මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන යන සාමාන්‍ය පෙළ පුනරීක්‍ෂණ නේවාසික පුහුණු කඳවුරක තාප්පයෙන් මහ රෑ පැනගත් එහි නේවාසිකව සිටින සිසුවියන් දෙදෙනෙක් අසල පිහිටි නිවසක් වෙත දිව ආවේ උපකාරයක් බලාපොරොත්තුවෙනි.
මෙය පෞද්ගලික ආයතනයකි. මහ රෑ තාප්පයකින් පැන ඒමට තරම් ලොකු ප්‍රශ්නයකට කරදරයකට මේ සිසුවියන් දෙදෙනා මුහුණ පා ඇති බව තේරුම් ගැනීමට ඒ නිවසේ සිටි වැඩිහිටියන්ට වැඩි වේලාවක් ගත වූයේ නැත.

“ඇයි දුවේ ඔයගොල්ලන්ට මොකක්ද වෙච්ච කරදරේ මොකක්ද අපෙන් වෙන්න ඕනෑ”
නිවැසියන් සිසුවියන් දෙන්නාට කීවේ ඔවුන්ට අවශ්‍ය ඕනෑම උදව්වක් කිරීමට අපේක්‍ෂාව ඇතිවය. සිසුවියන් දෙදෙනා අසල්වැසි නිවසට පැමිණි තිබුණේ පොලිසියට දුරකතන ඇමතුමක් ගන්නය.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට එක් සිසුවියක් දුරකථන ඇමතුමක් ලබාගත්තාය. අධ්‍යාපන ආයතනයේ නේවාසිකව ඉගෙන ගන්නා සමහර සිසුවියන්ට ආයතනයේ ලොක්කාගෙන් සිදුවන හිරිහැර අතවර ගැන ඇය පොලිස් හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන්ට කියා සිටියාය.
පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ ගැන දැනුම් දුන්නේ මහනුවර මූලස්ථාන පොලිසිය වෙතය. මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් හන්තාන ප්‍රදේශය වෙත ගියේ පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් දැනුම් දුන්නාට පස්සේය.
පොලිස් කණ්ඩායමක් එහි ගියේ කරදර හිරිහැරවලට අතවරවලට මුහුණ පාන බව කියන සිසුවියන් මුදාගෙන ඒ ගැන පරීක්‍ෂණයක් කිරීමටය. ආයතනයේ ලොක්කා පොලිසිය යන විට එහි නොසිටි අතර එහි ඒ අවස්ථාවේ සිටි පාලිකාවන් හතර දෙනා පොලිස් බාරයට ගත්තේ එම කාන්තාවන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට ය.
මෙම පෞද්ගලික පුහුණු කඳවුර හන්තානේ ආරම්භ කර ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එයින් අසමත්වූ සිසුවියන්ට මාස හතක පමණ කාලයක් ඒ ඒ විෂයන් වෙනුවෙන් නේවාසික පුනරීක්‍ෂණ පන්ති පැවැත්වීම මෙම ආයතනය මගින් සිදුකරගෙන ගොස් ඇත.
සිසුන් 43 දෙනෙක්ද සිසුවියන් 17 දෙනෙක්ද මෙහි අධ්‍යාපන කටයුතු හදාරන අතර, පාලිකාවන් හතර දෙනෙකු ඇතුළු ගුරුවර ගුරුවරියෝ 11 දෙදෙනෙක්ද සේවයේ නිරතව සිටිති.
ආයතනයේ ලොක්කා කථිකාචාර්ය -වරයෙකු බව කියන අතර එහි අයිතිකරු වන්නේ ඔහුය. අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගන්නා සිසුන් වෙනුවෙන් එම ආයතනයේ සිට කිලෝමීටර් 02ක පමණ දුරින් නේවාසිකාගාරය පිහිටා ඇත.
රාත්‍රී කාලයට සිසුන් ඒ නේවාසිකාගාරයේ ගත කරන අතර සිසුවියන් රාත්‍රිය ගත කරන්නේ ඒ අධ්‍යාපන ආයතනයේ ම ය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිසු සිසුවියන් 60 දෙනෙක් මෙම නේවාසික අධ්‍යාපන කඳවුරේ ඉගෙන ගන්නා අතර එක් අයකුගෙන් අයකරගන්නා පාඨමාලා ගාස්තුව ලක්‍ෂ 1 1/2කි.
සිසුවියන් දෙදෙනෙක් රෑ කාලයේ තාප්පයෙන් එළියට පැනගෙන තිබුණ බව කියන්නේ එම සිසුවියන් ලිංගික අපයෝජනයකට ලක් කිරීමට ආයතනයේ ලොක්කා සූදානම්වූ අවස්ථාවේදී යැයි කියති.
අධ්‍යාපන ආයතනයේ ලොක්කා අතින් ලිංගික අපයෝජනයට ලක්වූ බවට පැවසෙන සිසුවියන් 08 දෙනෙක් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට රැගෙන ගියේ මහනුවර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වෙතය.
මේ සිසුවියන් 08 දෙනා ආයතනයේ හිමිකරු අතින් වරින් වර ලිංගික අපයෝජනයට ලක්වී තිබෙන බව කියන්නේ පසුගිය ජුලි මාසයේ සිට බවට තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන ඇත.
නේවාසික සිසුවියන් එක්කෙනා දෙන්නා බැගින් වරින් වර වාහනයක දමාගෙන රෑ කාලයේ පිටතට ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ රෝගි තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරයකු හමුවීමට යන බව කියාය.
නුවර ප්‍රදේශයේ හෝටලයක කාමරයකට රැගෙන ගොස් එම සිසුවියන් ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන නමුත් අපයෝජනයට ලක්වූ සිසුවියන් ඒ හෝටලය ගැන විස්තර කියන්න දන්නේ නැත.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිසුවියන් ආයතනයෙන් පිටතට රැගෙන යද්දී එහි පාලිකාවක් එක්ක යා යුතු වුවත් එසේ පාලිකාවක් කැඳවාගෙන ගොස් නොමැත.
සිසුවියන් වරින් වර රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන හෝටලය කුමක් ද කියා හඳුනාගෙන ඉදිරි පරීක්‍ෂණ කිරීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. ආයතනයෙන් පිටතට සිසුවියන් කැඳවාගෙන ගොස් එම සිසුවියන් ලිංගික අපයෝජනයට ලක්කිරීමට පාලිකාවන් ආධාර උපකාර කළේද යන්න ගැනද පොලිසිය සොයා බලාගෙන යයි.
අපේ දරුවෝ බලන්න ආපුවාම මේකෙ ඉන්න සමහර පාලිකාවෝ ළඟටම වෙලා ඉන්නවා මොනවද කතා කරන්නේ කියා අහගන්න. අපිට දරුවෝ එක්ක තනියම කතා බහ කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා තමා දරුවන්ට වෙන අකටයුතුකම් ගැන අපිට කියන්න බැරිව ගිහින් තියෙන්නේ. දැන් තමා අපට තේරෙන්නේ මේ පාලිකාවෝ අපි ළඟටම වෙලා හිටියේ මොකද කියන එක.
ඒ මව්වරු නඟන දුක් අඳෝනාය.
අපිටත් මෙතන මොකක් හරි ලොකු අකටයුත්තක් වෙන බව ටික දවසක ඉඳලා තේරුම් ගිහින් තිබුණේ.
ඒ මොකද කියනවා නම් රෑට මෙතන ඉන්න ගැහැනු ළමයින්ව වාහනවල දාගෙන අරගෙන යනවා දැකලා තියෙනවා. අපිත් විමසිල්ලෙන් හිටියේ.
පරීක්‍ෂණ කටයුතු සඳහා ගිය පොලිස් කණ්ඩායමක සිටි නිලධාරින් කිහිප දෙනෙක් සමග එහෙම කියා ඇත්තේ අසල්වාසින් කිහිප දෙනෙකි.
පොලිසිය පැවසුවේ සිසුවියන් 08 දෙනා දූෂණයට ලක්වී නොමැති වුවත් ඔවුන් ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවය. මෙම සිසුවියන් 8 දෙනා වරින් වර හෝටලයට ගෙන ගොස් කළ කී දෙවල් ගැන තොරතුරු අප සතුව ඇතත් ඒවා හෙළි නොකරන්නේ මාධ්‍ය සදාචාරයට නොගැලපෙන නිසා පමණක් නොව සමාජ සාරධර්මවලට ද පටහැනි නිසා ය.
මෙවැනි අසික්කිත වැඩ කරන්නේ මානසික විකෘතිතාවයකින් පෙලෙන අය පමණක් බව කියා පමණක් අපි ලියා තබන්නෙමු.
සාමාන්‍යයෙන් පුනරීක්‍ෂණ නේවාසික පුහුණු කඳවුර පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ එය පවත්වාගෙන යන හිමිකරුගේ කාර්යාලය ඔහුට ඇති දේශපාලන සම්බන්ධතා අපූරුවට හෙළිකරන ස්ථානයක් වශයෙන් හැඳින්විය හැක.
හිටපු සහ දැනට සිටින ඉහළ පෙළේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරමේ දේශපාලනඥයින් සමග ගත් ඡායාරූප ඔහුගේ කාර්යාලය පුරා අලවා එල්ලා තබාගෙන ඇත. මේ ඡායාරූප ඔහු පැවැත්වූ සමීප දේශපාලන සම්බන්ධතාවල තරම අපූරුවට කියාපාන බවද පැවසුවේ උසස් පොලිස් නිලධාරියෙකි.
හන්තානේ මේ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයා මීට කලින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබෙන බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.
මහනුවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග මොහු සමීප සම්බන්ධකම් පවත්වාගෙන යන අතර නිතර අධ්‍යාපන ආයතනයේ අයිතිකරු හමුවීමට එම ව්‍යාපාරිකයා පැමිණ ගොස් තිබෙන බව ද කියති. ලොකු ලොකු දේශපාලන සම්බන්ධතා ඇති බව කියන මෙම ව්‍යාපාරිකයා තරුණියන්ගේ ඇසුරට දැඩි ගිජුකමක් දක්වන අයෙකු බව දැනගැනීමට ඇත.
සිසුවියන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධ බව කියමින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අධ්‍යාපන ආයතනයේ හිමිකරු නීතිඥයකුගේ මාර්ගයෙන් මහනුවර පොලිසියට පැමිණ භාරවූයේ පසුගිය 03 වැනිදා ය.
නීතිඥයකුගේ මාර්ගයෙන් බාරවූ ඔහු පොලිස් අත්අඩංගුවට ගත්තේ වැඩිදුර පරීක්‍ෂණ සඳහාය.
COMMENTS
අහිංසක දරුවන් පවු! අපේ රටේ අය කවදාවත් පාඩමක් ඉගෙනගන්න ජාතියක් නොවේ. සක්විති, ප්‍රමුඛ බැංකුව, කොතලාවල වගේ දේවලින් පරිප්පු කාලත්, දේශපාලඥන්ගෙන් පැය 24 ම ලණු ගිලලත් මේ මිනිස්සු කාට හෝ නොකඩවා රැවටෙන එකනේ පුදුමේ. (නි)
නිමල් පීරිස්ගේ වෙබ් අඩවියට ගියාම තියනවා එයා දේශශක්ති, දේශකීර්ති වගේ පට්ටම් අරන්. මුළු රටටම සමාදාන විනිශ්චකාරලු. පොලිසියේ සහ පේරාදෙණිය රෝහලේ උපදේශකලු. අම්මපා! ලංකාවේ හරි අපුරු මිනිස්සු. මේ අය ඔය පට්ටම් ගන්නේ අපේ රටේ ඉන්න අය පට්ටම් වලට රවටන්න පුළුවන් නිසා. (නි)
මේ වෙබ් ලින්ක් එක බලන්න, අපේ පොලිස්පති තුමා "පූජිත ජයසුන්දර" මහත්මයාත් මේ අපචාර චෝදනාවට ලක්වූ පුද්ගලයා වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදු කරන අන්දම ඔබලාට ඉතා හොදින් බලාගත හැකිය (බ)
ලොකු දේශපාලන හයියක් තිබෙනවා ඇති අනිවාර්යයෙන්ම (නි)
අහිංසක අම්මලා තාත්තාලා උත්සහා කරන්නේ තමන්ගේ ළමයින්ට හොඳින් උගන්වලා රටේ යහපත් පුරවැසියන් බවට පත් කරන්නයි .ඔය රට හදන්න බැහැ රටේ නිතිය කාටත් එකහා සමාන නොකර තරාතිරම නොබලා වරදට දඬුවම් කරනු.දේශපාලුවනි නිතිය ක්‍රියාත්මක නිලධාරීන්ට බලපෑම් නොකරනූ. (බ)
අහෝ! රටකට යන කල! දැන් ඕකටත් රාජපක්ෂට බනීද දන්නේ නැහැ කට්ටිය. (බ)
රටේ සමහරක් උදවියට පොලිස්පතිතුමා ගැන තරහක් තියෙනවා.මොකද නිතිය දැන් පෙරට වඩා ස්වාධීනව හරියට ක්‍රියාත්මක වන නිසා.යම් ආයතනයක් ගැන ප්‍රචාරක කටයුතු කළා කියල ඒ ආයතනය මගින් වන අකටයුතුකම් වලට අනුබල දෙනවා කියල කියන්න බැහැ.ඒ පොලිස්පතිතුමගේම අණපරිදි තමයි චුදිතය අත්අඩංගුවට අරන් තියෙන්නේ.කුමක් වුවත් නිතිය පෙරට වඩා හොදට ක්‍රියාත්මක වෙනවා.ඒ ගැන සතුටුයි. (බ)
අහිංසක ළමයි ,දෙමව්පියෝ , මේ වගේ පාදඩ, අධ්‍යාපන ආයතන යැයි කියාගන්නා ගුබ්බෑයම් වලට රැවටිලා දුක් විදින්නේ අපේ රටේ අනිත් හැමදේටම වගේ අධ්‍යාපනයටත් නිසි ක්‍රමවේදයක් නැති නිසා කියලා කිව්වොත් මම වැරදි නැහැ නේද ?(හේ)
අනේ මන්දා! සිසුවියන් දූෂණයට ලක්වෙලා නැහැ කියලා පරීක්ෂණයෙන් ඔප්පුවෙලා නේද? ඉතින් ගැඹුරින් හැමදෙනාටම සාධාරණයක් වියයුතුය. චෝදනා ඔප්පු වියයුතුය. (නි)
මෙම ආයතනයේ හැම ගැහැණු දරුවෙකුටම වගේ මුහුණදීමට සිදුවුණ කතාවක් වගෙයි මේක. මහා ලොකු ව්‍යාපාරිකයෙක් වුණාට කරන්නෙ මේ වගේ වැඩ (නි)
මෙය පිටුපස දේශපාලකයෙක්ගේ නමකුත් ගෑවිලා ඇති බව 100%ක් විශ්වාසයි (නි)