IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ගොවියාත්-පාරිභෝගිකයාත් සැනහෙන හාල් මිලක්

එක් එක් පුද්ගලයන්ට ඕනෑ ආකාරයට මේ රටේ වී මිල සහ සහල් මිල තීරණය කිරීමට මින් මතු රජය ඉඩ නොදෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. වී මිල සහ සහල් මිල තීරණය කිරීමට රජය මැදිහත් වී මෝල්කරුවන් සහ වෙළෙඳුන් සමඟ ගිවිසුමකට එළඹීමට කටයුතු කරන බව ද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. දිනෙන් දින ඉහළ යන සහල් මිල දරාගත නොහැකි මට්ටමට වැඩි වී තිබෙන බවට රට වටෙන්ම නැගෙන චෝදනාවට පිළිතුරු වශයෙන් කෘෂිකර්ම ඇමැතිවරයා එම ප්‍රකාශය සිදු කරන්නට ඇතැයි අපි සිතමු.

එම ප්‍රකාශයෙන් පසුව දිනෙක වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යවරුන් දෙදෙනාම පැවසුවේ තමන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව යල කන්නයේ වී අස්වැන්න රජයේ සහතික මිලට පමණක් මිල දී ගැනීමට සහල් මෝල් හිමියන් එකඟ වූ බවය. ඒ අනුව මෙම කන්නයේ සිට රජයේ සහතික මිල ගණන්වලටම වී මිල දී ගැනීමට පෞද්ගලික මෝල් හිමියන් ප්‍රතිඥා දී ඇති අතර මෝල් හිමියන් නොවන තෙවැනි පාර්ශ්වවලට වී තොග රැස් කිරීම ද තහනම් කිරීමට පියවර ගනු ඇත. ඒ ආකාරයට අතරමැදියන් ලාභ ලබා ගැනීමේ පදනමින් රැස්කර ගන්නා වී තොග සියල්ලම රජයට පවරා ගැනීමට ද කටයුතු කෙරෙන බව ද සඳහන්ය.

ඉහත සඳහන් ප්‍රකාශවලින් පසුව යළිත් වරක් කෘෂිකර්ම ඇමැතිවරයා එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී ශපථ කළේ සම්බා සහ කීරි සම්බා මිල රුපියල් 50ත් 75ත් අතර ගණනකින් මිල අඩු කරන බවය. නාඩු සහල් මිල රුපියල් 100කට අඩු මට්ටමකට ගෙන එන බව ද ඔහු පවසා තිබිණි. ඔහු මේ මිල ගණන් ඉදිරි සතියේ දී අඩු කරන බව ප්‍රකාශ කර තිබූ අතර එම ඉදිරි සතිය දැන් ආරම්භ වී තිබේ. නාඩු සහල් නම් රුපියල් 88ට ලංකා සතොසින් මිලදී ගත හැකි බව සඳහන්ය. රතු කැකුළු හැරුණු විට සෙසු සහල් මිල අඩුවීමක් පිළිබඳ තවමත් දැන ගන්නට නැත.

වී සහ හාල් මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැතිවරයා මීට පෙරද ප්‍රකාශ ගණනාවක් සිදු කර තිබිණි. එහෙත් මිල ගණන් අඩු වූයේ නැත. නාඩු සහල් පමණක් අඩු මිලට ලබාදීම මේ ගැටලු‍වට පිළිතුරක් නොවේ. මේ රටේ සියයට 80ක් දෙනා පාරිභෝජනය කරන්නේ නාඩු සහල් බවට කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළත් එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. අප දන්නා එකම දෙය නම් ලංකා සතොස සහ සුපිරි වෙළෙඳසල් කිහිපයක නාඩු සහ රතු කැකුළු සහල් පමණක් පාලන මිලට ලබාදෙන බව පමණි. සෙසු සහල් වර්ගවල මිල ගණන් තවමත් පවතින්නේ ඉහළ මට්ටමේය. ඇතැම් සහල් වර්ගවල මිල සතියෙන් සතිය ඉහළ යන බවද පාරිභෝගිකයෝ කියති.

සහල් මිල ගණන් පහත දැමීම විජ්ජා බලයකින් කළ හැක්කක් නොවේ. සහල් අලෙවි කරන සිල්ලර වෙළෙඳුන්ට තර්ජනය කළ පමණින් ඔවුන් මිල බස්සන්නේ ද නැත. හේතුව මිල ගණන් තීරණය කිරීම ඔවුන්ගේ පාලනයෙන් තොර වීමය. මෙතෙක් කාලයක් සහල් මිල තීරණය කළේ මෙරට සිටින දැවැන්ත සහල් මෝල් හිමියන් කිහිප දෙනකු විසින් බව දෙකේ පන්තියේ ළමෝ පවා දැන සිටිති. වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් අල්ලා රුපියල් ලක්ෂයක් දඩ ගැසීමට පෙර බලධාරීන් ඒ යථාර්ථය අමතක නොකළ යුතුය.

නැතහොත් සිදුවීමට ඉඩ ඇත්තේ වෙළෙඳපොළේ සහල් හිඟ වී කළු කඩයක් නිර්මාණය වීමය. හාල් මෝල්කරුවන් වැඩි මිලට නිකුත් කරන සහල් රජය ප්‍රකාශ කරන අඩු මිලට අලෙවි කිරීමට සිල්ලර වෙළෙඳුන්ට හැකියාවක් නැතිවීම ඊට හේතුවය. එසේ වැඩි මිලට විකුණා ලක්ෂයක දඩ කනවාට වඩා විකිණීමෙන් වැළකී සිටීම යහපත් බව ඔවුන් තීන්දු කරනු ඇත.

සහල් මිලෙන් අයුතු ලාබ ලබන වෙළෙඳුන්ට එරෙහි දඩය රුපියල් 2500 සිට ලක්ෂය දක්වා වැඩි කිරීමේ වැරැද්දක් නැත. එහෙත් සිල්ලර වෙළෙඳුන් අතට හාල් මෝල් හිමියන්ගෙන් රජය ප්‍රකාශ කරන අඩු මිලට සහල් ලැබෙන බවට ද ඒ සමඟ වගබලා ගත යුතුය. එසේ නොවුණොත් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වනු ඇත.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීමට නම් එය වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පටන්ම නියාමනය වීම අවශ්‍යය. එහිදී වී ගොවීන්ට ඔවුන්ගේ සියලු‍ අස්වැන්න රජයේ සහතික මිලට අලෙවි කර ගැනීමට ඉඩ තිබිය යුතුය. ඒ අතරට මහා පරිමාණ වී මෝල් හිමියන්ට ගොවීන් රැවටීමට ඉඩක් තැබිය යුතු නැත. එහෙත් ගොවීන් නිපදවන සියලු‍ අස්වැන්න සහතික මිලටම මෝල් හිමියන් මිල දී ගන්නවා ද යන්න තීරණාත්මක සාධකයකි. වෙළෙඳපොළේ සහල් මිල තීරණය වීමට එය ඍජුවම බලපායි.

සහල් මිල අඩු කිරීම ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි බව ඇමැතිවරයා ද දැන සිටිනු ඇතැයි අපි සිතමු. ඒ සඳහා නිසි අවබෝධයකින් කටයුතු නොකළහොත් පාරිභෝගිකයා පමණක් නොව ගොවියා ද අමාරුවේ වැටෙනු ඇත.



අදහස් (0)

ගොවියාත්-පාරිභෝගිකයාත් සැනහෙන හාල් මිලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site