අලුත් පරම්පරාවේ ජවය තොරතුරු තාක්ෂණය බව පැහැදිලිය. අලුත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී ඇති බව ඉතිහාසය ගවේශනය කරන විට පෙනේ. මානව වංශ කතාවේ කැපී පෙනෙන කාල පරිච්ඡේද ගණනාවකි. ගින්දර සොයා ගැනීම, රෝද භාවිත කිරීම, බලශක්ති ප්‍රභවයන්හි විවිධ අංශ යනා දී වශයෙන් දිග ලේඛනයක් ඉදිරිපත් කළ හැක. එහෙත් තොරතුරු තාක්ෂණය අසම සම අවස්ථාවකි. ගෝලීයකරණය ගැන තිබුණ නොපැහැදිලි භාවය තුරන්කරන අතර ලෝකය එක යායක් බවට හරවන්නට තොරතුරු තාක්ෂණයට හැකියාව ලැබී ඇත.

මෑත අතීතය දක්වා තොරතුරු වරප්‍රසාද සහිත පැලැන්තියකට සීමා වී තිබුණි. සිද්ධි දැනගැනීමට අවස්ථා නොතිබුණ තරම්ය. දුරකතනයකින් හෝ ලිපියකින් කරුණු දැනගැනීමට ද කාලයක් ගත විය. දැන් ලෝකයේ එහා කෙළවරක සිදුවන දේ මෑත රටක සිටින ඕනෑම කෙනකුගේ ජංගම දුරකතනයට ක්‍ෂණයකින් ලැබේ. ජන ජීවිතය පහසු කරනු සඳහා තොරතුරු තාක්ෂණය ඉවහල් කරගත හැකිය.

කොවිඩ් වසංගත තත්ත්වය සමග ජන ජීවිතය තවත් පැත්තකට හැරිණ. තෙරතුරු තාක්ෂණයට වේගයෙන් නැඹුරුවිය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම, අධ්‍යාපනය, ඇතැම් රැකියා කටයුතු, මුදල් හුවමාරුව ඇතුළු නොයෙක් ක්ෂේත්‍රවල පැතිරීමක් සිදුවිය. ඇතැම් වෛද්‍යවරුන් පවා රෝග වාර්තා යොමු කළ පසු අන්තර්ජාලයෙන් ප්‍රතිකාර කිරීම අරඹන ලද බව සඳහන් කළ යුතුය. වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසු නැවතත් පුරුදු සම්ප්‍රදායට ඇතුළු විය යුතු නැත.

අවධානයට ගත යුතු තවත් පැත්තක් තිබේ. තවත් පියවරක් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය පසුතලය සැකසීම සම්බන්ධ පුළුල් වගකීමක් රජයට ඇත. රජයේ කටයුතු සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ භාවිතය වේගවත් කළ යුතුය. පැරණි චක්‍රලේඛන හා විධිවිධාන ඉවත් කළ යුතුව තිබේ. සම්ප්‍රදාය අතහැර අලුත් රාමුවට ඇතුළුවීම අවශ්‍යය. ආණ්ඩුවේ හා විපක්ෂයේ මහජන නියෝජිතයන් එහි ලා ආධුනිකයෝ නොවෙති. මැතිවරණ කාලයේ දී සියලු සමාජ මාධ්‍ය භාවිත කරන අතර ඡන්ද දායකයන් සමග සන්නිවේදනයෙහි යෙදෙති. මැතිවරණය අවසන් වුණ පසු ඇතැම් මහජන නියෝජිතයන් එහි ලා තිබුණ උනන්දුව අත් හරින බව පෙනේ.

ජනතාව සමග පමණක් නොව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීම සඳහා තාක්ෂණික දොරටුව විවෘත කරගත යුතුව තිබේ. රජයේ නිලධාරීන් එහි ලා යුහුසුළු විය යුතුය. ජාත්‍යන්තර සම්බන්ධතා සහ රටවල් අතර කරන ගනුදෙනු සඳහා ද මෙම නැඹුරුව ඉතා වැදගත්ය. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අලුත් වී ඇති වකවානුවකි. රාජ්‍ය නායකයෝ කෙළින්ම සාකච්ඡා කරති. මැති ඇමැතිවරුන් ද්වී පාර්ශ්වික හා බහු පාර්ශ්වික සාකච්ඡා කරන බව අනාවරණය වෙයි.  ජාත්‍යන්තර සංවිධාන සැසිවාර තොරතුරු තාක්ෂණය උපයෝගී කරගෙන, කරගෙන යයි. මේවායෙන් විශාල වරප්‍රසාද ලැබේ. කාලය ඉතිරිවෙයි. රටින් රටකට ගමන් කර පෞද්ගලිකව කරන හමුවීම් වැදගත් නමුත් එයට ගෙවිය යුතු වන්දිය බරපතළය. ගුවන් ගමන් වෙනුවෙන් පිරිවැය අධිකය. විශාල වියදමක් දරන්නට සිදුවෙයි. ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයක පසුවෙන අතර රට තුළ ආර්ථිකය ද යහපත් තැනක නැත. මෙවැනි කාල වකවානුවක රට තුළ කරන ගමන් බිමන් පමණක් නොව ජාත්‍යන්තර සංචාර ද සීමා කිරීමෙන් විශාල පිටුවහලක් අත්පත් කරගත හැකිය.

තොරතුරු තාක්ෂණය සමග සම්මුඛ සාකච්ඡා සඳහා නවතම අන්තර් ජාල ව්‍යුහ දියුණු කර තිබේ. ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ඉගෙනගන්නා දරුවෝ ඒවා බහුලව භාවිත කරති. පෞද්ගලික අංශයේ ජාලගත සම්මන්ත්‍රණ ඉතාම සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබේ. රජයේ ආයතන අතර සාකච්ඡා සඳහා තාක්ෂණය උපයෝගී කරගන්නට හැකිය. රටවල් අතර කරන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තවත් පියවරක් ඉදිරියට ගමන් කිරීම සඳහා පිටුවහලක් ලැබේ. කාලය කළමනාකරණය හා පිරිවැය සීමා කරගෙන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ලෝකය දෙස බලන්නට ඇති අවස්ථා මග හැරිය යුතු නැත. ජාලගත මුණගැසීම, සාකච්ඡා හා ගිවිසුම්වලට එළැඹීම සඳහා අවශ්‍ය කරන නීති රීති සම්මත කර ඒවාට අනුගතවීම රජයේ වගකීමකි. තාක්ෂණික හැකියාව හා එයින් අවස්ථා ලබාගැනීම පදනම් කරගෙන පන්ති බෙදීමක් සමජය තුළ ඇති නොවිය යුතුය.


(***)
මිලින්ද මොරගොඩ