IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


අපනයනය නැත්නම් අගාධයේ

අයවැය ඉදිරිපත් වූයේ ඉතාම අමාරු අවස්ථාවකය. ඒ අනුව මෙය සාමාන්‍ය අවස්ථාවක ඉදිරිපත් කරන ආකාරයේ අයවැයක් නොවේ. ණය හිමියන් සමග එකඟතාවක් ඇතිකරගැනීමේ වැඩපිළිවෙළකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟවී තිබේ.

මේ එකඟතා අනුව අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිකරගත යුතුය. රජයට ලැබෙන මුළු ආදායමෙන් ණය ගෙවීම් හැර අනෙක් වියදම් සහ පොලිය අඩුකළ විට ඉතිරිය ධන අගයක් විය යුතුය. මෙයින් පෙන්නුම් කරන්නේ රජය අදාල වර්ෂයේ දී කොතරම් කාර්යක්ෂමව වියදම් කරනවාද යන්නයි. ඒ වගේම රජයට අවශ්‍ය සම්පූර්ණ ණය ප්‍රමාණය යම් සීමාවකට යටත්ව තබාගත යුතු බවට ද එකඟවී තිබේ. එසේ ගන්නා ණය අතර කෙතරම් විදේශ ණය ගත හැකිද යන සීමාවටත් රජය එකඟවී තිබේ. මෙකී මූලික එකඟතා අනුව මෙවර අයවැය ඉදිරිපත්ව ඇති බව පැහැදිලිය.

රජයේ ආදායම රුපියල් ට්‍රිලියන හතරක් පමණ වන විට වියදම රුපියල් ට්‍රිලියන අටකට පමණ ආසන්න වී තිබේ. ණය ගෙවීම් ඇතුළු සියලු වියදම් එයට ඇතුළත්ය. එසේනම් රුපියල් ට්‍රිලියන හතරක පමණ හිඟයක් තිබේ. එය පියවා ගන්නා ආකාරය බරපතළ අභියෝගයකි. බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණදී සිටින බව මෙයින් තහවුරු වන්නකි. ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇති සීමා කිරීම් මෙතැනදී කැපී පෙනෙන්නකි.

එහෙත් අනෙක් පැත්තෙන් සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය බෙහෙවින් කනගාටුදායකය. ගෙවුණු වසර එකහමාරක කාලයේ දී ජීවන වියදම සියයට 91 කින් වැඩිවී තිබේ. එවන් ඉහළ අගයකින් ජීවන වියදම වැඩි වුවද ඔවුන්ගේ ආර්ථික මට්ටමේ වර්ධනයක් සිදුව නැත. ඇතැම් අයගේ ආදායම් වර්ධනයක් නැතුවා නොවේ. තමන් විකුණන සේවාවේ හෝ භාණ්ඩයේ වියදම වැඩි වේ නම් එයට සාපේක්ෂව මිල වැඩි කළ හැකිය. ත්‍රිරෝද රථ හිමියන් මෙයට උදාහරණයකි. ඉන්ධන මිල වැඩිවී ඔවුන්ගේ වියදම් වැඩිවන විට කරන්නේ ගමන් ගාස්තු වැඩි කිරීමය. එහෙත් සියලු දෙනාටම එසේ කළ නොහැක. එසේ නොහැකි වූ කොටසට ගෙවුණු කාලයේ දී දැඩි ලෙස පහර වැදුණි. අයවැයෙන් තමන්ට ලැබුණු සහනය කුමක්දැයි ඔවුහු විමසති. එක් පැත්තකින් ආණ්ඩුවට සීමා කිරීම්වලට යාමට සිදුව තිබිය දී තවත් පැත්තකින් ජනතාව සහන අපේක්ෂා කරති. තත්ත්වය තුළනය කරගත යුත්තේ මේ කරුණු දෙක මතය.

බදු වැඩිකර ගැනීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබේ. අය වැයෙන් බදු වැඩි නොකළ ද නොයෙක් ගැසට් හරහා විවිධ බදු නංවා තිබේ. වැට් බදු වැඩිකර තිබේ. වැට් අදාළ නොවූ භාණ්ඩ හා සේවාවවලට ද වැට් අය කිරීමට පියවර ගෙන අවසන්ය. රුපියල් මිලියන 120 ක් හෝ ඊට වැඩි වාර්ෂික පිරිවැටුමක් තිබූ ආයතනවලින් මීට පෙර වැට් බදු අය කළ ද දැන් එකී සීමාව රුපියල් මිලියන 60 ට අඩුකර තිබේ. මේ අනුව සාමාන්‍ය කුඩා ව්‍යාපාරවලට ද වැට් බලපාන බව පැහැදිලිය. සමාජ ආරක්ෂණ බද්දද සියයට 2.5 කි. මෙයද වාර්ෂික පිරිවැටුම මත අයකරන්නකි. මෙම බද්ද අය කරන ආදායම් සීමාව ද රුපියල් මිලියන 60 දක්වා අඩුකර තිබේ. ඒ අනුව මෙරට අති බහුතරයක් ආයතනවලට මෙම බදු දෙකම ගෙවීමට සිදුවන බව පැහැදිලිය.

පොහොරවලට පවා වැට් අයකිරීම නව ක්‍රමය අනුව ඉදිරියේ දී සිදුවනු ඇත. ඒ සියල්ලේ අවසාන අරමුණ වී ඇත්තේ ආණ්ඩුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමය. ජනතාවට විශාල බරක් දරා ගැනීමට සිදුවන බව සෑම පැත්තකින්ම පෙනෙන්නට තිබේ. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් දෙන බවට පොරොන්දුවකි. මෙයින් යම් කොටසකට යම් සහනයක් ලැබිය හැකිය. එහෙත් ජනතාවට අපේක්ෂා කරන මට්ටමේ සහනයක් එයින් ලැබෙන්නේ නැත.  මැතිවරණයකුත් පැවැත්වීමට අපේක්ෂිත පසුබිමක ඒ සියල්ල කළමනාකරණය කරගෙන යාමට ආණ්ඩුව සැරසෙන බවක් පෙනේනට තිබේ. එහෙත් මේ අයවැය සකසා ඇත්තේ මේ වසරට පමණක් නොවේ. මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම 2032  දක්වා තිබේ. ඒ අනුව 2032 දක්වා යන ගේම් ප්ලෑන් එකක් තුළ මේ අයවැය ඇති බව කිව හැකිය.

දුෂ්කර ක්‍රියාවක් කර තිබුණ ද හොඳක් අසන්නට නම් ලැබෙන්නේ නැත. ගෝඨාභය පාලනයේ දුර්වලතා හේතුවෙන් රට සම්පූර්ණයෙන් ඇද වැටී ඇති නිසා එතැනින් ගොඩ ගැනීම පහසු නොවන බව ද කිව යුතුය.

ආර්ථික ස්ථායීතාව ඇති කිරීම පිළිබඳව බොහෝ දෙනා කතා කරති. දැන් ගෑස්, ඉන්ධන පෝලිම් නැති බව ජනපතිත්, පොහොට්ටුවත් නිතර කියන කතාවකි. සියයට හැත්තෑවට ගිය උද්ධමනය දැන් සියයට තුනට අඩුවී තිබේ. දැන් රට ස්ථායී තත්ත්වයට පත්ව තිබේ. සෑම විටම රටක ස්ථායී තත්ත්වයක් පවතින්නේ ආර්ථිකයේ සමතුලිත තත්ත්වයක් පවතින විටය. අර්බුදයක් තිබෙන්නේ සමතුලිත නොවූ අවස්ථාවලය. ජනතාව දැඩි දුෂ්කරතාවලට පත්වන්නේ එවැනි පසුබිමකය. අර්බුදයට කලින් ආර්ථිකයේ සමතුලිත භාවයක් තිබුණි. ඒ කාලයේ දී හතර දෙනකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත්වීමට අවශ්‍ය වූයේ රුපියල් 80,000 ක් පමණය. එදත් පෝලිම් නොතිබුණා සේ අදත් පෝලිම් නැතිව සමතුලිත බවක් තිබේ. එහෙත් හතර දෙනකුගෙන් යුත් පවුලකට අද මාසයක් ජීවත් වීමට රුපියල් 1,75,000 ක් අවශ්‍යය. බොහෝ අය කියන සමතුලිතභාවය අද ඇත්තේ අධික ජීවන මිල මට්ටමකය. අර්බුදයට පෙර පෝලිම් නැති තත්ත්වයත් අර්බුදයට පසුව පෝලිම් නැති පසුබිමත් අතර විශාල වෙනසක් ඇති බව මේ අනුව පැහැදිලිය.

මේ වෙනස තුළ කියැවෙන කතා බෙහෙවින්ම කනගාටුදායකය. ලක්ෂ තිහක් වූ මෙරට දුප්පත් ජනතාව මේවනවිට ලක්ෂ හැත්තෑවක් දක්වා වැඩිවී තිබීම ඉන් එක්  කතාවකි. ළමා මන්ද පෝෂණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොසිනි. ජනතාවගේ අග හිඟකම් අති විශාල වශයෙන් වැඩිවී තිබේ. සාමාන්‍ය දත්ත පරීක්ෂා කළත් මේ තත්ත්වය අවබෝධ කර ගත හැකිය. එහෙත් ස්ථාවරත්වයක් තිබේ. ඒ අලුත් සමතුලිතතාවක් මතය. අද පෝලිම් නැතැයි කියන අය මේවා හරියට පැහැදිලි කර දෙන්නේ නැත. එහෙත් යථාර්ථය මෙයයි.. ස්ථාවරත්වයක් ඇති කිරීමට අය වැයෙන් කර ඇති දෙයක් නැත. පෝලිම් නැත. එහෙත් ජීවන මිල මට්ටම අධිකය.

ආර්ථිකය සංකෝචනය කර ස්ථාවරත්වය ඇති කළ බවට කතාවකි. රැකියා අහිමිවීම්, කුඩා හා මධ්‍ය ව්‍යාපාර කඩාවැටීම්, බැංකු පොලී ගෙවීමට නොහැකි වීම යනාදිය එම සංකෝචනයේ දී වූ නිසා එය නොකළ යුතුව තිබු බව ඇතැම්හු කියති. ඒ වගේම මෙවර අයවැයේ ඇත්තේ ද ඒ ටිකම පමණක් බව ද කියති. මෙහි දෙපැත්තකි. බ්‍රේක් ගැසීමත් වේගය වැඩි කිරීමත් එකවර කළ නොහැක. එක්කෝ බ්‍රේක් ගැසිය යුතුය. නැතිනම් වේගය වැඩි කළ යුතුය. වළක් තිබේ නම් බ්‍රේක් ගසා වළෙන් එගොඩවී වේගය වැඩිකරගත යුතුය. රටේ තිබූ ප්‍රශ්නය වූයේ උද්ධමනය සියයට 80 ට සියයට 90 ට යාමය. රුපියල වේගයෙන් කඩා වැටීමය. එවිට ආර්ථික විද්‍යාත්මකව ගත යුතුව තිබූ පියවර මහ බැංකුව ගත්තේය. රැවුලයි කැඳයි දෙකම එකට බේරාගත නොහැකි බව ආර්ථික විද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබෙන ඕනෑම කෙනකුට වැටහෙන්නකි. පැවැති අර්බුදයෙන් එළියට යාමට තිබූ එකම මූලික කාරණය පොලී අනුපාත ඉහළ නැංවීමය. අර්බුදය කාලයේ මේ සම්බන්ධව සාකච්ඡා කළ කාලයේ මගෙන් විමසූවිට මා පෙන්වා දුන්නේ පොලී අනුපාත සියයට 40 ආසන්නයට යා යුතු බවය. සියයට 35 ට පොලිය නැග්ගේය. මේ නිසා ආර්ථිකය සංකෝචනය වුණේය. රැකියා අහිමි වුණි. කුඩා ව්‍යාපාර කඩා වැටුණි. එහෙත් එසේ නොකර අර්බුදයෙන් මිදීමක් තිබුණේ නැත. විවිධ අයට මෙය විවේචනය කළ හැකිය. එහෙත් ආර්ථික විද්‍යාත්මකව එය විවේචනය කළ නොහැක.

අයවැයේ හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය යුත්තේ ස්ථාවරභාවය නොව වර්ධනය ළඟාකර ගැනීමය. ස්ථාවරභාවයත් වර්ධනයත් දෙකම එකට කළ නොහැක. ආර්ථිකය වර්ධනය වෙද්දී යළිත් ඉල්ලුම වැඩිවිය යුතුය. ආයෝජන වැඩිවිය යුතුය. කර්මාන්ත ශාලා ඉදිවිය යුතුය. රැකියා ජනිත විය යුතුය. ජනතාව භාණ්ඩ මිලදී ගත යුතුය. දුප්පත්කම අඩුවිය යුතුය.

මේ වර්ධනය ආර්ථිකයේ ඇති කිරීමට කළ යුත්තේ කුමක්ද? මේ වර්ධනය ලබාගත යුත්තේ  කොතැනින් ද? එය කළ යුත්තේ රට ඇතුළේ ජනතාව වෙනුවෙන් භාණ්ඩ හා සේවා නිපදවීමෙන් ද? නැති නම් රටෙන් පිට එනම් වෙනත් රටවල ජනතාවට භාවිත කළ හැකි භාණ්ඩ හා සේවා නිපදවීමෙන් ද? ලංකාව මීළඟ වර්ධනය ලබාගත යුත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළ හරහා බව මා දරන මතයයි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන ආකාරයේ භාණ්ඩ හා සේවා සැපයීමට අපට හැකි නම් වර්ධනයත් සමගම අපට ලැබෙන්නේ ඩොලර්ය. වට්ටක්කා වවන්නේ නම් හෝ මැටි පෝචිචි හදන්නේ නම්, මහල් නිවාස සංකීර්ණ ඉදිකරන්නේ නම් තත්ත්වය ඊට වඩා වෙනස්ය. මේවා කළොත් අපට ලැබෙන්නේ රුපියල් ආදායම්ය. බලාපොරොත්තු වන ආකාරයට ජන ජීවිතය ඉහළ නැංවීමට එම ආදායම් ප්‍රමාණවත් වන්නේ නැත. කෙසේ වුවත් රටට අවශ්‍ය ඉහත දැක් වූ වැඩ පිළිවෙළ මෙවර අයවැයේ නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනෙන් එළියට ගොස් මේ ගමන යාමට ද නොහැක. අයවැයේ පෙන්නන දිශානතියේ මේ ගැටලු තිබේ. අපේක්ෂිත වර්ධනය ළඟා කර ගන්නා ආකාරය හරියට විග්‍රහ වී නැත. ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබේ. ඒවා නොකර අපනයන වර්ධනය කළ නොහැක. අපනයන වැඩි කරගත යුතු බව පොහොට්ටු, ජ.වි.පෙ. අය කියති. ඒ ගිරව් කියන්නා සේය. එහෙත් අපනයන වර්ධනයට කළ යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මොනවාදැයි විමසුවිට කිසිවෙක් නොදනිති. ආර්ථිකය නැංවීමට අප ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙළ වැදගත් වන්නේ එතැනදීය.

1999-2000 වන විට මෙවර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපනයන සියයට 40 ක් පමණ වුණි. එහෙත් 1994 ආණ්ඩු වෙනසත් සමග ඇතිවූ ආර්ථික වෙනස්කම් හේතුවෙන් 2015 වන විට එකී අපනයන ප්‍රතිශතය සියයට 15 කට පමණ අඩුවී තිබුණි. ලංකාව අද ලෝකයේ සංවෘත රටවල්වලින් එකකි. ඒ ගැන ජ.වි.පෙ. හෝ වෙන ඕනෑම කෙනෙක් සමග සංවාදයට මම සුදානම්ය. රටක සංවෘත  හා විවෘත භාවය මනින්නේ එරටේ අපනයනවල එකතුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසය. අපේ රට අද මේ තත්ත්වයේ සිටිය ද අපත් සමග තරගයට සිටි වියට්නාමය, තායිලන්තය. මැලේසියාව ආදී රටවල් අපට වඩා පහළ මට්ටමේ සිට සියයට 150, සියයට 170, සියයට 200 ආදී ඉලක්ක සපුරාගෙන තිබේ. එහෙත් අප ගොස් ඇත්තේ විරුද්ධ දිශාවටය. බංකොලොත් වෙන තැනටය. මෙය සිදුව ඇත්තේ විවෘතවීම නිසා යැයි කවුරු හෝ කියන්නේ නම් මේ රට සංවෘත බව පෙන්නාදීමට මම සූදානම්ය. අපනයන වැටුණේ කෙසේදැයි පෙන්නා දිය හැකිය. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් මේ මොඩලයෙන් තවදුරටත් රට වසාගෙන එය කළ නොහැක. ආර්ථිකය වැසෙන තාප්ප බඳිනවා ද නැතිනම් තාප්ප කඩා දමා පාලම් හදනවාද කියා තීරණය කළ යුතු කාලය එළැඹ තිබේ. ඒවා නොකර ඉදිරියක් නැත. එහෙත් මේ කාරණා මේ අයවැයේ කොතැනකවත් සඳහන් වන්නෙන් නැත.

(*** සටහන - චමින්ද මුණසිංහ)



අදහස් (1)

අපනයනය නැත්නම් අගාධයේ

de silva Saturday, 09 December 2023 10:37 AM

ආචාර්යතුමා ඔබතුමා කියන කතාවල අර්ථය ලෝකයේ දියුණු රටවල ඡන්ද දායකයාට වැටහුණත්, අපේ ඡන්ද දායකයින් බහුතරයක් කැමැතියි මහන්සි වෙලා කලට වෙලාවට වැඩකර දියුණු වීම නොව, පිනට ලැබෙන දෙයක් හෝ සමුර්ධියකින් කාලා බීලා, සමහර දේශපාලකයින් කියන මුස්ලිම් අන්තවාදය, වඳ කොත්තු, කැළණි ගඟේ නයා, බහුජාතික සමාගම් බිල්ල, හැමදාම පාඩුලබන රජ්‍ය ව්‍යාපාර ආරක්ෂා කිරීම, දේශීය ව්‍යාපාර ආරක්ෂා කිරීමට රට වටකර වැට ගසන ආකාරය, වැනි සුරඟන කතාවක් රේඩියෝ එකේ අහලා මානසික තෘප්තියක් ලබලා නිදාගන්න පමණි...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 128 0

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?
2024 පෙබරවාරි මස 26 71 1

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය


බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 244 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 250 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 312 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 813 1

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 283 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site