්නැහේ ඒ රාජකාරියට අමතරව විස වෙදකම්ද කළේය. එහෙත් කවරකුගේ හෝ තුවාලයක් දුටු සැණින් නිතැතින්ම ඔහුගේ මුවට විස බඳින ගාථාවක් සිහිපත් වන බවට ගම්මු විශ්වාස කළෝය. මෙවන් අරුමැසි දේවාලේගාව ගම සමස්තයක් වශයෙන් වසරකට වරක් සමන් දේවාලයේ පෙරහර විසින්ද මෝසම් වැසි හමුවේ උතුරා පිටාර ගලන කළු ගෙඟ් සැඩ පහර විසින් ද එක මිටක් සේ එක්සත් කරයි. ඒකාත්මක කරයි. ඒ අතුරින් සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර සමය වඩාත් වැදගත් වන්නේ වසරක් පාසා අඛණ්ඩව එම සාධු චර්යාවට දායක වන හෙයිනි. සමන් දේවාලය අවට පදිංචිකරුවන්ගේ සමාජ ජීවිතයේ උච්ඡුතම අවස්ථාව සිංහල අලූත් අවුරුද්ද හෝ වෙසක් සමය නොව පෙරහර සමය යැයි සඳහන් කිරීම නිවැරදිය. ඔවුන්ගේ ජීවිත හා බැඳි විවිධ අර්ථ සම්පත්තීන් මෙන්ම දෛවෝපගත සිදුවීම්ද බොහෝවිට නිර්මාණය වන්නේ පෙරහර සමය පසුබිම් කර ගනිමිනි. තිස් හතළිස් වසරකට පෙර ළපටියකු ලෙස මව්පියන් හා දේවාලේගාව පදිංචියට පැමිණි මා දැන් වෙනත් ගමක පදිංචි පිටගම්කාරයෙක්ය. එදා දේවාලේගාව පදිංචියට පැමිණි අප පවුලේ උදවිය මාරයා විසින් තමා වෙත කැඳවූයේ පොරොත්තු ලේඛනයට හෝ අනුපිළිවෙලකට නොවේ. පසුවී ඔහු වෙත යා යුත්තන් මුලින්ම ගිය අතර මුලින් යා යුත්තන්ට ඇරයුම ලැබුණේ ප‍්‍රමාදවය. කෙසේ වෙතත් දැන් ඒ ලේඛනයේ ඉතිරිව ඇත්තේ මා පමණි. කිනම් මොහොතක හෝ ඔහුගේ ඇරයුම ලැබෙන්නට පෙර මගේ මතකයන් මෙසේ සටහන් කරන්නැයි පත්තර මිතුරන් කරන ඇරයුම අසාධාරණ නොවේ යැයි මට හැෙඟන්නේ මාරයාගේ ඇරයුමත් සමග ඒ මතක සටහන්ද සදහටම මැකී යන බැවිනි.
සුනිල් ලීලානන්ද පෙරේරා