dfh  fj

(පසුගිය සතියෙන්....)


ප‍්‍රැන්සිස්කු මේ කලබලය මොකක්දැයි බලන්නට ගියේය. ඔහුට දුරදීම ඇතා හඳුනාගන්නට හැකිවිය.


‘ඉලංගකෝන් මුදලිගේ ඇතා’ ප‍්‍රැන්සිස්කු තමන්ටම කියාගත්තේය.


සෙංකඩගල රාජධානියෙන් මුදලිට තෑගි ලැබුණු ඔය ඇතා හරිම කීකරු සතා. හැබැයි බොහොම තේජස්. ඒ හින්දම තරමක් චණ්ඩයි...

 

18_PAGE_04_T

ගජමන් නෝනා ඩොයිලි හමුව..
(අන්තර්ජාලයේ එන චිත‍්‍රයකි)


පත්තායමේ ලේකම් තමන් සමඟ කියන කතාව ප‍්‍රැන්සිස්කුට සිහිපත් විය.


පත්තායමේ ලේකම් යනු ඉලංගකෝන් මුදලිගේ ලියන අප්පු වන බැවින් ඔහු මේ ඇතා හඳුනන්නේ බොහෝ කලෙක සිටය.


‘මොකක්ද මේ වෙන්නේ?’ ප‍්‍රැන්සිස්කු රැස්ව සිටි පිරිසගෙන් විමසුවේය.


‘අද උදේ ඉඳලා ඔය ඇතා කොට ඇද්දා. දැන් වැඩ ඉවර වෙලා නාවන්න යන ගමන. ඒත් ඇත්ගොව්වා, ආයෙමත් අතර මගදී තව කඳක් අදින්න කියලා ඇතාට කිව්වා. ඒකට කෙන්ති ගිහින් ඉන්නේ.’


‘ඇත්තනේ ඌ තිරිසනා කියලා ඔහොමත් වැඩ ගන්නවද ඌටත් බඩගිනි ඇති, පිපාසේ ඇති...’


එවිටම ඇත්ගොව්වා ඇතාට කෑ ගැසුවේය. හෙන්ඩුව ඇදගත් ඔහු ඇතාගේ පස්ස පැත්තට ඉන් ඇන්නේය.


ඇතා වියරු වැටුණි.


වේගයෙන් සිරුර එහා මෙහා සෙලවූ ඌ පිට මත ඉඳගෙන විධාන දෙන ඇත්ගොව්වා බිම දැම්මේය.


ඊළඟ මෙහොතේ සිදුවන්නේ මේ ඇත්ගොව්වා මරා දැමීම විය හැකිය. ප‍්‍රැන්සිස්කු වහා ඇතා ළඟට දිවගියේ කෑගසමිනි. මේ මොහොතේ ඇතා සිටියේ හොඳටම කෝපයට පත්වය. ගොව්වා බිම වැටී සිටියේය. තමා ඉදිරියට කෑ ගසමින් එන මිනිසා වෙත පැමිණි ඇතා සිය හොඬවැලෙන් ඔහුටද පහරක් ගැසුවේය.

fgbn
ඒ පහරවැදී පසෙකට විසිවුණු ප‍්‍රැන්සිස්කු බිම පත බෑවුණේ කපා දැමූ කෙසෙල් කඳක් පරිද්දෙනි. එදෙස බලා සිටි ඇතා ඊළඟ මොහොතේ ඇත්ගොව්වා දෙස බැලූවේය. ඔහුද නිදිය.


අවට රැස්ව සිටි පිරිස හිස් හැරුණු අතේ දිවගියහ. වෙනත් ඇත් ගොව්වෙක් පැමිණ උපක‍්‍රමශීලී ලෙස ඇතාට කිට්ටුකර, ඌ මෙල්ල කර ගැනීමට සෑහෙන වේලාවක් ගියේය. පසුව ප‍්‍රැන්සිස්කුත්  ඇත්ගොව්වාත් වෙද මහත්තයකු කරා රැුගෙන ගිය නමුදු  හොඬවැලෙන් පහර කා සිටි ප‍්‍රැන්සිස්කු හිටියේ අසාධ්‍ය තත්ත්වයේය.


ඔහුගේ සිරුර තැලී තිබිණි. අභන්තර අවයව රාශියකටද හානි සිදුවීම නිසා ඔහුගේ මරණය අපේක්ෂා කළ යුතු බව වෙද මහතාගේ තීරණය විය.
මේ ඛේදනීය පුවත ගජමන් නෝනා වෙත ලැබෙන විට ඇය සිටියේ කිට්ටුව පාත පන්සලක පැවැති කවි මඩුවකට යන්නට සූදානමිනි. මෙකල කවි මඩු යනු අතිශය ජනප‍්‍රිය කලා අංගයකි.


ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, රංචාගොඩ බාල මහත්තයා, මැද්දේගොඩ උපාසක අම්මා, වයි සිංෙක්‍දා්, ඩිංගිරි මුදලාලි, පුයි අප්පු මෙකළ කවි මඩුවල නිතර කවි කී ජනප‍්‍රිය කවීහූය.


නමුත් ගජමන් නෝනාගේ නෝනා ඇඳුමත්, වියැකී නොගිය රූ සිරියත්, ශෘංගාරය මුසු මියුරු කවිත් නිසා අන් කිවිඳියන්ට වඩා ඇය කැපී පෙනුණි.
මේ නිසාම රංචාගොඩ ළමයා වැනි ඇතැම් කිවිඳියක සිටියේ ගජමන් නෝනා සමඟ ඊර්ෂියාවෙනි. ඇගේ සැමියන් මිය යෑම මෙන්ම ඇලපාත මුදලි හා පැවැති රහස් පෙම අවියක් කරගෙන ඇයට අපහාස කිරීම රංචාගොඩ ළමයාගේ පුරුද්දක් විය. එහෙත් ගජමන් නෝනාද පසු බැස්සේ නැත. හොඳ කුණුහුරුප උත්තර ඇගෙන්ද ලැබිණි.


තාත්තාට ඇතා ගැසූ පුවත කණ වැකුණු විගසම ගජමන් නෝනා කසාගල යන්නට පිටත් වූවාය. තාත්තා යනු ගජමන් නෝනා මෙලොව වඩාත්ම ආදරය කළ පුද්ගලයාය. ඔහු නැත්නම් ගජමන් නෝනාත් ඇගේ දරු පැටවුනුත් මෙලහකටත් හිඟාකන්නට පටන් ගෙනය.


තාත්තාට කරදරයක් වෙයිද? ගජමන් නෝනා තමාගෙන්ම අසාගත්තාය.

SLTK_04.qxd
‘තාත්තේ’
ප‍්‍රැන්සිස්කු සේනාරත්න ගිලන් ඇඳ මත හොවා තිබෙනු දුටුවිට ගජමන් නෝනාට ඇඬිනි. ඇය තම පියාගේ හිස සිපගත්තාය. යාන්තමට උණුසුමක් ඉතුරු වී තිබුණද හිසෙන් ඇයට දැනුණේ සීතලකි.


‘මොකද මගේ තාත්තාට?’


ඇය ඇසුවේ වෙද මහතාගෙනි.


‘තව දෙතුන් පැයකට වැඩිය ජීවත්වෙන එකක් නෑ නෝනේ.’


ඒ වචන තම සවන වැටෙන විට දෑස නිලංකාර වන සෙයක් ගජමන් නෝනාට දැනුණි. ඇය අසල තිබූ පුටුවක් අල්ලාගත්තේ අත්වැලක් අවශ්‍යම නිසාය.
එහෙත් ඇයට තිබුණු සවිමත්ම අත්වැල දැන් බිඳී ගොසිනි.


ප‍්‍රැන්සිස්කු සේනාරත්නගේ අවසාන හුස්මපොද වාතලයට නික්ම ගියේ ඇතාගේ පහර කා දෙදිනකට පසුවය. ගජමන් නෝනාගේ හැඬුම් හඬ ද ඒ සමඟම වාතලයට එකතු විය.

මා පිය පියා මැරවෙද රුදු මත     වරන
මා පිය පියා කරවා ඒ රුදු     කමින
මා පිය පියා නිදි නොව දළ සෝ    දුකින
මා පිය පියා සිහිකර හඬමි     හැමදින

 

පිය සිය  නගමිනේ යනෙනා තුරු     යෙහෙන
පිය සිය නගමිනේ සිය උකුලට     රැගෙන
පිය සිය නගමිනේ වැඩු අප සුත    පෙමින
පිය සිය රුදුවනේ මරුමුව වැද     ගිලූන

 

ගජමන් නෝනා තම පියා වෙනුවෙන් කවි ලීවාය.


‘ගජමන් ආරච්චිට ඇතෙක් ගහලා’


‘ගජමන් නෝනාගේ තාත්තාට ඇතෙක් ගහලා’


මේ පුවත ගිරුවාපත්තුව පුරා පමණක් නොව අහල පහළ කෝරළවලටද පැතිර ගියේය.


‘මොනවා.. ගජමන් නෝනාගේ තාත්තා’


මේ පුවත ඇසුණු හැටියේම ඇලපාත මුදලි ඇසුවේය.


ඒ මොහොතේම ඔහු වේරගම්පිට යන්නට සූදානම් වූයේය.


‘මේ කොහේ යන්නද?’


ඇලපාත මුදලිගේ බිරිඳ දෙල්ගොඩ මැණිකේ ඇසුවාය.


‘මගේ ආරච්චි කෙනෙකුට ඇතෙක් ගහලාලූ මැණිකේ. මම බලලා එන්නම්.’


ඇලපාත මුදලි කීවේය. ඇතා පහරදී ඇත්තේ ගජමන් නෝනාගේ තාත්තාට බව ඔහු ඇගෙන් ඒ මොහොතේ වසන් කළේය.


ඇලපාත මුදලි වේරගම්පිටට යනවිට ප‍්‍රැන්සිස්කුගේ මිනිය එහි ගෙනවිත් තිබිණි. සුදුපාට කබා කුරුත්තාවක් ඇඳගෙන සිටි ගජමන් නෝනාගේ ඇස්වල තිබුණේ මළානික පෙනුමකි. ඇගේ නීල උත්පල දෙනෙත, රත්පියුම්වල පැහැය ගෙන තිබුණේ අඬා වැලපුණු නිසා බව ඇලපාතගේ කවිකාර සිතට තේරුම් ගියේය. ගජමන් නෝනාගේ දෑතම අල්ලාගෙන ඇගේ සෝබර මුහුණ දෙස බලා සිටි ඇලපාත මුදලි ඇගේ දෑත අතහැරියේ දුකිනි.


සතළිස් හය හැවිරිදි වූවත් ගජමන් නෝනාගේ රූ සිරිය තවමත් එබඳුමය. තරමක් දුරින් සිට ඇගේ රූසිරිය නරඹමින් සිටි මුදලි යන්නට කලින් මුදල් නෝට්ටුවක් ගෙන ගජමන්ගේ අතේ තැබුවේය.


‘මං ආයේ හෙට දිහාවට එන්නම්’ ඔහු කීවේය.


ප‍්‍රැන්සිස්කු සේනාරත්ගේ දේහයට පාංශුකූලය දෙන්නට කරතොට ධම්මාරාම හාමුදුරුවෝද වැඩම කළහ. ඒ හිමියෝ ප‍්‍රැන්සිස්කු ගැන කතා කළේ රටට ඉතාම වැඩදායි සේවයක් කළ මිනිසෙකු ලෙසිනි. ගජමන් නෝනා වැනි කිවිඳියක මෙලොවට බිහිකිරීම පමණක් වුවද ප‍්‍රැන්සිස්කු රටෙන් පිදුම් ලබන්නට සෑහෙන බව කරතොට හාමුුදුරුවෝ ප‍්‍රකාශ කළහ.


ගජමන් නෝනා දැන් මෙලොව හුදෙකලාය. තල්පේ ආරච්චිත්, උයන්වත්තේ මුහුන්දිරමුත් තමා හැරගිය පසුව ඇයට රැුකවරණයට ඉතුරු වූයේ තම තාත්තා පමණි.


දැන් ඒ තාත්තාත් නැත.


දැන් ඇයට ඇති එකම සරණ කවියම පමණි.


ඇලපාත මුදලිගේත්, තවත් මිනිසුන්ගේත් ඇල්ම බැල්ම ඇතත් ඒ පේ‍්‍රම කතා සියල්ලම සඳ එළිය වැන්න. ඇයට අවශ්‍ය හිරු එළියකි.

 

චන්ද්‍ර සූරියා වැනි එළඳගේ     උවන
ඉන්ද්‍රනීල දෙක වැනි ළමැද එන     තන
අන්ධකාරයට ඇවිලූන පාන    මෙන
කින්ද තනි යහනේ නිිදියන්නේ     නෝන


ඇලපාත මුදලි ගජමන් නෝනාගෙන් අසා එවුවේය.
ඒ කවිය දුටුවිට ගජමන් නෝනාට කට වසාගෙන  සිටින්නට  නොහැකි විය. ඇය වහා කවියකින් ඔහුට පිළිතුරු යැව්වාය.

බැන්ද මගේ හිමි පරලොව ගිය     බැවින
නින්ද අපට පුරුදුය තනියම     යහන
වින්ද රති සැපත මට මතක     නැතිවුණ
කින්ද තමුසේට විමසන්න     කාරණ


ගජමන් නෝනාට ආර්ථික අහේනිය තදට දැනුණි. ඉඳහිටක කවිමඩුවකට ගියත් ඉන් ලැබෙන මුදල දෙතුන් දොහකට වඩා සෑහුනේ නැත.


‘අම්මේ බඩගිනියි’


පුංචිම එව්වෝ කීහ.


‘අම්මේ මේ බත් රහ නැහැ’


ලොකු එවුවෝ කීහ..


කරන්නේ මොකක්්දැයි ගජමන් නෝනා දහඅතේ කල්පනා කළාය.


‘ඩොයිලි මහත්තයාටවත් ලියලා බලන්න  ඕනෑ’ අවසානයේ ගජමන් නෝනා කල්පනා කළාය.


‘තාත්තා මළෙත් ඇතෙක් ගහලනේ. සමහර විට වන්දි මුදලක්වත් ඉල්ලගන්න පුළුවන් වෙයි.’


ශ්‍රීමත් ජෝන් ඩොයිලි  වූ කලී සිංහල ද පාලි ද හොඳට උගත් නිලධාරියෙකි. ඔහු එම භාෂාවන් ප‍්‍රගුණකළේ කරතොට ධම්මාරාම හාමුදුරුවන් ගෙනි. මේ නිසාම ඔහු කවියටද මනාපය. ගජමන් නෝනා ඩොයිලිට කවියෙන් තම දුක ලියා යැව්වේ අන්න ඒ නිසාය.

 

සඳ මෙන්  කවා ඇති දැඩි කළ     පැටවුන්ට
අද දින පමණ නැත වත උන් රැකගන්ට
සොඳ ගුණ ජෝන් ඩොයිල් මේ දිසා     මැතිදුන්ට
වැඳගෙන දුක කියමි පිහිටක්     ලැබගන්ට

 

සිත් ලෙසින් දයා බැඳ වැඩු පිය     සුගන
බත් දියන් කියා ඉඳ අඬති තැන     තැන
පත් මේ නොයා මේ තද ඇති     ලෙසින
අත් මුදුන් තියා දුක කියමි     වැඳගෙන


මෙබඳු කවි පෙලකින් සමන්විත වූ මෙම ලියුම ජෝන් ඩොයිලි කියවූයේ සතුටෙනි. ඔහුද සිංහල කාව්‍ය රසිකයකු වීම ඊට හේතුවයි.
ලියුම ලද විලස ඔහු ගජමන් නෝනා තමා හමුවට කැඳවීය.


නියම කරගත් දිනයක මාතර දිසාපති කාර්යාලයේදී ගජමන් නෝනාට ඩොයිලි මුණ ගැසිණි. රුහුණේ ජනපි‍්‍රයම කවිකාරිය තමා ඉදිරියට පැමිණීම ජෝන් ඩොයිලිට ආඩම්බරයට කරුණක් විය.


ඇගේ දුක සැප අසා දැනගත් ඩොයිලි අතිශයින්ම කම්පාවට පත්විය.


අන්තිමේදී ඔහු කළේ ගජමන් නෝනාට නින්දගමක් පවරා දීමය. එම නින්දගම පසු කලෙක නෝනාගම නමින් ප‍්‍රසිද්ධියට පත්විය.


අපි අන්න ඒ නින්දගමට ගියේ ගජමන් නෝනා ගැන තොරතුරු සොයා දැන ගන්නටය.


නෝනාගම හන්දියේ පදිංචිව සිටින විශ‍්‍රාමික  ගුරුවරයෙකු වන ගුණදාස මහතා අපට ඒ ගමනේදී මුණ ගැසිණි. නෝනාගමේම උපන් ඔහු ගජමන් නෝනාත් නින්දගමත් ගැන ඔහු දන්නා දේවල් පැවසුවේය.


ගජමන් නෝනාට මේ නෝනාගම පවරලා දුන්නාට මොකද එයා මෙහේ පදිංචි වෙලා හිටිය බවට ඒ තරම් සාක්ෂියක් නම් නැහැ. ඒ වගේම ගජමන් නෝනාගේ පුත්තු මේ නින්දගමේ සිටිය බවට කිසිම සඳහනක් නැහැ.


එසේ වුවත් නෝනාගම ගජමන් නෝනාට නින්දගමක් සේ පවරා දුන්නේ ඇගේ ජීවිතයේ දුෂ්කර සමයේදීය. එසේ හෙයින් ගජමන් නෝනා මේ නින්දගමට නොපැමිණීමට කිිසිම හේතුවක් නැත. සමහරෙකු කියන්නේ ගජමන් නෝනා නෝනාගම වැව අසළ ජීවත්ව සිටි බවයි. ඇය සිය ජල අවශ්‍යතා සපුරාගත්තේද නෝනාගම වැවෙන් බවද කියති.


ගජමන් නෝනාගේ දීර්ඝ ජීවන ප‍්‍රවෘත්තිය සටහන් කළ ලියුමක් ගිය සතියේ මට ලැබිණි. දෙනිපිටියේ ධම්මික එස්. ජයවර්ධන විසින් එවනු ලැබූ ඒ ලිපියට අනුව. මේ කාල වකවානුව වන විට ගජමන් නෝනාගේ ලොකු පුතුන් දෙදෙනා සිටියේ කොල්ලූපිටියේය. ඒ වනවිටත් ගජමන් නෝනාගේ පියාත් මවත් පදිංචිව සිටියේ කොල්ලූපිටියේය. ඔවුහු ගජමන් නෝනාගේ වැඩිමල් පුතුන් වූ ගිරිගෝරිස් ද ජුවානිස්ද තම භාරයට ගෙන ඔවුන්ට හොඳින් අධ්‍යාපනය ලබාදුන්හ.


ගජමන් නෝනාගේ තෙවැනි පුතා වූ දාවිත් සිය කැමැත්තෙන්ම පැවිදි බිමට ඇතුළත්ව සිටියේය. මේ නිසා මේ වෙද්දී ගජමන් නෝනා සමඟ ජීවත් වූයේ ඇගේ බාලම පුතා වූ දියෙස් හෙවත් බබා ගුරුන්නාන්සේ පමණි. ඔහුද හොඳට සිංහල බස උගත් කවි හා සිංදු රචනයේ දක්ෂයකුව සිටි බව ජයවර්ධන පවසයි. ගජමන් නෝනා කලක් බෙහෙත් ගත් ජයවර්ධන වෙද පරම්පරාවේ වත්මන් පුරුකක් වන ඞී.එස්. ජයවර්ධන මහතාටත් තවත් ලියුම් එවූ, දුරකථනයෙන් බොහෝ තොරතුරු ලබාදුන් ඉරිදා ලංකාදීප පාඨකයන්ටත් ස්තුතිය පුද කිරීමටද අමතක නොකරමු.


(ලබන සතියට...)

M11