රජය මෑතකදී ලීටරයකට රු. 7 සිට රු. 23 දක්වා මුදලකින් ඉන්ධන මිල ඉහළ දැමුවේය. එම මිල වැඩිවීම සිදු වූයේ අවසාන වතාවට ඉන්ධන මිල සංශෝධනය කොට මාස 21ක් ඉකුත්වූ පසුවය. ඉන්ධන මිල වැඩිවීම උදෙසා විරෝධතා වඩාත් එල්ල වූයේ  දේශපාලනඥයන්ගෙන්, වෘත්තීය සමිතිවලින් හා ඔවුන්ගේ ආධාරකරුවන් වෙතිනි. එම විරෝධතා පාරිභෝගිකයන්ගෙන් එල්ල වූ විරෝධතා ද පරයා ගියේය. පාලක පක්ෂයේ ඇතැම් අය වෙතින්ද විරෝධතා එල්ලවීම විමතිය දනවන්නකි. ඊට අමතරව ගෘහස්ථ ගෑස් මිල ද වැඩි කළ යුතු බවට ඉල්ලීමක් සැපයුම්කරුවන් වෙතින් ඉදිරිපත් වූයේය.

 

ගෝලීය වශයෙන් සිදුවූ බොර තෙල් මිල ඉහළ යාමත් සමග ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කළේය. වර්තමානයේ බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 70 ඉක්මවා යාම පිළිබඳවත් තවදුරටත් එම මිල ඉහළ යාමට ඇති ඉඩකඩ පිළිබඳවත් එහිදී ජනතාව දැනුවත් කරන ලදී.

2019 වර්ෂයේදී බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 68.8 ක් තිබියදී තෙල් ආනයනයට වැයවූ මුදල ඇ.ඩො. බිලියන 3.6 කි. එහෙත් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 45.57 දක්වා පහත බැසීමෙන් පසු 2020 දී එම වියදම ඩො.බි. 2.3 දක්වා අඩු වූයේය. ඒ සමගම කොරෝනා වසංගතය නිසා සංචරණ සීමා ද පැනවුණි. කෙසේ වුවද වර්තමානයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 70 ඉක්මවා යාම නිසා ආනයන පිරිවැය ඇ.ඩො.බි. 4කට ළංවෙතැයි අපේක්ෂා කෙරේ. එම මුදල 2021 විදේශ විනිමය ඉපැයුම්වලින් 1/3කට ළංවන බව ද බලාපොරොත්තු විය හැකිය.

මේ අතර එල්.පී. ගෑස් සමාගම් දෙකක් වන ලිට්‍රෝ සහ ලාෆ්ස් (LAUGFS) සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මිල සංශෝධනයක් ඉල්ලා සිටියද ඊට අවසර නොලැබිණි.

මහජනයා සහ විපක්ෂ දේශපාලනඥයන් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධය පාමින් කියා සිටියේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවලදී එම වාසිය පාරිභෝගිකයන්ට ලබා නොදුන් බවයි. ඉන්ධන මිල සංශෝධනය නැවත සංශෝධනය කරන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඒ අතර විශ්වාසභංග යෝජනාවක් ද ගෙනාවේය.

මෙම ආණ්ඩුව බලයට එනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩො. 58 ක් පමණ විය. 2020 අප්‍රේල් මාසයේදී එය ඩො. 20 දක්වා පහත බැස මේ වනවිට ක්‍රමයෙන් ඩොලර් 70 දක්වා වැඩිවී තිබේ. මීට අමතරව 2019 ඔක්තෝබරයේදී රු. 181ක්ව පැවැති ඩොලර් හුවමාරු මිල අද රු. 198 දක්වා වැඩිවී තිබේ. මේ ආකාරයට බොර තෙල් මිල පමණක් නොව විනිමය හුවමාරු අනුපාතිකය ද විකුණුම් මිලට බලපා තිබේ. එහෙත් 2020 අප්‍රේල් මාසයේ පැවැති සේ ටික දිනකට සැනෙකින් අඩුවන තෙල් මිලේ වාසිය පාරිභෝගිකයාට ලබාදිය හැකිද?

 

ඛනිජ තෙල් සංස්ථාව මූල්‍ය අවුලක

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇති ණය සඳහා පොලී ගෙවා දමන්නට අන්තර්ජාතික පෞද්ගලික ණය දෙන ආයතන වෙතින් ඩොලර් බිලියන 1ක් ලබාගැනීමට කැබිනට් මණ්‍ඩල අනුමැතිය ලැබී ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. රාජ්‍ය බැංකු වන ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ලබාගෙන ඇති රුපියල් බිලියන 652 සඳහා ගෙවිය යුතු පොලිය ඇ.ඩො. බිලියන 2.081 දක්වා වැඩි වී තිබේ. එතරම් පාඩුවක් ඒකරාශී වූයේ කෙසේද? ලංවිම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය දශක ගණනාවක් තිස්සේ සංස්ථාවට මෙතෙක් පියවා නොමැති ණය රුපියල් බිලියන ගණනාවකි. ඊට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංවිමට නියමිත මිලෙන් භාගයක මිලකට ඉන්ධන ලබාදීම ද තවත් අවුලකට හේතුවී තිබේ.

 

පාරිභෝගිකයන් වෙත සපයනු ලබන ඛනිජ තෙල්

අපට හිමි එකම පිරිපහදු කම්හල වන සපුගස්කන්ද පිරිපහදුව අවුරුදු 40ක් තරම් පැරණිය. එය ඉදිකරන ලද්දේ වාහන සංඛ්‍යාව බෙහෙවින් අඩු කාලයේදීය. එහි පිරිපහදුවට ලක් කරන්නේ වර්තමාන අවශ්‍යතාවෙන් සියයට 20ක් පමණි. ඉතිරි කොටස පිරිපහදු ඛනිජ තෙල් වශයෙන් ආනයනය කෙරේ. කොළොන්නාව තෙල් ගබඩාවේ ගබඩා කළ හැක්කේ සති තුනක අවශ්‍යතාව සඳහා සෑහෙන ඛනිජ තෙල් පමණි. එම නිසා නිරන්තරයෙන්ම නැව් මගින් තෙල් ගෙන්වා ගැනීමට සිදුවේ. කොළොන්නාව වෙත තෙල් සැපයෙන නළ මාර්ග පැරණිව දිරාපත් වී තිබේ. එම නිසා තෙල් පොම්ප කළ යුතු වන්නේ අඩු පීඩනයක් යටතේය. එම නිසා තෙල් පොම්ප කිරීමට ගතවන කාලයද වැඩිය. ඊට අමතරව මුහුදේ නැංගුරම් ලා ඇති බෝයාවකට නැව්වලින් තෙල් ගොඩ බෑමද සිදු කෙරේ. එම බෝයාවේ සිට විහිදෙන නළ මගින් රට තුළට ඛනිජ තෙල් රැගෙන එනු ලබයි. කාලගුණය යහපත් නොවන දිනවල මේ ආකාරයට තෙල් ගොඩ බෑම ඇණහිටී. නළ මාර්ග විහිදෙන භූමිය අනවසර පදිංචිකරුවන් අල්ලාගෙන සිටින නිසා අලුත් නළ මාර්ග ඉදිකිරීම ද ගැටලුකාරී කටයුත්තකි.

අඩු ගබඩාකරණ ධාරිතාව හේතු කොටගෙන ඛනිජ තෙල් ආනයනය කරනු ලබන්නේ කුඩා ප්‍රමාණයන්ගෙනි. තෙල් ගොඩබෑම පමාවීම හේතු කොටගෙන ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ද වැඩිවීම එක් ප්‍රතිඵලයකි. එම නිසා තෙල් සඳහා යන පිරිවැය (වියදම) තවත් ඉහළ යයි.

අඩු ගබඩා ධාරිතාව නිසා ඛනිජ තෙල් මිල පහළ බැස ඇති අවස්ථාවල වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට ඇති හැකියාව ද වැළකී යාම තවත් කාරණයකි. එම නිසා මිල ඉහළ ගිය අවස්ථාවල අඩු ප්‍රමාණයක් මිලට ගැනීමට ඇති හැකියාව වැළකෙයි. එහෙත් අපගේ දේශපාලනඥයන් සහ ඇමැතිවරුන් මෙම තත්ත්වය තේරුම් ගත් බවක් නොපෙනේ.

 

තෙල් සංස්ථාව විදුලි බලයට දායක වීම

ඛනිජ තෙල් සංස්ථාව ලංවිම හට සහනාධාර මිල ගණන්වලට තෙල් සපයනු ලබයි. අඩු මිලකට තෙල් පරිහරණය කරමින් ලංවිම කියා සිටින්නේ ඔවුන්ට බලශක්තිය උත්පාදනය සඳහා වැයවෙන්නේ අඩු මිලක් බවයි. එසේ කියන අතරතුර ඔවුහු සූර්ය බලශක්තිය හා සුළං බලශක්තිය උත්පාදනය කරන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අධෛර්යමත් කරති. සූර්ය සහ සුළං බලශක්තිය ස්ථාවර නොවන අතර ඊට ජලය හෝ ද්‍රව බවට පත් කරන ලද ස්වාභාවික වායු පදනම් වූ බලශක්තිවල සහාය එක්විය යුතුය.

මෙරටේ විදුලි බල සැපයුම පවතින්නේ දරුණු තත්ත්වයකයි. 2015 පටන් කිසිදු ප්‍රධාන බලශක්ති කම්හලක් ඉදිකර නැත. දැනට කෙරවලපිටියේ ක්‍රියාත්මක ස්වාභාවික වායු මගින් බලශක්ති උත්පාදනය වන යන්ත්‍රාගාරය අවුරුදු පහක් තිස්සේ ඛනිජ තෙල් මගින් ක්‍රියාත්මක වන්නේ වායු සැපයුමක් නොමැති නිසාය. එයින් විදුලි බලය බෙදා හරිනු ලබන්නේ දෙගුණයක මිලටයි. ඊට අමතරව මෙගාවොට් 300 ක බලශක්තිය උත්පාදනය වන කෙරවලපිටියේ ස්වාභාවික වායු මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත යන්ත්‍රාගාර උදෙසා ටෙන්ඩර් පිරිනමනු ලැබුවේ මාස කිහිපයකට පෙරයි. අද පවා නළ මාර්ගවල ද්‍රව බවට පත් කළ ස්වාභාවික වායු (LNG) සැපයුමක් සිදු වන්නේ නැත. මුහුදේ නැංගුරම් ලූ ද්‍රව බවට පත්කළ ස්වභාවික වායු ගබඩාවලින් ඒවා ලබාගැනීම උදෙසා යෝජනා රාශියක් කර ඇතත් ඒවා පිළිගැනීමට ලක්වූයේ නැත. ස්වභාවික වායු සැපයුම ස්ථාපිත කරන තුරු එම බර ඛනිජ තෙල් සංස්ථාව මත පැටවී තිබේ.

 

ඉන්ධන මිල අඩු කිරීම

පාරිභෝගික අවශ්‍යතා සඳහා සැපයෙන ඉන්ධන මිල අඩු කිරීම සඳහා සමස්ත පද්ධතියේම පවතින ලුහුඬුතාවලට පිළියම් යෙදිය යුතුව තිබේ. බොරතෙල් තොග මිලදී ගැනීමේ සිට ඒවා ගොඩබෑම, පොම්ප කිරීම හා පිරිපහදු කිරීමේ අවධිය දක්වා මෙම අඩුපාඩු පවතී. සමස්ත අවශ්‍යතා ආවරණ කරගැනීමට රටේ පිරිපහදු ධාරිතාව වැඩි කළ යුතුවේ. ගබඩා පහසුකම් විශාල ලෙස පවතී නම් එවිට බොරතෙල් මිල පහත වැටුණු කාලයේ තෙල් තොග වැඩිපුර මිලදී ගැනීමේ හැකියාව ලැබේ. එවිට තෙල් මිල ඉහළ මට්ටමේ පවතී නම් මිලදී ගැනීම් ප්‍රමාද කළ හැකිය. ගැඹුරු මුහුදේ ඇති බෝයාවන්ගෙන් ඉන්ධන විශාල තොග බෑම ඉක්මන් කිරීම සඳහා පහසුකම් තිබිය යුතුය. එහෙත් නළ මාර්ගවල අනවසරයෙන් පදිංචිව සිටින අය ඒවායින් ඉවත් වන්නට පෙර නිවාස පහසුකම් ඉල්ලා සිටිති. එය මහත් ධනස්කන්ධයක් වැයවන කාර්යයකි. මේ ආකාරයට සෑම අවධියකම දැරිය යුතු වියදම් අතිශය ලෙස වැඩිවිය හැකිය.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කරන මිලටම ඉන්දියානු තෙල් සමාගම (IOC) පාරිභෝගිකයන්ට තෙල් බෙදාහැරීම කළ හැකිනම් එම මිලට තෙල් සපයා සංස්ථාවට ලාභ ලැබිය නොහැක්කේ මන්දැයි ජවිපෙ ජ්‍යෙෂ්‍ඨ නායකයෙක් විමසා සිටියේය. ඉන්දියානු තෙල් සමාගම තෙල් තොග මිලදී ගෙන ඒවා ගොඩ බාන්නේ ත්‍රිකුණාමල වරායේ ජැටියේ ඇති නැව් රඳවනයේය. ඉන්පසු ඒවා  දැනට පවතින, ශ්‍රී ලංකාවෙන් බද්දට ගත් ටැංකිවල ගබඩා කරනු ලබයි. ඔවුහු ඒකක ටොන් 12,000 ක ධාරිතාවක් පවතින තෙල් ටැංකි 15ක් භාවිත කරති. එම නිසා ගැඹුරු මුහුදේ දී ගොඩ බෑමක් සිදු නොවේ. පිරිපහදු කරන ලද තෙල් ගෙන එන විශාල නෞකාවන්ගෙන් අඩු මිල ගණන්වලට විශාල ප්‍රමාණයක් එම සමාගමට තෙල් ලැබේ.

 

රජයේ විසඳුම

සපුගස්කන්දේ දිනකට බැරල් 100,000ක් ධාරිතාවක් සහිත පිරිපහදු යන්ත්‍රාගාරයක් අලුතෙන් ඉදිකිරීමට මිල ගණන් කැඳවීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි. මෙම ව්‍යාපෘතිය උදෙසා වැයවන මුදල දළ වශයෙන් ඩො. බිලියන 3ක් නැතහොත් රුපියල් බිලියන 600කි. එය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ විශාලතම ව්‍යාපෘතිය බවට පත්වේ. බලාපොරොත්තු වන මුදල් හිඟකම නිසා එය ඉදිකිරීමට යන්නේ ඉදිකර හිමිකම් තබාගෙන නැවත ලබාදීමේ (BOT) පදනම මතයි. එහෙත් තුන්වැනි පාර්ශ්වයක් විසින් හිමිකම පවත්වාගෙන කටයුතු ක්‍රියාත්මක කරන විට බොරතෙල් මිලදී ගැනීමට යොමුවන අයට බොරතෙල් මිලදී ගැනීමට සිදුවෙයි. එවිට පවත්වා ගැනීමේ පිරිවැය, විකුණුම් මිල පවත්වා ගැනීම ආදිය සංකීර්ණ ක්‍රියාමාර්ගයක් බවට පත් වේ.

එසේම, නැව්වලින් බෝයාවකට තෙල් බාන ආකාරය, නව නළ මාර්ගයකින් පොම්ප කිරීම සඳහා නළ මාර්ග ඉදිකිරීම, නළ මාර්ගවල පදිංචි අය නැවත පදිංචි කරන ආකාරය කෙසේ කරන්නේද යන ගැටලුද මතුවේ. මසක තෙල් ගබඩාකරණය යනු තෙල් බැරල් මිලියන තුනක් ගබඩා කිරීමකි. එහිදී යන වියදම සැලකිල්ලට ගෙන තිබේද? ඇ.එ.ජනපද තානාපතිවරයා ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උනන්දුව පළ කර තිබේ.

 

හම්බන්තොට පිරිපහදු යන්ත්‍රාගාරයක්

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම උදෙසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය (HIPG) සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ඊට අදාළ සම්බන්ධතා පහසුකම් සහිත නව ගබඩා පර්යන්තය අක්කර 50ක ඉඩමක පිහිටා තිබෙන අතර එය නළ මාර්ගවලින් වරායට සම්බන්ධ වේ. දේශීය පරිභෝජනය සහ අපනයනය යන අරමුණු ද්විත්වය උදෙසාම එම වරායට එන නැව් සඳහා ඉන්ධන සපයා රැස් කිරීමේ වෙළෙඳපොළක් ලෙස ක්‍රියා කිරීමට පර්යන්තය බලාපොරොත්තු වේ.

බලශක්ති කේන්ද්‍රස්ථානය චීන අරමුදල් මගින් සංවර්ධනය කෙරෙන්නේ හම්බන්තොට වරාය කරා එන නැව්වලට තෙල් සැපයීමේ අපේක්ෂාවෙනි. එහෙත් ඛනිජ තෙල් සංස්ථාව වැටී ඇති අවුලෙන් ගොඩ ඒමට එම තත්ත්වය උපකාරී වේද?

 

ගෑස් සැපයුම

මෙරට ගෑස් සැපයුම ලිට්රෝ සහ ලාෆ්ස් යන සමාගම් දෙකෙන් පාලනය කෙරේ. ගෘහස්ථ ගෑස් යනු ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LP ගෑස්) ය. එය ඛනිජ තෙල් පිරිපහදුවේදී නිපදවන අතුරු නිෂ්පාදනයකි.

සපුගස්කන්දේ නිෂ්‍පාදනය වන එම ගෑස් ලිට්රෝ සමාගමට දෙනු ලබන අතර ඉතිරිය ආනයනය කෙරේ. ලාෆ්ස් ගෑස් සමාගම සතුව හම්බන්තොට වරාය සමීපයේ එල්.පී. ගෑස් ගබඩා භූමියක් පවතින අතර එයින් එල්.පී. ගෑස් තොග මිලදී ගෙන ගබඩාවේ ගබඩා කර තබා ඒවා නැගෙනහිර අප්‍රිකාවටත් බංගලාදේශයටත් අපනයනය කරන්නේ සමාගම සතු කුඩා නැව් මගිනි. ලාෆ්ස් සමාගම ගෑස් මිලදී ගන්නා තොග මිල ලිට්රෝ සමාගම විසින් ගෙවනු ලබන මිලෙන් අඩකටත් වඩා අඩු බව පැවසේ.

මෑතකදී ලාෆ්ස් ගෑස් සමාගමේ හිමිකරු වූ ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, ජනාධිපතිතුමා හමුවී එම සමාගම් දෙක අතර ගෑස් සැපයුම සම්බන්ධීකරණ කිරීමට කැමැති වග කියා සිටියේය. එසේ වුව අමාත්‍යවරයා ලාෆ්ස් ගෑස් සමාගමෙන් සියයට 40ක පාලන අයිතිය ඉල්ලා සිටීමෙන් පසු වෑගපිටිය රැස්වීමෙන් ඉවත් වූයේය. ඉන්පසු ජනාධිපතිවරයා මැදිහත්ව එම ගැටලුව පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළේය.

 

ත්‍රිකුණාමලයේ ටැංකි සංකීර්ණය

රනිල් වික්‍රමසිංහ යටතේ 2003 පෙබරවාරි මාසයේදී ඉන්දියානු තෙල් සමාගම (IOC) සහ ශ්‍රී ලංකාව අතර ත්‍රිකුණාමලයේ චීන බොක්කේ වරායේ පිහිටි තෙල් ටැංකි සමූහය සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේය. එම ටැංකි සමූහය දෙවැනි ලෝක මහා යුද්ධයට පෙරාතුව බ්‍රිතාන්‍ය රජය විසින් 99 අවුරුදු කාලයක් උදෙසා ඉදි කරන ලද්දකි. එම ගිවිසුම අනුව තෙල් ටැංකිවල පාලනය භාරගත් ඉන්දියානු සමාගම ඒවා පරිහරණය කරයි.

ත්‍රිකුණාමලයේ බලාගාරය:-

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2015 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි වෙලේ ඉන්දියාව, ත්‍රිකුණාමලය කලාපීය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම පිළිබඳව උනන්දුවෙන් පසුවන බව කියා සිටියේය. ඉන්පසු 2015 දී ඉන්දියානු සහ ශ්‍රී ලංකා ආණ්ඩු ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේ මෙගාවොට් 500ක ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ජනාධිපති සිරිසේනගේ ඉල්ලීම අනුව පසුකලෙක එය මෙ.වො 500ක ද්‍රව ස්වභාවික වායු (LNG) බලාගාරයක් බවට නවීකරණය කරනු ලැබිණි.

 

ඛනිජ තෙල් සැපයීමේ ගැටලුව නිරාකරණය කිරීම

රටේ ඛනිජ තෙල් ගැටලු විසඳීමට ඇති පහසුම හා වඩාත් ලාබදායීම ක්‍රමය වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ යෝජනාව අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය කලාපීය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි. ඒ මගින් ඛනිජ තෙල් සංස්ථාව මුහුණ පා ඇති දැවැන්ත ගැටලුව ද නිමාවට පත්වේ.

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සංඛ්‍යාව 99ක් වන අතර බ්‍රිතාන්‍ය රජය ඒවා ඉදිකරන ලද්දේ 1930 ගණන්වලදීය. ඉන් එකක මෙ.ටො. 12100ක ගබඩා ධාරිතාව බැගින් ඇත. ඒවා වසර 70ක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන නිකරුණේ පවතී. මේ වනවිට පහළ ටැංකි සමූහයේ ටැංකි 15 ක් පමණක් ඉන්දියානු තෙල් සමාගම (IOC) භාවිත කරයි. ඉහළ භූමියේ ඇති ඉතිරි ටැංකි 84 භාවිතයට නොගෙන පවතින අතර ඒවා අලුත්වැඩියා කිරීම සඳහා ඩොලර් මිලියන 2ක පමණ මුදලක් වැය වේ. ඒ මගින් මෙ.ටො. මිලියන 1.2 ක ගබඩා පහසුකම් ලැබේ. දේශීය ඉල්ලුම ඒ මගින් සපුරාලිය හකිය. මේ ආකාරයට දෙරටේ සහයෝගිතා වැඩපිළිවෙළකින් මෝදිගේ යෝජනාව අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය දකුණු ආසියාවේ ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය බවට පත් කළ හැකිය.

මෙකී යෝජිත බලශක්ති කේන්ද්‍රස්ථානයට පහත අංග ඇතුළත් වේ.

 

(a) බොර තෙල් සහ පිරිපහදු තෙල් ගබඩාවක් (දැනටමත් පවතී)

(b) තෙල් පිරිපහදුවක්

(c) ස්වභාවික ද්‍රව වායු (LNG) ආනයනය, ගෑස් නිෂ්‍පාදනාගාරය සහ ගබඩාව.

(d) ස්වභාවික වායු මගින් විදුලි බලශක්ති උත්පාදනය කිරීමේ බලාගාරය

ඉහළ භූමියේ ඇති තෙල් ටැංකි අලුත්වැඩියා කර ගැනීමෙන් ඒවා ආනයනය කරන තෙල් ගබඩා කර ගැනීමට භාවිතයට ගත හැකිය. තෙල් තොග මිලදී ගැනීමටත් කලාපීය කේන්ද්‍රස්ථාන පටන් ගැනීමේදී ඛනිජ තෙල් සිල්ලර අලෙවියටත් යොදාගත හැකිය. මේ මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල් අඩු මිලකට මිලදී ගැනීමේ හැකියාව උදාවේ. එහිදී ලෝක තෙල් වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයට අනුව කටයුතු කළ හැකිය.

විශාල තෙල් පිරිපහදු ඒකකයක් පිහිටුවීමෙන් අප සතු තෙල් පිරිපහදු කිරීමට අවස්ථාව පෑදේ. ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානයේ කොටසක් ලෙස තෙල් අපනයනයත්, ටික කලකට පසු තෙල් මිල පහත දැමීමටත් එමගින් අවකාශ සැලසේ.

තෙල් ටැංකි යළි සකස් කර ගැනීම හා සමාන්තරව ස්වභාවික ද්‍රව වායු (LNG) ආනයනය කිරීමටත්, දේශීය පරිභෝජනය හා අපනයනය උදෙසා ගබඩා කිරීමටත් අවකාශ සැලසේ. මේ මගින් කෙරවලපිටියේ බලාගාරයට ස්වභාවික වායු (LNG) සැපයීමට හැකිවන අතර පවතින ඛනිජ තෙල් මත පදනම් වූ බලාගාර ස්වභාවික වායුවලින් ක්‍රියාත්මක කරන ඒවා බවට පරිවර්තනය කිරීමේ හැකියාව ද උදාවේ. ඒ හරහා ලංවිමට සහනාධාර මිලකට තෙල් සපයා විදුලි බල උත්පාදනයට වැයවන පිරිවැය ද අඩුකර ගත හැකිය.

ස්වභාවික වායු මත පදනම් වන විදුලි බල උත්පාදන බලාගාරයෙන් දැනට පවතින රැහැන් මාර්ග ඔස්සේ විදුලි බලය සැපයිය හැකි නමුදු ඒ සඳහා කාලයක් ගත වේ.

ඉහත කී බලාගාර සඳහා දැවැන්ත වියදමක් යන අතර එය අප රටට දැරිය හැකි මට්ටමින් ඔබ්බට යන්නකි. එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මූල්‍යමය සහයෝගය දෙන්නට ජපානය කැමැත්තත් පසුවේ. එවිට මූල්‍ය ප්‍රශ්නයද ගැටලුවක් නොවනු ඇත.

 

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා

අප රටට ඇත්තේ නොබැඳි ප්‍රතිපත්තියකි. සෑම රටක් සමගම මිත්‍රශීලීව ක්‍රියා කරන අතර අපට සතුරු රටවල් අවශ්‍ය නැත. එහෙත් දැනට පවතින මූල්‍ය අසීරුතා නිසා අප රට දැනටමත් චීනය වෙත නැඹුරු වී සිටී. එය බටහිර රටවල නොසතුටට හේතුවේ. LTTE සමග පැවැති යුද්ධයේදී යුද අපරාධ වූ බවට ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල වීමෙන් බටහිර රටවල් ශ්‍රී ලංකාවට චීනය සමග පමණට වඩා මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම ගැන දඬුවම් දීමට යන සෙයක් පෙනේ.

 

ඉන්දියාව පසමිතුරු බවින් මිතුරු බවට හරවා ගැනීම

1987 ඉන්දියාව සාම ගිවිසුමට අත්සන් කිරීමට බල කිරීම නිසා ශ්‍රී ලංකාව සතුරකු  ලෙස ඉන්දියාව දෙස බලන්නට හුරු වූයේය. එහෙත් එල්.ටී.ටී.ඊ. කාන්තාවක විසින් රජීව් ගාන්ධි මරා දැමීමෙන් පසු ඉන්දීය රජයේ ආකල්පය වෙනස් විය. යුද්ධයේ අවසාන අදියරේදී LTTEය පරාජය කිරීම සඳහා මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික සහාය ඉන්දියාවෙන් ලැබිණි. එහෙත් ඉන්දියාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ආකල්පය වෙනස් වී නැති සෙයක් පෙනේ.

යුද්ධය නිමාවීමෙන් පසු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කිරීමට, යුද්ධයෙන් පීඩාවිඳි අයට නිවාස ඉදිකර දීමට, රට පුරා ගිලන් රථ සේවාවකට සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව උදෙසා ඉන්දීය සහයෝගය ශ්‍රී ලංකාවට හොඳින් ලැබිණි. දෙරට අතර පසුගිය කාලයේ ගිවිසුම් බොහෝ අත්සන් කෙරිණි. එහෙත් ක්‍රියාකාරී  මට්ටමට පැමිණියේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි භාරදීම පමණකි. ඊට අමතරව මූල්‍ය අමාරුකම්වලදී අසල්වැසි රටෙන් උදව් ඉල්ලීමට ජනාධිපතිවරයාට සිදුවිය.

 

අපගේ ඇමැතිවරුන්ගේ වෙනස්වන ප්‍රතිපත්ති

අපේ ඇමැතිවරුන් ගැටලුව විසඳාගන්නට යන්නේ වෙනස් ආකාරයකටයි. 2019 නව රජය බලයට පත්වීමෙන් පසුව බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරන ලද්දේ “ශ්‍රී ලංකාව 2020 වනවිට බොර තෙල් ගබඩා ධාරිතාව දෙගුණ කිරීමේ ඉලක්කයක් තබාගෙන ඇත. ඊළඟ අවුරුද්ද මැද හරිය වනවිට ඉන්දියාව සහ ජපානය සමග ස්වභාවික වායු හා බලාගාර ඉදිකිරීමේ ත්‍රෛපාක්ෂික ගිවිසුම අත්සන් කළ පසු එම ඉලක්කයට යා හැකිය.” යනුවෙනි.

2020 ජුනි මාසයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 25ක් මිලියන ඩොලර් මිලියන 20-30 ක වියදමෙන් සංවර්ධනය කිරීමට සූදානම් වන බව ඩේලි එෆ්ටී පුවත්පතට ප්‍රකාශ කළේය. “මේ වනවිට අප මුළු රටටම ඉන්ධන බෙදා හරින්නේ කොළඹ පිහිටි අපගේ ප්‍රධාන ගබඩා පහසුකම්වලිනි. යෝජිත තෙල් ටැංකි 25 සංවර්ධනය කළොත් රටට අවශ්‍ය මාස දෙක තුනක ඉන්ධන ගබඩා කරගැනීමේ හැකියාව ආණ්‍ඩුව සතුවනු ඇත. වියදම් පිරිමසා ගැනීම අතින් කාර්යක්ෂම වූ  බෙදාහැරීමක් එවිට උතුරු, නැගෙනහිර, උතුරුමැද යන පළාත් වෙත සිදුකළ හැකිය. ඒ ආකාරයට රජයට මුදල් ඉතිරියක් කර ගැනීමටද හැකිවේ.” සභාපතිවරයා පුවත්පතට කීවේය.

2021 පෙබරවාරි මාසයේදී ඉන්දීය පුවත් මාධ්‍ය පහත ආකාරයෙන් වාර්තා විය. “බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන ආකාරයට නැගෙනහිර ත්‍රිකුණාමල වරායේ පිහිටි ඉන්දියානු තෙල් සමාගමට බදු දෙන ලද, දෙවැනි ලෝක මහ යුද්ධයට පෙරාතුව ඉදිකළ තෙල් ටැංකි 99 ශ්‍රී ලංකාවට අවශ්‍ය වනු ඇත.”

 

මෝදිගේ අනුවණකම

ගෝඨාභය ජනාධිපතිවරයා බලයට පත්වූ විට පළමු විදේශීය සංචාරය ගියේ අසල්වාසී ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි හමුවීමටයි. එවිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ඉක්මනින් පළාත් සභා පිහිටුවීමේ ඉල්ලීමයි. ශ්‍රී ලංකාව පළාත් සභා පනත සම්මත කළේද යන්න ඔහු සොයා බැලුවේය. (දැන් නීතිමය ප්‍රශ්නයක් නිසා එය අත්හිටුවා ඇත.)

මෝදි පළාත් සභාව වෙනුවට ත්‍රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාව කළේ නම් ඒ සම්බන්ධ සෑහෙන ප්‍රගතියක් අත් කරගන්නට ඉඩ තිබිණි.

 

ඇමැතිවරයාට එරෙහි චෝදනා

තෙල් සඳහා යන පිරිවැය ජනතාව මත පැටවූයේය යන චෝදනාව අමාත්‍ය උදය ගම්මන්පිල වෙත එල්ල වී ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්‍වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඉහත කාරණයෙන් පෙනී යන්නේ අමාත්‍යවරයා තම බලය වැඩි කර ගැනීම ගැන වැඩි සැලකිල්ලක් දක්වන බවයි. ඒ අතර ජනතාවට එහි මිල ගෙවන්නට සිදුවේ. ඉදිරි දින කිහිපයේදී ඒ ගැන විස්තර දැනගත හැකිය.

 

ඉදිරි දැක්ම:-

තම අරමුණු කරා යාමේදී රටවල් අතර සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැති වග රටේ දේශපාලනඥයෝ තේරුම් ගත යුත්තෝය. දශකයකට පෙර රුසියාවට සමීපව සිටි ඉන්දියාව දැන් ඇමරිකාව සමග මිතුරු රාජ්‍යයකි.

ලෝකයේ විශාලතම ස්වභාවික වරායක්වන සෑහෙන ගැඹුරෙන් යුක්තවූ ත්‍රිකුණාමල වරාය උපරිම ලෙස භාවිතාවේ යොදවා වැඩි දියුණූ කිරීමෙන් ලෝ පුරා ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකිය. අඩුවෙන් සංවර්ධනය වී ඇති නැගෙහිර ප්‍රදේශය සංවර්ධනය වීමට ද එය හේතුවක් වනු ඇත.

ලෝකයේ තුන්වැනි බොර තෙල් ආනයනකරුවා වූ ඉන්දියාව ත්‍රිකුණාමලයේ දැවැන්ත තෙල් ටැංකිවල ගබඩාකරණ වාසිය ගතහොත් ඉන්දියාව තෙල් මිල ඉහළ යෑමට ගොදුරු වීමද ඉන් අඩුවනු ඇත. එම නිසා තෙල් ටැංකි වැඩි දියුණු කිරීම කඩිනම් කිරීමටද ඉන්දියාව උනන්දු වනු නියතය.

ජනාධිපතිවරයා ත්‍රිකුණාමල ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස අගමැති මෝදිගෙන් ඉල්ලා සිටියහොත් ඊට සුබදායී ප්‍රතිචාර සැනකින් ඔහුගෙන් ලැබෙනු නියතය.

දැනට භාවිතයේ නැති තෙල් ටැංකි අලුත්වැඩියා කිරීම ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය සැකසීමේදී අවශ්‍ය වේ. එමගින් බහුල ලෙස පිරිපහදු කිරීමේ හැකියාවත් අඩු මිලට බොර තෙල් ආනයනය කිරීමේ හැකියාවත් උදාවේ. ජපානයේ සහයෝගයෙන් එකී ව්‍යාපාරය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිය. පිරිපහදුවට උනන්දුව දක්වන ඇමෙරිකාවෙන්ද විරෝධයක් නොනැගේ. වඩාත් වියදම්කාරී වූ වර්තමාන පිරිපහදු යෝජනා එවිට අවශ්‍ය නොවේ. ඉන්දියා සහයෝගයෙන් එවිට තෙල් මිල ඉහළ යාමේ ගැටලුවද විසඳාගත හැකිය. රටේ වියදම ද එම නිසා මෙම අසීරු අවස්ථාවේ පිරිමසා ගත හැකිය.

 

වසරක් තුළ ලාබෙට තෙල්

භාවිතයේ නොමැති තෙල් ටැංකි 15ක් නැවත පිළිසකර කර පරිහරණයට ගැනීමෙන් රට තුළට ආනයනය කරන තෙල් ගබඩා කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට උදාවේ. රටේ පිරිපහදු කළ තෙල් අවශ්‍යතාවෙන් සියයට 80ක් එසේ පිරිමසා ගැනීමෙන් මහජනතාවට අඩු මිලට තෙල් ලබාදීමේ හැකියාව ලැබේ. මෙම සමස්ත ක්‍රියාදාමයම වසරකට අඩු කලකදී ඉටුකළ හැකිය.

ඉන්දියාව සමග තෙල් කේන්ද්‍රස්ථාන ගිවිසුමට එක්වීමෙන් චීනය සමග හම්බන්තොට වරායේ සහ කොළඹ නගරයේ ඇති සම්බන්ධතාවලට සාපේක්ෂව ඉන්දියාව සමග මිත්‍රශීලී සබඳතා තුලිත කර ගැනීමේ හැකියාව උදාවේ. එවිට බටහිර රටවලින්ද වැඩි පිළිගැනීමක් ශ්‍රී ලංකාවට ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල මානව හිමිකම් චෝදනා ද ඉවත්ව යනු ඇත.

ටියුඩර් විජේනායක විසිනි...

(***)
2021/7/14 වැනි දින Daily FT පුවත්පතේ පළවූ
Oil Crisis - Cheaper oil possible within a year
ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ