සීල් මත්ස්‍යයින්ගේ නළලේ සවිකළ සංවේදකයන් මගින් ලෝකයේ අහුමුළුවල ඇති දුරස්ථ දත්ත සොයාගැනීමට විද්‍යාඥයන්ට උපකාරීවන බව ගෝලීය උණුසුම, අයිස් වැස්ම සහ කාලගුණ තත්ත්වය සම්බන්ධ වැදගත් පර්යේෂණයකදී සොයාගෙන ඇත.

එම ව්‍යාපෘතිය සඳහා සීල් මසුන් 1000ක් පමණ යොදාගෙන ඇති බවත් 2004 වසරේ සිට අන්තර්ජාතික පර්යේෂකයෝ ඒ සඳහා දත්ත එකතු කළහ.

මෙම දත්ත විවිධාකාරයෙන් උපයෝගී කරගෙන ග්ලැසියරවල චලනය හා ප්‍රමාණය නිර්ණය කර ගැනීමටත් ඒවා ලෝකයේ සමුද්‍රයන්හි පවතින ආකාරය සොයාගැනීමටත් යොදාගත් බව මෙම පර්යේෂණයට සම්බන්ධවූ ශාන්ත ඇන්ඩෘ විශ්ව විද්‍යාලයේ මයික් ෆෙඩෙක් ප්‍රංශ ඒ.එෆ්.පී පුවත්සේවයට ප්‍රකාශ කර ඇත.

සීල් මසුන් ගැඹුරු මුහුදේ අඩි 6,890 ක් පමණ යටට පිහිනා යාමට සැලැස්වීමෙන් මෙම තොරතුරු ලබාගන්නා බවද කියති. වතුරේ ඔක්සිජන් ප්‍රමාණය, ආම්ලීකරණය, කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිර්ණය කිරීමට එම දත්ත උපයෝගී කර ගනී. ට්වීට් කරනවා වැනි ආකාරයෙන් ඉක්මනින්ම සීල් මසුන් භෞතික පරිසරය පිළිබඳ තොරතුරු ලබාදෙන බව විද්‍යාඥයෝ කියති.

පර්යේෂකයෝ මේ සඳහා ඉබ්බන්, තල්මසුන්, මෝරුන් ඇතුළු සියයකට ආසන්න සමුද්‍ර ජීවීන් යොදාගෙන අත්හදා බලා ඇතැයි කියති.

මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීන්ලන්තය, නෝර්වේ, දකුණු අප්‍රිකාව හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් 11 ක් එක්වූ බවද විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.