මැතිවරණය සඳහා දින නියමකර, නාම යෝජනාද බාර ගත් පසු, පාර්ලිමේන්තු මැතිවරණයක් කල් තැබුණු පළමු වර මෙවරය. කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් කල් තබන්නට සිදුව මාස 04 ට පසු පැවති මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සතු හැඩ තල කිහිපයකි. පාර්ලිමේන්තු දේශපාලනයේ පැරණිම සාම්ප්‍රදායික පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 1977 ජූලි මහ මැතිවරණයෙන් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙක අතුගෑවී ගිය අයුරුම, මේ මැතිවරණයෙන් අන්ත පරාජයට පත් විය. එ.ජා.පට ඉතිරි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු පමණි. ඒ වනවිට, අනෙක් පැරණි සාම්ප්‍රදායික සිංහල පක්ෂය වූ ශ්‍රී.ල.නි.පයේ ඡන්ද පදනම මුළුමනින් වාගේ වසර දෙකක් ඇතුළත රාජපක්ෂලාගේ ශ්‍රී.ල.පො.පෙ. විසින් දිනා ගනු ලැබීය.

ඒ ඡන්ද පදනම සමග ගොනුකර ගත් සිංහල-බෞද්ධ ඡන්ද සමග රාජපක්ෂලාගේ පොහොට්ටු පක්ෂයට මෙවර තමන්ගේ ලේඛනයෙන් තරගකර තේරී පත්වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් 14 දෙනා අත හැරිය ද, පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා මන්ත්‍රීවරුන් 114 ක් ඇත. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ද නොමැතිව ය.

උතුරු - නැගෙනහිර ඡන්ද භාවිතයේ ද අලුත් පෙනුමක් ඇත. බැලූ බැල්මට, ද්‍රවිඩ ජාතික සන්ධානයට තිබූ ඒකාධිකාරී බලය වෙනුවට වෙනත් පක්ෂ හා සන්ධාන ආසන කිහිපයක් දිනාගෙන ඇත. ඒ අතරින් විශේෂයෙන් කැපී පෙනෙන ආසනය වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී.ල.නි.ප. දිනා ගත් මන්ත්‍රී ආසනය වේ. මඩකළපුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී.ල.පො.පෙ. දිනූ මන්ත්‍රී අසුන ද එවැනිය.

නොවැම්බරයේ සිට මාස 08 ක් ඇතුළත උතුරු හා නැගෙනහිර විශේෂයෙන් දෙමළ ඡන්ද පෙන්වන එක්තරා ආකාරයක මේ “ඡන්ද කරණම” තේරුම්ගත හැක්කේ කෙසේ ද?

ඔවුන් 2015 ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රදර්ශනය කළ රාජපක්ෂ විරෝධය පසුගිය නොවැම්බර ජනාධිපතිවරණයේදී ද නොවඩුව ප්‍රදර්ශනය විය. ගෝඨාභය රාජපක්ෂට 2019 නොවැම්බර ජනාධිපතිවරණයේදී මඩකළපු දිස්ත්‍රික්කයෙන් ලැබුණේ ඡන්ද සියයට 12.7 කි. යාපනයේ සියයට 06.2 කි. උතුරු-නැගෙනහිර අති බහුතර දෙමළ හා මුස්ලිම් ඡන්ද සජිත් ප්‍රේමදාසට ලැබුණේ රාජපක්ෂ විරෝධී ඡන්ද ලෙස ය.

දකුණේ සිංහල බෞද්ධ මානසිකත්වය කැමති වනු ඇත්තේ දෙමළ ජනයා දෙමළ ජාතික සන්ධානය අතහැර දකුණේ සිංහල නායකයන් පිළිගෙන ඇතැයි සිතීමට ය. එහෙත් මේ ඡන්ද ප්‍රතිඵලය යට ඇත්තේ එවැන්නක් නොවේ. මෙහි ඇත්තේ යුද්ධයේ නිමාවෙන් පසු දෙමළ දේශපාලනයෙහි ඉදිරි ගමන පිළිබඳව මෝදු වෙමින් තිබූ පරස්පරය ඉස්මත්තට පැමිණිමකි.

යුද්ධය නිමා වූයේ බරපතළ තුවාල සමූහයක් සඳහා ප්‍රතිකාර ඉල්ලමින් ය. ඒ වෙනුවෙන් බටහිර බලවතුන්ගෙන් ද බලපෑම් තිබිණ. ජනාධිපති රාජපක්ෂ අනතුරුව විශ්‍රාමික නීතිපති, ජනාධිපති නීතිඥ සී.ආර් ද සිල්වාගේ සභාපතිත්වයෙන් “උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම” 2010 මැයි මාසයේ දී පත් කළේය. වසරකටත් වැඩි කාලයකට පසු 2011 දෙසැම්බරයේ දී එහි සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවෙහි සභාගත කැරුණි.

එම වාර්තාවෙහි වැදගත් කරුණු ගණනාවක් මතුකර ඇත. අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධ කාරණාව ඉන් එකකි. සංඛ්‍යාව පිළිබඳ මත භේද ඇතත් අතුරුදන්වීම් දේශපාලන ගැටලුවකට වඩා මානුෂික ප්‍රශ්නයක් ලෙස ඉතිරිව ඇත. කොමිසම් වාර්තාවෙහි ඇති දීර්ඝ විස්තරය සමග අවුරුදු 09ට පෙර ඔවුන්ගේ නිරීක්ෂණ හා නිර්දේශ වූයේ “(අංක 9.46) කි.... ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණ කොමිසම් වෙත ද ප්‍රකාශ ඉදිරිපත් කර තිබිණ. එහෙත්, සොයා ගත නොහැකි බොහෝ පුද්ගලයන් ආගිය තැනක් තවමත් නොදන්නා බවට සමීප ඥාතීහු දිගින් දිගටම පැමිණිලි කරති.. එමනිසා, මෙම චෝදනා පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ පවත්වන බවත්, අපරාධකාරයන් නීතිය හමුවට පමුණුවන බවත් සහතික කිරීම සඳහා වහාම පියවර ගත යුතු යැයි නීතිය බලාත්මක කරන බලාධිකාරවලට නිර්දේශ කිරීමට ආණ්ඩුව යුතු කමින් බැඳී සිටී. (අංක 9.47) යටත් වීම හෝ අත්අඩංගුවට ගැනීම හරහා ආණ්ඩුවේ බලාධිකාරවලින් අත්අඩංගුවට ගැනුණු කවර පුද්ගලයකුගේ වුව ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සහතික කිරීම රාජ්‍යයේ වගකීම බව අවධාරණය කිරීමට කොමිසම කැමැති ය.”

ඒ වගේම තවත් ප්‍රශ්න ගණනාවක් පිළිබඳව “උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම” සිය නිරීක්ෂණ සමග නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. ඒ අතර, යුද්ධය පැවති ප්‍රදේශවල රාජ්‍ය පරිපාලනය හමුදා විධානයන්ට නතුවීම හා රාජ්‍ය පරිපාලනය සිවිල් පාලනයක් ලෙස තහවුරු කිරීම පිළිබඳ කොමිසම සටහන් කරන්නේ “(9.171)..... සැලකිය යුතු කාල සීමාවන් ලබා දී, ආරක්ෂක හමුදා සිවිල් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම සහ ආරක්ෂක හමුදා පෞද්ගලික ඉඩම් ප්‍රයෝජනයට ගැනීම ක්‍රමිකව නතර කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර සිටී.” යනුවෙනි.

එලෙසින්ම නැවත පදිංචි කිරීම, නිසි අයිතිකරුවන්ට ඉඩම් යළි ලබා දීම, ධීවර කර්මාන්තය වැනි ජීවනෝපාය සඳහා ඇති සීමා ඉවත් කිරීම වැනි දෛනික ජීවිතයට බලපාන්නා වූ කාරණා සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ ගණනාවක් එහි ඇත. බලය බෙදීම ගැන ද එහි නිර්දේශ ඇත. ඒ ගැන කියා තිබුණේ, “9.231 - බලය බෙදාහැරීම අනිවාර්යයෙන්ම මහජන කේන්ද්‍රීය ස්වභාවයක් ගත යුතු අතර, එහි දී පහත දැක්වෙන තැකීම් සිත දරා ගත යුතු ය. (අ.) බලය බෙදා හැරීම අනිවාර්යයෙන්ම වඩා පුළුල් සුසංවාදයක් සහ එකමුතුකමක් ප්‍රවර්ධනය කළ යුතු අතර, රටේ මහජනතාව අතර විසංවාදය සහ අසමගිය ප්‍රවර්ධනය නො කළ යුතු ය. සාරවත් විවිධත්වය ආරක්ෂා කරන සහ අගය කරන අතරතුර, කවර බලය බෙදා හැරීමක වුව ප්‍රධාන අරමුණ විය යුත්තේ, මෙම ‘ඒකත්වය’ සහ පොදු අනන්‍යතාවක් ප්‍රවර්ධනය කිරීමයි.” යනුවෙනි.

යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව, වැඩිමනත් වන්නිකරයේ හා යාපනයේ දෙමළ ජනතාව කොමිසම් වාර්තාවෙහි ඇති මේ සියලු ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් ලබන්නට දේශපාලන හයියක් බලාපොරොත්තු වූයේ, දිගු ඉතිහාසයක් ඇති ඉලන්කායි තමිල් අරසුකච්චි (ITAK) නායකත්වය ගත් දෙමළ ජාතික සන්ධානයෙනි. රාජපක්ෂ පාලන සමයේ “ඉටාක්” නායකත්වය පෙනී සිටියේ ජාත්‍යන්තර බලපෑම් වෙතින් විසඳුම් ලැබේය යන විශ්වාසයෙනි. ඔවුන් දෙමළ ජනතාව අමතන ලද්දේද එවැනි යැපුම් දේශපාලනයක් සමගිනි. යුද්ධයෙන් අපමණ විනාශයන්ට ගොදුරුව සිටි ඒ ජනතාවට, එසේ හෝ විසඳුම් ලැබෙන්නේ නම්, එය සෑහීමට හේතුවක් විය. එබැවින් සම්බන්ධන්, සුමන්තිරන් සහ සේනාතිරාජා ත්‍රිත්වය සමග දෙමළ ජාතික සන්ධානය මත ඔවුහු සියලු බර තැබූහ.

යුද්ධය නිමාවෙන් පසු පළමු වරට 2011 දී පැවැත් වූ පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණයෙහි උතුරේ ඡන්ද භාවිතය සියයට 52 ක් පමණ වූ අඩු ප්‍රතිශතයක් සමග ද දෙමළ ජාතික සන්ධානය යාපනය දිස්ත්‍රික්කයේ 201 ක් වූ සමස්ත මන්ත්‍රී නියෝජනයෙන් 142 ක් දිනා ගත්තේය. ඒ සමග උතුරු-නැගෙනහිර දෙමළ ජන සමාජය ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සක්‍රීය වන්නට ද පටන් ගත්තේය.. පළමු වරට 2013 සැප්තැම්බරයේ උතුරු පළාත් සභාවට ඡන්දය පැවැත් වූ විට, දෙමළ ජාතික සන්ධානයට භාවිත වලංගු ඡන්ද වලින් සියයට 78.5 ක් ලැබිණ. මන්ත්‍රී ආසන 38 න් 30 ක් හිමි විය. එවැනි ජන සහායක් සමග “ඉටාක්” නායකත්වය ඔවුන්ගේ ආධිපත්‍ය යටතේ තබාගත් දෙමළ ජාතික සන්ධානය කොළඹ විපක්ෂ දේශපාලනය සමග එකඟත්වයට පැමිණියේ ඉන්දියානු සහ බටහිර බලවතුන්ගේ ද ආශීර්වාද සමගින්ය.

පොදු අපේක්ෂකයකු දෙවැනි වරටත් 2015 ජනවාරි ජනාධිපතිවරණයට ද සෙවූ රනිල් වික්‍රමසිංහ සමග ඔහුගේ ආණ්ඩුවකින් බලය බෙදීම සහතික කෙරෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත හැකි යැයි සුමන්තිරන් - සම්බන්ධන් දෙපළ විශ්වාස කළහ. ඒ වනවිට දෙමළ ජනතාව තොග පිටින් රාජපක්ෂ විරෝධීව ඡන්දය දෙනු ඇතැයි පිළිගත් සම්මතයක් ද විය. එය සනාථ කරමින් රාජපක්ෂ විරෝධී පොදු අපේක්ෂක සිරිසේනට මඩකළපුවෙන් සියයට 81.6 ක් ඡන්ද ලබිණ. දිගාමඩුල්ලෙන් සියයට 65.2 ක්ද ත්‍රිකුණාමලයෙන් සියයට 71.8 ක් ද ලැබිණ. යාපනයෙන් සියයට 74.4 ක් සහ වන්නියෙන් සියයට 78.5 ක් ලැබිණ.

උතුරු-නැගෙනහිර මේ ඡන්දවල තිබු දෙමළ ඡන් ද සියල්ල ඊළඟ අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණේ දෙමළ ජාතික සන්ධානයටය. ඔවුන්ට උතුරු-නැගෙනහිරෙන් මන්ත්‍රී ආසන 16 ක් දෙමළ ජනතාව ලබා දුන්හ. දෙමළ ජනතාව බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය පෙනී සිටිනු ඇත යැයි කියා ය.

දිගු කතාවක් ඉතාම කෙටියෙන් කියන්නේ නම්, “ඉටාක්” හරහා දෙමළ ජාතික සන්ධානයේ න්‍යායාචාර්ය හා සම්බන්ධන්ගේ ආශීර්වාදය ලබන්නා වූ නිල නොවන නායක ලෙස කොළඹ මාධ්‍යයන්හි හා තානාපති කාර්යාලවල පිළිගැනුමක් ලබා ඇති සුමන්තිරන් යහපාලන ආණ්ඩුවට රිදෙන්නට හැකි කිසිදු ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී සිටින්නට සූදානම් නොවුණි. එබැවින් තම ඉඩම් වෙනුවෙන්, අතුරුදහන් තම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් දිගින් දිගටම උද්ඝෝෂණය කළ දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු විරෝධයකට සහාය වන්නට දෙමළ ජාතික සන්ධානයේ මේ නායකයෝ සූදානම් නොවූහ. කිසිදු චෝදනාවක් නොමැතිව අවුරුදු දහය දොළහ රිමාන් බන්ධනාගාරයේ ඉන්නා දෙමළ තරුණන් නිදහස ඉල්ලා සත්‍යග්‍රහ කරද්දී, ඒ වෙනුවෙන් ආණ්ඩුව සමග සාකච්ඡා කළ සුමන්තිරන්- සම්බන්ධන් දෙපළ ආණ්ඩුවේ අර්ථකතන බාරගෙන නිහඬ වූහ.

සම්බන්ධන් - සුමන්තිරන් දෙපළ දෙමළ ජනතාවට කියූවේ, සියල්ලට විසඳුම් ලැබෙන්නේ ඔවුන් වික්‍රමසිංහ ආණ්ඩුව සමග සම්පාදනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් යැයි කියා ය. එනිසා එයට බාධා නොකරන ලෙස ද ඔවුහු උද්ඝෝෂකයන්ට අවවාද කළහ.
ඒ අතර, රාජ්‍ය ආයතන කළමනාකාරිත්වය සම්බන්ධ කිසිදු අත්දැකීමක් නොතිබූ, දේශපාලනයෙන් තොර ඉතා සීමිත සමාජ ඇසුරක් තිබූ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේස්වරන් දෙමළ ජනතාවගේ ඡන්ද වෙනුවෙන් ඔවුන් උතුරු පළාත් සභාවෙහි මහ ඇමති ධූරයට පෙරැත්තකර ගෙනැවිත් තිබිණ. එහෙත් පළාත් සභා මැතිවරණයෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ බලවතුන් වූ ඉටාක් නායකයන් විග්නේස්වරන් අත හැර දැමුවේය. ඒ හේතුවෙන් සංවේදී දෙමළ උගතෙකු ලෙස විග්නේස්වරන් උතුරු-නැගෙනහිර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට විය. ආණ්ඩු විරෝධි ලෙස ප්‍රකාශයට පත්වන විරෝධතා සමග විග්නේස්වරන් පෙනී සිටීම නිසාවෙන් යහපාලන ආණ්ඩුව රැකීමේ වගකීම බාරගෙන තිබූ සුමන්තිරන් අසීරුවට පත් විය. එබැවින් සුමන්තිරන් සහ විග්නේස්වරන් අතර ගොඩ නැගුණු ප්‍රතිවාරෝධ, යාපනය සමාජයේ විවෘතව දිග හැරුණි.

ඒ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ ජාතික සන්ධානයේ ඉටාක් නායකයන් දෙමළ ජනතාව පාවා දෙන්නේ යැයි මතයක් පැළපදියම් වීමය. සමාජයක් ලෙස එවැනි අපේක්ෂා භංගත්වයට ජනතාව පත් වූ විට, සමාජය බෙදෙන්නේ දෙඅතකට නොවේ. ජනතාව කිහිප අත බෙදෙති. ඒ බෙදුමෙහි වාසිය කිහිප දෙන කිහිප අයුරින් ලබා ගන්නාහ. ඉන් එක් අයකු වූයේ 2013 ශ්‍රී.ල.නි.ප. නියෝජනය කරමින් එ.ජ.නි.පෙන් තරගකර යාපනයෙන් පළාත් සභාවට තේරී පත් වූ අංගජන් රාමනාදන් ය. පසුව 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු ජනාධිපති සිරිසේනගේ පූර්ණ අනුග්‍රහය ඇතිව ජාතික ලැයිස්තු මන්ත්‍රී පත්වීමක් ලැබූවේය. ඒ සමග යාපනය දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී ලෙස ඔහු මෙවර තේරී පත්විය.

ශ්‍රී.ල.නි.ප. අපේක්ෂක වූ අංගජන් රාමනාදන්ගේආරම්භක ඡන්ද පදනම වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයට නොදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස සැලකුණ විජයකලා මහේස්වරන්ට ලැබුණු ඡන්ද ප්‍රමාණය වන්නේය. ඒ මතට, දෙමළ ජාතික සන්ධානය ගැන බරපතළ ලෙස කලකිරුණු ඡන්ද එකතු විය. එබැවින් ආණ්ඩු සන්ධානයේ සෘජු අපේක්ෂකයකු ලෙස ඔහු, රාජපක්ෂ ආණ්ඩුවට සහාය දක්වන ඩග්ලස් දේවානන්දට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුවේය. මඩකළපුවේද සිදු වූයේ එයමය.
ඒවගේම, දෙමළ ජාතික සන්ධානයට එරෙහිව වඩා අන්තවාදී ලෙස ගමන් ගත් දෙමළ ඡන්ද ප්‍රතිශතයක්ද ඇත. එය සංඛ්‍යාත්මකව හා ප්‍රතිශතයක් ලෙස අංගජන් රාමනාදන් හා ඩග්ලස් දේවානන් ද එක්ව ලබා ගත් ඡන්ද සියයට 26.5 ට වඩා වැඩිය. ගජේන්ද්‍ර කුමාර් සහ විග්නේස්වරන් ඇතුළුව දෙමළ ජාතික සන්ධානයට එරෙහිව තරග වැදුණු දෙමළ පක්ෂ සහ කණ්ඩායම් ලබා ගත් එකතුව දළ වශයෙන් සියයට 40 ට ආසන්නය. ඒ සමග වන්නියේ ඡන්ද අතර රිෂාඩ් බදුයිදීන් ලබාගත් ඡන්ද ද ඇත.

එබැවින් මේ පාර්ලිමේන්තු මැතිවරණයේ උතුරු-නැගෙනහිර ඡන්දයෙහි ඇත්තේ විශේෂයෙන් සම්බන්ධන්- සුමන්තිරන් නායකත්වයට එරෙහිව ගොඩ නැගුණු විරෝධයක පැතිකඩ කිහිපයකි. තමන්ගේ දේශපාලන නායකයන් තමන් අත හැරි පසු ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප දේශපාලනයක් ද නොමැති විට, ආණ්ඩුවකින් පෞද්ගලිකව හෝ යමක් කරගත හැකිදැයි කල්පනා කරන අසරණ වූවන්ගේ ඡන්ද ප්‍රතිශතයක් ඒ අතර ඇත. එහෙත් වැඩි අවධානයක් ලබා දිය යුත්තේ සාම්ප්‍රදායික නියෝජනය අතහැර වඩා ආවේගවාදී දේශපාලනයකට ලැබුණු ඡන්ද වෙතය. දෙමළ ජාතික සන්ධානයට එරෙහිව දේශපාලනිකව භාවිත කෙරුණු ඡන්ද ඒවාය.

(*** කුසල් පෙරේරා)