මෙතරම් අනුහස් සහිත කදිර දේවසාමි හෙවත් කතරගම දෙවිඳුන් කවුද? ඒ පිළිබඳ පුරාවෘත්ත රැුසකි. එක් පුරාවෘත්තයකින් කියැවෙන පරිදි කඳකුමරු හෙවත් කතරගම දෙවිඳුන්ගේ උපත මෙසේය.

ශිව පුරාණයේ සඳහන්වන පරිදි ශිව දෙවියන් සතුව මහත් බලගතු ගිනි දැහැනක් විය. එක් අසුරයෙක් එය ලබාගැනීමේ අරමුණෙන් ශිව දෙවියන් විෂයෙහි බැල මෙහෙවරකම් කළේය. අසුරයා කෙරෙහි පැහැදුණු ශිව දෙවියන් ”ඔබ කැමැති වරයක් ඉල්ලා සිටින්නැයි” දන්වා සිටියේය. අසුරයා ඉල්ලා සිටියේ ශිව දෙවියන් සතු බලගතු දැහැනය. ඒ අනුව එම බලගතු ගිනි දැහැන අත්ලට මතුරා අසුරයාට දීමට ශිව දෙවියන්ට සිදුවිය.

මෙම ගිනි දැහැනේ බලගතු බව වූයේ එය මතුරා එම අත්ල කෙනකුගේ හිස මත තැබූවිට ඔහු අළුවී යාමය. එය අත්හදා බැලීමට ශිව දෙවියන් තරම් සුදුසු තවත් කෙනෙකු නොමැති යැයි සිතූ අසුරයා එම අත්ල ශිව දෙවියන්ගේ හිස මත තැබීමට උත්සහ කළේය. ඊට බිය වූ දෙවියන් වහා එතැනින් පලා ගියේය. අසුරයා ශිව දෙවියන් හඹා ගියේය.

මහා අනතුරකි!, ඒ අනතුර වැළැක්වීමට ඉදිරිපත් වූයේ විෂ්ණු දෙවියන්ය. දුටුවන් මන නුවන් පිනවන රූමත් කාන්තා රුවක් මවාගත් විෂ්ණු ශිව දෙවියන් සහ අසුරයා අතර මැද හිඳ ඔන්චිල්ලා පදින්නට විය. රූමත් තරුණ කත දුටු අසුරයා යන ගමන නතර කර විෂ්ණු දෙවියන් ළඟ නතරවිය. රූමත් තරුණියකගේ වෙස්ගෙන සිටි විෂ්ණු දෙවියන්ගෙන් අසුරයා විමසා සිටියේ තමා සහ එක්ව විසීමට කැමැති ද යනුවෙනි. එයට එකඟතාව පළ කළ විෂ්ණු දෙවියන් කීවේ තමා ආදරයෙන් රැුක බලා ගන්නා බවට ඔබේම හිස මත අත තබා දිවුරන්්නේ නම් පමණක් ඔබ හා එන බවය.

කාන්තා රුවෙහි රූපශ්‍රීයට වසඟව සිටි අසුරයා ඈ කී පරිදිම සිය හිස මත සිය අත තැබුවේය.

විනාශයකි!, සැණෙකින් අසුරයා දැවී හළුවී ගියේය.

තමා හඹා ආ අසුරයා දක්නට නොවූයෙන් ශිව දෙවියන් ආපසු හැරී ආවේය. ඒ එන අතරවාරයේ ඔහු දුටුවේ, ඔන්චිල්ලාවක සිටින රූමත් කාන්තාවය. ඒ විෂ්ණු දෙවියන් බව නොදැන එතැන නතර වූ ශිව දෙවියන් ඇගෙන් විවාහයට අවසර පැතුවේය.

”ඔබ ඔබේ බිරිඳගෙන් අවසර ගෙන ආවොත් මම ඔබ හා එන්නම්” රූමත් තරුණ කත කීවාය. වහා ආපිට හැරුණු ශිව දෙවියන් සිය බිරිය වන පාර්වතීයගෙන් ඒ සඳහා අවසර පැතුවේය. අවසරය ලැබිණි. ශිව දෙවියන් යළිත් එනවිට රූමත් තරුණ කත බිළිඳෙකු නළවමින් සිටියාය.

”දරුවා සමග මා බාරගන්න පාර්වතිය කැමැතිනම් ඔබ හා එන්න මා සූදානම්” තරුණ කත කීවාය. ශිව දෙවියන් යළිත් ගොස් පාර්වතියගෙන් අවසර පැතුවේය. අවසරය ලැබිණි. ශිව දෙවියන් යළිත් පැමිණෙන විට දරුවන් දෙදෙනෙකි. ඒ සඳහා යළිත් පාර්වතියගෙන් අවසර ලබා පැමිණෙන විට තවත් දරුවෙකි. මෙයාකාරයෙන් තරුණ කත ළඟ දරුවන් හය දෙනෙකි.

 


ඒ දරුවන් හය දෙනා සමග තරුණ කත කැන්දාගෙන ඒමට ශිව දෙවියන් පාර්වතියගෙන් අවසර පැතීමට ගිය අවස්ථාවේ පාර්වතිය කීවේ එම තරුණ කත බැහැ දැකීමට ඇවැසි බවය. ශිව දෙවියන් පාර්වතිය සමග එතැනට පැමිණියේය. දරුවන් හය දෙනා දුටු පාර්වතිය අප‍්‍රමාණ දරු සෙනෙහසින් දරුවන් හය දෙනාම එකට බදා ගත්තාය.

නිමේෂයකි, දරුවන් හය දෙනාම එක් දරුවෙක් බවට පත්විය. මුහුණු සයක්, අත් දොළහක් සහිත කදිර දෙවියන්ගේ උත්පත්තිය සිදුවූයේ එසේ බවට ඒ පුරාවෘත්තයෙන් කියැවෙයි.

කඳ කුමරු කතරගම දෙවියන් බවට පත් වූයේ කෙසේද? ඒ සම්බන්ධයෙන්ද පුරාවෘත්ත රැසකි.

කතරගම විසූ ක්‍ෂති‍්‍රය වංශිකයෝ ස්කන්ධ දෙවියන් ඇදහූහ. ස්කන්ධ යනු කතරගම දෙවියන්ට යෙදෙන තවත් නමකි. ලලිත විස්තරයේ දැක්වෙන පරිදි සිද්ධාර්ථ කුමරා දේව වන්දනාවේ ගිය අවස්ථාවලදී ස්කන්ධ දේවාලයටද ගොස් තිබේ. ඒ අනුව කතරගම විසූ ක්‍ෂතියන්ද ස්කන්ධ දෙවියන් පුදන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව එම ක්‍ෂත‍්‍රියන් තම ගම වන කතරගම ආරක්‍ෂක දෙවියන් ලෙස ස්කන්ධ දෙවියන් පුදන්නට ඇතැයි සැලකේ. ස්කන්ධ දෙවියන් ව්‍යවහාරයේ පහසුවට කතරගම දෙවියන් ලෙස හැඳින්වීමට පටන්ගෙන ඇති බවද ජනප‍්‍රවාදයන්ට අනුව පැහැදිලිය.

ජනප‍්‍රවාදයන්ට අනුව කතරගම දෙවියන්ට භාය ර්‍්‍යාවරුන් දෙදෙනකි. එක් භාය ර්‍්‍යාවක් තේවානිය. ඇය ඉන්දියාවේය. කතරගම දෙවිඳුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු වල්ලි අම්මා සමග විවාහවිය. සෙල්ල කතරගම ප‍්‍රදේශයේ වැදි පවුලක දියණියක වූ වල්ලි සමග විවාහ වූ කතරගම දෙවිඳුන් කලක් වල්ලි සමග සෙල්ලකතරගමද ජීවත් වී ඇතැයි කියති. කතරගම දෙවිදුන් හා වල්ලි අතර විවාහයෙන් මෙරට ආදීවාසී ජනයා හා කතරගම දෙවිඳුන් අතර සම්බන්ධයක්ද ගොඩනැගිණි. එය රුහුණු මහා කතරගම පෙරහැර මංගල්‍යයෙන්ද නිරූපනය වේ.

කඳ සුරිඳුන් වැඩම කරවන පෙරහර ඉදිරිපිටට වැදි පරපුරේ ඇත්තෝ පැමිණෙති. එසේ පැමිණෙන වැදි ජනයා වල්ලි අම්මා දෙවඟනගේ පියා ලෙස සැලකෙන නන්ද නැමැති නායකයාගේ පරපුරේ සාමාජිකයෝ වෙති. එසේ කඳ සුරිඳුන් වැඩම කරවන පෙරහර ඉදිරිපිටට පැමිණෙන වැදි ජනයා පෙරහරට ඊයකින් විදීමට සැරසෙති. ඒ අවස්ථාවේදී අදිකාරම් නිලමේවරයා විසින් පඬුරු පාක්කුඩම් ආදිවාසි ජනයා වෙත විසි කරයි. ඉන්පසුව වැදි ජනයා පසුපසට යමින් පෙරහරට ආරක්‍ෂාව සපයති. චිරාත් කාලයක් පුරා පැවතෙන මෙම පෙරහැර චාරිත‍්‍රය මෙවර පෙරහැර මංගල්‍යයේදීද ඔබට දැක ගැනීමට ලැබෙනු ඇත.

මෙම පෙරහර චාරිත‍්‍රයට සම්බන්ධ වූ පුරාවෘත්තයක් ද තිබේ. එම පුරාවෘත්තයට අනුව, කතරගම දෙවිඳුන් වල්ලි අම්මා දෙවඟන රැගෙන යාමට සැරසෙන අවස්ථාවේදී වල්ලි අම්මා දෙවඟනගේ පියාවන නන්ද නැමැති නායකයා කඳ සුරිඳුන්ට හීයකින් විදීමට සැරසේ. එවිට කඳ සුරිඳුන් සිය බලයෙන් නන්ද නායකයා සිහි නැති කරවයි. එසේ සිහි නැති කර වල්ලි අම්මා සමග යෑමට සූදානම් වූ මොහොතේ වල්ලි අම්මා දෙවඟන ඉල්ලා සිටියේ තම පියාට පියවි සිහිය ලබාදෙන ලෙසය. ඒ බහට අවනත වන කඳසුරිඳුන් වල්ලි අම්මා දෙවඟනගේ පියාට පියවි සිහිය ලබාදී පඬුරු පාක්කුඩම් පිරිනමා පිටව යයි. එතැන් පටන් ඒ වැදි ජනයා කඳ සුරිඳුන්්ටත් වල්ලි අම්මාටත් ආරක්‍ෂාව සැපයූ බව සඳහන් වේ. රුහුණු කතරගම පෙරහර මංගල්‍යයට ආදිවාසීන්ගේ විචිත‍්‍රත්වය හිමිවන්නේ ඒ අනුවය.

කඳසුරිඳුන්ගේ ඉන්දියානු බිරියවන තේවානි අම්මා සම්බන්ධයෙන් වැඩි විස්තරයක් දක්නට නැත. එහෙත් කතරගම පුද බිමේ තේවානි අම්මා නමින් කෝවිලක්ද වල්ලි අම්මා නමින් කෝවිලක්ද වේ.

මහා වංශයේ සඳහන්වන පරිදි බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කතරගම කිහිරි වනයෙහි සමවත් සුවයෙන් වැඩ සිටියහ. ඒ මහ රහතන් වහන්සේලා පන්සිය නමක් සමගය. එකල කතරගම ප‍්‍රදේශයට අධිපති පාලකයා වූ මහා ඝෝෂ හෙවත් මහාසේන රජතුමා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා බෞද්ධයෙක් බවට පත්විය. බුදුරජාණන් වහන්සේගේ කතරගම වැඩම කිරීම සංකේතෙවත් කිරීම සඳහා මහාසේන රජතුමා ස්ථූපයක් කරවීය. දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධුකාරයේ දෝංකාරයෙන් හිඟුම් දෙන ඒ ස්ථූපය කිරි වෙහෙර නම් වෙයි. කිරි වෙහෙර සෑ රදුන් කිරි පැහැයෙන් බබලයි. ඒ දසුන නොසන්සුන් සිත් සන්සුන් කිරීමට සමත්ය. අදැහැමි සිත් දැහැමි කිරීමට සමත්ය. සිත් සතන් බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් පුරවාලන්නට සමත්ය.
ඔබ මේ ඇතුල්වන්නේ බුදු ගුණයත් දෙව් රැකවරණයත් එකවර පිහිටි පින්බිමටය. සිත සන්සුන් කරගන්නා ඔබට රැකවරණය නියත වශයෙන්ම ලැබෙනු ඇත.


ලබන සතියේ තවත් කොටසක්

 

සටහන ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය