IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එකකි. අධ්‍යාපනය හා ආර්ථිකය අතර පවත්නා සම්බන්ධය අංශ දෙකකින් නිරීක්ෂණය කළ හැකිය. එනම් අධ්‍යාපනය රටක ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන්නත් ආර්ථිකය ඒ රටේ අධ්‍යාපනයට බලපාන්නේ කෙසේද යන්නත්ය.

රටක අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාව හා වැදගත්කම කුමක්ද යන්න අපි මූලික වශයෙන් තේරුම් ගත යුතු කාරණයකි. ප්‍රධාන අංශ තුනක් යටතේ මේ පිළිබඳව අවධානය යොමු කිරීම වටී. ඉන් පළමු වැන්න නම් අධ්‍යාපනයේ ආර්ථිකමය වැදගත් කමයි. දෙවැන්න එහි සමාජමය වටිනාකමයි. තුන් වැන්න අධ්‍යාපනයේ දේශපාලනමය වැදගත්කම හා අවශ්‍යතාවයි. ආර්ථිකමය වැදගත්කම යනු අධ්‍යාපනයෙන් ආර්ථිකයට එකතු කළ වටිනාකමයි. එහිදී අවධානයට යොමු වන්නේ පලදායීතාව නැමැති කාරණයයි. අධ්‍යාපනයේ සමාජමය වැදගත්කමෙන් මැනෙන්නේ චර්යාව හා විනයයි. එය සංස්කෘතික අතින්ද වැදගත් වූවකි. අනෙක් අතට එය සමාජ පිළිගැනීම තහවුරු කරන්නකි. සමාජ පන්තිය තීරණය කරන්නකි. තුන් වැනිව පෙන්වා දුන් අධ්‍යාපනයේ දේශපාලනය යනු අප මේ මතුපිටින් කතා කරන පක්ෂ දේශපාලනය නොවේ. දේශපාලනය බලය නම් සාධකය මත පදනම් වේ. අධ්‍යාපනයෙන් දේශපාලනයට ප්‍රබල බලයක් එකතු වේ. එකක් ස්වාධීනත්වය පිළිබඳ බලයකි. අධ්‍යාපනය අවම වනවිට පුද්ගලයකු තවත් කෙනෙකු මත යැපෙන ප්‍රවණතාව වැඩිය. අනෙක කේවල් කිරීමේ හැකියාව ලැබීමයි.

රටක ආර්ථික වර්ධනය සඳහා අධ්‍යාපනය දායක වන්නේ කෙසේද?. මූලික වශයෙන් රටක ආර්ථිකයකින් කෙරෙන්නේ ඒ රටේ සම්පත් හැසිරවීමයි. තීරණ ගැනීම මෙහිදී ඉතාම වැදගත් වේ. රටේ ඇති හිඟ සම්පත් හරි තැනට ආයෝජනය කිරීමට මේ තීරණ ගැනීමේදී හැකි විය යුතුය. එම නිවැරැදි තීරණ ගැනීමේ දී ප්‍රධාන සාධකය වන්නේ අධ්‍යාපනයයි.

ආර්ථික කළමනාකරණයේදී විසඳාගත යුතු වැදගත් ප්‍රශ්න තුනකි. එනම් කුමක් නිෂ්පාදනය කරන්නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද? කා සඳහා නිෂ්පාදනය කරන්නේද? යන්නයි. ඒවා ඕනෑම ආර්ථිකයක් මුහුණ දෙන පොදු ආර්ථික ගැටලු‍ය. එයම රටේ අධ්‍යාපනයට ගලපා ගතහොත් මේ ප්‍රශ්න තුන නැගිය හැකිය. එනම් කුමක් උගන්වන්නේද? කෙසේ උගන්වන්නේද? කා සඳහා උගන්වන්නේ ද යන ප්‍රශ්න තුනයි. ඔහේ ආවාට ගියාට අධ්‍යාපනයක් පවත්වාගෙන යෑමෙන් කුමක් උගන්වන්නේ ද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නොලැබේ. කුමක් හෝ දෙයක් ඉගෙන ගන්නවාය යන සංකල්පය අතීත සමාජයට වලංගු විය හැකි වුවත් අදට වලංගු නොවේ. අද ඇත්තේ වඩාත් තරගකාරී සහ ගතික සමාජ පරිසරයකි.

අද අධ්‍යාපනයෙහි තිබිය යුත්තේ උපායශීලී අරමුණකි. එයින් අපේක්ෂා කෙරෙන්නේ උපාය මාර්ගික අධ්‍යාපනයකි. එය සම්බන්ධ විය යුත්තේ ආර්ථික හා සංවර්ධන උපාය මාර්ග සමගය. එයින් ඉදිරියට යාමට දිගු කාලීන සැලැස්මක් අවශ්‍ය වේ. ඒ අනුව රටේ අධ්‍යාපනය යනු ආර්ථික සංවර්ධන උපාය මාර්ග සපුරා ගැනීමට භාවිත කරන යටිතල පහසුකමකි. උගන්වන්නේ කුමක්ද යන ප්‍රශ්නයේ දී රටේ ආර්ථිකය අධ්‍යාපනයට සම්බන්ධ කොට ගත යුත්තේ ඒ නිසායි. සංචාරක කර්මාන්තයේ දී, ජාත්‍යන්තර වෙළෙඳ පොළක් මෙරට නිර්මාණය කිරීමේ දී අධ්‍යාපනයේ අරමුණු ඉතාම වැදගත් වේ. උගන්වන්නේ කුමක්ද යන්න මෙවැනි මාතෘකාවලදී වඩාත් ප්‍රායෝගික වේ.

දෙවැනි කාරණාව උගන්වන්නේ කෙසේ ද යන්නයි. එය අදට ඉතාමත් වැදගත් කාරණාවකි. මෙරට අධ්‍යාපනයේ උගන්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවන බව පෙනේ. අපේ අධ්‍යාපන ක්‍රමවේදය ලෝක අධ්‍යාපනයත් සමග සසදන කල තවමත් ඇත්තේ පහළ තැනකය. පෙර පාසලේ සිට පාසලේ උසස් පෙළ දක්වාම ඇත්තේ ගුරුවරයා කේන්ද්‍ර කොටගත් අධ්‍යාපනයකි. මෙය නූතනයට ප්‍රායෝගික ද යන්න විමසිය යුත්තකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් මූලිකව අවධානය යොමු කරන්නේ ශිෂ්‍යයාට උගන්වනවාට වඩා ඔහුට ඉගෙන ගැනීමට මග පෙන්වීමය. එහෙත් ගැටලු‍ව ඇත්තේ ශිෂ්‍යයා ඉගෙනගන්නට ඉගෙනගෙන නොමති වීමය. එසේ ඉගෙන ගන්නට මෙරට ප්‍රාථමික හෝ ද්විතියික අධ්‍යාපනයෙන් අවශ්‍ය පසුබිම නිර්මාණය කොට නැත. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ සිදුවන්නේ දරුවා කුඩා කල සිට පාසල් අධ්‍යාපනය නිම වන තුරුම ඉගැන්වීමය. ඉගෙන ගන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ඔහු තුළ ගොඩනැගී නැත. එයින් දරුවා සීමිත රාමුවක් තුළ කොටු වෙයි. ටියුෂන් අධ්‍යාපනය තුළ සිදුවන්නේ ද මෙයයි. එබඳු පසුබිමකින් විශ්වවිද්‍යාලයට පැමිණෙන ශිෂ්‍යයා අපේක්ෂා කරන්නේද ගුරුවරයා උගන්වන පරිසරයකි.

උගන්වන්නේ කාටද යන ප්‍රශ්නය බලමු. අපේ රටේ සමාජ පිළිගැනීම වැඩි වශයෙන් තිබෙන්නේ වෘත්තීන් කිහිපයක් පමණක් කේන්ද්‍රගතවය. එය ගැටලු‍කාරී තත්වයකි. පෞරුෂය අතින්, මානසික මට්ටම් අතින්, හැකියාවන්ගෙන්, බුද්ධි මට්ටම්වලින් පුද්ගලයෝ විවිධ වෙති. එබඳු පරිසරයක් තුළ සෑම දරුවෙක්ම එකම වෘත්තීය මට්ටමක් වෙත ළගා කිරීමට වෙහෙසවීම ඵල රහිත ක්‍රියාවකි. අනෙක් අතට එබඳු අරමුණක් වෙනුවෙන් පමණක් අධ්‍යාපනයේදී දරුවන් යොමු කිරීම ආර්ථික වශයෙන් විශාල බලපෑමක් ඇති කරවන්නකි. ගණිතය විෂය ගනිමු. එය දැනුමකට වඩා කුසලතාවකි. එය ජානමය හැකියාවන් සමග බැඳෙයි. ගණිතයට දුර්වල සිසුවකු ඒ වෙනුවෙන්ම වෙහෙසවීම අධ්‍යාපනයට යොදවන මුදල අපතේ හැරීමකි. කා සදහා උගන්වන්නේද යන ප්‍රශ්නයේ දී නිවැරැදි පුද්ගලයා නිවැරැදි විෂය ක්ෂේත්‍රය වෙත යොමු කිරීමට හැකියාව තිබිය යුතුය. අධ්‍යාපනයේ නිවැරැදි පරමාර්ථ සේම ආර්ථිකයේ අරමුණු ඉටු කර ගත හැකිවන්නේ එසේ වූවොත් පමණි. දැනට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ විශාල ආර්ථික අපතේ යාමක් සිදුවන්නේ ඉහත කී අරමුණු ඉටු නොවන නිසාය. වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තීන්ට අමතර ක්ෂේත්‍ර ගණනාවක් සමාජ ආර්ථිකය සමග බැදී පවතී. ඒ කෙරෙහි අවධානය සමබරව යොමු නොවීම අවසානයේ ආර්ථිකයට ද බලපෑම් කරන්නකි. එබැවින් ආර්ථිකයත් සමග අධ්‍යාපන සැලසුම් සකස් කරන විට මේ කාරණා කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම වටී. ඒ සැලසුම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් එහි අවශ්‍යතා ඉටුවන පරිදි බොහෝ පරෙස්සමින් කළ යුතු එකකි.

ප්‍රාග්ධනය කොටස් තුනකි. ඒ මානව ප්‍රාග්ධනය, භෞතික ප්‍රාග්ධනය සහ මූල්‍ය ප්‍රාග්ධනය වශයෙනි. අධ්‍යාපනය යනු රටේ මානව ප්‍රාග්ධනය නිර්මාණය කරන ක්‍රියාවලිය වේ. භෞතික හා මූල්‍ය යන කොටස් දෙකම හසුරුවන්නේ අධ්‍යාපනයෙන් නිර්මාණය වන මානව ප්‍රාග්ධනයෙනි. ඒ නිසාම ඕනෑම ආර්ථිකයක ප්‍රමුඛතම කාර්යය විය යුත්තේ මානව ප්‍රාග්ධනය නිසි ලෙස නිර්මාණය කිරීමයි. ආර්ථිකයත්, අධ්‍යාපනයත් මොනතරම් සමීපව බැදී තිබිය යුතු ද යන්න මෙයින් පැහැදිලි වේ.

රටක අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ආයෝජන වඩාත් වැදගත් වන්නේ මේ නිසාය. රජය ඉහළ මට්ටමින් මේ ගැන අවධානය යොමු කළ යුතුය. එහෙත් රාජ්‍ය වියදම පැත්තෙන් ගතහොත් මෙරට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන්නේ ජාතික ආදායමෙන් 1.5 කට ආසන්න ඉතාමත් සුළු ප්‍රතිශතයකි. මේ මට්ටම ඇති අනෙක් රාජ්‍ය වන්නේ සෝමාලියාව, හයිටි රාජ්‍යය, දකුණු සුඩානය ආදියයි. අප අධ්‍යාපනය වෙනුවෙන් මොන මට්ටමේ ආර්ථිකමය වටිනාකමක් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දී ඇති දැයි මෙයින් පැහැදිලි වේ. එහෙත් දියුණු රටක් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 ක් හෝ 6ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන බව පෙනේ.

අද ලෝකයේ නැගී එන ප්‍රධානතම ආර්ථිකයන් දෙක වශයෙන් සැලකිය හැක්කේ චීනය සහ ඉන්දියාවයි. චීනයේ පසුගිය දශක දෙක තුනක ගමන බැලු‍වොත් ඔවුන් කොතරම්දුරට මානව ප්‍රාග්ධනය මත ආයෝජනය කර ඇතිදැයි තේරුම් ගත හැක. එම ආයෝජන අධ්‍යාපනය මත පදනම් වී ඇති බවද දැකිය හැකිය. ඔවුන්ගේ දියුණුවේ රහස වූයේ එයයි. පර් යේෂණවලින් සනාත වී ඇති කරුණු අනුව පෙනෙන්නේ ඔවුන් අධ්‍යාපනය සඳහා කරන වියදම සහ ආර්ථික වර්ධන වේගය අතර දැඩි සම්බන්ධයක් පවතින බවය. ඉන්දියාව මේ වනවිට ලෝක බලවතුන්ගේ පස් වැනි ස්ථානය දක්වා පැමිණ තිබේ. තව කෙටි කලකින් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ එහි තුන්වැනි ස්ථානයට ළඟා වීමයි. මෙහිදී ඔවුන් හඳුනාගත් ප්‍රධාන අංශය වන්නේ ශ්‍රමය හා මානව ප්‍රාග්ධනයයි. ඔවුන් අධ්‍යාපනය භාවිත කරන්නේ ඒ වෙනුවෙනි. අපේ වැනි රටවල බුද්ධි ගලනයක් සිදුවුවත් ඉන්දියාව කරන්නේ බටහිර ඇතුළු ලෝක දැනුම තම රටට රැගෙන ඒමයි.

අප අවධානය යොමු කළ යුතු අනෙක් වැදගත් කාරණය තාක්ෂණයයි. එය වර්තමානය වනවිට නිෂ්පාදන ආර්ථිකයත් සමග ඍජුව බැදී තිබේ. මේ සම්බන්ධයෙන් අපගේ අවධානය ප්‍රමාණවත් නොවන බව පෙනේ. අද ලෝක ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රමය නිර්මාණය වී ඇත්තේ ගෝලීය වටිනාකම් දාමයක් වශයෙනි. ඊට මුහුණ දියහැකි තාක්ෂණික දැනුම සහිත මානව සම්පතක් අපට අවමවීම ආයෝජන කෙරෙහිද බලපා තිබේ. අපි තවමත් අඩු පිරිවැය සහිත ශ්‍රම සාධකය මත යැපෙමින් සිටිමු. අපේ අනාගත ආර්ථික ඉලක්ක බොහෝ ඈතට යන්නට මේ කාරණා හේතු වී තිබේ. එබැවින් අනාගත ආර්ථික අපේක්ෂා දිනාගැනීමට නම් මූලිකවම රටේ මානව ප්‍රාග්ධනය දියුණු කළ යුතුය. මේ වෙනස කළ හැකි ප්‍රධාන විෂය ක්ෂේත්‍රය වන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපන සාධකය අසාර්ථක වන තරමට අපට අඩු පිරිවැය සහිත ශ්‍රමය මත යැපෙන්නට සිදු වේ.

තවත් අපගේ අවධානයට යොමු විය යුතු කරුණක් නම් දේශපාලන, ආර්ථිකය, අධ්‍යාපනයට කරන බලපෑම කෙබඳුද යන්නයි. මෙහිදී අධ්‍යාපනයට රාජ්‍ය මැදිහත්වීම වැදගත් වේ. අධ්‍යාපනය යනු තවත් එක් වෙළෙඳ භාණ්ඩයක් නොවේ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන සමාජය තුළ නැවත සාකච්ජාවක් මතු වී තිබේ. අධ්‍යාපන ප්‍රතිපත්තියක් දවසකින් දෙකකින් හෝ සාකච්ජාවකින් දෙකකින් සැකසිය නොහැක. අධ්‍යාපන ප්‍රතිපත්තියක් මත රදා පවතින්නේ රටේ සමස්ත අනාගතයයි. අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ආර්ථික ප්‍රතිපත්තිත් සමගය. හරි නම් රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියට පෙර සැකසිය යුත්තේ ආර්ථික ප්‍රතිපත්තියයි. ඉදිරි ආර්ථික සැලසුම් හෝ අරමුණු නොදැන අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සැකසීම විහිළුවකි.

ලංකාව දැන් සිටින්නේ බුද්ධි අර්බුදයකය. ඊට හේතුව රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වන නිමවුම ගෝලීය ආර්ථික හා වෙළෙඳ පොළ අවශ්‍යතාවට ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව නොගැලපීමයි. ගෝලීය සහ දේශීය ආර්ථික අවශ්‍යතාවලට හා අරමුණුවලට අනුගත වන ලෙස අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසිය යුතු වන්නේ ඒ නිසාය.

 

(*** සටහන – ගාමිණී කන්දේපොළ)



අදහස් (2)

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?

sam Thursday, 18 April 2024 10:12 PM

ඔබේ පාසල් අධ්‍යාපනයෙන් ඔබට ඇත්තටම අවශ්‍ය වන්නේ හොඳින් දත්ත පිරුණු මනසක් ඇති දරුවකු නොව තොරතුරු සැකසීමේ නුහුරු නුපුරුදු අය සමඟ කටයුතු කළ හැකි මනාව සකස් වූ මනසක් ඇති දරුවෙකි.

:       2       2

Kasthuri Sunday, 21 April 2024 04:08 PM

මෙතුමා මේ 6% ඉල්ලන්නේ පඩිය වැඩි කරගන්න කියලා හිතෙන්නේ මට විතරද? නිකන් දෙන කැම්පස්වල ළමයි කරන්නේ ඉගෙන ගන්නේ නැති එක විතරයි නේද? මොකද නිකන්නේ දෙන්නේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 60 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 40 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 191 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 390 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 1637 3

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 298 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 773 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2320 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1987 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site