IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


අයවැය යථාර්ථයක් වෙයිද?

වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය සම්බන්ධව අවධානය යොමු කිරීමේදී එය සාකච්ඡා කිරීමට සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා රාමුව තුළ හිඳිමිනි. මෙරට ඇති වූ ආර්ථික අර්බුදයට පසුව 2023 අයවැය මගින් යම් යම් ධනාත්මක තත්වයක් ඇති කිරීමට උත්සාහ ගැනිණ.

2023 අයවැයේදී මෙරට ආර්ථිකයේ වර්ධන වේගය යම් මට්ටමකට ඉහළ නැංවීමට හැකි වූ අතර, අංක දෙකක මට්ටමක පැවැති උද්ධමන අනුපාතිකය තනි අගයකට ගෙන ඒමට හැකියාව ලැබිණ. එසේම, පොලී අනුපාතිකය යම් මට්ටමකට අඩු කරගැනීමට ද අවස්ථාව සැලසිණ.

මෙවර අයවැය දෙස අවධානය යොමු කිරීමේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.1ක් ද, ප්‍රාථමික ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5ක් ද, රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 98.6ක් ද වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද එකඟතා මත ඉලක්ක කෙරෙයි. එසේම, දළ මූල්‍යමය අවශ්‍යතා ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩුවෙන් තබා ගැනීමට උත්සාහ ගැනේ. මෙවර අයවැයේදී මහජන මූල්‍ය කළමනාකරණ පනත මගින් දිගුකාලීනව රාජ්‍ය වියදම්වල විනයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීම ද වැදගත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා මත පදනම්ව සකස් කෙරෙන අයවැයකදී විශේෂයෙන්ම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් රාජ්‍ය මූල්‍ය සහ රාජ්‍ය ව්‍යවසාය හරහා සිදු විය යුතුය. එසේ සිදු විය යුතු මූලික ව්‍යුහාත්මක වෙනස්කම් අතර ජාත්‍යන්තර වෙළෙඳාමේ නිදහස්කරණය ප්‍රමුඛ කාරණයකි. විශේෂයෙන්ම තීරු බදු යම් ප්‍රමාණයකින් අඩු කරගැනීමට උත්සාහ ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වේ. එසේම, අනෙක් වැදගත් කාරණය වන්නේ විදේශ ඍජු ආයෝජන සමග අපේ රටේ බැඳී ඇති යම් යම් රෙගුලාසි ලිහිල් කරගැනීමට යම් උත්සාහයක් ගැනීමය. ඒ කෙරෙහි මෙවර අයවැයේදී යම් අවධානයක් යොමුව ඇති බව පෙනේ. අනෙක් වැදගත් කාරණය නම්, පාලනකරණයේ ප්‍රතිසංස්කරණයි. විශේෂයෙන්ම මෙහිදී රජයේ ප්‍රසම්පාදන නීති රිති සහ මුදල් විශුද්ධිකරණයට අදාළ නෛතික රාමුව වෙනුවෙන් ක්‍රියා කිරීමට සිදු වනු ඇත. එපමණක් නොව රජයට අයත් ව්‍යාපාරවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. ඒ යටතේ දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පවතින බව පෙනේ. එසේම, රාජ්‍ය බැංකු හා රජයට අයත් ව්‍යවසායන්හි සහ විශේෂයෙන්ම පාඩු ලබන ව්‍යවසායන්හි යම් යම් ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු විය යුතුව තිබේ. 2026 වසර සඳහා අයවැය පසුගිය දා ඉදිරිපත් වූයේ මෙවන් පරිසරයක් තුළය.

අනෙක් වැදගත් කරුණ නම්, ප්‍රධාන පනත් කෙටුම්පත් කිහිපයක් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා තම අයවැය කතාවේදී ප්‍රකාශ කිරීමය. ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ පනත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත, රජය පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිත පීටීපී පනත සහ ආයෝජන ආරක්ෂණ පනත 2026 වසරේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එහෙත්, 2025 සඳහා වන අයවැයේදී ආණ්ඩුව අපට පොරොන්දු වූ බොහෝ පනත් ද තවමත් ඉදිරිපත් කර නැති බව පෙනේ. විශේෂයෙන්ම ආර්ථික පරිවර්තන පනතට අනුව පනත් ගණනාවක් 2025 අයවැයේදී ඉදිරිපත් කරන බවට පොරොන්දු වුවත් එම පනත් ඉදිරිපත් කර සම්මත කරගැනීමක් මේ වන තෙක් සිදු වී නැත. තත්වය එසේ වුවත් වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත් ආර්ථික දර්ශනයක් මත රජය තම පහසුකම් සැලසීමේ කාර්යය සහ නියාමන කාර්යයේ නිරත වෙමින් ආර්ථිකය මෙහෙයවීමේ සූදානමක් ඇති බව මෙවර අයවැය විග්‍රහ කර බැලීමේදී පැහැදිලිය.

ඊළඟට රජයේ ආදායම් හා වියදම් සංයුතිය දෙස අවධානය යොමු කර බලමු. රජයේ වියදම් සැලකිල්ලට ගතහොත් එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස යම් ස්ථාවර අගයක තබාගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි. 2024-2025 මෙන්ම 2026 වසරේ ද උත්සාහ ගන්නේ රජයේ වියදම් ප්‍රතිශතයක් ලෙස සියයට 20.5ක මට්ටමක තබාගැනීමටය. එසේම, රජයේ වියදම් ව්‍යුහය තුළ වර්තන වියදම් අඩු කරගැනීමට ආණ්ඩුව ක්‍රියා කරන බවක් දකින්නට පුළුවන. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවත්නා සියයට 17.3ක වර්තන වියදම් අනුපාතය 2026 වසරේදී සියයට 6.5ක අනුපාතයට පවත්වාගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වේ. වර්තන වියදම් අඩු වන තත්වය තුළ මුළු වියදම ස්ථාවර නිසා ප්‍රාග්ධන වියදම් ඉහළ දමා ගැනීමට උත්සාහයක් ගනී. එය දැනට පවත්නා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.2 අනුපාතයේ සිට සියයට 4 දක්වා ඉහළ නංවා ගැනීමට යෝජනා වී තිබේ. එහෙත්, මේ තුළ ශුද්ධ වශයෙන්ම රාජ්‍ය ආයෝජන ඉහළ යාමක් සිදු වේ ද යන්න සැක සහිතය. එසේ සැකසහිත වන්නේ ප්‍රාග්ධන වියදම් සඳහා මාස 12කට වඩා වැඩි පුනරාවර්තන වියදම් ඇතුළත් කෙරෙන බැවිනි. එසේම, අප ලබාගෙන ඇති ණයෙහි යම් කොටසක් ගෙවීමට සිදුවන්නේ නම් එම වාරිකය ද මෙම ප්‍රාග්ධන වියදම් සඳහාම ඇතුළත් කෙරේ. ඍජුවම රාජ්‍ය ආදායම් කොපමණ මුදලකින් ඉහළ යනු ඇති දැයි අපි නොදනිමු. 2026 වර්ෂයේදීත් මුළු වර්තන වියදමෙහි සංයුතිය දෙස බැලීමේදී අපට පැහැදිලි වන්නේ වැඩිම සංයුතියක් පවතින්නේ පොලී ගෙවීම් සඳහා බවය. එය මුළු වර්තන වියදමෙන් සියයට 46කි. එසේම, සියයට 24ක් සහනාධාර සඳහාත් සියයට 23ක් වැටුප් හා වේතන සඳහාත් යොමු වේ.

රජයේ ආදායම් හා ප්‍රදාන සලකා බැලීමේදී රජයේ ආදායම රුපියල් බිලියන 5,300ක් ලෙස අපේක්ෂා කෙරේ. එය 2025 වර්ෂයට සාපේක්ෂව සියයට 4ක පමණ වැඩි වීමකි. මුළු බදු ආදායමෙන් සියයට 4ක වර්ධනයක් අපේක්ෂා කරන අතර, රාජ්‍ය ආදායම් වැඩි වීමට එය හේතුවක් ලෙස සැලකේ. විදේශ වෙළෙඳාම මත පනවා තිබෙන බදු ආදායමේ අඩු වීමක් 2026 වර්ෂය තුළදී ආණ්ඩුව අපේක්ෂා කරයි. එසේ නම්, බදු ආදායම් වැඩි කරගන්නේ කෙසේ ද? මේ අනුව මූලික වැඩි වීමක් සිදුවන්නේ භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු ආදායමය. සුළු වශයෙන් ආදායම් බදු මගින් ද යම් ආදායමක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, බදු වැඩි වීම බලාපොරොත්තු වන්නේ අලු‍‍තින් හඳුන්වා දෙන ආදායම් යෝජනා කිහිපයක් මගිනි. ඉන් පළමුවැන්න නම්, එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් ලියාපදිංචි සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 30 දක්වා අඩු කිරීමට ක්‍රියා කර තිබේ. දෙවැන්න ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මත සමාජ ආරක්ෂණ බද්දක් හඳුන්වා දී තිබේ. තෙවැන්න, ආනයනික රෙදි සඳහා බද්දක් හඳුන්වා දීමට ද ආණ්ඩුව අපේක්ෂා කරයි. ඊට අමතරව වාහන මත සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට ද යෝජිතය. මේ ඉදිරිපත් කර ඇති බදු සංශෝධනවලින් ප්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේ එකතු කළ අගය මත පනවා ඇති බද්දට යටත් සීමාව සැලකිය යුතු ලෙස අඩු කිරීමය. ඒ අඩු කිරීම මගින් දැනට සියයට 18ක් වන බද්දට සමාජ ආරක්ෂණ බද්ද ද සියයට 2.5ක් එක්වීමෙන් සියයට 20.5ක බද්දක් මිලියන 30 සීමාවෙහි සිටින්නන්ට පැනවෙනු ඇත. මේ සඳහා බොහෝ විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය ද අයත් වීමට ඉඩකඩ තිබේ. එය කවරාකාරයෙන් ක්‍රියාත්මක වේ දැයි දැනගැනීමට තව ටික කලක් බලා සිටීමට සිදු වේ. රජය තම ආදායම් වැඩි කරගැනීමට දරන උත්සාහය එබඳුය.

ජනාධිපතිවරයා ස්වකීය කතාවේදී ලංකාවේ බදු ව්‍යුහයේ පවත්නා ව්‍යුහාත්මක ගැටලු‍‍වක් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ දරයි. එනම් වක්‍ර බදු සඳහා ඍජු බදු දරන දායකත්වයයි. එහි දැනට පවතින්නේ සියයට 25ට 75ක අගයකි. ජනාධිපතිවරයා තම අයවැය කතාව තුළ පෙන්වා දෙන්නේ මෙම අනුපාතය ඍජු බදු 40 දක්වා වැඩි කරගනිමින් වක්‍ර බදු 60 දක්වා අඩු කරගැනීමට ඇති අවශ්‍යතාවයි. එහි අදහස දැනට ඒ සඳහා පවතින 25ට 75 අනුපාතය 40ට 60 අනුපාතය දක්වා අඩු කරගැනීමට උත්සාහ දැරීමය. එහෙත්, මුලින් පැහැදිලි කළ රාජ්‍ය ආදායම් සංයුතිය තුළ 2026 වසරේදීත් වැඩිපුර බදු ආදායමක් ලබාගැනීමට උත්සාහ ගන්නේ භාණ්ඩ හා සේවා මත පැනවෙන බදුවලින් බව පෙනේ. ඒ අනුව බැලූ බැල්මට අයවැය තුළ ඍජු බදු ආදායමේ වැඩි වීමක් පෙනෙන්නට නැත. එසේ නම්, අපට ඇති වන සැකය වන්නේ, ධනය පදනම් කරගත් නව බදු කිහිපයක් ඉදිරියේදී අලු‍‍තින් පැනවෙන්නට යම් ඉඩකඩක් පවතින බවය. ඒත් එය නිශ්චිතව කිව හැක්කක් නොවේ. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ජා කරමින් සිටින ගෙවල් කුලී මත පදනම්ව පැනවෙන ආරෝපිත බද්දක් වැනි දෙයක් හඳුන්වා දීමට ආණ්ඩුව ඉදිරියේදී උත්සාහ ගන්නට පුළුවන. එයින් ආණ්ඩුව අපේක්ෂා කරනු ඇත්තේ ඍජු බදු වැඩි කරගැනීමය. ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි වුවත් මෙයින් මූලිකව කිව හැක්කේ ඉදිරියේදී නව බදු කිහිපයක් හඳුන්වා දීමට ආණ්ඩුව බොහෝ විට ක්‍රියා කරන්නට හැකියාව ඇති බවය. එසේ නොවුණහොත් ඍජු බදු සඳහා වක්‍ර බදු දරන අනුපාතය එනම් 40ට 60 අනුපාතය ලබාගැනීම දුෂ්කර වනු ඇත. කෙසේ නමුත් 2026 දැනට තිබෙන යෝජිත දත්ත අනුව මුළු බදු ආදායමෙන් සියයට 62ක්ම ලැබෙන්නේ භාණ්ඩ හා සේවා මත ලැබෙන බදුවලිනි. විදේශ වෙළෙඳාම මත සියයට 13ක් හා ඍජු බදුවලින් එනම් ආදායම් බද්දෙන් සියයට 25ක් මූලිකව උපයා ගැනීමට තවදුරටත් ආණ්ඩුව උත්සාහ ගනියි.

අයවැය හිඟය දෙස අවධානය යොමු කළහොත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟයේ යම් වැඩි වීමක් 2025 දී දැකිය හැකිය. 2024 වර්ෂයේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 6.8කි. 2025 දී එම හිඟය 4.5ක් දක්වා අඩු කරගැනිණ. එහෙත්, 2026 දී එම අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.1 දක්වා නැවත සුළු ඉහළ යාමක් දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම සියයට 5.1 හිඟය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවයේ පරාමිතිය තුළම තිබෙන්නකි. එයින් එම එකඟතා බැහැර නොවේ. සාර්ව ආර්ථිකයේ ස්ථායිකරණය කිරීම සඳහා තවදුරටත් අයවැය හිඟය අඩු කරගැනීමට රජය උත්සාහ දැරුවොත් එය යහපත් වනු ඇත. එසේ නොවුණහොත් ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳව ඇගැයීම් ලබා දෙන ජාත්‍යන්තර ආයතන මේ තත්වය දෙස බලන්නේ වෙනත් ඇසකිනි. එම නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තවදුරටත් අවධානය යොමු කිරීම හොඳය. 

මෙම අයවැය පුරාම ජනාධිපතිවරයා දැඩි විශ්වාසයකින් පසුවන බව පෙනේ. ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ මෙම අයවැයෙන් සියයට 7ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවය. එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කය වන්නේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.1ක මට්ටමින් පවත්වාගැනීමය. මේ සීමා ගැන සිතන විට අප ඕනෑවට වඩා සංවර්ධන ඉලක්කයක් අපේක්ෂා කරන බවක් ද පෙනෙන්නට තිබේ. බැලූබැල්මට එය යථාර්ථවාදි ඉලක්කයක් ද යන ප්‍රශ්නාර්ථය අප හමුවේ පැනනගී. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවත්නා අර්බුද, රාජ්‍ය නිලධාරින් මෙම මුදල් බෙදාහැරීමේදී මතු වන ගැටලු‍‍, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කරගැනීමට ආණ්ඩුව දිරිගැන්වීම් සිදු කරන්නේ කෙසේ ද යනාදි ගැටලු‍‍ දෙස ගැඹුරින් කල්පනා කර බැලිය යුතු වේ. එහෙත්, රජයේ වියදම් පැත්තෙන් යම් සුබවාදි දර්ශනයක් දැනට දක්නට ලැබීම යහපත් තත්වයකි. කෙසේ වෙතත්, මෙම ආර්ථික ඉලක්ක බිම් මට්ටමේ යථාර්ථයක් වන බව තීරණය කළ යුත්තේ අයවැය යෝජනා ක්‍රියාත්මක වන ආකාරය අනුවය.

 

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

අයවැය යථාර්ථයක් වෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 975 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2580 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site