සංහිදියාව, සහජීවනය සාර්ථක කර ගන්න නම් පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ. යේ හිටපු සටන්කාමීන් දිනාගත යුතුයි.


විවිධ රටවල විවිධ හේතුන් නිසා ජාතීන් දෙකක් අතර - කුල දෙකක් අතර හෝ ආගම් දෙකක් අතර අරගල, සටන්, යුද්ධ පැවති බවට ඉතිහාසය දෙස් දෙයි. එහෙත් ඒ කිසිදු අරගලයකින් කිසිදු පාර්ශවයකට සදාකාලික යහපතක් සිදුවී නැති බවද සත්‍යයකි. 

07-page-4-S2-BA
ශ්‍රී ලංකාවේ ද වසර ගණනාවක් තිස්සේ සහජීවනයෙන් සාමයෙන් සමගියෙන් ජීවත් වූ ජාතීන් දෙකක් ඉකුත් වසර 30 ක් තිස්සේ ආයුධ සන්නද්ධ යුද්ධයක නිරත වූ බව රහසක් නොවේ. තම නිජ බිම වශයෙන් අර්ථදක්වා  උතුරු - නැගෙනහිර පළාත් දෙකේ ස්වයං පාලන අයිතිය ඉල්ලා දෙමළ කණ්ඩායම් යුද්ධයකට අවතීර්ණවී සිටියේය. ඒ නිසා මේ රටේ තරුණ ජීවිත දහස් ගණනක් රටට අහිමිවූ අතර රටේ සංවර්ධනය වසර ගණනාවකින් ආපස්සට ගියේය. කෝටි ප්‍රකෝටි ගණනක රටේ ජනතා දේපළ විනාශ විය. යුද්ධය නිසා සිදු වූ එකම දෙය එයයි. අවසානයේ යුද්ධය කිසිවකුටත් ජයග්‍රහණයකින් තොරව අවසන් විය. සටන්කාමී දමිළ තරුණ තරුණියන් විශාල පිරිසකගේ ජීවිත මෙන්ම රටේ ආරක්ෂක හමුදාවන්ගේ ජීවිත ද විශාල සංඛ්‍යාවක් අකාලේ නිරපරාදේ රටට අහිමි විය. දෙපාර්ශ්වයෙන්ම විශාල සංඛ්‍යාවක් ආබාධිත වූහ. යුද්ධය නිමාවත් සමඟ දෙමළ සටන්කාමී තරුණ තරුණියෝ විශාල පිරිසක් ආරක්ෂක හමුදාවට භාර වූහ. ශ්‍රී ලංකා රජයේ හමුදාවෝ කිසිදු වෛරී චේතනාවකින් තොරව තමන් වෙත භාර වූ සියලු_ම සටන්කරුවන් පුනරුත්ථාපනය කළහ. සමහරු මාස 06 ක් වසර එකක්, දෙකක් ආදී වශයෙන් පුනරුත්ථාපනය කර ඔවුන් තම දෙමව්පියන් සහෝදර සහෝදරියන් අතරට යවා සමාජ ගත කරන ලදී.


මඩකළපු දිස්ත්‍රික්කයේ මෙසේ සමාජ ගත කරන ලද පුද්ගලයින් පිළිබඳ පසු විපරමක් කර බලන්නට අපි එම  ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට ගියෙමු. මෙහිදී අපට හමු වූ බහුතරයක් තරුණයෝ අපව නොසලකා මගහැර ගියෝය. “ඔහොම අය කොච්චරවත් ඇවිත් විස්තර අරන් ෆොටෝ ගහන් ගියා. නමුත් අපට නම් යහපතක් වුණේ නැහැ” යනුවෙන් සිතමින් විය හැක. එහෙත් අපට හමු වූ කාන්තාවෝ වැඩි දෙනෙක් කරුණු හෙළිදරව් කිරීමට ඉදිරිපත් වූහ. 


“එදා අපට යම් ආපදාවක් වුණා නම් උදව් කරන්න ඕනෑ තරම් අය හිටියා. සංවේදී අවස්ථාවල අපේ ඇස්වලින් ගලපු කදුළු පිහදාන්න අය හිටියා. ඒත් අද අපේ බඩගින්නට බත් වේලක් දෙන්න, අපේ ඇස්වලට උණන කදුළු පිහදාන්න කවුරුත් නැහැ. එහෙම කියන්නේ එදා දෙමළ ජනතාවට විමුක්තිය උදාකර දෙන්න නිෂ්ඵල ව්‍යායාමයක යෙදුණු මඩකළපුව කලු_වන්කේනි ගමේ පදිංචි එස්. වාසනා ය. 

3
“මම වසර 10 ක් LTTE ය වෙනුවෙන් කැප වුණා. 2009 ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අත්අඩංගුවට අරගෙන පුනරුත්ථාපන කඳවුරක සිටියා පසුව අපිව සමාජ ගත කළා. දැන් මඩකළපුව කලු_වන්කේනි ගමේ කියා ගන්න බැරි තරම් ප්‍රශ්න මැද ජීවත් වෙනවා. මම පරිගණක පාඨමාලාවක් හදාරලා හිටියේ. ගමේ ශ්‍රී.ල.නි.ප. සංවිධායකයෙක් මට රජයේ රැකියාවක් දෙන්න පොරොන්දු වෙලා මාව යාපනයට අරගෙන ගියා. ටික දවසක් එයාගේ කාර්යාලයේ වැඩ කළා. නමුත් රජයේ රැකියාවක් දෙන පාටක් දැක්කේ නැහැ. නැවත ගමට ආවා. තනියෙන් ජීවත්වෙන්න බැරි වූ නිසා හිටපු සටන්කාමී තරුණයෙක් එක්ක විවාහ වුණා. දැන් අවුරුදු දෙකක දරුවෙක් ඉන්නවා. අපි පුනරුත්ථාපනය වෙලා ආවට පස්සේ රජයෙන් කියලා කිසි දෙයක් ලැබුණේ නැහැ. නමුත් ඉන්දීය රජයේ ආධාර මගින් රු. ලක්ෂ 5 1/2 ක අධාර මත ගෙයක් ලැබුණා. ඒකත් සම්පූර්ණයෙන් නිම කර ගන්න බැරි වුණා. 


මා විවාහ වුණ පුද්ගලයා ආබාධිත අයෙක්. ඔහුටත් ස්ථීර රුකියාවක් නැත. ආදායම් මාර්ගයක් නැති හිටපු සටන්කාමී කාන්තාවන්ට කසාද බඳින්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. විවාහ වෙන්න එන පුද්ගලයෝ ස්ථීර ගෙවල් දොරවල් මිල මුදල් තියෙනවාද කියා හොයා බලනවා. කැලේ ඉඳලා ගෙදරට ආව අපිට දෑවැද්දක් කොයින්ද? ඒ නිසා අපට කසාද බඳින්න වෙලා තියෙන්නෙ ආබාධිත වූ හෝ හිටපු සටන්කාමී කෙනෙක් සමඟ පමණයි. ගමේ බොහෝදෙනා අපිව ඇසුරු කරන්න කථා බහ කරන්න එන්නේ නැහැ. ඒ අය තවමත් බයෙන් ඉන්නවා. අපි සටනේ හිටපු අය කියලා. අපිට උදව් කරන්නත් බයයි. ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ගෙන් උදව් ඉල්ලු_වා. කිසි කෙනෙක් අපට උදව් කළේ නැහැ. විවිධ පුද්ගලයන් අපිව හමුවෙලා ෆෝටෝ ගහලා යනවා. දෙමළ ඩයස්පෝරාවේ උදව් අරන් දෙනවා කියලා නමුත් කිසි උදව්වක් ලැබීලා නැහැ.

1
අප ඉල්ලන්නේ අපට ජීවත්වෙන්න ආධාරයක්. ලෝකයේ ඉන්න ඩයස්පෝරාවේ අය අපි ගැන හොයලා බලන මාධ්‍යවේදීන්ගෙන් දැනගෙන හෝ අපට ජීවත් වෙන්න නිවාස නැති අයට නිවාසයක් හෝ තනා දෙන්න උදව් කරන්න කියලා යැයි ඇය කදුළු පිසදමමින් පැවසුවාය.


ටී. රූපවතී - මඩකළපුව
“යුද්ධය පවතින අවස්ථාවේ කැලේ ඉඳලා ගමට එනකොට ගමේ අය අපිව හොඳින් පිළිගත්තා. නමුත් යුද්ධය අවසන් වී පුනරුත්ථාපනය ලබා ගමට ආවම, ගමේ අය අප දිහා බැලුවේ අකමැත්තෙන්, බයෙන්. අපි සංවිධානයේ හිටපු කාන්තාවන් නිසා ගමේ ප්‍රජාව අපි ගැන නරක විදිහට හිතලා කතා කරනවා. ඒ කතා අහනකොට අපිටම ලජ්ජ හිතෙනවා. අපිට ලොකු වේදනාවක් දැනෙනවා. අපි සංවිධානයේ ඉන්නකොට ජීවත්වුණේ ඉතා ඉහළ මට්ටමක විනයකින් යුතුව. අදත් අපි විනයානුකූලව ඉන්නවා. මම විවාහකයි. නමුත් ස්වාමි පුරුෂයෙක් නැහැ. මාහට රක්ෂාවක් නැහැ. සවසට පාර අයිනේ පෙට්ටි කඩයක් තියාගෙන. මයියොක්කා, කඩල ආදිය විකුණා ගෙන සුළු ගානක් හොයා ගන්නවා. 


සංවිධානයේ හිටපු කාලයේ සෞඛ්‍ය කටයුතු ගැන හොඳ පුහුණුවක් ලැබුවා. ඉංග්‍රීසි පිළිබඳ හොඳ දැනුමක් ලැබුවා. දැනටත් ඉංග්‍රීසියෙන් වැඩ කරන්න හොඳට පුලුවන්. නමුත් රැකියාවකට ඉල්ලුම්පත් දැම්මම සහතිකේ ඉල්ලනවා. මම O/L පංතියට ගියේ නැහැ. ඒ නිසා රජයේ රැකියා ලැබෙන්නේ නැහැ.  ස්වයං රැකියාවක් කරන්න ආධාරයක් කරන ලෙස තමයි ඉල්ලන්නේ. 


 හැබැයි මේ වගේ කතා මම ගොඩක් අයට කියලා තියෙනවා. වෙච්ච යහපතක් නම් නැහැ. හොයලා බැලු_වෙත් නැහැ . 


පසුගිය කාලයේ දෙමළ දේශපාලකයෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දය දෙන්න කියලා කිව්වා. අපි ඡන්දය දුන්නා. නමුත් එතුමා ජනාධිපති වුණාට පස්සේ අපේ ප්‍රශ්න හොයලා බැලු_වේ නැහැ. දෙමළ ජනතාවට අවශ්‍ය දේ දෙමළ දේශපාලකයෝ හඳුනා ගත්තෙත් නැහැ. කිසිම දේශපාලකයෙක් පුනරුත්ථාපනය ලැබූ සාමාජිකයින් ගැන හොයලා බැලුවේ නැහැ. හමුවෙලා කතා කළේ නැහැ. අපිට ඡන්දෙ දෙන්න කියලා ඡන්ද කාලයේ දී කියනවා. ඡන්දය ඉවර වුණාට පස්සේ ඔවුන්ට මතක නැහැ. 

 

2

 


කේ. පුෂ්පරාණි මඩකළපුව
 මම 1997 දෙමළ කොටි සංවිධානයට බැදිලා වැඩ කළා. කකුල් කපන්න සිද්ධ වුණා දැන් ගෙදරට වී සිටිනවා. බොරු කකුලක් දා ගන්න අවුරුදු හයකට වැඩි කාලයක් තිස්සේ උත්සාහ ගත්තත් බැරි උනා. අපි L.T.T.E කාරයෝ කියලා සලකන්නේ නැහැ. අපේ පවුල ඉතා අසරණයි. ආර්ථික ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වන්නේ. මාව හොඳ කෙනෙකුට බන්දලා දෙන්න ඔවුන්ට අත මිට මුදල් තිබුණේ නැහැ. නමුත් මා දුප්පත් බව දැන දැනම මගේ කකුල නැති බව දැන දැනම පුනරුත්ථාපනයේ හිටපු කොටි සාමාජිකයෙක් මාව බඳින්න කැමති වුණා. නමුත් ඔහුගේ වැඩිහිටියෝ කැමැති වුණේ නැහැ. ඒ අවස්ථාවේ ඔහු නිර්භීතව දෙමව්පියන්ගේ විරුද්ධත්වය නොතකා මාව කසාද බැන්දා. සුනාමි ආධාර යටතේ අපේ අම්මාට ලැබුණ ගේ අපිට දුන්නා. මට හෝ ස්වාමිපුරුෂයාට හෝ රැකියාවක් නැහැ. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. උදව් ඉල්ලන්න අපේම දේශපාලකයෝ ළඟට ගියාම “උඹලට උදව් කරන්න බැහැ”. කියලා කියනවා. අපි දැන් කවුරුවත් ළඟට යන්නේ නැහැ. උදව් ඉල්ලන්න. පාඩුවේ ජීවත් වෙනවා. ළඟදී පොලියට සල්ලි අරගෙන බොහොම අමාරුවෙන් මගේ ස්වාමියා මැද පෙරදිග රැකියාවකට ගියා. නමුත් ඔහු රැකියාව කරන්නේ බොහෝ දුෂ්කරතා මැද්දේ. දුක් විඳගෙන හරි එහේ ඉන්නේ අපේ දරු දෙන්නට අපි විඳපු දුක් කරදර නොදී හදා ගන්න. නැවත යුද්ධයකට යන්න නම් බලාපොරොත්තුවක් නැහැ.


කේ. ලලිතාගේ සම වයසේ කාන්තාවෝ හොද අධ්‍යාපනය ලබලා හොඳ තැන්වල ඉන්නවා.  නමුත් ලලිතා දෙමළ ජනතාවට විමුක්තිය ලබා දෙන්න අසාර්ථක යුද්ධයකට ගොස් අද අසරණවෙලා ඉන්නවා. උතුරු නැගෙනහිර සටන් බිමට නොගියා නම් ලලිතත් අද ඉහළ තත්ත්වයක ඉන්නවා. නමුත් ඇතිවී තිබූ පරිසරය තුළ ඇයට සටනට යන්න සිදුවුණා. මේ ඇය අපට කියූ කථාවයි. 


“කොටි සංවිධානයේ මම අවුරුදු 09 ක් හිටියා. මම කැමැත්තෙන් ගියේ නැහැ. බලෙන් තමයි මාව අරන් ගියේ. මට දෙමව්පියෝ දෙන්නම නැහැ.

සහෝදරියක් ඉන්නවා ඇය විවාහකයි. මට තියෙන එකම වස්තුව ඉඩම් කෑල්ලක් විතරයි. නමුත් නිවසක් නැත. මගේ සහෝදරියගේ පවුලට බරක්නොවී මම මිතුරියකගේ  නිවසට වෙලා ඉන්නවා. මාහට වෙන ඥාති කවුරුත් නැහැ. මාව බලාගන්න කවුරුත් නැහැ. ගෙයක්වත් තිබුණා නම් මටත් කසාදයක්වත් බැඳ ගන්න තිබුණා. ගෙයක් දොරක් නැති නිසා එහෙ මෙහේ ඇවිද ඇවිද ඉන්නවෙලා තියෙන්නේ. 


කොටි සංවිධානයෙන් අයින්වී ඇවිත් හමුදාවට භාරවෙලා පුනරුත්ථාපනය වූ අය ගැන රජය සොයා බැලිය යුතුයි. අධාර උපකාර කළ යුතුයි. ශ්‍රී ලංකා හමුදාවේ ඉඳලා යන අයට නම් රජය විවිධ ආධාර උපකාර කරනවා. අපි ගැන සොයා බලන්න කවුරුත් නැහැ. ගමට ආවට ගමේ ප්‍රජාව අපි දිහා නරක විදිහට බැලු_වේ. දැන්නම් ටිකක් අඩුයි. මගේ යටි බඬේ වෙඩි වැදුන තුවාල කැලල් තවම තියෙනවා. ඒ වගේම මට වරින් වර ඇදුම හැදෙනවා. ඒ නිසා මට ස්වයං රැකියාවක් කරන්න ආධාරයක් සහ නිවාසයක් ලබා දෙන්න කියලා තමයි හැමදෙනාගෙන්ම ඉල්ලන්නේ. 

 


පී. සෙල්වේන්ද්‍රරාජා මඩකළපුව 
යාපනය ප්‍රදේශයේ හිටපු මම දැනට මඩකළපුව ප්‍රදේශයෙන් විවාහවෙලා මඩකළපුවේම ජීවත්වෙනවා. මා විවාහවෙලා ඉන්නේ කොටි සංවිධානයෙන් අයින්වෙලා පුනරුත්ථාපනය වූ කෙනෙක් සමගයි. සටන් කළ කාලයේ බිරිඳගේ එක අතක් නැතිවුණා. පපුවෙ වෙඩි උණ්ඩ කෑලි තියෙනවා. මගේ එක කකුලකට හානි සිදු වුණා. මා හා මගේ බිරිඳ විශේෂ ආබාධිත පුද්ගලයින්ට දෙන ආධාර ලැබිය යුතු අයයි. නමුත් ලැබෙන්නේ නැහැ. මේ වනතුරු දෙමළ දේශපාලකයෝ හෝ රජයේ නිලධාරීන් හෝ අප ගැන සොයා බැලු_වේ නැහැ. ආධාරයක් දීලා නැහැ. යුද්ධ කාලයේ දී විදේශ රටවල දෙමළ ජාතිකයෝ අපට පුළුවන්තරම් ආධාර කළා. දැන් එහෙම නැහැ. දෙමළ සන්ධානයේ සමහර නායකයෝ අපේ ජනතාවට සටන් කරපු අයට උදව් කරනවා කියලා කියනවා. නමුත් කරලා නැහැ. ඉන්දීය රජය නිවාස හදා ගන්න අධාර කළා. නමුත් ඒකත් හදලා ඉවර කරගන්න බැරි වුණා. ශ්‍රී ලංකා රජය අපට ගඩොල් කැටයක්වත් දීලා නැහැ. ආබාධිත අයට කවුරුහරි උදව් කරනවා නම් හොඳයි. පසුගිය සටන් කාලයේ ඩයස්පෝරා අය අපට ආධාර කළා. දැන් ඒකත් නැහැ. සමහරු අපව පෙන්නලා ලාභ ප්‍රයෝජන ගන්නවා. අතරමැදියෝ ගසා කනවා. 

 


ගනේෂ් ප්‍රභාකරන් මහතා -(42)-මඩකළපුව දිස්ත්‍රික් ආබාධිත වූවන්ගේ සංගමයේ ලේකම් 
මම වසර 15ක් සංවිධානයේ කටයුතු කළා. පසු කාලීනව වන්නි කලාපයේ, මුදල් භාර ගණකාධිකාරී ලෙස තමයි සේවය කළේ. යුද්ධයේදී වෙඩි වැදිල කකුලක් කැඩිලා තියෙන්නේ. අපේ සංගමයේ ආබාධිත එල්.ටී.ටී.ඊයේ හිටපු සාමාජිකයන් 400ක් ඉන්නවා. අප හමුදාවට බාර වුනේ අපට සහනයක් වෙයි කියලා හිතාගෙන, නමුත් කිසි දෙයක් ලැබුණේ නැහැ. යුද්ධයෙන් පසු පුනරුත්ථාපනයවී ආපු අය අද අපා දුක් විඳිනවා. ඔවුන්ට නිවාස නැහැ. පොල් අතු පැල්වල ඉන්නේ. ඒවාට ආධාර කළේ රාජ්‍ය නොවන වෙනත් සංවිධාන. රජයෙන් කිසි දෙයක් ලැබුණේ නෑ. ඔවුන්ට ඉඩම් නැහැ. ආදායම් මාර්ග නැහැ. “තුප්පට්ටි” මිනිස්සු වගේ  ඉන්නවා. පුනරුත්ථාපනය වූ වයස අවු 35-40  වගේ ගැහැනු ළමයි ඉන්නවා. කසාද බඳින්න විදියක් නැහැ. දෑවැදි දෙන්න ගෙවල් මුදල් නැති නිසා. එහෙම ගැහැනු ළමයි 200 ක් 250 ක් ඉන්නවා. වැන්දඹු අය ඊටත් වැඩියි. කුලී වැඩ කරලා තමයි දරුවෝ ජීවත් කරවන්නේ ආබාධිත අයට බොරු කකුලක්, අත්වාරුවක්වත් රජයෙන් දීලා නැහැ. නමුත් තංගල්ල “නව ජීවන සංවිධානය” නමැති සිංහල සංවිධානය අපිට උදව් කළා. ඔවුන් මාසයෙන් මාසයට ඇවිත්  ආබාධිත අයට උදව් කළා. අපිට ඒ ගැන ආඩම්බරයි.


ඉන්දීය රජයෙන් නිවාස හදාගන්න එක ගමකින් දෙතුන් දෙනකුට ආධාර දුන්නා. එයත් සමෘද්ධිය තියෙන අයට පමණයි. එහිදී L.T.T.E අයට ලැබුණේ.  ඛගඔගඔගෑ අය කැලේ ජීවත්වුණ අය නිසා ඔවුන්ට සමෘද්ධියත් නැහැනේ. රජය අපව පුනරුත්ථාපනය කර අතහැරියා. ඊට පස්සේ අප ගැන සොයා බැලුවේ නැහැ. අපේ අයට රැකියාවකට යන්න විදියක් නැහැ. පොලිස් වාර්තා ඉල්ලනවා. නමුත් අපට පොලිස් වාර්තා දෙන්නේ නෑ. මේ වනවිට යුද්ධය අවසන්වී අවු. 07යි. එදා අවු. 30 ළමයාට දැන් අවු. 37 යි. රජයේ කම්කරු රැකියාවක් හෝ දෙයි කියලා හිතුවා. නමුත් ලැබුණේ නැහැ. කෙතරම් අධ්‍යාපන සුදුසුකම් තිබුණත් L.T.T.E. නිසා රක්ෂා ලැබෙන්නේ නැහැ. ඒක හරිම අසාධාරණයි. ඒ නිසා අපේ අයට තවමත් ඉන්න සිදු වෙලා තියෙන්නේ  L.T.T.E එකේ හිටපු “මයින්ඞ් එකේමයි” ඒක වෙනස් කරන්න නම් මේ අයට කුමන හෝ රැකියා අවස්ථා ලැබිය යුතුයි. වියළි සලාක දීලා වෙනත් මොනවා හෝ දීලා වැඩක් නැහැ. ඔවුන්ගේ මානසික තත්ත්වය වෙනස් කිරීමේ වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. 


ඒ වගේම තමයි අපේ අය අතීතය අමතක කරන්න උත්සාහ ගනිමින් හිටියත්  “රජයේ බුද්ධි අංශ” වරින් වර ඔවුන්ගේ අතීතය නැවත අවදි කරවනවා. ඔවුන් අපට නිතර කතා කරනවා. “මහවිරු දිනයට මොනවාද කරන්නේ. පොංගු තමිල් පවත්වනවාද?  මියගිය අය සමරන්න වැඩ පිළිවෙළ තියෙනවාද? මේ ආදී විවිධ ප්‍රශ්න අහනවා. අද සමහර ළමයි මේවා මොනවත් දන්නේ නෑ. නමුත් මාධ්‍ය ඒවා අවුස්සනවා. අපේ සමහර අයට කොළඹට යන්න බෑහැ අදත් අත්අඩංගුවට ගන්නවා. කිසිම හේතුවක් නැහැ. උසාවි දාපු ගමන් නිදහස් කරනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේවා කරන්න එපා කියලා. මේවා තුළින් අපේ අය හිතනවා අපේ අයට තවම ආරක්ෂාව නැහැ, නිදහස නැහැ කියලා. ඒකට ඉඩ තියන්න එපා.”      


මඩකළපුව දිස්ත්‍රික්කයේ සමාජ ගත  කරන ලද L.T.T.E යේ හිටපු සටන් කාමීන් පිළිබඳ විමසීමට දිස්ත්‍රික්කයේ සමාජසේවා නිලධාරීන් කිහිප දෙනෙකු හමුවී කථා බස් කළ ද ඔවුන් සියලුදෙනා පැවසුවේ සමාජ ගත කරන ලද සටන්කාමී පිරිස ගැන කිසිදු විස්තරයක් තමන් සතුව නොමැති බවයි. මඩකළපුව දිස්ත්‍රික්කයේ සමාජ සේවා නිලධාරි සහ මඩකළපුව කච්චේරියේ දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි මා මෙසේ හමු වූ නිලධාරීන් ය. එහෙත් ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. එහෙත් හිතවත් මාධ්‍යව්දියෙකුගේ මාර්ගයෙන් මඩකළපුව කච්චේරියේ සැලසුම් අධ්‍යක්ෂක ඒ.ආර් නෙදුන්චේලියන් මහතා දුරකථනයෙන් ඇමතුවෙමි. ඒ අනුව මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක පුනරුත්ථාපනය ලැබූ හිටපු කොටි සාමාජිකයින් 475 සිටින බව ඔහු විසින් එවා තිබූ ෆැක්ස් පණිවිඩයේ සඳහන්වී තිබුණි. 


කෙසේ වෙතත් මඩකළපුව දිස්ත්‍රික්කයේ සමාජ ගත කරන ලද හිටපු සටන් කාමීන්ගෙන් වැඩි දෙනකු මේ වනවිට ගත කරන්නේ ඉතා දුෂ්කර ජීවිතයි. ඔවුන්ට අද ජීවත්වීමට සිදුව ඇත්තේ හුදකලාවය. බොහෝ දෙනකුගේ දෙමව්පියන් ජීවතුන් අතර නැත. ඔවුන් සමහර දෙනකුගේ ඥාතීන් කිසිවෙකු හෝ නැත. එදිනෙදා හමුවන කුලී වැඩක් හැරුණවිට ස්ථීර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නැත. මොවුන් එදා කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ත්‍රස්තවාදී සංගමයකට බැඳුණු බව සත්‍යයකි. අද ඒ පිළිබඳව පශ්චාත් පරීක්ෂණ පැවැත්වීමෙන් පලක් නැත. ඔවුහු එදා කළ වැරැද්දට අද දඬුවම් විඳිති.” 


සහජීවනය හා සංහිඳියාව ගැන අපි නිතර කථා කරමු. ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් හඳුන්වා දෙමු. රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රචාරක කටයුතු හා වෙනත් දේ සඳහා වැය කරමු. නමුත් අප සහජීවනය හා සංහිඳියාව ගැන කථා කළ යුත්තේ වසර ගණනක් අවි දරාගෙන වෛරී සිතුවිලිවලින් සිත් පුරවාගෙන නොමග ගිය මොවුන් සමග නොවේ ද? එහෙත් රජයේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල හෝ එවැනි වැඩ පිළිවෙළක් නැත. ඒ නිසා කවරකුට හෝ අවශ්‍ය නම් ඉදිරි කාලයේ දී මොවුන්ට සුරංගනා ලෝක මවා පෙන්වා යළිත් වරක් නොමගට යොමු කිරීමේ ඉඩ කඩ බොහෝ සෙයින් නිර්මාණය වීමට ඉඩ ඇත. 
කථා බහ කිරීමේ දී ඔවුන්ගේ සිත් තුළ අද වනවිට සංවිධානය පිළිබඳ හෝ වත්මන් දමිළ දේශපාලන නායකයින් ගැන හෝ කිසිදු පැහැදීමක් නොමැති බව පෙනෙන්නට ඇත. රජයේ ආරක්ෂක අංශවල බුද්ධි අංශ මොවුන් පිළිබඳ විමසිල්ලෙන් නිතර සොයා බලමින් පසු වුවද, ආර්ථික දුෂ්කරතා, හුදකලාව විසීම, සමාජයේ එදා තිබූ ගරුත්වය නොලැබීම, සිවිල් සමාජය තවමත් ඔවුන් දෙස සැකමුසුව, භීතියෙන් බැලීම විශේෂයෙන් රැකියා, ආදායම් මාර්ග නැතිවීම ආදී කරුණු නිසා ඉදිරියේ දී නව දේශපාලන  නායකත්වයක් බිහි වුවහොත් හෝ සමාජ විරෝධී කණ්ඩායම් සමඟ හෝ මංකොල්ල කණ්ඩායම්, මත්ද්‍රව්‍ය කණ්ඩායම් සමඟ හෝ පෙළ ගැසීමේ ඉඩ කඩ  බොහෝ සෙයින් ඇති බව ද ආරක්ෂක අංශවල විශ්වාසය වී ඇති බව කතා බහේදී දැන ගන්නට ලැබුණි.

එබැවින් එම තත්ත්වයෙන් ඔවුන් මුදවාගෙන ඔවුන් තුළ සංහිඳියාව හා සහජීවනය ගොඩනැගීමට නම් ඔවුන්ගේ මානුෂික තත්ත්වයන් සුවපත් කිරීමට නම්, ඔවුන්ට ජීවත්වීමේ මාර්ග ඇතිකර සිංහල සමාජය සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට අවස්ථාව සලසා දිය යුතුය. ඔවුන් නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නේ විශේෂයෙන් උතුරු/නැගෙනහිර පළාත්වල දමිළ ජනතාව බහුතරයක් සිටියත් ඉඩකඩම්,  නිවාස රැකියා ලැබී ඇත්තේ වෙනත් ජන කොටසකට  බවද ඔවුහු සඳහන් කරති. මෙහි සත්‍යතාව ගැන සිතා බැලිය යුත්තේත්, තමන්ට සාධාරණත්වය ඉටු කළ යුත්තේත් මධ්‍යම රජය බව ද ඔවුහු සඳහන් කරති.


අප මෙහිදී සටහන් කළේ අපට හමු වූ සු`ඵ පිරිසකගේ අදහස් පමණි. විශේෂයෙන් සමාජ ගත වූ පිරිමි පුද්ගලයින් අප හා කතා කිරීමට අකමැත්තක් දැක් වූ අතර පොදුවේ අපට හමුවූ බොහෝ දෙනා අප කෙරෙහි විශ්වාසයක් පෙන්නුවේ නැත. ඒ, ඔවුන් මීට ඉහත දමිළ මාධ්‍යවේදීන් හමු වී ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළත් සහනයක් නොලැබුණු නිසා විය හැක.  


මොවුන් යුද්ධයට බලහත්කාරයෙන්,  බිය ගන්වා රැගෙන ගියා විය හැක. එහෙමත් නැතිනම් සැකෙන්, බියෙන් තොර සාමකාමී සුන්දර ලෝකයක් මවා පා රැගෙන ගියා විය හැක. එසේත් නැත්නම් කැමැත්තෙන්ම ගියා විය හැක.  ඒ නිසාම ඔවුන් සදාකාලිකව නොසලකා හැරිය යුතුද?  එසේ වේනම් එය බරපතළ අසාධාරණයකි. මේ පිළිබඳ අප මඩකළපුව දිස්ත්‍රික් ලේකම් (දිසාපති) පී.එස්.එම් චාර්ල්ස් මහත්මියගෙන් විමසා සිටියෙමු.


“ඒ අය මාධ්‍යයට මොනවා කිවුවත් අපිට පුළුවන් හැම සහයෝගයක්ම දීලා තියෙනවා. දෙනවා. අපි ගෙවල් දුන්නා වෙනත් ද්‍රව්‍යමය ආධාර දීලා තියෙනවා. සමහර අයට ස්වයං රැකියා සඳහා අධාර මෙන්ම එක එක ආයතන හරහා ණය මුදල් ලබා දෙනවා. කොහොම වුණත් මේ වනවිට පුනරුත්ථාපනය ලැබූ පවුල් 139 කට නව නිවාසත් ස්වයංරැකියා අවස්ථා 218 දෙනකුටත් අපි ලබාදීලා තියෙනවා. ඉදිරියටත් අපි මේ අයට උදව් කරනවා. 

m