ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය අරබයා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ජිනීවාහි මෙන්ම කොළඹදී ද මහත් වියවුලක් ඇති කරගත්තේ වුවත් එම යෝජනාවලිය සම්මතවී තිබෙන පසුබිමක එයින් උද්ගතවීමට යන තත්ත්වය සම්බන්ධයෙන් රජය විමසිලිමත්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය අදහස් කරගෙන සිටින, ‘අනාගතයේ සිදුවීමට ඉඩ තිබෙන මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් වන තොරතුරු එක්රැස් කිරීමට’ මං හරස් කිරීම සඳහා ගතහැකි පියවර ශ්‍රී ලංකා රජය දැනටමත් ගනිමින් සිටී. 


විදේශ රටවල සිට ක්‍රියාත්මක වන විදෙස් දෙමළ සංවිධාන 7 ක් ගැසට් නිවේදනයක් හරහා තහනම් කිරීමට පසුගියදා පියවර ගැනිණ. ඊට අමතරව, ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරනු ලැබූ පුද්ගලයින් 399 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද ප්‍රකාශයට පත් කෙරිණි. සාමාන්‍යයෙන් එවැනි නම් ලැයිස්තුවක් ලොව පුරා ආගමන විගමන බලධරයින් අතර හුවමාරු කෙරෙන අතර, එවන් ලැයිස්තු ඔවුන්ගේ දත්ත ගබඩාවලට ද ඇතුළත් කෙරේ. 


මේ හමුවේ සංචාරක තහනමකට ලක්වීමේ අවදානමක් පවතින නිසා, මෙකී දෙමළ කණ්ඩායම් එම ලැයිස්තුව මත පදනම්ව කටයුතු නොකරන්නැයි බටහිර රටවල රජයන්ගෙන් ඉල්ලා සිටිමින් සිටී. එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සිට ක්‍රියාත්මක වන දෙමළ කණ්ඩායම් මේ අතරට ඇතුළත්ය. 


තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන කණ්ඩායම් අතරින් මුල් තැන සිටින්නේ එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංසදයයි. දෙමළ ජාතික සන්ධානය හා එක්ව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ඉදිරියට ගෙන ඒමට පෙරමුණේ සිටම කටයුතු කළ කණ්ඩායමක් වන ගෝලීය දෙමළ සංසදය, නැවත වරක් තහනම් ලැයිස්තුවට ඇතුළත්ව සිටින්නේ දෙවැනි වතාවටය. මෙම සංගමය 2016 වසරේ යහපාලන රජය සමයේ එතෙක් ඊට පනවා තිබූ තහනම ඉවත් කරගැනීමට සමත් විය. 

 

දෙමළ සංවිධාන 7 තහනම් කිරීමේ පදනම


මෙම සංවිධාන තහනම් කර තිබෙන්නේ අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබදව වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව බව නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ රජයේ නිලධාරියෙක් පැවසුවේ ය.

මේ අනුව, නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නම් සදහන් කර තිබෙන ඕනෑම කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් සමග ගනුදෙනු කර තිබෙන කවර හෝ අයෙක් වේවා, ඔහු හෝ ඇය වරදකරුවෙක් ලෙස සැළකේ. එවැනි අයවලුන් අත්අඩංගුවට ගැනීමට පවා හැකියාව ඇත. පැමිණිලි රටින් පිටතට නිකුත් කිරීමට හෝ වෙනත් ආකාරයකින් මෙකී කණ්ඩායම් හෝ පුද්ගලයින්ට ආධාර උපකාර කිරීමට තිබෙන අවස්ථාව ඇවිරීම මෙහි අරමුණයි. 

ගෙන තිබෙන මෙම පියවර බැඳී තිබෙන තවත් දෙයක් ඇත. ඇමරිකානු ඩොලර්වලින් ගනුදෙනු කරමින් සිටින රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන ගැන රජය සිටින්නේ දැඩි විමසිල්ලෙන්ය. එසේ කරනුයේ, වෙනත් හේතු ඇතිව වුව ප්‍රධාන වශයෙන්ම මානව හිමිකම් කඩවී ඇතැයි කියැවෙන වින්දිතයන්ගෙන් තොරතුරු ලබාගැනීමට සහ දිව්රුම් ප්‍රකාශ ලබාගැනීම වෙනුවෙන් නීතිඥවරුන්ට ගෙවිය යුතු ගෙවීම් සදහා එම මුදල් යෙදවීම වැළැක්වීමට රජයේ අරමුණකි. 

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් රජයේ මතය ප්‍රකාශයට පත්කළේ විදේශ කටයුතු අමාත්‍ය ගුණවර්ධන නොව අධ්‍යාපන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් මහතාය. වෝටර්ස් එජ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥවරුන්ගේ රැස්වීමක් ඇමතූ ඔහු ජගත් මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය සාක්කි ඉදිරිපත්ව ඇතැයි කියා සිටියේ ය.

රටට එරෙහි මේ සාවද්‍ය ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන්නට විපක්ෂයත් පෙරට පැමිණිය යුතුයි. අපි එකම හඩකින් මේ සාවද්‍ය ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කළ යුතුයි, අමාත්‍යවරයා පැවසුවේ ය.

රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෙම ඉල්ලීමට වැඩි අවධානයක් යොමුකළේ නැත. එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් පළකළේ මෙවැනි අදහසකි.

 

“මානව හිමිකම් කවුන්සිලයේ දී, අපිට අගතියක් වුනේ රජයේ කටයුතු නිසා. 2019 ජනපතිවරණයෙන් පස්සේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට සහයෝගය දක්වන්නට අපට හැකියාවක් නැහැ. ඔවුන් ස්වාධීන කොමිෂන් සභා වැඩකට නැති කර දැම්මා, අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කළා සහ ඒකාධිපති පාලනයක් ශක්තිමත් කරගත්තා. සිවිල් පුද්ගලයින් දැරූ තනතුරුවලට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරන්නත් ඔවුන් පියවර ගත්තා. දැන් ඔබට පෙනෙනවා ජගත් මානව හිමිකම් කවුන්සිලය මේ හැසිරීම්වලට දක්වපු ප්‍රතිචාරය මොකක්ද කියලා”


කෙසේවුවත්, ඔහු තවදුරටත් මෙසේ ද අදහස් දැක්වූයේ ය.

“සමගි ජනබලවේගය සෑම අවස්ථාවකම, බෙදුම්වාදී යුද්දයේ දී, රට වෙනුවෙන් අති විශාල කැපකිරීමක් කරපු හමුදාව, යුද විරුවන්ව ආරක්ෂා කරනවා. ඔවුන් සහ රජය දැන් කරමින් සිටින දේ අතර විශාල වෙනසක් තිබෙනවා. රජයෙන් අපට ආරාධනයක් කරනවා නම්, ඒ ගැන තීරණයක් ගන්න ඕනේ අපේ පක්ෂයේ නායකයෝ” යයිද රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 


මංගලගේ මාධ්‍ය හමුව


හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙවුණු සතියේ මාධ්‍ය හමුවක් පැවැත්වූයේ ය. එය සංවිධානය කර තිබුණේ 30.1 යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වීමේ දී ඔහුගේ භූමිකාව ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. එහිදී ඔහු බහුතරයක් ශ්‍රී ලංකා පුරවැසියන් නොදැන සිටි රහසක් හෙළි කළේ ය. 


ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව තිබූ 30.1 යේාජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වීම සදහා තමාට එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පමණක් නොව, එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද, අනුමැතිය හිමිවුනු බව සමරවීර මහතා පැවසුවේ ය. 


යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වීම සදහා තමන් කිසිදු අනුමැතියක් දුන්නේ නැතැයි, හිටපු ජනපතිවරයා නැවත නැවතත් පවසමින් සිටින අතර එපමණක් නොව ඒ සම්බන්ධව තමාගේ උපදෙස් විමසීමක් පවා සිදුනොවුනේ යැයි ඔහු චෝදනා ද නඟයි. 30.1 යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දක්වන බව ප්‍රකාශ කිරීම සදහා තමා පිළියෙල කර තිබූ දේශනය, එම සමයේ විදෙස් සංචාරයක නියුතුව සිටි ජනපති සිරිසේන මහතාගේ අවධානයට ද යොමු කළ බව සමරවීර මහතා සිය මිතුරෙකු ඉදිරියේ පාපොච්ඡාරණය කර තිබේ. 


සමරවීර මහතා ලැගුම්ගෙන සිට ඇත්තේ හිටපු ජනපතිවරයාගේ කාමර සංකීරණයට, යාබද කාමරයකය. ජනපතිවරයාගේ අදහස් විමසමින්, අදාළ පරිදි සිය දේශනයට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම සදහා වාර 9 ක් තමා සිය කාමරයේ සිට ජනපතිවරයාගේ කාමර සංකීරණය බලා ගිය බව සමරවීර පවසා ඇත. යෝජනාවලියේ අන්තර්ගතය සහ ඒ හා බැදී තිබෙන වෙනත් කාරණා සහ ගැටලු සම්බන්ධයෙන් තමා සිංහල භාෂාවෙන්ම හිටපු ජනපතිවරයාට පැහැදිලි කර දුන් බව කියා තිබෙන සමරවීර මහතා, ඒ සියල්ලට ජනපති සිරිසේන මහතා අනුමැතිය ලබාදුන් බවත් පවසා ඇත. නමුත් මෙසේ සම අනුග්‍රහකත්වය දැක්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අදහස් විමසීමක් සිදුකර නොමැත. මාධ්‍ය හමුවේ දී අනතුරු ඇගවීමක් ද, සිදුකළ සමරවීර මහතා..

“අපව විවේචනය කරන අයට චෝදනා කරන්නට ගියොත්, ශ්‍රී ලංකාවට කොහෙත්ම ඉදිරියට යන්නට හැකිවන්නේ නැහැ” යැයි පැවසුවේ ය.


ජනපතිට චීනයේ සංචාරයකට නිල ආරාධනාවක්


පශ්චාත් ජිනීවා යෝජනාවලිය සතියේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක්ම විය. 
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, චීන ජනපති ෂී ජින්ග්පින්ග් මහතාව දුරකතනය ඔස්සේ අමතමින්, දීර්ඝ සංවාදයක නියැලිණ. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නායක දෙපළ අතර අදහස් හුවමාරු වුනු බවත්, ශ්‍රී ලංකාවට සියලුම සහාය ලබාදෙන බවට චීන ජනපතිවරයා සහතික වුනු බවත්, මෙම සංවාදය පිළිබදව දැනුම්වත් ඉහළ පෙලේ ආරංචි මාර්ගයක් පැවසුවේ ය. 


පාලන කටයුතු පිළිබදව චීන කොමියුනිස්ට් පක්ෂයට තිබෙන අත්දැකීම් දැනගැනීමට ශ්‍රී ලංකා ජනපතිවරයා අපේක්ෂා කරන්නේයැයි චීන තානාපති කාර්යාලය නායක දෙපළ අතර වූ දුරකතන සංවාදය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සදහන් විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් ජනපති ගෝඨාභය මහතා, චීන ජනපතිවරයාට සුභ පැතුවේ ය. චීනයේ සංචාරයක නියැලෙන ලෙස මීට පෙර කර තිබූ ආරාධනයක්, නැවත ඉදිරිපත් කිරීමටත් චීන ජනපතිවරයා කටයුතු කළේ ය.


පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුර පෙනෙන්නට නොසිටීම කැපී පෙනිණ. දණහිසේ සැත්කමකට භාජනය වීමත්, එය සුවවන තෙක් සිටීමට සිදුව තිබීමත් මෙයට හේතුව විය. 


ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට පකිස්තානයේ සහාය හිමිවූයේ ඔහුගේ උත්සාහය නිසාය. ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඔහු පකිස්තාන අගමැතිවරයාට ආරාධනා කළේ ය. පකිස්තාන අගමැතිවරයා දිවයිනට පැමිණීම සමග ඈඳුණු රාජ්‍යතාන්ත්‍රික කටයුතු හමුවේ කෝවිඩ්-19 ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකර භූමදානය කිරීමට මෙරට බලධාරීන්ගේ අවසරය හිමිවිය. මුල් අවස්ථාවේ එම සිරුරු භූමදානය කිරීමට තෝරා ගැනුණේ මන්නාරමට එපිටින් පිහිටා තිබෙන ඉරණතිව් දූපතයි. නමුත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊට එරෙහිව මතු කළ විරෝධය හමුවේ පසුව එම සිරුරු මඩකළපුවේ, ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට පියවර ගැනිණ.


පකිස්තාන අගමැතිවරයාගේ ආගමනයත් සමග දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගීතාවය ද, වඩාත් සමීප විය. ගෙවුණු සති කිහිපයේම පකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් හා එක්ව ඒකාබද්ධ යුද අභ්‍යාසවල නිරතවූ අතර, එහි ආසන්නතම අවස්ථාව වූයේ කෝලහාලයක් හෝ නීතියේ හා සාමයේ පැවැත්මට හානිකර ඒ හා සමාන සිදුවීමක් වන අවස්ථාවක, කඩාකප්පල්කරුවන් සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් වූ අභ්‍යාසයකි. පකිස්තානයේ සංචාරයක යෙදුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා, එරට දේශපාලන මෙන්ම ආරක්ෂක නායකත්වය හමුවිය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට, විවිධ විශේෂ ක්ෂේත්‍රවල පුහුණුව ලබාදීම, එම සංචාරයේ දී ඇතිකරගත් එක් එකඟතාවයකි.


බංගලාදේශයේ සංචාරයක නිරතවූ අගමැතිවරයා, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සදහා එරට කැමැත්ත දිනාගැනීමටත් සමත් විය. අගමැතිවරයා බංගලාදේශයට ගියේ එරට 50 වන නිදහස් සංවත්සරය නිමිති කොටගෙනය. 


බංගලාදේශයේ මුල්ම ජනතා නායකයා වන, නැසීගිය ෂීක් මුජිබර් රහුමාන්ගේ සිය වන ජන්ම දින සැමරුම ද එදිනට යෙදී තිබිණ. බංගලාදේශයේ ජනපතිවරයා ලෙස ගතකළ සමයේ ඔහු ක්‍රියාකාරීව ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්ට දායකත්වය ලබාදුන් අයෙකි.


චීනය - පාකිස්තානය සමග නව සබඳතා


ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් සිදුවෙමින් පවතින්නේය යන්න අමුතුවෙන් කියා දිය යුත්තක් නොවේ. චීනය හා පකිස්තානයට වඩා නැඹුරු වෙමින්, ඉන්දියාවෙන් දුරස් වෙමින්, මෙම නව විදේශ ප්‍රතිපත්තිය දිනෙන් දිනම වෙනත් ආරක් ගනී. 


ආර්ථික අර්බුදයක ලකුණු පැහැදිලිව පහළව පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාව සමග ඩොලර් බිලියන 1.5 ක් වටිනා විනිමය හුවමාරුවක් සිදුකිරීමට බීජිං නුවර සූදානමින් සිටී. ඒ අතරවාරයේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් පුහුණු කිරීමේ කටයුතු සහ ඔවුන් සමග කැරෙන යුද අභ්‍යාස ආදී කටයුතු තවත් ඉහළ නැංවීමට ඉස්ලාමාබාදය ඉදිරියට පැමිණ ඇත. 


මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව සහ නවදිල්ලිය අතර සබදතා පැවැති අමිහිරි තත්ත්වයේම තිබෙන අතරය. ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ධීවර කටයුතු වල නිරත වූයේ යයි ඉන්දියානු ජාතික ධීවරයින් 52 ක් අත්අඩංගුවට පත්වූ සිදුවීම මෙය මොනවට පැහැදිලි කළේ ය. ප්‍රකාශයක් නිකුත් කළ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය, ධීවරයින් සම්බන්ධයෙන් දෙරට ඇතිකරගෙන තිබෙන එකඟතාවයන් සිහිපත් කර දුන් අතර, එය මින් ඉදිරියට, ශ්‍රී ලංකාව සමග වන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව කටයුතු කිරීමට යන ආකාරය ගෙනහැර දැක්වූවක් විය.


මේ සම්බන්ධයෙන් නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාවේ අති විශේෂ පුද්ගලයකු වෙත දුරකතන ඇමතුමක් ලැබුණු බව රජයේ ආරංචි මාර්ග පවසයි. එයින් පසුව අත්අඩංගුවට ගැනණු ධීවරයින් මුදා හැරිණ. මීට අමතරව, ශ්‍රී ලංකා රජය ගැසට් පත්‍රයක් හරහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම ප්‍රකාශයට පත් කළේ ය. බටහිර රටවල් වරාය නගරයේ ආයෝජනය කිරීමට දක්වන මැළිකම නිසා වහ වහාම චීන ආයෝජකයින් සහ ඒ හා සමාන වෙනත් ආයෝජකයින් එතැනට ආකර්ෂණය කරගැනීම මෙම කොමිසම පිහිටුවීමේ අරමුණ වුණි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම දිගින් දිගටම පහත වැටීම ද මෙම කටයුත්ත කඩිනම් කළේ ය.


ඉන්දියාව යළිත් සබඳතා සොයයි


ශ්‍රී ලංකාව සමග පවත්නා සබදතා නැවත සකස් කරගැනීමට, ඉන්දියාව යොමුව තිබෙන බව සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. මුල් පෙළේ නිලධාරීන් පිරිසක්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ජේ්‍යෂ්ඨ බුද්ධි නිලධාරීන් පිරිසක් සමග පැවැති හමුවක දී, මේ සම්බන්ධයෙන් ඉඟි පළවිය. නවදිල්ලිය සහ කොළඹ අතර සබදතා බිඳ වැටෙමින් තිබීමට තුඩුදී තිබෙන හේතු රැසකි. ඉන් ප්‍රධානම වන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කිරීමයි. 


මෙසේ ප්‍රතික්ෂේප කර තිබෙන්නේ, එම පර්යන්තය ඉන්දියාවට ලබාදෙන බවට එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට පොරොන්දුවක් දී තිබූ පසුබිමකය. එයින් අනතුරුව යාපනය අර්ධද්වීපය ආසන්නයේ පිහිටි ඩෙල්ප් දූපතේ බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට චීනයට අවසරය දුන් අතර එයද ඉන්දියාවේ නොමනාපයට හේතු විය. මෙම ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැදවීම සිදුකර තිබෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් බැවින් එයට කළ හැක්කක් නොමැති බවට ශ්‍රී ලංකා රජය තර්ක කරයි. මේ සියල්ල මධ්‍යයේ දැන් චීනයට සහ පකිස්තානයට ශ්‍රී ලංකාව දක්වන අලුත් ලෙංගතුකම, ඉන්දියාවට කොහෙත්ම රුස්සන්නේ නැත. 

 

--------------------------------------------------------
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

--------------------------------------------------------