5  

 

ඒ 1983 වර්ෂයේ ජූලි 15 දාය. වේලාව තුනයි තිහට පමණ ඇත. ගුරුනගර් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජේ්‍යෂ්ඨ බුද්ධි නිලධාරියකු වන මේජර් සරත් මුණසිංහට තොරතුරක් ලැබේ. ඒ පිළිබඳව සොයා බැලීම පිණිස ඔහු 12 දෙනෙකුගෙන් යුත් කමාන්ඩෝ කණ්ඩායමක් හා 06 දෙනෙකුගෙන් යුත් පාබල භට පිරිසක් සමග සිවිල් ඇඳුමෙන් සැරැසී තාවකාලිකව කුලී පදනම මත පවරා ගන්නා ලද බස් රථයකින් පිටත්වේ. මෙලෙස ගමන් ගත් ඔවුන් තෙන්නමාරච්චි ප්‍රදේශයේ මීසාලේ-කච්චෙයි  කළපුව දක්වා පැමිණේ. එහෙත් ලබා දුන් තොරතුරට අනුව කිසිදු හෝඩුවාවක් නැත. තරමක හුදෙකලා ප්‍රදේශයක් වූ මෙම මාර්ගය අවට පරිසරයේ සිවිල් අය පංදිචිව ඇත්තේ සීමිතවය. මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකු බස් රථයට නංවා ගත් ඔවුන් තමන් වෙත ලද තොරතුර පිළිබදව විමසූවද, නිශ්චිත හෝඩුවාවක් නොලැබුණි. එහෙයින් බස් රථය හරවා ගත් ඔවුහු එම මාර්ගයේ ආපසු ගමන් කරමින් සිටිති.


වේලාව හයයි තිහට පමණ ඇත. රථය ඉදිරියේ ඇති වංගුව වෙත ළඟා වුවා පමණි.! හදිසියේ ඔවුන් ඉදිරියට පා පැදිවල නැගී ගමන් ගන්නා තිදෙනෙක් පැමිණෙති. ඉන් එක් අයෙක් ‘රට වෙරඵ’ (ඔලිව් ග්‍රීන්) පැහැති වර්ණයට සමාන හමුදා නිල ඇඳුමකින් සැරැසී සිටී. ඔහු සතුව එස් එම් ජී (සබ් මැෂින් ගන්) වර්ගයේ අවියක් ඇත. බස් රථය ඉදිරියට පැමිණෙනවා දුටු ඔවුහු තම පාපැදි අත හැර දුවති. ක්‍ෂණිකව බස් රථයෙන් බැසගත් භටයන් කිහිප දෙනෙක් දිව යන ඔවුන් වෙත වෙඩි තබති. එම අවස්ථාවේදී එක් අයෙකු වෙඩි වැදී මිය යයි, තවෙකෙකුහට වෙඩි වැදී බරපතළ ලෙස තුවාල වේ. තෙවැන්නා හට වෙඩි වැදුනද, දිව යා හැකිය. මෙහිදී දෙවැන්නා -මට වෙඩි තියපං ... මට බැහැ අහු වෙන්න” ... යනුවෙන් පවසයි. ඒ අනුව තෙවැන්නා තම සගයා වන දෙවැන්නාගේ හිසට වෙඩි තබා පලා යයි. 

SLD_20160724_B014
වේලාව හයයි හතළිස්පහට පමණ ඇත. මේජර් මුණසිංහ අධාර භට කණ්ඩායම අමතා, ඔවුනට වහා පැමිණෙන ලෙස පවසයි. ඒ අනුව එම කණ්ඩායම භාර නිලධාරී අණදෙන මේජර් අසෝක ජයවර්ධන තම කණ්ඩායම සමගින් අදාළ ස්ථානයට ළඟා වේ. වේලාව හතයි පහට පමණ ඇත. පැමිණි අතිරේක භට පිරිස් සමග එකතුව ප්‍රදේශය පීරා සෙවීම ආරම්භ කරයි. ඒ අනුව වෙඩි තැබු ස්ථානයේ සිට මීටර් 100ක් හා මීටර් 200ක පමණ දුරකින්  මියගිය සිරුරු දෙකක් හමුවේ. පසුව, සිවිල් අයගෙන් ලත් තොරතුරක් මත මේ  පුද්ගලයන්  නැවතී සිටි නිවස සොයා ගනී. එය කච්චෙයි හා කොඩිකාමම් අතර වෙල්ලම්පොක්කඩි නැමති ප්‍රදේශයේ පිහිටි හුදෙකලා නිවසකි. නිවස පරීක්‍ෂා කිරීමේදී රහස් සංකේත භාවිතයෙන් ලියා තිබූ ලියවිල්ලක් හා අභ්‍යන්තරයේ යම් ද්‍රව්‍යයක්  ඇතුළු කර ඇති සේ දිස් වන අඟලක් පමණ දිගැති කුඩා වීදුරු බටයක් හැර වෙනත් කිසිදු වැදගත් යමක් නිවස තුළ නොතිබිණි. (මෙම වීදුරු බටය අන් කිසිවක් නොව ‘සයනයිඩි කරල’ බව පසුව හෙළිවේ). මේ අතර පොලිසියද පැමිණ මළ සිරුරු පරීක්‍ෂා කරයි. එහෙත් කිසිවකු හට මිය ගොස් ඇත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීමට මේ දක්වා නොහැකි විය. කෙසේ වුවද අදාළ මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා, සිරුරු යාපනය රෝහලේ මෘත ශරීරාගාරය වෙත භාර දේ. 


වේලාව නවයයි හතළිස් පහයි. ගුරුනගර් මුලස්ථානයට තොරතුරු සපයන ‘ක්‍ෂ්වියර්’ යන අනවර්ථ නමින් හඳුන්වන රහස් ඔත්තුකරු ගෙන්වා මෙසේ මිය ගොස් සිටින්නේ කවුදැයි යන්න හඳුනාගැනීමට මේජර් මුණසිංහ උත්සාහයක් දරයි.  මෙහිදී ‘ක්‍ෂ්වියර්’ එක් මළ සිරුරක් හඳුනා ගනී. හඳුනා ගත් අයගේ නම කියු විට එහි සිටි කිසිටවකුටත් අදහා ගැනීමට නොහැකි විය. ඊට හේතුව නම් මෙලෙස මිය ගොස් සිටින්නේ අන් කවරෙකු හෝ නොව ‘සීලන්’ හෙවත් ‘චාර්ලස් ඇන්තනි’ වීමය! ඔහු එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ දකුණ අත හා සමාන සහ එල්ටීටීඊ සංවිධානයේ මේ දක්වා සිදු කර ඇති ප්‍රහාරයන් සියල්ලටම පාහේ නායකත්වය ලබා දුන් අයෙකි. චාවකච්චේරි පොලිස් ස්ථානයට ප්‍රහාර එල්ල කිරීමේදී සීලන් වරක් පොලිසිය තැබූ වෙඩි පහරකින් තුවාල ලබා තිබුණි. සීලන්ගේ පදිංචි ස්ථානය ත්‍රිකුණාමලය විය. මේජර් මුණසිංහ සීලන්ගේ මවට හා යාපනයේ පදිංචිව සිටී ඔහුගේ ඥාතියෙකුහට අදාළ මළ සිරුර හඳුනාගැනීමට පැමිණෙන ලෙස දැනුම් දේ. මේ අතර මියගිය අනෙක් එල්ටීටීඊ සාමාජිකයා අරුල්නාදන් ලෙස හඳුනා ගනී. හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ මළ සිරුරු තෙලිප්පලේ පොදු සුසාන භුමියේදී පොලිසියේ අනුග්‍රහය මත මිහිදන් කෙරේ.

23-Page-25-S2
දිනය: ජූලි 17 වැනිදාය. සීලන් හා අනෙක් සමාජිකයා වු අරුල්නාදන්ගේ මිය යෑම දක්වමින් පෝස්ටර් යාපනය අර්ධ ද්වීපය පුරා අලවයි.  සීලන් ලුතිතන් ධූරයට උසස් කර ඇති බව පෝස්ටර්වල සදහන් වේ. ලද තොරතුරුවලට අ!නුව වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා පැනගත් එල්ටීටීඊ සාමාජිකයා කොනේෂන්ය. ඔහු, වෙඩි වැදී දිව යාමට නොහැකිව බිම ඇද වැටුණු සීලන්ගේ ඉල්ලීම පරිදි හිසට වෙඩි තබා පලා ගොස් ඇති බව හෙළිවේ.


ප්‍රභාකරන්, මේ සියල්ල දැන ගත් පසු, සිදුවු පාඩුව පිළිබඳව මහත් සේ දුකට හා කෝපයට පත්වේ. 25 දෙනෙකු පමණ සිටි තම කණ්ඩායමේ ඉතා විශ්වාසවන්තයකු හා ක්‍රියාශ්‍රීලී සාමාජිකයා මෙසේ මිය යාම ඊට හේතුවයි. මීට පෙර හමුදාව සිදුකළ ප්‍රහාරයකදී මිය ගොස් ඇත්තේ ශංකර්ය.  ඒල්ටීටීඊයේ පළමු මියගිය සාමාජිකයා ඔහු විය. ඒ 1982 වර්ෂයේදී චාවකච්චරි පොලිසියට පහර දීමෙන් සතියකට පසුව අහඹු සිදුවීමක් මුල් කොට ගෙන ක්‍රියාත්මක කළ සෝදිසි කිරීමකදීය. එනම් එවකට යාපනය නගරයේ නවලර් පාරේ අංක 330 දරණ ස්ථානයේ, එල්ටීටීඊය සමඟින් ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවත්වා ගෙන ආ නිර්මලා, නිත්‍යානන්දන් යුවළ පදිංචිව සිටි නිවස, ගුරුනගර් මුලස්ථානයේ සිට පැමිණි හමුදා කණ්ඩායමක් වැටලීමේදී, එහි පැමිණ සිටි ශංකර් පැන ගියේය. පැන යාමේදී තැබු වෙඩි පහරකින්  තුවාලව, ප්‍රතිකාර නොමැතිවීම හේතුවෙන් දින දෙකකට පසු ඔහු මිය ගියේය. ඒ නොවැම්බර් 27 වැනිදාය. මෙහිදී ප්‍රභාකරන් එම දිනය, එල්ටීටීඊයේ ‘මහා වීර දිනය’ ලෙස නම් කළේ ශංකර් හා ඔහුගෙන් පසුව, මිය යන සාමාජිකයන් සිහිවීම පිණිසය. එසේම තම පුත්‍රයා ‘චාර්ල්ස් ඇන්තනි’ ලෙසද තම විශේෂ ප්‍රහාරක කණ්ඩායම ‘චාර්ල්ස් ඇන්තනි බි්‍රගේඞ්’ යන ලෙසද නම් කළේ තම ආසන්නම සගයා වූ සීලන් සිහිවීම පිණිසය. 


දිනය ජූලි 18 වැනිදාය. එල්ටීටීඊ නායක ප්‍රභාකරන්, සෙල්ලක්කිලි ඇතුළු සාමාජිකයන් කිහිප දෙනකු රහසිතව හමුවේ. සීලන් සහ අරුල්නාදන් මරා දැම්ම සම්බන්ධයෙන් හමුදාවෙන් පළිය ගත යුතු බවට මෙහිදී යෝජනා කෙරේ. ඒ සඳහා සැලසුම් සකස් කොට එය මෙහෙයවීමට ප්‍රභාකරන් සෙල්ලක්කිලි හට උපදෙස් දේ. ඒ අනුව ජූලි 19, 20, 21, හා 22 යන දිනයන්හි සෙල්ලක්කිළි ඇතුළු  එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙක් සුදුසු හමුදා ඉලක්කයක් සොයති. මෙහිදී ඔවුහු  මාදගල් කඳවුරේ සිට යාපනය නගරය දක්වා ගමන් ගන්නා ජීප් රථයකින් හා ට්‍රක් රථයකින් යුක්තවූ රාත්‍රී මුර සංචාරයක් ඉලක්ක කර ගැනීමට සැලසුම් කරති. එය ‘ෆෝර් ෆෝර් බ්‍රාවෝ’ නැමැති රහස් සංකේතයෙන් හඳුන්වනු ලබන නිලධාරියෙකු හා සෙසු නිලයන් 15 දෙනෙකුගෙන් සමන්විත වූ ජංගම මුරසංචාරයකි. ප්‍රහාරය සඳහා ඔවුහු  යාපනය පලාළි මාර්ගයේ, තින්නවේලිහි ස්ථානයක් තෝරා ගනිති.   


දිනය: ජුලි 23 වැනිදාය. වේලාව රාත්‍රී 10.20ට පමණ ඇත. ලුතිතන් වාස් ගුණවර්ධන අණ දුන් ‘ෆොර් ෆොර් බ්‍රාවෝ’ මුර සංචාරය එල්ටීටීඊයේ රැක සිට පහර දීමකට ලක්වේ. එම නිලධාරි  ඇතුළු 13 දෙනෙක් මිය යති. මෙම සිද්ධිය හමුදාව තුළ  විස්මය දනවයි. ප්‍රහාරයන්ට ලක්ව සෙබළුන් මිය ගිය අවස්ථා කිහිපයක් ඊට පෙර වාර්තා වුවද ඒ සියලු අවස්ථාවන්හිදී මිය ගොස් ඇත්තේ එක් අයෙකු හෝ දෙදෙනෙකු හෝ පමණක් වීම ඊට හේතුවයි. එසේම ඒ සියලු අවස්ථාවන්, පාලනමය හා ස්ථානීය මුර රාජකාරි කටයුතුවල නිරවීමේදී ඇතිවූ සිදුවීම් මිස මෙවැනි රාත්‍රී මුර සංචාරයන්හිදී ඇති වූ සිදුවීම් නොවේ.


කෙසේවුවද සිද්ධිය පිළිබඳව වාර්තාවීම රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතු වුවද දෙමළ ජාතීන් ඉලක්ක කොට ගත් කිසිදු සිදුවීමක් ඒ දක්වා සිදු නොවිණි. එහෙත් මිය ගිය නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සිරුරු මිහිදන් කිරීම කෙසේ සිදු කළ යුතුද යන්න තීරණය කිරීමේදී ඇතිවූ ප්‍රමාද දෝෂ හා දුර්වලතාවන් එකී නොසන්සුන් බව, ඝාතන, කොල්ලකෑම් හා දේපළ විනාශ කිරීම් වැනි සිදුවීම් මුල් කොට ගත් ‘කළු ජූලියක්’ බවට පත් කිරීමට තරම් ප්‍රමාණවත් විය. පළමුව එම සිරුරු යාපනයේ හෝ වවුනියාවේ මිහිදන් කිරීමට තීරණය කෙරිණි. හමුදාපති ඊට විරුද්ධවීම හේතුවෙන් අදාළ සිරුරු කොළඹ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට පසුව තීරණය කෙරිණි. එය සැලවීමෙන් පසු සුසාන භුමිය අවට ප්‍රකෝපකාරී පිරිස් රැස්විණි. ඔවුන්ගේ ප්‍රචණ්ඩත්ව හැසිරීම ප්‍රයෝජනයට ගැනීම සඳහා මාන බලමින් පිරිසක් සිටියහ. ඒ අන් කවරෙකු හෝ නොව දේපළ කොල්ලකෑම සඳහා මෙම තත්ත්වය වාසියට හරවා ගැනීමට සුදුසු අවස්ථාවක් එළඹෙන තෙක් බලා සිටි කොල්ලකරුවන් හා මැරවරයන්ය. කෙසේ හෝ, පසුව හමුදා මූලස්ථානය අදාළ සිරුරු ළඟම ඥාතියා වෙත යැවීමට පියවර ගත්තේය. එහෙත් ඒ වන විට වැළැක්වීමට අපේක්‍ෂා කළ සියලු ව්‍යසනයන් සිදුවී හමාරය. තත්ත්වය පාලනය කිරීමටද අතිරේක බළඇණි අද මෙන් එදා නොතිබිණි. සමස්ත යුද හමුදාව සතුව තිබුණේ නිත්‍ය බළඇණි හතරක් පමණි. එහෙයින් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට සිටි භට පිරිස් කිසිසේත් ප්‍රමාණවත් නොවිණි.


‘කළු ජූලිය’ ඇති වීමට හේතුවූ පසුබිම සැබැවින්ම අහඹු ලෙස ඇති වුවකි. සීලන් හමුදා ප්‍රහාරයකින් මිය යාමේ සිට ‘කළු ජූලිය’ අවසානය දක්වා සිදුවූ සිදුවීම් ශ්‍රී ලංකාවේ එතෙක් ආ ගමන් මග වෙනස් කර පූර්ණ සන්නද්ධ ගැටුමක් දක්වා වර්ධනය වීමට හේතු විය. 25කට නොවැඩි සාමාජික සංඛ්‍යාවක් සිටි එල්ටීටීඊය ඇතුළු ‘ටෙලෝ’, ‘ප්ලොඞ්’, ‘ඊපීආර්එල්එෆ්’ යන ප්‍රධාන සන්නද්ධ කල්ලි වෙත දහස් සංඛ්‍යාවක තරුණයන් බැඳීමට තරම් අදාළ තත්ත්වයක් උදා කිරීම, ‘කළු ජූලිය’ විසින් ඇති කරනු ලැබූ ප්‍රධානතම අතුරු ප්‍රතිථලයයි. ඒ දක්වා ඉතා ‘පහළ පැතිකඩක’ (ලෝ ප්‍රොෆයිල්) තිබූ උතුරු හා නැගෙනහිර ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය වීම මින් ඇතිවු තවත් අතුරු ප්‍රතිථලයකි. ඒ දක්වා නිල නොවන අන්දමින් බලපෑමක් ඇති කළ ඉන්දියාව, එල්ටීටීඊය ඇතුළු කණ්ඩායම් සන්නද්ධ කිරීම හා ඔවුනට අවැසි පුහුණුව ඇතුළු නඩත්තුව යනාදිය ලබාදීම සඳහා සෘජුවම ඉදිරිපත්වීම මෙයින් ඇතිවු අනෙක් බලපෑමයි. එසේම අවතැන්වු හා දිවි බේරා ගත් ඇතැම් දමිළ පුරවැසියන් විදේශයන් වෙත ගොස් පදිංචිවීම හා ඔවුන් ඒකාබද්ධ වීමෙන්  ‘දෙමළ ඩයස්පෝරාවක්’ බිහිවීම යනාදියට හේතුව  ‘කළු ජූලිය’ මිස අන් කිසිවක් නොවේ. ආරම්භයේදී දමිළ ප්‍රජාවගෙන් බහුතරයක්, එල්ටීටීඊය ඇතුළු අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් කෙරෙහි  දැක්වුයේ නොකැමත්තකි. එහෙත් ‘කළු ජූලිය’ ඔවුන් දැරූ එම මතය වෙනස් කිරීමට සමත් වූ අතර එල්ටීටීඊය ඇතුළු සන්නද්ධ කණ්ඩායම් වෙනම රාජ්‍යයක් සදහා සටන් කිරීම සාධාරණීකරණය කිරීමට පවා හේතු විය. මේ සියල්ලටම  අමතරව තවත් සුවිශේෂි දෙයක් සිදුවිය. එය සැබැවින්ම, බාහිරින් බැලූ බැල්මට නොපෙනුණ සංසිද්ධියකි. එනම් එල්ටීටීඊය තුළ බලවත් ලෙස අඩුවක් ලෙස පැවැති මානව සම්පත් ඇතුළු සියලු අවශ්‍යතාවන් සපුරා ගැනීමට මඟ පෙන්වූ ‘කළු ජුලිය’ සිදුවු එකී ‘ජූලි මාසය’ එල්ටීටීඊයට සුවිශේෂී වීමය. 


කෙසේ වුවද බෙදුම්වාදී සටනේ ආරම්භය ජූලි මස සිදුවූ තින්නවේලි ප්‍රහාරය නොවේ. එහෙත් එහි ප්‍රතිපලයක් ලෙස ඇතිවු ‘කළු ජූලිය’ බහුතරයක් වු දෙමළ ප්‍රජාව තුළ ඒ දක්වා රෝපණය නොවී තිබූ බෙදුම්වාදයක් ඇති කිරීමට සමත්විය. එසේ කීවද උතුරේ කිසිදු ප්‍රචණ්ඩත්වයක් ‘කළු ජූලියට’ පෙර නොතිබු බව මින් අදහස් නොකෙරේ. බුද්ධි වාර්ථාවලට අනුව පළමු ප්‍රචණ්ඩත්ව සිදුවීමක් වාර්තා වන්නේ 1972 වසරේ මැයි 21 දිනදීය. එය, ශ්‍රී ලංකාව ජන රජයක් බවට  ප්‍රකාශයට  පත් කිරීමට විරෝධය පෑම පිණිස ප්‍රධාන විදුලි සැපයුම් කේබලයට හානි සිදුකර යාපනය අර්ධ ද්වීපය අඳුරේ තැබීමට තැත් කිරීමය. එතැන් සිට 1983 ජූලි මස 23 වනදා දක්වා විවිධ ප්‍රචණ්ඩත්ව සිදුවීම් 67ක් වව්නියාව හා මන්නාරමද  ඇතුළුව  යාපනය අර්ධ ද්වීපයේ සිදුවී ඇත. මින් 26ක් දමිළ සිවිල් පුද්ගල ඝාතනයන්ය. ඉන් 05 දෙනෙක් පොලිසියට ඔත්තු සපයන්නන් වූහ. දේශපාලනයට සම්බන්ධ වු අය ඝාතනය කිරීම් 11කි. එවැනි ඝාතනන් සිදු කිරීමට තැත් කිරීම් ගණන 06කි. ඒ සියලු අය දමිළයෝ වූහ. පොලිස් සාමාජිකයන් ඝාතනය කිරීම් ගණන 31ක් විය. ඉන් 13ක් සිංහළ ජාතිකයන් වු අතර සෙසු 18 දෙනා දමිළ ජාතීන්ය.  හමුදා සාමාජිකයෝ 07ක් විවිධ ප්‍රහාරයන් 5 කදී ඝාතනය විය. මින් 02ක් ගුවන් හමුදා සාමාජිකයෝ වූහ. මෙකී ඝාතනයන්ට අමතරව සිදුවු බැංකු මංකොල්ල ගණන 07කි. ඒ අතර, අසාර්ථක බිම් බෝම්බ පිපිරීම් 02ක් සිදුවිය. පොලිස් ස්ථාන 02ක් ඉලක්ක කොට ගත් ප්‍රහාර 02ක්ද සිදුවිය. කටුනායක ගුවන් තොටුපළේ නවතා තිබූ ඇව්රෝ ගුවන් යානය විනාශ කිරීම හා කොළඹ බලා ගමන් කළ තැපැල් දුම්රියේ බෝම්බයක් පිපිරවීම මේ අතර සිදුවු තවත් සිදුවීම් 02කි. මෙකී ප්‍රධාන  සිදුවීම්වලට අමතරව කඩාකප්පලකාරී ක්‍රියා, වෙඩි තැබීම්, බස් රථ ගිනි තැබීම් වැනි  විවිධ අන්දමෙම් සන්නද්ධ-ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී ඇත. එසේම මේ සියලු ප්‍රචණ්ඩත්ව ක්‍රියාවන් එල්ටීටීඊය පමණක් නොව අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් විසින්ද සිදුකරනු ලැබූ ඒවාය. එහෙත් මෙකී කිසිදු සිදුවීමකදී එල්ටීටීඊය හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායමක් විසින් හෝ උතුරේ එවකට විසු 4600 කට පමණ ආසන්න සිංහල ප්‍රජාව ඉලක්ක කොට ගෙන කිසිදු ප්‍රහාරයක් සිදු කොට නොමැත. එසේම උතුරේ එවකට විසු සිංහල බහුතරයකගේ ජීවනෝපාය වුයේ වෙළදාමය. ඔවුන් කිසිවෙකුට හෝ කිසිදු අන්දමේ තර්ජනයක් කිසිදු අයෙකුගෙන් හෝ එල්ල නොවී තිබීම මෙහි ඇති අනෙකුත් විශේෂත්වයයි. 


එහෙත්, 83 ‘කළු ජූලිය’ ඒ සියල්ල වෙනස් කළේය. ඒ දක්වා කිසිදු තර්ජනයකින් හෝ බාධාවකින් තොරව සාර්ථකව වෙළෙහෙළඳාම් කටයුතුවල යෙදුණු උතුරේ සිංහළ ප්‍රජාව මෙන්ම කොළඹ හා දකුණු ප්‍රදේශයේ විසූ දමිළ ප්‍රජාවද  අවතැන් කිරීමට එය සමත් විය. එපමණක්ද? නැත! සිංහල ප්‍රජාව මුල් කොට ගත් එල්ටීටීඊයේ ‘එත්නික් ක්ලෙන්සින්’ හෙවත් ‘ජාති ශුද්ධිකරණ’  ප්‍රහාර ක්‍රියාවලිය ආරම්භවුයේ ඉන් පසුවය. එතෙක් පොලිසිය, හමුදාව, දේශපාලකයන් ඔත්තු සපයන්නන් යනාදි ඉලක්කයන් පමණක් එල්ලකොට ගත් සිදුවූ ප්‍රහාර මුළුමනින්ම ජාතිවාදී ස්වරූපයකට පෙරළීමට තරම් ‘කළු ජුලිය’ දරුණු වූ බව එයින් පෙනේ. එය විශේෂයෙන්ම එල්ටීටීඊයේ ජාතිවාදය පදනම් කොට ගත් ප්‍රචණ්ඩත්ව හැසිරීම තුළින් නිරීක්‍ෂණය විය. සිංහල ජන වහරේ ප්‍රසිද්ධ ප්‍රස්ථා පිරුළක්වු ‘අඬන්න සිටි අයගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් මෙන් ‘කළු ජූලිය’, එල්ටීටීඊයට බලපා ඇත. එහෙත් එය, ‘ටෙලෝ’, ‘ප්ලොට්’, ‘ඊපිආර්එල්එෆ්’ යන කණ්ඩායම් කෙරෙහි බලපා ඇත්තේ වෙනස් අයුරිනි.  සන්නද්ධ කල්ලි අතර, හා විශේෂයෙන් එල්ටීටීඊය සමඟින් තිබූ දරුණු මතවාදී හා පුද්ගලවාදී ගැටුම් මෙන්ම කුලවාදය ඊට හේතුවයි. එල්ටීටීඊය මෙන් සිංහළ ජාතිය හා උතුරේ සිංහලයන් විසු ගම්මාන ඉලක්ක කොට ගත් ප්‍රහාරයන් සිදු කිරීමෙන් එකී කණ්ඩායම් වැළකී සිටීම මඟින් එය මනාව පැහැදිලි විය. කෙසේ වුවද බෙදුම්වාදී සන්නද්ධ අරගලය පරාජය කරා රැගෙන යාමට සන්නද්ධ කල්ලි අතර තිබූ මෙම අසමගිය එක් ප්‍රධාන හේතුවකි.


1983 වර්ෂයේ ‘කළු ජූලියෙන්’ ආරම්භව බෙදුම්වාදී සන්නද්ධ ගැටුම පැවැති තිස් වසරක කාලය තුළ සටන උච්චව පැවති ඇතැම් වර්ෂයන්හිදී ජූලි මාසය  විශේෂිත සිදුවීම්වලින් යුත් සුවිශේෂී මසක් බවට පත්වී ඇත. මෙසේ ඇති වු එම සිදුවීම් අතුරින් එක් කොටසක් පැවතුණු තත්ත්වයේ වෙනස්වීම් මත ඇතිවූ ඒවාය. එයට අනුව බෙදුම්වාදී සන්නද්ධ සටනේදී සන්නද්ධ කණ්ඩායම් සමඟ පැවැති පළමු සාකච්ඡාව 1984 වර්ෂයේ ජූලි 13 පැවැත්වේ. ඒ සඳහා ඔවුන් පැනවූ කොන්දේසියකට අනුව වැල්වැටිතුරය, මාදගල් හා තොන්ඩමනාරු කඳවුරු ඉවත් කෙරේ.  එල්ටීටීඊයේ පළමු ස්වයංඝාතක ප්‍රහාරය සිදුවන්නේ 1987 වර්ෂයේදීය. ඒ ජූලි 05 වනදාය. එනම් එල්ටීටීඊයේ ‘මිලර්’ නැමති සාමාජිකයා පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් පදවා ගෙන විත්, නෙල්ලිඅඩි කඳවුර ඉදිරියේ එය පුපුරුවා හැරීම හා ඒ සමගම කඳවුරු පහාරයක් ආරම්භ කිරීමය. ඉන් පසු එල්ටීටීඊය, නැවත වරක් පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් භට පිරිස් ස්ථානගතව සිටි යාපනයේ කොටුව අසල පිහිටි විදුලි සංදේශ ගොඩනැගිල්ල වෙත ධාවනය වීමට සලස්වා එය පුපුරුවා හැර කඳවුරු ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ජූලි 27 වනදාය. ඉන් අනතුරුව, සිදු වන්නේ ඉන්දියානු මැදිහත්වීම මුල් කොට ගත් ඉන්දියානු අගමැතිගේ  පැමිණීම,  ඉන්දීය හමුදාව ගුවනින් හා මුහුදින් ගොඩ ලෑම යනාදිය ඇතුළත් සිදුවීම් මාලාවය. එහි  ආරම්භය ජූලි 29 වැනිදා සිදුවිය.