යතුරුපැදි ධාවනයේදී ඇතිවන කොන්දේ වේදනාව, ස්නායු හා දෙපාවලට රුධිරය ගමනාගමනය අවමවීම නිසා ඇතිවිය හැකි සංකූලතා මඟ හරවා ගත හැකි ‘වායු පීඩන කවරයක්‘ වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු නිර්මාණය කර තිබේ.

යතුරුපැදියේ ගමන් කරන විට කොන්දට ආධාරකයක් නොමැතිවීම හේතුවෙන් කොදු ඇටපෙළ ආබාධ දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව ඇතිවිය හැකිය. යතුරුපැදි ධාවනය පිරිමි පාර්ශවය මෙන්ම මේවන විට කාන්තාවන් අතරද බහුලව දක්නට ලැබේ.

‘යතුරුපැදි ධාවනය කරන විට අපේ පිට කොන්දට ආධාරකයක් නොමැතිවීම කොන්දේ හා ස්නායු ආබාධ ඇතිවීමට හේතුවක් වෙනවා. දුෂ්කර පාරවල් සහ වලගොඩැලි මතින් යතුරුපැදිය ධාවනය කරන විට කොදු ඇටපෙළ පීඩනය උරාගැනීම සඳහා යතුරුපැදියේ ෂොක් ඇබ්සෝබර් පද්ධතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවන්නේ නම් මෙම තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ’’

‘‘බොහෝ විට ඒ පිළිබඳව කාගේත් අවධානය යොමුවන්නේ නෑ. එබැවින් අපි ඒ ගැන දැඩි ලෙස අවධානය යොමුකළා. මෝටර් සයිකලයක වාඩිවූ සැනින් ඔබේ උකුල් වැඩිපුර පසුපසට කරකැවෙනවා. ඒ සමඟම කොදු ඇට පෙළේ කටී වක‍්‍රය අනවශ්‍ය ලෙස අඩුවී කම්පනය නිසා ඇතිවන පීඩනය සම්පූර්ණයෙන්ම අන්තර් කශේරුකා මඬල වෙතට පතිතවීම සිදුවෙනවා. මේ සමඟම කොදු ඇටපෙළ ආශ‍්‍රිත මෘදු පටකවලට හානිවී භයානක තත්ත්වයක් දක්වා දීර්ඝකාලීනව වර්ධනයවීමට හැකියාව තියෙනවා. දීර්ඝකාලීනව කොඳු ඇට පෙළ වකුටුවී විරූපී ස්වරූපයක් ඇතිවීමටත්, උදරය එල්ලා වැටීමටත් මෙය එක් හේතුවක් වෙනවා.’’

‘‘යතුරු පැදියේ වාඩිවන විට තෙරපුමට ලක්ව උකුල් අස්ථි කොටස් මතට දැඩි තෙරපුමක් ඇතිවෙනවා. මෙම අස්ථි කොටස් යටින් ස්නායු, රුධිර නාල (ධමනි හා ශිරා* පීඩනයට ලක්වීම නිසා දෙපා හිරිවැටීම හා තට්ටම් පෙදෙස් වේදනාවට ලක්වෙනවා. මෙම තත්ත්වය පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන්ට ඇතිවිය හැකිය. කාන්තාවන් යතුරුපැදියේ ගමන් කරන විට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.’’

‘‘මේ පිළිබඳව වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමඟ සාකච්ඡුා කොට ඔහුගේ උපදෙස් පරිදි අපි වසර ගණනාවකට සිට පර්යේෂණ පවත්වා යතුරුපැදි භාවිත කරන්නන්ට සුවපහසු  වායු පීඩන කවරයක් හඳුන්වා දෙන්නට අපට හැකිවුණා. මෙය නිර්මාණය කිරීමේදී තාක්‍ෂණ නිලධාරී කවීන්ද්‍ර සිරිසේන, කළමනාකාරිනී ශිරාණි වල්පොළ ඇතුළු විශේෂඥ කණ්ඩායමක් සහයෝගය ලබාදුන්නා. මේ නව නිර්මාණය සඳහා පේටන්ට බලපත‍්‍රය ලබාගෙන ඉදිරියේදී ජනතාවට හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා.’’ යැයි ආචාර්ය සුජීව වීරසේන මහතා පැවැසීය.

bonyparts_pain_when_sitting_large bonyparts_pain_when_sitting_large2 bonyparts_pain_when_sitting_large3 WP_20160516_006[1]