යහපාලන රජය සමයේ බරපතළ වංචා විමර්ශන කාර්යංශය ඇතුළු තවත් ඒකක පිහිටැවුනේ 2015 ජූනි මස 2 වැනිදා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ප්‍රකාරවය. එදින කැබිනට් රැස්වීමේ මුලසුන හෙබවූයේ ජනපති සිරිසේන මහතාය. 

පැවැති පාලන සමයේ සිදුව තිබෙන මහා පරිමාන වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමටත්, වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙන්ම අනාගතයේ මෙවැනි සිදුවීම් සිදුනොවීම සදහා ගතහැකි පියවර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, ඒවා ඇති කැරෙන බව හිටපු අගමැතිවරයා පැවසුවේය. 

දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු සදහා ඔහු ඉල්ලා සිටි ලක්ෂ 75ක මුදලට, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. එහෙත්, සමස්තයක් ලෙස ලක්ෂ 330 ක මුදලක් එහි කටයුතු සදහා වැය කර තිබෙන බව කොමිසම පවසා තිබේ. 

2015 පෙබරවාරි මස 12 වැනිදා, එවක කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ මහතා හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා වෙත ෆැක්ස් පණිවුඩයක් යැවූයේය. මහජන මුදල් සහ දේපළ සම්බන්ධයෙන් වන බරපතල මුල්‍ය අපරාධයන් පිළිබද වන කාරණා විමර්ශනය කිරීම සදහා වෙනම කොට්ඨාසයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි එම පණිවුඩයෙන් ඔහු දන්වා සිටි අතර, 2015 පෙබරවාරි මස 13 වැනිදා, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නව පොලිස් අංශයක් ස්ථාපිත කැරෙන බව සදහන් වූ ගැසට් පත්‍රයකට, ඔහු අත්සන් තැබීය. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය, නැතහොත් එෆ්සීඅයිඩීය, ලෙස හැදින්වෙන්නට ගත්තේ මෙම නව අංශයයි.


දේශපාලන ඇඟිලි ගැසීම්


2017 වසර වන විට දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු දේශපාලන ඇගිලි ගැසීම්වලින් ඔද්දල්වී පැවැතිණ. කාර්යාලයට ලැබුණු රහසිගත වාර්තා සහ ලිපිගොනු අතිනත යමින් තිබුණේ බස් ටිකට් මෙනි. ආයතනික වශයෙන් පැවැති ගැටලු ගණනාවක් ද, විය. 

චෝදනා නැගී තිබූ අය අතරින්, විශාල බැංකු ගිණුම් හිමිව තිබූ අයවලුන්ගෙන් මුදල් කඩාගැනීම් සිදුවන බවටත් දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට චෝදනා නැගිණ. මේ මධ්‍යයේ අගමැති වික්‍රමසිංහ මහතා 2017 ජූනි මස 30 දාතමින් යුතු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය. රහසිගත යැයි එය වර්ග කර තිබිණ. 

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය දැන් ක්‍රියාකාරීව පවතින හෙයින් දූෂණ විරෝධී ලේකම් කාර්යාලය මින් ඉදිරියට පවත්වාගැනීම අවශ්‍ය වන්නේ ද, නොවන්නේ ද, යන්න සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇතැයි ඔහු පැවසුවේ ය. එහිලා, කැබිනට් අමාත්‍යවරුන්ට සුදුසු තීරණයක් ගැනීම සදහා මෙය ඉදිරිපත් කරන බව අගමැතිවරයා සදහන් කළේ ය. මෙසමයෙහි, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ මහා පරිමානයෙන් වංචා සහ දූෂණයන් සිදුවෙමින් පවතින බවට බරපතල චෝදනා නැගී තිබුණු අතර, අවසන තීරණය වූයේ එය වසා දැමීමටය. නමුත්, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය දිගටම ක්‍රියාත්මක විය. නව රජය බලයට පත්වීමෙන් පසුව එහි කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පවරා දෙනු ලැබීණ. 

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සභාපතීත්වය දැරූ ජනපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවෙන්, දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටුවීමෙන් හිටපු අගමැති වික්‍රමසිංහ, යහපාලන රජයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් සහ රජයේ නිලධාරීන් ඇතුලු පුද්ගලයින් 22 ක්, ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතුවා සේම මහජන දේපළ අවභාවිතා කිරීමක් ද සිදුකර ඇතැයි දක්වා තිබේ. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරු මෙම කොමිසමේ අනෙක් සාමාජිකයෝ වූහ.


ව්‍යවස්ථාව උල්ලංඝණය 

අගමැතිවරයාට අමතරව, ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතිවා සේම මහජන දේපළ අවභාවිතා කර ඇතැයි කොමිසමේ අවසන් වාර්තාවෙන් චෝදනා නඟා ඇති තවත් අය මෙසේය.

හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨළී චම්පික රණවක, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම සහ සරත් ෆොන්සේකා, දෙමළ සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, නීතිඥ ජේ.සී.වැලිඅමුණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු අගමැතිවරයාගේ ලේකම් සමන් ඒකනායක.

එසේ වුවත්, දූෂණ විරෝධී කමිටුවේ රැස්වීම්වලට සහභාගීව ඇතැයි එම කමිටුවේ රැස්වීම් වාර්තාවල පවා සඳහන් ඉහළ පෙලේ දේශපාලකයකුගේ නම, මෙම ලැයිස්තුවට ඇතුළත්ව නොතිබීම, කැපී පෙනේ.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමෙන් සහ ප්‍රතිවාදී දේශපාලඥයින් සාවද්‍ය චෝදනා මත ත්‍රස්ත විරෝධී පණත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන්, හිටපු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, එම තනතුරු භාරගන්නා විට ඔවුන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දුන් දිව්රුම කඩකර ඇතැයි ද, කොමිසමේ වාර්තාවෙන් පෙන්වා දී, ඇත.

ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වන කාරණා විභාග කිරීම සදහා ව්‍යවස්ථා අධිකරණයක් මෙරට නොමැති හෙයින් අදාළ පුද්ගලයින්ට පැනවිය හැකි දඩුවම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා තවත් විශේෂ ජනපති විමර්ශන කොමිසමක් පිහිටුවීමට නිර්දේශයක්, මෙම කොමිසම් වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ.

මේ නිසාම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට මේ වන විට ඇතුළත් කර තිබෙන යෝජනාවෙන් කොමිසම් වාර්තාවේ අයිතම අංක 8 ට අදාළ වන සියලුම කාරණා ඉවත් කර ඇත. 

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් මෙකී විශේෂ ජනපති විමර්ශන කොමිසම පත්කර තිබෙන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, කේමා කුමුදිනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීහු එහි සාමාජිකයෝය.

කෙසේවුවත්, අයිතම අංක 9 සහ අයිතම අංක 10, යටතේ සදහන් වන තීන්දු සහ නිර්දේශයන් විවාදයට ලක්කර ක්‍රියාත්මක කරවීම සදහා පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවට මෙම යෝජනාවෙන් වැඩිදුරටත් දක්වා තිබේ. අයිතම අංක 9 යටතේ, ඉදිරිපත් වූ චෝදනා 61 ක් අරබයා කොමිසම ගෙන තිබෙන තීන්දු සහ නිර්දේශයන් අන්තර්ගත වේ. සමස්තයක් ලෙස සියලුම සිදුවීම් සැළකීමේ දී, කොමිසම නිර්දේශ කර තිබෙන්නේ පැමිණිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩු සියල්ල ඉවත් කරගන්නා ලෙස සහ එම පැමිණිලිකරුවන්ට එරෙහිව නඩු ගොනු කිරීමට කටයුතු කළ විමර්ශන නිලධාරීන්ට එරෙහිව අදාළ පියවර ගන්නා ලෙසය.

විමර්ශන නිලධාරීන් කර ඇත්තේ තමන්ට ලැබුණු නියෝගය ක්‍රියාත්මක කිරීමයි. එහෙත් තවත් අතකින් බලන කල්හි එය තමන්ගේ රැකියාව කිරීමේදී තිබෙන අනතුරුදායක තත්ත්වයයි. 

සිසුන් 11 දෙනෙක් පැහැර ගැනීම සහ අතුරුදන් කරවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ වෙනත් නාවික හමුදා නිලධාරීන්, බැසිල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, උදය ගම්මන්පිල, රොහාන් වැලිවිට, නාලක ගොඩහේවා, ජාලිය වික්‍රමසූරිය, නිස්ශංක සේනාධිපති, රෝහිත බෝගොල්ලාගම සහ උදයංග වීරතුංග, එසේ නඩු ඉවත් කරන්නැයි කොමිසමෙන් නිර්දේශ කර කර තිබෙන පුද්ගලයින් අතරින් ප්‍රධානය. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට දීමනා ලබාදෙන ලෙසත්, ඔවුන් දරමින් සිටි තනතුරුවල නැවත පිහිටුවන ලෙසත් මෙන්ම ඔවුන්ගෙන් උදුරා ගනු ලැබුණු උසස්වීම් ආදිය ලබාදෙන ලෙසත්, කොමිසමෙන් නිර්දේශ කර තිබේ.

මෙම යෝජනාව කරළියට ගෙන ඒමට ප්‍රථම, පසුගිය 9 වැනිදා පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අතිශය උණුසුම් ස්වභාවයක් ගත්තේ ය. 

විපක්ෂයේ දේශපාලන පක්ෂ, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් වූ කොමිසමේ වාර්තාව පිළිබද විවාදයක් ඉල්ලා සිටීම එයට හේතුව විය. මෙම රැස්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද, එක්ව සිටියේ ය. කෙසේවුවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කොමිසම් වාර්තාවේ විවාදය තවදුරටත් පවත්වාගෙන යා යුතුව තිබෙන බව රජය පාර්ශවයේ අදහස විය. එහිලා, මන්ත්‍රීවරුන් 108 දෙනෙක් පමණම තවමත් අදහස් දක්වා නොමැති බවත්, පෙන්වා දෙනු ලැබිණ. 

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් වන කොමිසමේ වාර්තාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතුයැයි දිගින් දිගටම අවධාරණය කළෝ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ සාමාජික ඒබ්‍රහම් සුමන්තිරන් සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වූහ. ඒ අනුව, අප්‍රේල් මස 19, 20 සහ 21 දිනයන් එම විවාදය සදහා වෙන් කිරීමට අවසරය හිමිවිය. 

මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සදහා වන පසුබිම සහ කරුණු දැක්වීම, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවක් හරහා සිදුකිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේ ය. 2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව, එතෙක් තනතුරු දරමින් සිටි රාජ්‍ය නිලධාරීන්, රජයේ සේවකයින්, යුද විරුවන් මෙන්ම දේශපාලකයින්, ඔවුන් දරමින් සිටි දේශපාලන මතය මත පදනම්ව සහ අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිධානවල වුවමනා මත පදනම්ව, දේශපාලන පළිගැනීම්වල ගොදුරු බවට පත්වීමේ වාර්තා පවතින්නේය යන කාරණය ඔහු එම පත්‍රිකාවෙන් අවධානයට ලක්කර තිබිණ.


නිකරුනේ දඬුවම්

මෙම දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සදහා, 2015 ජනවාරි මස බලයට පත්වූ යහපාලන රජය ජාතික ව්‍යවස්ථා කවුන්සිලය, දූෂණ විරෝධී කමිටුව සහ ඒ හරහා මුල්‍ය අපරාධ විමර්ශන බියුරෝව යැයි නීතිවිරෝධී ආකාරයෙන් දේශපාලන ව්‍යුහයන් පිහිටුවීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වේ. 

මුල්‍ය අපරාධ විමර්ශන බියුරෝව යනු නිල නොවන පොලිස් අංශයකි. එම අංශය, ඉහත සදහන් කළ ජාතික ව්‍යවස්ථා කවුන්සිලය සහ දූෂණ විරෝධී කමිටුව යන ව්‍යුහයන් ද්විත්වයටම, දේශපාලන පිළිගැනීම් තෘප්ත කැරෙන ආකාරයෙන් යම් යම් පුද්ගලයින් සම්බන්ධයෙන් පවතින්නේය යැයි කියැවුණු චෝදනා යොමු කිරීමට කටයුතු කර තිබේ. ඒ හරහා ඔවුන්, දේශපාලන නායකයින්ට, රාජ්‍ය නිලධාරීන්ට, ආරක්ෂක අංශ සාමාජිකයන්ට මෙන්ම සිවිල් පුරවැසියන්ට එරෙහිව, එම අයවලුන්ට අනිවාරතේ දඬුවම් පැමිණවීමට කටයුතු කර ඇත.

සිය තීන්දුව සාධාරණීකරණය කරමින්, ජනපතිවරයා වැඩිදුරටත් දක්වා තිබුණේ, 2015 ජනවාරි මස 8 වැනිදා සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා කාලයේ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ඉදිරිපත් කළ පැමිණිලි විමර්ශනය කිරීම සදහා තමා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවය. එම විමර්ෂණ කොමිසමෙන්, චෝදනා ඉදිරිපත් කළ පැමිණිලිකරුවන්ට සිදුවූ අපහසුතාවයන් සදහා සහනයන් ලබාදීමට නිර්දේශ කර තිබෙන බව ද ජනපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සදහන් වේ.

 ඇතැම් පුද්ගලයින් පාදක කරගත් සිදුවීම් සෘජුව මෙන්ම වක්‍රවත්, පසුගිය මාසයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් සම්මත වීමට මාර්ගය තැනූ බව, විශේෂයෙන්ම වගවීම සම්බන්ධයෙන් පවතින ගැටලු ගත්විට, සදහන් කළ යුතුය. එනිසාම, රජය මෙම කොමිසම් වාර්තාව පදනම් කරගෙන අනුගමනය කිරීමට යන පියවරයන්ට අන්තර්ජාතිකව හිමිවිය හැකි ප්‍රතිචාරය නොසළකා හැර සිටීමේ හැකියාවක් නොමැත.

සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් නැවත නැවතත් පෙන්වා දුන් කාරණයක් වන, රටේ විපක්ෂයේ ඇල්මැරුණු ක්‍රියාකලාපය නිසාම, එම කොමිසම් වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය, ඒ ආකාරයෙන්ම සම්මත කරගැනීමට රජයට හැකිවනු ඇතැයි කිසිදු සැකයක් නොමැත. මෙය, අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම රටේ අධිකරණ පද්ධතියේ මූලික පදනමට දැඩි තර්ජනයක් එල්ල කරන කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇතැම් විට, රජයේ මෙම ක්‍රියාකලාපයට, ජනතාවට ප්‍රතිචාරයක් ලබාගත හැක්කේ අධිකරණය හරහාම පමණක් වීමට ඉඩ තිබේ.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර