
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සමගි ජනබලවේගයේ නායකයින් අන්දමන්ද කළ පණිවුඩයක් පසුගිය සදුදා, හමුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර, ඔවුන් වෙත ලැබිණ.
ජනපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ සහයකයෙක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාල සහයකයකු අමතමින්, ප්‍රේමදාස මහතා කැටුව පැමිණීමට සිටි දූතයින් තිදෙනෙකුට එම හමුවට සහභාගීවීමට අවසර නොමැති බව දැනුම් දුන්නේය. එයින් දෙදෙනෙක් හිටපු අමාත්‍යවරුන් වූ පාඨළී චම්පික රණවක සහ රිෂාඞ් බදුර්දීන් වූහ.
රණවක ජාතික හෙළ උරුමයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන අතර බදුර්දීන් සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායකයා වේ. තෙවැනියා වූයේ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතාය. හෙතෙම සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ පොරොත්තුවෙන් සිටින්නෙකි.
මේ හමුවේ හදිසි රැස්වීමක් කැදවූ සමගි ජනබලවේගයේ නායකයෝ සිදුකළ යුතුව තිබෙන දේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ඒ අනුව ඔවුන්ගේ නායක සජිත් ප්‍රේමදාස සහ බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු ජනපතිවරයා හමුවිය යුතු බවට ඔවුහු තීරණය කළහ. ජනපතිවරයා තමා හමුවීමට අවස්ථාව ලබාදී තිබෙන්නේ ඔවුන් කළ ඉල්ලීම නිසා බව සමගි ජනබලවේගයේ නායකයෝ අවධානයට ගත් අතර, එනිසාවෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පනවා තිබෙන ඇදිරි නීතිය සමග මතුව තිබෙන ගැටළු, කෝවිඞ්-19ට එරෙහිව කරන සටන සහ පාර්ලිමේන්තු මැතිවරණය, යන කාරණා සම්බන්ධයෙන් ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට මෙය හොදම අවස්ථාවක් බවට ඔවුහු එකග වූහ.
සිය නිලධාරී මණ්ඩලය සමග අදහස් දැක්වූ ජනපති ගෝඨාභය මහතා ඉහත කී තිදෙන හමුවට සහභාගී කරගැනීමෙන් වැළකීමට තමා තීරණය කළේ ඇයිදැයි පැහැදිලි කළේය. හිටපු අමාත්‍යවරුන් වන රණවකට සහ බදුර්දීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙමින් තිබෙන බවත් ඔවුන් දෙදෙනම දැනට ඇප මත නිදහස් කර සිටින්නවුන් බවත් පෙන්වාදුන් ජනපතිවරයා ...
“මම ඒ අයව මුණගැහුනොත් මම වැරදි පණිවිඩයක් දුන්නා වෙනවා. එහෙම කළොත්, අනෙක් අයත් මම වගේම කටයුතු කරන්න ගනීවි” යැයි පැවසුවේ ය.
සුරේන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ ඔහු මෙම හමුවේ දී තමා නෛතික කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් නොකරන බව කීවේය. පාර්ලිමේන්තු මැතිවරණය සහ වෙනත් කාරණාවලට අදාළ ව්‍යවස්ථාමය ගැටළු මෙම හමුවේදී මතු කැරෙනු ඇතැයි ජනපතිවරයා කල්තියාම හදුනාගෙන සිටි බවක් පෙනිණ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි හමුවේ ආරම්භක කොටස සජිත් ප්‍රේමදාස මහතා යොදාගත්තේ කෝවිඞ්-19 වසංගතය හා සම්බන්ධ ගැටලු ගෙනහැර දැක්වීමටය. මාරාන්තික කෝවිඞ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වුනු මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතරින් පතර සජිත් ප්‍රේමදාස මතුකළ ගැටලුවලට ප්‍රතිචාර දැක්වූයේය. ඩලස් අලහප්පෙරුම සහ දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපතිවරයාගේ විශේෂ දූත බැසිල් රාජපක්ෂ මහතා පැහැදිලි කිරීමක් සිදුකරමින් රටේ විවිධ ප්‍රදේශවලට ආහාර බෙදාහැරෙමින් පවතින ආකාරය පෙන්වා දුන්නේය. ඔහු එවැනි පැහැදිලි කිරීමක් සිදුකළේ නිශ්පාදකයන් සහ පාරිභෝගිකයන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බවට ප්‍රේමදාස මහතා පවසා සිටීමෙන් අනතුරුවය.
මෙම බෙදාහැරීමේ යාන්ත්‍රණය සදහා බිම් මට්ටමේ (ග්‍රාම සේවක නිලධාරීන් ද ඇතුලුව) දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඔවුන්ගේ සහයක නිලධාරීන් සම්බන්ධ කරගෙන තිබේ. ව්‍යසනය අවසානයේ නැවත සාමාන්‍ය තත්ත්වයට රට පත්කිරීම සදහා අනුගමනය කළ යුතු පිටවුම් ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබෙන බවට යෝජනාවක් ඉදිරිපත් විය.
රටේ ඖෂධ හිගයක් පවතින බවට ද කෝවිඞ්-19 ආසාදිතයන් හදුනාගැනීම සදහා ප්‍රමාණවත් තරම් පරීක්ෂණයන් සිදුනොවන බවට ද සමගි ජනබලවේගයේ දෙදෙනා චෝදනා කළහ. නමුත් වෛරසය පැතිරීම මර්දනය කිරීමේ ව්‍යායාමයේ නියැලී සිටින වෛද්‍ය වෘත්තිකයෝ එම චෝදනා බැහැර කළහ.
අපේක්ෂා කැරුණු පරිදිම හමුවේ අවධානය අනතුරුව යොමුවූයේ පාර්ලිමේන්තු මැතිවරණයටය. මැතිවරණ කොමිසම ජනපතිවරයා වෙත යවන ලද ලිපි දෙක පිළිබදව පසුගිය සතියේ මෙම තීරුවෙන් වාර්තා කැරිණ. පවතින පසුබිම සම්බන්ධයෙන් වඩා හොද අවබෝධයක් ලබාගැනීම සදහා එම ලිපි දෙක පහත දක්වා තිබේ.
2020 මාර්තු 31,
ආචාර්ය පී.බී.ජයසුන්දර,
ජනපති ලේකම්,
පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය සහ නව පාර්ලිමේන්තුව කැඳවීම
1. 2020 මාර්තු මස 2 වැනිදා අතිගරු ජනපතිවරයා විසින් නිකුත් කරන ලද 2165/8 අංක දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, පාර්ලිමේන්තුවට සාමාජිකයන් තෝරාගැනීම සදහා වන ඡන්ද විමසීම නැතහොත් පාර්ලිමේන්තු මැතිවරණය 2020 අප්‍රේල් මස 25 වැනිදාට පැවැත්වීමටත් නියමිත වූ අතර නව පාර්ලිමේන්තුව කැඳවෙන දිනය ලෙස සදහන් වූයේ 2020 මැයි මස 14 වැනිදාය.
2. කෙසේවුවත් කෝවිඞ්-19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගත් මැතිවරණ කොමිසම අප්‍රේල් මස 25 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බවත් එය පැවැත්විය හැක්කේ මැයි මස 14 වැනිදායින් පසුව යෙදෙන දිනයක බවටත් නිවේදනය කර ඇත.
3. මෙම තත්ත්වය යටතේ, ජනපතිවරයා ගැසට් නිවේදනයක් හරහා, නව පාර්ලිමේන්තුව කැඳවෙන නව දිනය ප්‍රකාශයට පත්කළ යුතුමය. ව්‍යවස්ථාවේ සම්පාදනයන්ට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරි දිනයේ සිට මාස 3කට නොවැඩි කාලයක් ඇතුළත නව පාර්ලිමේන්තුව කැදවිය යුතු වේ. ඒ අනුව 2020 ජූනි 1 වැනිදා නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.
4. 2020 ජූනි 1 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීම සදහා මැයි මස 27 හෝ 28 යන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුය. එසේ මැතිවරණය පැවැත්වීම සදහා සූදානම් වීම අප්‍රේල් 20 වැනිදා සිටවත් ආරම්භ විය යුතුය. එසේ කිරීමට නම්, මෙම දිනය වන විට රටේ පවතින කෝවිඞ්-19 වසංගත තත්ත්වය නොසළකා හැර සිටිය හැකි තත්ත්වයකට පත්ව තිබිය යුතුය. මැතිවරණ කොමිසමට, වෙනත් රජයේ නිලධාරීන්ට සහ දේශපාලන ක්‍රියාකාරීන්ට, ඔවුන්ගේ කටයුතු බාධාවකින් හෝ බියකින් තොරව දියත් කිරීමට අවස්ථාව සැළසෙන්නේ එවිටය.
5. අද දින විට පවත්නා තත්ත්වය අනුව, 2020 අප්‍රේල් මස 20 වැනිදා වන විට එවැනි තත්ත්වයක් රටේ ඇතිවීම උගහට බව බොහෝ දෙනාගේ මතයයි.
6. ඒ අනුව, පවත්නා තත්ත්වය සම්පූර්ණයෙන්ම යහපත් මට්ටමකට පත් නොවුනහොත්, මැයි මස අවසානය වන විට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොතිබෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2020 ජූනි මස 2 වැනිදා වන විට පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි තත්ත්වයක, ව්‍යවස්ථා අර්බුදයක් පැනනැගිය හැකි බව මැතිවරණ කොමිසමේ අවධානයට ලක්ව තිබේ.
7. කරුණාකර මේ සම්බන්ධයෙන් අප්‍රමාදව ජනපතිවරයාගේ අවධානය යොමුකිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන්ද මේ කාරණයම සම්බන්ධයෙන් නීතිපති ජනරාල්වරයාගේ උපදෙස් ලබාගන්නා මෙන්ද ඉල්ලා සිටිමි.
මහින්ද දේශප්‍රිය.
සභාපති, මැතිවරණ කොමිසම
මැතිවරණ කොමිසම වෙනුවට
01.04.2020
කඩිනම් අවධානයට,
ආචාර්ය පී.බී.ජයසුන්දර
ජනපති ලේකම්
පාර්ලිමේන්තු මැතිවරණය සහ පාර්ලිමේන්තුව කැදවන දිනය
1.31.03.2020 දාතමින් යුත් ලිපිය හා බැදේ
2. පසුගිය පැය 24ක කාලය ඇතුළත කෝවිඞ්-19 ආසාදිතයන්ගේ ප්‍රමාණයේ ඉහළ යාම සහ වසංගත රෝග විශේෂඥයින්ගේ උපදෙස් සැළකිල්ලට ගැනීමේ දී අප්‍රේල් මාසය ඇතුළත වෛරසයේ පැතිරීම පාලනය කිරීමට හැකියාවක් නොමැති බව පැහැදිලිය.
3. ඒ අනුව මැයි මස අවසන් සතියේ හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකිය. මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් මාස 3කට පසුව නව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි බව 01.04.2020 දින රැස්වූ මැතිවරණ කොමිසමේ අවධානයට ලක්විය.
4. ගැටලුව විසඳාගැනීම සදහා ජනපතිවරයා අප්‍රමාදව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මාර්ගෝපදේශනයක් ලබාගැනීම සුදුසු බව මැතිවරණ කොමිසමේ මතයයි.
05. මෙය කඩිනමින් ජනපතිවරයා වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අත්සන් කළේ - මහින්ද දේශප්‍රිය
සභාපති
මැතිවරණ කොමිසම
(මැතිවරණ කොමිසම වෙනුවට)
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙන - සභාපති මහින්ද දේශප්‍රිය, සාමාජික - එන්.අබේසේකර, සාමාජික - එච්.හූල්, මාර්තු 21 වැනිදා ඒකාබද්ධ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය 1981, අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ, 24(3) වගන්තිය ප්‍රකාරව නිකුත් කැරුණු නියෝගයක් විය.
1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(1) වගන්තිය ප්‍රකාරව, දක්වා ඇති සියලුම මැතිවරණ දිස්ත්‍රික්ක ආවරණය කරමින් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සදහා වන මැතිවරණ සදහා වන ඡන්ද 2020 අප්‍රේල් මස 25 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා බාර ගැනෙන බව 2020 මාර්තු මස 20 වැනිදා නිකුත් කැරුණු 2167/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කළේය.
කෙසේවුවත්, 1981 අංක01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිසම වෙත හිමිව ඇති බලතල යටතේ පහත දැක්වෙන මැතිවරණ දිස්ත්‍රික්කවල මැතිවරණය සදහා ඡන්ද විමසීම 2020 අප්‍රේල් මස 25 වැනිදා සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම මෙයින් නිවේදනය කර සිටී.(2) 2020 අප්‍රේල් මස 30 වන දිනයෙන් දින 14කට පසුව යෙදෙන දිනයක්, පාර්ලිමේන්තුවට සාමාජිකයන් තෝරාගැනීම සදහා වන මැතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම සිදුකෙරන දිනය ලෙස යොදාගන්නා බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් නිවේදනය කර සිටී.
ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය ජූනි මාසයට හෝ ජූලි මාසයට යෙදිය හැකි බව ඉහත නියෝගයෙන් පැහැදිලිය. එය තීරණය වනු ඇත්තේ කෝවිඞ්-19 වසංගත තත්ත්වය පාලනය කර ඇතිද, නැතිද යන කාරණය මතය.
සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර දෙදෙනම දේශප්‍රියගේ ස්ථාවරය ගෙනහැර දක්වමින් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ගැටලු මතු කළහ. තමා මැතිවරණ කොමසාරිස්වරයාට පිළිතුරු ලිපියක් යොමුකරන බව පැහැදිලි කළ ජනපතිවරයා එසේවුවත් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තමාගේ කිසිදු සැළසුමක් නොමැති බව අවධාරණය කළේය.
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකිරීම හෝ නොකිරීම සම්පූර්ණයෙන්ම තමාගේ අභිමතය මත රඳා තිබෙන්නක් බවද ජනපති ගෝඨාභය මහතා පැහැදිලිව කියා සිටියේ ය.
“චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වගේ හිටපු ජනපතිවරුන් වගේ නොවෙයි මම...මම ගෝඨාභය රාජපක්ෂ. මගේ උපදේශකයිනුත් ඔවුන් සමග සිටි අය නොවෙයි” යයි ඔහු කීවේ ය.
--------------------------------------------------
ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්දමන් කරන්න හේතුවක් මෙතන නැත. මේ හොරු දෙන්නට සංගමයට පැමිණීම ඉඩ නොදීම හරියට හරි බව අපට පැහැදිලිව පෙනෙනවා. කල දුටු කල වල ඉහගන්න හොරු දෙන්නෙක් සංගමයට රිංගා ගන්න හැදුවේ.
ඒකාධිපති ගමනේ හොද හොද සෙල්ලම් ඉස්සරහට දකින්න ලැබේවි.හැබයි තාමත් අපේ සිංහලයන් ආණ්ඩුවේ ගැටේට අහුවෙලා ඉන්නේ.පාලකයන්ගේ මේ අකීකරු වැඩවලට ස්වභාව ධර්මයෙන්ම පඩිසන් දෙනවා.ඒකනිසා බොහෝ ස්වභාවික විපත් රටට පැමිණෙනවා.මිනිස්සුන්ට මේ අවුරැදු 5 සැහෙන්න දුක්විදින්න වේවි.තව මාස කිහිපයකින් රට ආර්ථිකව වැටි මිනිසුන්ට රැකියාත් නැති වෙනවා.
එහෙනම් රවී කරුණානායක හමුවෙලා උපදෙස් ගන්න පුළුවන් උනේ කොහොමද ?
ජනපතිවරයාගේ සෘජු භාවයට උදාහරණ සපයන ලිපියකි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වගේ හිටපු ජනපතිවරුන් වගේ නොවෙයි මම...මම ගෝඨාභය රාජපක්ෂ. මගේ උපදේශකයිනුත් ඔවුන් සමග සිටි අය නොවෙයි” යයි ඔහු කීවේ ය. ඒ වචන ටිකම ඇති ජනාධිපතිතුමනි... විශිෂ්ටයි.. අතිවිශිෂ්ටයි..
එතකොට පී.බී. හිටියේ කොහේද?
විමල් විරවංශගේ පාර්ස්පොර්ට් නඩුව තවම තිබෙනවා නේද ? ඔය කියන විදිහට එයාටත් ඔය සාකච්චාවට සහභාගී වෙන්න බැහැ.
ජයවේවා ජනාධිපතිතුමනි ! ඔන්න ඔහොමයි නියම කොන්දක් තියෙන ජනාධිපතිවරු වැඩ කරන්නෙ. එක එක හිපාටුවන්ව ලඟට ගන්න හොඳ නැහැ. අඩුම ගානේ සාකච්චාවකටවත්....
මම දුන්න හිටන්නේ ?
බැසිල් නඩුවත් තාම තියෙනවා.
වැදගත් ප්‍රශ්න අහන ලමයින්ට සමහර ගුරුවරු බයයි..., \
අනේ මෙයාගේ සෘජු භාවය. සොහොන් නඩුවෙන් කට්ටි පැන්න හැටි අපිට මතකයි, බය්යලට මතක නැති උනාට.
මෙතන තිබෙන්නේ වෙන මොකවත් නොවෙයි සෘජු නායකත්වය.
ඔබලා කවුරුත් දන්නේ නැද්ද ජනාධිපති නින්දෙන් නැගිටලා ඔක්කොම අර මහා හොරු හම්බ වුණු ඒවා අමතක වෙලානේ.... අපිව ගොනුන්ට අන්දන්න උත්සහ කලාට අපි නොව මෙවැනි දේ ලියන අයටත් සියල්ල අමතක වෙලාද?
මේ කථාවලට මිනිස්සු කොච්චරවත් රැවටෙන බව කමෙන්ට්ස් වලින් පේනවා. රැවටෙන අය පොඩ්ඩක් හිතලා බලන්න ජනාධිපති ලේකම් කියන්නේ අධිකරණයෙන් රාජ්‍යය සේවයට නුසුදුසු පුද්ගලයෙක් ලෙස වැරදිකාරයෙක් වෙච්ච මිනිසෙක්. මේ බොරුවට මිනිසුන් රැවටෙනතාක්කල් මේ රටට කවදාක්වත් දියුණුවක් ලැබෙන්නෙ නැ. හොදට බලන්න තව මාස 6,7කින් රටට වෙලා තියෙන හානිය කොපමණද කියා?
ඇයි කරන්නාගොඩ එක්ක මැච් එක බැලුවේ? මිනිහත් වොරන්ට් කරල හිටියේ.... ඇපත් නෑ..
මෙයාලට තියෙන්නෙ ඡන්දෙ තියාගන්න හදිසිය. මැතිවරණ කොමිසමට දීපු පිළිතුරු ලිපිය රාජකාරි ලියුමක් නෙවේ ආඩපාලි හෑල්ලක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන්න අවශ්‍ය නෑ.. ඕනනම් මැයි 15ත් ඡන්දෙ තිබ්බ හැකියි කියන්නේ. මිනිස් ජීවිත ගැන කිසිම තැකීමක් නෑ. මොන නායකයින්ද මේ..?
හා හා හා “චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වගේ හිටපු ජනපතිවරුන් වගේ නොවෙයි මම...මම ගෝඨාභය රාජපක්ෂ. මගේ උපදේශකයිනුත් ඔවුන් සමග සිටි අය නොවෙයි”
සමන් - දෝහා මහත්මය රවී කියන්නේ කෝටි ගණනක් වටිනා නිවසක් අල්ලස් වශයෙන් ගත්තු පුද්ගලයෙක්, නමුත් එක එයට මතක නැහැ. ලංකාවේ එවැනි විශාල මහජන මුදල් සොරකමකට සැකපිට සාමාන්‍යයෙන් රිමාන්ඩ් කිරීමක්වත් සිදු වෙන්නේ නැහැ. පොල්ගෙඩි 2-3 හොරකම් කලොත් රිමාන්ඩ් කරලා අධිකරණයට ඉදිරිපත් කරනවා. පාටලී කරලා තිබෙන්නේ වාහන අනතුරක්... එ්ක බරපතල ප්‍රශ්නයක්... රවී කියන්නේ අපේ ලොකු මහත්මයාගේ පන්නයේ යුරෝපිය ඇඳුම් අඳින වැදගත් මහත්මයෙක්... පාටලී කියන්නේ සරම් කාරයෙක්.., රවී අපේ ලොකු මහත්මය අපහසුතාවයට පත්වෙන ආකාරයේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැහැ. පාටලී කියන්නේ ප්‍රශ්නවල උල්පතක්... එ්කනිසා ඔහු එළියේ හිටපුදෙන්...
එතකොට PB ජයසුන්දර කලින් හිටියේ කොහෙද?
ගෝඨාභය මුද්‍රාව කිව්වේ "ඔවා දෙමි පරහට - මම සම්මතෙහි පිහිටා නොසිට" කියන එකද? දැන් ජනාධිපතිවරයාට එක නඩුවක්වත් තිබ්බේ නැත්ද? දේශපාලන පලි ගැනීම් කියල කියපු නඩු වලින් මට නම් මතක නැහැ එක නඩුවකින්වත් නිදහස් වෙනවා. වුනේ ඇත්තටම නඩු ටික බලරහිත කර ගත්ත එක. ඒ හින්දා අනුන්ගේ නඩු ගැන කතා කරන්න තියෙන අයිතිය ඔවා දෙමි පරහට විතරයි. අගමැතිතුමාට කිසි නඩුවක් නැහැ. 2015 ජනාධිපතිවරණෙට ඉස්සෙල්ලත් පසුවත් දහසක් එකක් චෝදනා කලාට, එක නඩුවක්වත් දැම්මේ නැහැ. ඔප්පු කරන්න විදිහක් නැති නිසා. නැත්නම් නඩු නොදා ඉඳියිද? හැබැයි අගමැතිතුමා බලයේ ඉන්න කොටත් නැති කොටත් දේශපාලන පලි ගැනීම් හෝ දේශපාලකයන් කොන් කිරීම් කරන්නේ නැති නිසා කොරෝන අර්බුදය ආපු වෙලාවෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් එක්ක සර්ව පාක්ෂික රැස්වීම් දෙකක් තිබ්බා. ඔවුන්ට කතා කරන්න ඉඩ දුන්නා. අර්බුදයක් ඇති වෙලාවක අගමැතිතුමා පටු දේශපාලනය ඒකට ගාගත්තේ නැහැ. නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදිහට විරුද්ධ පක්ෂ දේශපාලකයන්ටත් කතා කරන්න ඉඩ දුන්නා. මහින්ද එක්ක බලනකොට ගෝඨාභය තාම මග ඉන්නේ..
වැදගත් ප්‍රශ්න අහන ළමයින්ට සමහර ගුරුවරු බයයි..., හැබයි අන්න එ්වගේ ළමයි තමයි කවදාහරි ගුරුවරු වෙන්නෙත්...
ඍජු කොන්දක් ඇති නායකයෙක් කතාකරන්නේ ඔහොම තමයි. ඔබට පුලුවන් රට ගොඩගන්න, කොවිඩ් ඇති මේ වෙලාවේ මොන ඡන්දද? අපට වටින්නේ රටේ ජනතාවගේ ජිවිත අංක එකට... පස්සේ බලමු ඡන්ද ගැන ඔබට ජය ජනාධිපතිතුමනි..
නියම තීරනේ ...
දේශපාලුවන්ට කඩේ යන අයට අමාරු ඇති ජනාධිපතිතුමනි, ඔබතුමා ගෙන යන වැඩපිලිවල නියමයි. හමුදා පාලනයක් දෙන්න. තක්කඩි නැතිවෙන්න.
අපේ ජනපති මීට ඉස්සරවෙලා මුද්‍රාව තියල තියෙන්නේ, ඒක නිසා වැඩිය කලබල වෙන්න එපා.