සමාජය අභිමුව බොහෝ මිනිස්සු සිටිති. එහෙත් මිනිසත්කම පිරුණු මිනිසුන් සිටින්නේ අතළොස්සකි. ගම්පහ කොහෙල්බද්දර නමැති ගමේ රයියාදොලුව වත්තේ විසූ පිලපිටිය මුදලාලිද එවැන්නෙකි.


දරු තිදෙනෙකුගේ පියෙක් වූ පිලපිටිය මුදලාලි සිය ප්‍රිය ඇඹේණියට ආදරණීය සැමියෙකු වූවේය. ඔහු ගමේ වැසියන්ටත් අනේක විධ උපකාර කළ ගුණවන්තයෙකු වූවේය. කිසි විටකත් නෑ, බෑ කියන වචන පාවිච්චි නොකළ ඔහු තමාට හැකි පමණින් සමාජසේවා කටයුතුවලද නිරත වූවේය. එවන් වූ මනුසත් ගුණ ඇති මුදලාලි හිටිහැටියේම රෝගාතුරවී මියගියේය. ඔහුගේ ප්‍රිය ඇඹේනිය හඬාවැලපුණාය. සීලවතී, නීල කාන්තී සහ චන්දරේට පිය සෙනෙහස අහිමි වූහ.

28-page-5-BA
පිලපිටිය මුදලාලිගේ පවුලේ තිබූ සශ්‍රීකත්වය බිඳවැටුණේය. ඔහුගේ බිරිඳ දරුවන් තිදෙනාත් සමඟ ජීවන සටන ආරම්භ කළාය. දිවා රෑ නොබලා වෙහෙසෙන ඇය දරුවන්ගේ කුසගින්න නිවා නිරාහාරව සිටි අවස්ථා බොහෝය. ඒ සෑම දිනකම පිලපිටිය මුදලාලි පිළිබඳව වූ මතකයන් සිහිපත් කරමින් රැය පහන් කළාය.


“මුදලාලි මට මේ පැටවු තුන්දෙනා ලෝකයාගෙන් කතාවක් නොඅහා හදාගන්න ශක්තිය දෙන්න මුදලාලි” ඇය මිය ගිය සැමියා සිහිපත් කරමින් ප්‍රාර්ථනා කළාය. ඒත් එන්න එන්නම ඔවුනගේ ජීවිතය දුෂ්කර විය. සීලවතී නම් වූ වැඩිමල් දියණිය රූමත්ය. ඇය යෞවනත්වයට පත්වන විට මුදලාලි හාමිනේගේ සිත මහා බරකින් පිරීගියාය. දුවරු දෙදෙනෙක් ඉන්නා මවක් විදියට ඔවුන්ගේ අනාගතය ගොඩනගන්නේ කෙසේදැයි කල්පනා කළාය.


දරුවන් රකිමින් ජීවිත සටන ගෙනයන මුදලාලි හාමිනේගේ සිත ගිනිගත් තවත් ගැටලුවක් විය. පවුලේ එකම පිරිමි දරුවා වූ චන්දරේ රස්තියාදුකාර කොලු ගැටවුන්ට එකතුවීම ඊට හේතුව විය.


ඔහු කිසි විටකත් සිය මවගේ දුක සැප නොබැලුවේය. සිය සොයුරියන්ගේ ආරක්ෂාව පිළිබඳ නොතැකුවේය. දවස පුරාම රස්තියාදුවේ ගිය චන්දරේ මතට ලොල් වූවෙකු වූවේය. රෑ බෝවනතුරුම නිවසට නොඑන ඔහු ඇතැම් දිනවල වෙන වෙන නිවෙස්වල  රාත්‍රිය ගෙවා දැමුවේය. චන්දරේ සිහියෙන් ඉන්නා අවස්ථා දුලබ වූ හෙයින් මුදලාලි හාමිනේ දිනක් උදෑසනම ඔහු කතාවට අල්ලාගන්නට උත්සාහ දැරුවාය.


“චන්දරේ ඇයි මගේ පුතේ උඹ ඔය විදියට බොන්නේ. උඹේ තාත්තා මේ ගමේ බොහොම ගෞරවයෙන් හිටපු මිනිහෙක්. උඹේ ඔය බේබදු කම ඒ මනුස්සයට එලොවවත්  නිදහසේ ඉන්න දෙන්නේ නෑ මගේ පුතේ. උඹට ඉන්නේ ගෑණු සහෝදරියෝ දෙන්නෙක්. උන්ව දීග දෙන්න ඕන. උඹේ ඔය රස්තියාදු කාර ජීවිතේ අතඇරපන් මගේ පුතේ.”


චන්දරේගේ හිස අතගාමින් අසරණ මුදලාලි හාමිනේ ලෙන්ගතු වදනින් පැවසුවාය. ඇගේ කීම බිහිරි අලින්ට කළ වීනා වාදනයක් බඳුවිය. චන්දරේ ඇගේ අත ගසා දමා ඉදිරියට පැන සුපුරුදු රස්තියාදු කල්ලිය වෙත ඇදුණේය. අසරණ මුදලාලි හාමිනේගේ නේත්‍රා මත කඳුළු බිංදු දඟ කළාය. හිස් අහස දෙස බලා දිගු සුසුමක් ගත් මුදලාලි හාමිනේ මක්‍ඳ්fඤාක්කා දඩු කීපයක් රැගෙන වත්ත පහළට ඇදුනාය.

9
ගිනිකාස්ටක අව්ව ගතට පීඩා ගෙන දුන්නාය. එහෙත් ඇය මාස කීපයකින් එහි අල නෙළාගත හැකි බව දන්නා හෙයින් වෙහෙස නොබලා දඬු සිටවන්නට වූවාය.


මව ජීවිතය හා කරන සටන වැඩිමල් දියණිය වූ සීලවතීට බලාසිටිය නොහැකි විය. ඒ නිසාම ඇය රෙදි විවීමේ වැඩපළකට යාමට තීරණය කළාය. 


“අම්මේ උඹට මේ පවුල ගොඩදාන්න තනියම නැහෙන්න බෑ. ඒ නිසා මම අල්ලපු ගමේ රෙදි මෝලට රෙදි වියන්න යනවා” සීලවතී ඇගේ තීරණය මවට පැවසුවාය.


“මුදලාලි හිටිය නම් උඹලට ඔහොම දුක් විඳින්න වෙන්නේ නෑ මගේ දුවේ. ඒ මනුස්සයා උඹලව හැදුවේ  රජ පැටවු වගේ”
සීලවතී දෙස ආදරයෙන් බලා සිටි මුදලාලි හාමිනේ වේදනාවෙන් වචන මුදා හැරියාය.


සීලවතීත් පවුල් බරින් අඩක් සිය කරමත තියාගෙන කැරකෙන නූල් රෝදයක් සමඟ පොරබැදුවාය. පවුලේ ගැහැනුන් තිදෙනා ආර්ථික ගින්නෙන් බැටකන විට සල්ලාල බේබදු තරුණයන් සමඟ එක් වූ චන්දරේ අරමුණක් නැති ලොවක අතරමන්වී සිටියේය.


මුදලාලි හාමිනේගේ සිතට ආර්ථික බර හැරෙන්නට තවත් ගැටලුවක් වූවාය. ඒ සිය වැඩිමල් දියණිය වූ සීලවතීගේ ජීවිතය පිළිවෙළක් කර දීමය. සිය රූමත් දියණිය දෙසට ලෝකයාගේ නේත්‍රා එල්ලවීමට පෙර ගෞරවාන්විත විවාහයක් කරදිය යුතුයැයි ඇය කල්පනා කළාය. ඒ නිසාම කපු මහත්වරුන් සොයා ඒ කටයුත්ත බාර දීමට සිතා ගත්තාය.


ගැහැණියකගේ පවිත්‍රතාව ගුණගරුක බව සුචරිතවත් බව නිවසකට ආභරණයක් වැනිය. එහෙත් එදා සමාජයෙන් සුචරිතවත් ගැහැණුකමට වඩා දෙන දෑවැද්ද මැන බැලීම සිරිතවිය.


“දුවට මනමාලයෙක් නම් හොයන්න පුළුවන්. ඒත් කොච්චර දෑවැද්දක් දෙනවද?”


කපුවෝ විමසූහ


“මුදලාලිත් එක්කම අපිට තිබුණ දේපළ නැතිවුණා. ඉතිරිවෙලා තියෙන්නේ මේ ගේයි ඉඩමයි විතරයි. ඒක දරුවෝ තුන්දෙනාටම අයිතියි. සීලවතීට දෙන්න පුළුවන් වෙන්නේ ඒකෙන් කොටසක් විතරයි”


මේ කතාබහ දැනගත් පසු චන්දරේ යක්ෂාරූඪ වූවේය. නිවැසියන් සමඟ දබර කරගෙන වෙන වෙන නිවෙස්වල ලැගුම් ගත්තේය. මංගල්‍යයට කිසිදු සහයක් නොදී මත්පැන් බොමින් කාලය ගෙවා දැමුවේය.


දරුවන් තිදෙනා සමඟ ජීවිත සටන අභියෝගයක් කරගත් මුදලාලි හාමිනේ පසු නොබැස්සාය. ඇයට හැකි පමණින් මංගල උත්සවය සූදානම් කළාය. චාරිත්‍රානුකුලව සීලවතී විවාහකරදී ගෙයි ඔප්පුවද තැගි කිරීමට අමතක නොකළාය.


නව යුවළ සුබ මොහොතින් මනාලයාගේ නිවස බලා පිටත් වූහ. ඥතිහිතමිත්‍රාදීහු ද නිවෙස් බලා පිටත්වූහ. මුදලාලි හාමිනේත් නීලකාන්තිත් පමණක් නිවසේ ඉතිරි වූහ. නීල කාන්ති නිවස අත්පස් කළ අතර වයෝවෘධ මුදලාලි හාමිනේ වැඩිමල් දියණිය පිළිබඳ සිතමින් සයනයට වැටුණාය.


ගතවූයේ නිමේෂයකි. වසා තිබූ දොර කඩාගෙන චන්දරේ මතුවූවේය. වෙරි මතින් සිටි ඔහුගේ දෑස් රතු වූ ලොවි ගෙඩිසේ විය. මත් ගඟ කැවිලි සුවද පරයා නිවස පුරා පැතිර ගියේය. අතින් පිස්තෝලයක් ගත් චන්දරේ සිය මැණියන්ගේ කාමරය වෙත ගමන් ගත්තේය.


“අම්මේ කෝ මේ ගැණි” ඔහු නිවසේ බඩුවල හැපෙමින් පිස්තෝලය කරකවමින් මවට සමීප විය”


“මොකද මේ උඹට පිස්සුද චන්දරේ”


සතුටුවෙන්න ඕන දවසක උඹ අමු තිරිසනෙක් වගේ හැසිරෙන්නේ”


මුදලාලි හාමිනේ සයනයෙන් නැගිසිටිමින් පැවසුවාය.


“උඹ අපිට අසාධාරණය කළේ. මට දීපන් ගෙයි ඔප්පුව. නැත්නම් උඹව මරනවා”


සිය මවගේ දෙවුරෙන් අල්ලා එහෙට මෙහෙට හොලවමින් කෑ ගසන්නට වූ චන්දරේ දස මසක් කුස හොවා ලේ කිරි කර පොවා ආදරයෙන් තමාව ඇතිදැඩි කළ මවට කම්මුල් පහරක්ද ගැසුවේය.


දුර්වල වූ ගත පාලනය කරගත නොහැකි වූ අසරණ මුදලාලි හාමිනේ විසිවී ගොස් ඇඳේ හැපී වැටුණි. දිනෙක චන්දරේම වෙනුවෙන් කිරි බවට පත් වූයේ ඇගේ රුධිරයයි. ඒ කිරි බී ඇතිදැඩි වූ ඒ  අජාසත් පුතාම සිය මෑණියන්ගේ ලේ සෙලවූවාය. කතා කරගත නොහැකි වූ මුදලාලි හාමිනේ ලේ වමනේ දමන්නට වූවාය.


අසරණ මවට දෙන වධ බලා සිටිය නොහැකි වූ නීලකාන්තී සිය සහෝදරයාට දෑත් එක්කර වැන්දාය.


“අනේ චන්දරේ අයියේ අම්මට ගහන්න එපා. උඹට ඔනේ නම් මාව මරපන් ඒත් උඹටයි මටයි ජීවිතේ දුන්න අම්ම හිරිහැර කරන්න එපා” ඒ කිසිදු වදනකින් චන්දරේගේ දරුණු හිත මෙල්ල නොවිණි. ඔහු ආනන්තරිය පාපකර්මය සිදු කළේය. ඔහුගේ අතේ තිබුණ පිස්තෝලය ඔහුට ජීවය දුන් මවගේ හිසට එල්ල කළේය. ඇය ලේ විලක් මැද ඇද වැටෙද්දී ඔහුත් සමඟ එක බඩවැල කඩාගෙන ආ සහෝදරියට අනිත් වෙඩි පහර එල්ල කළේය.


සහෝදරියත් මවත් එතනම මරා දැමූ චන්දරේ වියරු සිනහවක් නැගුවේය. ඔහු ඒ මොහොතේම නිවසින් පිටව ගියේය. අපරාධකරුවාට නීතියෙන් බේරී  සිටිය නොහැකිවේ. මිනීමරුවෙකු වූ චන්දරේට ද සිපිරිගෙයට යාමට සිදුවූවේය. එහි සිට දුක් විඳින විට ඔහු කළ භයානක අපරාධය සිහිවන්නට විය.


කුඩා කල සිට ආදරයෙන් හදාගත් අම්මා ආදරයෙන් බත් ගුලි සාදා කවන හැටි මැවී පෙනුණේය. රෝගී වූ විට ළඟට විත් ගාථා කියමින් ආදරයෙන් බලාගන්නා හැටි සිහිවූවේය. සහෝදරියන් සමඟ සෙල්ලම් කළ අතීතය මතකයට ආවේය. 


“මම මොකක්ද දෙයියනේ මේ කරපු අපරාධය” ඔහු ඔහුගේ හිස බිත්තියේ ගසා ගන්නට විය. ඔහුගේම කෙස්වලින් ඇදගන්නට විය. ඔහු කළ අපරාධය සිහිකරමින් විඳව විඳවා ජීවිතය ගෙවා දැමීමට සිදුවූවේය.


මේ ඛේදනීය වෘත්තාන්තය උඩුගම්පල කෙහෙල්බද්දර පදිංචි පහලයාගොඩ ජිනදාස විතානගේ මහතා දුටුවේය. එය ජන මාධ්‍ය සුලබ නොවූ අවදියක ශත දහයක කවි කොළයක් වශයෙන් ප්‍රසිද්ධ කළේය. මේ එම කවි පන්තියයි.

 

තුන් සිත පහදා තුන්යම වඳිමින් තුන්ලොවගුරු සම්බුදු    සම්මා
පින් සිදුවන්නට දුන් දිවි මග එලිගන්වා සිහි පෙම්බර    අම්මා
ඉන්දිය සයුරේ වන් මුතු ඇටයක් මව් බිමවෙත හිසකඳ     නම්මා
කම්පාවන හද පුවතක් පවසමි කන හරවනු මැන වෙත     දැන්මා

එයි ගිනිදල නැග වාවනු බැරිවන සොවකින් පපුවක් ඇති     යන්නේ
කොයි කවුරුත් දුක් කඳුලෙහි අයියෝ කියමින් තවමත් වැල    පෙන්නේ
දයිවය හදවත කොහොමද මෙ අපරාධයෙ වගතුග  කිය    වෙන්නේ
රයියාදොලුවම උණුලේ ගඟකින් නෑවුනු පුවතකි පව    සන්නේ

සලකති ගම කොයි කවුරුත් එකලෙස වරදක්නම් නැහැ     කියැවූවේ
පිලපිටියේ මුදලාලිට කොතනත් කාගෙන් හොඳ හිත     හිමිවූවේ
මිල මුදලින් අඩුවක් නෑ ඒකයි නැති බැරි වුන්හට    සැලකුවේ
වෙල හෙළඳාමෙන් ඇඹනිය සමගින් රැකගති දරු පවුල ක    ජීවේ
සීලවතී වැඩිමල් දියණිය වෙයි ගතවත හැඩරුව හොඳට    ඇතී
නීලකාන්ති බාලම දෝණිය ඇත පවුලෙම ආදරයෙ    එතී
කාල කන්නිකම පවුලට ගෙන දුන් හුරුකර හිතකට නපුරු    ගතී
බාල චන්ද්‍ර නම පුතුට යොදා ඇත හොඳ ගතිගුණ කිසි තැනක    නැතී

කණකොක් රෑනක් දවසක් හැඬුවලු මහ රෑ වහලේ මුදුනෙ     ගැටී
හෙනහුරු අපලය පවුලට වැදුනා පිරිහී මේ අසලකුණු    කෙටී
පණ වගෙ දරුවන් බිරියද හැරදා පෙන්වා දී බණ දහමේ     හැටී
මොන කරුමෙද මන්දා මුදලාලි මැරුණා හදිසියෙ යසට    හිටී

කවුරුන් කොහොමට කීවත් මේ දුක වාවනු බෑ හදවත     ගැස්සේ
තැවුලෙන් තැවුලට පත්වී බිරිඳක් වැලපෙයි මුලු දවසෙහි     තිස්සේ
හවු හරණක් කෝ හිතවන්තයො නෑ දිවි ගැටලුව දින දින     ඉස්සේ
පවුලේ කටයුතු අවුලට පත්විය මුදලාලි මැරුණට    පස්සේ

 

දරු තුන් දෙනෙක් බිරියක් ලොව තනිව    තියා
ගත් පසු තාත්තෙක් සදහට දෙනෙත    පියා
අම්මා කෙනෙක් දරු පවුලක් රකින    නියා
ගත් දැඩි වෙහෙස මෙතෙකැයි කිව නොහැක    ලියා

ආදායමක් නෑ වියදම    දරන්නට
ඉස්සර වගේ බෑ කටයුතු    කරන්නට
අග හිඟ කමින් වෙයිමතු වද    විඳින්නට
සිතමින් වෙහෙස විය ඇය පිරි    මහන්නට

උන් හැටි එදා දැන් අද කොහොමද    ඉන්නේ
සිතමින් නිතර මව දුක් කඳුලුය    බොන්නේ
අම්මට වද දිදී කොහොමද පසු    වන්නේ
ඒකයි සීලවති රෙදි විවුමට    යන්නේ

කොලුවා බාල චන්දර සිටි එකම    පුතා
කණකට නොගෙන වැඩිහිටි අය කියන    කතා
පාදඩ රැලකගේ නොමනා ඇසුර    පතා
නොමගට ඇදුනි විලසට දුක දෙවන    ඉතා

අඩු පාඩුවක් ගැන නෑඬුව කිසි    දාක
ලොකු දුව තරුණියකි වයසට යන    ගේක
දෙන්නට ඇයව දීගෙක නැතිකර    සෝක
සෙවුවා තරුණයෙක් මව යුතුකම    ඒක

උන්නත් තරුණියක් ගතිගුණ පා    සුද්ද
නැත්නම් වත්කමක් තරුණෙකු පෑ    හෙද්ද
වත්මන සිරිත එය අපහට නෑ    හෙද්ද
ඇහුවා මනාලිට මොනවද දෑ    වැද්ද

දෙන්නට යමක් දියණිට තනිකර    නැත්තේ
දරු තුන් දෙනාටයි මුලු දේපල    ඇත්තේ
දයාදයට කොටසක් ගෙය සහ    වත්තේ
ඇයහට දෙන්න මව තීරණයකි    ගත්තේ

මේ තීරණය දැනගෙන මව අරන්    ඇතී
තරහෙන් පිපිරෙමින් හිත වියරුවෙන්    එතී
කන බව කියා තම අම්මව මරන්    පෙතී
බේබදු පුතා පිට අගුවල ලැගුන්    ගතී

කැඳවා මනාලයගේ පස නිවස    වෙත
එක්කර දියණියගෙ නැකතට අතට    අත
ඉඩමේ ඔප්පුවද සතුටින් යුතුව    සිත
දී සැනසුනා අම්මා තුටු කඳුලු    මත

කටයුතු මඟුලෙ අහවර වනතුරු    උන්නා
ගෙන පිස්තෝලයක් යහලුවෙකුගෙ    දන්නා
මංගල දිනයෙ රෑ ගෙයි අය බිය    ගන්වා
අම්මගෙ පුතා බී ගෙන ගෙතුලට    පැන්නා
ඇද උඩ හිටිය අම්මව බෙල්ලෙන්    අල්ලා
පරඬැල වගේ ඇද ඒමේ අත    හොල්ලා
අක්කට දුන්න ඉඩමේ ඔප්පුව    ඉල්ලා
කරදර කළා කෝපයෙ ගිනිගුලි    අල්ලා

මොනවද පුතේ උඹ බී ගෙන    දොඩවන්නේ
මොකටද අහිංසක අම්මට වද    දෙන්නේ
කටයුතු අක්කගේ නොමැතිව    සලකන්නේ
උඹ මේකටද? ගෙදරින් එලියට    පැන්නේ

ගේ දොර ඉඩකඩන් ලොකු එකියගෙ    නමට
දුන්නා නේද දීගෙක දෙන්නට    ජයට
බැල්ලී මේක අහගන් හොඳ හැටි    කනට
කටවහ වෙඩිල්ලක් තොගෙ තියනව    කටට

කියමින් දුන්නු කම්මුල් පහරට    බුම්මා
වාවනු බැරුව ඇය ලේ වමනය    දැම්මා
මොනවා කරන්නද පුත වයසක    දැන්මා
නොමරන් පුතේ නොමරන් අසරණ    අම්මා

මේ මලයකා අම්මාහට කරන    වින
දකිමින් තවත් සිත වාවනු නොහැකි    තැන
බාලම දියණි මේ දබරය මැදට    පැන
කිව්වා මෙහෙම අයියව සිප වැලඳ    ගෙන 

අයියේ අපිට ඇඟ ලෙය කිරිකර    දුන්න
අම්මට එපා මේ හැටියට වද    දෙන්න
තරහක් හිතේ තියනව නන් පලි    ගන්න
මරපන් මාව අම්මගෙ වෙනුවට    මෙන්න

විසිකර ඉවත නැගණිය උගෙ අත    ගස්සා
මාරාවේස වී වියරුව වගෙ    පිස්සා
තිබ්බා වෙඩිල්ලක් ගිනිකඳ ගෙන    උස්සා
අම්මා මැරී වැටුනා ලේ වැසි    වස්සා

ඉන්නට බැරිව දුක් ගින්දර    දරාගෙන
වැලපෙන හඬන මල අම්මව    බදාගෙන
නංගී වෙතට හැරෙමින් මූ    රවාගෙන
තැබූ වෙඩි පහර ගිය පපුවද    පලාගෙන

අන්තිම නින්දෙ තම අම්මා    නිදියද්දී
නංගී ලේ විලක් වැටෙමින්    දගලද්දී
නොමදත් එකකු මෙන් මහ විපතක    සිද්ධී
මේ අමනයා ගියෙ එහි නොසිටම    ඇද්දී

පාවුන රුධිර ගංගා මිහි තලය    මත
එක්වී වදුල වැල් නොනැවති ගලනු    ඇත
සසලව මිනි මරුවකුගේ දරුණු     සිත
වැලපෙනවාලු දඟගෙයි අද රතුව    නෙත
මිනීමරුවෙක් දුක්වෙන හැටි

දහදුක් විඳන් මා ඇති දැඩි කළ    අම්මේ
අම්මගෙ අගය මට දැන් දැනෙනව    අම්මේ
ඉපදෙන ජාති ජාතිත් මගෙ බුදු    අම්මේ
අම්මා වෙලා මට කිරි දෙනු මැන    අම්මේ

ජීවිත දෙකක් අපරාදේ කරන්    නිමි
මා කළ විපත ගැන සිහියට නගන්    නෙමි
දවසට දහස්වර ඉපදෙමි මැරෙන්    නෙමි
ඒ ලේ වලට මම වන්දිය    ගෙවන්නෙමි

නංගී අම්ම මලහැටි මහ පොළොව    බදා
මැවිලා පෙනෙයි එයි ගිනි පපු කැනති    දදා
මැරෙනාතුරා මේ වගෙ හිරගෙයක    නොදා
මරලා දැම්ම නම් එකවර වැඩිය    හොඳා

නැසුමට අම්මගේ නිංගිගේ පණ    කෙන්ද
අත්දෙක ඉස්සුවේ මම මොන හිත    කින්ද
මිනිහා නොමිනිහා උනු හේතුව    මන්ද
මේ පව් ගෙවන්නට කවදා පුලු    වන්ද

ඇසුරින් ලගින් සිටි පාදඩ අමන    රැලේ
වරදින් කොටුවුනා මම නීතියෙහි     දැලේ
මා හැදු මගේ අම්මා මා අතිනි    මලේ
විස මත් පැනයි මා අමු තිරිසනකු    කලේ

ගතිගුණ නිසා මා වෙත තුබු    අසික්කිත
අම්මා කෙනෙක් මට නංගි    කෙනෙක්නැත
යලි පය තබන්නට ලොව නිසි    මගක්වෙත
මටනන් ඉතින් කවදාවත්    ඉඩක්නැත

 

සම්පාදකගෙන්

නොමිනිස් ගුණය නම් විසකටු ලයේ    ඇනී
දැල්වෙයි දිනෙන් දින සිත්තුල කොවේ    ගිනි
අමතමි සෙනෙහෙනි බැතියෙනි    දයාවෙනි
ඔබ දෙසු දහම මේකද බුදු    සුවාමිනි

මත්පැන් බඳුන පියපුතු මුවතබා    බොතී
නරකට දෙපිය ඔසවයි දුසි රිතේ    එතී
නයි මාපිලන් මෙන් විස හද වතේ    ඇතී
මිනිසා මිනිස් කමටත් අද නිගා    දෙතී

මහ කවියන්ය ලේ බල කොල    අලවගෙන
ඇති පිරිසකට කවියෙන් කවි    ලොවමකන
දැනගනු පිණිස කවියා සහ කවිය    ගැන
මෙය ජිනදාස ලිවු බව සිහි තබනු    මැන

 

m