ශ්‍රී ලංකාවේ බත් දුන් පියා ලෙස විරුදාවලි ලත් ඩඩ්ලි සේනානායක මහතාගේ 109 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජීවත්ව සිටිය දී මිනිසකුගේ ගුණ ගැයීම අද සමාජයේ විරලය. මිනිසකුගේ නැති ගුණ පවා මතක් වන්නේ කෙනෙකු මියගිය පසුය. එහෙත් අද ජීවතුන් අතර නැති මේ කෘතහස්ත ලේඛකයා ඩඩ්ලි සේනානායක මහතාගේ යහගුණ දැක්කේ ඒ මහතා ජීවතුන් අතර සිටියදීය. මේ ලිපිය උපුටා ගනු ලැබුයේ 1961 ජුනි 16 වැනි දින සියරට පත්‍රයෙනි.

‘ඩඩ්ලි හොඳ වැඩියි නොයෙක් විට නොයෙක් දෙනා කියති. කතාව ඇත්තය. ඇත්ත වුවත් සම්පූර්ණ නොවේ.
ගලකින් පට්ට ලබා ගත හැකිය. නොහැක්කේ ඩඩ්ලිගේ ප්‍රතිපත්තියක් ඔහු ලවා වෙනස් කරවා ගැනීමටය.
දැන් ඉතින්

‘‘ඩඩ්ලි තද වැඩියි’’
ඔහුගේ ප්‍රතිපත්තියක් ඔහු ලවා වෙනස් කරවා ගැනීමට පමණක් නොව බුරුල් කරවා ගැනීමට ද නොහැකිය.


මහමෙරක්

ඔහුගේ හදවත තෙත් ය. කරුණා ගුණයෙන් පරිපූර්ණය. එහෙත් ප්‍රතිපත්තිය ඉදිරිපිට ඔහු නොසෙල්වෙන මහමෙරකි. හැඩි දැඩි පුද්ගලයෙකි. ඔව්. එඩිතර ඩඩ්ලි.

මේ දැඩි ගතිය නො තිබුණේ නම් අගමැති ධුරය තවමත් ඔහු අතේය.

බලවත් වූද දුෂ්කර වූද සටනකින් පසුව අතට පත් බලය රඳවා ගැනීම පිණිස ඔහුගෙන් කිය වෙන්නට තිබුණේ එකම එක වචනයයි.

උතුරේ ප්‍රශ්නය ඉදිරි පිට ‘‘එකඟයි’’ යන වචනය කීමට ඔහුගේ දිව නොනැමුණේය.

ඔහුගේ මුවින් නිකුත් වචනය ලියැවිලි දහසකටත් වඩා ස්ථිරයි. විශ්වාසයි.

වැට උඩ සිටි ඇතැමෙක් කුරුමානම් ඇල්ලූහ. ඇතැමෙක් වැටට යටින් රිංගන්නට හොස්ස පොවාගෙන සිටියහ.
ඔවුනට පෙනුණේ බලයට කෑදර හදවතක් නොව රටට ආදරය ඇති හදවතකි.

අපි අවාසනාවන්ත සිද්ධීන් ගෙන් යුත් වකවානුවක වාසනාවන්ත ලෙස ජීවත්වමු. මෙකල අවංක නායකයකු සමග එක්වීමේ වාසනාවත් කාන්තාරයේ දී ක්ෂේම භූමියකට පිවිසීමේ වාසනාවත්‍්‍ අතර වෙනසක් නොපෙනේ.
ඒ නිසාම අද අවංක නායකත්වය කරා දිවයිනේ තරුණ බලවේග එක් රොක් වෙයි.
‘‘විලියම් පිට්ගේ කාමරයට ඇතුළු වූවකු එයින් පිටවන්නේ වීරයකු වීමෙනි.’’
(මෙය එංගලන්තයේ දහ අටවැනි සියවසේ මැද භාගයේ දී කියැවුණේ බ්‍රිතාන්‍ය ඉතිහාසය බැබල වූ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයකුගේ චරිතාංගයක් නිරූපණය කිරීම පිණිසය. විලියම් පිට් රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.)


විවෘත ජීවිතයක්
ඩඩ්ලි සේනානායක මහතාගේ කාමරයට ගිය කෙනෙකු එයින් පිටවන්නේ අවංක හදවතක් ඇතුවය.
විවෘත ජීවිතයක් ගත කරන පුද්ගලයකුගේ ස්වරය හඳුනා ගැනීමට නම් ඩඩ්ලිට කන්දිය යුතුය.

අභිරහසක් නැති හදවතක් ඇති කෙනෙකුගේ වචන කෙබඳුදැයි වටහා ගැනීමට නම් ඔහු සමග කතා බහ කළ යුතුය.
‘‘වගකීම’’ යන්නෙහි අර්ථය නිරවුල් කර ගැනීමට නම් ඔහු ඇසුරු කළ යුතුය.

ඔහුගේ කතාව සත්‍යයේ හා විශ්වාසයේත් වගකීමේ හා අවංක භාවයේත් මිශ්‍රණයකි. එය මැති සබයේදීත් මහජන වේදිකාවේත්, ගෙදරදීත් ඒකාකාරය.

‘‘ඒ ළමයාට ඒ වැඩේ කරගෙන යන්න පුළුවනි.’’
මේ වගකීමක් ඉසිලීමට ශක්තිය ඇති පුතා ගැන පියකුගේ ආඩම්බරයයි.

බොහෝ විට දරුවකු දෙස මව බලන්නේ පියා බලන ඇසට වඩා වෙනස් ඇසකිනි. පියවරුන් ගේ හිත වැඩිපුර දුවන්නේ පුතුන්ගේ කාර්ය ශක්තිය ගැනය. මෑණිවරුන්ගේ හිත වැඩිපුර දුවන්නේ පුතුන්ගේ ගුණ වගාව අතේය.

‘මාගේ පුතා මට හොඳටම විශ්වාසයි’ මේ, කාටවත් වරදක් නැතිව ජීවත් වන හැදුණු වැඩුණු පුතා කෙරෙහි මවකගේ විශ්වාසයයි.

ඩඩ්ලි ගැන එවැනිම ආඩම්බරයකුත් විශ්වාසයකුත් රට වැසියා තුළ තිබේ. ඔහුගේ කාර්ය ශක්තිය ගැන ඇතිවන්නේ ආඩම්බරයකි. ඔහුගේ ගතිගුණ ගැන ඇති වන්නේ විශ්වාසයකි.

ඔහුගේ ප්‍රතිවාදී දේශපාලනඥයන් කියන්නේ කුමක්ද?
‘‘ඩඩ්ලි විශ්වාසයි’’
එතෙකින් නොනවතී
‘‘ඩඩ්ලි විශ්වාසයි නමුත්’’ කියන්නට සැලකිය යුතු යමක් නැත. කුමක් හෝ කිව යුතුය ‘‘බඩේ අමාරුව’’


වීර කතාව
එතෙක් කරගෙන ආ දේශපාලන ප්‍රශ්න පිළිබඳ තියුණු  විවේචනය එයින්ම අවසානයි. කළුවර තේක්ක මල් බුරුත කතා තුත්තිරි ගහෙන් කෙළවර වෙයි. සතුරු දේශපාලන කඳවුරෙන් නැගෙන්නේ පුහු වෙඩි බව තේරුම් ගැනීමට ‘‘බඩේ අමාරු කතාව’’ ප්‍රයෝජනවත්ය.

සමහර නාටකවල දී බැහැරින් එකතු කරගත් විකට ජවනිකා සභ්‍යත්වය ද ඉක්මවා යයි. ලේ උරා බොන මකුණන්ගේ ජය භූමියෙහි ඒ දෙස බලා සිටින මිනිස්සු උරුහම්බාමින් අත් පොළසන් දෙති.

අපේ දේශපාලන ඉතිහාසයේ සභ්‍යත්වයෙන් තොර විකට ජවනිකාව කෙළවර වූ පසු නැවතත් වීර කතාවේ ඉතිරි හරිය බලාගත හැකිය.

වැඩි කලක් නොගොස් රටේ සමෘද්ධිය ගැනත් ආචාරධර්ම ගැනත් පාලනයේ කෘතහස්ත භාවය ගැනත් කතාබහ කිරීමේ අවස්ථාවක් එළඹෙනු ඇත. එය නැවතත් ඩඩ්ලි සේනානායක මහතාට කන්දිය හැකි අවස්ථාවකි.

නාටකයක දී වීරයා ගේ ජයග්‍රහණය හැම විටම බලාපොරොත්තු විය යුතු නොවේ. වීරයකු පරාජයට පත්වන ආකාරය ද පෙන්විය යුතුය. එහෙත් වීරයාගේ සුරු විරුකම් උඩය.

අපි පැරදුණු වීරයකු දුටුවමු. එහෙත් වීර ජයග්‍රහණයක් නුදුටුවමු. බොරුද?
විරුද්ධවාදීන් කතා කළේ දේශපාලනය ගැන නොවේ. ඩඩ්ලි සේනානායක මහතා කතා කළේ දේශපාලනය ගැනය.
ඩඩ්ලි සේනානායක මහතාගේ වැරදි කීපයක් තිබේ.


අනුකම්පාවක්
යමකු අමාරුවේ වැටුණු විට අනුකම්පාව දැක්විය යුතුය. එහෙත් අල්ලස් කාරයන්ට ඔහු තුළ කිසිම අනුකම්පාවක් නැත්තේය.
හිතවත්කම උඩ බොරුවක් කියවා ගත නොහැකිය.

අයුතුවා සියල්ලක් ලබා ගැනීම සඳහා පොඩි උදවුවක් ලබාගත නොහැකිය. දේශපාලන විරුද්ධවාදියකුගෙන් පලිගැනීමට අවස්ථාව එළඹුණු විට ඔහු එය නොකරයි.

මුළා කිරීමෙන්, රැවටීමෙන්, වෙස් මාරුකර පෙන්නීමෙන් යමක් කරවා ගැනීමට අදහස් නොකරයි.

නොදන්නා දේවල් ගැන කතා නොකරයි. පුරසාරම්, කයිවාරු, අපහාස ඔහුගේ කටට හුරු නැත. මේ සියල්ල ඔහුගේ දුබලකම් හැටියට ඇතමුන් සලකනු ලැබේ.

දැදිගමින් රුහුණ හරහා පොළොන්නරු ගිය මහ පැරකුම්බා නරනාථයෝ ‘‘අහසින් වැටෙන එක දිය බිඳකුදු නිකරුණේ සමුදුරට යා නොදී රඳවා ගනීමැ’’යි උදන් අනමින් ලක් බිම සරු කළහ.

දැදිගමින් ආ ඩඩ්ලි සේනානායක තරුණ නායකයා ගල්ඔය නිම්නය දෙවන පොළොන්නරුවක් කළේය.
පොළොන්නරු ශ්‍රී සමෘද්ධියෙන් සියවස් පහකට පමණ පසුව ඩඩ්ලිගේ අභිමානවත් පියාණන්ගෙන් නැවත පොළොන්නරුවට සමෘද්ධිමත් යුගයක් එළඹුණේය.

මහ පැරකුම්බා සමෘද්ධිය අවසන් වූයේ කාලිංග මාඝයන්ගේ ආක්‍රමණයෙනි. ඒ සමගම ආ නියං ඝාතයෙන් වූ හානිය තවමත් නොමැකුණේය. ඉතිහාස යුගයන් සමාන ස්වරූපයෙන් නැවත නැවතත් පුනරාවර්තනය වන බව ඇතමෙක් කියති.

මහ රජකුගේ පෞරුෂත්වය පෙනෙන්නේ කිරුළු දරා සිහසුන් අරා සිටින විටය. මහා සෙනෙවියකුගේ පෞරුෂත්වය පෙනෙන්නේ සම්පූර්ණ යුද්‍ ඇඳුමින් සැරසී යුද බිමේ රණවිකුම් පළකරන විටය. ඩඩ්ලි සේනානායක ජන නායකයාට ඇත්තේ කොතනදීත් එකසේ පෙනෙන පෞරුෂත්වයකි. ඔහු දෙස වරක් බැලූ කෙනෙකුට නැවත නැවතත් ආපසු හැරී බැලීමට සිත් වෙයි.


පෞරුෂත්වය
ඩඩ්ලි සේනානායක මහතාගෙන් හැරුණු විට නැවත වරක් ආපසු හැරී බැලීමට සිත් දෙන විධියේ සිංහල හැඩහුරුකමින් යුත් පෞරුෂත්වයක් මා දුටුවේ ඩී.ඇස්. සේනානායක මහතාගෙන් හා පිලිප් ගුණවර්ධන මහතාගෙන් පමණකි. නායකත්වය මේ කාගේත් ශරීරගතව තිබේ.

රටක වගකීම ඉසිලිය යුතු ප්‍රජා පාලකයෙකුට තිබිය යුතු බුද්ධිය, තීක්ෂණය, චරිත සමෘද්ධිය නොඅඩුව ප්‍රකාශ වන දේහ විලාශයක් ඩඩ්ලි සේනානායක මහතාගෙන් පෙනේ.

දක්ෂ කලාකරුවකුට ඩඩ්ලි වරක් මුණගැසුණු පමණින් ඊළඟට ඔහුගේ තියුණු ගල් කටු තුඩින් පහර කන හැම කළු ගලකින්ම ඔහුට හමුවන්නේ සිංහල පිරිමියකුගේ පරිසමාප්ත රූ සටහනකි.


වගකීමක්
බොහෝ විට කලාකාමී තරුණයන්ගේ සමරු පොත්වල දක්නට ලැබෙන්නේ ඩඩ්ලිගේ අත්සන නොව රූ සටහනය.
ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා හැටියට ශ්‍රී නේරුට ඇති වගකීම විශාලය. ලංකාවේ ඩඩ්ලි සේනානායකට ඇත්තේ එයට දෙවෙනි නොවන වගකීමකි.

ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ එක් බල කණුවක තත්ත්වය ගෙන සිටින්නේ ඩඩ්ලි සේනානායක මහතාය.
අන්තර් ජාතික වශයෙන් ඔහුට අයත් ස්ථානය කෙබඳුදැයි සිතන විට ඔහු කෙරෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශ්වාසය කොතරම් දැයි තේරුම් ගත හැකි වෙයි.

ඔහුට ලංකාවේ අගමැති පුටුව නුහුරු නොවේ. තුන්වරක්ම ඩඩ්ලි සේනානායක මහතා අගමැති විය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම අද ඩඩ්ලි සේනානායක මහතාගේ එකම අධිෂ්ඨානයයි. ඔහුගේ යුගය ඔහු ඉදිරිපිටය. ප්‍රජාතන්ත්‍රවාදයේ විජයග්‍රහණය උඩ රටේ ආරක්ෂාවත් නිදහසත් සමෘද්ධියත් රැඳී පවතිනා බව දැන් මේ රටේ ජනයා අත්දැකීමෙන් අවබෝධ කරගන්නා යුගයකට පිවිස ගෙන සිටිති.


***
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විසිනි