IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව නිවැරදි තැනක් කරන්න මූලාශ්‍ර සෙවිය යුතුයි

(විනීතා එම් ගමගේ)

මහ මැතිවරණය එළැඹෙමින් තිබේ. තවත් සති තුනකට ආසන්න කාලයකින් මැතිවරණ දිනය උදාවෙයි. ඒ සඳහා අපේක්ෂකයෝ 7452 දෙනෙක් ඉදිරිපත් වී තරග වදිති. ඔවුන් පක්ෂ 44 ක් නියෝජනය කරන්නන් ද ස්වාධින අපේක්ෂකයෝ ද වෙති.

ඉකුත් ජනාධිපතිවරණයේ දී මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් මැතිවරණය සඳහා අපේක්ෂකයන් වියදම් කරන මුදල් ගණනය කිරීමේ ක්‍රියාකාරකමක් ඉතිහාසයේ පළමු වතාවට ආරම්භ කළහ. මේ මැතිවරණයේ දී ද එම කටයුත්ත මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කරගෙන යන අතර එය ජනාධිපතිවරණය තරම් පහසු නොවන්නේය. මන්ද ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් සිටියේ 35 දෙනෙක් පමණි. එහෙත් මේ මැතිවරණයේ දී අපේක්ෂකයෝ 7452 ක් සිටිති.

මේ නිසාම මෙවර මහ මැතිවරණයේදී පුළුල් මෙහෙයුමක් මේ වෙනුවෙන් කරන්නට මැතිවරණ නිරික්ෂණ සංවිධානවලට සිදුවනු ඇත. එය අභියෝගාත්මක වනු ඇත. වක්‍රකාර මැතිවරණ ප්‍රචාරවලින් පිරුණු මෙවර ප්‍රචාරණ යාන්ත්‍රණයේ අපහසුම කොටස වනු ඇත්තේ විවිධ ගොසිප් අඩවිවල පළවන පුවත් හා ලිපි මුදලට ලියන ලද ඒවාද නැද්ද යන්න සෙවීමය.

සයිබර් අඩවියේ පළවන මේ තොරතුරු ඕපාදූප, කේලාම්, අපේක්ෂකයන්ගේ පෞද්ගලික තොරතුරු ආදිය වන අතර මඩ ප්‍රහාර ද අඩුවක් නැතිව එහි ඇත. එසේ ලියැවුණු  පිටු දහස් ගණනක් සයිබර් අවකාශයේ සොයා ගත හැක. මේවා වේගයෙන් පැතිර යයි. වඩාත් ප්‍රශ්නකාරි වන්නේ මේවා ලියැවෙන්නේ පළවෙන්නේ මුදලට ද නැද්ද යන්නයි. මුදල් නොවේ වුවත් කවර හෝ ප්‍රතිලාභයකට ද යන්න සොයාගැනීමට ඇති නොහැකියාවයි.

මේ නිසාම මෙවර මැතිවරණයේ දී අපේක්ෂක වියදම් පිළිබඳ සොයාබලන කණ්ඩායම්වලට බරපතල ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

මැතිවරණ ප්‍රචාරණයේ දී මුදල් වියදම් කරන අපේක්ෂකයන් කවුද, වඩාත් වියදම් කර ඇත්තේ මොන පක්ෂය ද, වඩාත් වියදම් කර ඇත්තේ කවර අවස්ථාවල කවර අපේක්ෂකයන්ට ද, ආදි වශයෙන් තොරතුර එක්රැස් කිරීම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය මේ වනවිට කරගෙන යයි.

කෙසේ වෙතත් ප්‍රචාරණ වියදම් වැඩි වන්නේ මැතිවරණයට ආසන්න අවසන් මාසයේ දීය. නමුත් මෙවර මැතිවරණයේ දී අවසන් මාසය එළැඹ ඇතත් වියදම් කරන මුදල සීඝ්‍ර ලෙස වැඩිවී නැතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. එසේ වියදම් කරන ප්‍රමාණය අවම වී ඇත්තේ ඇයි දැයි පැහැදිලි නැත.

බොහෝ විට මැතිවරණ නීතිය ගැන නිසි හා නිරවුල් අවබෝධයක් අපේක්ෂකයින් වැඩි පිරිසකට නැත. මේ නිසා අපේක්ෂකයන් තවමත් කල් බලන්නේ විකල්ප ගැන විය හැක.

මේ පිළිබඳ අදහස් දක්වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා මෙසේ පවසයි.

“ මෙවර මහ මැතිවරණයේ දී අපේක්ෂකයින්ගේ වියදම් පිළිබඳ සොයා බැලීම පහසු එකක් නොවෙයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් අවහිර බොහෝ එනවා. සමාජ මාධ්‍යවල මෙම ප්‍රචාරණ පිටු කරගෙන යන්නන් සොයාගන්න බැහැ. සමහර පිටු කිහිපයක් කරගෙන යන්නේ එකම පුද්ගලයෙක්. ඔහු පක්ෂ කිහිපයක් වෙනුවෙන් එසේ පිටු කරගෙන යන අවස්ථා හමුවී තිබෙනවා.

මේවායේ සමහර රජයේ නිලධාරින් හා මාණ්ඩලික නිලධාරින් පවා ඉන්නා බව අප සොයාගෙන තිබෙනවා. ඒවා පිළිබඳ මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරන්න අප සූදානම්.

ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු නිසා හොඳයි. සියලු දෙනාට සමබිමක් නිර්මාණය වන්නේ නැතිවීම තමයි ඒ ප්‍රශ්නය. සමහර පිරිස් දරණ පිරිවැය අසාමාන්‍යයි. සමහරු මිලියන ගණනින් වියදම් කරද්දී තවත් අය කෝටි ගණනින් වියදම් කරනවා.

නිවැරදිව අපක්ෂපාතිව මැතිවරණ පවත්වන්න නම් මේ වියදම් සීමා කරමින් නීතියක් ගෙන ආයුතුයි. එවැනි නීතියක් ඇති කරන්න නම් දත්ත අවශ්‍යයි. වරක් මැතිවරණ කොමසාරිස් නීති සකස් කළා. නමුත් එය සාර්ථක නොවුනේ දත්ත නොමැති වීම නිසයි. පවතින්නේ ඕපාදූප ලෙස පවතින තොරතුරු මිස සත්‍ය නිවැරදි දත්ත නොවෙයි.

අප මැතිවණවල දී අපේක්ෂකයින් වියදම් කරන මුදල සොයා අධ්‍යයනයක් කරන්න පටන් ගත්තේ 2018 දී. අපේ අරමුණ නිවැරදි ජනගත කිරීමක්.

පාර්ලිමේන්තුව නිවැරදි තැනක් කරන්න නම් මූලාශ්‍ර සොයන්න ඕන. නමුත් අපි ඔත්තු සේවා සංවිධානයක් නොවෙයි නේ. අපට කළ හැක්කේ මේ තොරතුරු විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ සොයා බැලීමයි. ඒ සඳහා නව මාවතක් අප විවර කළා. මේ ඔස්සේ සොයාගන්නා තොරතුරු පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ හැකියි.

ඇත්තටම මෙසේ අප සොයා යායුතු නැහැ. හැම අපේක්ෂකයෙක්ම තමන් වියදම් කරන මුදල ජනතාවට කිවයුතුයි. තමන් තෝරාගන්නා අපේක්ෂකයා වියදම් කරන මුදල දැනගැනීම ජනතාවගේ අයිතියක්.

අපි උදාහරණයට ගනිමු ගුරුවරයෙක් ලෙස සේවය කළ අයෙක්  මැතිවරණයකට ඉදිරිපත් වෙනවා කියා. ඔහු මැතිවරණයට ඉදිරිපත්වී කෝටි දෙකක් වියදම් කරනවා යැයි සිතමු. ඔහු මුදල් ලැබුණු මූලාශ්‍ර කිව යුතුයි. මේ මුදල් එන්නේ කොහෙන්ද කියා කිව යුතුයි. පාර්ලිමේන්තුව නිවැරදි තැනක් කරන්න නම් මූලාශ්‍ර සෙවිය යුතුයි. අපි රෝ වත් සී අයි ඒ වත් නොවෙයි. 

නමුත් අපි මාවතක් විවර කළා. අල්ලස හා දූෂණයට එරෙහිව දැන් පැමිණිලි කළ හැකියි. මුලදි නම් අපි හිතුවේ කිසිවක් වෙන්නේ නැහැ කියලයි. නමුත් බොහෝ ප්‍රතිඵල තිබෙනවා.

මේ සම්බන්ධව ලෝකයේ විශාල උනන්දුවක් තිබෙනවා. ජාත්‍යන්තරයේ පෙළගැස්වීමක් තිබෙනවා. නවදිල්ල ප්‍රකාශනයට මැතිවරණ මූල්‍ය ප්‍රකාශන  නීතියට අදාලව කටයුතු කරන හැටි ගැන ජාත්‍යන්තරයේ පෙළ ගැස්වීමක් තිබෙනවා.

අප මෙවර මැතිවරණයේ දී ප්‍රධාන ආයතන තුළ 40 දෙනෙක් ද ක්‍ෂෙත්‍රය තුළ 100 දෙනෙක් ද කාර්යමණ්ඩලයේ 150 දෙනෙක් ද කටයුතු කරනවා. නමුත් අපට මේ අධ්‍යයනයේ දී සොයාගත හැකි වන්නේ මැතිවරණයේ දී වැයකරන මුදලින් 30%ත් 40% ත් අතර ප්‍රමාණයක් විතරයි. ඒක හරියට සාගරයේ පාවෙන අයිස් කුට්ටියක මුදුන වගේ. අපට පේන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. අති විශාල කොටසක් පේන්නේ නැහැ. අපේක්ෂකයින් වැය කරන මුදලත් ඒ වගේ තමයි.

මුදල් වැයකර පළ කරන දැන්වීම් ප්‍රචාරක කටයුතු අපේ ගණනය කිරීම්වලට එක් වෙනවා. නමුත් සමහර අවස්ථාවල එසේ එකතු කරගත නොහැකි ඒවා පවතිනවා. උදාහරණයක් ලෙස අපේක්ෂකයන් පවත්වන මත්පැන් සාදවලට වැය කළ මුදල අපට ගණනය කළ නොහැකියි. 

උදාහරණයක් වශයෙන් මෙවර මැතිවරණයේ දී මත්පැන් සාද පැවැත්වූ අපේක්ෂකයන් ගැන වාර්තා වෙනවා. එවැනි ඒවා අපේ ගණනය කිරීම්වලට අසුවන්නේ නැහැ. ඒවගේම නොයෙක් ත්‍යාග පිරිනැමීම් ආදිය හොර රහසේ වෙනවා. ඒවා අසුවන්නේ නැහැ. සූක්ෂම අන්දමින් වියදම් කරන බොහෝ මුදල් අපට හඳුනාගත නොහැකි වෙනවා. ”

මැතිවරණයක සුජාත භාවයට හා තරග කරන සියලු අපේක්ෂකයන් වෙනුවෙන් සම තරග බිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් මැතිවරණයකදී වැය කරන මුදල් පාලනය කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වේ. ඒ පිළිබඳව මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථාන පමණක් නොව අපේක්ෂකයන් ද ඒ ඒ දේශපාලන පක්ෂ ද එයින් ද නොනැවතී සමස්ත ජනතාවම මේ පිළීබඳ අවධානයෙන් සිටිය යුතුය.



අදහස් (0)

පාර්ලිමේන්තුව නිවැරදි තැනක් කරන්න මූලාශ්‍ර සෙවිය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site