රටේ ආර්ථිකය පිළිබඳව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කළ හැකිය. මේ දිනවල ජනාධිපතිවරණය හේතුවෙන් රට සහ දේශපාලන කරළිය උණුසුම් වී පවතින විට රටේ ආර්ථිකයේ ගමන් මග පිළිබඳව ඉදිරිපත් වන බොහෝ මතවාදවලට සවන්දීමට මහජනතාවට අවස්ථාව සැලසී තිබේ.
කෙසේ වුවද ආර්ථිකය යහපත් තත්වයකට පත්වී ඇති බවට ආණ්ඩු පක්ෂයෙන් කෙරෙන කථා මෙන්ම එහි අනෙක් පැත්ත පමණක් බැලීමට පුරුදුව සිටින විපක්ෂයේ කථා පිළිබඳව ද අපට නිගමනවලට එළැඹීමට හැකි වන්නේ සත්‍ය තත්වය පිළිබඳව වාර්තා වන කරුණු පදනම් කරගෙනය.
අරගලයට හේතු වූයේ රට තුළ ඇතිවූ භාණ්ඩ හිඟයයි. භාණ්ඩ හිඟයට මූලිකම හේතුව වූයේ ඒවා මිලදී ගැනීම සඳහා අවශ්‍ය තරම් විදේශ විනිමය රටට නොතිබීමයි. එහි මුල්ම ප්‍රතිඵලය වූයේ රටට ණය ගෙවා ගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට රජයට සිදුවීමත්, ඒ තුළින් රට බංකොලොත්භාවයට පත්වීමත් ය. අනෙක් ප්‍රතිඵලය වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටවී ගොස් ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට සිදුවීමත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් ය. රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජුලි මස 20 වැනිදා ජනාධිපති ධූරයට පත්වු අතර එතැන් පටන් රටේ ආර්ථිකයේ ගමන් මග සැලකිය යුතු මට්ටමකින් වෙනස් වූ බව පෙනී යයි. කොළඹ වරායට පැමිණි ගෑස් සහ ඉන්ධන නැව්වලට මුදල් ගෙවීමට නොහැකි තත්වයකට රට පත්ව තිබූ අතර එසේ ඇති වූ ඉන්ධන හිඟය නිසාම රටේ විදුලි නිෂ්පාදනය ද ඇන හිටියේය. දිනකට පැය 12 ක පමණ කාලයක් විදුලිය නොමැතිව සිටීමට මහජනතාවට සිදුවිය.
රට මුහුණදුන් අති දුෂ්කරම කාලපරිච්ඡේදය පිළිබඳව මා විස්තර කළේ ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන් වේදිකාවල ආර්ථිකය සම්බන්ධව කරන කථාවලට වඩා ආර්ථිකය පිළිබඳව සත්‍ය තත්වය හෙළි කරන තොරතුරු දැන් ප්‍රකාශයට පත්වී ඇති නිසාය. එදාමෙදා තුර රටේ ආර්ථිකයේ ගමන්මග සම්බන්ධ සැබෑ තත්වය වටහා ගැනීම සඳහා එම තොරතුරු ආධාර කර ගැනීමට අපට හැකියාව ලැබේ.
මේ වනවිට 2024 අගෝස්තු මාසයේ රටේ විදේශ ආර්ථික කටයුතු පිළිබඳ සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත්වී තිබේ. එම සංඛ්‍යා දත්ත නිරීක්ෂණය කළ විට රටේ ආර්ථිකය ගමන් කරන දිශාව පිළිබඳව වැටහීමක් මෙන්ම පසුගිය කාලය තුළ පැවති තත්වය හා සසඳන විට ඇතිව තිබෙන වෙනස්කම් සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීමට ද හැකිවේ. අගෝස්තු මාසයේදී විදේශ ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 578ක් විය. එය පසුගිය වර්ෂ තුනහමාරක කාලය තුළ ලැබුණු මාසික ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වේ. මේ වසරේ ජනවාරි මස සිට අගෝස්තු දක්වා මාස 08 තුළ ලැබුණු මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 4.28ක් වේ. එය 2023 වසරේ එම කාලය තුළ ලැබුණු මුදල් ප්‍රමාණය හා සසඳන විට සියයට 11 ක වැඩිවීමකි.
2022 වර්ෂයේ දී ලැබුණු විදේශ ප්‍රේෂණවල වටිනාකම රුපියල් බිලියන 3.78ක් විය. එය අවුරුදු 12කට පසු ලැබු අඩුම ප්‍රේෂණ ප්‍රමාණය විය. 2023 වසරේදී විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගිය අතර එය 2022 වසර හා සසඳන විට සියයට 57.5 ක වැඩිවීමකි. වසර තුනහමාරකට පසු ලැබුණු ඉහළම ප්‍රේෂණ ප්‍රමාණය අගෝස්තු මාසයේදී සටහන්වීමෙන් පැහැදිලි වන්නේ ඒ සම්බන්ධයෙන් ඉහළම ප්‍රගතියක් අත්කර ගැනීමට රටට හැකිවී තිබෙන බවයි.
අනෙක් විශේෂ තත්වය වන්නේ මේ අගෝස්තු මාසයේදී සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ද එවැනිම ප්‍රගතියක් වාර්තාකර තිබීමයි. එම මාසයේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 282.1 ක් වේ. එය පසුගිය වසරේ එම මාසයේ ලැබුණු ආදායම හා සසඳන විට සියයට 25ක ඉහළ යෑමකි. මේ වසරේ ජනවාරි මස සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු මුළු ආදායම ඩොලර් මිලියන 2.16කි. එය පසුගිය වසර හා සසඳන විට සියයට 66.1 ක වැඩිවීමකි.
මේ වසරේ මාස 08 තුළ ලැබු ආදායම ගිය වසරේ මුළු වසර පුරාම සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායමට සමාන වේ. තවමත් රටට සංචාරක ව්‍යාපාරයෙන් ඉහළම ආදායමක් ලැබුණු 2018 වසර හා සසඳන විට එම වසරේ තත්වයට ආදායම පැමිණ නැති නමුත් ගතවු කෙටි කාලය තුළ ලබාගෙන ඇති ප්‍රගතිය අතිවිශාලය. 2019 පාස්කු ප්‍රහාරය සමග බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය මේ වසරේදී නැවත වරක් ඉහළම ප්‍රගතියක් පෙන්නුම් කරන තත්වයකට පත්වී තිබේ.
රටට විදේශ විනිමය ආදායම් ලබාදෙන ප්‍රධාන අංශ 02ක් වන විදේශ ප්‍රේෂණ සහ සංචාරක අංශවල ඒ ආකාරයේ කැපී පෙනෙන වර්ධනයක් සටහන් වෙද්දී රටේ අපනයනය සම්බන්ධයෙන් ද ඒ ආකාරයේම වෙනසක් දැක ගැනීමට හැකිවී තිබේ. 2024 ජූලි මාසයේ රටේ අපනයන ආදායම ඩොලර් මිලියන 1130.3 ක් විය. 2023 ජූලි මාසයේ අපනයන ආදායම වන ඩොලර් මිලියන 1020.4 හා සසඳන විට එය සියයට 10.8ක වැඩිවීමකි. 2023 ජනවාරි - ජූලි කාලයේදී අපනයන ආදායම ඩොලර් මිලියන 6891.5ක් වූ අතර 2024 ජනවාරි - ජූලි අපනයන ආදායම ඩොලර් මිලියන 7204.7කි. එය සියයට 5.6ක වැඩිවීමකි. පසුගිය කාලය තුළදී කිසියම් පසුබෑමකට ලක්ව තිබූ ඇඟලුම් හා රෙදිපිළි අංශයේ පැහැදිලි වර්ධනයක් ජූලි මාසයේ පිළිබිඹු වීම නිසාත් කාර්මික අපනයන ප්‍රමාණය ද ඉහළ යෑම නිසාත් මේ ආකාරයට අපනයන අංශයේ ද වර්ධනයක් ඇතිවී තිබේ.
අපනයන, සංචාරක ඉපයීම් සහ විදේශ ප්‍රේෂණ ඉහළ යෑම යන මේ සියල්ලෙන් ම පෙනී යන්නේ වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව මුහුණදී සිටි දැවැන්ත ආර්ථික අර්බුදයෙන් අත්මිඳී නැවත වරක් ශක්ති සම්පන්න ආර්ථිකයක් වෙත පිය නගමින් සිටින බවයි. රටේ ආර්ථික ශක්තිය පැහැදිලි කරන තවත් එක් සාධකයක් වන්නේ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණයයි. 2024 වසරේ අගෝස්තු මාසයේ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5954 දක්වා ඉහළ ගියේය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ඉලක්ක ඉක්මවා යෑමකි. රටේ විදේශ ආර්ථික අංශය කළමනාකරණය කිරීම ඉතා සාර්ථකව සිදු කිරිම නිසා මේ ආකාරයට නිල විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට හැකිවී තිබේ. වඩා වැදගත් වන්නේ සංඛ්‍යාත්මක සැසදීමකට වඩා අප මුහුණදුන් මහා ආර්ථික අර්බුදයේ මතකය සිඳී යෑමට පෙරම අර්බුදය කළමනාකරණය කර තිබීමයි. වරායට පැමිණි තෙල් හෝ ගෑස් නැවකට ගෙවීමට මුදල් සොයා ගිය රටක අද නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වී තිබේ. කවරකු කුමන අර්ථ නිරූපණ ලබා දුන්නද එය හැඳින්විය හැක්කේ ආශ්චර්යයක් ලෙසය.
රටේ විදේශ ආර්ථික අංශය සම්බන්ධයෙන් ලබාගෙන ඇති මෙම ප්‍රගතිය රටේ විදේශ විනිමය වෙළෙඳපොළෙන් මෙන්ම මහ බැංකුව විසින් අනුගමනය කරමින් සිටින ලිහිල්කරණ ප්‍රතිපත්තියෙන් ද පැහැදිලි වේ. මේ සතිය වනවිට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 303 කට ආසන්න වී තිබේ. පසුගිය මාස කිහිපය තුළම පෙන්නුම් කළේ ඩොලරය රුපියල් 300කට ආසන්න මට්ටමකදී ස්ථාවර වී ඇති බවයි. අධ්‍යාපනය සඳහා විදේශගතව සිටින දරුවන්ට අවශ්‍ය මුදල් යැවීම මවුපියන්ට කොතරම් ගැටලුවක් වී තිබුණේද යන්න ඒ හා සම්බන්ධ වු බොහෝ දෙනෙකුට මතක ඇතැයි සිතමි. බොහෝ අයට කළු කඩය, උන්ඩියල් හෝ වෙනත් ක්‍රමයකට මුදල් ගෙවීමට සිදුවිය. ඒ සඳහා දැරීමට සිදුවූ පිරිවැය අතිවිශාලය. එහෙත් අද කිසිදු බාධාවකින් තොරව එවැනි අවශ්‍යතා සඳහා විදේශ විනිමය මිලදී ගැනීමට හැකි තත්වයක් රට තුළ ඇතිව තිබේ.
ආර්ථිකය ශක්තිමත් වී ඇති ආකාරය පිළිබිඹු වන තවත් සිදුවීමක් පසුගියදා වාර්තා විය. මෙරට අපනයනකරුවන්ට අපනයන වලින් ලැබෙන විදේශ විනිමය ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වූ නිශ්චිත කාලයක් මහබැංකුව විසින් ලබාදී තිබුණි. 2024 සැප්තැම්බර් මස 04 වැනි දා සිට එය වෙනස්කර තිබේ. ඊට පෙර තිබූ කාලයට වඩා වැඩි කාලයක් දැන් අපනයනකරුවන්ට ලබාදී ඇත. එයට හේතුව රට සතුව තිබෙන විදේශ විනිමය ප්‍රමාණයත්, වෙළෙඳපොළට පැමිණෙන විදේශ මුදල් ප්‍රමාණය ඉහළ යෑමත්ය. එබැවින් අපනයනකරුවන් සතු විදේශ විනිමය නිශ්චිත කාලයක් තුළ රුපියල්වලට පරිවර්තනය කළ යුතුය යන නීතිය වෙනස් කර ඒ සම්බන්ධයෙන් ලිහිල් බවක් ඇතිකර තිබේ.
බොහෝ අය ප්‍රකාශ කරනුයේ මෙවැනි තත්වයක් වාර්තා වුවද මෙම වසර කීපය තුළ ශ්‍රී ලංකාව විසින් විදේශ ණය නොගෙවීම නිසා අර්බුදය මගහැරී ඇති බවක් පෙනෙන බවය. එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයකි. ශ්‍රී ලංකාව 2022 වසරේදී බහුපාර්ශවීය මූල්‍ය ආයතනවලට සහ අනෙකුත් ආයතනවලට ඩොලර් මිලියන 2483ක් ණය ආපසු ගෙවා ඇත. 2023 වසරේදී ඩොලර් මිලියන 2589 ක් ගෙවා ඇති අතර විදේශීය සහ දේශීය ණය සැලකිය යුතු මට්ටමකින් පියවා දැමීම නිසා ණය ව්‍යුහයේ ද වෙනස්කම් ඇතිව තිබේ. 2022 වසරේදී රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 114.2 ක් විය. එහෙත් 2024 අවසන් වනවිට එය සියයට 103.9ක් දක්වා අඩුවී තිබේ.
ඉහත සඳහන් සියලු තොරතුරු සඳහා පාදක කර ගන්නා ලද්දේ රජය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ බැංකු හා මූල්‍ය ආයතන ආදිය මගින් නිකුත් කර ඇති වාර්තා හා දත්තය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද තොරතුරු ලබාගනුයේ එම මූලාශ්‍ර ආශ්‍රිතව ය. ඒවා තුළින් ඕනෑම කෙනකුට ක්ෂණික නිරීක්ෂණයකින් වුවද රටේ ආර්ථිකය පිළිබඳව පැහැදිලි නිගමනයකට එළැඹීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟය නිසා මහා ආර්ථික අර්බුදයකට මුහුණපෑව ද, බංකොලොත්භාවයට පත්වුවද පසුගිය වසර දෙක තුළදී ඒ සියලු අර්බුද නිමාවන ආකාරයේ අතිවිශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
නොවැම්බර් 14 වැනිදාට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) අවසන් විය.
ආසියාවේ උසම කුලුන වශයෙන්ද සලකනු ලබන නෙළුම් කුලුන දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා මෙම සංචාරක මධ්‍යස්ථානය මරණ මංචකයක් බ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ 24 වැනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් මේ වනවිට ශ
වංශකථා ආරම්භයේ පටන් විවිධ තැන්හි ජලය හා සම්බන්ධ කතිකාවත් පවතී. වාරි කර්මාන්තයේ ආරම්භය ජනාවාස ආරම්භ වීමත් සමගම සිදුවිය. ඉපැරණි වාරි තාක්ෂණයට උරුමකම් ක
රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම කැපී පෙනෙන අයුරින් පහළ වැටෙන ආකාරය මේ දිනවල දැක ගන්නට ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිනපතා ප්‍රකාශයට පත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආර්ථිකයේ එදා - අද වෙනස
බද්රානි Wednesday, 11 September 2024 08:55 PM
පොතේ ගුරා මේ හති දාගෙන හෑල්ලක් ලියලා නොකියා කියන්නේ රනිල් වික්‍රමසිංහගේ කෙරුවාව ගැනනේ... ගෙවන්න තියන ණය වාරිකත් නොගෙවා, තවත් ණය අරගෙන, විදේශ මුදල් වලට නිසි රුපියල් වටිනාකම නොදී, ඔවුන්ගේ මුදලුත් මංකොල්ලකමින් සිදුකරන තක්කඩි කම ගැනද මේ චයි වරුණේ කියවන්නේ? රටේ තරුණ පරම්පරාවම පිටරට වලට විකුණාගෙන කාලත් මදිවෙලා රටේ තියන සම්පතුත් විකුණාගෙන කාලා, මේ රටේ හිඟන්නන්ට පේන්න ඔහෙලා වගේ වන්දි භට්ටයින් ලව්වා ගුණ වර්ණනා කරගන්න එකද හපන්කම..? වෙන රටවල් වල නායකයින්ට ආරක්ෂා වෙන්න සිදුවෙලා තියෙන්නේ විදේශ ආක්‍රමණ වලින් ඒකටත් එක්ක ලන්කාවේ නායකයින්ට ආරක්ෂා වීමට සිදුවී තිබෙන්නේ මේ රටේ ජනතාව ගෙන්මයි... වැල් බයිලා නොලියා ඉන්නවා හලෝ අපට පව් නොදී...!
Swene Haputhantirige Sunday, 15 September 2024 05:30 AM
අපේ බදු මුදලින් යැපෙමින් ජනාධිපති උපදේශකලාගේ කාර්ය භාරය ජනපති පුම්බන ලිපි ලිවීමයි...!