ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ දී නව පදවියේ දිවුරුම් දුන්නේ රටට නව බලාපොරොත්තුවක් ඇති කරමිනි. හැත්තෑ ලක්ෂයකට ආසන්න ජනතාව තමා වෙත තැබූ විශ්වාසය ඒ අන්දමින්ම සුරකින බවට ඔහු දුන් පොරොන්දුව ගැන සැබැවින්ම සමස්ත රටවැසියා තබා ඇත්තේ විසල් බලාපොරොත්තුවකි.

ළඟ ළඟ තරගයක් ගැන වූ උපකල්පන සත්‍යයෙන් තොර කරමින් 52% ඉක්මවා ගිය ජයක් ලබාදීමෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන වෙනස්ම අර්ථකථනයක් දෙන්නට ප්‍රගතිශීලී ලාංකික ජනයා කටයුතු කර තිබේ. ඉතින් එවැනි ජයක් ලබාගැනීමට පසුබිම් වූ හේතු කවරේදැයි යම් පමණෙකින් හෝ විමසීම වටී.  

2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් කියවෙන්නේ සාපේක්ෂව ගත්කල අනෙකුත් ජනාධිපතිවරණවලට වඩා ජාතික වශයෙන් එය වැදගත් බවය. සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන දකුණු ප්‍රදේශ සිය ජාතිකත්වය ආරක්ෂා කිරීමක් ගැන සිතූ බව ද එමගින් පෙනී යයි. ජනාධිපතිවරණයට ආසන්න දින කීපය පුරාම විදෙස්ගත ජාතිමාමක ශ්‍රමිකයන් ඉතා විශාල වශයෙන් මෙරටට පැමිණි අයුරු අපි දුටුවෙමු. ලාංකිකයන් විදෙස්ගතව සිටිද්දී සිය මවුබිම ගැන විශේෂ වටිනාකමකින් බැලීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එමෙන්ම සිංහල අපට ඇති එකම රට මෙයයි යන කල්පනාව ද මත ලංකාව ආරක්ෂා කරගත යුතුය යන විශ්වාසය මෙවර බලවත් විය. විශේෂයෙන්ම පසුගිය වසර හතරහමාරක පමණ කාලයේදී ආණ්ඩුව ගෙනඑන්නට උත්සාහ කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රට අස්ථාවර වනු ඇතැයි යන සැකය ද ඔවුන් අතරේ බලවත් විය. දකුණේදී විශාල වශයෙන් පරතරයක් සහිත ජයක් ලැබීමට එම ජන කොටස්වල මැදිහත්වීම ද ලොකු සේවයක් කළේය.

උතුරු නැගෙනහිර සුළු ජාතික පදනමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණටත් දකුණේදී සිංහල පදනමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ වී තිබීම මෙම ප්‍රතිඵලයේ කැපී පෙනෙන ලක්ෂණයකි. පැවැති   සියලු මැතිවරණවලට සාපේක්ෂව මෙම බෙදීම අතිශය තීව්‍ර ලෙසින් විද්‍යමාන වූ ජනාධිපතිවරණය බවට එය පත්ව තිබේ.               

මෙය පැහැදිලිවම ධ්‍රැවීකරණයකි. මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ නායකයන් මෙන්ම නැගෙනහිර මුස්ලිම් නායකයන් වැඩ කළේ අවස්ථාවාදීවය යන්න මගේ හැඟීමයි. මහ ජාතිය හා සුළු ජාතිය වශයෙන් කරන බෙදීමකින් ජනාධිපතිවරයා තෝරන තීරක බලවේගය බවට තමන්ට පත්විය හැකිය යන්න ඔවුන්ට තිබූ තක්සේරුවයි. උතුරේදී මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා විශ්වවිද්‍යාල තරුණයන් මෙන්ම දෙමළ ගෝලීය සංසදය වැනි දේශපාලන කණ්ඩායම් උපයෝගී විය. යාපනයේ විශ්වවිද්‍යාල තරුණයාට ඇත්තේ නොමඳ පිළිගැනීමකි. විශේෂයෙන්ම කුසලතාවට අමතරව විශ්වවිද්‍යාලයට පිවිසීමේදී දිස්ත්‍රික් පදනමක් දැමීමෙන් යාපනයේ තරුණයන්ට විශ්වවිද්‍යාල පිවිසුමට සිරිමා ආණ්ඩුවෙන් බාධා කළේය යන විශ්වාසය අදටත් එහි තිබේ. මෙම විශ්වාස පෙරදැරි කරගත් ආවේග ඔස්සේ ඔවුන් මෙහෙයවමින් සිංහල දකුණ සමඟ කේවල් කරන දේශපාලනයකට යාපනයේ දෙමළ නායකයන් උත්සාහ කළ අයුරු ජනාධිපතිවරණයේදී කැපී පෙනුණි. යාපනයේ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරන පක්ෂ ඒකාබද්ධව ඉල්ලීම් 13ක් මුල් කරගත් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීම එහි එක් ප්‍රකාශනයක් විය.

පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ජයගත හැකිය යන විශ්වාසය මත ඔහු ජයගතහොත් තමන්ට ද අලුත් රටක් නිර්මාණය කරගත හැකි යැයි ඔවුහු මතවාදයක් නිර්මාණය කළහ. අලුතින් පත් වූ හත්වැනි විධායක ජනාධිපතිවරයාට පැවැරී ඇති භාරදූර කාර්යයක් මෙම ප්‍රතිඵලය විසින්ම ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. එනම් ඔහුට බාරගැනීමට සිදුව තිබෙන්නේ විශාල වශයෙන් ධ්‍රැවීකරණය වූ රටක් වීමය. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීමේදී ඔහුට කල්පනාකාරී වන්නට වන ප්‍රමාණය වැඩිය. උදාහරණයකට උතුරු නැගෙනහිරට වැඩි බරක් තබන පිළිවෙතක් දකුණේ ඡන්දදායකයා අසතුටට පත්කරන්නට හේතු විය හැකිය.

සාම්ප්‍රදායික දෙමළ හා මුස්ලිම් දේශපාලකයන්ට සිය ප්‍රජාව මෙහෙයවීමට මේ වනවිට හැකියාවක් නැතැයි පසුගිය කාලයේදී ඇතැම්හු කීහ. එහෙත් උතුරු නැගෙනහිර දෙපළාත සම්බන්ධයෙන් වූ කතිකාවේදී එය ඇත්තක් නොවන බව ප්‍රතිඵලයෙන් පැහැදිලිය. විශේෂයෙන්ම දිග්ගැස්සුණු යුද්ධයක් අවසන් වූ කල ඊට මුහුණ දුන් තරුණ පාර්ශ්ව සිතන්නේ වෙනස් ලෙස යැයි විශ්වාසයක් තිබේ. එහෙත් ජනාධිපතිවරණ ප්‍රතිඵලය බලද්දී උතුරු නැගෙනහිර තරුණ පරම්පරාව පවා නිදහසේ සිතන බවක් පෙනෙන්නේ නැත. සරසවි සිසුන්ගේ මතවාද බැලුවොත් තවමත් ඔවුන් සිටින්නේ තමන්ට වෙන් වූ බලප්‍රදේශයක් ඇතැයි උපකල්පනය කර ඊළම ඉල්ලන තැනකදැයි සිතෙන තරම්ය.

උතුරු නැගෙනහිරදී පාවෙන ඡන්ද, තරුණ ඡන්ද, ස්ත්‍රී ඡන්ද ආදී සියල්ලම ප්‍රකාශ වුණේ සජිත් ප්‍රේමදාස මහතාට යැයි කීමෙහි වරදක් නැත. තමන්ට වෙනම වටිනාකමක් ලබාගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටගත යුතු යැයි දෙමළ මුස්ලිම් නායකයන් කී දේට එකී ප්‍රජාව සාවධාන වූහ. ඒ අනුව දකුණේ ජනයා පිළිගන්නා දෙමළ මුස්ලිම් සම්භවයක් සහිත නායකයන් සොයාගැනීමේ අභියෝගයක් ද මේ සමඟ නව ජයග්‍රාහකයාගේ කඳවුරට මතු වනු ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබියදී මීගමුව සහ වත්තල පෙදෙස්වලින් වෙනස් ඡන්ද ප්‍රතිඵලයක් වාර්තා වූයේ කෙසේද යන්න මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ ප්‍රශ්නගත කරුණකි. එම වෙනසට මා දකින ප්‍රධාන හේතු දෙකකි. එකක් නම් එම පෙදෙස්වල දෙමළ කතෝලික ජනතාව ද සැලකිය යුතු පිරිසක් සිටීමය. අනෙක් කරුණ නම් එම කලාපයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම බාර වූ ප්‍රාදේශීය දේශපාලකයන් සම්බන්ධයෙන් ඇති මහජන ප්‍රතිරූපයයි. මන්දයත් ජාඇල සහ කටාන යන පෙදෙස්වලින් විශිෂ්ට ජයක් ලැබීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව තිබීමය. ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ලෙස ජයගත් දිස්ත්‍රික්කවලින් එකක් හැටියට ගාල්ල හැඳින්විය හැකිය.

එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයේ පවා ගාල්ල අසුන ජයගත්තේ සජිත් ප්‍රේමදාස මහතාය. ඊට හේතුව කුමක්ද? ඒ ගාල්ල ආසනයේ මුස්ලිම් ඡන්දදායකයන් සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගැනීමය. එනිසා උතුරු නැගෙනහිර ගැන සමස්තයක් හැටියට සිතන්නට පෙර දකුණු පළාතේ වෙසෙන මුස්ලිම්, දෙමළ හා ඉන්දීය දෙමළ ඡන්දදායකයන් ආකර්ෂණය කරගන්නේ කෙසේද යන්න ගැන සිතීම ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැදගත් සාධකයක් වනු ඇතැයි යන්න මගේ අදහසයි.

මිනිසුන් ගෝඨාභය රාජපක්ෂ චරිතය දුටුවේ දේශපාලකයකුට වඩා හොඳ කළමනාකරුවකු හැටියටය. ඔහු යුද්ධය කළමනාකරණය කළේය. ඉන්පසුව කොළඹ හා තදාසන්න නගර නිර්මාණය කළමනාකරණය කළේය. ඉතින් ජනතාව සිතුවේ පොදුවේ රට ගොඩනඟන ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමේ හැකියාව ද ඔහු සතු යැයි කියාය. සැබැවින්ම ඒ ජනතාව සිතුවිල්ල නිවැරැදිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩනැඟීම පිළිබඳව වූ මෙම වැඩපිළිවෙළ ආරම්භ වූයේ 2011 දීය. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආදී විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් විශාල පිරිසක් වියත් මඟ, වියත් පවුර ආදී සංවිධාන වටා ඒකරාශී වෙමින් එම ගමන ආරම්භ වූයේ නිහඬවය. ජනාධිපතිවරණ ව්‍යාපාරය පුරා ප්‍රතිපත්ති ගැනම වැඩිපුර කතා කිරීමට එක් හේතුවක් වූයේ මෙම වෘත්තිකයන්ගේ එකමුතුවයි. මෙම පිරිස් සමඟ වූ ඇසුරෙහි සාම්ප්‍රදායික දේශපාලන ප්‍රචාරණයෙන් මිදී රටට නව දේශපාලන සංස්කෘතියක් දායාද කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ද කටයුතු කළේය.

සාරධර්ම යන කාරණය ද දේශපාලනයේදී සැලකිල්ලට ලක් කළ යුතු දෙයකි. එහෙත් එක්සත් ජාතික පක්ෂ කඳවුර මේ කාරණය ගැන සැලකිල්ලක් දැක්වූයේ නැති තරම්ය. සෑම මිනිසකුම තවකෙකුට ගරු කරන සමාජයක් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙන් කියද්දී සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවෙන් කියැවුණේ වෙනත් කතාය. එහෙත් සිංහල සමාජයේ තරුණ ඡන්ද ක්‍රියා කර තිබෙන්නේ ප්‍රතිපත්ති මත පිහිටා දියත් වූ මඩෙන් තොර දේශපාලනයටය.

මඩ අවලාද නඟමින් කළ ප්‍රචාරණය එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය සිදුකරගත් හානිය පෙන්වන එක ප්‍රකාශනයක් වන්නේ අලුත් ඡන්ද ද ඔවුන්ට අහිමි වීමය. උදාහරණයකට ගතහොත් ඇතැම් කථිකයන් ගෝඨාභය රාජපක්ෂ මහතාව හැඳින්වූයේ මහල්ලෙක්, ලෙඩෙක්, මළ කඳක් කියාය. බෞද්ධ සාහිත්‍යයේ සතර පෙර නිමිති හාස්‍යට ලක්කරමින් කළ මෙවැනි මඩ ප්‍රහාර බුද්ධිමත් ඡන්දදායකයාට ප්‍රියජනක වූයේ නැත. මිනිසකුට මතුවන සෞඛ්‍ය ප්‍රශ්න වැනි සංවේදී කාරණා ද එසේය. ගෝඨාභය රාජපක්ෂ       මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නැගූ තර්ක පවා සමාජයට විෂය වී නැති බව ප්‍රතිඵලය පවසයි.

 ජනාධිපතිවරණ නාමයෝජනා බාර දෙන කාලයේදී පැවැති දේශපාලන තත්ත්වය පසුකාලීනව වේගයෙන් වෙනස් විය. උදාහරණයකට ගතහොත් නාමයෝජනා බාර දෙන අවස්ථාව වනවිට තරුණ ප්‍රජාවේ අපේක්ෂා දල්වා සිටි අපේක්ෂකයන් අතර හිටපු හමුදාපතිවරයකු වූ මහේෂ් සේනානායක, ව්‍යාපාරිකයකු වූ රොහාන් පල්ලේවත්ත වැනි චරිත වූහ. එහෙත් මැතිවරණ ප්‍රචාරණයේදී සිය පූර්ව තීන්දු ඔවුන් වෙනස් කරගත් බව පැහැදිලිය. මහා ඡන්ද පංගුවක් නැතත් ආරම්භයේදී එකී අපේක්ෂකයන්ට ද කිසියම් ඡන්දදායක පිරිසක් වූ බව එකල පැවැති සමාජ මතයෙන් පැහැදිලි වූ දෙයකි. එහෙත් ජනාධිපතිවරණය ළං වනවිට ඔවුන් තෝරාගත්තේ දිනන කඳවුරය.

විනයත් තීරණ ගැනීමේ හැකියාවත් ඔවුන්ගේ අපේක්ෂකයා තෝරාගැනීමේ නිර්ණායක අතර විය. වෘත්තිකයකු හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්කරගෙන තිබූ ප්‍රතිරූපය එහිදී වාසිදායක විය. මේ අතර හිටපු ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර වූ විරසක නිසා ගත යුතු තීන්දු ගත යුතු මොහොතේ නොගෙන කල්මැරීම විසින් ද ඡන්දදායකයන් අතරෙහි ඇතිකරනු ලැබ තිබුණේ කලකිරීමකි. එනිසා කෙළින් තීරණ ගත හැකි ඍජු නායකයකු පිළිබඳ අපේක්ෂාව ද ගෝඨාභය මහතාට වාසිදායක විය.  

ලෝකයේ සෙසු රටවල් සමඟ සැසඳීමේදී ලංකාවේ දේශපාලනය වෙනස්ම ස්වරූපයක් ගනී. ජනාධිපතිවරණ ප්‍රතිඵල මේ ආකාරයෙන් සටහන් වීම ඇතැම් විට දේශපාලන විද්‍යාව දත් ප්‍රාමාණිකයන්ට පවා දුෂ්කර කරුණක් වී තිබෙන්නේ ඒ නිසාය. සාමාන්‍යයෙන් කුඩා පක්ෂ හා ජාතිකවාදී ස්වරූපයෙන් යුත් දේශපාලන පක්ෂ සන්ධානගත වන්නේ වාමාංශික කඳවුර සමඟය. ලෝක ප්‍රවණතාව ද එයයි. එහෙත් ලංකාවේදී කුඩා පක්ෂ සිටින්නේ ධනවාදී කඳවුර සමඟය.

මෙය නව නිර්මාණයකි. බොහෝවිට දෙමළ හා මුස්ලිම් පක්ෂ විශ්වාසය තබන්නේ එක්සත් ජාතික පක්ෂය කෙරෙහිය. සමාජවාදී කඳවුරට බර දේශපාලන කණ්ඩායම ජාතිකවාදී ධාරාව හා මුසු නොවන තරම්ය. එහෙත් ලංකාවේදී සිංහල පදනම තිබෙන්නේ බොහෝදුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟය. අනෙක් අතට ජාතිකවාදී කඳවුරට වාසිදායක පදනමක් මේ වනවිට ලොව පුරා පවතී. එහි වාසිය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකත්වයට හිමි විය.

මෑතකාලය වනවිට ශ්‍රී ලංකාවාසීන් හිටියේ තමන්ටත් ලී ක්වාන් යූ කෙනකු මහතීර් මොහොමඩ් කෙනකු නැතිනම් අඩුම තරමින් නරේන්ද්‍ර මෝදි කෙනකු සොයමිනි. ඒ නිසා ඔවුන් සිතුවේ සාම්ප්‍රදායික දේශපාලකයකු නොවන කෙනකු තෝරාපත්කර ගැනීමටය. ඉතින් ඔවුහු ඒ සිහිනය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළහ. ජනතාව අපේක්ෂා කළ නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් වූ ඡන්දය එසේ මෙසේ වෙනසක් නොවේ.

එනිසා අභිනවයෙන් පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැටවෙන වගකීම ද සුළු පටු නොවේ. අලුත් රජය මත හැත්තෑලක්ෂයකට ආසන්න ජනතාවක් තබා ඇති අපේක්ෂාව ආණ්ඩුකරණය ආරම්භයේදී නව ජනාධිපතිවරයාට තරමක් අපහසුකාරී තත්ත්වයක් නිර්මාණය කරන්නට ද පුළුවන. එනිසා ඉතා පරෙස්සමින් තීන්දු තීරණ ගැනීමේ කටයුතු කළමනාකරණය කරගැනීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවනු ඇත.

සටහන - බිඟුන් මේනක ගමගේ