ලොව වෙලා ගනිමින් පවතින කොවිඩ් - 19 වසංගතය හමුවේ ජන ජීවිතය අකර්මණ්‍ය වී ඇති බැව් නොරහසකි. සුවවිරුවන් සහ රණවිරුවන් මෙහිදී පැන නැඟිණි. සෞඛ්‍යමය ගැටලුවලින් ජනතාව රක්ෂණය කිරීමට වෙර දරන අතරතුරදී ජන ජීවිතය සැබැවින්ම යථාවත්කිරීමේ අභියෝගය අප හමුවේ ඇත. එහෙත් කටුක යථාර්ථය නම් අප මාර්තු 20 දා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවන විට පැවැති තත්ත්වය කරා අසුරු සැණින් පිය මැනිය නොහැකි බවයි.

මනුෂ්‍ය සංහතියේ වාසනාවට ඉක්මනින් එන්නතක් සොයාගතහොත් එයද විශාල තොග වශයෙන්  නිෂ්පාදනයකර ලොව පුරා බෙදා හැර ජනතාවට එන්නතක් කිරීමටද යම්කිසි කාලයක් ගතවන අතර ශ්‍රී ලංකාව වැනි රටකට එන්නත ඉක්මනින් විදේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගැනීමට අභියෝගාත්මක වනු ඇත. එසේ නම් අප කළ යුත්තේ අතාත්වික ලෙස ධනාත්මක වෙමින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ මුවාවෙන් පෙර පැවැති ජීවන චක්‍රයට යළි හැඩ ගැහෙනවා වෙනුවට ඉතා කල්පනාකාරීව අපගේ ජීවිත හැඩගස්වා ගැනිමයි. මෙහිදි ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ‘නව සාමාන්‍යය’ යටතේ තෘප්ත කරන සැපයුම් දාමය නවීකරණය කරා යොමු කිරීම වැදගත්ය.


සැපයුම් - ඉල්ලුම් පරතරය
අධිවේගයෙන් ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් කොවිඩ් -19 වසංගතය නිසා ක්ෂේත්‍ර ගණනාවක් මෙන්ම ජනජීවිත මිලියන ගණනක් අගතියට පත්ව ඇත. මේ අතුරින් ලංකාවේ එදිනෙදා මුදල් උපයන ජනකොටස් මෙන්ම සංචාරක සහ ආපනශාලා ක්ෂේත්‍රයද දැඩි අසීරුතාවකට මුහුණදී තිබේ. මෙම ගැටලුව සුළු කොට තැකිය නොහැක. සංචාරක සහ ආපනශාලා ආශ්‍රය කොටගත් සැපයුම් දාමයෙන් ජනතාව දහස් ගණනක් යැපෙති. මෙකී ක්ෂේත්‍රවලට ඇති ඉල්ලුම් බින්දුවටම පාහේ කඩා වැටීමේ ප්‍රතිඵල සැපයුම් දාමය ඔස්සේ ඉහළට ප්‍රවර්ධනයවීම වැළැක්වීම අතිශය අපහසුය. ඒ ඔස්සේ සිදුවන්නේ සැපයුම් දාමයේ පහළ මාලවල (හෝටල්, ආපනශාලා, වෙළෙඳසල්) ඉල්ලුම ස්ථාවරව පවතීය යන විශ්වාසයෙන් සිය ගොවිතැන් මෙන්ම නිෂ්පාදනය සිදු කළ ජනතාව අසරණභාවයට පත්වීමයි.

කොවිඩ් - 19 වසංගතයේ ව්‍යාප්තියට පෙර ආපනශාලා වලින් ෆ්‍රයිඩ් රයිස්, කොත්තු වැනි දෑ පරිභෝජනයට බොහෝ දෙනෙක් පුරුදු වී සිටියහ. දැන් එම තත්ත්වය නැත. එහි ගුණ අගුණ කෙසේ වෙතත් ඒ හරහා කැරට්, ලීක්ස් වැනි බෝගවල ඉල්ලුම පහළ වැටී ඇත. කලින් නුවරඑළියේ කැරට් වැනි බෝග විශාල වශයෙන් මිලට ගත් ව්‍යාපාරිකයෝ අද වන විට සිය දෛනික මිලදී ගැනීම්වලට සීමා පනවා ගෙන සිටිති. අනෙක් අතට සලාද කොළ, මල් ගෝවා, බ්‍රොකොලි, බෙල් පෙපර් වැනි ඉහළ සාත්තුවක් අවශ්‍ය, එහෙත් සාමාන්‍යයෙන් ඉහළ ආදායම් ගෙන දෙන බෝගවල ඉල්ලුම පොළොවටම සමතලා වී ඇත. සංචාරක කේෂ්ත්‍රයේ බිඳ වැටීම මීට ප්‍රධාන හේතුවකි. මල් වගාකරුවන්ගේ ඉල්ලුමද බින්දුවටම වැටී ඇත. මෙකී සංදර්භයක් යටතේ ඇතැම් ගොවියෝ සිය අස්වනු නිසිකලට විකුණාගැනීමට නොහැකිව ඒවා විනාශ කිරීමේ ශෝචනීය ඉරණමට ගොදුරු වී සිටිති. මෙය ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවේ. ඇතැම් රටවල සත්ව ගොවිපොළ සතුන් පවා ඉල්ලුම් බිඳ වැටීම මධ්‍යයේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නොහැකිව ඝාතනය කළ අවස්ථා වාර්තාවෙයි.

එසේ නම් කළ යුත්තේ කුමක්ද? ජනප්‍රිය මතය වනුයේ රජය මැදිහත්ව නිෂ්පාදන මිලට ගෙන රණවිරුවන් හරහා එය ජනතාවට බෙදා හැරීය යුතු බවය. යම් තැන්හි මෙම මොඩලය දක්නට ලැබුණද මෙය තිරසර විසඳුමක් නොවන බව තේරුම් ගත යුතුය. රජය නඩත්තු වන්නේද ජනතා බදු මුදල්වලින් බව සිහි තබා ගත යුතු අතර ඉල්ලුමක් නැතිව නිෂ්පාදන මිලයට ගෙන භාවිතයට නොගෙන ඒවා ඉවත් කිරීමෙන් සිදුවන්නේ එක් වළක් වසන්නට තවත් වළක් කැපීම පමණි. කෙසේ වෙතත් කෙටි කාලීන පියවරක් ලෙස විශේෂයෙන්ම මෙම වසංගතයෙන් ඍජුවම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි වුවත් එය කළ යුත්තේ පසු අස්වනු හානිය අවම කරමින් ඉහළ උපයෝගිතාවක් ලබා ගනිමින් බදු ගෙවන බහුතර ජනතාවට අගතියක් නොවන අන්දමිනි.

අනෙක් අන්තයෙන් ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් සැපයුම් හිඟයක් පැන නැඟී ඇත. රතු සහල්, කහ, පොල්තෙල් වැනි අපගේ ජන ජිවිතය හා ඉතාමත්ම දැඩිව බැඳුණු ද්‍රව්‍යවල හිඟයක් රටේ පැන නැඟී තිබේ. කලක් පාලන  මිලකට නතු කළ ආනයනික පරිප්පු සහ ටින් මාළු සඳහාද හිඟයක් පැන නැඟුණු බව නොරහසකි.


අපනයන සැපයුම් දාමය
මේ අතර තෙරුම්ගත යුතු තවත් යථාර්ථයක් තිබේ. එනම් අපගේ අපනයන ආදායම වැඩි වශයෙන් ජනනය වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මෙම වසංගතයෙන් දැඩිව බැට කා ඇති බවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එකී රටවල ආර්ථිකය දැඩිව කඩා වැටී ඇති අතර ඉන් ඇතැම් රටවල රැකියා විරහිතභාවය සියයට 20 ඉක්මවා ඇත. රැකියා තවදුරටත් ඇති අය වුවද සිය ආදායම්වල පහළ යෑමක් අපේක්ෂා කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ කෙටි සහ මධ්‍යකාලීන විසඳුම් කප්පාදු කිරීමට ඔවුන් යොමුවීමය.

මෙය ශ්‍රී ලංකාවට වැනි රටකට අහිතකර ලෙස බලපායි. ජනජිවිතයට අවශ්‍ය ආහාරපාන, ඖෂධ යනාදිය මිලදී ගැනීමට ප්‍රමුඛත්වයක් ඔවුන් දෙනු ඇති අතර එකී කිසිදු කේෂ්ත්‍රයක විශාල අපනයන වෙළෙඳපොළක් අප සතුව මේ වනවිට නොමැත. එසේම අගය එකතු නොකළ කෘෂි නිෂ්පාදන වැනි දෑ අපනයනය කිරීම ලංකාව වැනි රටකට අතිශය දුෂ්‍කරය.

අපේ අපනයනවලින් විශාල කොටසක් වන ඇඟලුම් ක්ෂේත්‍රය ලොව පුරා නම් දරා ඇත්තේ අතිශය සූක්ෂම මෙන්ම නව විලාසිතා හා බද්ධව යන නිමැවුම් ලෙසයි. මේවායේ ඉල්ලුම බිඳවැටිම වළක්වාලිය නොහැකිය. විශේෂයෙන්ම නිවසේ සිට වැඩ කිරීමවැනි ප්‍රවණතා මධ්‍යයේ විලාසිතා කෙරේ පවතින ඉල්ලුම තවත් අඩුවනු ඇත. අපේ රටේ නිෂ්පාදනය කර අපනයනය කරන වෙනත් දෑ සඳහාද යථාර්ථය මෙයයි. මෙනිසා ලංකාවේ අපනයන ක්ෂේත්‍රය සියයට 35 සියයට 40 කට වැඩි ප්‍රමාණයකින් මෙම වසරේදී කඩා වැටෙනු ඇතැයි පුරෝකථනය වී ඇත. දුර්වල මුදල් ඒකකයකට උරුමකම් කියන ආනයන මත වැඩියෙන් යැපෙන රටකට මෙය ඔරොත්තු නොදෙන බව මා අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.


දෙවැනි රැල්ලකට සූදානම් වීම
පෙර සඳහන් කළ පරිදි වසංගතයට එන්නතක් සොයා ගන්නා තුරු එය යළි හිස එසවීමේ අවදානම පවතී. එබැවින් ඕනෑම තැනක වයිරසයේ දෙවැනි හෝ තෙවැනි රැලි මතුවීමේ සම්භාවිතාවක් පවතින අතර සිංගප්පූරුව, කොරියාව, චීනය වැනි රටවල දැනටමත් දෙවැනි රැල්ල වාර්තාවී ඇත. මෙවන් තත්ත්වයක් ශ්‍රී ලංකාවේ වුවද වාර්තා වීමේ ඉඩක් පවතී. එසේ නොවීමට අප සියලු දෙනා සිය යුතුකම නොපිරිහෙළා ඉටු කරන අතරම ඒ අවාසනාවන්ත ඉරණම උදා වුවහොත් ඊට මුහුණදීමටද සූදානම් විය යුතුය.

එම අවාසනාවන්ත ඉරණමට යළි අප ගොදුරු වුවහොත් පෙර පාඩම්වලින් උගෙන නොසැලෙන සැපයුම් දාම (resilient supply chains) ගොඩ නැඟීමට උත්සුක විය යුතුය. යළිත් ඇඳිරි නීතිය පනවා සෞඛ්‍යමය පියවර දැඩි කිරීමට අවශ්‍ය වූ විටෙක හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩවල සංචිත (buffer/ safety stocks) නිපදවා තිබිය යුතුය. මෙය ප්‍රබල අභියෝගයක් වන්නේ දැනටමත් බොහෝ ආයතනවල නිෂ්පාදනවල අතිරික්ත තොග ක්ෂය වෙමින් පැවැතීමත් සෞඛ්‍යමය අභියෝග හමුවේ සාමාන්‍ය වේගයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ නොහැකි නිසාත්ය. එය හරියට කාන්දුවක් ඇති බඳුනකට යෝගට් හැන්දකින් ජලය වක් කරමින් ජල මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ කරනවා වැනි ක්‍රියාවකි.

ඉන් අදහස් වනුයේ පරදින සටනක අප නිරතවන බවද? කොහෙත්ම නැත, නිෂ්පාදකයන් සිය නිෂ්පාදන ගොන්න අතුරින් නිෂ්පාදන විවිධාංගීකරණය යන මූලධර්මය පසෙකලා වැඩි ඉල්ලුමක් සහිත අත්‍යවශ්‍යම භාණ්ඩ කිහිපයක් පමණක් නිෂ්පාදනය කිරීමට උත්සුක විය යුතුය. එමෙන්ම රටේ අවශ්‍යතාව වෙනුවෙන් Coopetition සංකල්පය යටතේ සිය සාම්ප්‍රදායික තරඟකරුවන් සමඟ හවුල් ව්‍යාපෘතිවලට සහ එකඟතාවලට පිවිසිය හැකිය. පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ‘නව සාමාන්‍යය’ හරහා මන්දගාමී වූ සැපයුම් - ඉල්ලුම් පරතරය සාමූහිකව කළමනාකරණය කළ හැකිය.

මීට අමතරව සාමාන්‍ය සම්මතවලින් බැහැරව යමින් ආයතනවල පවත්වා ගත යුතු භාණ්ඩ සංචිත යළිත් ගණනය කර එහි ඉලක්ක හඹා යා යුතුය. එකී ගණනය සඳහා න්‍යායාත්මක මූලධර්ම රැසක් සැපයුම්දාම කළමනාකරණය සහ කාර් යෝපාය ඉංජිනේරුවේද (logistics engineering) යන විෂයයන් තුළ ගැබ්ව පවතී. අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ තොග වශයෙන් එකදු පහදු කරගැනීමෙන් අනාගතයේදී ඇතිවිය හැකි අභියෝගවලට ශක්තිමත්ව අපට මුහුණදිය හැකිය.


නිවැරැදි ආයෝජනවල වැදගත්කම
අප වෙහෙසිය යුත්තේ තිරසාර විසඳුම් සෙවීමටය. බොහෝ රටවල සිය කෘෂි නිෂ්පාදන කල් තබාගැනීම සඳහාත් ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහාත් ශිතාගාර භාවිතයට ගනියි. ශ්‍රීලංකාවේ කෘෂි නිෂ්පාදනයෙන් සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් නාස්ති වන තත්ත්වයක් තුළ අපේ රටේ ශිතාගාර ගොඩනඟා කෘෂි ශීත දාමයක් (Cold chains) බිහි කිරීම අත්‍යවශ්‍යය. පෞද්ගලික සමාගම් කිහිපයක් මෙහි කාර්යයේ දැනටමත් නිරතව ඇතත් ජාතික මට්ටමින් මේ සඳහා වැඩි අවධානයක් යොමු විය යුත්තේ ගොවි ප්‍රජාව නඟා සිටුවීමටය. වසරකට පමණ පෙර මෙවන් ව්‍යාපෘතියක් දඹුල්ල ප්‍රදේශයේ ආරම්භ කළත් එහි කටයුතු අඩාල වීම රටේ අභාග්‍යයකි.

ශ්‍රී ලංකාවේ මාර්ග සහ අධිවේගී මාර්ග ජනප්‍රිය සංවර්ධන මෙවලම් වුවත් අප ඉදිරියේ ගොඩ නැඟෙන්නේ පුද්ගල ගමනාගමනය අවම කළ යුතු කාල පරිච්ඡේදයක් බව විශේෂඥ මතයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අධිවේගී මාර්ගයක ආයෝජනය පියවා ගැනීමට ගතවන කාලයද ඉහළ යනු ඇත. එබැවින් අධිවේගී මාර්ග සඳහා යොදන ආයෝජනයෙන් කොටසක් හෝ ශීතාගාර ඉදිකිරීමට යොමුකිරීමෙන් ගොවීන්ටත් පාරිභෝගිකයන්ටත් සහන සලසා අඩු නාස්තියක් සහිත සාධාරණ සැපයුම් දාමයක් ගොඩ නැඟිය හැකි බව පෙන්වා දිය යුතුය.

ඉදිරියේදී අපට මුහුණදීමට සිදු විය හැකි වෙනත් ස්වාභාවික ව්‍යසන හමුවේදී වුවද ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීමට ශීත දාමයක් බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙමගින් අස්වනු සැපයුම් ඉහළ විටෙකදී ගබඩා කර අස්වනු අඩු කන්නවලදී එම තොග පරිභෝජනය කිරීමේ අවස්ථාව අපට උදාවේ.


‘නව සාමාන්‍යය’ සමඟ පිබිදෙන නව අවස්ථා
පෞද්ගලික සමාගම්වලටද අලුත් අපනයන වෙළෙඳපොළ මෙන්ම දේශීය ව්‍යාපාර අවස්ථා මෙම වසංගතය හරහා උදාවී ඇත. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය, නව නිර්මාණ වැනි කේෂ්ත්‍රවල අලුත් අවස්ථා අපට විවර වෙමින් පවතී. රටේ ඇතැම් පෞද්ගලික සමාගම් දැනටමත් පුද්ගල ආරක්ෂණ මෙවලම් (personal protective equipment) මුඛ ආවරණ වැනි දෑ නිෂ්පාදනය ආරම්භ කර තිබීම ප්‍රශංසනීයය. මෙලෙස අලුතින් සිතා නවීන වෙළෙඳපොළ ජයගැනීමට ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන එළිදැක්වීමට මෙය සුදුසුම මොහොතකි. එමෙන්ම සාම්ප්‍රදායිකව අපනයනය සඳහා යුරෝපය සහ ඇමෙරිකාව කෙරේ අවධානය යොමු කළත්, ඉදිරියේදී දියුණු වෙමින් පවතින රටවල්වල වෙළෙඳපොළ කෙරේ අවධානය යොමු කිරීමද නුවණට හුරුය. විශේෂයෙන්ම අප්‍රිකානු මහද්වීපයේ ජනගහනයෙන් සියයට 77 ක් අවුරුදු 35 ට අඩු වීමත්, ඒ රටවල ක්‍රමික වර්ධනයත් නිසා අපට එවැනි රටවලට අඩු තරඟකාරිත්වයක් යටතේ භාණ්ඩ සේවා සැපයිය හැකිය.

දියුණු වූ බොහෝ රටවල්වල නොයෙකුත් කර්මාන්ත ප්‍රචලිත කිරීමෙහිලා විශ්වවිද්‍යාල සහ පර් යේෂණ විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. අවාසනාවකට ශ්‍රී ලංකාවේ ඇතැම් ආයතන සරසවිවල කෙරෙන පර් යේෂණ කටයුතුවලට සහාය වීමට මැළිකමක් දක්වයි. සරසවි පද්ධතිය තුළද යම් යම් ගැටලු ඇති බව පිළිගත යුතුය. මෙම පරතරය දුරලමින් කර්මාන්ත අංශය සහ සරසවි අතර නව නිෂ්පාදන, සේවා, ක්‍රියාවලි මෙන්ම පද්ධති නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව පාලමක් ගොඩනැඟීමේ අවශ්‍යතාව මතු කළ යුතුය.

මේ ‘නව සාමාන්‍යය’ තේරුම් ගනිමින් අපගේ එදිනෙදා කටයුතු තත්කාලීන අවශ්‍යතා සඳහා සමපාත කරගත හැකිය. උදාහරණයක් වශයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමයේදී බොහෝ දෙනා නිවසේ සිට වැඩකිරීමේ කලාව ප්‍රගුණ කළහ. ඒ හරහා සැලකිය යුතු පිරිසකට නිවසේ සිට රක්ෂාව කළ හැකි බව පැහැදිලි විය. මෙම ක්‍රමවේදය සුදුසු තැන්හී දිගටම ක්‍රියාත්මක කිරීම හරහා ජනතාව මහාමාර්ග වලට වියපැහැදම් කරන කාලය ඉතිරි කර ගත හැකි අතර රටේ ඉන්ධන වියදමද අඩු කරලිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් වන්නේ අපට හිසරදයක්වූ රථවාහන තදබදය අවම වීමයි. එමෙන්ම ආයතනවල අධික මිලගණන් යටතේ විශාල කාර්යාල කුලියට ගන්නවා වෙනුවට සාපේක්ෂව කුඩා ඉඩක සිට සිය කටයුතු පවත්වා ගෙන යා හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිබලය, ජලය සහ සන්නිවේදනය සඳහා සිදුකෙරෙන වියදම් අවම කරගන්නට පිළිවන. බලශක්ති අර්බුදයක් පවතින අප රටට එය මහෝපකාරීවනු ඇත. එමෙන්ම ඒ හරහා ආයතනයට දුරස්ථව, සිය නිවෙසේ ආරක්ෂාව ලබමින් සේවා කිරීමට ඇතැමුන්ට අවස්ථාව උදාවන අතර එය රටේ පළාත් අතර ඇති සංවර්ධන අසමතුලිතතා අඩුකර ගැනීමට රුකුලක්වනු ඇත. (මොණරාගල පදිංචිකරුවකුට කොළඹට නොපැමිණ කොළඹ සමාගමකට සේවය කළ හැකිය)

එමෙන්ම බොහෝ සරසවි අධ්‍යයනාංශ සිය දේශන අන්තර්ජාලය හරහා සිය සිසුන් වෙත ලබා දීමට සමත්වී ඇත. මෙවැනි ක්‍රම දිගින්දිගටම ක්‍රියාත්මක කිරීමෙන් සිසුන්ට කුමන බාධක හමුවේ වුවත් නිසි කලට උපාධිය ලබාදිය හැකිය. එය නවක වදය ඇති විශ්වවිද්‍යාලවල එකී අර්බුදය විසඳිමටද මංපෙත් විවර කරයි.

මේ මොහොතේදී රටට අවශ්‍ය වනුයේ ජනප්‍රිය විසඳුම් නොව, ප්‍රායෝගික සහ තිරසාර විසඳුම් බව අවධාරණය කළ යුතුය. එම නිසා මාර්තු 20ට පෙර ලෝකයේ විසඳුම සොයනවා වෙනුවට ගතානුගතික රාමුවෙන් මිදී අලුතින් සිතා අලුත් ලොවට සරිලන ක්‍රමවේද සහ විසඳුම් සෙවීමට අපි සැවොම අදිටන් කර ගනිමු.