මේ වනවිට අප ලංකාවේ දකින්නේ භාණ්ඩ හිඟයකි. ඒ හා අත්වැල් බැඳගත් කළු කඩ ක්‍රමයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැඩි සේ පීඩාවට පත් පාරිභෝගික සමාජයකි. 1970 දශකයෙන් පසුව වසර හතළිහක් වැනි දීර්ඝ කාලයකින් පසුව මෙවැනි තත්ත්වයක් දකින පළමු අවස්ථාව මෙය යැයි මම සිතමි.

ඩොලර් හිඟය, ආණ්ඩු ගණනාවක් විසින් හදාවඩා ගනු ලැබූ ප්‍රශ්න, භාණ්ඩ මිල සම්බන්ධයෙන් හටගෙන ඇති ගෝලීය ප්‍රශ්න මෙන්ම පසුගිය වසර දෙක තුනක කාලයේදී අනුගමනය කළ අපිළිවෙළ ආර්ථික තීන්දු ආදී ලෙස මෙයට බලපෑ මූලික හේතු දැක්විය හැකිය. එනිසා මෙය සංයුක්තව කෙරෙන විග්‍රහයකින් මිස තේරුම් කළ නොහැකිය.

ශ්‍රී ලංකාව අවශ්‍ය තරම් ඩොලර් උපයන රටක් නොවේ. එවිට අපේ උපැයීම් රඳාපවතින්නේ කෙටිකාලීනව ඩොලර් උපයන මාර්ග මතය. ඒවා නම් කොටස් වෙළෙඳපොළ, ආණ්ඩුවේ සුරැකුම්පත් වෙළෙඳපොළ, ආණ්ඩුව ගන්නා වාණිජ ණය හා අනෙකුත් ණයයි. මේ කිසිවක් සතුටුදායක ස්ථාවර දිගුකාලීන ඩොලර් උපැයීම් මාර්ග නොවේ. කොටස් වෙළෙඳපොළට හා බැඳුම්කරවලට එන මුදල් අද ඇවිත් හෙට යන පන්නයේ ඒවාය. නිතර ඉහළ පහළ යයි. රෑ එළිවනවිට කඩාගෙන යා හැකිය. 2020 අප්‍රේල් මාසයේ එසේ සිදුවිය. එවැනි ප්‍රශ්න නිසා ලංකාව බොහෝ අවස්ථාවල කරදරයට ද පත්විය. ඒවා එන්නේ ද කඩිමුඩියේ කීයක් හෝ හොයාගෙන යන්නටය. ඒවා ස්ථාවර ආයෝජන නොවේ. රටේ කුමක් හෝ ආර්ථික වෙනසක් දුටු විගස හෝ වෙනත් රටක පොලී අනුපාත වැඩි යැයි දුටු විගස ඔවුන් කරන්නේ සල්ලි ටික රැගෙන යාමය. ලෝකය පුරා ඩොලර් බිලියන ගණනින් එහාමෙහා වන කොටස් වෙළෙඳපොළ හා බැඳුම්කර වෙළෙඳපොළ කටයුතුවල හැටි එහෙමය. ඒවා එසේ වීමෙහි ප්‍රශ්නයක් නැත.

ප්‍රශ්නය වන්නේ ස්ථාවර ඩොලර් ඉපැයීමක් නැති ලංකාව වැනි රටවලට එය ඩොලර් මූලාශ්‍රයක් හැටියට අතිශය අස්ථාවර හා අනතුරුදායක වීමය.

කොවිඩ් වසංගතය සමග අපට ලැබෙන ඩොලර් ටිකත් අහිමි වී ගිය අතර භාණ්ඩ ආනයනයට ද ඩොලර් නොමැති විය. ආණ්ඩුව එවිට කළේ ආනයන පාලනයයි. එහෙත් එය ද සාර්ථක වූයේ නැත. එයින් පාලනය කරගත හැකි වූයේ ආනයන වියදමින් සියයට 10කටත් අඩු කොටසකි. මෝටර් රථ ආනයනයෙන් පාලනය කරගත හැකි වූයේ සියයට 4කි. එයින් පසු අත්‍යවශ්‍ය නොවන යැයි කියා පාලනය කළ භාණ්ඩ ලැයිස්තුවෙන් ද හැකිවූයේ තවත් සියයට1ක් පමණි. එසේ බලද්දී සියයට5ක් වැනි අතිශය සුළු ප්‍රමාණයකි. එයින් අවසන සිදුවූයේ භාණ්ඩ හිඟයක් නිර්මාණය වී භාණ්ඩ මිල ඉහළ යෑමය.

එයින් පසු බැංකුවලට ණයවර ලිපි විවෘත කිරීමට දෙන්නට ද ඩොලර් නොවීය. එහි ප්‍රතිඵලය වූයේ ඩොලර්වලටත් කළු කඩ බිහිවීමය. කළු කඩවලින් ඩොලර් ගෙන භාණ්ඩ ආනයනය කරද්දී භාණ්ඩ මිල තවත් ඉහළ ගියේය. එයින් වූයේ භාණ්ඩවලටත් කළු කඩ නිර්මාණය වී රට පෝලිම් යුගයකට නැවත වැටීමය.

මෙම තත්ත්වයට හේතු වූයේ අපට දිගුකාලීන ඩොලර් උපැයීමක් නැතිවීමය. මෙහි පළමු හේතුව වූ අපනයන ප්‍රවර්ධනය නිදසුනක් මගින් මනාව පැහැදිලි කළ හැකිය. 1990 දී ලංකාව අපනයනය කළේ ඩොලර් බිලියන 2ක් වටිනා භාණ්ඩය. ඒ අවස්ථාවේ දී වියට්නාමයේ අපනයනය ද ඊට සමානය. වසර තිහකට පසු එනම් 2020 දී ලංකාව ඩොලර් බිලියන 10ක් වටිනා භාණ්ඩ අපනයනය කරද්දී වියට්නාමයේ එහි අගය ඩොලර් බිලියන 280කි. ලංකාව අපනයනවලින් කෙතරම් දුර්වල වී ඇතිදැයි මෙයින් පෙනේ. දෙවැනි හේතුව නම් විදේශ ආයෝජනයි. විදේශ ආයෝජන විශාල වශයෙන් රටවල්වලට ගලාගෙන යයි. එහිදී ලොව විදෙස් ආයෝජන එන ප්‍රධාන රටවල් 10න් එකක් බවට ඉන්දියාව පත්ව ඇත. මෙය කොවිඩ් ප්‍රශ්නය සමග ගාවගන්නට බැරි කතාවකි.

කොවිඩ් යැයි කියා පසුගිය වසරේ විදේශ ආයෝජන නතර වූයේ නැතිවීමෙන් එය තහවුරුය. සිදුවූයේ තරමක් අඩුවීම පමණි. නිදසුනකට සිංගප්පූරුවට 2019 දී විදේශ ආයෝජන ඩොලර් බිලියන 90 ක් ද 2020 දී ඩොලර් බිලියන 54ක් ද ගලා ආවේය. එහෙත් ලංකාවට පහුගිය අවුරුදු හතරේදීම ඩොලර් බිලියන එකේ සීමාව පන්නා ගැනීමට නොහැකි විය.

එවිට අපට පහුගිය ආණ්ඩු සියල්ලෙන්ම අසන්නට ප්‍රශ්නයක් තිබේ. එය නම් ලෝකෙන් උතුම්ම රට වූ ලංකාවට මිනිසුන් සල්ලි ගෙන නොඑන්නේ මන්ද කියාය.

සැබැවින්ම විදේශ ආයෝජන ගලා එන්නේ නම් අපනයනත් වැඩිවේ. මේ අංග දෙක අතර ඇත්තේ අන්‍යොන්‍ය සම්බන්ධයකි. වියට්නාමයේදී සිදුවූයේ එයයි. දුර්වල විදේශ විනිමය මූලාශ්‍ර මත ලංකාවට රැඳෙන්නට සිදුවූයේ මේ අංග දෙකෙන්ම අපි අසාර්ථක නිසාය.

කොවිඩ් වසංගතයෙන් වූවේ එකී දුර්වල විනිමය මූලාශ්‍රවලටත් පහර වැදීමය. එනිසා ලංකාවේ ආර්ථික අවුල කොවිඩ් නිසා නිර්මාණය වූවක් යැයි කීමට කිසිසේත් නොහැකිය.

ආර්ථික අවපාතය සමග සාමාන්‍යයෙන් භාණ්ඩ මිල අඩු වේ. ලෝක ආර්ථික අවපාතය පටන් ගත්තේ 2008 දීය. ඇමෙරිකානු මූල්‍ය අර්බුදයෙන් ආරම්භ වූ මේ ආර්ථික අවපාතයෙන් ලෝකයේ රටවල් තවමත් ගැල වී නැත.

කොවිඩ් කඩා වැදුණේ එයින් ගැලවීමට තැත්කරමින් සිටි ලෝකයටය. එය ඊටත් වඩා විසල් පහරක් විය. මේ නිසා බටහිර ලෝකයේ හටගත්තේ අවධමනකාරී තත්ත්වයකි. වසංගතයේ දී ඔවුන් උත්සාහ කළේ උද්ධමනය වළක්වා ගැනීමට නොව අවධමනය වළක්වා ගැනීමටය. ලංකාවේදී එය පැහැදිලිව නොපෙනුණත් ලොව භාණ්ඩ මිල පැවැතියේ අඩුවීය.

ලංකාවේ ආනයනවල දී වැදගත්ම දේවල් වන්නේ තෙල් හා ආහාරයි. මේ වනවිට කොවිඩ් එන්නත්කරණය ඉදිරියට ගොස් ලෝක ජනගහනයෙන් බිලියන 6ක් පමණ එන්නත ලබාගෙන ඇති අතර තවත් වසරක් පමණ යද්දී ලොව වැඩිහිටි ජනගහනයට එන්නත ලබාදීමට හැකි යැයි අනුමාන කෙරේ.
මෙහි අතුරුඵලයක් හැටියට ලෝකයේ ඉල්ලුම යථා තත්ත්වයට පත්වීම සිදුවේ. දැන් එය ආරම්භ වී තිබේ. එහි ලක්ෂණයක් නම් භාණ්ඩ මිල වැඩිවීමයි.

එහිදී තෙල් මිල වැඩිවන විට අනිවාර්යයෙන්ම ආහාර මිල වැඩිවේ. ඇතැම්විට අපේ ආනයන වියදමින් තුනෙන් එකක්ම වෙන්වන්නේ තෙල්වලටය. කුළු බඩු, සැකැසූ ආහාර ආදී ලෙස ආහාරවලටත් විශාල පංගුවක් වැයවේ.

එවිට ලෝක වෙළෙඳපොළේ මේවායේ මිල ගණන් වැඩිවීමටත් අපට මුහුණ දීමට සිදුවේ. ශක්තිමත් ආර්ථිකයක් හිමි රටවලට මෙය ලොකු ප්‍රශ්නයක් නොවේ. ලංකාවට එය ලොකුවට බලපාන්නේ අපට අනන්‍ය වූ දුර්වල ආර්ථිකයත් සමග ඩොලර් හිඟයක් පැමිණි නිසාය.

අපනයන ප්‍රවර්ධනය, ආර්ථික වර්ධනය, විදේශ ආයෝජන ගලාඒම යන සියලු ප්‍රශ්නවලට මුල අපේ රටට දිගුකාලීන දැක්මක් ඇති ආර්ථික වැඩපිළිවෙළක් හා ප්‍රතිපත්තිමය රාමුවක් නොවීමය.

අපේ ආණ්ඩු වැඩ කරන්නේ ඡන්දවලට මිස ආර්ථිකය හදන්නට නොවේ. මේ නිසා ඡන්දය අවසන් වූ පසු කරන්නේ කුමක්දැයි ආණ්ඩු දන්නේ නැත. එහි ප්‍රතිඵලය වන්නේ පාලකයන් හිතු හිතු දේ කිරීමය.

එවිට සිදුවන්නේ රෑ එළි වන පමාවට ශක්තිමත්ව සිටි ව්‍යාපාරිකයන් බිමට වැටීමය. කොහේවත් නොසිටි ව්‍යාපාරිකයන් මතුවීමය. ඇතැමුන්ගේ ව්‍යාපාර දියුණුවීමය. තවත් පිරිසකගේ ව්‍යාපාරවලට බදුවලින් පහර වැදීමය. මේ සියලු අව් අස්සේ විවිධ වංචා දූෂණ අයථා ක්‍රමවලින් දවසින් දෙකෙන් පොහොසත් වන්නෝ ද වෙති.

මේ කිසිවක් ගැන ජනතාවට වැටහීමක් ද නැත. භාණ්ඩ මිල ඉහළ යද්දී පාලකයන් දන්නා එකම ආර්ථික න්‍යාය නම් මිල පාලනයයි. මිල පාලනය යනු ආණ්ඩුවකට කළ හැකි දෙයක් නොවේ.

එයින් භාණ්ඩවල සැපයුම් හිඟය නැති කළ නොහැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිෂ්පාදනයයි. අනෙක් අතට මිල පාලනයෙන් සිදුවෙන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ ජනතාවට ලැබීමේ මග ඇහිරීමය.
පාට කළ රතු කැකුළු වස විස කවලම් කුළු බඩු පාරිභෝගිකයා අතට එන්නේ එවිටය. භාණ්ඩ හිඟයත් මිල පාලනයත් සමග භාණ්ඩ සැඟවීම සිදුවන අතර එයින් නිර්මාණය වන්නේ කළු කඩයි. ඒ නිසා මිල පාලනයෙන් අප ලබාගත් ප්‍රතිඵලයක් නැත. සිදුවූයේ දුප්පත් ජනයාට කන්නට යම් ආහාරයක් තිබුණේ නම් එයත් අහිමිව යාමකි. එනිසා මිල පාලනය ඉවත් කිරීම හොඳ දෙයකි.

එහෙත් බැරිම තැන දී මිල පාලනය අයින් කළ විට එයින් බැටකන්නේ ද නැවත මහජනයාය. ආණ්ඩුව පසුගියදා මිල පාලනය ඉවත් කළේ බිත්තියට හේත්තු වූ නිසා මිස නව රටක් වෙනුවෙන් වූ සමස්ත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙක පියවරක් වශයෙන් නොවේ. ආණ්ඩුව යම් යම් අයගේ වුවමනා එපාකම් අනුව මිල පාලනය ගෙනාවේ යම් සේද ඉවත් කළේ ද එසේමය. මෙයින් ද ඇතැම්විට කලින් සිටි ව්‍යාපාරිකයන් නැති වී යන අතර වැඩි මිලට භාණ්ඩ මිලට ගත් අයට පහර වදිනු ඇත. පෙර කී පරිදිම රෑ එළි වන පමාවට එක ව්‍යාපාරික පිරිසක් හිස ඔසවද්දී තව පිරිසක් බිම වැටී සිටිනු ඇත. නිශ්චිත දිශානතියක් නැතිව සමස්ත ආර්ථික පරිසරය, නීතිරීති පරිසරය සැකැසීමක් නැතිව ගත වූ මේ වසර දෙකේ ප්‍රතිඵලය මේවා බව අපට පිළිගැනීමට සිදුවේ.

විදේශ ආනයන නතර කළ විට දේශීය නිෂ්පාදන වැඩිවන්නේ යැයි ඇතැම්මු විශ්වාස කරති. කිරිපිටි සම්බන්ධයෙන් මේ කුප්‍රකට තර්කය දැන් දැන් දැකිය හැකිය. එහෙත් මෙය තනිකරම අපේ රටේ ආර්ථික ඉතිහාසය ගැන නොදන්නා අයට ඉදිරිපත් කරන තර්කයකි. 1960 හා 1970 දශකවල දී අප මේ පිළිවෙත අත්හදා බැලූ අතර භාණ්ඩ තහනම අදට වඩා දරුණු ලෙස ක්‍රියාත්මක වූයේ එකලය. දේශීය නිෂ්පාදනයට යැයි කියා රෙදිපිළි ආනයනය නතර කළේය.

එහෙත් දේශීය නිෂ්පාදන රාත්‍රී කාලයට ගැළපුණ නමුත් දිවා කාලයේ දී ඇඳගෙන පාරේ බැහැලා යන්නට හැකි තත්ත්වයේ නොවීය. සීනි ආනයනය නතර වී හකුරු නිෂ්පාදනයට යොමු වූ අතර හකුරුවල වැඩිපුර තිබුණේ හුඹස් මැටිය. 60 දශකයේ මුලදී ක්‍රමිකව ආරම්භ කළ මේ පිළිවෙත 70 දශකයේ දී දරුණු තැනකට ගිය අතර එයින් අපනයන ප්‍රවර්ධනයක් වූයේ නැත.

එයින් කෙරෙන්නේ විදේශ විනිමය සොච්චමක් තබාගෙන එය ඉතිරි කරගැනීමට යත්න දැරීමකි. එසේ සොච්චම ඉතිරිකර ගැනීමට යාමේ දී රටට ආර්ථික වශයෙන් කරගන්නා හානිය අතිවිශාලය. භාණ්ඩ හිඟය මෙන්ම වෙළෙඳ ශේෂය ද වැඩිවෙද්දී ආනයනය කරන භාණ්ඩ ටික සඳහා ද විනිමය නැතිවේ.

එවිට තව තවත් අපනයනවලට සීමා පැන වූ අතර එය අමුද්‍රව්‍ය ආනයනය දක්වා ද පැතිරිණි. අමුද්‍රව්‍ය ආනයනය නතර වෙද්දී නිෂ්පාදන ව්‍යාපාර ද කඩා වැටුණි. ඉතින් මෙය අලුත් ආර්ථික මාදිලියක් නොවේ. වසර විසි පහක් පමණ අත්හදා බලා 1977 වනවිට ජනතාවට එපා වී පිළිකුල් කළ ආර්ථික මාදිලියකි. මා සිතන ආකාරයට ඒ අර්ථයෙන් නම් 1970 සිට 1977 දක්වා තිබුණේ ලංකාවට ඉතා වැදගත් ආණ්ඩුවක් බවයි. මන්දයත් වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවට වඩා පහසුවෙන් විවෘත ආර්ථිකයට පාර කැපෙන්නට හේතුව වූයේ එකී ආණ්ඩුව ගැන ජනතාවට තිබූ කලකිරීම වන බැවිනි. 1977 මහමැතිවරණ ප්‍රතිඵලය විසින් ඒ කලකිරීමේ තරම ප්‍රමාණය තහවුරු කරනු ලැබීය.

එහෙත් ලංකාවේ ආණ්ඩුවලින් වඩාත්ම අමනෝඥ ආණ්ඩුව කුමක්දැයි ඇසුවොත් මට කියන්නට සිදුවන්නේ 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බවය. ඊට හේතුව නම් රටේ ආර්ථික ප්‍රතිපත්තිය, නීතිරීති පද්ධතිය, ශික්ෂණය සඳහා නොයෙදීමෙන් එකී හයෙන් පහක විශාල පාර්ලිමේන්තු බලය ඔවුන් විසින් නාස්ති කරනු ලැබීම නිසාය. අප අදටත් රටක් හැටියට භුක්ති විඳින්නේ මහජන බලය එසේ නාස්ති කරගැනීමේ ප්‍රතිවිපාකය.

අවසාන විග්‍රහයේදී මිල පාලනයෙන්වත් පාලන නීති දමා පසුව ඉවත්කිරීමෙන්වත් මහජනතාවට සැලසෙන සෙතක් නැත. රටක ජනතාවට සෙත සැලසෙන්නේ සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය අනුවය. ව්‍යාපාර දියුණු වන්නේත් පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙන්නේත් රැකියා වර්ධනය වී ආදායම් දියුණුවන්නේත් ඒ අනුවය. නිසි නීති රීති පද්ධතියක් නොමැතිව ආර්ථික ප්‍රතිපත්ති ගෙන යන්නෝ තනන්නේ පාදමක් නොමැති නිවාසයකි. 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉදිකළේ එවැනි නිවසකි. එ.ජා.ප නායකත්වය විවෘත ආර්ථිකය හඳුන්වා දුන් නමුත් ඒ සමගම වංචාවටත් දූෂණයටත් ඉඩකඩ හදා දුන්නේය. නීතිය හා පර්යාය බිඳවැටුණු අතර නිර්මාණය වූයේ කොල්ලකාරී අර්ථ ක්‍රමයකි.

එහි දීර්ඝකාලීන ගොදුරු බවට අද අප පත්ව ඇති නමුත් ඉන්පසුව පැමිණි ප්‍රතිපත්ති සකසන්නන් යැයි කියන පිරිස තවදුරටත් යමින් සිටින්නේ ද අඳුරෙන් අඳුරටය. දැනටත් ආර්ථික ප්‍රතිසංස්කරණ පැත්තක තබා දේශපාලන තීරණ ගනිමින් තිබෙන අතර සහන් එළියක් නම් දකින්නට නොවේ.

(***)
සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ